Royal Opera House Muscat

මස්කට්, ඔපෙරා සහ මත්‍රා

කොච්චියා, ශාමික සහ චතුරට සමු දී එද්දී කණ්ඩාගේ හිත නොයෙක් කල්පනාවන්ගෙන් පිරී ගොසින්ය !

හාමිනේලා ඇති තැන කතා බහ කරන්නට බැරි රසකතා සියල්ල මාගලක් මෙන් අසීමාන්තිකව දිග හැරුනේ කාලාන්තරයකට පස්සේය නිසා නිදහසේ වරින් වර සිහි කරමින් නොනවත්වා රස විඳිය හැකි මතකයන්ගෙන් පිරුණු අතීතාවර්ජනය තවමත් අහවර නැත 🙂

Boys will be Boysකොච්චියා විසින් මතු කරනා ලද අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි රාමුවේ “සොෆ්ටෙක් ඇඩ්වෙන්චර්” ෆැන්ටසි කතා වස්තුවට (ඒ ගැන වැඩි විස්තර පසුගිය කොටසේ) දායකත්වය සැපයූ සහෝදර නළුවන් සියල්ලෝම අද වන විට විවාහකයෝය, එමෙන්ම ඇතැම්හු දරු මල්ලන්ගේ සුරතල්ද බලන්නෝය.

කාටත් නොදැනී කාලය ඉගිල ගොසින්ය, එදා එකට වල බැස්සත් අද වන විට මේ ග්‍රහයින් සියලු දෙනා තම තමන්ගේ ජීවිත ගොඩ නගා ගෙන ලෝකය හතර දිග් බාගයේ විසිර ගොසින්ය 🙂

මේ හමුවට මුල් වූ රුවන් කලක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවයේ නියුතුව සිට දැනට කණ්ඩාගේ තවත් අතිජාත මිත්‍රයෙකු වන “බඩා” නොහොත් ලක්මාල් “ලොකු පොල් මුදලාලි” සමග එකම කන්තෝරුවේ සේවය කරමින් සිංගප්පූරුවේ වාසය කරන්නේය.

“ජනා” හෙවත් ජනත් සහ “K-ඇටයා” නොහොත් අමල් කැන්ගරු දේශයේ පරිඝණක ක්ෂේත්‍රයේම රැකියාවෙහි නියුත්තෝය.

කණ්ඩා සහ සමුද්‍ර උපාසක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොම්පුටරේටම කොට කොටා දැහැමෙන් සෙමෙන් කාලය ගත කරද්දී, කොච්චියා සිය පවුලත් සමග ඕමානයේය.

මේ අන් කිසිවක් නොව කාලය මැවූ වෙනසක අරුමයයි !Time Flies

අපගේ අල්ලාප සල්ලාපයට පැයකට අධික කාලයක් ගත උනත් කණ්ඩා කාමරයට ඇතුළු වෙද්දීත් හාමිනේ අවදියෙන්ය, උගුරේ අමාරුවට බිව් බෙහෙත් සැර අස්සේත් අඩ නින්දේ මා එන තුරු නිදි කිරමින් සිට ඇත්තේය.

පුරුදු ලෙසම නිදි මරගාතේම හාමිනේ කණ්ඩාගෙන් ඇසූ පළමු ප්‍රශ්නය මෙච්චර වෙලා මොනවද කතා කළේ ? යන්නයි,  ඒ අතින් බලනකොට හාමිනේලා කවුරුත් එකය 😀

ඒ ප්‍රශ්නයට උත්තර බඳින්නට බැරි නිසා හාමිනේලාගෙන් කරදයක් නැති තැන අපිට මොනවා කතා කරන්නට බැරිද ? යයි පොඩි සරදමක්ද කරමින් ප්‍රශ්නය ප්‍රශ්නයකින්ම මග අරින්නට කණ්ඩා සමත් වීය 🙂

දැන් එයට වඩා වැදගත් හාමිනේගේ සෞඛ්‍ය තත්වයයි, බෙහෙත් බී පැය කිහිපයක් ගතව ඇති නිසාදෝ හාමිනේගේ ඇඟේ තිබුණු උණ ගතිය බැස ගොස් තිබීම සුභ ලකුණකි, නමුත් උගුර රිදීම සහ හෙම්බිරිස්සාවේ වැඩි වෙනසක් නැතිය.

මෙයට ඉතිරිව ඇති එකම විසඳුම දිගු විවේකයකි. හාමිනේ අසනීප වූ විය පොඩි එකෙක් වාගේය, නින්දට යන්නට අදිමදි කරනා හාමිනේට පොඩි සත්තමක් දමා බලෙන් නිදි කරවනවා ඇරෙන්නට වෙනත් විකල්පයක් නැත.

හාමිනේව බලෙන් නිදි කෙරෙව්වත්, හිත හතර අතේ දුවනා නිසා ගමන් විඩාව තිබුනත් නින්ද කණ්ඩා අහලකටවත් එන්නේ නැත. එයට හරි යන්නට නොබෝ වෙලාවකින් තද නින්දට වැටුණු හාමිනේ අත්තිඩිය ලී මෝලේ රාත්‍රී වැඩ මුරය ආරම්භ කළාය.

කරන්නට ඇති එකම දෙය නැවතත් පොත කියවන එකය, පොතක් පතක් කියවන විට අවට පරිසරය සහමුලින්ම අමතක වීම කුඩා කල සිටම කණ්ඩාට තිබුණු පුරුද්දක් නිසා හාමිනේගේ ලී ඉරීම කණ්ඩාට කොහෙත්ම බාධාවක් නොවේ.

අනික කණ්ඩා හාමිනේට වඩා හොඳින් ලී ඉරන්නට දන්නා බැවින් කණ්ඩා වැඩ පටන් ගන්නට කලින් හාමිනේට නින්ද ගිය එක අවස්ථාවේ හැටියය ලොකු සැනසීමකි.

ලී ඉරීම කෙසේ වෙතත් පාසලේදීත් නවකතා කියවීමට ඇබ්බැහි වූ නොම්මර එකේ පොත් ගුල්ලෙකු වූ කණ්ඩා පොත් කියවන විට අහල පහළ අමතක වීමේ රෝගය නිසා අනන්තවත් දඬුවම් විඳ ඇත 🙂

විශේෂයෙන් පාසල් කාලයේදී පෙළ පොත් අස්සේ දමාගෙන නවකතා කියවා හෝ පන්ති වලින් කට්ටි පැන පාසල් පුස්තකාලයට වී ප්‍රබන්ධ පොත් කියවමින් සිට අසු වූ විට අපට ඇතැම් ගුරුවරුන් දඬුවම් දුන්නේ හොර මැරකම් වල යෙදුණු IRC කාරයන් තරමට සලකමිනි.

නමුත් වයසේ වැරැද්ද නිසාදෝ හොඳට හෝ නරකට මේ අණ්ඩපාල වැඩ වලින් වැළකෙනු වෙනුවට කණ්ඩා ඉගෙන ගත් එකම පාඩම කරන ඕනෑම හොර වැඩක් අසු නොවන සේ කිරීමටය.

කෙසේ හෝ නැවතත් පොතට මුහුණ ඔබා ගත් මා සෑහෙන වෙලාවක් තිස්සේ පොත කියවීමෙන් අනතුරුව නින්දට වැටුණේ රෑ දෙගොඩහරි ජාමයත් පසු වී එළිවෙන පාන්දරටය.

පහුවදා ඇහැරෙන විට හාමිනේ කෙලින් කටින් හිටින්නට හැකි තරමට සුවය ලබා තිබුණු බැවින් එදින හෝටලයට වී විවේක ගැනීමට හාමිනේ විසින් දැඩි සේ ප්‍රතික්ෂේප කරන්නට යෙදුණි.

කණ්ඩා තරමටම හාමිනේත් දඩබ්බරය, ඉතින් ඕනෑවට වඩා ඒ පස්සේ එලවන්නට නොගියේ හාමිනේ යමක් තීරණය කළ ඔලුව වෙනස් කිරීම සක්කරයාටවත් බැරි නිසාය.

පෙරදා උදෑසන අප සාජා නගරයෙන් පිටත් වෙද්දී උෂ්ණත්වය 14 °C තරම් පහත බැස තිබුණු නමුත් මස්කට්හි තත්වය එයට හාත්පසින් වෙනස් 30 – 33 °C ක් තරම ගත් බැවින් උණ සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළුණු අපට දරා ගත හැකි මට්ටමක පැවතුණි.

මේ සියලු දේ ට පින් සිද්ධ වෙන්නට තරමක් පමා වී උව උදෑසන අහාර වේලෙන් සහ උණුසුම් කෝපි වඩි කිහිපයකින් අනතුරුව හාමිනේ සහ කණ්ඩාගේ සෞඛ්‍ය තත්වය කෙමෙන් යථා තත්වයට පත් විය.

රජ ගෙදර හිටියත් නිවාඩු දවසකට කාමරයක් අස්සට වී අතපය අකුලන් ඉන්නා එක තරම් කාලකන්ණි කමක් තවත් නැත, එනිසා පෙරළුන පිට හොඳයි කියා හෝටලයෙන් එලියට බසින්නට ගත් තීරණය නරක නැත.

එනිසාම අප සංචාරයට පෙර සුදානම්ව පැමිණි තැන් කිහිපයක් හෝ එදින ඇතුළත දැක බලා ගැනීමට වාසනාව ලැබෙනු ඇත.

වෙනදාට අප සිටිනා එක්සත් එමීර් රාජ්‍යයේ ඇරෙන්නට නිදහසේ අප සතු වාහනයකින් හිතේ හැටියට සවාරි ගසන්නට ලැබෙන්නේ කළාතුරකිනි, මෙදා පොටේ වාහනය ඇති නිසා ඒ කරදරය නැත.

ඩුබායි/සාජා පමණක් නොව මැද පෙරදිග අන් බොහෝ නගර වලට සාපේක්ෂව ගත් කළ මස්කට් යනු ගස් කොලන් වලින් අඩුවක් නැති හරිත නගරයකි. මැදපෙරදිගට කොටු වී සිටිනා අපට ඒකාකාරිත්වයෙන් මිදී වෙනසකට එවන් නගරයක ඇවිදින්නට ලැබීම අගනා අවස්ථාවකි.

අප දෙදෙනාට අවැසි තැනක නිදහසේ වාහනය නවතා අවට පරිසරය රසවිඳින්නට සහ හිතේ හැටියට ඡායාරූප ගන්නට ලැබීම ගැන ඇත්තේ දැඩි සතුටකි.

ඩුබායිහි සංවර්ධනයේ නාමයෙන් හතු පිපෙන්නා මෙන් ඉදිවන අහස හූරන කෘතීම ගොඩනැගිලි සමග එන දැරිය නොහැකි වෙනස්කම් අනුව බලන කල මස්කට් වල ඇත්තේ සෙමින් නමුත් මනාව සිදුවන තිරසාර සංවර්ධනයකි.

උසින් වැඩි ගොඩනැගිලි හෙවත් “ස්කයි ස්ක්‍රේපර්ස්” (Sky Scrapers) කිසිවක් මස්කට්හි නැත, ජනගහනය පිරි ඉතිරී නොයන ඇති තරම් ඉඩකඩ සහ ස්වභාවික අලංකාරයෙන් යුතු මෙරටට දැනට එවැනි ගොඩනැගිලි වල අවශ්‍යතාවයක්ද නැත.

මගතොට නැරඹීමේදී දෙවන දින අපගේ ප්‍රධාන ඉලක්කයන් වූයේ මස්කට්හි සුල්තාන් කුබූස් පල්ලිය (Sultan Quboos Grand Mosque), රාජකීය ඔපෙරා රඟහල (The Royal Opera House Muscat) සහ මත්‍රා මුහුදු වෙරළ තීරය (Muttrah Corniche) අසබඩ ඇති අනෙකුත් සංචාරක ස්ථානයන් නැරඹීමයි.

අපගේ පළමු නැවතුම වූයේ හෝටලය අසලම වූ ඕමාන්හි ඇති විශාලතම දේවස්ථානය වන සුල්තාන් කුබූස් පල්ලියයි. විශාල වපසරියක පැතිර ඇති මෙය ඉතා අලංකාර ගොඩනැගිල්ලක් බව කණ්ඩා දන්නා මුත් ඉන් එහාට යමක් කියන්නට නොහැක්කේය.

හේතුව ඇතුල්වීමේ දොරටුවේදී අපට මුහුණ දීමට සිදු වූ අප්‍රසන්න සිදු වීමකි, මේ ගමන සඳහා හාමිනේ සම්පුර්ණ ශරීරය වැසෙන සේ අත් දිග ඇඳුමකින් සහ දිගු සායකින් සැරසී පැමිණ තුබුණේමුත් එහි සිටි මුඩු දොරටු පාල කාන්තාවන් විසින් ඇයට ඇතුල් වීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කරන ලදී.

සිනහ උපදවන් දේ නම් ඒ වන විටත් එවන් ඇඳුමින් සැරසුණු යුරෝපීය ජාතික කාන්තාවන් කිහිප පොළක්ම එහි සිරි නරඹමින් සිටීමයි, මැද පෙරදිගදී නීති රීති සඳහා හමේ පාටද බෙහෙවින් බලපාන බව හොඳින් දැන සිටි නිසාවෙන් මේ කිසිවක් පුදුමයට කාරනාවන් වුයේ නැත.

මින් පෙර ජෝර්දානයේ සහ තුර්කියේ ඇති අති අලංකාර ඉපැරණි පල්ලි වල සිරි නරඹා ඇති අප දෙදෙනා මෙවන් අත්දැකීමකට මුහුණ දුන් ප්‍රථම අවස්තාව නොවේ, වරක් එක්සත් අරාබි අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි හිදීත් මෙවැනිම සිදුවීමකට මුහුණ දීමට අපට සිදු විය.

හේතුව ලෙස අපට දක්වන ලද්දේ හාමිනේ හැඳ සිටි සායෙන් වළලුකර ආවරණය නොවීමයි, සම්පුර්ණයෙන් ශරීරය වැසෙන සේ අබයාවක් පැළඳ එන ලෙස අපට දැන්වූ නමුත් ඒ සඳහා අප අකමැති බව පවසා එතැනින් ඉවත්ව පැමිණියෙමු.

කවුරුන් හෝ අබයාවක් පැළඳ ලොවින් සැඟවීමට උත්සාහ දරන්නේ නම් එය පුද්ගලික තීරණයකි, නමුත් අබයාවක් පැළඳීමට තවත් අයෙකුට බල කිරීම මෝඩකමකි !

මෙවන් තකතීරු දේට හිස නවන්නට අකමැති කණ්ඩා කිසිම දිනෙක එවන් දේට හාමිනේට බල කරන්නේද නැත. මේ සිදුවීම ගැන මා හට ඇත්තේ තරහක් උවද යතාර්ථය වවුලාගේ ගෙදර ගිය විට එල්ලී සිටීමට සිදු වනවා මෙන්ම ඔටුවාගේ රටේ ඉන්නවා නම් මොල්ලියකුත් තිබිය යුතුය.

ඕමාන්හිදී මේ සිදුවීම තුවාලයක් සේ කැපී පෙනෙන්නට තවත් හේතුවක් ඇත්තේය, බොහොමයක් ඕමානි ජාතිකයන් අන් අරාබි ජාතිකයන් මෙන් නොව ඉතා සුහදශීලි  නිහතමානී පුද්ගලයෝය. එවන් වටාපිටාවක සුන්දර ඕමානයේදී අපට මුහුණ දීමට සිදුවූ මෙම එකම අප්‍රසන්න අත්දැකීම කිරි කළයට ගොම බින්දුවක් මුහු කළා සේ ඉතිරි කලේ කහටක් පමණි.

සුල්තාන් කුබූස් පල්ලිය අපගේ සංචාරයේ එක් ස්ථානයක් පමණක් නිසා පල්ලිය නැරඹීම ලත් තැනම ලොප් වූවත් ඉන් පසුබට නොවී මීළඟ නැවතුම වූ මස්කට්හි රාජකීය ඔපෙරා රඟහල වෙත ලඟා වීමු.

ඔපෙරා ගැන කතා බහ කරද්දී කරද්දී “මගෙ තුන සොරිසේන” නොහොත් හුටංතුමා සිංහාසනාරූඩ වීමෙන් අනතුරුව සිරි ලංකාවේ පැවති නිදහස් උත්සවයකදී “දන්නෝ බුදුන්ගේ” නුර්ති ගීතය ඔපෙරා ශයිලියෙන් ගායනා කිරීමට පිළිබඳව විරෝධය පෑ විද්වත් යයි සිතනා අයද නිවේදකයන් යයි කියා ගන්නා ඇතැම් උදවියද ඉල්ලන් ටින්කිරි ගා ගත් අකාරය තවම අමතක නැතැයි සිතමි.

කිසිවක් සොයා නොබලා පුර වර්ණනාවක් බොදු බැති ගීයක් යයි පටලවා ගෙන ඔපෙරා සංගීතය බළලුන්ගේ කෑ ගැසීමකටත් සමාන කර සහතික නිකුත් කිරීමට තරම් ඇතැම්හු ඉක්මන් වුයේ ඇයිද යන්න කණ්ඩාට ගැටලුවකි ?

මේ සිදු වීමට අදාල වීඩියෝ ද්විත්වයක් පහළින් අමුණා ඇත්තේ ඔබ සැමගේ ලාම්පු සංවේගය සහ ලේ පිරිසිඳු කර ගැනීම උදෙසාය 😀

(සොප්‍රානෝ ශෛලියයෙන් ගැයුන දන්නෝ බුදුන්ගේ ගීතය කිෂානි ජයසිංහගේ හඬින් )

(සංඛ අමරජිත් (නො)දන්නා ඔපෙරා ~ ඥාව් … ඥාව් …)

ඔපෙරා සංගීතය පැත්තෙන් ගත් කල කණ්ඩාගේ දැනුම සම කල හැක්කේ “ශිල්ප කාලා නිදි” මට්ටමටය, ඒ නිසා නොදන්නා සංගීතයක් ගැන කියා වරිගේ නහ ගන්නවාට වඩා ඇස පිනවන ගොඩනැගිල්ලේ කලාත්මක බව ගැන පමණක් විස්තර කිරීම කණ්ඩාගේ අදහසය.

මෙම රඟහල හැබැහින් දැක බලා ගැනීමේ ආසාව කණ්ඩාට ඇති වූයේ කලකට ඉහතදී දුටු පින්තුර වල වූ සිත් වශී කරනා අලංකාරය නිසාය.

දැනට වසර වසර කිහිපයකට පෙරඅතුව විවෘත කර ඇති මස්කට්හි රාජකීය ඔපෙරා රඟහල ඉතා ගාම්භීරව නිමවා ඇති ගොඩනැගිලි සංකීර්ණයකි. ඕමාන්හි සුල්තාන්වරයාගේ නියෝගයන් මත ඉදිවූවක් නිසාදෝ ඉස්තරම් වර්ගයේ ඉතාලියානු කිරි ගරුඬ, බුරුම තේක්ක සහ ඕමානයේ කාන්තාර වලින් සපයා ගත් රෝස පාෂාණ වලින් හැඩ ගැන්වී ඇත.

හැබැහින් දැක අත්විඳිනා දේත් පින්තූරයකින් දැක කියවනා දේත්  අතර ඇත්තේ විශාල පරතරයකි, ඕනෑම තැනක් නිවැරදිව වටහා ගෙන රස විඳින්නට නම් එහි සංචාරය කල යුතුය. ඒ අතින් ඔපෙරා රඟහල වෙත යාමට අප ගත් තීරණය නිවැරදි එකක් විය.

අරාබි කැටයම් සහිත බුරුම තේක්ක ලීයෙන් අලංකෘත උස සිවිලිම්ද, බැලූ බැලූ අත සුදු පැහැයෙන් බබළන කිරිගරුඬ බිත්ති වලින් වට වුණු නේක වර්ණ පාෂාණයන්ගෙන් හැඩ දැමූ දිලිසෙන පොළොවද නිසා මෙය රඟහලකටත් වඩා රාජ මාලිගයක සිරිය ගත් බව පැවසුවොත් කිසිසේත් අතිශෝක්තියක් නොවේ.

(ඔපෙරා රඟහල පිළිබඳ තවත් විස්තර)

අප දෙදෙනාම මින් පෙර කිසි දිනෙක ඔපෙරා රඟහලකට ගොඩ වැදී නැත, රැජින ආත්තම්මාගේ රටට ගිය වතාවකදී ලන්ඩන් නුවර කෙන්සින්ටන් උද්‍යානයේ කෙළවරක පිහිටි රාජකීය ඇල්බර්ට්** ඔපෙරා රඟහල ඉදිරිපිට කරක් ගසා ඇත්තේය.

නමුත් එහි ඇතුල් වීමේ අවස්ථාව අප දෙදෙනා හට මග හැරී ගියේ කාලවේලාව මදකම මෙන්ම හාමිනේ ඒ සඳහා වැඩි උනන්දුවක් නොදැක්වූ නිසාය.

** මේ හදිස්සියට ලන්ඩන් සිට සල්ලි එවන ඇල්බර්ට් අංකල් නොව වික්ටෝරියා රැජිනගේ ස්වාමිපුරුෂයා බව කරුණාවෙන් සලකන්න **

කොහොමින් කොහොම හරි ඕමානයේදී කණ්ඩ දෙමහල්ලෝ ඔපෙරා රඟහලකට පිවිසුණේ ජිවිතයේ පළමු වතාවටය, මුලින් වැඩි උනන්දුවක් නොදැක්වූවත් අන්තිමට කණ්ඩාටත් වඩා මෙම අත්දැකීම රස වින්දේ හාමිනේය.

අපට රාජකීය ඇල්බර්ට් ඔපෙරා රඟහල බැලීම මග නොහැර ඉන්නට තිබුණු බව සිහි වන විට මද කණගාටුවක් දැනුණද ඉදිරියේදීත් එවන් අවස්ථා ලැබෙනු ඇතැයි සිතා හිත හදා ගන්නට හැකිය.

(මාත්‍රා වෙරළ තීරයේ ඇති සංචාරක ස්ථානයන් )

රඟහල නරඹා අවසාන වීමෙන් අනතුරුව අපගේ ගමනාන්තය වූයේ මත්‍රා වෙරළ තීරයයි.

ඒ ආසන්නයේ ඇති බයිත් අල් බරණ්ඩා කෞතුකාගාරය (Bait Al Baranda), මත්‍රා සූක් (Muttrah Souq) හෙවත් පැරැණි කඩමණ්ඩිය මෙන්ම මත්‍රා බලකොටුව (Muttrah Fort) මස්කට් වෙත ඇදී එන සංචාරකයන් අතර ඉතා ප්‍රචලිත ස්ථානයන්ය.

GPS උපකරණයේ පිහිටෙන් වැඩි කරදරයකින් තොරව බයිත් අල් බරණ්ඩා කෞතුකාගාරය සොයා ගත් අප පැයකට අධික කාලයක් එහි ගත කළේ මස්කට්හි ඉතිහාසයට අදාල දේ සහ එහි තබා ඇති විවිධ දේ රස විඳිමිනි.

සේවකයන්ට අතපසුවීමකින්දෝ කෞතුකාගාරයේ වහලය මතට යන දොරටුව විවෘතව තිබූ නිසා එය මතට නැග ගැනීමට හැකි වූයේ අපගේ වාසනාවටය, මන්ද උස් බිමක සිට මේ කිට්ටුවම ඇති සුල්තාන් කුබූස් වරාය මෙන්ම අවට පරිසරය මනාව දැක බලා ගැනීමට හැකි නිසාය.

එතැන සිට අත පොව්වම මානයේ ඇති මත්‍රා වෙරළ තීරය දිගටම නැරඹීමට ඇති දේ බහුලය, දවස පුරාවටම සංචාරකයින්ගෙන් අඩුවක් නැති මේ වෙරළ තිරය දිගට වාහන නැවත්වීමට ඉඩ කඩක් ලැබෙනවා යනු ලොටෝ ලොතරැයියක් ඇදෙනවා හා සමානය.

එදා වාසනාව කණ්ඩාගේ පැත්තේ නිසා කනාවට ඉතිරි වී තිබුණු ඉඩ කඩක වාහනය නවතා ගැනීමට ලැබුණු හෙයින් කොනක සිට වෙරළ දිගේ ඇවිදින්නට අවස්ථාව උදා විය.

අඩ සඳක හැඩය ගත් වෙරළ ඉදිරිපසින් ලොව විශාලතම ස්වභාවික වරායක් වන සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකා මෙන්ම භාණ්ඩ ප්‍රවාහන නෞකා නවත්වන මස්කට්හි සුල්තාන් කුබූස් වරාය පිහිටා ඇත්තේය.

Silk Road

(සේද මාවතේ සිතියමක්)

වසර දහස් ගණනක් පැරණි මුහුදු සහ ගොඩබිම් සේද මාවත මෙම වරාය හරහා ඇදී යන්නේය, මස්කට් යනු එහි ප්‍රසිද්ධ නැවතුමක් නිසා ඒ ඔස්සේ  මැද පෙරදිග, යුරෝපය, ආසියාව සහ අප්‍රිකාව පුරා පැතිරී ගිය අන්තර්ජාතික වෙළඳ සබඳතා අදටත් එලෙසම පවතින්නේය.

මැදපෙරදිග පිහිටි පැරණිතම වරායන්ගෙන් එකක් වන මෙය ඇස ගැටෙන මානයේ වෙරළ අද්දර ඇති වරාය තරම්ම පැරණි මත්‍රා සූක් හෙවත් සම්ප්‍රදායික කඩමණ්ඩිය යම් නවීන මුහුණුවරක් ගත්තද අදටත් පෙර සේම වෙළඳ කටයුතු වලට විවෘතය.

දඟර ගැසෙනා අඩ අඳුරු කාර්ය බහුල කුඩා කඩ පේළි, පටු මාවත් ඔස්සේ පැතිර ඇති මෙය ඕමානි ජාතිකයන් විසින් හඳුන්වන්නේ “සූක් අල් දලාම්” (Souq Al Dhalam) හෙවත් “අඳුරු බසාරය” යන නමිනි. සංචාරකයන්ගෙන් සහ ඕමානින්ගෙන් පිරී ගිය මෙතුළ කරක් ගැසූවෙකුට ඒ ගැන අමුතුවෙන් පැහැදිලි කරන්නට අනවශ්‍යය.

සුවඳ විලවුන් මෙන්ම සුවඳ දුම් නිෂ්පාදනයට යොදා ගන්නා “ෆ්රැන්කිසෙන්ස්” (Frankincense) නමින් හඳුන්වන සුවඳ දුම්මල මෙන්ම ඒ ආශ්‍රයෙන් නිපදවන “බකුර්” (Bukoor) සුවඳ දුම් සඳහාද ඕමානය ඉතා ප්‍රසිද්ධය.

මත්‍රා කඩමණ්ඩිය තුළ මෙම සුවඳ වර්ගයන් මෙන්ම ඒවයෙන් දුම් ඇල්ලීම සඳහා භාවිතා කරනා මැටියෙන් හෝ ලීයෙන් සැදූ “මුබ්කාරා” (Mubkhara) නම් අලංකාර දුම් අල්ලන භාජනද එමට විකිණීමට ඇත්තේය.

මේ සුවඳ දුම්මල අස්වනු ලබා ගැනීමට කාන්තාරයේ වැවෙනා දැඩි උණුසුමට හොඳින් ඔරොත්තු දෙන විශේෂිත ශාක වර්ගයක් ඇති අතර එහි පිට පොත්ත පලුදු කිරීමෙන් වෑහෙන ලාටු ඝන වීමෙන් ෆ්රැන්කිසෙන්ස් සුවඳ සුම්මල බවට පත් වේ.

මේ ක්‍රියාවලියට කිට්ටුම දේ ලෙස කණ්ඩා ලංකාවේ දැක ඇත්තේ කිරි සහ ඔට්ටපාළු ලබා ගැනීමට රබර් ගස යොදා ගන්න ආකාරයයි. එකම වෙනස ෆ්රැන්කිසෙන්ස් රබර් මෙන් වාණිජමය වතු වගාවක් වෙනුවට කාන්තාරයේ ස්වභාවිකව වැවෙනා ශාක වීමයි.

(ෆ්රැන්කිසෙන්ස් සුවඳ දුම්මල සහ ඒවා නිෂ්පාදනය කරනා සැටි )

සුවඳ ද්‍රව්‍යයන් වලට අමතරව විවිධ විසිතුරු බඩු සහ සංචාරකයන් වෙනුවෙන් ඇති සිහිවටන මෙන්ම පිරිමින් වෙනුවෙන් ඇති ඉන බඳින “කන්ජාර්” (Kanjar) නම් ලෝහ සහ රිදී වැඩ දැමූ කිනිසි, දිගු අරාබි ලෝගු හෙවත් “දිශ්දශා” (Dishdasha),  කාන්තා පාර්ශවය අඳිනා සහ අබයා සහ වර්ණවත් රිදී වැඩ දැමූ ඇඳුම්ද  (Abaya & Omani Dresses) වෙනත් සම්ප්‍රදායික රිදී ආභරණ සහ ආයිත්තම් වල නිමක් නැත.

සිහිවටන ලෙස සුකුරුත්තන් බඩු කිහිපයක් මිලදී ගැනීමෙන් අනතුරුව මත්‍රා කඩමන්ඩියෙණ් එළියට බට අපි වෙරළ තීරයේ කෙලෙවරකට වන්නට ඇති මත්‍රා බලකොටුව වෙත ගියත් නඩත්තු කටයුතු හේතුවෙන් එය සංචාරකයන් හට තහනම් කලාපයක්ව පැවතුණි.

බලකොටුව පිටතින් බලා පින්තුරයක් දෙකක් ගන්නවා ඇරෙන්නට වෙනත් දෙයක් කරන්නට දෙයක් ඉතිරිව තිබුනේ නැත, එමෙන්ම ඒ වන විට දිවා ආහාර වේලාවද පසු වී තිබුණු නිසා කණ්ඩා තීරණය කළේ තව දුරටත් රස්තියාදු නොවී දිවා අහාර ගෙන වේල පහ හෝටලයට ගොස් විවේක ගන්නටය !

(ඕමානි ඇඳුම් පැළඳුම්)

~ ඕමානයේ ශිනාස්, මස්කට් සහ සිෆා හිදී ගත් ඡායාරූප එකතුවක් ~

~ මතු සම්බන්ධයි !

මස්කට් කතන්දර ~ III කොටස ~ ශිනාස් සහ මස්කට් !

මස්කට් කතන්දර ~ V කොටස ~ සින්බෑඩ්, වහල්ලු සහ පරංගි !

Advertisements