Fuckitol - When Life Blows

හදිසියේම සිරි ලංකාවට අල්ලපු රටේ උදවිය අලුතෙන් බදු එකතු කරනා හැටි (GST Implementation) බලන්න මදුරාසියට ගොඩ බහින්නට උනු හන්දා ඒ රාජකාරිත් සමග කණ්ඩා පහු ගිය සති කිහිපයම ගෙව්වේ වලිගය ගිනි ගත්තු හනුමා වගේ කිව්වොත් නිවැරදියි.

ඒ කලබල අස්සේ නොසෑහෙන දවසකින් බොග පැත්ත පළාතේ ගොඩ නොවැදුන නිසා බොගේ පාලුවට ගොහින්, අමාරුවෙන් අටවා ගත් පැල වල් වදින්න දෙන්ට හොඳ නැති නිසා වැඩි කල් නොයවා මොකවත් ලියන එක තමා හොඳ.

නමුත් බිලියන 5,000 හේ බෝනස් ප්‍රශ්නය ලියන්නේ මොනවාද කියන එක ???

වෙනදා පුරුද්දට සංචාරක සටහන් ලියන්නත් කම්මැලිය, වැඩ කටයුතු බහුල නිසා හිත එක තැනක තියාගෙන ලියන්න වටිනා දෙයක් ඔලුවට එන්නේද නැත.

ඉතින් කණ්ඩාගේ අන්තිම තීරණය ෆකිටෝල් එකක් ගෙන ෆකිටෝල් ගැනම වැල් වටාරමක් ලියන්නටය !!!

හුදී ජනයාගේ ලාම්පු සංවේගය උදෙසාම පිරිනැමෙන ෆකිටෝල් කතා වස්තුව කුඩා දරුවන් සඳහා යෝග්‍ය නොවන බව කරුණාවෙන් සලකන්න 🙂


කණ්ඩා ඕනෑම ලෙඩකට බෙහෙත් හේත් ගන්නට තරමක් හොරය, ඇත්තම කියනවා නම් තරමක් නොව හොඳටෝම හොරය … සද් ගුණවත් දොස්තර මහතුන් කෙරෙහි ඇති දැඩි ඇල්ම සහ (අ)විශ්වාසය මෙයට යම් තරමකට හේතු වන මුත් ප්‍රධාන කාරණාව වෙනත් කිසිවක් නොව කම්මැලිකමය.

සිරි ලංකාවේ උපන් අප අත් බෙහෙත් සහ ගොඩ වෙදකම් නුහුරු නුපුරුදු ජාතියක් නොවේ, ක්‍රිමි රජගුලියේ සිට සිද්ධාලේපය දක්වාද, අසමෝදගම් ස්ප්‍රිත්තුවේ සිට මදන මෝදකය දක්වාද අටෝරාසියක් වෙදකම් එයට සාක්ෂි සපයන්නේය.

ඒ ගැන කියවන්නට කැමති අය වෙත් නම් දේශීය බොග ලියනා හිංගල වෙද මහත්තුරුන් අතීතාවර්ජනයේ යෙදෙමින් රචිත පහත දැක්වෙන ලිපි පරිශීලනය කිරීම සුදුසු යයි රෙකමදාරු කරමි.

( **හදිසියට හොයා ගන්නට හැකි වූයේ මේ උඩින් එළා ඇති දේ පමණක් බව කරුණාවෙන් සලකන්න, එනිසා ඇහැකි විදිහට ඉතිරි ටික සොයා ගැනීම ඔහෙලාට බාරය ** )

නමුත් මේ ලැයිස්තුව නැවත නැවතත් පතුරු ගැසීමට කණ්ඩාගේ බලාපොරොත්තුවක් නැත්තේය.

ඒ වෙනුවට කණ්ඩාගේ මේ උත්සාහය ඒ හා සමානම වටිනාකමකින් යුතු නවීන පන්නයේ ඔසුවක් පිලිබඳ විස්තර ඉදිරිපත් කරන්නටය.

නමින් “ෆකිටෝල්” (Fuckitol) වන මෙය එසේ මෙසේ බෙහෙතක් නොව දිව්‍ය ඖෂධයකි, කාලයක් තිස්සේ කණ්ඩා පෙලූ අටෝරාසියක් ප්‍රශ්න වලින් මිදී හිත නිදහස් කර ගැනීමට උදව් කල එකම මහෞෂධය මෙය බව කණ්ඩා නොසඟවා පවසන්නේය.

Fuckitolඉංගිරිසි භාෂාවෙන් නම් බෙහෙත් වලට “මෙඩිසින්” (Medicine) හෝ “ඩ්‍රග්ස්” (Drugs) යනුවෙන් ව්‍යවහාර වන්නේය. “ඩ්‍රග්ස්” යන්න බෙහෙත් වලට පමණක් නොව ඇබ්බැහි වීමට තුඩු දෙන නොයෙක් මත් ද්‍රව්‍ය සඳහාද යෙදෙන්නේය.

ඒ අතින් ගත් කල ෆකිටෝල් වැටෙන්නෙත් “ඩ්‍රග්ස්” ගණයට බව නොකියාම බැරිය, භාවිත කර බලා එහි ගුණ අත්දුටු උදවිය මෙයට ඇබ්බැහි වෙන එක වැලැක්වීමට නොහැකිවා මෙන්ම එය මහා ලොකු පුදුමයක්ද නොවේ.

දැන් හැමෝම කලබල වී කණ්ඩා කොම්පීතර් ජිල්මාට් වෙනුවට බෙහෙත් විකුණන්න පටන් අරගෙන දැයි සැකයක් ඇති කර නොගත්තාට කම් නැත, ප්‍රශ්න අහන්න කලින් ලිපිය වමේ සිට දකුණටත්, මුල සිට අගටත් කියවා තේරුම් ගැනීමේ වගකීම ඔබ සතුය.

** තේරුණේම නැතිනම් යමින් ගමන් පහලින් කොමෙන්ටුවක් කොටා ගියොත් ඒ අයට ඔන්ලයින් පන්තියක් දමා කතාන්දරය තේරුම් කිරීම කල හැකිය 😀

මේ බෙහෙතේ බල මහිමයෙන් ඔබ සියලු දෙනා හට අටෝරාසියක් ගොඩ වෙදුන්, රට වෙදුන්, හොර වෙදුන්, කට්ටඩියන්, වංචා කාරයන් මූනිච්චාවට හිනා වී පිටට පිහියෙන් අනිනවුන්, වේයන් වැනි නෑයන් ගෙන් පමණක් නොව ග්‍රහ අපල, රැකි රක්ෂා, විභාග, දේශපාලනික ප්‍රශ්න වලින්ද ගැලවී සිටින්නට උපකාරී වන්නේය.

සුවහසක් ජහමනයා හට සෙත සදන්නට හැකියාවක් ඇති එවන් බෙහෙත් හේත් ගැන දැනුම බෙදා හදා නොගන්නා එක ආත්මාර්ථකාමීකමක් මෙන්ම පාපයකි.

එනිසා මෙය ඔබ දන්නා කියන හැමෝමත් එක්ක බෙදා හදා ගැනීමට ලිපිය කියවා විනාඩි 13ක් ඇතුළත තව විසි දෙනෙකුටවත් යැවීම අනිවාර්යයෙන්ම කළ යුත්තේය !

ඉන් ඔබට වෙන සෙතක් නැතත් කාගේ නමුත් ජීවිතය වෙනස් කිරීමට හේතු සාධක වෙනවා නොඅනුමානය 🙂

පහු ගිය දස වසර පුරා බොහෝ අවස්ථා වලදී  කාටත් හොරෙන් කෝකටත් තෛලය මෙන් වරින් වර පාවිච්චියට ගත් ෆකිටෝල් කණ්ඩාට නම් කස්තුරි වලටත් වඩා වටිනාකමින් වැඩිය.

සිරි ලංකාවට ගෙන්වන මෙවන් ඖෂධ සියල්ල සෞඛ්‍ය අමාත්‍යංශයේ ලියාපදිංචි කල යුතු යයි කණ්ඩා අසා ඇත, දන්නා තරමින් ෆකිටෝල් සම්බන්ධයෙන් නම් එහෙම කරදර වෙන්නට අනවශ්‍යය.

නානා ප්‍රකාර නම් වලින් එන නේක පැහැ ලොකු කුඩා ගුලි, අරිෂ්ඨ, කල්ක, චූර්ණ, සිරප්, පෙති, කරල් ආදී බෙහෙත් මෙන් මේ සඳහා අමුතුවෙන් වෛද්‍ය නිර්දේශ අවශ්‍යය වන්නේ නැත.

Morpheus - Red & Blue Pillගුලි සහ කරල්  හෙවත් පිල්ස්  (Pills) ගැන කියද්දී එදා මෙදාතුර ලොව විද්‍යා ප්‍රබන්ධ පිස්සන් අතර බෙහෙවින් ජනප්‍රිය මේට්‍රික්ස් (Matrix) චිත්‍රපට මාලාවේ පළමුවන දිග හැරුමේදී මෝෆියස් (Morpheus) විසින් නියෝ (Neo) වෙත නිල් සහ රතු බෙහෙත් කරල් දෙකක් දිගු කරමින් එකක් තෝරා ගන්නට කියනා ජවනිකාව කණ්ඩාගේ සිහියට එන්නේය.

මේ සිදුවීමට කණ්ඩා මුහුණ පෑවා නම් මෝෆියස්ට නිල් සහ රතු පැහැ බෙහෙත් කරල් දෙක වෙන තැනක ගසා ගන්නට කියා ෆකිටෝල් සමග හන්දියේ කඩෙන් බනිස් ගෙඩියක් කා ප්ලේන්ටියක් බී ගෙදර එන්නට බොහෝ දුරට ඉඩ ඇත්තේය.

මෝෆියස් නොව මොන දෙයියන්නාන්සේ කිව්වත්, ඕනෑම බම්බුවක් කියපු පලියට විශ්වාසයට ගෙන කරන්නම් වාලේ කරනවාට වඩා ෆකිටෝල් කණ්ඩාට කවදත් ෂුවර්ය, ඉන් අත්වන ප්‍රතිපලද එසේමය !

අනික බෙහෙත් ගන්නට කියා වෛද්‍යවරු, හොර වෙදුන් මෙන්ම රටේ වෙදාලා පස්සෙන් පන්නන්නට සිදු නොවන බැවින් ඒ සඳහා මුදල් වියදම් කිරීම මෙන්ම පැය ගණන් පෝලිම් වල රස්තියාදු වෙමින් කා දමන වටිනා කාලයද ඉතිරිය.

ආණ්ඩුවේ ඉස්පිරිතාලේ රාජකාරි පවා පැහර හරිමින් චැනල් කඩ වල තරුණ හෙදියන් වට කරගෙන ඉඟි බිඟි පාමින් ගතමනාව සරි කර ගන්නා අතලොස්සක් දොස්තරලාට මින් බඩේ පාර වදින්නට ඉඩ ඇතිමුත් කරන්නට දෙයක් නැත.

බොහෝ දොස්තරලා එසේ නොවනා බැවින් ඒ උදවියට ඇති කරදරයක්ද නැත, බොරු ලෙඩ කියාගෙන එන උදවිය අඩු නිසා හැබෑ දොස්තර මහත්තුරුන්ගේ රාජකාරියටත් ලෙහෙසිය !

එයට අමතරව ෆකිටෝල් භාවිතයෙන් හිත් කරදර, ලොවෙත් නැති ග්‍රහ අපල, ඇස්වහ කටවහ, භූත දෝෂ මෙන්ම අපි හැමෝම එලියට බහිනකම් අපට කෙලින්නම බලන් ඉන්නා රාහු සහ කේතුගේ අතුරු ආන්තරා වලින්ද මිදෙන්නට හැකිය.

ඒ අටෝරාසියක් වල් බූත වෙනුවට වැදගැම්මක් ඇති යමකට අවධානය යොමු කිරීමට හිතේ නිදහස ෆකිටෝල් මගින් ලබාදෙන නිසාය.

සැටලයිට් නෝනගෙ කාලේ මෙන් දැන් 3.50 ට පාන් නැති නිසා මුදල් අතින් පමණක්ම හිතනවා නම් ගණ දෙයියෝ යාලු කර දෙන්නට පොරොන්දු වෙන ආසිරි දෙයියා ඉල්ලන පාන් බාගයක තරම් වත් වියදමක් කණ්ඩා මේ සඳහා වැය වන්නේ නැත.

මීට අමතරව කතරගම, කාලි, විෂ්ණු, ලක්ෂ්මි, සරස්වතී, ශිව, දැඩිමුණ්ඩ, සුමන සමන්, නාථ – අනාථ ආදී තවත් කෙළ කෝටියක් දෙවියන් බැහැ දකින්නට යද්දී පලතුරු මැස්සන් කෝප කරමින්, බඩගින්නේ ඉන්නා රිලවුන්ට ඔච්චම් කරමින් හිස් ඔලු උඩ තියාගෙන යන පලතුරු වට්ටි තව දුරටත් අනවශ්‍යය.

ඒ සමගම දෙයියන්ගේ වරලත් ඒජන්තලා වන කපු මහත්හොරු වෙනුවෙන් පුද පුජා කරන මොනර කොළ සියල්ලද වියදම් නොකර තම තමන්ගේ සාක්කු, හැඹිලි පොකට් වල පරිස්සමට තබා ගත හැකිය. ඒ වෙන මොකටවත් නොව ඉදිරියට ආණ්ඩුවේ මැති ඇමති ගොල්ලන් නඩත්තු කිරීම සඳහා වැඩි වැඩියෙන් බදු ගෙවන්නටය !

ෆකිටෝල් කිසි කරදරයකින් තොරව ඕනෑම අවස්ථාවකදී භාවිත කල හැකිමුත් හැමෝටම නොගැලපීමට ඉඩ ඇති බවට මුළින්ම අනතුරු අඟවන්නට කැමතිය, තේරෙන භාසාවෙන් කියනවා නම් මෙය භාවිත කරන්නන් කබර හමක් සහිත ඕනෑම දේකට හැඩ ගැසීමට සමත් ගලක් සේ හිත තද කරගැනීමට හැකි අය වීම වැදගත්ය.

ඒම හේතුව නිසාම කුඩා දරුවන්, ගර්භනී මව් වරුන්, වයසක පහේ උදවිය, හදවත් රෝගීන් මෙන්ම සංවේදී අය මෙම බෙහෙත භාවිතයෙන් වැළකීම ශරීර සෞඛ්‍යයට වඩාත් හිතකරය.

කණ්ඩා මේ බෙහෙත කුලුඳුලේ අත්හදා බැලුවේ උසස් පෙළ කරනා අවදියේය, එමගින් “නැව ගිලුණත් බෑන් චූන්” කියා සැහැල්ලුවෙන් කාලය ගත කිරීමට මෙන්ම හිතේ කරදර බොහොමයක් මග හැරිමටද උපකාරී වූ බව පවසන්නේ අප්‍රමාණ සතුටින්ය.

නමුත් මෙහි අතුරුපල නැතුවාම නොවේ, හොඳම උදාහරණය අදටත් විලිලැජ්ජාවේ මහත් උජාරුවෙන් පවසන්නට යෙදෙන ගුරු හොරුන්ගේ කැපවීමෙන්, කණ්ඩාගේ දැඩි වෙහෙස මහන්සියෙන් සහ විභාග දෙපාර්තුමේන්තුවේ අනුග්‍රහයෙන් උසස් පෙළ විභාගයට ලැබුණු ලයිට් කණු ත්‍රිත්වයයි.

මේ ගැන කයි කතන්දර කලින් කියා ඇති බැවින් යලිත් ඒ ගැන කියන එක අනවශ්‍යය, නමුත් ඒ ගැන කියවන්නට කැමති අයට වැඩි විස්තර මෙතනින් 😀

උසස් පෙළ උඩින්ම සමත් වී කැම්පස් යන්නට තිබුණු වරම ලකුණු සියයක් දෙසීයක් වැනි සුළු ප්‍රමාණයකින් ගැස්සී ගිය නිසාවෙන්, වෙන අතක් බලාගෙන ගොඩ එන තෙක් ෆකිටෝල් භාවිතය තාවකාලිකව අත්හිටවන්නට පවුලේ වැඩිමහල්ලා ලෙස කණ්ඩාට සිදු විය.

නමුත් ෆකිටෝල් යනු එසේ සම්පුර්ණයෙන් අමතක කර බැහැර කිරීමට හැකි දෙයක් නොවූ බව කියන්නට කැමතිය.

එතැන් සිට කණ්ඩා කොම්පීතර රැකියාවට අත්පොත් තැබූ ඩී.පී. එයිඩ්ස් (DP Aides) ආයතනයේ පටන් සොෆ්ටෙක් (Softech), කිව්-සොෆ්ට් (Q-Soft) දක්වා සිරි ලංකාවේ සියලු සේවා ස්ථානයන්හිදීත් ඔලුව කෙළින් තබාගෙන සිටීමට ෆකිටෝල් උපකාරී විය.

එයිඩ්ස් කොම්පැනියේදී අනුන් කර අරින හැම ගැට්ටකම කර ගැසූ නිසාවෙන් එකල අපේ ගුරා වූද පසු කලෙක ඉතා සමීප සහෝදර පාප මිත්‍රයෙකු බවටද පත් වූ “සිල්වා” විසින් අහිංසක කණ්ඩාට “ගැට්ටා” අන්වර්ථ නාමයක්ද පට බැන්ඳේය.

එයිඩ්ස් කොම්පැනියේ ඉන්නා තුරු “ගැට්ටා” යන නම රෙජිස්ටර් උනත්, පුක කසා ගන්න රුපියලක් නැති උනත් ඕන ලබ්බක් පනං දෙකයි කියා ඒ හැම ගැට්ටක්ම ගොඩ දැමීමට කණ්ඩාට උදව් උනේ ෆකිටෝල්ය 😀

ඉන් පසුව කණ්ඩාගේ අතිජාත මිත්‍ර රුවන් මාර්ගයෙන් බැඳුනු සොෆ්ටෙක් කොම්පැනියේ ලොකු තැන වූ මූර්ති සහ තවත් හවුල් කරුවෙකු (පසු කාලයක මොහු කිරිකැට් ආයතනයේ භාණ්ඩාගාරික බවට පත් විය) සමග වූ කඹ ඇදීම සහ මූර්තිට මුට්ටිය අල්ලන චග්ගෝලයන්ගේ නරි නාටකයන් හින්දි චිත්‍ර පටයක් බලන්නා සේ සතුටින් නරඹන්නටත් යෙදුණේ වෙන කිසිවක් නිසා නොවේ.

කණ්ඩාට සෑහීමකට පත් කිරීමට අපහසු පාරිභෝගිකයන් සමග ගනුදෙනු කරනා අකාරය ඉගැන්වූ තක්සලාව කිව් කොම්පැණියයි (Q-Soft), එකල අපගේ පාරිභෝගිකයන් වූ DSI සමුහ ව්‍යාපාරය, මන්චී (Munchee) ආදී ව්‍යාපාරික ස්ථානයන්හි සිටි තමන්ගේ මතය හැරෙන්නට අන් කිසිඳු මතයකට හෝ තර්කයකට නොනැමෙනා ඇතැම් උදවිය සමග ගනුදෙනු කරද්දී බොහෝ විට ෆකිටෝල් නැතුවම බැරි විය.WTF

ඉන් පසු කාලීනව මැදපෙරදිග දිර්ඝකාලීන බෝඩිං කාරයෙකු බවට පත් වූ කණ්ඩා හට නොයෙක් අකාරයේ මිනිසුන් නොමිනිසුන් ආශ්‍රය කරන්නටත් ඒ සියල්ලන්ගෙන් ඔලුව බේරාගෙන ඔටුවන්ගේ රටේ සාර්ථකව වාසය කරන්නටත් මේ බෙහෙත මහෝපකාරී වූයේය.

විශේෂයෙන් එහිදී රාජකාරි කටයුතු කරන්නට සිදුවුයේ විවිධ රට රාජ්‍ය වලින් පැමිණි නානාප්‍රකාර ගතිගුණ සහ පසුබිම් වලින් එන උදවියත් සමගය, මේ උන්දලා අතර වැදගත් නෝනා මහත්වරුන් සහ මහත්වරුන් සිටියද වැඩිමනක් සිටියේ බොක්කෙන්ම රජ ටෝක් දී පස්සට පිහියෙන් අනිනා උන්ය.

අන් සියල්ල අමතක කර රාජකාරි මට්ටමින් මේ බොහෝ දෙනා සමග ගනුදෙනු කිරීමද ලෙහෙසි නැත, ඕනෑම දෙයක් පටන් ගද්දී නැව් ටෝක් දුන්නද වැඩට බැස්ස විට ඒ සියල්ල පුස් ටෝක්ය, එවන් පසුබිමක මානසික ඒකාග්‍රතාවය බිඳ නොගෙන සිත නිදහස් කර ගැනීමට මේ බෙහෙතෙන් මදක් ගැනීම සෑහෙන්නේය.

නවාතැන්පොළේ, කන්තෝරුවේදී පමණක් නොව නෑදෑ හිතමිතුරන් අතරද නොයෙක් ආකාරයේ වල් පැළෑටි ඇති බව කණ්ඩා වටහා ගත්තේය. එවන් ගත යුත්තක් නැති උන් ඇති කරනා අවුල් වියවුල් පැටලුම් ලිහා ගැනීමේදීද මින් මදක් උවමනාවටත් වඩා වැඩිය.

එහි ආනිසංසයෙන් වැද ගැම්මකට නැති නෑදෑයන් මෙන්ම නාමික හිත මිතුරන්ද හැලී යනු නොඅනුමානය.

කණ්ඩා හිතන්නේ බුදු රජාණන් වහන්සේ පවා “අප්පිය සම්පයෝග දුක්ඛෝ” යනුවෙන් දේශනා කළා මිස “අප්පිය විප්පයෝග දුක්ඛෝ” යයි පැවසුවේ නැත, එනිසා යන යකා කොරහත් බිඳගෙන ගියාය ඇති පාඩුවක් නැත්තේය… ඉන් අත්වන්නේ හොඳක්මය  🙂

අප්‍රියයන් යන පදයට අසලින් තබන්නට හැකි දෙයක් ගැන හිතනා විට වර්ථමානයේ මුලින්ම කියන්නට වෙන්නේ දේශපාලුවන් ගැනය. දේශපාලනය යන මාතෘකාව දේසපාලුවන් හට ඇරෙන්නට අද වන විට ටෝයියෝ සහ බයියෝ යන දෙගොල්ලන්ටම වහකදුරුය, නමුත් එය එසේ වෙන්නට කිසිම හේතුවක් නැත.

ඒ වෙනකක් නිසා නොව හිටපු රජතුමාගේ ආශ්චර්යයෙන් මිදී  හිටංතුමාගේ යහපාලනය යටතේ සියල්ලන්ටම අපමණ අගයක් ලැබී ඇති නිසාය.

කොටින්ම අද වනවිට “මගේතුන සොරිසේන” සහ “බොන්ඩ් වික්‍රමසිංහ” මැටි තුමන්ලා පොරොන්දු වූ පරිදි අම්මට සිරි ලංකාවේ හිටිය හොරු සියල්ල අල්ලා කූඩු කර අහවරය.

ඉතිරි වී තිබුණු අටෝරාසියක් සුළු ප්‍රශ්න සියල්ලද දින 100 ක් ඇතුළත නොව “ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩි” කියන්නත් කලින් විසඳා දැමූ නිසා දැන් සිරි ලකාවේ ප්‍රශ්න නැත.

Keep Calm and Take Some Fukitolඅනික් අතින් අපේ මුදල් ඇමති තුමා ගැනත් අපිට හොඳටෝම ආඩම්බරය, මුලින් ස.තො.ස. ද පසුව බොන්ඩ් අමාත්‍යාංශයටද තම පුද්ගලික දේපොළක් තරමටම ආදරයෙන් වග කියමින් අඹු දරුවන් අමතක කර දමා රටට සේවය කරනා එතුමා ජේමිස් බොන්ඩ් මෙන් ලොව සිටිනා නොම්මර එකේ වැඩ කරුවෙකි.

මේ සියල්ලන් නඩත්තු කරන ජහමනයා වන අපිට කරන්නට ඉතිරි වී ඇති එකම දේ මේ සියල්ල රසවිඳිමින් ෆකිටෝල් සමගින් දවස ගෙවන්නටය.

අන්තිමේදී කොහොමටත් කියන්නට ඉතිරිව ඇත්තේ, අපි හැමෝටම ෆකිටෝල් පිහිටයි කියා විතරය !

~ කණ්ඩා ~