බ්‍රමී නුවර සහ ලිච්ෆීල්ඩ්
කණ්ඩා වර්තමානයේ සේවයේ නියුතු කන්තෝරුවේ ප්‍රධාන කාර්යාලය පිහිටියේ බ්‍රිතාන්‍යයේ මැදක් වන්නට මිඩ්ලන්ඩ්ස්හි (Midlands) පිහිටි බර්මින්හැම් (Birmingham) නගරයට නුදුරුවය.
මෙහි වෙසෙන්නන් හැඳින්වීම සඳහා “බ්‍රමී” (Brummies) යන නම භාවිත වන නිසා මින් ඉදිරියට “බ්‍රමී නුවර” යයි කියන්නට සිතුනත් අන්තිමට කණ්ඩා තීරණය කළේ බර්මින්හැම් ලෙසම ලියන්නටය.බර්මින්හැම් යනු ලන්ඩන් නුවරට පසු බ්‍රිතාන්‍යයේ දෙවන විශාලතම නගරයයි, කාර්මික විප්ලවයත් සමගම දියුණු වන්නට යෙදුණු මේ පළාත ප්‍රසිද්ධ කාර්මික නගරයක් වශයෙනි. මැණික් සහ ස්වර්ණාභරණ සම්බන්ධ ව්‍යාපාරයන් අතින් ගත් කල බර්මින්හැම් “ජ්වෙලරි ක්වාටර්” (Jewelery Quarter) පෙදෙස මුළු මහත් යුරෝපයම ගත්තත් එවන් ප්‍රදේශ අතරින් විශාලතම තැනයි.
ජන වාර්ගිකව ගත් කල බර්මින්හැම් දැඩි විවිධත්වයකින් යුතු බහු වාර්ගික ප්‍රදේශයකි, එනම් සුදු ජාතිකයන් හා සම සමව ආසියාතික, අප්‍රිකානු සහ අරාබි සම්භවය ඇත්තන් වාසය කරති. එහි ගිය සෑම වතාවකදීම අපට දැක ගන්නට හැකි වූයේ මේ සියලු ජන වර්ගයන්හි සම්මිශ්‍රණයකි.
නානා ප්‍රාකාර චීන කඩ සහ අවන්හල්වලින් පිරුණු “චයිනා ටවුම” (China Town) සහ විවිධ ආගම් සහ ජාතීන් නියෝජනය කරනා උත්සවයන් කණ්ඩාගේ සිත් ගත්තේය.
වරක් හාමිනේගේ ඥාති සොයුරිය සහ අගේ සැමියා සමග චීන ටවුමට වැදී බඩ පැළෙන තෙක් බීර බොමින් “මාරු උස්”, බැදපු මාළු සහ මුහුදු බෙල්ලන් කෑ හැටි මෙන්ම, ඒ බඩ ජහරිකමට පින්සිදු වන්නට හැදුණු බඩේ අජීර්ණය නිසා හෝටලයට ආ ගමන්ම දුවගෙන ගොස් කබරයා පාරක් දැමූ හැටි මේ පෙදෙස හා බැඳුණු අමතක නොවන අත්දැකීම්ය.
දහස් ගණන් හින්දු භක්තිකයන් සහභාගි වන නගරය පුරා වීදි සංචාරය කරනා වර්ණවත් කරත්තය සහිත “රථ යාත්‍රා” උත්සවය (Festival of Chariots) මෙන්ම නත්තල සමරන විට නගර මධ්‍යයේ පැවැත්වෙන නත්තල් පොළ (Christmas Market) මේ නගරයේ සංස්කෘතික විවිධත්වය මොනවට කියා පෑවේය.
(බර්මින්හැම්හි පැවැත්වෙන “රථ යාත්‍රා” උළෙලක්)
මා හිතනා ආකාරයට හොඳ නගරයක නවීන සහ පැරණි දේ සියල්ල එකිනෙක අනුපූර්ණය කරමින් එකට පැවතිය හැකි වටා පිටාවක් තිබිය යුතුය. බර්මින්හැම් එවැනි නගරයකි, කාර්මීකරණයත් සමග නොනවත්වා කාන්දු වූ නවීනත්වය පැරණි දේ සමග මිශ්‍ර වෙමින් ඇති කරනා වෙනස සහ සුන්දරත්වය වචනයෙන් විස්තර කරනවාට වඩා අත් විඳින්නට අවශ්‍ය දෙයකි.
නගර මධ්‍යයේ ඇති නවීන “බුල් රින්ග්” (Bull Ring) සාප්පු සංකීර්ණය, අලංකාර මුවර් ස්ට්‍රීට් පැරණි දුම්රියපොළ, පැරණි දේවස්ථාන සහ වික්ටෝරියානු ගොඩනැගිලි මෙන්ම දින ගණනාවක් උව ගත කල හැකි කෞතුකාගාරයන් සහිත අවට ප්‍රදේශය ඇවිද රස විඳින්නට කදිමය.
(බර්මින්හැම් “බුල් රින්ග්” – Bull Ring සාප්පු සංකීර්ණය සහ අවට ඇති දේවස්ථාන)
බර්මින්හැම් ගැන කණ්ඩා මුලින්ම දැන ගත්තේ කොම්පැනිය නිසා නොව කුඩා කළ සිටම ඔළුවට ගසා ඇති මෝටර් සයිකල් පිස්සුව නිසාය. හොඳට හෝ නරකට කාලෙන් කාලෙට අඩු වැඩි උනත් කණ්ඩාගේ කාර් සහ මෝටර් සයිකල් පිස්සුව මේ සම්මජාතියේදී හොඳ වෙන එකක් නොවේ.
අද වන විට නිෂ්පාදනයෙන් ඉවත්ව තිබූණත් බර්මින්හැම් යනු එක වකවානුවක ලොව විශාලතම මෝටර් සයිකල් නිපදවන්නා වූ BSA (Birmingham Small Arms) කර්මාන්ත ශාලාව පිහිටා තිබුණු ප්‍රදේශයයි.
BSA වලට අමතරව නොර්ටන්, එරියෙල්, සන් බීම්, ට්‍රයම්ෆ් (Norton, Ariel, Sunbeam, Triumph) යන මෝටර් සයිකල් ආදියත් මේ සමූහ ව්‍යාපාරය සතු විය. එනිසා මෝටර් සයිකල් ඉතිහාසය අතින් ගත් කල මෙය සයිකල් පිස්සන්ට මක්කා සහ යෙරුසලම (Mecca & Jerusalem) වැනි ශුද්ධ නගරයකි.
එයට අමතරව මෝටර් සයිකල් පිස්සන්ට පමණක් නොව බ්‍රිතාන්‍යය ගැන යන්තම් දන්නා උදවිය පවා හඳුනන “බ්ලැක් කැබ්” හෝ “හැක්නි කැරේජ්” (Black Cabs / Hackney Carriage) ලෙස හඳුන්වන ටැක්සි රථ පවා නිපදවූයේ BSA අනුබද්ධ ආයතනයක් මගිනි.
මෙසේ කණ්ඩාගේ සිත් ගත් BSA මෝටර් සයිකල් ගැන කියවද්දී බර්මින්හැම් ගැන නොයෙක් වර අසා කියවා තිබුණත් යම් දවසක එහි යන්නට ලැබේවි යයි කිසිඳු බලාපොරොත්තුවක් නොවීය. අනික නිතරම “ක්ලීන් සූට් එම්ටි පොකට්” (Clean Suit, Empty Pocket) ඒ දවස් වල බලාපොරොත්තුවක් ඇති කර ගන්නට හේතුවක් තිබුණේද නැත 😀
පසු කාලයක කණ්ඩා රැකියාව කරද්දී පරණ කෑලි හැලෙන BSA සහ Triumph මෝටර් සයිකල් දෙකක් මිලදී ගන්නට කට ළඟටම පැමිණියත් එය නුලෙන් ගැස්සුනේ කරුමයටම වෙන්න ඕනෑය.
එදා මේ සඳහා ඉතිරි කරගෙන සිටි මුදල් හදිසියේම විසි අවුරුද්දක් තිස්සේ ටෙලිකොම් එකට බැන අඬ ගසමින් බලාගෙන හිටිය දුරකථන සබඳතාවයක් අර ගන්නට යෙදුවෙන්, යළි කවමදාවත් එවන් අවස්ථාවක් ලැබුණේ නැතිය.
කෙසේ වෙතත් දිනෙන් දින ඈතටම ගිය කණ්ඩාගේ BSA සිහිනය සහමුලින් නැති වී නොමැත, එවන් පසුබිමක බර්මින්හැම් වෙත යන්නට අවස්ථාවක් ලැබීම නොසිතූ ලෙස කඩා වැටුණු වාසනාවකි.
නමුත් අවාසනාව යනු ගුවන් තොටුපොළට අල්ලපු වත්තේ පිහිටියත් තවම කණ්ඩාට බර්මින්හැම්හි පිහිටි ජාතික මෝටර් සයිකල් කෞතුකාගාරය (National Motor Cycle Museum) වෙත යන්නට වෙලාවක් නොලැබීමයි 😦
ලොව වටා විසිරී ඇති බ්‍රිතාන්‍යය මෝටර් සයිකල් පිස්සන්ගේ සිහිනයක් වන මෙම කෞතුකාගාරය තුළ මෝටර් සයිකල් 1,000 කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශනයට තබා ඇත !!!
මේ කිට්ටුව ඇති ගුවන් තොටුපොළට සහ ඒ ආසන්නයට කිහිප වතාවක්ම පැමිණියත් මෙහි නොගියේ මන්ද යන්න තවමත් කණ්ඩාට ගැටළුවකි, අපේ අම්මා නම් මෙවන් දේට කියන්නේ අතට අරගන්න පින තිබ්බත් කටට දමා ගන්නට පින නැතැයි කියාය 😀
දෙවන ලෝක යුද සමයේ ගුවන් ප්‍රහාර සහ බෝම්බ දැමීමේදී යුද්ධයට අවශ්‍ය උපකරණ නිපදවන ප්‍රධානතම නගරය වශයෙන් බර්මින්හැම් නගරය ජර්මානු ඉලක්කයක් බවට පත් විය. ඉන් අවුරුදු 70 කට පසුව අදත් මේ නගරය අත්විඳින බෝම්බ තර්ජනයන් ගැන පසුගිය කොටසේදී කණ්ඩා සටහනක් තැබීය.
මෙයට ප්‍රධානතම හේතුව යුද නිෂ්පාදනයන් ඇතුළුව බ්‍රිතාන්‍යයේ ඇති ප්‍රධානතම කර්මාන්ත ශාලා බොහොමයක් මෙහි පිහිටා තිබීමයි. ස්පිට්ෆයර් (Spitfire) සහ බෝම්බ හෙලන ඇව්රෝ යානා (Avro Heavy Bomber)නිපදවනු ලැබූ මොරිස් කාර් කර්මාන්ත ශාලාව (Morris) සහ මෝටර් සයිකල් වලට අමතරව තුවක්කු නිපදවූ BSA කර්මාන්ත ශාලා මින් ප්‍රධානය.
(ස්පිට්ෆයර් – Spitfire සහ බෝම්බ හෙලන ඇව්රෝ – Avro Heavy Bomber යානා )
මෙවර අප නතර වී සිටි ලිච්ෆිල්ඩ් නගරය පිහිටියේ බර්මින්හැම් නගරයෙන් සැතපුම් 30 ක් පමණ ඈතට වන්නටය , මෙය තරමින් කුඩා උවත් අවුරුදු 1,300 ක පමණ පැරණි ඉතිහාසයක් ඇති ඉතා ආකර්ශනීය ගම්බද පෙදෙසකි.
එතෙක් මෙතක් බ්‍රිතාන්‍යයේ සොයා ගෙන ඇති විශාලතම ඇන්ග්ලෝ – සැක්සන්වරුන්ගේ (Anglo – Saxon)රන්, රිදී සහ ලෝහ කෞතුක වස්තු එකතුව වන “ස්ටැෆඩ්ෂයර් හෝඩ්“ (Staffordshire Hoard) හමු වී ඇත්තේද මෙයට නුදුරින්ය, පසුගියවර බර්මින්හැම් කෞතුකාගාරයට ගොඩ වැදී මේ අගනා එකතුව දැක බලා ගන්නට කණ්ඩාට හැකි විය.
(“ස්ටැෆඩ්ෂයර් හෝඩ්” – Staffordshire Hoard එකතුවෙන් කොටසක්)
17-18 වන සියවස් වලදී දාර්ශනිකයන්ගේ නගරයක් (A City of Philosophers) ලෙස හඳුන්වා ඇති ලිච්ෆීල්ඩ් ප්‍රසිද්ධ පැරණි ඉංග්‍රීසි ශබ්දකෝෂයක් වන Dictionary of the English Language සඳහා මුලික වූ සැමුවෙල් ජොන්සන් (Samuel Johnson), පරිණාමවාදය ඉදිරිපත් කළ චාර්ල්ස් ඩාවින්ගේ සීයා වන එරස්මස් ඩාර්වින්ගේ නිවහනයි.
ඉතාමත් දර්ශනීය දේවස්ථාන කිහිපයක්, වැවක්, උද්‍යානයක් සහ පැරණි ගොඩනැගිලි රාශියක් මේ අවට විසිරි ඇති බැවින් ඇවිදින්නට සහ බලන්න කරන්න ඇති දෑ බොහෝය. කාර්මීකරණය හසුවුණු බර්මින්හැම් සහ වෝල්සොල් නගර වලට හාත් පසින් වෙනස් අමුතු ගම්බද සිරියාවක් ලීච්ෆීල්ඩ් වෙතින් දැනේ.
නගරයේ වූ ප්‍රධාන දේවස්ථානය (Lichfield Cathedral) අප දෙදෙනාගේම සිත් පැහැරගත් ස්ථානයකි, පෞරාණික කැටයම් සහ සිතුවම් මෙන්ම අවට ඇති ඉතා නිස්කලංක පරිසරය රස විඳින්නට ඉතා අපූරුය.
(ලිච්ෆීල්ඩ් දේවස්ථානය (Lichfield Cathedral) සහ අවට පරිසරය)
ඉඳහිට මේ නිස්කලංක බව බිඳින්නේ ඈතින් ඇසෙනා මෝටර් රථයක හඬ හෝ කඩන් පනිනා හතර අත කැරකි කැරකි පින්තූර ගැනීමට දඟලන චීන රිළා රංචුවක ගාල ගෝට්ටිය පමණි.
අසලම පිහිටි පොකුණේ නැව් මෙන් ඔබ මොබ පීනන තාරාවන්, ලිහිණියන්, හංසයන් මෙන්ම වතුරට කිට්ටු වන අමුත්තෙක් දුටු විට පුරුද්දට රංචු ගැසෙන පරවියන් ඒ අසලට ඇදී එන්නේ කෑම දමනා බව හොඳින් දන්නා නිසාය. බොහෝ විට පොකුණ අසල ඇවිදින්නට යන එන දෙනා ගෙදරින් ගෙන එන පාන් පෙත්තක් දෙකක්, විස්කෝතුවක් වැනි යමක් කුරුල්ලන් හට දෙන්නට අමතක කරන්නේ නැත.
රාත්‍රී අට-නවය වන තෙක් ඉර එළිය ඇති නිසා හැන්දෑකරයේ අලස සුව විඳින්නන් මෙන්ම නානා ප්‍රාකාර බලු සුරතලුන් ඇවිද්දවන්නට එන උදවිය නිතර මේ හරහා ඇදෙන බැවින් “පීපල් වොචින්” හෙවත් මිනිසුන් නැරඹීම සඳහා කදිම තැනකි.
නගරයෙන් පිටතට බට වහාම බැලූ බැලූ අත කොළ පැහැති ගස් කොලන්ගෙන් පිරුණු වන රොදවල් සහ ගොවිපොළවල්ය. වගාවන්ට අමතරව මේ බොහෝ තැන් වල බැටළුවන්, හරකුන් මෙන්ම අශ්වයන් ඇති කිරීමද සිදු වන්නේය.
(ලිච්ෆීල්ඩ් නගරයේ පැනොරාමා පින්තූර සහ පැරණි ටියුඩර් ගොඩනැගිල්ලක් )
ඒ පිළිබඳව අප නැවතී සිටි කාලය පුරා අප ගැන නිබඳව සොයා බැලූ කණ්ඩා කන්තෝරු සගයා වන ලිස් හට ස්තුතිවන්ත විය යුතුය. කර්මාන්ත පුරයක පිහිටි කන්තෝරුව අසලම හෝටලයක් වෙන් නොකර තරමක් ඈතින් වූ මේ නගරය තෝරා ගත්තේ ඇගේ බල කිරීමටය.
ඔටු දේශයේ කර්කශ බවෙන් සහ ඒකාකාරීත්වයෙන් මිදී තාවකාලිකව හෝ අස්වැසිල්ලක් ලැබීමට නොඉවසිල්ලෙන් සිටි අපට නිදහසේ කාලය ගත කරන්නට පසුබිම උවමනාවටත් වඩා ලිච්ෆීල්ඩ්හි තිබුණි.
එමෙන්ම තරමින් කුඩා උවත් නගර මධ්‍යයේ සෑම අඩි දහයෙන් දහයටම තැබෑරුම් සහ ආපන ශාලාවන්ගෙන් පිරී ඉතිරී ඇති බැවින් කන්නට බොන්නට ලෝස් නැති කණ්ඩා වැනි බඩජහරියන්ගේ දිව්‍ය ලෝකයකි.
කන බොන තැන් කියුවාට එකම දේ හැමදාමත් කන්නට නොහැකිය, වඩා වැදගත් වන්නේ එහි ඇති විධත්වයයි, තැබෑරුම් හෙවත් පබ්, වයින් බාර්, ඉහල මට්ටමෙන් ඉල්ලං කන තැන් හෙවත් “ෆයින් ඩයිනින්” අවන්හල් (Fine Dining), “ෆාස්ට් ෆුඩ්” හෙවත් දුවන කෑම කඩ මෙන්ම BBQ හෙවත් මස් පුළුස්සන ග්‍රිල් ආදී අටෝරාසියක් දේ මේ අතර විය.
කෑම වට්ටෝරු හෙවත් Cuisine අනුව බැලූ වත් බ්‍රිතාන්‍ය අවන්හල් වලට අමතරව තුර්කි, චීන, ඇමරිකානු, ඉතාලියානු, තායි සහ ඉන්දියානු වැනි තමන් කැමති ආකාරයක කෑම තෝරා ගන්නට අඩු පාඩුවක් නැත්තේය.
කණ්ඩාගේ විවාහ සංවත්සරය යෙදී තිබුණේද මේ අතර මැද දවසකය, සාමාන්‍යයෙන් කණ්ඩා රොමෑන්ටික් ජාතියේ අයෙකු නොවුණත් “බෙටර් හාෆ්“ හෙවත් හොඳම සහ එකම බාගය ඉඳහිට හෝ පුදුම කිරීමට කැමතිය.
එදා මෙදා තුර ඉපදුන සහ ඉපදින්නට සිටිනා බොහොමයක් හස්බණ්ඩන් මෙන් කවුරුන් හෝ ඇඟිල්ලෙන් ඇන මතක් කළෝතින් මිස කණ්ඩාට සංවත්සර, උපන්දින ආදිය මතක හිටිනවා හැබෑවටම හොරය. උදේ පාන්දරම මෙවන් දේ ගැන සිහි කැඳවුම් එවන ගූගල් දෙයියන්ගේ කැලන්ඩර් රාජයාට පිං සිද්ද වෙන්නට දැන් මෙය ගැටළුවක් නොවෙතත් අදටත් විශේෂ දින පිලිබඳ මතකයක් නැත.
මේ විවිධ දේ නිසා හාමිනේ නම් කියන්නේ කණ්ඩා කිසිම ආකාරයකින් “රොමෑන්ටික් හස්බණ්ඩෙක්“ නොව “ගල් ටික් ගස් බණ්ඩෙක්“ බවය, කොහොමත් එහෙම එවුනුත් ලෝකේ ඉන්නට ඕනෑය, නැති නම් හැම එකාම එක වගේ නිසා කිසි ගතියක් නැත්තේය.
අන්තිමේදී කොහොමින් කොහොම හරි කණ්ඩා තීරණය කළේ තවත් හාමිනේගේ පැමිණිලි වලට ඉඩ කඩ නොතබා වෙනසකටත් එක්ක හාමිනේව උස්සාගෙන ෆයින් ඩයිනින් අවන්හලකට යන්නටය !
ඉබ්බා දියට දාන්න හදනා විට ඇන්නාවේ කියුවා මෙන් අහල පහළ හතු පිපෙන්නා සේ ඇති නානාප්‍රාකාර අවන්හල්හි ගැවසීම සඳහා කණ්ඩාට තවත් හොඳ නිදහසට කාරණාවකි 🙂
ෆයින් ඩයිනින් කියන්නේ වියදමට අමතරව ඔය පෙන්නනා තරමට මහ ලොකු කජ්ජක් නොවුනත් කණ්ඩා කවදත් බොක්කෙන්ම කොත්තු, තොසේ සහ පරාටා ජොකියෙකු මිස ෆයින් ඩයිනින් ඔස්තාද් කෙනෙකු නොවේ. ඒත් ජිවිතයේ හැම දේම උත්සාහ කර රස විඳ බලන්නට කැමති නිසා ඉඳහිට එවැන්නකට අකමැත්තක් නැත 🙂
කොහේ ඇවිද්දත් ඒ ප්‍රදේශය අවට සිටිනා වුන් තරම් පළාත ගැන සංචාරක අප දන්නා දෙයක් නැත. එනිසා අප නැවතී සිටි හෝටලයේ සිට ඇවිදින දුරකින් ඉරිඟු වෙළඳාම සඳහා යොදා ගත් පෞරාණික ගොඩනැගිල්ලක (Corn Exchange) පිහිටි මැකෙන්සීස් (Mckenzie’s) නම් ඉල්ලං කන අවන් හලක රෙසවේසමක් දැම්මේ කණ්ඩාගේ කන්තෝරු සගයා වන ලිස්ගේ පිහිටෙනි.
අවන්හල හිතපු තරමටම ෆයින් ඩයිනින් පරාසයට නොවැටුණත්, කෑම සහ ලැබුණු සේවාව ගැන කණ්ඩා හොඳටෝම සතුටුය. මීට වඩා ඉස්තරම් යයි කියා ගන්නා තැන් වලට ගොස් කිඹුලන් කිරි මැටි ගිලින්නා සේ මෙලෝ රහක් නැති කෑමවලින් බඩ පුරවා ගෙන ආ අත්දැකීම් කණ්ඩාට ඇත.
විශේෂයෙන් අලුත් කෑම බීම රස බැලීමට අකැමති, ලෙහෙසියෙන් සතුටු කරන්නට බැරි හාමිනේව සෑහීමකට පත් කරන්නට මේ අවන්හල සමත් වීම අරුමයකි. හැමදාම සංවත්සර, උපන්දින අමතක කරන කණ්ඩා මෙදා පොටේ ජාම බේරා ගැනීම එයටත් වඩා වැදගත්ය !
කෙසේ වෙතත් කණ්ඩා තවම ගස් වලින් සල්ලි කඩන්නේ නැති හෙයින් හැමදාම ෆයින් ඩයිනින් යන්නට බැරිය, එනිසා සාක්කුවට රිදෙන්නේ නැතිව කන බොන තැනක් හොයා ගන්නට සංචාරයේ බජට් සහ මුදල් හදල් භාර ඇමතිනිය ලෙස තම බලය පාවිච්චි කර හාමිනේ නියෝග නිකුත් කළාය.
එනිසා බොහෝ දින වල කකුල් කෙඩෙත්තුව හැදෙන තුරු මග තොට බලමින් රස්තියාදු ගසා නිදහසේ කෑම බීම ගැනීමට අපගේ ප්‍රියතම ස්ථානය බවට පත් වූයේ හෝටලයට නුදුරු රසවත් බව සහ වියදම බැලන්ස් කරන්නට හැකි තරාදිය හෙවත් “ද ස්කේල්ස්” (The Scales) නම් වූ අවන්හලයි.
මතකය නිවැරදි නම් 1637 තරම් දුර ඈතකදී අරඹා ඇති මෙයට නම හිමි වූ ආකාරයද රසවත් කතාවකි, නගරාන්තර අශ්ව කරත්ත නවතන සහ අශ්වයන් හුවමාරු කරන තැනක් (Coaching Inn) වූ මෙහි අශ්ව රථ ධාවකයන් හෙවත් ජොකියන්ගේ බර කිරන ස්ථානයක් ලෙස වූ ප්‍රසිද්ධිය “ස්කේල්ස්” නමට හේතුවයි.
ඒ අහල පහළ වෙසෙන වැඩ කරන පන්තියේ ඇත්තන් නිදහසේ කාලය ගත කරන්නට තෝරා ගත් තැනක් වූ මෙය අප දෙදෙනාගේද සිත් ගත්තේය. අප රාත්‍රී කෑම සඳහා මෙහි ගිය හැම දවසකම පාහේ මෙතැනට පැමිණ නිවී සැනසිල්ලේ වයින් බෝතල් හිස් කරනා ජෝඩු මෙන්ම බීර බොන්නට පැමිණෙන උදවියද එහි නිතර ගැවසෙන්නන් බව පෙනෙන්නට තිබුණි.
එතැන සිටි ඇතැම් වයසක ජෝඩු සේ වයසට ගිය කලෙක අපිටත් එහෙම ඉන්නට පුලුවන්නම් කොච්චර දෙයක්දැයි හාමිනේ කිව්වත්, වයින් වීදුරුවක්වත් නොබොන අමද්‍යප සංගමයේ ගරු සාමාජික මතට තිත හාමිනේ එක්ක ඒ වැඩේ මේ ආත්මයේදී හරි යන්නේ නැත … ලබන ආත්මයක් ගැන ෂුවර් නැත 🙂
ලිච්ෆීල්ඩ්හි රැඳී සිටිනා කාලය පුරා අපට විවිධ බියර් සහ එයිල් වර්ග (ඔන්න අරූ කියාපු විදිහට තමයි දැම්මෙ 🙂 ), BBQ, ස්ටේක් පයි, සොසේජ්, බ්ලැක් පුඩින්, මුෂි පීස් (Stake Pie, Black Pudding, Mushy Peas) වැනි ඉංග්‍රීසි කෑම මෙන්ම කණ්ඩා රස නොබැලුවත් මෝඩ කමට නැවතත් හාමිනේ ඇනවුම් කළ ෆිෂ් ඇණ්ඩ් චිප්ස් (Fish and Chips) වලින්ද අඩුවක් නොවීය.
~ මතු සම්බන්ධයි !
ප.ලි. :
හාමිනේට ෆයින් ඩයිනින් කෑම දිරෙව්වත් බිල දිරෙව්වේ නැති නිසා පහුවදා මැකෙන්සීස් පෙනී පෙනී කණ්ඩාව කනෙන් ඇදගෙන ගොස් ලෝ බජට් මැක්ඩොනල්ඩ්ස් ගිල්ලවූ බව කියන්නේ සාතිශය සංවේගයෙනි !
එකත් “මැක්” ය, මේකත් “මැක්” ය ඉතින් දෙකම “මැක්”නොවේදැයි කියා කණ්ඩා හිත හදා ගත්තේය :(
~ ලිච්ෆීල්ඩ් අවටදී ගත් ඡායාරූප එකතුවක් ~
හිරු නොබසිනා දූපතේ සවාරිය ~ II කොටස ~ A380 ය සහ සුද්දගේ ජර්මන් බෝම්බ !
හිරු නොබසිනා දූපතේ සවාරිය ~ IV කොටස ~ පෙන්ඩොලීනෝ, අණ්ඩග්‍රවුන්ඩ් සහ බෝම්බ !
ජූලි 24, 2017 at 6:27 පෙ.ව.
ඉදකිං. අම්පා තමුන්නැහැට ගමනක් හරියාකාර යන්න දැනුමක් නෑනෙ. බොලාට ඔය යමිං ගමං බඩු මල්ලෙම රයිස් පුකර් පොඩියකුත් දාගෙන ගියානං මක් වෙනවද? එහෙනං ඔය හැටි වියදමක් නෑනෙ. අර ඔහේ හිටියාය කියන ලීස් කෙලීගෙං රාස්පාං දෙකක් ඉල්ලගෙන තිහේ කඩේකිං හැඳි දෙකයි ඉටි පිඟං දෙකයි බෙලෙක්කෝප්ප දෙකයි අරගන්නත් මහ ගානක් යන්නෑනෙ. එතකොට හැංදෑවට දෙන්න එක්ක ඇවිදින්න යමිං ගමං පාරෙ වැහ්ල තියෙන කාක් කෝටු ටිකක් අහුලගෙන ඇහිල්ලා කාඹරේට එලියෙං ලිපක් බැඳගෙන හොද්දක් හදාගතෑකි. බට්ටික රයිස් පුකර්රෙකේ උයාගත්තැකි. රහට ගුණට කන්න පුළුවං හොදි මාලුපිනි උයන හැටි දන්නැත්තං අර සුජීව පෙසන්නාච්චිගේ කතා පොතක් ඇරං බැලියෑකි. ඒකෙ තියෙන්නෙම කෑම් බීං හදන හැටි තමා. එහෙමත් නැත්තං අර චානියා හේරත් කෙලී බුකියෙ ලියන කතා බලහංකො. එව්වත් තියෙන්නෙ එහෙම තමා.
අනික බොලාට ඔය යමිං එමිං ගමං පාර අද්දර තියෙන වතුවලිං පලා මිටක්, එලෝලු ඩිංගක් ඉල්ල ගන්ට ඇහැකි. ඔය විල අද්දරට එද්දි පොඩි එවුං පාත්තයින්ට දාන්න පාං එහෙමත් ගෙඩි පිටිං ගේනවනෙ. ආං ඒ වෙලාවට “දෙන්ට පුතා මං හුඟක් ඉපිටහට විසික් කල්ල දෙන්නං“ කියලා උංව රවට්ටලා ඒක අරගෙන බොරුවට පාං පෙත්තක් ඉතරක් “චෝ….කාක් කාක්“ කියලා විසිකොල්ලා ඉතුරු ටික කබාය අස්සෙ හංගගතෑකි. ආං ඒ වගේ අරපිරිමැස්මට පුරුදු වෙයල්ලකො. බොට බෑ නං ඒක හාමිනා කෙල්ලට කියා දියං.
කැමතියිLiked by 1 person
ජූලි 24, 2017 at 6:48 පෙ.ව.
අම්මප අනිත් දවසෙ හාමිනේව උස්සං යන්නෙ නැතිව බොලාව ඇන්න යනව 🤣
කැමතියිකැමතියි
ජූලි 24, 2017 at 9:20 පෙ.ව.
ඇයි තවෝන්නං ඔය යමිං ගමං තංගුස් දෙපොටක් ඇන්න හාමිනාගෙං හැට්ට කට්ටකුත් ඉල්ලං ඒකට අමුනලා ගැඩවිලෙක් කාරිය උලගහලා මාළුවෙක් නැත්තං මාලුවියක් බාගතෑකි. එයිට අමතරව අඹ ගස්ඔල්ට පොලු ගහලා පුරුද්දක් තියෙනං හරියටම ඉලක්කෙ බලලා වියරවෙලා තාරාවෙට්ට පොලු පාරක් දීලා දඩෙයමක් කලෑකි. ආයි ලෙංසු පොඩියක් බිම එළාගෙන බෙලෙක්කෙයක් හොලෝලා කයියක් ගයලා ගානක් වෙනම හෙයියැකි. ඒකට හරියන කයිය මේක. මහ යුද්ද කාලෙ මිල්ටේරිකාරයිංගෙං ඉගෙනගත්තු එකක් මේක.
“ප්ලීස් මිස්ටර්ස් වොච් ද සෑඩ් දැට් හැපන් ටු මීආ..
ගිව් ද බර්ත් ටු මර්සි බයි ද ලව්ලි හාට්ටා..
ටු බයි මී ඇන්ඩ් මයි වයිෆ් සම් පූඩ් ඇන්ඩ් ඕල්සා…
කැන් යූ ගිව් මී එ පෙනී ඕ ටූ කන්සිඩරින් පිනටා…
කැමතියිLiked by 1 person
ජූලි 24, 2017 at 10:17 පෙ.ව.
හෑ ඒ පාර උඹ දඩයමේ යන්නයි හිඟාකන්නයිත් ටියුෂන් දෙන්න පටන් අරන්ද?
මීළඟ පාර සිරි ලංකාවට ආපුවහම අනිවාර්යෙන් එනව උඹේ ඔය කෝස් එක කොම්ප්ලීට් කරල සැටිපිකේට් එක අරං යන්න 🤣🤣🤣
කැමතියිකැමතියි
ජූලි 25, 2017 at 4:03 ප.ව.
අම්මප ශ්‍රන්ගයෝ උඹ තමයි දවසකටවත් මිනිහ.
කැමතියිLiked by 1 person
ජූලි 25, 2017 at 4:18 ප.ව.
කිරි කිත්ත කිව්වත් වගේ මූ වගේ එව්වො එකයි ඉන්නෙ 😂
කැමතියිකැමතියි
ජූලි 24, 2017 at 1:01 ප.ව.
හොඳ කරුනු කාරනා මතු කර ලියු ලිපියක්.!!!!!!!!
ලන්ඩන් ආවා කියලා දන්නවා නම් ඒල් ෆෙස්ටිවල් එකකට ගෙනියනවා 😀
කැමතියිLiked by 1 person
ජූලි 24, 2017 at 2:51 ප.ව.
ස්තුතියි අරුණ අයියේ !
2014 දිහා ආපු පාර සතියක් විතර ලන්ඩන් හිටිය, එතකොට මං බ්ලොග් ලියන්න පටන් අරගෙන නැහැ 🙂
කැමතියිකැමතියි
ජූලි 27, 2017 at 7:06 පෙ.ව.
Sigh.
Feeling envious ! 😀
Btw, Juggernaut
කැමතියිLiked by 1 person
ජූලි 30, 2017 at 2:30 ප.ව.
Well I’m envious all the time about you guys who enjoy the good company of family and friends in SL all the time 😁
Only shows sometimes you have to loose some to gain some !
කැමතියිකැමතියි
ජූලි 27, 2017 at 2:50 ප.ව.
බොහොම සවිස්තරව රචිත ලිපියක්. සාමාන්‍යයෙන් අන්තර්ජාලයෙන් හරි ගියපු කෙනෙක්ගෙන් උනත් අසා දැනගන්නවාට වැඩි විස්තරයක් දැනගන්න ලැබුන.
විවිධාකාර සංස්කෘතික ලක්ෂණ එකම නගරයක් ඇතුලේ දකින්න ලැබෙන එක අපිට නම් එච්චර හුරු පුරුදු දෙයක් නෙමේනේ, විශේෂයෙන් ලංකාව ඇතුලේ.
මේ වගේ විවිධාකාර ජනවර්ග එකම නගරයක් තුල සුහදව වාසය කරන එක දකින්න ලැබෙන එක මටනම් අහන්නත් සතුටුයි.
බොහොම ස්තුතියි අපිත් එක්ක බෙදා හදා ගත්තට.
ලසන්ත
කැමතියිLiked by 1 person
අගෝස්තු 1, 2017 at 5:51 පෙ.ව.
ස්තුතියි ලසන්ත, හැකි අයුරින් අත්දැකීම් අන් අය සමග බෙදා හදා ගැනීම මට සතුටක් වගේම තව කෙනෙක් ඒවා රස විඳීම එයටත් වඩා සතුටක් !
විවිධ සංස්කෘති වලට අයිති සියලු දෙනා එක ප්‍රදේශයක වාසය කලාට සියළු දේම හොඳින් බව ඉන් අදහස් වෙන්නේ නැහැ, උදාහරණයක් ලෙස බර්මින්හැම් වල අපරාධ ප්‍රතිශතය අන් ප්‍රදේශ වලට වඩා තරමක් වැඩියි, ඒ වගේම අන් ජාතීන් හා එක්ව විසීමට අකමැති සුදු ජාතිකයන් තමන් ජීවිත කාලයක් තිස්සේ පදිංචි මේ ප්‍රදේශය අත්හැර යන ප්‍රවණතාවයක් තියනවා.
ඒ ඇරෙන්න විසඳිය නොහැකි ප්‍රමාණයේ ප්‍රශ්න නම් මම දකින්නේ නැහැ 🙂
කැමතියිකැමතියි
සැප්තැම්බර් 7, 2017 at 10:12 පෙ.ව.
don’t blame this country saved sl from korean eastern mongolian chinese emperors .shame on this dog.
කැමතියිකැමතියි
සැප්තැම්බර් 7, 2017 at 10:22 පෙ.ව.
මට මළ පැනගෙන එනකොටම බකස් ගාල හිනා ගියා නොවැ චාමර 🤣
කැමතියිකැමතියි
ඔක්තෝබර් 12, 2017 at 6:23 පෙ.ව.
ඇගේ size එක දැක්කහම හැම කතාවක්ම කැම වලින්ම පිරිල තියෙන්නෙ ඇයි කියල හිතා ගත හැකි….. 😝😩👹👻
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 12, 2017 at 10:25 පෙ.ව.
අනේ අප්පේ කවුද මලේ ඔය බොරු කිව්වේ ? අපේ අම්ම ඊයෙ පෙරේදත් කිව්වා මම හොඳටම ඇදිල ගිහිල්ල කියල 😀
මම දැඩිව විශ්වාස කරන දෙයක් තමයි රෝමෙට ගියාම රෝමන්කාරය වගේ ඉන්න ඕන කියන එක, අපි අලුත් තැනකට යනවා නම් ඒ ප්‍රදේශයේ සංස්කෘතිය එක්ක බැඳිච්චි කෑම බීම, සිරිත් විරිත්, සංගීතය වගේ දේවල් රස විඳින්නේ නැති ජීවිතයකින් ඇති පලේ මොකද්ද හෙක් … හෙක් …😝
කැමතියිකැමතියි