Oman National Museum

සින්බෑඩ්, වහල්ලු සහ පරංගි !

මස්කට් අගනුවර කර ගත් ඕමානය අරාබි අර්ධද්වීපයේ විහිදී ඇති තුන් වන විශාලතම රාජ්‍යයයි, මස්කට් යන නාමය සැදී ඇත්තේ “නැංගුරම් දමන ස්ථානය” (Anchorage) යන අරාබි අරුතින් බවට මතයක් ඇත. ලොව පුරා විහිදුණු සේද මාර්ගයේ වැදගත් නැවතුම්පොළක් වූ මස්කට්, පුරාතනයේ සිටම ඉතා ප්‍රසිද්ධ වරායක් වූ බැවින් එය පිළිගැනීමට අපහසු නැත.

ඔර්මූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormus) මගින් වෙන්ව පැවතියත් පෘතුග්‍රීසීන් ඕමානය සහ ඔර්මූස් (Hormus) ආක්‍රමණය (1507) කිරීමට පෙර ඕමානය පර්සියාවේ යටත් විජිතයක්ව පැවතුණි. එයට පසු කාලීනවද දෙපාර්ශවය අතර සමීප වෙළඳ සබඳතා මෙන්ම යුද ගැටුම්ද විය.

1505 දී සිරි ලංකාවට ගොඩ බට පෘතුග්‍රීසීන් මුහුදුබඩ ප්‍රදේශයන් අත්පත් කර ගත්තා සේම 1507 දී ඔර්මූස් ආක්‍රමණයත් සමගම ඕමානයද පරංගි ග්‍රහණයට නතු විය.

ලංකාව පරංගින්ට නතු වීමට ප්‍රධාන හේතුව වූයේ පසු කලෙක විජයබා කොල්ලය නමින් හඳුන්වන්නට යෙදුණු ලාංකික  පාලකයන්ගේ අභ්‍යන්තර කුළල්කා ගැනීමයි. ඕමානයේද එකල පැවැති දේශීය ගෝත්‍රික ජනයාගේ අසමගිය මත පරංගීන් හට එරෙහි වන්නට සමත් පොදු බලයක් නොතිබූ හෙයින් මේ ප්‍රදේශය යටත් කර ගැනීම එතරම් අපහසු වී නොමැත.

ඉන් අනතුරුව දහසයවන සියවසේ බොහෝ මුහුදු බඩ වෙළඳ නගරයන්හි සිදු වූවාක් මෙන් මෙහිද තම සුපිරි නාවුක සහ අවි බලය යොදාගෙන දේශීය ජනයා යටපත් කළ පරංගීන් විවිධ වෙළඳ උපක්‍රම සහ බළකොටු ගොඩ නගමින් තව දුරටත් බලය තහවුරු කර ගත්හ.

පසු කලෙක පෘතුග්‍රීසින්ගෙන් ගිලිහුණු එම බලය බ්‍රිතාන්‍යයන් විසින් අත්පත් කර ගන්නා ලද්දෙන් පුර්ණ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් නොවූවද සිරි ලංකාවට මෙන්ම ඕමානයටද පරංගි සහ බ්‍රිතාන්‍යයන් හා බැඳුණු ඉතිහාසයක් ඇත්තේය.

එමෙන්ම බොහෝ දෙනා නොදන්නා හෝ දැන සිටියද ඉතා පහසුවෙන් අමතක කර දමනා අඳුරු ඉතිහාසයකටද ඕමානය උරුමකම් කියන්නේය, ඒ අන් කිසිවක් නොව වහල් වෙළඳාමයි.

එකල මස්කට් ඕමාන යටත් විජිතයක්ව පැවති සැන්සිබාරය (Zanzibar) හරහා මැද පෙරදිග අරාබි රටවල් වෙත සිදු කෙරුණු වහල් වෙළඳාමේ කේන්ද්‍රස්ථානයක් විය, නැගෙනහිර අප්‍රිකානු ජාතිකයන් වහළුන් ලෙස සැපයීම අනෙක් වෙළඳ කටයුතු තරමටම ප්‍රධාන තැනක් ගෙන ඇත්තේය.

එවන් පසුබිමක් ඇති මස්කට්හි යෙදුණු සංචාරයේ තෙවැනි දිනයේදී අප ප්‍රධානම අරමුණ වූයේ ජාතික පුරා විද්‍යා කෞතුකාගාරය, අලාම් මාළිගය (මෙය මාත්‍රා මාළිගය ලෙසද හඳුන්වන බව පැවසුවේ ශම්මිය) සහ ඒ අවට ඇති බළකොටු වැනි වැදගත් ස්ථානයන් නැරඹීමයි.

Marjan Beachමේ යන මග අතර පිහිටි කුඩා නමුත් සිත් ගන්නා සුළු මුහුදු වෙරළක් වූ මර්ජාන් වෙරළ වෙත යන්නටද අමතක කලේ නැත, තරමක් කඳු සහිත මේ ප්‍රදේශයේ අතරින් පතර විසිර ඇති සුඛෝපභෝගී නිවාස කිහිපයක් හැරුණු කොට ගොඩනැගිලි අවම නිසා ස්වභාවික පරිසරයේ අලංකාරයට ඉන් බාධාවක් නැත.

අප දන්නා තරමින් මේ වෙරළේ සති අන්තයේදී කිට්ටු කරන්නට බැරි තරමට සෙනග පිරෙනමුත් අප එහි ගිය සතිය මැද දින මුළු වෙරළටම සිටියේ අපත් සමග තවත් එක පවුලක් පමණි. සුදු පැහැ වැල්ලෙන් පිරුණු වෙරළ මෙන්ම නේක නිල් පැහැයෙන් බබළන සන්සුන් මුහුද අත හැර එන්නට සිත නොදෙන තරමට සිත් ඇදගන්නේය.

නමුත් ඉරෙන් බේරෙන්නට බැරිම තැන එතැන වැඩි වේලා නොරැඳී අප නැවත ගමන ආරම්භ කළෙමු 😦

කණ්ඩා සහ හාමිනේ යන සෑම ප්‍රධාන නගරයකම ඇති කෞතුකාගාරයන් වෙත ගොඩ වැදීම මහත් රුචියකින් යුතුව කරනා කාරියකි, අප දෙදෙනාගේ යහළුමිත්‍රාදීන් හට එය සිනහ උපදවන කාරණාවක් උවද, ඕනෑම රටක්, ප්‍රදේශයක් පිලිබඳ ඉතිහාසය සහ එහි වෙසෙන ජනයා ගැන යම් වැටහීමක් ලබා ගැනීම සඳහා ඇති පහසුම මග මෙයයි.

බොහෝ උදවිය ඉතිහාසය සහ කෞතුකාගාරයන් යන දෙකටම අසාත්මිකතාවයක් දක්වන හෙයින් අප ගොඩවදින බොහෝ කෞතුකාගාරයන් එම නගරයන්හි සෙසු සංචාරක ස්ථානයන්ට සාපේක්ෂව පාලු සොහොන් පිටි යයි කීවොතින් එය අතිශෝක්තියක් නොවන්නේය.

කොහොමටත් ජනයා අධිකව ගැවසෙන ස්ථානයන් වෙත වැඩි ප්‍රියතාවයක් නොදක්වන කණ්ඩාගේ කැමැත්ත නිදහසේ කාලය ගත කරන අතරම යම් දැනුමක් ලබා ගත හැකි ස්ථානයක ගැවසීමටය.

මේ නිසා යන ඕනෑම තැනක කෞතුකාගාරයක් අස්සට රිංගන එක කණ්ඩා හැකි සෑම විටෙකම පැකිලීමකින් තොරව සිදු කරනා දෙයකි. මේ ඕනෑම දෙයකට ඔට්ටු කණ්ඩාගේ නිළලත් මාතලී වන හාමිනේත් බොහොම මනාප නිසා ඉන් පවුල් සංස්ථාවද රැකෙන්නේය.

මස්කට් නගරයෙන් මදක් ඔබ්බට වන්නට පිහිටි ඕමාන් ජාතික කෞතුකාගාරය වෙත දිවෙනා මාර්ගය වැටි ඇත්තේ වෙරළ තීරය ඔස්සේය, ඒ අද්දර සකසා ඇති සිත් ඇද ගන්නා උද්‍යානයන් සහ නැරඹීමේ ස්ථානයන් කිහිපයක්ම ඇත්තේය.

Muscat Gateමේ අතර ප්‍රධාන වන රියාම් සහ කල්බු යන උද්‍යානයන් (Riyam & Kalbuh), මස්කට් දොරටුව (Muscat Gate) තරමින් විශාල නොවූවත් ඡායාරූපකරණයට මෙන්ම නැවතී විවේක ගන්නට කදිමය.

අසනීප තත්වය නිසා අප නවාතැනින් පිටත් වූයේත් තරමක් ප්‍රමාද වී බැවින්, ඒවන විටත් තමන්ගේ ගණංකාරකම් පෙන්වමින් සිටි ඉරෙන් බේරෙන්නට අප තීරණය කළේ මග නොරැඳී කෙළින්ම කෞතුකාගාරය වෙත යන්නටය, වාහනයේ වැඩ සිටිනා GPS රාජයාගේ පිහිටෙන් සහ හාමිනේගේ උදව්වෙන් වැඩි අපහසුවකින් තොරව ඒ වෙත ලඟා වීමට අපට හැකි විය.

ඕමානයේ සුල්තාන්වරයාගේ (සුල්තාන් කබූස්) නිළ නිවහන වන අලාම් මාළිගය පෙනෙන දුරින් එහි ඉදිරිපිටම පිහිටි නවීන පහසුකම් වලින් යුතු කෞතුකාගාර ගොඩනැගිල්ල විවෘත කර ඇත්තේ පසු ගිය වසර මැද භාගයේය.

එය මස්කට්හි ඔපෙරා රඟහල තරමට ආකර්ෂණීය නොවූවත් අරාබි සහ නූතන ගෘහ නිර්මාණ ශිල්පය මුසුවූණු චාම් නමුත් අලංකාර ගොඩනැගිල්ලකි.

කණ්ඩාගේ පෞද්ගලික මතය නම් කෞතුකාගාර ගොඩනැගිල්ල අළුත් නමුත් එහි ප්‍රදර්ශනයට තබා ඇති භාණ්ඩ සහ ඒ පිලිබඳ විස්තර පිළිබද සෑහීමකට පත් විය නොහැකි බවය, ඇතැම්විට කණ්ඩා අපේක්ෂා කරන තත්වයටම මෙය ඉදිරියේදී වැඩි දියුණු වීමට ඉඩ කඩ ඇත්තේය.

ලෝක ඉතිහාසය හා බැඳි සේද මාවතේ ඉතා වැදගත් මධ්‍යස්ථානයක් වූ මස්කට් ගැන මෙන්ම මේ දේශයේ පෘතුග්‍රීසි සහ ඉංග්‍රීසි සමයන්හිදී පැවති තත්වය පිළිබඳව ඉදිරිපත් කරන්නට හැකි තොරතුරු අප්‍රමාණය.

එබැවින් මේ කෞතුකාගාරය වැඩි දියුණු කරන්නට ප්‍රදර්ශනයට තබා ඇති කෞතුක වස්තු පිළිබඳ වැඩි විස්තර මෙන්ම ඒ කාල වකවානු වලට අදාල සමගාමී ලෝක ඉතිහාසය ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය භාවිතයෙන් මීට වඩා කැපී පෙනෙන ලෙස ඉදිරිපත් කරන්නට හැකියාවක් ලැබෙන්නේ නම් එය ඉතා අගනේය.

Sinbad in Srendibඕමානයට ගොඩ වදින්නට පෙර සිටම ඕමානය සහ අරාබි නිසොල්ලාසයේ එන සුප්‍රසිද්ධ නාවිකයා වන සින්බෑඩ් හා සබැඳුණු කතාන්දර රාශියක් කණ්ඩා හට අසන්නට ලැබුණුමුත් පුරා විද්‍යාත්මකව ඔප්පු කළ ඉතිහාසයක් සින්බෑඩ් හට නැති හෙයින් ඒ පිළිබඳ කිසිඳු සදහනක් මේ කෞතුකාගාරයේ නොවීය.

ඇතැම් පුරාවෘතයන් කෙරෙහි බල පෑ සැබෑ සිදුවීම් තිබිය හැකි උවද සින්බෑඩ් නම් නාවිකයා සම්බන්ධයෙන් කට වහරින් එන ජනප්‍රවාද අරුණු කොට වෙනත් ඓතිහාසික වශයෙන් පිළිගත් හැකි කිසිඳු සාක්ෂියක් අද වන තුරුත් සොයාගෙන නැති බව පවසන්නේ කණගාටුවෙනි.

මේ මොන දේ වෙතත් සින්බෑඩ්ගේ වීර චාරිකා කෙරේ කණ්ඩාගේ ඇති ඇල්ම මදකින් හෝ අඩු නොවන නිසා කුඩා කළ කියවූවාට පසු අරාබි නිසොල්ලාසය නොහොත් “එක් දහස් එක් රැය” නැවත කියවීමට ඇත්තේ දැඩි ආශාවකි.

ඒ සඳහා අවස්ථාවක් නොලැබීම ගැන ඇත්තේ දුකක්මුත් ඉඩක් ලැබුණු විටක එහි මුල් ඉංග්‍රීසි කෘතිය හෝ සොයාගෙන කියවන්නට කණ්ඩා හිත හදා ගත්තේය.

නැති ඉතිහාසයක් ගැන පාරම් බානවාට වඩා සින්බෑඩ්ගේ කතා මේ ප්‍රදේශයේ පෙර විසූ නාවිකයන්ගේ අත්දැකීම් මත ගෙතුණු ප්‍රබන්ධයක් ලෙස සැලකීම වඩාත් නම්බුය, එසේ නැතහොත් සින්බෑඩ්ට අත් වන්නේද ලංකාවේ රාවණා පුරාවෘතයට අත්ව ඇති ඉරණමය.

ඕමානය ගැන කතා බහ කරද්දී සින්බෑඩ් ගැන අමතක කළත් අමතක කල නොහැකිම කාරණාව වන්නේ සියවස් කිහිපයක් තිස්සේ ඕමානය සහ සැන්සිබාරය කේන්ද්‍ර කරගත් වහල් වෙළඳාමය. ඒ ගැන මැද පෙරදිග අන් බොහෝ කෞතුකාගාර වල මෙන්ම මස්කට් කෞතුකාගාරයේත් කිසිඳු සඳහනක් මා දුටුවේ නැත.

අදටත් මැද පෙරදිගදී ඉතා සංවේදී මෙන්ම “ටැබූ” (Taboo) මාතෘකාවක් වන වහල් ඉතිහාසය ඉතා පහසුවෙන් අතීතයේ වැලි තලාවෙන් වැසී යන්නට ඉඩ සලස්වා ඇත, නමුත් අදටත් වහළුන්ගෙන් පැවත එන්නන් මෙන්ම වහල් වෙළඳාමේ නියුතු වූ පවුල් වල උදවියද මේ ප්‍රදේශයේ එක්ව වාසය කරති.

මෙය ඒ ඉතිහාසයට පමණක් අයිති දෙයක් ලෙස අත හැර දමන්නට ලෙහෙසි උවද වර්තමානයේදීද මැද පෙරදිග වහල් සේවය නැතැයි කියන්නට නොහැකිය, එකම වෙනස අද වන විට අප්‍රිකානු ජාතිකයන්ගේ තැනට ආසියාතිකයන් ආදේශව තිබීම පමණි.

එමෙන්ම මෙම ශ්‍රමය සූරා කෑම වර්තමාන සමාජයට ගැලපෙන ආකාරයට වහලුන් යන නාමය වෙනුවට සඳහා ගෘහ සේවිකාවන්, ගොවිපොළ අත් උදව්කරුවන්, කම්කරුවන් ආදී නාමයන් භාවිතා කරති.

** කණ්ඩා හට හිරේ විලංගුවේ නොවැටී මෙයට වඩා මේ ගැන කතා බහ කිරීමට නොහැකි නිසා මේ ගැන වැඩි විස්තර ලියන්නට වෙන්නේ මේ මැදක් නැති පෙරදිගින් පිටමං වූ දවසකටය, වැඩිදුර විස්තර කියවීමට කැමති උදවියට මේ හා සම්බන්ධව ඉංග්‍රීසියෙන් ලියැවුණු ලිපි කිහිපයක් කණ්ඩා පහතින් සඳහන් කර ඇත්තේය. **

පැය කිහිපයක් කෞතුකාගාරයේ රැඳුණු අප ඉන් පිටවුණේ අලාම් මාළිගයත් ආපසු යන මාර්ගයේ ඇති විවිධ ස්ථානයන්ද බැලීමට ඇති නිසාය. කෞතුකාගාරයේ ප්‍රධාන දොරටුවෙන් පිටතට එන විට ඉදිරියෙන්ම දිස් වන්නේ වසර දෙසීයක පමණ ඉතිහාසයක් ඇති අලාම් මාළිගයයි.

මැදපෙරදිග ඇති නූතන රජ මාළිගාවන්ට සාපේක්ෂව චාම්ව රන් සහ නිල් පැහැයෙන් වර්ණ ගන්වා ඇතිමුත් මෙය ඕමානයේ සුල්තාන්වරයා සතු මාළිගාවන් කිහිපයකින් එකක් පමණි, අද වන විට මෙය භාවිත වන්නේ විශේෂ අමුත්තන් පිළිගැනිම සහ විශේෂ රාජකීය උත්සවයන් සඳහා පමණි.

අලාම් මාළිගය දෙපස විහිදුණු කඳු ගැට මත පෘතුග්‍රීසීන් විසින් දහසයවන ශතවර්ෂයේදී ඉදි කළ “ජලාලි” සහ “මිරානි” බළකොටු (Jalali & Mirani Forts) වර්තමානයේ ප්‍රායෝගික වැදගත්කමක් නැතත් අතීතයේදී මේ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා බෙහෙවින් වැදගත් වන්නට ඇත.

අවාසනාවට අද සාමාන්‍ය ජනයා හට මෙම බළකොටු වෙත ගොඩ වදින්නට අවසර නැතත් අලාම් මාලිගය අවට ප්‍රදේශයට එමගින් එකතු කරන්නේ අන් කිසිවකින් ආදේශ කල නොහැකි අතීතය සහ වර්තමානය හා බැඳුණු අමුතුම සුන්දරත්වයකි.

අලාම් මාළිගයෙන් පිටත්ව මස්කට් දොරකඩ (Muscat Gate) හරහා නැවතත් හෝටලය වෙත යන මග රියාම් උද්‍යානයේ නැවැත්වීමටද කණ්ඩා අමතක කලේ නැත, ඒ ඉදිරිපිට මුහුදට නෙරා ගිය ගල් පර්වතයක් මස්තකයේ තනා ඇති පෞරාණික ප්‍රදීපාගාරය සහ පරංගි මුර කපොල්ල අවට පරිසරයේ සිරි නැරඹීමට කදිමය.

කෙතරම් උවමනාව තිබුණත් ඇඟේ පතේ වෙහෙස නිසා හාමිනේ ප්‍රදීපාගාරය වෙත යාමට පැමිණියේ නැත, ප්‍රදීපාගාරය මතට නැගී කල්හි මස්කට් වරාය මෙන්ම අසල ඇති කල්බූ සහ රියාම් උදයානයද මොනවට දර්ශනය වන්නේය.

මින් කණ්ඩාගේ වඩාත් සිත් ඇද බැඳ ගත්තේ බැස යන ඉරත් සමග අලංකාර ව දිස් වන මස්කට් වරායේ සිරිය සහ රියාම් උද්‍යානය මධ්‍යයේ තනා ඇති විශාල ඕමානි දුම් කබලක් හෙවත් “මුබ්කාරා” (Mubkhara) ආකෘතියට සැදූ ස්මාරකයි.

හිතේ හැටියට සිරි නරඹමින් ප්‍රදීපාගාරය මුදුනේ සිට ඡායාරූප ගැනීමෙන් අනතුරුව උදව්වට හාමිනේ ළඟ පාතක නොවූ නිසා එහි සිටි තවත් සංචාරකයෙකුගේ උදව්වෙන් කණ්ඩාගේ මුණත්තහඩුවේ පින්තූර කිහිපයක් ගන්නට සිදු විය.

මුහුද ගිනියම් කරමින් බැස යන ඉරත් පසෙකින් ඇති කඳුවැටියත් ඒ සියල්ල දෙස බලා හිදින සන්සුන් මුහුදත් එකතුව මවනා රටා රස විඳිමින් තව බොහෝ වෙලාවක් මෙතැන ගත කිරීමට සිත දුන්නද හෝටලයට ගොස් විවේක ගැනීමේ අවශ්‍යතාවය අප දෙදෙනාටම විය.

පසුදා දහවල් වන විට හෝටලයෙන් ඉවත්ව යා යුතුය, එදිනට යොදා ගෙන තිබුණු “සිෆා” ගමනට සුදානම් වීමද වැදගත්ය, එනිසා අකමැත්තෙන් උවද ගොම්මන් වැටෙන්නට පෙර අපි නැවතත් හෝටලය බලා පිටත් වූයේ ඒ ගමන සිහියට නගා ගෙනය.

“සිෆා” ගමනට මා කළින්ම ශාමික නොහොත් “** ශම්මි” සහ කෝච්චි පවුලටද ආරාධනා කළමුත් අවාසනාවට කොච්චියාගේ කාර්ය බහුලත්වය නිසාත් ශම්මි මස්කට්හි පැවැත්වෙන ආදි සිසු උලෙළක් (Golden Alumni Ball) සඳහා සහබාගී වීමට ඇති හෙයිනුත් ඒ සඳහා අවසරයක් නොවීය.

අන්තිමේදී කණ්ඩා සහ හාමිනේ මැද පෙරදිගදී යන බොහෝ සවාරි මෙන්ම සිෆා ගමනටද සිටියේ අපි දෙන්නට දෙන්නා විතරමය 😀

ඕමානයේ ශිනාස්, මස්කට් සහ සිෆා හිදී ගත් ඡායාරූප එකතුවක්

~ මතු සම්බන්ධයි !

මස්කට් කතන්දර ~ IV කොටස ~ ශිනාස් සහ මස්කට් !

ඕමානය සහ මැද පෙරදිග වහල් වෙළඳාම පිලිබඳ වැඩිදුර විස්තර  :

Advertisements