A380-Doubledecker-Comparison

A380 ය සහ සුද්දගේ ජර්මන් බෝම්බ !

මෙවර හිරු නොබසිනා දූපතට ගොඩ වැදුණු කණ්ඩාගේ සංචාරය අනපේක්ෂිත සිදුවීම් වලින් පිරුණු හොඳ නොහොඳ දෙකම සම සමව කළවන්/කවළන් (මින් කැමති එකක් තෝරා ගත්තාට මගේ කිසිම අමනාපයක් නැත :-D) වූ තවත් අමතක නොවන සංචාරයක් බවට විය.

කණ්ඩාගේ බලාපොරොත්තුව වෙලාව ලැබෙන ආකාරයට මේ ගැන වැඩිදුර විස්තර කොනක සිටම ලියන්නටය.

ඒරොප්පෙට යන ගමන පටන් ගන්නටත් කලින් හාමිනේටත් කණ්ඩාටත් තිබුණු දැවෙන ප්‍රශ්න කිහිපයකි, පළමු කඩුල්ල රටට ඇතුළු වීමේ වීසා ලබා ගැනීමයි. මුලින් යුරෝපයටත් ඉන් පසුව හිරු නොබසිනා දූපතටත් ඇතුළු වීමේ වීසා ලබා ගැනීමට වෙනදා මෙන්ම වැඩි මහන්සියක් දැරුවේ හාමිනේය.

වර්තමානයේ පවතින ව්‍යාකූල ආරක්ෂක සහ ආර්ථික තත්වය මත ආසියානු, මැද පෙරදිග සහ අප්‍රිකානු රටවල්හි පුරවැසියන් හට වීසා නිකුත් කිරීමේදී දැඩි නීති රෙගුලාසි සහ සෝදිසි කිරීම් වලට ලක් වීම අනිවාර්යය.

අතලොස්සකගේ ත්‍රස්තවාදී ක්‍රියා සහ සිය දහස් ගණනින් යුරෝපයට හොරෙන් ඇතුළු වන සරණාගතයින් හේතුවෙන් අන් සියළු දෙනා මේ සියළු බාධක වලට මුහුණ දිය යුතුය.

උපන් රටත් හමේ පාටත් නිසා අපටත් මෙයින් ගැලවීමක් නැත, ගමන් යන්නට උවමනා නම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ සුද්දාගේ හොඳ නොහොඳ අමතක කර කඩුළු පැනීමේ සහ බාධක දිවීමේ තරඟයකට සහබාගි විය යුතුය.

යුරෝපීය රටවල් සඳහා වීසා අයදුම්පත් භාර ගන්නේ VFS Global නම් වරලත් ඒජන්ත ආයනනයක් මගිනි, සියළු ලියකියවිලි පරික්ෂා කර අදාළ තානාපති කාර්යාලය වෙත වීසා අනුමැතිය සඳහා යොමු කිරීම ඔවුන්ගේ රාජකාරියයි.

පෙර අත්දැකීම් මත මේ සඳහා විශේෂ මහන්සියක් නොදැක්කුවත් වීසා සඳහා එතෙක් මෙතෙක් අප විසින් ඉදිරිපත් කළ ලියකියවිලි ගොන්න එකවර රැගෙන යන්නට නම් පොඩි පහේ වීල් බැරෝවක් අවශ්‍ය වනු ඇත !

පසුගිය දස අවුරුද්දක ගමන් විස්තර, අතැති මුදල්/බැංකු ගිණුම් විස්තර, පඩි නඩි සටහන්, රැකියාව සහ කාර්යාලීය විස්තර, ගමන් සැලැසුම්, ගුවන් ටිකට්පත්, හෝටල ඇතුළු නැවතීමේ පහසුකම් ආදී අටෝරාසියක් දේ පෙන්වන ලියකියවිලි එයට අදාලය.

දෙපාරකින් කර ගන්නට තිබුණු වැඩය සඳහා හතර වාරයක් යන්නට සිදු වූයේ එතන හිටිය රෝස කැකුළ රෝසාට, හාමිනේ කණ්ඩාගේමද කියා ෂුවර් කර ගන්නට විවාහ සහතිකයත් ඉන්නා තැන හොයාගන්නට නිවසේ කුලී ගිවිසුමකුත් අන්න එන්නට කියූ නිසාය 😀

ෂුවර් එකටම කණ්ඩා හැන්ඩියා නිසා රෝසාට හිත ගියා වෙන්නට ඕනෑය, නමුත් හාමිනේ කණ්ඩාට ඒ පොට්ට් චාන්ස් එකවත් නොදී උන්දෑම ඒවා නැවත ගෙනිහින් දීම බලවත් අවාසනාවකි 😦

සති කිහිපයක කාලයක් ඇතුළත අපට වීසා ලැබුණත් මසයකට සෑහෙන ඇඳුම් කැඩුම් අසුරා ගන්නේ කෙසේද යන්න කල්පනා කරන විට ඔලුව කුරුවල් වන්නේය. මෙතෙක් කාලයකට අප මාසයක ගමනක් ගොහින් ඇති නම් ඒ සිරි ලංකාවටය, නමුත් එහිදී මාසයකට අවැසි ඇඳුම් කැඩුම් අතින් කටින් එල්ලන් නොයන්නේ ලංකාවෙන් මිලදී ගත හැකි නිසාය.

නමුත් ඒරොප්පේ ගොහින් හාමිනේව ෂොපින් එක්ක යන අදහසක් කණ්ඩාගේ තුන් හිතකවත් නැත. එහෙම කළෝතින් පෝස්ටර් අච්චු ගසන ප්‍රින්ටින් මැසිමකින් එන බිල් දිහා බල බලා හුල්ලන්නත් මාසය අවසානයේ බැංකුව ආදරයට එවන ක්‍රෙඩිට් කාඩ් බිල දිහා බලා පපුවේ අමාරුව හදාගන්න වෙන බව හොඳටෝම ෂුවර්ය.

එනිසා අවැසි සියල්ල ගෙදරින් ඇන්න යන එක කණ්ඩාගේ ශරීර සෞඛ්‍යයට හිතකරය, නමුත් ගුවන් ගමන් වලදී රැගෙන යා හැකි බෑග් ප්‍රමාණය සහ බර සීමිතය, එමෙන්ම හිරු නොබසිනා දූපතට පසුව යුරෝපයේ තවත් රටවල් කිහිපයකට යායුතු නිසා ගුවන් කලාපයෙන් කලාපයට අනුමත බර තව දුරටත් වෙනස් වන්නේය.

අපගේ ඉලක්කය වූයේ දෙන්නා දෙපැත්තකට ඇදෙමින් මග නොහිට කෙසේ හෝ මැද මාවතක් සොයාගෙන සැහැල්ලු දේ අතේ ගෙන යන බෑග් දෙකකටත් ඉතිරිය විශාල ගමන් මලු දෙකකටත් දමා ගැනීමටය. අන්තිමේදී මාසයක් තිස්සේ දඟලා සති තුනකට සරිලන අඩුම කුඩුම සියල්ල අහුරා ගන්නට හාමිනේ සමත් වූයේය.

හාමිනේ වැඩ්ඩෙක් හෙවත් සුපර් පැකර් (Super Packer) නිසා කණ්ඩා ගොඩය, මේ නක්කලයට කියන්නක් නොව සැටිෆිකෙට් ඇත්තය, හාමිනේට පැකින් සම්බන්ධයෙන් මෙඩල් එකක් දෙන්නට වටින්නේය.

අවසානයේ බොහෝ බලාපොරොත්තු තබා ගෙන සිටි එපික් ඔඩිසිය ආරම්භ කරන දිනය උදා විය !

මේ ගුවන් ගමන කණ්ඩාට විශේෂය, පියාඹන ඩබල් ඩෙකර් යන්තරයක් හෙවත් ලොව විශාලතම මගී ප්‍රවාහන යානාව වන “එයාබස් A380” (Airbus A380) ගුවන් යානයක යෙදෙන කුළුඳුල් ගුවන් ගමනයි. එය කණ්ඩා හට හිතුවාටත් වඩා ආශ්වාදයක් සහ හොයා බලා දැන ගන්නට දේ බොහෝ ගෙනා බව කියන්නට ඕනෑය.

“සුපර් ජම්බෝ” (Super Jumbo) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන A380 යානයන් කුරුල්ලන්ගේ මෙන් සිහින් බඳකින් යුතු  අනෙක් ගුවන් යානා සමග සසඳන විට අලියෙකුට සම කිරීම වරදක් නැත.

නමුත් කණ්ඩාට හිතෙන්නේ හැඩය සහ තරම අනුව හැම තිස්සෙම සිහියට එන්නේ පියාඹනවා තියා හිතන්නත් බැරි තඩි නිල් තල්මසෙකුගේ පින්තූරයකි. එසේ තිබියදීත් A380 යානාවන් ඉතා පහසුවෙන් ගුවන් ගතවීම නවීන තාක්ෂණයේ ප්‍රාතිහාර්යක්මය.

වෙනදා වීදුරුවෙන් ඉවත බැලූ කල තටුව මැද සවි කර ඇති එන්ජිම වෙනුවට මෙහි සුවිශාල එන්ජින් දෙකකි, තරමින් මේ හා කිට්ටුවට එන වෙනත් ගුවන් යානයක් කණ්ඩා හැබැහින් දැක ඇති නම් ඒ ඇෆ්ගනිස්තානයේදී දුටු ඇමරිකානු ගුවන් හමුදාව භාවිත කරනා C5-සුපර් ගැලැක්සි (C5-Super Galaxy) යානාවන්ය.

සුපර් ගැලැක්සි යානා ළඟ පාත කරක් ගසන්නට ලැබුණත් එතුළට පිවිසෙන්නට හෝ පින්තූර ගන්නට වාසනාවක් ලැබුණේ නැත.

( C5-සුපර් ගැලැක්සි  සහ A380 “සුපර් ජම්බෝ” යානාවන්)

A380 ය අනර්ඝය, මෙතුවක් කල් ඉඩකඩ සිමීත A320 සහ බොයින් 747 ගුවන් යානා වල ඉකොනොමි පන්තියේ උණ බට ගිල්ල පිඹුරන් සේ ඉද්ද ගහගෙන හෙලෙන්නේ පෙරලෙන්නේ නැතිව ගමන් කිරීමට හුරුව සිටි අපට හොඳින් අත පය දිග හරින්නට ඉඩ කඩ ඇති A380 යානාව නැවුම් අත් දැකීමක් එකතු කළේය.

ව්‍යාපාරික සහ ඉකොනොමි පන්තියේ (Business & Economy Class) ආසන 500 කට අධික සංඛ්‍යාවකින් යුක්ත වූ අප ගමන් ගත් A380 ගුවන් යානාව (ඉකොනොමි පන්තියේ ආසන පමණක් ඇති විට, මගීන් 900 ක් දක්වා ගෙන යා හැක ) සම්පුර්ණයෙන් පාහේ පිරී තිබියදීත් මගීන් නැගීම/බැසීම අනෙක් කුඩා ගුවන් යානා වලටත් වඩා කාර්යක්ෂමව සිදුවිය.

(වැඩි දුර කියවන්න කැමති අයට A 380 ගුවන් යානා ගැන වැඩි විස්තර සහිතව Roar වෙබ් අඩවියේ පළවූ ලිපිය මෙතැනින්)

මේ සඳහා අන් ගුවන් යානා වල මෙන් එක් දොරටුවක් වෙනුවට දොරටු ද්විත්වයක් භාවිතා වන්නේය, මගීන් ගමන් කරනා තට්ටු දෙක යා කරන පඩි පේළි දෙකකින් යුක්තය. අපට භුක්ති විඳීමට නොහැකි උවත් ව්‍යාපාරික පන්තියේ ඇති පහසුකම් බොහෝ තරු පන්තියේ හෝටලයක් පරදන තරම්ය.

මේ අතරම කලබලයට සොයා නොබැලූ නිසා හාමිනේටත් කණ්ඩාටත් හිමිව තිබුනේ ආසන තුනකින් සැදි පේළියක දෙකොනේ ආසනයන්ය, කවුරු උනත් කණ්ඩාගේ නිදහස ගැන සිතා  හාමිනේත් කණ්ඩාත් අතර තවන් කෙනෙකු වාඩි කොරලාය 😀

ඒක හොඳ වැඩක්ය, දැන් ගමන ඉවර තෙක් හාමිනේගේ ජැක ගැසීමකින් තොරව කණ්ඩා හට නිදහසේ චිත්‍රපටි බැලිය හැකිය, වෙනදාට සිදු වන්නේ කණ්ඩාට ජැක් ගසාගෙන හාමිනේ නිදා ගන්නා තුරු හුස්ම හිර කරගෙන පැත්තක් හිරි වැටී අංශ බාගය හැදුනත් ගහක් ගලක් සේ නිසොල්මනේ ඉන්නටය.

අතරමැද ආසනයට පැමිණියේ බටු ඇට දෙකක්වත් උස නැති අවුරුදු 20-21 ක් තරමේ හුරුබුහුටි ඇමරිකානු ජාතික කෙල්ලෙකි, හාමිනේ ඇයට චාටුවක් දමා නැවතත් කණ්ඩාව මැද පුටුවට මාරු කර පරිවාස භාරයට ගත් හෙයින් කළාතුරකින් ලද නිදහස වැඩිදුර පැවතුනේ නැත.

ඒ මොනවා උනත් එහා පැත්තෙ පුටුවේ ඇටිකිත්තන් කෙල්ලෙක් සිටීම ගැන කණ්ඩාට ෆුල් හැපීය, වැරදිලාවත් බර වාහනයක් පැමිණියේ නම් පහසුවෙන් පුටු ඇන්ඳට අත තියා ගැනීමට බැරි වීම මහා වදයකි.

පැය 6-7 ක දුර ගමනක් එහෙම යෑම ඉතා අපහසු බව කියන්නට අනවශ්‍යය. දැනටත් කණ්ඩාගේ දකුණු අත හාමිනේගේ අඩස්සියේ නිසා අඩු තරමේ එක අතක්වත් කරදරයකින් තොරව තියාගෙන යන්නට පුළුවන්ය.

කණ්ඩා මේ විස්තර කරන දේ වල ඇත්ත නැත්ත තම භාරියාව සමග ගුවන් ගමන් වල යෙදෙන්නන් හට පමණක් නොව බස් වල යන උදවියටද අමුතු කතන්දර යයි මා හිතන්නේ නැත 🙂

කණ්ඩාගේ අසල් වැසියා පොකට් මොඩල් එකක් උවද කෙල්ලගේ වැඩ පොඩි නැත, කොටින්ම හොඳ හැටි කන්න බොන්න දන්නා කෙල්ලෙකි. ගමන පුරාම දෙන තරමක් වයින් සහ සැර බීම වලට අමතරව තවත් ඉල්ලාගෙන සන්තර්පණය වූ ඇය ළඟ ළඟම නැවූ නිසාදෝ නොබොන වේලාවට කල එකම දේ අතපය හතර පුටුව උඩට ගෙන පූසියෙක් මෙන් වකුටු වී පොරවාගෙන නිදා ගන්නා එකය.

කෙල්ල කෙතරම් හුරුබුහුටි උවත් කකුල් ආසන මත තියනා එක තරම් කණ්ඩාට හිරිකිත තවත් දෙයක් නැත, නමුත් ඒ ඇගේ ආසනය නිසා මුවින් නොබැන ඉවසාගෙන සිටියේය.

හාමිනේගේ මීටරය නම් මේ ගැන මුල පටන්ම On වී තිබුණත් මේ සියල්ල නොදැනීම කණ්ඩාගේ නිරීක්ෂණයටද හසු වී ඇති බව තේරෙන්ණේ මතකයෙන් මෙය ලියනා විටය. කාන්තා පාර්ශවය කන බොන එක හෝ කාන්තා පාර්ශවය සමග කනබොන එකේ අවුලක්/අමුත්තක් කණ්ඩාට නැත.

නමුත් මේ ගැන කිව්වේ ආසියාතිකයන්ට හුරු අනුන්ගේ ලබ්බවල් වල ඇට ගණන් කිරීමේ නරක පුරුද්දෙන් මිදෙන්නට කණ්ඩාට තවම බැරිව ඇති බව කියන්නටය , මොනවා උනත් “පීපල් වොචින් සහ බර්ඩ් වොචින්” (People & Bird Watching) යනු විනෝදය ලැබිය හැකි මාතෘකා රැසකට ඉඩ කඩ සපයන දෙයක් බව නොකියාම බැරිය 😀

මේ සියළු දේ මැද්දේ හදිසියේ කඩා පාත් වූ මරාලයන් නොතිබ්බා නොවේ, හාමිනේ මොන ගුවන් යානයකට නැග්ගත් ආසනය ඉදිරිපිට ඇති මල්ටිමීඩියා යුනිට් (In-Flight Entertainment) එක ලෙඩ දෙන අමුතුම ආකාරයේ කරුමයක් ඇත. මට නම් හිතෙන්නේ ඒ ගුවන් යානයේ වැරද්දක් නොව හාමිනේගේ වැරද්දක් කියාය.

මෙය ඉඳහිට අහම්බයෙන්  සිදු වන්නක්ද නොව පහුගිය අවුරුදු කිහිපය තුළ 4-5 වතාවකම මුහුණ දීමට සිදු වන්නට යෙදුණු සුලභ දෙයකි. ඇතැම් විට හාමිනේගේ ශ්‍රී දේහයෙන් විහිදෙන අමුතු කිරණ වර්ගයක් මෙයට බල පානවාද යන්න කණ්ඩා නොදන්නාමුත් මෙවරත් එහි වැඩි වෙනසක් වුයේ නැත.

සුපුරුදු පරිදි පෙනෙන තෙක්මානයේ වූ එකම දෝෂ සහිත මල්ටිමීඩියා යුනිට් එක හාමිනේගේ ආසනයට ඉදිරියෙන් විය, එනිසා එම පරිඝනකය රීස්ටාර්ට් කර නිවැරදි කරනා තුරු හාමිනේ හිටියේ යක්ස කේන්තියෙනි.

වයර් මාරු වන තරම් කෝප වී සිටි හාමිනේගේ කන් වලින් දුම් දමද්දී හාමිනේගේ චිත්‍රපටිය පසෙක තබා කණ්ඩා තමන්ගේ පාඩුවේ අලුතින්ම නිකුත් වූ ක්‍රියාදාම චිත්‍රපටියක් නැරඹුවේය 😀

කම්මැලි සිතුන විට කණ්ඩා චීස් සමග වයින් වීදුරුවක් වයින් බෝතලයක් රස බලමින් සංගීතයට සවන් දුන්නේය, එය අහවර වූ විට නැවතත් චිත්‍රපටිද මදි පාඩුවට පරිඝනක ක්‍රීඩා මෙන්ම ජංජාල පහසුකම් සමග වයිෆයි පවා තිබුණු බැවින් කාලය ගතවෙනු දැනුනේම නැත.

අපගේ ගමනාන්තය බර්මින්හැම් උවද, ලන්ඩන් හරහා පැය කිහිපයක වට වංගුවක් හෙවත් ඩී-ටුවර් එකක් දමන්නට සිද්ධ උනේ හාමිනේගේ නෑදෑ පවුලක් සහ ඔවුන්ගේ සිඟිති දියණියගේ සැප දුක බැලීමට යායුතු බවට ඇය අවධාරණය කළ හන්දාය.

බර්මින්හැම් ගුවන් තොටුපළට ගොඩබසින එක කන්තෝරුව වෙත ලඟා වීමට පහසු උනත් එයට හැතැප්ම සියයක් පමණ එහායින් ඇති හීත්‍රෝ ගුවන් තොටුපොළ තෝරා ගත්තේ එය නෑදෑ පවුල විසූ නිවසට වඩාත් ආසන්න නිසාය.

කරදරයකින් තොරව හීත්‍රෝ ගුවන් තොටුපොළට ගොඩ බැස්සත් රේගු කවුන්ටර අසල දරණ ගැසූ සර්පයෙක් මෙන් වංගු ගැසුණු මගීන් 600-700 ක් දෙනා ගෙන් යුතු පෝලිමක පැයකට ආසන්න කාලයක් රස්තියාදු වන්නට අපට සිදුවිය. ඒ අද වන තුරු මා ගුවන් තොටුපොළකදී වැඩිම වෙලාවක් ගත කළ සහ අත්දුටු දිගම පෝලිමයි.

එහි බ්‍රිතාන්‍ය ජාතිකයන් සඳහා වෙන් වූ ගුවන් ගමන් බලපත්‍රය ස්කෑන් කර කඩිනමින් ඇතුළුවිය හැකි ස්වයංක්‍රීය ගේට්ටු තිබුණද අනෙක් මගින් සඳහා එවන් පහසුකම් නැත. පැයක පමාවකින් පසුව අප දෙදෙනාගේ වාරය පැමිණි විට කාල වෙලාව මද කම නිසාදෝ පෙර අවස්ථා වලදී මෙන් මෙවර කිසිම ප්‍රශ්න කිරීමකට ලක් වන්නට සිදු වුයේ නැත.

Caos at Heathrow

රේගුවෙන් පැන ගත් ගමන් කණ්ඩා කෙලින්ම ගියේ සිම් කාඩ් පතක් මිලදී ගන්නටය, ඔටුවගේ රටේදී කන්තෝරුවේ මොබයිල් එකට දුන්නු අනන්තයට යන ඩේටා සහ කෝල් දන්සැල මෙහේට අදාළ නැත. එනිසා ඉන්නා සති දෙකට සෑහෙන්න; ලාබෙට තියන මොකක් හෝ මගුලක් අර ගත යුතුය.

කන්න, බොන්න, රෙන්න නැතිව හිටියත් ඩේටා පැකේජ් එකක් නැතිව ජංජාලෙන් ඉවත්ව ඉන්නවා කියන්නේ හාමිනේ අත පය පන නැතිව අබ්බගාත උනා හා සමානය. කරුමයට මේ තියන පැකේජ් වල ගණන් මිමි අනුව ඒවාට ඩේටා බාන්නේ දිවිය ලෝකෙන්ම විය යුතුය, එහෙමත් නැතිනම් ඒ නොවටිනා ගණන් වලට හේතුවක් නොපෙනේ.

රැජින ආච්චිගේ රටේ කණ්ඩාට වඩා යාලු මිත්‍රාදීන් හාමිනේට සිටින නිසා කණ්ඩාගේ හිත නිදහස්ය, මෙහි පැමිණ කන්තෝරු යන හැම විටකම කණ්ඩාට වෙනදාට මෙන් සැරින් සැරේ වග උත්තර දෙන්නට වන දුරකථන ඇමතුම් වලින් කරදරයක් නැත්තේ හාමිනේ එවන් දවස් වලට පට්ට බිසී නිසාය.

හාමිනේ විසින් අටෝරාසියක් වන නෑදෑ මිත්‍ර සනුහරය සමග ඕ.පී.ඩී.පී. (OPaDooPa) ඇරියස් කවර් කරන්නට සහ මොනවා කරත් නොගසාම බැරි මොබයිල් ගේම් සඳාහා ජංජාල සහ දුරකථන පහසුකම් අත්‍යවශ්‍යය.

සිලිං බිලිං ගා පවුම් කීයක් දුරකථන බිලට වැය උනත් හිතේ සහනය එයිට වඩා වැදගත්ය, ගුවන්තොටු පොළෙන්ම සිම් කාඩ් පතක් මිලටගෙන දී කට පියාගන්නට කණ්ඩා තීරණය කළේ ගැලවිජ්ජාවටය 🙂

එසේ නොවුණහොත් හාමිනේ සෙට් කරන්නට යෙදෙන ඉඩ කඩම් උගස් තැබිය යුතු “ඉට්-ඊස්-අ-ලැට්” රෝමින් (Etisalat Roaming) බිල මතක් වී කණ්ඩාට සිහින් දාහඩිය දමන්නට විය. ඉහමොළ රත්වන ගණන් දී උවත් ඒ අවස්ථාවේ හැටියට නොගෙන බැරි නිසා 6GB ඩේටා සමග විනාඩි 1000 ක පැකේජයකින් සැනසෙන්නට සිදු විය.

සුද්දා කියා ඇත්තා සේ අනිවාර්යයෙන් හැපී වයිෆ් යනු හැපී ලයිෆ්ය ( Happy Wife – Happy Life ) !

ඒ අතරතුර අප කැටුව යාමට ඥාති සොයුරා ගුවන්තොටුපොළ වෙතම පැමිණි නිසා ඒ ගැන කරදර වෙන්න කාරණයක් නොවීය. රැජින ආච්චි අම්මාව බලන්නට ආ පෙර ගමන් වලදී මේ ජෝඩුව අපේ දුක සැප බලන්නට ලන්ඩන් වෙත මෙන්ම කිලෝ මීටර සිය ගණනක් ගෙවා බර්මින්හැම් වෙත පවා පැමිණියෝය.

ඒ මදිවාට අපත් කැටුව ලන්ඩන් සහ බර්මින්හැම්හි චීන ටවුන් සහ නත්තල් සැණකෙළි පීරමින් බඩ කට පැලෙන්නට දෙසා බෑ හැටි මතකයන් තවමත් අළුත්ය. එහෙම යුතුකම් හැම කෙනෙක්ගෙන්ම බලාපොරොත්තු විය නොහැකිවා මෙන්ම එසේ කරන උදවිය අමතක කිරීමද කාට උවත් තරම් නොවේ. ඒ නිසා මේ ගමන ගැන කණ්ඩාගෙන්ද කිසි විරෝධයක් තිබුණේ නැත.

ලන්ඩන් නුවරට විනාඩි 40 ක තරම්  ඈතින් කොළ පැහැයෙන් පිරුණු මනරම් ප්‍රදේශයක වූ ඔවුන්ගේ නිවස වෙත යන ගමන කාන්තාරයක සිට පැය හයකටත් වඩා දුර පැමිණි ගුවන් ගමනේ විඩාව නිවන්නට සමත් විය.

නමුත් මේ ගැන විශේෂයෙන් ලියන්නට සිත් වුයේ වෙනස්ම කාරණයක් නිසාවෙනි, ඒ අන් කිසිවක් නොව ඔවුන් ඇමතීම සඳහා හාමිනේ විසින් භාවිතා කරනා අමුතුම පන්නයේ නෑදෑ සබදකම්ය.

ඥාති සොයුරියක් කිව්වාට හරි හමන් නෑදෑකම් අනුව නම් ඇය හාමිනේගේ ඥාති දියණියකි. හාමිනේ ඇගේ මවට සහ පියාට අක්කා-අයියා කියා කට පුරා අමතන්නේ හාමිනේගේ මව ඔවුන්ගේ නැන්දණියක් නිසාය. නමුත් අක්කා-අයියාගේ දියණියට සහ ඇගේ සහෝදරයාට නංගි සහ මල්ලී යයි අමතන්නේ අහළ පහළ ඉන්නා උන්ගේ මොළය කොලොප්පං වෙන්නටය.

මේ අපබ්‍රංසය මටත් ලිහා ගන්න බැරි අවුලක් නිසා මෙය කියවන ඔබත් අවුල් උනාට මට අවුලක් නැත, අවුලක් නැති පවුලක් මෙන්ම පවුලක් නැති අවුලක්ද අතිශය දුලභය. මේ අවුලේ මුල මෙන්ම අවුලේ පැවැත්මද හාමිනේය 🙂

වැදගත්ම කාරණය ඔය මොනවා කිව්වත්, හාමිනේ පිළි ගත්තත් නැතත් පොඩි එකී හාමිනේට මිණිපිරියකි, හාමිනේ ඇයට ආත්තම්මා කෙනෙකි 😀

හිතේ අමාරුවෙන් උනත් සුනිල් අයියා කිව්වා වගේ අපි කවුරුත් දැන් ටික .. ටික .. දැන් ටික ටික වයසට යනවා යයි පිළිගන්නට හාමිනේ කැමති නැත !

තත්වය මෙසේ තිබියදී සම වයසේ සිටින ඥාති දියණියට දුව කියන එකත් ඇය හාමිනේට නැන්දා කියන එකත් හෙනම අවුලක් නිසා දෙපාර්ශවයම අත්සන් නොකළ අන්‍යොන්‍ය ගිවිසුමක් මත එකිනෙකා ඇමතීම සඳහා අක්ක-නගෝවට බැස ඇත්තේය.

හාමිනේගේ මේ අබුද්දස්ස නෑදෑකම් පටළවාගෙන මොළේ බොයිල් කර ගන්නට අකමැති නිසා කණ්ඩාද මේ සියල්ලන් අම්මා-දුව, අක්කලා-නංගිලා බවටද තාත්ත-පුතා අයියලා-මල්ලිලා බවටද පත් කරගෙන ඇත 😀

හාමිනේගේ අමුතු නෑදෑ කම් ගැන කතාන්දර ඔන්න ඔහොමය !!!

බොහෝ කලකට පසු හමු වූ මේ යුවල සහ ඔවුන්ගේ පවුලට අලුතින් එකතු වූ අමුත්තිය වු දූ සිඟිත්තගේ හුරතල් බලමින් ආගිය තොරතුරුද කතා බහ කරද්දී කම්මැලිකමක් හෝ කාලය යනවා තේරුනේ නැත.

ජෝඩුවම එක්ව පිළියෙළ කර තිබූ කෑම බීම සඳහාද නොසෑහෙන්න මහන්සි වී තිබුණු නිසාත් රස නිසාත්, උදේට කිරිබත්ද දවල්ට බුරියානිද බ්රේක් නැතිව ඇඹරූ කණ්ඩා සහ හාමිනේ දිවා අහාරයෙන් පසු හිටියේ හුස්ම ගැනීමටවත් බැරි ඉස්මුරුත්තාවෙනි 😀

නෑදෑයන්ගෙන් සමුගත් අප දුම්රිය පොළ වෙත ගියේ බර්මින්හැම් බලා යන්නට දුම්රියක් අල්ලා ගැනීමටය, පැය දෙකක පමණ පහසු ගමනකින් අනතුරුව අප බර්මිංහැම් වෙත ළඟා වුයේ කුඩා නමුත් ඉතා සිත් ගන්නා සුළු අලංකාර පැරණි දුම්රියපොළක් වන බර්මින්හැම් මුවර් ස්ට්‍රීට් හරහාය. එහි සිට මීළඟ දුම්රිය ගැනීමට බර්මින්හැම් නිව් ස්ට්‍රීට් දුම්රියපොළ වෙත යායුතුය.

මෙවර බ්‍රිතාන්‍ය තුළ රැඳී සිටි සති දෙකක කාලය අතරතුර සාමාන්‍යයෙන් කිසි ලෙසකත් බලාපොරොත්තු නොවන අස්වාභාවික මෙන්ම ඛේදජනක සිදු වීම් කිහිපයක්ම සිදු විය. මෙම අනපේක්ෂිත සිදුවීම් වල අරම්භය පිලිබඳ පළමු ඉඟිය අපට ලැබුණේ එහි සිට අති නවීන පහසුකම් සහිතව අලුතින් ඉදිකළ නිව් ස්ට්‍රීට් දුම්රියපොළ වෙත යද්දීය, සාමාන්‍යයෙන් එතරම් වාහන තද බදයක් නොමැති නගරය පුරා දැඩි වාහන තදබදයකි.

(බර්මින්හැම් මුවර් ස්ට්‍රීට් සහ නිව් ස්ට්‍රීට් දුම්රිය පොළ)

ග්‍රීෂ්ම කාලය පුරා පවා වද දෙන ඉංග්‍රීසි කාලගුණය ගැන සිතමින් සිරි පොද වැස්සක් යටින් බර්මින්හැම් නිව් ස්ට්‍රීට් දුම්රියපොළ වෙත අප ළඟා විය. එහිදී කිසිසේත්ම අනපේක්ෂිත අයුරින් කණ්ඩාගේ කන්තෝරුව පිහිටා ඇති වෝල්සෝල් – Wallsall නගරය වෙත යන දුම්රිය සියල්ල යලි දැනුම් දෙනතෙක් කාල වේලාවක් රහිතව අවලංගු කර ඇත.

බස් රථයක් හෝ ටැක්සියක් ඇරෙන්නට වෙනත් විකල්පයක් නැත, කොරේ පිටට මරේ කියන්නා මෙන් ඇද හැලෙන සිරිපොද වැස්සද විටින් විට තද වෙන්නේ ඔලොක්කුවට මෙනි, වැහි දෙයියෝ දැන්මම අහක බලනා පාටන් නැත 😦

අප සතුව රේන්කෝට් යුගලක් (මේ රේන්කොට් වැස්සට පාවිච්චි කරන ඒවා බව කරුණාවෙන් සලකන්න) තිබුණද හාමිනේ ඒවා වැස්සකට උනත් නොතෙමෙන ලෙස වැඩි පරිස්සමට ගමන් මලු අස්සටම ඔබා ඇති නිසා ඉන් ඇති ප්‍රයෝජනයක් නැත. දැනට තුන් වසරකට කලින් “ස්ටෝන් හෙන්ජ්” (Stone Henge) බලන්නට ගොස් නාපු අමුතුම නෑමක් නිසා එයට පසු දාම මිලදී ගත් රේන්කෝට් අද වෙන තුරු කිසිම දාක පාවිච්චියට ගෙන නැත.

හාමිනේගේ වැඩ එහෙමය, මේ රේන්කෝට් යුගලයට ආපසු කවදා වැස්සක් තියා වැහි කඳුලක්වත් දකින්නට හම්බ වේ යයි හිතා ගන්නට කණ්ඩාට බැරිය 😀

මේ වැස්සේ බෑග් මලුත් කර තබාගෙන වැස්සේ බස් හොයමින් බඩ ගාන්නට නොහැක, ගමනේ තවත් හැතැප්ම 20-30 ක් ඉතිරිව තිබුණත් පහසුම සහ හොඳම විකල්පය ටැක්සියකට ගොඩ වෙන එකය. මද වෙලාවක් බලා ඉඳීමෙන් අනතුරුව ටැක්සියක් අල්ලා ගැනීමට අපට හැකි විය.

ඉතා මිත්‍රශීලී පකිස්තානු ජාතිකයෙකු වූ රියදුරා අපවෙත මුලදීම අනතුරු ඇඟවූයේ එදින නගරය තුළ අසාමාන්‍ය වාහන තදබදයක් ඇති නිසා ගමන දිගු සහ මිල අධික එකක් විය හැකි බවය. ගාස්තු සියල්ල කන්තෝරුවෙන් ගෙවන නිසා දැන් ඒ ගැන වැඩි දුර නොහිතා ගමන ආරම්භ කළෙමු.

අප ඩුබායි සිට පැමිණි බව දැනගත් රියදුරා තමන් පකිස්තානයට යන අතරමග කිහිපවිටක් ඩුබායි වෙත පැමිණ ඇති බවත්  ඒ ආගිය ගමන් විස්තර කියමින් අප සමග බෙහෙවින් කුළුපග විය. නොසෙල්වෙන වාහන තදබදය අතර විනාඩි 20ක් පමණ නගරය තුල හිර වී සිටි අපට කරන්නට වෙනත් දෙයක් නොවීය.

එනසා අන්තර් ජන්ජාලය පීරමින් සිටි හාමිනේ සොයා ගත්තේ ඇඟේ මයිල් කෙළින් වන ප්‍රවෘතියකි. අප යායුතුව ඇති වෝල්සෝල් වෙත දිවෙන A38/M6 අධිවේගී මාර්ග සහ දුම්රිය මග අසබඩ ඇස්ටන් (Aston) පෙදෙසින් දෙවන ලෝක යුධ සමයේදී හෙලන ලද පුපුරා නොගිය රාත්තල් 550 ක් පමණ වන ජර්මානු බෝම්බයක් සොයා ගෙන ඇති බවය. (බෝම්බය ගැන වැඩි විස්තර මෙතැනින්)WWII Bomb in Birmingham

එංගලන්තය ගැන නොදන්නා මුත් ඔබ පාපන්දු ලෝලියෙක් නම් ඇස්ටන් විලා පාපන්දු කණ්ඩායම (Aston Villa Football Club) ගැන අසා ඇතැයි සිතමි. ඇස්ටන් විලා පාපන්දු කණ්ඩායමේ නේවාසික ක්‍රීඩා පිටිය වන “විලා පාක්” ක්‍රීඩාංගනය (Villa Park) පිහිටා ඇත්තේ මේ අවට හූවක දුරින්ය.

බෝම්බ සහ පිපිරීම් සිරි ලංකාවේ අපිට නුහුරු ලොකු දේවල් නොවේ, රටම අගාධයක දැමූ උතුරේ යුද්ධය නිම වී වැඩි කාලයක් නැත. බෝම්බ සඳහා ප්‍රසිද්ධ ඇෆ්ගනිස්තානය, සෝමාලියාව, අයිවරි කෝස්ට් සහ ලයිබීරියාව වැනි රටවල ගොස් පන බේරාගෙන ආ අත්දැකීම් ඇති කණ්ඩාට මෙය තවත් එක පුවතක් පමණක් උවද මිඩ්ලන්ඩ්ස් ප්‍රාදේශීය මාධ්‍ය ඒ ගැන නොසෑහෙන කලබලයක් මවා පෑවේය.

මේ පුපුරා නොගිය බෝම්බය වර්තමානයේ  “බ්‍රිතාන්‍ය සටන” (Battle of Britain) ලෙස හඳුන්වන දෙවන ලෝක යුධ සමයේ නට්සි ජර්මානු ගුවන් ප්‍රහාරයන්හි වත්මන් ශේෂයන්ය. එහිදී ජර්මනිය විසින් හෙලන ලද ටොන් 30,000 ක පමණ බෝම්බ මගින් 40,000 ක පමණ බ්‍රිතාන්‍ය වැසියන් පිරිසක් මිය යන්නට ඇතැයි අනුමාන කෙරේ.

පහත දැක්වෙන සිතියමේ ලන්ඩන් නුවරට පමණක් එල්ල වූ ගුවන් ප්‍රහාර දෙස බැලූවත් එකල ලන්ඩන් සිරි ලංකාවේ උතුරු-නැගෙනහිර පැවති තත්වයට සමාන වන්නට හැකි යයි කණ්ඩාට සිතේ,

දෙවන ලෝක යුධ සමයේ ලන්ඩන් නුවරට එල්ල වූ ගුවන් ප්‍රහාර

කණ්ඩාට දැන ගන්නට ලැබුණේ දෙවන ලෝක යුද්ධය නිමාවී වසර 70 ක් ගතවීමෙන් පසුව අදටත් ඒ අඳුරු හෙවනැලි හොල්මන් කරන්න බවය.

වෝල්සෝල් වෙත යන දුම්රිය ගමන් සියල්ල ඇන හිටවීමට හේතුව දැන් පැහැදිලිය, අවසානයේ පැයකටත් අධික කාලයක් වාහන වලින් පිරුණු අතුරු මාවත් ඔස්සේ ගූගල් දෙයියන්ගෙන් පාර අසමින් ගිය අප බරපතල බිලක්ද සමග අප නවාතැන්පල වන ලීච්ෆීල්ඩ්හි (Lichfield) පිහිටි හෝටලය වෙත ලඟා වීමු.

පසුදා මා රැගෙන යන්නට පැමිණි “ලිස්” (Lis) අප දෙදෙනාවම උණුසුම් ලෙස පිළිගත්තාය, එදා කන්තෝරුවට යදදීත් වැස්ස සහ M6 අධිවේගී මාර්ගය මගහැර එන වාහන නිසා මග දෙපැත්තටම තදබදය වෙනදාට වඩා වැඩිය.

තදබදය කෙසේ වෙතත් මැදපෙරදිග සිට පැමිණියත් හිරු එළිය රැගෙන නොපැමිණීම ගැන මා හට දොස් අසන්නට සිදු වූ නිසා, නොවරදවාම ලබන සතියයේ තැපෑලෙන් එවන්නට ඇයට පොරොන්දු වුයේ කණ්ඩා උදේ ආහාර ගන්නා ගමන් එන සතියේ කාලගුණ වාර්තාව බැලූ නිසාය 😉

උදෑසන තේ විවේකය අතර තුරත් කන්තෝරුවේ ප්‍රධාන මාතෘකාව බෝම්බයයි. මගේ මතය වූයේ ජර්මානු බෝම්බ ජර්මනියටම දිය යුතුය යන්නයි. අනික බ්‍රිතාන්‍ය යුරෝපිය සංගමයෙන් පවා ඉවත් වන්නට තීරණය කර ඇති එකේ දෙපාරක් නොහිතා බෝම්බය ස්වස්තිකය සහිත නට්සි කොඩියකින් ඔතලා ජර්මනියටම බාර දුන්නා නම් වැඩේ අහවරය.

එයට එකහෙළා එකඟ වූ ඔවුන් පැවසුවේ ජර්මනියෙන් එන එකම හොඳ දේ කාර් (BMW, Porsche සහ Benz  වැනි) පමණක් බවය 😀

ඉන් දිනකට පසු බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් වැලි ටොන් 250ක් පමණ බෝම්බය වැසෙන සේ අසුරා අවට ඇති ගොඩනැගිලි වලට අනතුරු අවම වන සේ පුපුරවා හරින ලදී.

 

~ මතු සම්බන්ධයි !

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ I කොටස ~ රැජින ආත්තම්මා වෙත ආදරයෙන් ලියමි … 

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ III කොටස ~ බ්‍රමී නුවර සහ ලිච්ෆීල්ඩ් !

Advertisements