Mini Cooper

මිනියක් සමග වාසේ …

මේ ලිපිය ලියල දැනට අවුරුද්දකට වැඩියි, නමුත් මොකද්දෝ හේතුවකට පල කරන්න හිත දුන්නෙ නැහැ, නමුත් ගිය සතියේ දාපු ලිපියත් එක්ක නැවතත් මේ ගැන මතක් වෙච්චි හින්ද හිතුන මේකත් දාල ඉවරයක් කරන්න.

මිනි පිස්සන්ගේ ලාම්පු සංවේගය උදෙසා, ඕං එහෙනම් Back To Mini !


මට හැදිච්ච මිනි අසහනය ගැන මම කලින් කියල තිබුනට මිනි එක ගන්න ගොහින් සිද්ද වෙච්චි ඇබැද්දි හැම දේම කිව්වේ නැහැනෙ 😀

අනික අපිට උන ඇබැද්දි ඔක්කොම ලිව්වා නම් කට්ටිය පරණ මිනියක් ගන්න අදිමදි කරනවා ෂුවර් !

නමුත් පස්සේ හිතුව මේව ගණන් නොගන්න, අපි වගේම මිනි අසහනකාරයො ඕන තරම් ඉන්න එකේ වාහනය ගන්න යනකොට වෙච්චි දේවල් සහ අර ගත්තට පස්සේ අත් විඳපු දේවල් බෙදා හදා නොගත්තොත් ඒක හරි මදි කමක් කියල.

මේවා කාට හරි ප්‍රයෝජනවත් වෙයිනේ, ඔය හන්ද තමයි මේ කියන කතන්දර ටික ගොඩක් පරක්කු වෙලා හරි ලියන්න හේතු කාරනා උනේ.

පරණ වාහන ගන්න  … නැහැ පරණ වාහන කියන එක මෙතනට ගැලපෙන්නේ නැහැ හරි වචනෙ “ක්ලැසික් කාර්”, මොකද හැම පරණ වාහන කටුවක්ම ක්ලැසික් නෙමෙයිනෙ … 🙂 🙂 🙂

හැබැයි මේක හරියටම හරි යන සිංහල වචනයක් නම් හිතට එන්නේ නැහැ ඒ හන්ද “ක්ලැසික් කාර්” කියලම ලියන්නම්කො මොකෝ එහෙම නැතිව “සම්භව්‍ය කාර්” කියල ලියන්නයැ ?

ක්ලැසික් කාර් එකක් ගන්න බොහොම උදවිය අදිමදි කරන ප්‍රධානතම හේතුව තමයි අමතර කොටස් සහ ඒ ගැන දන්නා මිකැනික්ලා හොයා ගන්න තියන අපහසුව.

මේක කවුරුවත් මාවා ගත්තු කතාවක්වත් බොරුවක්වත් නෙමෙයි එක තමයි තිත්ත ඇත්ත !

නමුත් මේ ප්‍රශ්න බොහෝ දුරට අඩු ක්ලැසික් කාර් නැතුවමත් නෙමෙයි, ලංකාවේ නම් ෆොක්ස්වාගන් සහ මිනි (Volkswagen & Mini) මේ අතර ඉස්සරහින්ම ඉන්නවා.

VW Beetle vs Mini

මේ අතර මගේ පළමුවෙනි ලව් එක වෙච්චි මිනි කුපර් ගැන තමයි මම නං වැඩිදුරට යමක් හොයල බලලා තියෙන්නෙ.

පාරේ යනකොට එකක් දකින පාරක් ගානේ කෙළ හැලුවත් ඉබ්බෝ එහෙමත් නැති නම් ෆොක්ස්වාගන් ගැන නම් වැඩිය දන්නෙ නැහැ, ඇත්තම කිව්වොත් ෆොක්ස්වාගන් ගැන හරියටම දන්නා එකම දේ මටත් එකක් ඕන කියන එක විතරයි  🙂 🙂

හැබැයි මුහුණු පොතේ ෆොක්ස්වාගන් බීටල් සහ ට්‍රාන්ස්පෝටර් හිමිකරුවන්ගේ සමාජත් තියනවා වැඩි විස්තර හොයා ගන්න.

මිනි කුපර් සම්බන්ධයෙන් උනත් එහෙමයි, මම හිර වෙච්චි වේලාවට (ඒ කියන්නේ නිතරම 🙂 ) වැඩි විස්තර හොයා ගන්නේ ඒ වගේ තැන් වලින් බොහෝ වෙලාවට.

හැමෝම හැමදේම දන්නෙ නැහැනේ … ඒක ලැජ්ජාවට කාරණයකුත් නෙමෙයි  🙂 🙂 🙂

මිනි කූපර් සහ ෆොක්ස්වාගන් පාවිච්චි කරන අය නම් මේ ගැන දැනුවත් උනාට අනිත් හුඟ දෙනෙක් නොදන්නා දෙයක් තමයි ලංකාවේ මේ සඳහා අමතර කොටස් අංගෝපාංග වගේම විශේෂිත ගැරේජ් (Specialists) පවා හොයා ගන්න වැඩි අපහසුවක් නැහැයි කියන එක.

ඒත් ඉතින් ඔය කියන කතන්දරයත් පළාතෙන් පළාතට වෙනස් වෙනව … අපි ඉන්න කොළඹ පළාතේ සහ නුවර මේ වගේ කරදර නැති උනාට අනෙත් පළාත් වල තවම මේක ප්‍රශ්නයක්.

මම මේ නොකියා කියන්නේ මිනි කුපර් එකක් හරි ෆොක්ස්වාගන් හරි ගන්නව නං කොළඹට හරි නුවර පැත්තට එන්න කියල තමයි !

ගෙවල් මාරු කරන එක ඒතරම් වැඩක් නෙමෙයි ක්ලැසික් කාර් එකක් ගන්න තියනවා නම් …  🙂 🙂 🙂

හරි ඒ ප්‍රශ්නේ විසඳුවා කියමුකෝ දැන් ඉතින් කියන්න යන්නේ අපි මිනි කූපර් එක ගන්න ගිය වෙලාවේ කරපු කියපු දේ සහ අදට මතක් වෙනකොටත් පණ යනකං හිනා යන සහ ඇඬනා වැඩ !

හැමෝම කියනවා වගේ වාහනයක් අරගන්න කලින් තමන්ට ගැලපෙන එක තෝරා ගන්න තුරු අඩුම තරමේ වාහන හත අටක්වත් බලන්න යන්න ඕනෑ …

ඒක තමයි හරි විදිහ, හදිස්සි උනොත් ඉතින් බොහෝ වෙලාවට පස්සට පසු තැවෙන්න වෙනවා ෂුවර්.

නමුත් මගේ හිතේ තිබිච්ච ප්‍රශ්ණය ලංකාවට සති තුනකට ගොඩ බැහැල හදිස්සියේ වාහන හොයන්න යන එක විතරක් නෙමෙයි ඒතරම් කෙටි කාලයකදී අපිට අවශ්‍ය විදිහේ වාහනයක් හමු වෙයිද කියන එක ?

හොඳ වෙලාවට එදා පාර අපේ මලය නිවාඩු දාල හිටියෙ, නැත්තං කවදාවත් මේ වැඩේ ගොඩ දාගන්න හම්බ වෙන්නෙ නැහැ.

අපි තීරණය කළා වාහන එක්ක සෑහෙන්න හැප්පිලා පල පුරුදු වැඩිහිටි කෙනෙක් විදිහට ලොකු මාමවත් අඬ ගහගෙන යන්න, මොකද අපි දෙන්න විතරක් ගියා නම් තියන මිනි පිස්සුවට මොනවා උස්සන් එයිද දන්නෙ නැති හන්ද 🙂

ලොකු මාමත් කිසිම වෙලාවක නැහැ බැහැ කියන්නේ නැතිව අපිත් එක්ක හැම තැනකටම ආව නිසා ඒක සෑහෙන්න හිතට හයියක්, අපි තුන් කට්ටුව එකතු වෙලා තමයි මේ කියන මිනි කූපර් වන්දනා ගමන් වල ගියේ.

සමහර උදවිය නම් මේ වැඩේට අර මනමාලියක් බලන්න යනවා වගේ කේන්දර පොරොන්දම් එහෙම ගලපලා බලල තමයි මේ වැඩේට අත ගහන්නේ, නමුත් අපට නම් එච්චර දේවල් වලට වෙලාව තිබුනේ නැහැ 🙂 🙂 🙂

තමන්ම වාහනේ ගිහිල්ල බලල හොඳ නරක කියන්න තරම් දන්නේ නැති නම් දන්නා කියන කෙනෙක් අරගෙන යන එක තමයි සුදුසු.

එහෙම කෙනෙක් නැති නම් විශ්වාසවන්ත තැනකින් මිකැනික් කෙනෙක් උනත් කමක් නැහැ, හැබැයි එහෙම කරනවා නම් පරිස්සම් වෙන්න ඕනෑ.

මේ ගැන මට වඩා හොඳට අපේ කාර් පිස්සා යස අගේට ලියල තිබුණු හන්ද මම ඒ ගැන වැඩිය කියන්න යන්නෙ නැහැ … (ඒ ලිපිය මෙතනින්)

කොයිම වෙලාවකවත් වාහනය විකුණන මනුස්සය කියන කිසිම දෙයක් ඕනෑවට වඩා විශ්වාස කරන්න එපා කියන එක බොහොම වැදගත්.

අයිතිකාරයා වාහනය ගැන සූකිරි, මී පැණි දාල ලොරි ගානේ උස්සල දෙන වර්ණනා අටපත එකෙන් හිඳවලා තාර බර ඇරල ගන්න වාහනය බලන්න යන මනුස්සය දැන ගන්න ඕන.

ඔය කවුරුවත් කියන කතන්දර වලට වඩා බොහොම වෙනස්, පුදුම හිතෙන දේවල් හම්බ වෙන්න පුළුවන් වාහනය ගැන වැඩි දුර හොයා බලාපුවහම  🙂 🙂 🙂

ලංකාවේ අනිත් ජපන් වාහන වගේම අද පාවිච්චි වෙන 1990 ගණන් වල ආපු මිනි කුපර් බොහොමයක් මෙහෙට ගොඩ බහින්නේ ජපානේ ඉඳල, කොටින්ම වාහනේ සුද්දගේ උනාට එන්නෙ ජපානෙන් 🙂 🙂

සමාන්‍යයෙන් ජප්පෝ ඒ කියන්නේ ජපන් ජාතිකයො තමන්ගේ වාහන වලට බොහොම ආදරෙයි වගේම පිරිසිඳුව තියා ගන්නා ජාතියක්, ඒක බොහොම හොඳ දෙයක්.

නමුත් ජපානේ ඉඳන් ලංකාවට වාහන ආනයනය කරන මළකඩ කාපු ඕනෑම දහිරි වාට්ටුවක් රීකන්ඩිෂන් කරලා විකුණන උදවිය ගැන නම් එහෙම විශ්වාසය තියා ගන්න අමාරුයි.

අනිත් එක ඉතින් ඔය ජපන් වාහන කෑලි වලට කපල ගෙනහල්ල මෙහේදී පූට්‌ටු කරනවා එහෙම නැතිනම් “බඩ්” කරනවා කියන එක බොහොම ප්‍රසිද්ධ රහසක්නෙ 🙂

මිනි කූපර් වලටත් ඔය කියන සංතෑසිය එහෙම් පිටින්ම බලපානවා … ඔය අඩි දහයක් දිග නැති බට්ට වාහනේ ඒ හැටි ලොකු නැති නිසා, දෙකට කපල තරමක් දිග පළල තියන තේ පෙට්ටියක උනත් අඩුක් කරලා අමතර කොටස් විදිහට රට පටවන්න කොහෙත්ම බැරි කමක් නැහැ.

ඒ නිසා මිනි කූපර් එකක් ගන්නකොට අළුතෙන් තීන්ත ගාපු එකක් නම් පොඩ්ඩක් හෝදිසි කරලා බලන්නම ඕන කපපු කොටපු එකක්ද කියන එක.

මොකද කපල පුරුද්දපු වාහනයක් නම් නීතිමය පැත්ත අමතක කරත් වාහනයේ වටිනාකම වගේම ආරක්ෂාකාරී බව අඩු වෙන්න ඒක සෑහෙන්න දුරට බල පානව.

ඉන් අදහස් වෙන්නේ නැහැ කපල පුරුද්දපු හැම වාහනයක්ම නරකයි කියල, අනිත් හැම දේම වගේ මේකත් හරියට කරොත් හරි නැත්තම් ඉතිං …  😦

කොහොම කරත් කැපුවොත් වාහනේ වටිනාකම අඩු වෙන එකේ නම් වෙනසක් නැහැ, අනික ඉතින් මේවා නීති විරෝධී වැඩ කියන එකත් කවුරු කවුරුත් නොදන්නවා නෙමෙයිනෙ 🙂

වාහනයේ තවමත් තියෙන්නේ ඔරිජිනල් තීන්ත කියල කිව්වත් ඒ ගැන වැඩිය විශ්වාස කරන්න යන්නෙ නැතිව හොඳට හොයල බලන එක තමයි ඇඟට ගුන.

මිනි එකක් කපනකොට ගොඩ වෙලාවට වහලය බොඩි එකට සම්බන්ධ වෙන කණු එහෙමත් නැතිනම් පිලර් (Pillar) වලින් උඩහට වෙන්න තමයි කපන්නෙ.

බොහෝ දුරට චැසිය සහ බොඩි එකේ ඉතිරි හරිය නම් කපනවා අඩුයි, නමුත් එහෙම වෙලාවක් හිටං තියනව කියල තමයි දන්නා කියන අය කියන්නෙ.

කණු / පිලර් ටිකට තට්ටුවක් එහෙම දාල, අලුතින් පේන්ට් ටච් අප් (Touch Up) එකක් දීල තියනවද කියල බැලුවොත් අඳුන ගන්න අපහසු නැහැ.

ක්ලැසික් මිනි ගත්තහම ඒකෙ නිෂ්පාදිත කාණ්ඩ (Production Version) සහ මාදිලි (Models) බර ගණනක් තියනවා.

1959 ඉඳල 2000 වෙනකම් මිලියන පහකට අධිකව නිපදවපු වාහනයක් ගැන හිතුවම එක එතරම් පුදුම වෙන්න කාරණයක් නෙමෙයි.

මිනි දඩයම පටන් ගන්න කලින්ම අපි හොඳට හිතල මතල දැන ගෙන හිටිය අපේ බජට් එක … බලාපොරොත්තු වෙන වාහනයේ තත්වය, මාදිලිය වගේම හොයල බලන්න ඕන දේවල්.

අපිට උවමනා කරලා තිබ්බේ 1998 – 2000 ත් අතර හදපු MK VII කාණ්ඩයේ EFI, Airbag සහ Auto Gear සහිත මිනි කූපර් එකක්. (ඔව් ක්ලැසික් කාර් එකක් උනාට එහෙම මිනිත් තියනව :))

අවුරුදු පහළොවකටත් වඩා පරණ ක්ලැසික් වාහනයක් ගන්නකොට පුළුවන් උපරිම හොඳ තත්වයේ තියන එකක් අර ගන්න එක තමයි නුවණක්කාරම දේ.

නෑනණ්ඩිය ඇරුනහම අපේ පවුලේ කාටවත් මැනුවල් වාහන එලවල පුරුද්දක් නැති නිසා ඔටෝ ගියර් වාහනයක් වෙන එක සෑහෙන්න වැදගත්.

මුලින්ම අපි බලන්න ගිය මිනි කූපර් එක “බ්‍රිට්ෂ් රේසිං ග්‍රීන්” (British Racing Green) ඒ කියන්නේ බොහොම ලස්සන තද කොළ පාටක් !

අනික වාහනේ මළකඩ පොදක්වත් නැහැ බොඩි එකේ තත්වය සුපිරියටම තිබුණ, අවාසනාවට මේක වහල කපල පුට්ටු කරපු එකක්. ඒ බව අපි දැනගෙන හිටපු හන්ද මේ ගැන ලොකු උනන්දුවක් තිබුනේ නැති උනත් ටෙස්ට් රන් එකක් විදිහට අපි ඒ ගැන වැඩි දුර පොඩ්ඩක් හොයල බැලුව.

බොහොම සීරුවට වහල පිලර් වලින් ආපහු පාස්සල තිබුනත් තට්ටුවක් දාපු ගමන් වෙනස හොයා ගන්න අමාරු නැහැ.

ඔඩෝමීටර් එක කිලෝමීටර් 60,000 කටත් අඩුවෙන් තිබ්බේ, එන්ජින් එක හොඳ තත්වයේ තිබුණ නිසා අපිට එක විශ්වාස කරන්න බැරි කමක් තිබ්බේ නැහැ.

ලංකාවේ විකුණන්න තියන මිනි බොහොමයක තියන කන්ඩිෂන් එක ඔඩෝමීටර් එකේ තියන කිලෝමීටර් ගාන එක්ක කොහෙත්ම ගැලපෙන්නේ නැහැ.

එකට හේතු දෙකක් තියෙනව, එක්කෝ කවුරුහරි මීටරය පස්සට කරකවල එහෙමත් නැති නම් මේ වාහන කිලෝමීටර් මිලියනයකට වැඩිය දුවල මීටරය Reset වෙලා.

මේකේ AC එක පවා මම දැකපු අනිත් ගොඩක් මිනි වලට වඩා හොඳයි කොයිල් එක හෙවත් Condenser එකේ ඇලුමිනියම් මළ කාල ෆින් ඇද ගැහිලා නැහැ.

වාහනේ ඉන්ටෙරියර් එකත් පොඩ්ඩක් වැකුම් කරලා ගත්තම ඉවරයි, අලුත් වගේ, අනිවාර්යයෙන්ම මේක කවුරු හරි බොහොම ආදරෙන් බලාගත්තු වාහනයක් !

Balmoral Stone Beigeඅනික මම ආසම කරන “බැල්මොරල් ස්ටෝන් බෙයිජ්” (Balmoral Stone Beige) ඩිසයින් එකේ කවර දාපු සීට්.

සමහරු මේ සීට් මාරු කරලා ලෙදර් සීට් දානවා, ලෙදර් සීට් සමහර වාහන වලට ගැලපෙනවා ඇති නමුත් මම හිතන්නේ මිනි කූපර් එකක් නම් එක එතරම් ගැලපෙන්නේ නැහැ.

අපේ උවමනාව පවුලේ පාවිච්චියට කරදර, නඩත්තු සහ වියදම අඩු බොහොම හුරුබුහුටි වාහනයක්, මේ කාර් එක ඔය කියපු හැම දේටම ගැලපෙනව.

නමුත් කාර් එක අන්තිම හොඳ තත්වයේ තිබුණ උනත් මේක රෙජිස්ටර් කරපු නැති හොර පාරෙන් ලංකාවට ආපු වාහනයක්.

මෙහෙම කපල කොටලා බදු නොගෙවා ගේන වාහන එක්ක හැප්පෙන එක ඒ තරම් ඇඟට ගුණ නැහැ, නමුත් ගොඩ දෙනා මේ වැඩේ කරනවා.

දැන් බැලුවත් අන්තර්ජාලයේ එක එක පරණ ක්ලැසික් මිනි කුපර් පොත් විකුණන්න තියනවා ලක්ෂ 4 – 5 ට.

ගොඩ දෙනා කරන්නෙ ජපානෙන් අරගෙන එන අලුත් වාහන මේ පොත් පාවිච්චි කරලා ආපහු රෙජිස්ටර් කරන එක. මේවට කරදර වෙන්න වෙලාව නැති හින්ද අපි මේ වාහනයට කොච්චර කැමති උනත් ඒක අත ඇරලා දැම්ම.

මීළඟට  වාහනයක් බලන්න යන්න කලින් අපි ජංජාලය හෙවත් අන්තර්ජාලයේ හැම මිනි කූපර් ඇඩ් එකක්ම හොයල බැලුව, එත් අපේ උවමනා එපාකම් වලට හරියන ඒවා බොහොම අඩුයි.

වාහනය හදල තියන අවුරුද්ද, දුවල තියන කිලෝමීටර් ප්‍රමාණය, වාහනය තියන පළාත සහ වාහනේ පාට බැලුවහම ඉතිරි උනේ අතක ඇඟිලි ගණනටත් අඩුවෙන්.

පාට කිව්වහම තමයි මතක් උනේ ගොඩ කාලෙක ඉඳන් මගේ ඔලුවේ තිබුණේ “බ්‍රිට්ෂ් රේසිං ග්‍රීන්” (තද කොළ) හරි “ටහිටි බ්ලූ” (තද නිල්) වගේ පාටක මිනි කූපර් එකකට.

නමුත් වාහනය ගත්තට පස්සේ පාවිච්චි කරන අයිතිකාරය වෙච්චි පොඩි කණ්ඩිට ඕනෑ උනේ ලා නිල් පාට එකක්.

පොඩි කණ්ඩි නම් මේකට කිව්වේ “බේබි බ්ලූ”, මුලින්ම මගේ ඔලුවට ආවේ අර 1970 වල ආපු පොට්ට ලා නිල් පාට. මට නම් හිතුනේ ඒකට වඩා ගැලපෙන්නේ “බේබි පියුක් බ්ලූ”  🙂

ටිකක් හොයල බැලුවහම, මේ පාට වාහන බොහොම අඩුයි, අම්මප ගෑනු උදවියටත් ඕන හොයා ගන්න බැරි දේවල්ම තමයි !!!

ඔය අතරේ තමයි අපේ මලය ජංජාලයේ තිබ්බ ලා නිල් පාට මිනි කූපර් එකක් දැක්කේ … ෂා මේක නම් මරු !

වාහනේ ලා නිල් පාට උනාට මෙටලික් නිල් පාටක් නිසා කිසිම කැතක් නැහැ 🙂

හැබැයි වාහනය අපි තුන් දෙනා ගිහින් බලනකම් පොඩි කණ්ඩිට මොකුත් නොකියන්න තීරණය කළේ හදිසියේ වාහනය හරි නැති උනත් පාටට ආස නිසා අරන් දෙන්න වෙයි කියන බයට  🙂

ටිකක් හොයල බලපුවහම ඇඩ් එකේ දාල තියෙන්නේ “සී ෆොරස්ට් බ්ලූ” ** කියල, නමුත් එහෙම පාටක් මිනි කූපර් වෙබ් සයිට් වල නම් නැහැ වගේ. ඒකට මොකද පාට ලස්සන නම් !

** පස්සේ කාලෙක තමයි හොයා ගත්තේ මේ පාටට කියන්නේ “කින්ග් ෆිෂර් බ්ලූ” (Kingfisher Blue) එහෙමත් නැතිනම්  “හවායි බ්ලූ” (Hawai Blue) **

වාහනයට ඉල්ලන ගාන ටිකක් සැරයි, නමුත් වාහනය හොඳ පාට නිසා අපි කෝකටත් කියල කෝල් එකක් දුන්න.

පොඩි කොලුවෙක් එහා පැත්තෙන් කතා කලේ හැබැයි කතා බහ කරපු විදිහට මට හිතුනේ මේකා හෙන අණ්ඩපාලයෙක් කියල. කොහොමින් කොහොම හරි වාහනේ විස්තර අරගත්තු අපි ගියා දවසක් කතා කරගෙන වාහනය බලන්න.

අපි හිතුව විදිහ හරි, වාහනය පාවිච්චි කරන්නේ සහෝදර පරිප්පු ඉස්කෝලේ උ.පෙ. ලියන පොඩි කොලු ගැටයෙක්, කොලු ගැටයෙක් කිව්වට කොලු තාත්ත කෙනෙක් කියල කිව්වොත් තමයි හරියටම හරි 🙂 🙂

කොල්ල උදේ පාන්දරම වාහනේට ආපු ඔරිජිනල් පොත උස්සගෙන ආව, මට මිනි මේනියා (www.minimania.com) එකෙන් බාගෙන ප්‍රින්ට් කරපු කරදහියකුත් පෙන්නුවා.

ඒ එක්කම අපිට මිනි මේනියා සයිට් එක ගැනත් ලොකු දේසනයකුත් කරා, අපේ මලයගෙ කට කොනින් ලාවට හිනාවක් යනවා මම දැක්ක, උ.පෙ. ලියන්නත් ඉන්නෙකාව වැඩිය පාගන්න හොඳ නැහැනේ අපි ඒ කතාව එහෙමම යට යන්න දුන්න 🙂 🙂 🙂

වාහනේ කන්ඩිෂන් එක නම් උපරිම හොඳයි … අපි හොයන ජාතිය සීට් සහ ඉන්ටෙරියර් තියෙන්නෙ, දාල තියන ස්පෝර්ට්ස් පැක් වීල් සෙට් එක වාහනයට හොඳට ගැලපෙනවා, වාහනේ තැනින් තැන පේන්ට් ටච් අප් (Touch up) කරලා තියනවා හැබැයි කපපු කොටපු එකක් නෙමෙයි.

අපේ බහුශ්‍රැත පොඩි මෑන් ආපහු වැඩ පටන් ගත්ත … පර සක්වල ගහනවා ඔරිජිනල් පේන්ට් විතරමලු , වාහනේට සුද්ද අත තිබ්බට පස්සේ වෙන මොකුත් කරලා නැහැල්ලු, ඒක නම් විශ්වාස කරන්න අමාරුයි !

මේ තරම් හොඳට මේන්ටේන් කරපු, ලෝ මයිලේජ් එකක් තියන මිනි කුපර් එකක් ලංකාවෙන් හොයා ගන්න බැරිලු, මීට කලින් ඔෆර් බර ගානක් ආවත් දුන්නෙම නැහැලු 🙂

මම කියුව අපි දවස් දෙකකට කලින් මෙයිට වඩා බොහොම හොඳ තත්වයේ තිබුණු එකක් බලල ආවේ, තියන එකම වෙනස කලින් එක කපපු එකක් වීම, පාට සහ රෙජිස්ට්‍රේෂන් එක විතරයි කියන එක.

අපිට කාර් එක විකිණීම පැත්තකින් තියලා කොලුව දැන් දත කනව අපි කලින් බලපු වාහනය තියෙන්නෙ කොහේද කියල දැනගන්න, අපි ආවේ මේ හාදයට කාර් හොයල දෙන්න නෙමෙයිනෙ, ඒ නිසා අපි බලන්න ආපු වාහනය ගැන හොයන්න ගත්ත 🙂

කොහේ වත් මළකඩ නෑ, ඉස්සරහ පොඩි බම්ප් එකක් ඇරෙන්න ලොකු බොඩි ඩෑමේජ් මොකුත් නැහැ, අපි බලන්න ඕන දේවල් බලල ඉවරයි  අපිට ටෙස්ට් ඩ්‍රයිව් එකකට යන්න තමයි තියෙන්නෙ.

ටෙස්ට් ඩ්‍රයිව් එකට වාහනය අරන් ගියෙත් මේ හාදයම තමයි, වාහනය පැදපු ගිය විදිහට අපිට තේරුණ දෙයක් තමයි , මේ වාහනය මිලදී ගැනීමකට වඩා “රෙස්කියු ඔපරේෂන්” (Rescue Operation) එකක් කියන එක.

කොලුවගේ ඩ්‍රයිවින් බීපු පයිලට් කෙනෙකුට ලයිසන් දුන්න වගේ තමයි, මේ පයිලට් හයියෙන් ඩ්‍රයිව් කලේ නම් නම් නැහැ පහතින් පියාඹපු එක විතරමයි කලේ  🙂 🙂

වාහනය බොහොම හොඳ තත්වයේ තිබුනත් වාහනය පාවිච්චි කරන සහ සලකන විදිහ කිසිම ආදරයක් නැති බව දැක්කහම මට වාහනය ගැන දුක හිතුන.

මේ වාහනය ඉක්මනට විකුණන තරමට වාහනයට හොඳයි, අනික මේ කොලුවා ගන්න මීළඟ වාහනය එයා බෑග් 6 ක් විතර තියන යුද්ධ ටැංකියක් වගේ එකක් වෙන්න ඕන, මොනවා උනත් තරුණ ජීවිතයක්නේ.

බීපු මිනිහෙක් වගේ වාහනේ එලෙව්වත් ඒ හන්දම අපිට වාහනේ එන්ජිමේවත් සස්පෙන්ෂන් වල වත් වැරද්දක් නැහැ කියන එක නං සහතික උනා.

වැස්ස දවසටත් දාඩිය දාන මට AC නැති වාහනයක යනවා කියන එක ඉහින් කනින් දාඩිය පෙරෙන්න වෙන ටිකක් වෙන්න අපහසු දෙයක්, මේ පොල් ටෝක් එකක් හෙම නෙමෙයි, පොඩි දවස් වල ඉඳලම මගේ සරීර කුඩුවේ හැටි 🙂  (එහෙමයි කියල හිටං මෑතක් වෙනකම් AC වාහන තියා හරි හමන් වාහනයක්වත් තිබ්බේ නැහැ :))

මේ වාහනේ නම් AC එකත් හොඳට වැඩ, අපි ගියපු කිලෝමීටර් 2-3 ඇතුළත උනත් හොඳට සීතල තිබුණ, වාහනය නම් අපේ වැඩේට ගැලපෙනවා එකඟ වෙන්න බැරි එකම එක දෙයයි තියෙන්නේ.

ඒ තමයි ගාන, ඒක පස්සේ කතා කර ගන්න බැරුවය අපි ආපහු එන්න ආව.

නමුත් තවමත් මගේ ඔලුවෙන් “බ්‍රිට්ෂ් රේසිං ග්‍රීන්” සහ “ටහිටි බ්ලූ” යන පාටවල් දෙක අයින් කර ගන්නම බැහැ, වාහනේ මට නොවෙන බවත් ඇත්ත, නමුත් පවුලේ වැඩිමලා විදිහට මට වැඩිපුර ඡන්දයක් තියන හන්ද අපි මාළබේ පැත්තේ කාර් සෙල් එකක දාල තිබ්බ “ටහිටි බ්ලූ” මිනි කූපර් එකකුත් ගිහින් බැලුව.

නමුත් කාර් එක බැලුවහම අපරාදෙ පෙට්‍රල් පුච්චගෙන ආවේ කියල හිතුන, ඇඩ් එකේ දාල තියන පින්තුර සහ ඇත්ත තත්වය අතර නොසෑහෙන්න වෙනසක් තිබුණ.

වාහනයෙන් මගේ හිත ගිය එකම දේ ක්‍රෝම් සහ රත්තරං පාට ඇලෝයි වීල් (Deep Dish Alloy Wheels) සෙට් එක විතරයි ඒ ඇරෙන්න මේ කාර් එක හරි යන්නේ නැහැ, අපරාදේ මාමගෙයි මලයගෙයි වෙලාවත් කාබාසිනියා කරා බොරුවට !

ඔය අතරේම කිට්ටුව දවසක තමයි අපේ මාමගේ යාලුවෙක් ගාව තිබුණු මැනුවල් මිනි කුපර් එකක් පැදලා බලන්න අපිට හම්බ උනේ.

මැනුවල් පදින්න අමාරු උනාට, ඔටෝ ගියර් ඒවාට වඩා සෑහෙන පිකප් කියල නම් අපිට තේරුණා. නමුත් මැනුවල් එකක් අපේ වැඩේට හරි යන්නේ නැති හින්ද ඒ වගේ ඒවා පස්සේ දුවන එක තේරුමක් නැති දෙයක්.

අන්තිමට අපි තිරණය කළා තවත් කාලය නාස්ති නොකර පොඩි කණ්ඩිවත් එක්ක ගිහින් අපිට හිත ගිය ලා නිල් පාට මිනි කුපර් එක පෙන්වන්න.

වාහනය දැකපු ගමන් එයත් උඩින්ම කැමති උනා දැන් ඉතින් තියෙන්නේ ගණන් මිමි කතා කරන්න තමයි, කොලුවා දාල තිබ්බ ගානට වඩා ටිකක් අඩු කරාට එතනින් එහා හෙල්ලෙන්නේ නැති පාටයි.

ඒ මදිවට ආපහු නැව් ටෝක් හිටං නොමිලේම අපිට හම්බ වෙනවා 🙂

අපි මේ පුරුදු වෙන්න නෙමෙයි අයියේ වාහන බිස්නස් කරන්නෙ … මේ වාහනයට ගැලපෙන ගාණක් තමයි කියන්නෙ.

මේක දැනට ලංකාවේ තියන හොඳම මිනි කුපර් එකක් … ආපහු ඔයාට මේ වගේ එකක් හම්බ වෙන්නෙ නැහැ ;-D

මල්ලි මේක ලංකාවේ තියන එකම මිනි කූපර් එක නෙමෙයිනේ … අනික අපි බිස්නස්කාරයෝ නොවුණට ගන්න වාහනය ගැන වගේම වල මිල ගණන් ගැනත් දැනගෙන තමයි ආවේ !

මමත් අත ඇරියේ නැහැ … බොහොම සුහදව කියල දැම්ම 🙂

නැහැ එහෙම නෙමෙයි අයියේ ඔයා ඉල්ලන ගානට වඩා වැඩියෙන් එක්කෙනෙක් වාහනය ඉල්ලුවත් අපි දුන්නෙ නැහැ (ඕං ඉතින් ආයෙත් අපි නොදන්න ඔෆර් !)

මෙහෙමනේ … අනිත් අයගේ ගණන් මිමි ගැන අපි දන්නෙ නැහැනෙ මල්ලි, ඒත් අපි කියපු ගාණට අද උනත් වාහනය ගන්න අපි ලෑස්තියි !

අපි ආපහු මේ ගැන කතාබහ කරමු ඔයාගේ ගානෙ වෙනසක් කරන්න කැමති නම්, ඉල්ලන ගානටම වාහන ගන්න සිරිතක් නැහැනෙ අපි කොලුවටත් හිතන්න මතන්න ඉඩ දීල එන්න ආව.

පහුවදාම වගේ අපට ආයෙත් කෝල් එකක් ආව, කියපු ගානටම නැති උනත් යම් ගානක් අඩුව දෙන්නම් කියන්නෙ වැඩේ ඉක්මනට කරනවා නම් 🙂

නමුත් මට වාහනයට කැමති උනාට, මේ පණ්ඩිත කතන්දර හින්ද ගන්න හිත දුන්නෙම නැහැ, අනික තව බලන් හිටිය නම් තව අඩු කර ගන්නත් තිබුණ.

නමුත් අන්තිමට අපේ මලය මගේ හිත හැදුව දැන් ආපහු වාහන හොයන්න යන්නත් වෙලාව මදි හින්ද මේක අරගමු කියල.

සාමාන්‍යයෙන් මට අරගන්න දේ වගෙම විකුණන කෙනා ඒ කෙරේ දක්වන ආකල්පය හා සේවයත් (Attitude and Service) වැදගත්, මම හිතන්නේ මේ තරම් විකාර කතන්දර අහල මොකක් හරි දෙයක් මම අර ගත්තාමද කොහෙද 🙂

මම අනන්තවත් හාමිනේගෙන් ඇති වෙන්න බැනුම් පවා අහගෙන කඩ වලට ගිහින් බඩු නොගෙන ආපහු හැරිලා ඇවිත් ඇති, ඒ කාගෙවත් බොරු ආඩම්බර බලන්න අකමැති නිසා. නමුත් මේ මිනි කූපර් එක සම්බන්ධයෙන් ඒකත් වෙනස් උනා, වාහනේ අපි දෙන්නගෙම හිතට තදින් කා වැදුන එක තමයි මං හිතන්නෙ මේ වෙනසට හේතු උනේ  🙂

ඔය හන්ද අපේ මලය ඇඩ්වාන්ස් එකකුත් යැව්වා වගේම වැඩේ එකලාසයක් කර ගන්න දවසකුත් කතා බහ කර ගත්ත.

WTFදැන් මේ හාදයන්ගේ බැංකු විස්තරත් තියන නිසා අපිට බෑන්ක් ඩ්රාෆ්ට් (Bank Draft) එකක් එහෙමත් නැතිනම් බැංකු අණකරයක් අරගෙන කෙලින්ම කාර් එක ගන්න ගියහම ලෙහෙසියි, මේ ගැන කියන්න අපි ආපහු කෝල් එක ගත්තුවහම මෙන්න මේ හාදය ආපහු පිස්සුවක් නටාපි !

ගෙදරටම ඇවිල්ල වාහනයත් අරගෙන ආපහු බැංකුවට කැන්දගෙන ගොහිල්ල ඩිරෙක්ට් ට්‍රාන්ස්ෆර් එකක් කරමුලු.

කෙලින් අල්ලන්න තියන නහය ඔලුව වටේ යවල තමයි අල්ලන්න හදන්නෙ … මුන්ට පිස්සු !!!

මං ඇහුව ඒ මොකද ලෙහෙසියෙන් කරන්න පුළුවන් එක ගමනෙ වැඩේ දෙකකට හරවන්නේ කියල, කොලුවාගේ තාත්ත කිව්වලු බෑන්ක් ඩ්රාෆ්ට් ෂුවර් නැහැ කියල !!! (@%#&(@#&*)

යමක් කමක් දන්නේ නැති නූගත් කවුරු හරි මෙහෙම කියනවා නම් දුක නැහැ, ඇයි හත් වලාමේ බැංකුව ඇප වෙලා දෙන ලියවිල්ලත් ෂුවර් නැති වෙන්නේ කොහොමද ?

මාර බිස්නස්කාරයොනෙ මේ උදවිය, අනේ අම්මපා මේ වෙලාවට තමයි ගඟේ මාළු ඇඟේ නටන්නේ  😦 😦 😦

කාට උනත් යකා නගින්නෙ නැද්ද මං අහන්නේ ? තරහ යන එක සාධාරණ නැද්ද  ?

පේන විදිහට මේ උදවිය පුරුදු වෙන්න තමයි බිස්නස් කරන්නේ නැතිනම් බෑන්ක් ඩ්රාෆ්ට් ගැන අහල නැති වෙන්න බැහැනෙ 🙂 🙂 🙂

මට පුළුවන් කමක් තිබුණ නම් ඇඩ්වාන්ස් එකත් දමල ගහල වෙන වාහනයක් ගන්නවා. කරුමෙට ඒකටත් වෙලාවක් තිබුනෙ නැහැ, දැන් කරන්න දෙයක් නැහැ 😦

අන්තිමේදි අපි කොලුවගේ ගෙදරත් ගිහින් මිනිහවත් බැංකුවට වඩම්මලා කටයුතු එකලාසයක් කරලා දැම්ම. රෙජිස්ටර් කරේ නැති උනත් දැන් වාහනය අපේ 🙂 🙂  අපිට මල් හතයි !

මල්ලියි මමයි මහරගම ලංකා බැංකුව ඉස්සරහින් පළමුවෙනි වතාවට කාර් එකේ නැගල දැම්ම වාහනය පාරට රටක් රාජ්‍යයක් දින්න වගේ, එතකොටම පටන් ගත්ත වැස්සකුත්, ෂුවර් එකටම අපි වාහනය ගත්තු හන්ද තමයි  🙂

අපේ කොලුවත් අපිත් එක්කම ආව මගින් බහින්නය කියල, ආර්පිකෝ එක ගාවින් තවත් මිනි එකක ආපු මේ හාදයාගේ යාළුවො කට්ටියක් හම්බ වෙලා මිනිහවත් හලාගෙන යන ගමන් මෙන්න මලය කියනවා තවත් නොහිතපු කතාවක් 😦

අයියේ පෙට්‍රල් කට්ට බින්දුව ඉඹිනවා පෙට්‍රල් ෂෙඩ් එකකට අල්ලන්න වෙයි ඉක්මනටම !

මේක මගේ කරුමයක්ද ? එහෙමත් නැති නම් උපන් වෙලාව අනුව තියන ග්‍රහ දෝශයක්ද ?

මගේ පළමුවෙනි වාහනය වෙච්චි ගැලන්ට් එක ගත්තු වෙලාවෙත් හිටපු අයිතිකාරයා ඔය වගේම කුපාඩි වැඩක් කරා මට (ඒ කතාව මෙතැනින්).

මම ගැලන්ට් එක විකුණලා අරගත්තු සල්ලි ඔක්කොම මේ මිනි කූපර් එකට දැම්මනෙ එකත් එකටම මේ කරුමේත් ඒ එක්කම එන්න ඇති 🙂 🙂 🙂

කරන්න දෙයක් නැහැ, විජේරාම හන්දියේ ෂෙඩ් එකෙන් ෆුල් ටෑන්ක් පෙට්‍රල් ගහ ගත්තු අපි මිනි කුපර් එකේ දාන්න ඕන වැඩ ඔක්කොම දාල වටයක් ගහල තමයි එදා ගෙදර ගියේ  🙂 🙂 🙂

අපේ මිනි දඩයම අහවර වෙන කොට පොඩි කණ්ඩි මිනි කුපර් අයිතිකාරයෙක්, මම ආපහු ඔටුවගෙ රටේ. ඉතින් මට අපේ මිනි කූපර් එකත් එක්ක දඟලන්න හම්බ උනේ නැහැ  😦 😦 😦

ටික දවසකට පස්සේ අපේ මලය මට ආපහු කතා කරනවා, පොඩි කණ්ඩි වාහනය අරගෙන ගමන් බිමන් එහෙමත් යනවලු දැන්, කාටද ආඩම්බර 🙂

නමුත් හදිසියේ කතා කරල තියෙන්නෙ නපුරු ආරංචියක් දෙන්න : ඒක නෙමෙයි අයියේ මාර වැඩේනෙ මිනි කූපර් එක බොයිල් කරනවනේ තරමක් දුර දුවනකොට !!!

මලය එහෙම කියාගෙන යනකොට ඉන් පස්සේ කියපු බාගයක් දේවල් මට ඇහුණෙත් නැද්ද මන්ද.

හුටා  … හොඳට තිබිච්ච වාහනේට මොකද්ද මේ හැදිච්ච සන්නිය එක පාරටම  ???

අපේ නගා හන්ද තවම “L – බෝඩ්” හන්ද වාහනය පදින විදිහේ වැරද්දක් වත්ද ? සෑහෙන කාලයක් බාගෙට හෑන්ඩ් බ්රේක් ඇදගෙන වාහනේ එලවපු කෙනෙක් ගැනත් මම දන්නව. දැන් අහන්න එපා ඒ කව්ද ? කියල  🙂

රේඩියේටර් එකේ ලෙඩක්වත්ද ? එහෙම නැතිනම් ෆෑන් එකේ ප්‍රශ්නයක්ද ? හත්වලාමේ එහෙමත් නැතිනම් එන්ජින් එක කූරිය ගහන්නද ලැස්තිය ? ප්‍රශ්න කෝටියයි !

මලය කිව්වා කොහොමත් වෙලාව ලැබුන ගමන්ම වාහනය ෆුල් සර්විස් එකක් කරන්න අරගෙන යනවා කියල.

වැඩි විස්තර දැන ගන්න එතකන් ඉතින් හූල්ල.. හූල්ල.. තමයි ඉන්න වෙන්නේ  😦

දවස් කිහිපයකින් මලය මට ආපහු කතා කරහම තමයි මට සම්පුර්ණ තත්වය දැන ගන්න පුළුවන් උනේ.

රේඩියේටරයෙ ඇතුලේ තිබිච්ච වතුර කළු පාට හුරුයිලු, ඒ මදිවට නොසෑහෙන්න කුණු රොඩු එහෙමත් තිබිල තියනවා. ඒ හන්ද සම්පුර්ණයෙන්ම කූලින් සිස්ටම් එක ෆ්ලෂ් කරලා සුද්ද කරන්න වෙලා.

ඒ එක්කම කර කුට්ටන් වෙච්චි එන්ජින් ඔයිල් මාරු කරන එක වගේම කියුබ් කාලක විතර වැලි පිරිලා තිබුණු එයා ෆිල්ටර් එක මාරු කරන වැඩෙත් ඒ ගමන්ම ඉවර කරලා.

මට හිතා ගන්න බැරි මේ වාහනේ එයා ෆිල්ටර් ඇතුළට මේ තරම් වැලි යන්න, මේක වැලි අදින්න වත් පාවිච්චි කරපු එකක්ද කියන එක ?

ඔන්න ඔහොමයි ලංකාවෙ තියන හොඳම මිනි කූපර් එකක් කියපු වාහනය නඩත්තු කරල තිබුණ විදිහ 🙂 🙂

අපිට බැලූ බැල්මට ඇහැට පෙන්නේ නැති දේවල් මේ වාහනයේ හැංගිලා තිබුණු විදිහ වාහන අරගන්න කාට හරි ප්‍රයෝජනවත් වේවිනෙ 🙂

නමුත් මේ බොහොම පහසුවෙන් කරන්න පුළුවන් මූලික සර්විස් එකෙන් පස්සේ වාහනේ බොයිල් වෙන ප්‍රශ්න මොකක්වත් නැහැ වෙනදාටත් වඩා එක පිම්මෙ හොඳට අදිනවත් එක්ක.

ඕනෑම වාහනයක් හොඳින් බලා ගත්තොත් වාහනයත් අපිව බලා ගන්නවා ෂුවර්, මිනි කතා වස්තුව දැනට මෙතනින් අහවරයි 🙂 🙂 🙂

~ නිමි !

ඉවරයි කියල හිතුවට ඉවරම නැහැ තව තියනවා, මොකද මිනි කුපර් එක තවම අපි ගාව නිසා, සෙස්ස පස්සට 😀