Bukingham Palace

රැජින ආත්තම්මා වෙත ආදරයෙන් ලියමි …

මංගල තානායම,
ලිච් තැන්න,
බ්‍රමී නුවර,
මැදලන්ද,
උස්වැටකෙයියාව,

ක්‍රිස්තු වර්ෂ 2017 ක් වූ මැයි මස 24 වැනි බුදදා.

සැප වේවා !

ආදරණීය රැජින ආත්තම්මේ,

ඔබතුමිය ඇතුළු පවුලේ හැට හුටහමාරක් දෙනා සුවෙන් පසුවෙතැයි සිතමි. අපි ඉන්නා ඔටුවගේ රටේ ලොකු තැනත් ඔය පැත්තේ රවුමක් ගසන්නට ආ බව පත්තර කොළයක තියනවා දුටුවෙමි, අනෙක් කාන්තාරවාසී ලොක්කන් සමග ගත් කළ මේ ලොක්කා නොම්මර එකේ බුලට් එකකි. නමුත් ලොක්කා ඔබතුමිය බැහැ දැක්කත් අපට නම් ඔබතුමියව හමු වෙන්නට තවම වරම් ලැබී නැත, පහු ගිය අවුරුද්දක ඔබ බැහැ දකින්නට නිවසට ආමුත් හමු වීමට බැරි වීම ගැන බොහොම කණගාටු වෙමි.

ඒ කොහොම වෙතත් ඔබතුමියගේ නිවස දැක බලා ගන්නට ලැබුණු එක ගැන නම් අප්‍රමාණ සන්තෝෂය, විශේෂයෙන් එය අති ඉස්තරම් බව කියන්නේ මුනිච්චාවට නම් නෙමේය.Trafalgar Square Lion and Big Ben

ට්‍රැෆල්ගාර් හන්දියේ සිංහ පිළිම ටික පහු කරගෙන සුවිසාල ආරුක්කු ගේට්ටුව යටින් ගෙයි ඉදිරිපිටට එනතෙක් පාර දෙපස වනන්නට බැරි තරම් අලංකාරය.

නමුත් මේ පාරේ නම මෝල් කිව්වහම මට මෝල් වූ බව කියන්නට ලැජ්ජා වෙන්නට ඕනෑ නැතයි සිතමි. මේ විදිහටම මම සෑහෙන කාලයක් පිකැඩිලි සර්කස් එක බලන්නත් ලොකු උවමනාවක් තිබුණේය, නොයෙක් ආකාරයේ උඩපිනුම්, බඩ පිනුම්, විජ්ජා, සත්ව සංදර්ශන සහ විහිළු කාරයන්ට කවුරුත් කැමතිය.

නමුත් ආත්තම්මාගේ රටේ පිකැඩිලි සර්කස් කියන්නේ ලොකු වට රවුමකට බව දැන ගත්ත හින්දා සර්කස් බලන එක වෙන දවසකට කල් තබන්නට සිද්ධ විය.

මෝල දිගේ ඇවිදගෙන අන්තිමට ගෙයි ඉස්සරහ පිටට ආ ගමන් දැක්කේ වික්ටෝරියා කිරි ආත්තම්මා සිහිවෙන්නට හදාපු ස්මාරකයයි. ස්මාරකයයි වගේම ඉස්සරහ ගෙමිදුලත් බොහොම ගාම්භීරය.

වික්ටෝරියා කිරි ආත්තම්මා අපේ රට ඇතුළු ආසියාවෙන් භාගයක් හූරාගෙන කාපු හැටි මතක් වෙලා ඇඬේන්නට ආමුත් හාමිනේ රවා බලා වැලමිටෙන් ඇලපතට ඇනපු නිසා මට හුස්ම හිර උනා මිස හොටු හූර හූර අඬන්නට සිහියක් නොවීය.

අර ගෙයි ඉදිරිපිට ලොකු බූල් තොප්පියක් දමා මුරට හිටවා තියන හාදයින් සියලු දෙනා නම් පංකාදුය. මා මුලින් හිතුවේ ඒ උදවිය අවුරුදු ගණනාවකට කොණ්ඩය කපා නැති නිසා මේ පැත්තෙන් බාබර් සාප්පුවක් දමාගෙන කීයක් හරි හොයා ගන්නටය.

නමුත් මට සත්තමක් දැමූ හාමිනේ නම් කීවේ එය උස බූල් තොප්පියක් බවය. මගේ මෝඩකමට සීමාවක් තිබිය යුතුයි කියා තර්ජනය කළ නිසා තවත් බැණුම් අහන්නට බැරි තැන මම කට පියා ගත් බව කියන්නට ඕනෑය.

හාමිනේ කියනවා නම් එය එහෙමම වෙන්නට ඕනෑය, ඔය ගැන වැඩි දුර වාදයට ගොසින් ප්‍රශ්න ඇතිකර ගන්නවාට වඩා ඔවැනි සුළු දේවල් ගොඩින් බේරා ගන්න එක ශරීර සෞඛ්‍යයට හිතකර බව අමුතුවෙන් කියන්නට අනවශ්‍යය.

පිලිප් සීයා උනත් අවරුදු හැත්තෑවක් තිස්සේ ඔබතුමී එක්ක දීග කෑවේ එහෙම කියපු දෙයක් අහගෙන කරගෙන හිටපු නිසා යයි සිතමි, අනික පිලිප් සීයා අවුරුදු අනූ හයක් ගියත් තවමත් කොලු ගැටයෙක් වගේ කඩිසරව සතුටින් ඉන්නේ හැම තිස්සේම භාරියාව සතුටෙන් තබන නිසා විය යුතුය.

ඔය ඩිංගිත්තන් අවවාදය අර හැට පැනපු චාර්ලිස් කොලුවාට තේරුම් නොගියේ අර අහිංසක ඩයනා කෙලීගේ කරුමයටම විය යුතුය.

ඕපාදුප දොස් කියනවා කියා හිතන්නට එපාය, චාර්ලිස් කොලුවා දැන් කරේ එල්ලාගෙන ඉන්නා අකලට වේලිච්චි මුද්දරප්පලමක් වගේ උරචක්කර මාලය නම් මෙලෝ රහක් නැති බව ආත්තම්මාට කියන්නේ නොකියාම බැරි නිසාය.

උන්දෑට අඩු තරමේ ආත්තම්මාගේ නම්බුව ගැනවත් වත් හිතා කොට්ට උරයකින් මූණ වහන්නේ නැතිව මළ ගෙදරකටවත් උස්සන් යන්නට පුළුවන් හරි හමන් විදිහට නාඩි වැටෙන එකියක් එකක් පෑහෙන්නට තිබුණේය.

එහෙම බලපුවාම දැන් ඉන්නා එකී රූප සම්පත්තියෙන් ඩයනා කෙලීට අලගු තියන්නටත් මදිය, මේ මං කියනා කතා නොව රට්ටු තැනින් තැන අහු මුළු වල කියනා දේවල්ය.

මහ එවුන් හිටගෙන කොරනකොට පොඩි එවුන් දුව දුවා කරනවා කියන්නේ කට කහනවාටම නෙමේය, චාර්ලිස්ගේ පොඩි කොලුවා පහුගිය කාලයේ පොකුණෙන් එහා පැත්තේ සූදු පොලක අමු හෙළුවැල්ලෙන් දුවාපු කතාවක්ද අපිට අහන්නට ලැබුණේය.

අපේ ගම් පළාත් වල නම් ඔය විදිහට උපන් ඇඳුමෙන් දුවන්නේ බූරුවා ගසා සරමත් සින්න වූ බූරු කප්පිත්තන්ය, හැරී කොලුවාටත් සිද්ධ වුණේ එවන් සන්තෑසියක්ද කියන්නට දන්නේ නැතිමුත් අපි නම් ඔය කට කතා විශ්වාස කරේ නැතිය.

ඔය අන්තර් ජංජාලයේ එක එකාලා දාන පින්තූර “පොටෝ කඩේ” යොදාගෙන හදපු ඒවා වෙන්නට ඕනෑය, මොනවා උනත් හැරී බොරු සෝබන නැති හිත හොඳ කොලුවෙක් බව අපි දන්නෙමු. ඒ කොහොම වෙතත් හැරී කොලූට ඔටුන්න නොදෙන එක ආත්තම්මලාගේ පවුලේ හැමෝගෙම නම්බුව ආරක්ෂා කර ගන්නට උදව් වෙනවාට සැක නැත.

Royal Family

මේ කයි කතාන්දර චාර්ලිස් කොලුවාට මං කිව්වා කියා නොකිව්වාට කාරී නැත, අනික මේ වැඩකට නැති වල්පල් සියල්ල දැන් වල පයයි ගොඩ පයයි ඉන්නා ආත්තම්මාට කොහොමත් අදාළ නැති නිසා ඒ වෙනුවට එලොවට වැඩක් ඇති බණ භාවනාවක් කරගෙන ඉන්නා එක හොඳය.

ඒ මොනවා උනත් මේ ගෙයි දොරකඩ මුරට හිටින හාදයින් සියලුදෙනාම බොහොම උජාරුවට ඇඳ පැළඳ තුවක්කු බටත් උරුක් කරන් උණ ගස් ගිල්ල පිඹුරන් සේ හයියෙන් හුස්මවත් නොඅල්ලා එපමණ වේලාවක් නොසෙල්වී හිටගෙන හිටියේ කොහොමදැයි මට තේරෙන්නේ නැත. ඒ හන්දා ඕව හැබෑ මිනිස්සු නෙමේය අඹාපු පිළිම යැයි කවුරු හරි හිතුවොත් පුදුම වෙන්නට කාරි නැත.

මම ඔය විදිහට හිටින්නට උත්සාහ කළා නම් සිරි ලංකාවේ හෝ ඔපීසියේ එකෙක් මතක් කරන පාරක් ගානේ අඩු තරමේ කිඹුහුමක්වත් යනවාය, එහෙමත් නැති නම් පරණ කෝන්තරයක් පිරි මහා ගන්න ආපු මැහි මදුරුවෙක්වත් වත් වහනවා සිකුරුය.

නමුත් ඉස්සරහ ගෙයි දොරකඩ ඉස්තරම් විදිහට තිබුණත් අර ගාම්භීර ගේට්ටුවෙන් ඇතුළු වෙන්නට අපට ඉඩ කඩ ලැබුණේ නැතිය, ඒ මගේ නම මුලට ශ්‍රීමත්/සෑර් හෝ ලෝර්ඩ් කෑල්ලක් නැති නිසා බව කවුදෝ කියූවා මතකය.

අපේ කල්‍යාණ පුත්‍ර මැරවින් සිල්වාතුමා ගත්ත ආචාරිය පට්ටම වගේ ගන්නට පුළුවන් නම් කීය නමුත් වියදම් කර මමත් ශ්‍රීමත් එකක් ගන්නා මුත් මේවා එහෙම ලෙහෙසි පාසුවෙන් ගන්නට බැරි බලගතු තානාන්තර බව ආරංචිය.

ඔය කාපු බීපු වෙලාවට මොනවා කිව්වත්, ලෝඩ් ෆකීර් වගේ සිටියත් අතැති මුදලට ගන්නට තියෙන්නේ ශ්‍රීමත් මදන මෝදක පමණක්මය, ඒවා කෑ පසු ශ්‍රීමත් වෙනවාද නැද්ද යන්න දන්නේ වටේ පිටේ ඉන්නා උන් නිසා ඒ ගැනත් හරියටම කියන්නට බැරිය.

Keep Calm and Carry Onකොහොමින් කොහොම හරි අපිට ඇතුළු වෙන්නට සිද්ධ වුණේ අර පැත්තකට වෙන්නට තිබුණු පොඩි ගේට්ටුවකින්ය. එතැන හරි කලබලය, ඒ මදිවාට හදිසියේ ගාල් කළ බැටළුවන් රංචුවක් සේ අපේ වාරය එනතුරු පෝලිමක ලගින්නත් සිද්ධ වුයේය.

ලෝකේ හතර දිග්බාගයෙන්ම පැමිණි නානාප්‍රකාර පාට, ජාති වලට අයිති උදවියගෙන් මෙතන පිරී තිබුණු බව දන්නන්නට ඕනෑය, බොහෝ විට ඒ ඔබතුමීගේ පරණ අධිරාජ්‍යයේ හිටපු හිතවත් යටත් වැසියන් වෙන්නට ඕනෑය.

අන්තිමේදී එතැන හිටපු මහත්තැන් කෙනෙක් ගෙයි ලස්සන බලන්නට නම් අපට අස්ප ගානක ට්කට් එකක් ගන්නට යයි කීවේය. ටිකැට්ටුව නොගත්තා නම් ඒ මුදලින් ලන්ඩන් නුවර පබයකට රිංගා සති කිහිපයක් වැටෙන්නට කන්න බොන්න තරමේ ගාණක් ඉතිරි වන නිසා මගේ හිත නම් නැවුණේ ඒ පැත්තටය.

නමුත් ජීවිතයට එක පාරක්වත් ආත්තම්මාගේ ගෙදර සිරියාව බලන්නට ඕනෑ බව හාමිනේ කිව් නිසා කට පියාගෙන සල්ලි ගෙව්වේ ඇඟෙන් ඇටයක් දෙන්නා වගේය. ඒ කාසි පනම් සියල්ල වැය කරන්නේ ආත්තම්මාගේ ගෙදර නඩත්තු කටයුතු වලට කියා පසුව දැනගත් නිසා තරමක් හිත හදා ගත්තෙමි.

ඒ කොහොම වෙතත් මට නම් හිතෙන්නේ ආත්තම්මා අපේ රුහුණු පුත්‍ර සය වැනි මිහිඳු රාජෝත්තමයාණන් වහන්සේව ආදර්ශයට ගන්නය ඕනෑ කියාය, එතුමා රජකම් කරන කාලයේ අපේ රජගෙදර බලන්නට යන යටත්වාසී ගැත්තන්ට සහ වහලුන් කිසිවෙකුටත් ටිකට් කැඩුවේ නැතිවා වගේම හැමදාම වෙසක් සේ තුන්සිය හැටපස් දවසේම දන්සැල් වැරදුණේද නැත. අන්න හරිහමන් රජවරු නම් එහෙමය.

අර කලින් කිව්වා වගේ අපේ රාජෝත්තමයාගේ කුමාරවරු නම් හැරී කොලුවා වගේ විසේකාරයින් නෙමේය, ඒ හැමදෙනා දැන් ඇල් වතුරත් බොන්නේ නිමලාය. එපමණක් නොව දැන් ඉන්න හිටංතුමාගේ පුත්තරයා සහ දු සිඟිත්තද එහෙමමය, හරිම සරලය. මෙව්වා හැරී කොලුවා ආදර්ශයට ගන්නට වටිනා වැඩය.

ගේට්ටුවෙන් ඇතුල් වූ වෙල් පටන්ම මා සිටියේ කට ඇර ගත්තු ගමන් බව හාමිනේ කිව්වා හීනියට වගේ මතකය, කට ඇරගෙන ඉන්නේ නැතිව කට වසා ගන්නට යයි උන්දෑ උපදෙස් දුන්නේ මටත් වඩා මැසි මදුරුවන් කෙරෙහි වූ සත්ව කරුණාවට විය යුතුය.

ලොකු ටිකට් එකක් ගත්තද අපට බලන්නට ලැබුණේ ගෙදර අමුත්තන් පිළිගන්නා කාමර (State Rooms) සහ ආත්තම්මාගේ චිත්‍ර එකතුව විතරක්ය. අමුත්තන් පිළිගන්නා අලංකාර උස සිවිලිම් තියෙන නොයෙක් චිත්‍ර සහ පිළිම වලින් පිරුණු කාමර වගේම සැප ගෘහ භාණ්ඩ වල පරණ මුල් නිර්මාණ මුල් වතාවට අපි දැක ගන්නට ලැබුණාට සතුටුය.

මැද පෙරදිග වෙසෙන සල්ලිකාර ඔටුවන් සහ ඉන්දියන්/පාකිස්තාන වැසියන් අදටත් අනුගමනය කරන්නට දඟලන්නේ මෙවන් අවුරුදු සිය ගණන් පරණ මෝස්‌තරයන් බව දැන් අපිට හොඳින්ම තේරෙන්නේය, ඒ ගැන ඩිංගක් විතර හිකෙන් පුනා උනත් එය උන්ගේ කැමැත්ත නිසා අපිට ප්‍රශ්නයක් නැත.

ආත්තම්මාගේ ගෙදර සහ අම්මාගේ චිත්‍ර එකතුවේ අලංකාරය වනන්නට මගේ වචන මදි නිසා කිසිත් නොලියා ඉන්න සිතුනත් හොඳ නැති නිසා දිගටෝම ලියමි. විශේෂයෙන් චිත්‍ර එකතුව අති විශිෂ්ටය, නමුත් අට වසර චිත්‍ර කර්මය පවා යන්තමට සමත් මට ඒවායේ ගුණ දොස් කියන්නට තේරෙන්නේ නැත.

ඒ දවස් වල මාගේ චිත්‍ර ගුරුතුමිය නම් කිව්වේ මාගේ චිත්‍ර කර්ම දැනුම මොන්ටිසෝරි ළමයෙකුට ටිකක් වැඩි බවය. මොන්ටිසෝරි ළමයෙකුට වඩා දැනුම අඩුයි නොකියූ නිසා එදා මට ඇති වූ අප්‍රමාණ සතුට නිසා නවය වසරේ සිට ඉංගිරීසි සාහිත්‍යය තෝරා ගත්තේ ඇයට පින් සිද්ධ වන්නටය.

කොහොමත් ඔක්කෝම චිත්‍ර ලස්සනය කියා කියනවාට වැඩි යමක්  කියන්නට හිතා ගන්න බැරි නිසා ඒ ගැන විස්තර නොලියන්නේ නොදන්නා මගුල් ලියනට ගොස් මෝඩකම ප්‍රදර්ශනය වෙන එක වළක්වා ගන්නටය.

මේ ඔක්කෝම විස්තර බලාගෙන එනකොට අත්තාම්මාගේ ගෙදර ඇතුළේ පොඩි කඩයක් දැක්ක ගමන් හාමිනේ ඒ ඇතුළට රිංගපු නිසා අනිත් ඔක්කොම වැඩ රාජකාරි නවත්තා නොයෙක් ජාති සිහිවටන මිලදී ගන්නට සිද්ධ උනාට කරන්නට දෙයක් නැතිය. එතැනිනුත් වැදුණේ මගේ පොකට්ටුවට උණත් හාමිනේලා සතුටින් තැබීමට ඔය පොඩි පොඩි දේ නොසලකා හරින්නට වෙන බව සත්තය.

මේ අල්ල පනල්ලේම වැඩි වැඩියෙන් වාසනාව ලැබෙන්නට කියා හාමිනේ අත්තාම්මාගේ ලාංඡනය සහ ගෙදර නම ගහපු අස්ස ලාඩම් කිහිපයක්ම අර ගත්තා උනාට මට නම් ඒ ගැන විශ්වාසයක් නැත. මොකද අස්සයන්ගේ කකුල් පැත්ත පළාතෙවත් නොගිය පියුටර් වලින් හදාපු ලාඩම් වලින් වාසනාව ලැබෙනවාද යන්න මම නොදන්නා නිසාය.

අන්තිමේදී මේ ඔක්කොම බලා කියා ගත්තාට පස්සේ අපිට ඉතිරි උණේ ආත්තම්මාගේ අස්ස ඉස්තාලය බල එක විතරක් නිසා ඒ පාරත් ඉස්සරහ දොර වෙනුවට ඉස්තාලය පැත්තට කිට්ටු පස්සා දොරින් අපිව එළියට දැමූ බව කියන්නට ඕනෑය.

ඉස්තාලයත් ඉස්තරම්ය, ගාලු ගිය ගමන් මාර්ටින් වික්‍රමසිංහා කෞතුකාගාරයේ ඇති ගොන් කරත්ත, අස්ස කරත්ත සහ අලි කරත්ත දැක තිබුණත් සුරංගනා කතන්දර සහ ඩිස්නිලන්තය සිහියට එන රත්තරන් වලින් වැඩ දමාපු රජවරු යන සුපිරි අස්ස කරත්ත දැක්කේ පළමුවෙනි වතාවටය.

නුවරඑළිය ගිරිගොරිස් වැව වටේ ඉන්නා හරි හමන් කෑමක් බිමක් නැතිව ලොම් හැලිච්ච පොනියෝ දැක පුරුදු උනත් ආත්තම්මාගේ අස්ස ඉස්තාලේ ඉන්නා සැපට හැදුණ සද්දන්ත කුලයේ අස්සයන් බලන්නට ආසය. නමුත් උන් අතපත ගාන්න හොහින් හිරේ විලංගුවේ වැටෙන්න අපි වැනි අතවැස්සන්ට බැරි නිසා ඈතින් ඉඳ අර ගත් පින්තුරයක් හෝ දෙකකින් හිත හදා ගත්තෙමු.

Sekera near Bukingham Palaceඉස්තාලය බලා කරගෙන අපි එළියට බැස්සේ බඩගින්දරට බඩේ පණුවෝ පිනුම් ගහණ වෙලාවටය, දොරෙන් එළියට බැස්ස ගමන් දැක්කේ ලොකු අකුරින් “ද සේකර – The Sekera” කියල පත බෝඩ් ලෑල්ලක් ගහපු අපේ සිරි ලංකාවේ කඩයක් බව කියන්නට සතුටුය. නමුත් සිංහලෙන් නම ගහන්න ලැජ්ජාව නිසාදෝ තිබ්බේ ඉන්ගිරිසියෙන්ය.

එය දුටු ගමන් මට ගිය චූන් එක සමාන කරන්නට වෙන්නේ බඩගින්නේ මැරෙන්න යන එකාට මාතර බත් කඩයක් හෝ මරදානේ තොසේ කඩයක් දැක්කහම ලැබෙන චූන් එකකටය.

කොපමණ උජාරුවට කීවත් සුද්දගේ කෑම මට නම් තවමත් දිරවනවා හොරය, ආත්තම්මාගේ ගෙදරින් අපිට කන්න බොන්න මොකුත් හම්බ නොවුන නිසා සාක්කුව හිස් උණත් බඩ පැලෙන්නට හිංහල කෑම කන්නට පුළුවන් යයි පස් වනක් ප්‍රීතියෙන් හිත පිනාගිය නමුත් හාමිනේ ඒකටත් උදැල්ලක් දැමුවේය.

මොකද්දෝ කරුමයකට එයිට තරමක් එපිටින් “චිපී – Chippy” ( ෆිෂ් ඇන්ඩ් චිප්ස් – Fish & Chips ) කඩයක් දැකපු හාමිනේ කිව්වේ සුද්දගේ රටට ආපුවහම සුද්දා විදිහට ඉන්නට ඕනෑ බවය. එනිසා ඉතින් සේකර මළ සේකර කර ගන්නේ නැතිව අන්තිමේදී බැදපු මාළු සමග අලපෙති වලින් සැනසෙන්නට උන බව කියන්නට කණගාටුය.

Fish and Chipsආත්තම්මාට කියන්ට මේ රටට හාමිනෙයි මායි ආදා හිටං යනකම් හැම දිනකම පාහේ සුද්දෝ වගේ කෑවා බීවා විතරක් මදි නිසා දොට්ට පිලට ගියේත් එහෙම්මම බව කියන්නේ ආඩම්බරයෙන්ය. සහසුද්දෙන් හැමෝටම තේරෙන්න කියනවා නම් සිද්ධ උනේ අහිංසක සුද්දන්ට පස් පඩංගුවේ බනිමින් වතුර අල්ලන්න පයිප්පයක් නැති නිසා කඩදාසි වලින් පුක මදින්නටය (පුක යනු කුණුහරුපයක් නොවන බව කරුණාවෙන් සලකන්න – කතන්දරකාරයා මේ ගැන බොහොම හොඳට වනලා තියේය ).

අන්තිමේදී හාමිනේගේ බහට නැවුණු නිසා බැදපු මාළු සමග අලපෙති අර ගත්තු බව බවත් හැබෑය. පෙර සිට පැවැත එන ලෙසටම පත්තර කොළයකින් ඔතා දුන්නු ඒ කෑම වේලක් දෙවේලකට සෑහෙන්න තරම් ලොකුය. නමුත් සිරි ලංකාවේ බැදපු මාළු වගේ නොව කටේ තියන්නට පවා බැරි තරමට තෙල් අල්ලාපු මෙලෝ රහක් නැති දහ ජරාවක්ය.

අර ගත්තු විලි ලැජ්ජාවට කටක් දෙකක් කෑ හාමිනේ පෙරළුණු පිට හොඳයි කියා තීන්දු කළේ ඉතිරි කෑම අල්ලපු වත්තේ සාන්ත ජේම්ස් උද්‍යානයේ සිටිනා පාත්තයින්ට සහ තරාවන්ට දමන්නටය. උන් අපි දමාපු කෑම කාපු එක කොහොම වෙතත් යන්තම් හොට ගැහුවා මිසක් ගාණකටවත් ගත්තේ නැත.

St-James Parkහාමිනේ නම් කිව්වේ පාත්තයින්යි තරාවන්ටයි ආත්තම්මාගේ රාජ උෂ්ණය වැදිලා කියාය, හැබැයි මට නම් හිතෙන්නේ ඒ රාජ උෂ්ණය කෙසේ වෙතත් අල පෙති සහ මාළු වල හොඳ කම වන්නට ඕනෑ කියාය.

යමක් කමක් තේරෙනේ නිසා හාමිනේට ඕවා කියන්නට ගියේ නැතිමුත් මට නම් හිතෙන්නේ ආත්තම්මා රාජ ආඥාවකින් මේ චිපී කඩ ගැන මොකවත් කළොත් හොඳ යයි කියාය.

රැජින ආත්තම්මේ දැනට එපමණය, හැම දාමත් වගේ කියන්නට තියෙන්නේ :

එකෙක් නොව තිස්තුන් කෝටියක් දෙවිවරු Save රැජිණ ආත්තම්මා කියාය !!!

මෙයට දයාබර,

ඕල්ඩ් සිලෝන් හිටපු යටත් වාසී ~ කණ්ඩා !

ප.ලි. :  තව ඩිංගෙන් අමතක වෙනව, හාමිනේත් කියන්නය කිව්ව ඔහේව මතක් කරන්න කියල, ඒ ටික කිව්වේ නැති නම් අද ඉඳල හමාරයි !

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ II කොටස ! ~ A380 ය සහ සුද්දගේ ජර්මන් බෝම්බ !

Advertisements