කුඹුරක මළගම සහ පිට්ටනියක උපත !
බොහෝ කාලයක පටන් අප පාසලට ක්‍රීඩා පිට්ටනියක අඩු පාඩුව පැවතියත් ඒ පිලිබඳ කිසිවෙක් වැඩිදුර මැසිවිලි නැගුවේ වත් ආඩපාලි කියන්නවත් ගියේ නැත. එහෙම ඕනෑකමක් තිබුණත් අපිට ඇහුම් කම් දෙන්නට කවුරුවත් එදා හිටියා යයි මට හිතෙන්නේද නැත.
නමුත් සිසුන් සියල්ල එකම තැනකට ගෙන පාසලේ උදෑසන රැස්වීම පවත්වන්නට, එහෙමත් නැතිනම් ක්‍රීඩා උත්සවයක් පවත්වන්නට ඉඩ කඩක් සුභාරතියේ එදා නොතිබීම දැඩි අඩුපාඩුවක් බව බොහෝ දෙනාගේ මතය විය.
ක්‍රීඩා උත්සවයක් නම් ඒ සඳහා ක්‍රීඩා පිටියක් ඇති වෙනත් විද්‍යාලයක් වෙත යාමත් රැස්වීම් ඉඩ කඩ ඇති ලෙස පන්ති කාමර සහ එළිමහනේ තැන් තැන් වල තැබීමත් ඒ වෙනුවෙන් වූ එකම විකල්පයයි.
මීගොඩ මධ්‍ය මහා විදුහලට හෝ පනාගොඩ පරාක්‍රම විදුහල අහල පහල තිබුණත් එදා ක්‍රීඩා වෙනුවෙන් එහි ගිය බවක මතකයක් කණ්ඩාට නැත, මේ ගැන මතකය වැරදි නම් නිවැරදි කරත්වා !
නමුත් මේ සම්බන්ධයෙන් “කොළඹට කිරි, අපිට කැකිරි !” කියමින් කවුරුවත් පෙළපාලි නොගියේ අපිත් අයිති වෙන්නේ කොළඹටම නිසා විය යුතුය. අනික එහෙම ගියා නම් කියන්න වෙන්නේ “බොටත් කැකිරි, මටත් කැකිරි !” කියාය 😀
නැති දේට නහයෙන් අඬනවාට වඩා පාසල ඉදිරිපිට කුඹුරට බැස මාළුන් ඇල්ලීම, බත් කූරන් සහ පළගැටියන් කොටු කිරීම වැනි කොලොම්පුර බොහොමයක් පාසල් ළමුන්ට නොලැබෙන අවස්ථාව අපට ලැබුණේ අපේ වාසනාවටය.
පිට්ටනියක් නොතිබුණත් පාසල ඉදිරිපසටම වෙන්නට තිබුණු සෑහෙන වපරිසරයකින් යුතු කුඹුරු ඉඩම අප සිත්ගත් සාම්ප්‍රදායික නොවන වෙනත් සෙල්ලම් වලට මග එළි කළ නිසා කනගාටුවට හේතුවක් තිබුණේ නැත.
මේ සඳහා පාසල් විවේක කාලයේදීත් පාසල කාලය අහවර වූ පසුව හෝරාවක දෙකක කාලයත් වෙන් වී පැවතුණි, ඉඳහිට කලාතුරකින් ගුරු මණ්ඩලයෙන් ලද මද තරවටුවක් විනා අතහැර දැමූ මේ කුඹුරට බැස රිසි සේ නටන්නට අපට අවහිරයක් තිබුනේ නැත.
මාළුන් ලෙස අපට බොහෝ විට හසු වූයේ දණ්ඩි, වැලිගොව්වන් සහ තිත්ත පැටව්ය, මේ අතර ඉඳහිට කුඹුරට බැස අතින් මාළු අල්ලන්නට ගොස් හුංගන් විදීම නිසා වේදනා විඳින්නට වුණු එවුන්ද අප අතර විය. මේ මාළුන් අතර මඩකරියන් නොසිටියද ඕසේට හිටපු කකුල් දෙකේ මඩකරියන් නඩය එහි අඩුපාඩුව මැකුවේය.
ප්‍රයෝජනයට නොගෙන අත හැර දමා තිබුණු මේ පුරන් කුඹුරින් එකල යමෙක් ප්‍රයෝජන ගත්තේ නම් ඒ ගව පාලනයේ නියුතු අසල්වාසීන් විසින්ය, මේ කියන්නේ කණ්ඩා ඇතුළු කොලු කෙලි නඩය නොව කුඹුරේ බඳිනා පස්ගෝ රස සපයන කකුල් හතරේ හරකුන් ගැනය.
කුඹුරේ සිටවූ දඬු වල ගැට ගැසූ එළ හරකුන් සාරයට වැඩි ඇති තණකොළ බුදින්නේ ඉඳහිට ඔලුව උස්සා බැලුවත් කුඹුර පුරා දඟලන පාසල් සිසුන් පයිසෙකට වත් මායිම් නොකරය.
ඒ අතරින් පතර මී හරක් ලගින විශාල මඩවලවල් කිහිපයක්ම පුරා තැනින් තැන විසිරී තිබුණි. නාඳුනන අය ළඟ පාතකට එන විට පිඹින්නට පටන් ගන්නා මී හරක් අනීවි යන බය නිසා උන් අසලට යන්නට තරම් නිර්භීත කිසිවෙක් අප අතර සිටියේ නැත.
අපි නැති වෙලේට උන්ගේ පාළුව මකන්නට ඉන්නේ කැලතෙන මඩේ හැංඟී ඉන්නා මාළුන් බුදින්නට එන අවස්ථාවාදී කොරවක්කන් සහ කොකුන් පමණි.
මේ කුඹුර පුරන් වෙන්නට කලක් තිස්සේ අතහැර තිබූ නිසාදෝ නියරවල් සියල්ලම පාහේ ලියලිවලටම හේදී ගොසින්ය. එනිසා ඇවිදින විට පය ලිස්සා හෝ මඩේ එරී විවිධ අකරතැබ්බයන්ට මුහුණ දෙන්නට සිදු වනදාට පාසල් නිළ ඇඳුමට දෙවියන්ගේම පිහිටය 😀
මේ ගැන වැඩි තැකීමක් නොකළ අහල පහළ ගෙවල් වල විසූ ඇතැම් ළමයින් පාසලෙන් පසුව කුඹුරේ ලගින අම්බරුවන්ටත් වඩා හොඳින් මඩ නාන්නට පුරුදුව සිටියේය.
නමුත් තරමක දුර සිට පාසලට බස් රථයක හෝ දෙමව්පියන් සමග පැමිණි අපට ඒ වාසනාව හිමි වූයේ කලාතුරකිනි. මඩ නාගෙන බස් රථවල ගමන් ගැනීමට තිබුණු අපහසුවත් හරක් ලෙස නොහැසිරෙන ලෙස නිතර දෙමව්පියන්ගෙන් ලද සත්තම්ද මෙයට විශේෂයෙන් බලපෑවේය.
වැදගත් කාරණය වන්නේ මේ එළ හරකුන්, මී හරකුන් සහ මදි පාඩුවට සිටි කකුල් දෙකේ ළපටි වස්සන් වැස්සියන් සියල්ල සහජීවනයෙන් කුඹුර බෙදා හදාගෙන භාවිත කිරීමය.
මේ කියනා සමයේ ඉඳහිට කුඹුර තහනම් කලාපයක් බවට පත් වූ විට, පාසල් වත්ත තුළ වර්තමානයේ තරම් ගොඩනැගිලි නොතිබූ නිසා ඉතිරිව තිබුණු ඉඩ කඩ හැකි අයුරින් භාවිතා කළේ ඔට්ටු සෙල්ලම්, කබඩි, ජිල් බෝල සෙල්ලම් සඳහාය.
කණ්ඩාගේ මතකය නිවැරදි නම් මෙසේ දිනෙන් දින විවිධ හේතූන් මත අතපසු වූ ක්‍රීඩා පිටියකට අඩු පාඩුව පිලිබඳ විශේෂ අවධානයක් යොමු වුනේ අප දෙවන වසරේ පමණ ඉගෙනුම ලබද්දීය.
එනම් මේ කාරිය ඉක්මනින් නිම කළ යුතු වැදගත් ව්‍යාපෘතියක් ලෙස ඉදිරියට පැමිණියේ ටී. වෙරළුපිටිය විදුහල්පතිතුමාගේ රාජකාරි සමයේය.
අපේ පාසලටත් ක්‍රීඩා පිටියක් ලැබෙන්නට යන බව පාසල් සංවර්ධන සමිති රැස්වීමකට හෝ එවැනි යමකට ගොස් පැමිණි තාත්තා අම්මා සමග කියනු ඇසුනා යන්තම් මතකයි, මෙහෙම කනින් කොනින් ආරංචි උනත් අපි ඒ ගැන වැඩි විස්තර දැන සිටියේ නැත.
ඔය අතරදීම ඒ සඳහා ආණ්ඩුවෙන්ද ආධාර මුදල් ලැබී ඇති රාවයක්ද පැතිර ගියේය. කණ්ඩා බටු ඇටේකට දෙහෙකට වඩා උස නැති කොලු ගැටයෙක් වූ ** මේ සන්දියේදී ආණ්ඩුව යනු කුමක්දැයි දැන් සිටියේ නැත.
( කණ්ඩාව හඳුනන කට කැඩිච්චි කතා කියන ඇතැම් එකාලා නම් කියන්නේ අදටත් ඒ හැටි වෙනසක් නැති බවය 😦 )
ඇත්තෙන්ම කියනවා නම් අපි ආණ්ඩුවට වඩා අම්මලා ගෙදරදී බලෙන් කෑම ගිල්ලවද්දී තරවටු කල කෑම නොකෑ උන්ට හැදෙනා පාණ්ඩුව ගැන දැන සිටියෙමු.
ආණ්ඩුව යනු කුමක්ද යයි ගෙදරින් විමසු කල ඒවා තේරුම් ගන්නට අපි ළපටි වැඩි යයි කියා අපිට කියුවේ පාසලට සල්ලි දෙන්නේ සහ පාරවල් හදන්නේ ආණ්ඩුවෙන් බවය. ඒ නිසා ආණ්ඩුවට ඔය කියන තරම් සල්ලි තියනවා නම් ආණ්ඩුවත් හන්දියේ ප්‍රසාද් හෝටලයේ මුදලාලි මෙන් ලොකු කෙරුම්කාරයෙකු වන්නට ඕනෑ යයි අපි එකත් එකටම අනුමාන කළෙමු.
පාණ්ඩුවෙන් හරි ආණ්ඩුවෙන් හරි අපට සෙල්ලම් කරන්නට පිට්ටනියක් ලැබෙනවා නම් ඉන් එහාට වදවෙන්නට කාරියක් නැත. තත්වය මෙසේ තිබියදී දිනක් උදේ පාන්දර රැස්වීමේදී මේ ගැන වැඩි විස්තර විදුහල්පතිතුමා විසින් පාසලේ සියලු දෙනා හටම නිවේදනය කරන ලදී.
එහිදී ක්‍රීඩා පිටිය තනන්නට යන්නේ පාසල ඉදිරිපිට ඇති පුරන්ව ගිය කුඹුරේ බවත් එහි වැඩ කටයුතු ළඟදීම ආරම්භ වන බවත් ඇරෙන්නට වැඩි දෙයක් කියවුනේ නැති බව කණ්ඩාට මතකය.
එතෙක් කල් පුරන් වී ගිය කුඹුරු ඉඩම පිලිබඳ එතෙක් කිසිවෙකුගේ අවධානයට යොමු වී නොතිබුණේ එය පස් පුරවා සංවර්ධනය කර වෙනත් කටයුත්තක් සඳහා යොදා ගැනීම ඉතා මිල අධික කාර්යක් නිසා වෙන්නට ඕනෑය.
අපට පිට්ටනියක් හම්බ වෙන්න යන එක වාසනාවක් උනත් අවාසනාවකට අපි එතෙක් සෙල්ලම් කරපු කුඹුර නැති වෙනවා කියන එක එදා අපිට ලොකුවට තේරුම් ගියේ නැත.
එක් සති අන්තයකට පසු අපි පාසල් යද්දී පාසල ඉදිරිපිට අමුතුම විපරියාසකට ලක් වෙලාය, කුඹුර අයිනකට වෙන්නට උසට උසේ රතුම රතු පාට පස් කඳු පෝලිමක් ගොඩ ගසලාය, කුඹුරේ ඇති කළු පැහැ ගැන්වුණු සාරවත් මඩින් පිරුණු කොලපාට තණකොළ වැවිච්චි ලියදිත් එක්ක මේ අලුත් පස් කිසි ලෙසකින් නොපෑහෙන බව එළිපිටම පෙනෙන්නට තිබුණ.
අර උසට උසේ තියන පස් කඳු උඩට නගින්න කොයිතරම් ඕනෑකමක් අසාවක් තිබුණත්, උදේ පාන්දරම පාසලට ඇවිත් තිබුණු ගුරුවරු ඒ අහලකටත් නොයන ලෙස තරවටු කල නිසා කුඹුර ගිල ගන්න අඟහරු ලෝකෙන් පැමිණි අමුතු සතෙක් දිහා බලන් ඉන්නවා වගේ ඈතට වෙලා පස් කඳු දිහා බලන් ඉන්ට අපිට සිද්ධ උනා.
එදින උදෑසන රැස්වීමේදීත් වැඩි වෙලාවක් වෙන් වුයේ මේ පිලිබඳ කතා බහටමයි, ඉදිරි සති කිහිපය තුළ පිට්ටනිය සැකසීම සඳහා විධ යන්ත්‍ර සුත්‍ර සහ පිටස්තර උදවිය පැමිණෙන බවත් එහිදී විදුහල්පතිතුමා විසින් දැනුම් දුන්නේ වෙනදාටත් වඩා බොහොම වචන බර කරලා.
තව දුරටත් සිසුන් සියල්ල මේ අනතුරුදායක ඉසව්වෙන් ඉවත් වී වැඩ කරන්නට එන උදවියට අවහිර නොවන සේ හැසිරිය යුතු බවටත් එසේ නොකරන සිසුන් හට දඬුවම් විඳින්නට සිදු වනු ඇති බවටත් අනතුරු ඇඟවීමක්ද ලැබුණේය.
ඒ සමගම හැම දෙනා අතර හදිසි කසු කුසුවක් පැතිර ගියේ එතෙක් පෙරුම් පුරාගෙන හිටි අයුරෙන් පස් කන්ද උඩ නගින්නට අවස්ථාව ලබා ගැනීම සිතු තරම් ලෙහෙසි නැති බව පැහැදිලි වූ හන්දාය.
එදා රැස්වීමෙන් පස්සේ ආපහු පන්ති කාමර වලට ගියත් අපිට පස් කඳු ගැන අමතක උනේ නම් නැහැ, ඒ නිසා දවස් කිහිපයක්ම යනතුරු ඉස්කෝලේ පටන් ගන්න කලින් සහ අහවර වෙලා ඉඩ ලැබෙන හැම වෙලාවකම පස්සේ මේ පස් කඳු උඩ සෙල්ලම් කරපු එක තමයි හැමෝගෙම ප්‍රියතම වැඩේ.
ඔය අතරතුර දවසක විවේක කාලය කිට්ටු වෙන්න පාසල ඉස්සරහින් ඇසෙන්නට වුණු බර අදින මහ ලොරි ගොඩක ඝෝෂාවත් එක්කම හැමෝටම තිබුන ලොකුම ප්‍රශ්නය ඒ සද්ද මොනවද ? කියන එක විතරයි.
පොඩි ඉඩක් ලැබුණු ගමන් කොට බිත්තියට උඩින් ගහපු පන්තියේ දැල් කවුළුවේ එල්ලිලා වඳුරු පැටව් ටිකක් වගේ බලන් හිටියත් මොකද්ද වෙන්නේ කියල පෙන්නේ නැති නිසා ඉන්ටවල් එක වෙනකම්ම ඉවසන් ඉන්න පිට සිද්ධ උනා.
වෙනද ඉන්ටවල් බෙල් එක ගහපු ගමන් අඹ ගහ යට අයිස් පලම්, බොම්බයි මොටයි සහ වෙරළු අච්චාරු කන්න දුවපු උදවිය එදා එව්වා අමතක කරලා එක හුස්මට ඉස්කෝලෙ ඉස්සරහට දිව්වා අහස කඩන වැටෙන්න වගේ එන සද්දේ මොකද්ද කියල බලන්න.
ගේට්ටුව ගාව වැට අයිනට ඇවිත් බලනකොට කහම කහ පාට තඩි ඩෝසරයක් ගෙනහල්ලා දිගට හරහට ගොඩ ගහල තිබිච්ච පස් කඳු එකින් එක කුඹුරට තල්ලු කරනව, මේ කාලේ බර වාහන සහ යන්ත්‍ර සුත්‍ර කියන දේවල් දකින්න ලැබෙන දේ බොහොම දුර්ලභ නිසා අපි ඒ දිහා අපි බලාගෙන හිටියේ කට ඇරගෙන හුස්ම ගන්නවත් අමතක කරලා.
ඒයි අර බලන්න අරකෙ දුම දාන හැටි …. අම්මෝ සද්දෙ දුමයි හරියට කොච්චියකටත් වඩා හපන් !
එකෙක් එහෙම කිව්වේ කුඹුර අයින දිගේ එහෙ මෙහෙ දුවන සද්න්ත යන්තරේ දැකල
හම්මේ මේ ඩෝසරේ ලොකු !!! හුස්ම ගන්නේ නැතිව ඉඳල යන්තම් සිහි එලවා ගත්තු පොඩි එකෙක් කෑ ගැහුව.
නෑ .. නෑ … ඕක ඩෝසර් එකක් නෙමෙයි කැටපිලර් එකක්, ඔය ලොකුවට ගහල තියෙන්නෙ !!!
සියල්ල දත් බක පණ්ඩිතයෙක් තමන් විසින්ම පත් කර ගන්නා ලද ඩෝසර් විශේෂඥයෙක් විදිහට ඒ සජීවී විස්තර ප්‍රචාරයට එකතු උණා.
ඒ ගහල තියෙන්නේ CAT කියලනේ, ඒ කියන්නේ පූසා කියල, මොකද්ද කැටපිලර් කියන්නේ ?
ආත බූත තේරිච්ච නැති කෙල්ලෙක් ඔලුව කහ කහ අහනවා …
පූසා නෙමෙයි හලෝ …. ඔය පස් තල්ලු කරන එකේ නම කැටපිලර්, අපේ මාම කිව්වෙ !!!
මේකෙ රෝද වෙනුවට මොකෝ යකඩ පටි හයි කරලා තියෙන්නේ ?
අයියෝ ඒ කුඹුරෙ එරෙනවටනෙ, ඕක තේරෙන්නේ නැද්ද ?
ඒ උනාට මේක පාරේ යන්නේ කොහොමද ?
ඕක පාරේ යන්නේ නෑ හලෝ … තඩි ලොරියකින් ගෙනත් බාන්නේ !
පේන් නැද්ද නොම්මර තහඩුවක්වත් ගහල නෑ !
ඔය බොරු, තවුසෙ කොහොමද දන්නේ ?
බකයට හැම දේටම දිනුම දෙන්න අකමැති වෙච්චි එකෙක් ප්‍රශ්නාර්ථයක් මතු කරනවා.
අපේ ගෙවල් පල්ලේහා පාරෙ ගල් වලේත් ඔයින් එකක් තියනව, අපේ මාම ඕව්වා එලවන්නත් දන්නව, මං ඕන් තරම් ඕකට නැගලත් තියනව.
බකයා උජාරුවෙන් උත්තර දෙන ගමන් එතන ඉන්න ඩෝසර් මහදැන මුත්තා තමන් බව තහවුරු කරනව.
දැන් දැන් ගේට්ටුව ලඟයි වැටෙයි එල්ලිලා ඉන්න චතුරංගනී සේනාව එන්න එන්නම වැඩි වෙනවා, අනික තමන්ට නොපෙනෙන දේ දකින්න ආසාවන් හිටපු පිටිපස්සේ ඉන්න එවුන් ඉස්සරහ එවුන්ව තල්ලු කරලා සමහරු ගේට්ටුවට එහා කම්බි වැටේ ඇමිණිලා මළ ජංජාලයයි !
ඒ අස්සෙම එතෙන්ට කඩා පනින විදුහල්පතිතුමා වත්තකට පැන්න රිලවුන් රැලකට රතිඤ්ඤා ගැහුවා වගේ ගේට්ටුවේ බදාගෙන එල්ලිලා ඉන්න රිලා පැටව් ටිකට දෙහි කපල එලවල දානවා පන්ති වලට 🙂
මං හිතන්නේ ඒ මහත්තය හැමදාමත් තමන්ගේ ගෙදර ගේට්ටුවටත් වඩා ආදරෙන් ඔය ගේට්ටු පලු දෙක බලා ගත්තු හන්ද තමයි ඔය තරමක් හරි පරිස්සම් වෙලා තිවුණේ, නැතිනම් අපේ එවුන් ඕකේ නැගල ඔන්චිලි වාරම් කියන ගානට ඔය ගේට්ටු පලු දෙක පොලව බදාගෙන ගොඩක් කල් !
එහෙම එලෙව්වත් ප්‍රින්සිපල් සර් ගියපු ගමන් කොල්ලෝ කුරුට්ටෝ ආපහු එතනම රංචු ගැහෙනව … දුම්මල ගහලවත් එලවන්න බැහැ, ආයෙත් ඉතින් ඉන්ටවල් ඉවර වෙන බෙල් එක වදිනකම්ම හරියට සර්කස් එකක් බලනවා වගේ තමයි.
මෙම කාලය මුළුල්ලේම රතු පාට පස් ගෙනත් දමන ටිපර් රථ පෝලිමට ඇදෙන්නට විය, ඉඩම ගොඩකරන තරමක් දිහා අයිනට කඳු ගැසෙන පස් ඩෝසරයෙන් තල්ලු වී කුඹුරට වැටෙන්නේය.
පුරන් වෙච්ච මුළු කුඹුරම වැහෙන්න පස් ගෙනත් දමන ඒ සති කිහිපය පුරාවටම ඉන්ටවල් එකේ සෙල්ලම් කරනවා වෙනුවට අපේ විනෝදාංශය උණේ ටිපර් වලින් ගෙනහල්ල පස් බාන විදිහ සහ කැටපිලර් එකෙන් පස් තුනී කරන හැටි බලන් ඉන්න එකය.
හැමදාමත් කුඹුරේ ලැග්ග හරක් ටිකට තම තිප්පොළ අහිමි වෙලාය, නමුත් උන්ට අයිතිකාරයෝ ඉන්නා නිසා එහා වෙලට දක්කනු ඇත නමුත් අපිට තිබ්බ එකම දුක යන එන මං නැතිව පස් වලට යට වෙලා මැරෙන මාළු, තනකොළ පෙත්තෝ ගැනය.
මෙසේ සත්ව කරුණාව දොරේ ගලා ගිය හන්දාදෝ අහල පහළ ගෙවල් වල උන්නු එවුන් පුළුවන් තරම් ඉක්මනට ඉතිරි වෙලා ඉන්න මාළු ටික අල්ලන්න නොයෙක් ප්ලෑන් ගැහුවත් ඔක්කොම මාළු බේරා ගන්නට බැරිය, එනිසා ඉතිරි වූ මාළුන් සහ තණකොළ පෙත්තන් සියල්ල අවසන් ගමන් ගිය එක දුකට හේතුවකි.
උනත් මඩ වගුරක්ව තිබුණු කුඹුර තවම සමතලා නැති උනත් දැන් දැන් ක්‍රීඩා පිටියක හැඩය ගන්නේය.
මේ කාර්ය සාර්ථක කර ගන්නට ශ්‍රමයෙන් සහ යන්ත්‍ර සුත්‍ර වලින් පනාගොඩ හමුදා කඳවුරේ නිලධාරීන් සහ ප්‍රදේශවාසී ව්‍යාපාරිකයන් ලොකු සහයෝගයක් දැක්වූ බව කණ්ඩාට මතකය.

(අද දවසේ සුභාරතී විද්‍යාලය සහ ක්‍රීඩා පිටිය)
~ මතු සම්බන්ධයි !
අතීතය සිහිනයක් පමණයි ~ VI කොටස ~ චාන්දනී ටීචර් සහ කණ්ඩාගේ ඔල මොට්ටල වැඩ !
ජූලි 17, 2017 at 5:45 පෙ.ව.
මට මතක් උනේ කන්ඩො අමුණු බැඳීම කියන කෙටි කථාව. අපෙත් ඒ දවස්වල ජනප්‍රියම ක්‍රීඩා පිටිය උනේ වත්ත පහල කුඹුර
කැමතියිLiked by 1 person
ජූලි 17, 2017 at 8:02 පෙ.ව.
කෙටි කතාව නම් කියවල නැහැ මලේ … නමුත් ඒ දවස් වල අපි අර ගත්තු ආතල් නම් ආපහු සල්ලි දීලවත් ගන්න බැහැ බං …
අනේ මන්ද සංවර්ධනේද මොකද්ද කියන ලබ්බ ඇතුවත් බැහැ නැතුවත් බැහැ !
ආපහු හැරිලා බලද්දි පුක කසා ගන්න රුපියලක් නැති උනත් ඒ දවස් වල අපි හෙන සංතෝසෙන් හිටිය කියන එක තමයි ඇත්ත 😦
කැමතියිකැමතියි
ජූලි 18, 2017 at 3:44 පෙ.ව.
කොළඹ ඉඳන් හැතැප්ම එකසිය ගණනක් දුරින් ඉඳලත් අපිට ලැබුනෙත් ඔය සමාන අත්දැකීම්මනේ. එහෙම බැලුවහම ඉන්න තරමක් ඉන්න ඇත්තේ කොළඹට කිරි අපිට කැකිරි කියල කියන්න පුළුවන් උදවිය වෙන්න ඇති. ඔය සටන්පාටය ඒ දිනවල තරමක් ජනප්‍රිය වෙලා තිබුන බව මටත් යාන්තමට මතකයි. සමහර විට දේශපාලන පක්ෂයක නිර්මාණයක් වෙන්නැති.
කොහොම උනත් එහෙම බලල සන්තෝස වෙන්න ළමා කාලයක් අපිට තිබුනා. වෙලවල් වල පැනල මඩ නාගත්තු අත්දැකීම් කොළඹම උන් කියනවානම අපි ගැන කවර කතාද. දැන් එහෙම වටපිටාවක් අපේ පළාත්වලවත් නැහැ. එක ගැන නම් කනගාටුයි.
ලසන්ත
කැමතියිLiked by 1 person
ජූලි 18, 2017 at 6:34 පෙ.ව.
මම මේ විස්තර කරන්නෙ 1987-88 තරම සිද්ධ වුණු දේ සහ වටා පිටාව, ඉන් පසුව දශකයක් ඇතුළත බොහෝ දේ වෙනස් වුනා, අඩු තරමේ මට වඩා අවුරුදු 5-10 ක් බාල මගේ සහෝදරයා සහ සහෝදරියවත් මේ සතුට විඳලා නැහැ 😦
සුභාරතී කනිෂ්ඨ විද්‍යාලය තියන ගොඩගම හන්දියේ ඉඳන් කොළඹට තියෙන්නෙ කිලෝමීටර් 27 ක් විතරයි, නමුත් කොළඹින් ඈත ගම් පළාත් වල හිටපු උදවිය වගේම අපිටත් තිබුණු පහසුකම් අවමයි. ඇත්තම කිව්වොත් අපිට කිරිත් නැහැ ගමේ උන්ට තිබ්බ කැකිරිත් නැහැ 😀
මේ සටන් පාඨ ඇති වුණේ පාසල් ළමයින්ට නොමිලේ කිරි බෙදා දීමේදී ගම් පළාත් වල උදවියට වෙච්චි කෙනෙහිලිකම් නිසා මම දන්නා විදිහට. මේ කියන දවස් වල අපි පොඩි එව්වෝ. කිරි නම් අපිටත් හම්බ උනේ නැහැ හැබැයි පහු කාලෙක අපිට විස්කෝතු නම් හම්බ උනා. ඒ ඇරෙන්න මේ ගැන වැඩි තේරුමක් තිබුණේ නැහැ.
ගොඩගමට කිලෝමීටර් 5 ක් හංවැල්ල පැත්තට වෙන්න අපි හිටපු වැලිපිල්ලෑව දිහාට දුරකථන පහසුකම් ලැබුණෙත් 2004 වගේ කාලේ. 90 ව දශකයේ මුල වෙනකම් ලංගම ඇරෙන්න පාරේ බස් කියල දිව්වේ ෆාගෝ, එල්ෆ්, කරවෑන් වගේ මළකඩ කාපු වෑන් විතරයි. ඒ මදිවට හවස හත හමාරෙන් පස්සෙ ආපහු තියෙන්නේ රෑ 9.45 ලංගම බස් එක විතරයි.
මම ශිෂ්‍යත්වෙන් කොළඹ පාසලකට ගියාට පස්සෙ පාසල් ක්‍රීඩා වැඩ ඉවර වෙලා රෑ උනහම අනන්තවත් කිලෝමීටර් ගානක් පයින් ඇවිල්ල ඇති බස් නැතුව 🙂
ඕන් ඔහොමයි ලසන්ත කොළඹ දිස්ත්‍රික්කයේ උනත් තරමක් ඈතට වෙන්න තිබුණු තත්වය 😀
කැමතියිකැමතියි
ඔක්තෝබර් 18, 2017 at 5:39 පෙ.ව.
අපිටත් කිරි පැකට් හම්බ වෙලා දවසක කිරිත් එක්ක free පනුවොත් ලැබුනා. එදායින් පස්සෙ මුකුත් නෑ. කාලයක් බනිස් ලැබුනා හැබැයි අපෙ උන් කරේ බනිස් වලින් ගහගන්න එක. ඇයි බනිස් ඇතුලෙ පට්ට ගුල්ලො තොගයක්. අපිට නන් පොඩි පිට්ටනියක් තිබ්බ හැබැයි මාර ගේමක් දුන්න වැටෙන් නැතුව දුවන්න. වැටුනොත් ලෙලි යනව මොකද බිමට කොන්ක්‍රීට් දාල කියහන්කො…
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 18, 2017 at 11:40 පෙ.ව.
බලහන්කො ඉතින් බොලාට කිරියි බනිසුයි දෙකම … අපිට කිරිත් නෑ … කැකිරිත් නෑ … කැතයි හොඳේ 😀
හැබැයි උඹල ඒ දවස් වල ඕවයේ පණුවො, ගුල්ලො ඉන්නවා කිව්වා නම් ඕව විකුනපු එවුන් ඒවාට වැඩිපුර සල්ලි ඉල්ලාවි ඒවයේ ප්‍රෝටීන් වැඩියි කියල.
අනික ඒ දවස් වල FB ස්ටේටස් තිබ්බ නම් දාන්න තිබ්බ “පීලින් ඕසම් ඊටිං බනිස් විත් කිරි, Holeසම් ගුඩ්නස් විත් පණුවෝ & ගුල්ලෝ !” කියල හෙක් … හෙක් …
හම්මේ කොන්ක්‍රීට් තරම්ම නැති උණත් මේ ගල් බොරළු පිරිච්ච් මේ පොළවත් ඒ තරම් යා දෙන්නේ නැහැ බං, වැටුනොත් පතුරු යනව. මගේ දනිස් පොල් කටු දෙක තවමත් මේ සිහිවටන වලින් පිරිල.
කැමතියිකැමතියි