1st-BDay

ක්‍රිස්තු වර්ෂ 2016 ක් වූ අගෝස්තු මස 22 වෙනිදා, ඔව් එදා තමයි දවස, හරියටම අදට අවුරුද්දකට කලින් !

ඒ වෙනකොට මම මැද පෙරදිගට ගොඩ බැහැල මෙහේ ස්ථිර බෝඩිංකාරයෙක් වෙලා  දන්නෙම නැතිව ජිවිතේ හොඳම හරියත් අරගෙන කාලය ඉගිලිලා ගිහින්.

හිතේ තියන ඒකාකාරී බවෙන් මිදෙන්න වගේම ඒ වෙනකොට උවමනාවටත් වඩා ඉතිරි වෙලා තිබුණ කාලය වෙන කාටවත් කරදරයක් නැතිව කාල දාන්න විදිහක් හොයා හොයා ඉන්න කාලෙ.

කාලයක් තිස්සේ හොඳට හෝ නරකට මගේ ඔලුවට එන දෙයක් කුරුටු ගාල දාන්න බ්ලොග් එකක් අටවගන්න කියල අදහසක් තිබුනත් මම සාමාන්‍යයෙන් අත ගහන අනිත් හැම වැඩේම වගේ ඉස්සරහට යනවා වෙනුවට දවසින් දවස බාලගිරි දෝසෙ වැළඳිලා පහු බැස්ස එක තමයි සිද්ධ උනේ.

මම පාසලෙන් එළියට බැහැල රැකියාවක් කරන්න පටන් ගත්තට පස්සේ ඉඳන් රාජකාරි වැඩ වලට අදාළ දේ ඇරෙන්න කිසිඳු නිර්මාණාත්මක හෝ වෙනත් යමක් ලියන්න කියන්න උත්සාහයක් අරගෙන තිබුණේ නැහැ.

කොටින්ම ඉඳල හිටල ලියනවා කියල කරා යමක් කරා නම් ඒ ඉතින් වැරදිල ගෙදර හිටපු දවසක අපේ අම්ම එහෙමත් නැතිනම් හාමිනේ උයන වෙලාවට පොඩි උදව්වක් විදිහට ලූණු ගෙඩියක්, එළවළුවක් ලියල දෙන එක තමයි.

කොහොමත් අපේ ගෙදර ගෑනු ළමයින්ට වඩා පිරිමි ළමයින්ට ඒ වගේ අතේ පයේ වැඩ පුළුවන් 😀

ඔහොම ඉන්න අස්සෙම තමයි තමන්ගෙ වයසට හරි යන්නේවත් නැති මයිනර් කටුවක් සහ පොස්සගන් එක්ක ඔට්ටු වෙලා ඒවයේ තිබිච්චි මළකඩ හින්දමද කොහෙද තදබල විදිහට පිට කැස්ම හැදිච්චි කාර් පිස්සෙක් පටන් ගත්තු “කාර් පිස්සුව” කියන ෆේස්බුක් පේජ් එකයි බ්ලොග් එකයි හම්බ උනේ.

තවමත් මේ පිස්සව ඇහින් දැකල කතා බහ කරල නැති උනත් දන්නා කියන විදිහට තමන්ට හැදිච්චි ලෙඩේ උනත් අනිත් උන් එක්ක බෙදා හදා ගන්න එක තමයි මිනිහගේ ලොකුම ආතල් එක.

වාරයක් සිරි ලංකාවට ගොඩ බැහැපු වතාවක හම්බ වෙන්න ට්‍රයි එකක් දැම්මත් වැඩේ හරි ගියේ නැති බව කලින් ලියල කියනවා , හම්බු වෙච්චි දවසකට ළඟම තියෙන හාඩ්වෙයාර් එකට එක්ක ගොහින් අර මදි වෙච්චි තීන්ත බාල්දිය අරන් දෙනවා අම්මප, ඔය පල්ලෙහා පින්තුරේ දැක්කහම තේරෙයි ඇයි කියල !

වැඩිය දන්නේ නැති කෙනෙකුට උනත් මේ මනුස්සයව පාරක තොටක දැක්කොත් අඳුර ගන්න අමාරු නැහැ කොයි වෙලාවෙත් අඳින නානාප්‍රකාර පොස්සගන් පින්තූර ගහපු ටී-ෂර්ට් ගොන්නයි මිනිහගේ දඬු මොණර යන්තරේ වෙච්චි අර අමුතු පාට පොස්සගන් කාර් එකටයි පින් සිද්ද වෙන්න.

Car Pissuwa & Ibba

අමුතු පාට කිව්වෙ වැරදිලා කෙහෙල් කොලේ පාට බාගෙට ගාගෙන ඇවිත් තීන්ත ඉවර වෙච්චි පාර ගෙදර තාප්පෙට ගාන්න ගෙනාපු ඉතිරි තීන්ත බාල්දියෙන් වැඩේ අහවර කරපු හන්ද. අහන්නේ කියන්නෙ නැතුව කාර් පිස්සුවෙන්ම උස්සපු ඔය කියන පොස්සගන් එකේ පින්තුරයක් දැම්මේ හැමෝගෙම ලාම්පු සංවේගය වෙනුවෙන් 😀

ඉතින් මේ මනුස්සය තමන්ගේ පිස්සුව හොඳ කරගෙන පාඩුවේ පැත්තකට වෙලා ඉන්න දන්නේ නැති ඩයල් එකක් වෙච්චි එකේ තමන් හදාපු ෆේස්බුක් පේජ් එකයි බ්ලොග් එකයි මාර්ගෙන් මේ පිස්සුව අනිත් එවුන්ටත් බෝකරන්න දඟලන එක තමයි රාජකාරිය.

ඒ මදිවාට දොස්තර හොඳ හිත වගේ මළකඩ ගොඩවල් එක්ක හැප්පෙන හැටි අනිත් උදවියට කියල දෙන්නත් මේ මනුස්සය අමතක කරන්නෙ නැහැ. කවදත් කොයි පිස්සත් ඉතින් හිතන් ඉන්නේ තමන් දොස්තර කියල නිසා ඒකේ ඇති අවුලකුත් නැහැ 😀

අනික මේ හාදය දොස්තර මහත්තය ලෙඩ්ඩු බලන්න වෝඩ් රවුන්ඩ් යනවා වගේ හම්බ වෙන හැම කාර් ෂෝ එකකටම ගොඩ වදිනව කියන එකත් මිහිහව අඳුනන කියන හැමෝම දන්නා කියන කාරනයක්, ලංකාවේ එව්වා මදි උනහම ඔය ඉඳහිට තායිලන්තේ පැත්තෙත් ගිහින් එන්නේ.

VW bib for babiesහම්බ උනොත් කාර් පිස්සගේ නෝනා මහත්තැන්ට (මොකෝ දන්නේ අඳුනන්නේ නැති එකේ “කාර් පිස්සි” කියල ගුටි කන්ට පුළුවනැයි) කියන්න ඕන ඔය වගේ තැන් වලට යවනකොට මිනිහට අර දන ගාන වයසේ පොඩි එවුන් කෙළ පෙරනවට අන්දන බිබ් (Bib) එකකුත් අන්දලා යැව්වා නම් හොඳයි කියල.

මොනවා කිව්වත් කුඩා වයසක හිටං කාර් පිස්සෙක් වෙච්චි මමත් මේ හාදය දාන පින්තූර වගේම ලියන කියන ඒවත් බොහොම රස වින්ද, ඔය අතරේ තමයි මටත් මගේ අත්දැකීම් ලියන්න තිබුන නම් හොඳයි කියල හිතුනෙ.

දැන් හැමෝම බලනවා ඇති හදිසියේම මම කාර් පිස්ස ගැන මේ හැටි කියවන්නේ ඇයි කියල, හේතුව වෙන මොකවත් නෙමෙයි දැනට අවුරුද්දකට කලින් ලියපු පළමුවෙනි ලිපිය මම ලිව්වෙ කාර් පිස්ස විසින් පවත්තවා ගෙන යන FB පේජ් එකට නිසා.

First Post in Car Pissuwaඒ පල වෙච්චි කතාවේ ස්ක්‍රීන් ෂොට් එකක් තමයි ඔය දාල තියන පින්තුරේ, ඒක උඩ ක්ලික් කරොත් කැමති උදවියට කියවන්න බැරි වෙන එකක් නැහැ.

ඔය කියන කිට්ටුව පාත දවසකම මටම කියල බ්ලොග් එකක අටවා ගත්තට පස්සෙ ඒ ලිපියම එකෙත් දැම්ම, නමුත් ලියන්න පටන් ගන්න අවශ්‍ය පළමුවෙනි තල්ලුව වගේම උනන්දුව ලැබුනේ කාර් පිස්සුවට පින් සිද්ද වෙන්න.

ඒ පිළිබඳව අපේ කාර් පිස්සට මගේ හද පිරි මෙව්වා එක පිරිනමන්න කැමතියි !

ඒ ගැන අද ලියන්න හිත දුන්නෙ වෙන එකක් නෙමෙයි කණ්ඩාගේ කොලම පටන් අරගෙන අදට අවුරුද්දක් වෙන නිසා, මම පටන් ගන්න දේවල් වලින් බොහොමයක් අතරමග නවත්තන්නේ නැතිව අවුරුද්දක් තිස්සේ තවමත් ඇදන් යනවා කියන එක ඇත්තටම ලොකු දෙයක් 😀

කණ්ඩා තව කොච්චර කාලෙකට බ්ලොග් ලියයිද, මොනවා ලියයිද කියන එක ගැන පේන කියන්න බැරි උනත් පටන් ගත්තු තැන අමතක කරන එක නරකයි නොවැ, ඒකයි මේ ඩිංග හදිස්සියෙම ලියල දැම්මෙ.

ඒ එක්කම විශේෂයෙන් කියන්න ඕන කණ්ඩ IT බාස් උණාට තමන්ගේ වැඩ කටයුතු සම්බන්ධයෙන් ඉවසීම කියන දේ බොහොම අල්ප වශයෙන් තමයි පිහිටලා තියෙන්නෙ.

ඉතින් එහෙව් එකේ බ්ලොග් ලියන්න තෝරා ගත්තු “වර්ඩ් ප්‍රෙස්”, ඒ කියන්නෙ හිංගල බ්ලොග් භාෂාවෙන් කියනවා නම් “වදන් තදයත්” එක්ක හැප්පිලා හෙම්බත් වෙලා ඉන්න කොට කණ්ඩව ගොඩ දැම්මෙ හාමිනේ.

කොටින්ම හාමිනේ නැති නම් අද වෙනකොට මේ බ්ලොග් කට්ටත් නෑ …  බ්ලොග් එක අටවන්න ගත්තු ලැප්ටොප් එක පොලවේ ගහල ඒකෙ කෑලිත් නැහැ 🙂

“ඩොමෙස්ටික් සෙන්ස්ර්ශිප් බෝඩ්” එක හෙවත් ගෘහස්ථ වාරණ මණ්ඩලය විදිහට ඉඳහිට උදැල්ල දැම්මත් මම කම්මැලි කමට ලියන්නේ නැතුව ඉන්නකොට “මොකෝ ගොඩ දවසකින් මොනවත් ලිව්වෙ නැහැ නේද ?” කියල සිහි කැඳවීම කරන්නෙත් හාමිනේම තමයි.

ඉතින් හිටපු ගමන් ඔරොප්පු කරන්න කොච්ච්ර කට කැඩිච්ච කතා කිව්වත් මට නම් “ජීවිතේ මල් අපෙ නෝනා ඉන්න කල් !”

ඕන් ඉතින් හාමිනේටත් එක දාපු එකේ ඒත් එක්කම තව අමතක කරන්න බැරි තවත් සේනාවක් ඉන්නවා, ඒ මෙතුවක් කල් මම ලියාපු පල් හෑලි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ කියවාපු උදවිය වගේම විවිධ ආකාරයෙන් මාව දිරිමත් කරපු අය.

මිනිස්සු බලන්න එන්නේ නැත්තන් සර්කස්කාරයෝ පිනුම් ගහන්නේ නැහැ වගේ, කියවන්න කවුරුත් නැති නම් බ්ලොග් ලියන එකත් මහා එපා කරපු වැඩක් 🙂

ඒ නිසා මෙච්චර කල් බ්ලොග් එක කියවපු වචනයකින් හරි මාව දිරි ගන්වපු හැමෝටම බොහොම ස්තුතියි !