Tilting Train

පෙන්ඩොලීනෝ, අණ්ඩග්‍රවුන්ඩ් සහ බෝම්බ

මෙවර හිරු නොබසිනා දූපතට යෙදුණු සවාරිය අතරමැද්දට හිරවුණු සති අන්තය තුළ කුමක් කරන්නේද යන්න ගැන වැඩි දුර සැලැස්මක් අප දෙදෙනාටම තිබුනේ නැත, එමෙන්ම ලිච්ෆීල්ඩ් සහ බර්මින්හැම් අවට නැරඹීමට ඇති බොහෝ දේ ඒ වන විටත් නරඹා අහවරය.

අප සංචාරයට යොදාගෙන තිබුණු තැන් ගැන විමසු කණ්ඩාගේ කන්තෝරු සගයින් ඔලොක්කුවට කියා සිටියේ ඒ සියල්ල වඩා ගැලපෙන්නේ කුඩා ළමුන්ට උවත් කණ්ඩාට නම් අවුලක් නැති බවය 😀

එනිසා අවසානයේදී අප තීරණය වූයේ ඒ සියල්ල අත්හැර නැවත ලන්ඩන් නුවර බලා යන්නටය !දැනට රැජිණ ආත්තම්මාගේ රටේ වාසය කරන මිලාගිරියේ පිහිටි සයිමන්ගේ පොල් මෝලේම උගත් හාමිනේගේ ගජ මිතුරියන් කිහිප පොලක්ම ඇත්තේය (කණ්ඩාට මේ නඩය විස්තර කළ හැකි තව බොහෝ නිර්මාණශීලී විදි තිබුණද මේ ප්‍රසිද්ධියේ යෙදිය හැකි වැදගත්ම එක බව කරුණාවෙන් සලකන්න 😀 ).

මේ නඩයෙන් “ඉල්ෆ්ර්ඩ්”හි (Ilford) වෙසෙන මිතුරියක් අපට නවාතැන් දෙන්නට ස්ව-කැමැත්තෙන්ම ඉදිරිපත් වූ නිසාවෙන් ඒ ගැන වද වෙන්නට අවශ්‍යතාවයක් නොවීය.

ප්‍රසිද්ධියේ නම කියන්නට බැරි නිසා මින් මතුවට ඇයට උස එකී කියා නම් තබමි, හැබෑවටම කියනවා නම් මේ කණ්ඩා කට කසනවාට කියනා කතන්දර නොව හාමිනේගේ මිතුරියන් නඩය අතර සිටිනා මිටි එකියක් ඉරිසියාවට කියනා ඒවාය.

නුතන කට වහරට අනුව ඉරිසියාව කියන්නේ රුසියාවටත් වඩා ලොකු එකක් බව අසා ඇතිමුත්, ඉරිසියාව කෙසේ වෙතත් රුසියාව ගැන නොදන්නා බැවින් හරියටම කියන්නට බැරිය. මේ දෙකම ගැන දන්නා කෙනෙක්ට ඒ ගැන ලියන්න ඉඩ තියන එක නුවනට හුරුය.

අනික් ඔය කොහොම කියුවත් මේ හතර රියන් සහ දෙරියන් දෙදෙනා තකට තක යෙහෙළියෝය, නමුත් මේ දෙදෙනා ගැන වැඩි විස්තර පස්සට තබන්නේ ඒ ගැන ලියන්නට ගියෝතින් කණ්ඩාට වෙනත් දෙයක් ලියන්නට බැරි වෙන නිසාය.

වෙනදා මෙන්ම අපගේ පිහිටට සිටියේ කවදත් නොවරදින ප්‍රවාහන මාධ්‍ය වූ දුම්රියයි, සිකුරාදා කලින්ම කන්තෝරුවෙන් පැන්න කණ්ඩාවත් එතෙක් හෝටලයේ නැවතී සිටි හාමිනේවත් රැගෙන “ලිච්ෆීල්ඩ් ට්‍රෙන්ට් වැලි” (Lichfield Trent Valley) දුම්රිය පොළට ඇරලවන්නට තරම් කණ්ඩාගේ මිතුරිය වන ලිස් කාරුණික වූවාය.Lichfield Trent Valley Station

එමෙන්ම මොකද්දෝ අහේතුවකට ජංජාලයෙන් දුම්රිය ටිකට් පත් වෙන් කිරීමේදී එතෙක් කල් භාවිත කළ ක්‍රෙඩිට් කාඩ්පතට “ලන්ඩන් මිඩ්ලන්ඩ්ස්” (London Midlands) දුම්රිය සමාගම අරියාදු කළෙන් ටිකට් පත් මිලදී ගන්නටත් අප සහය පැතුවේ ලිස්ගෙන්මය.

කාට උනත් උවමනාවට වඩා කරදර කිරීම වටින්නේ නැති බව මාගේ විශ්වාසයයි, එබැවින් කණ්ඩා සහ හාමිනේ ඒ ගැන ඇයට කනගාටුව පල කල විට ලිස් සිය සුපුරුදු බ්‍රමී උරුවෙන් (Brummie Accent) , “රුබිෂ් … රැංගා වුඩ්න්ට් යා ඩූ ද සෙයිම් ෆ මී ???”  (Rubbish …. Ranga wouldn’t ya do the same for me ?“ යයි ප්‍රශ්න කරමින් සිනහ සුණාය.

ජන්ජාලයෙන් මුදල් ගෙවා ටිකට් වෙන් කර ගත්තත් ටිකට් පත් නිකුත් කරනු ලබන්නේ දුම්රිය පොළේහි ඇති ස්වයංක්‍රීය ටිකට් මැෂිමක් (Ticket Kiosk) මගිනි. එහිදී අන් උදවියගේ ක්‍රෙඩිට් කාඩ්පත් අවභාවිතය වැළක්වීමට යොමු අංකයට අමතරව ටිකට් මිලදී ගැනීමේදී මුදල් ගෙවූ ක්‍රෙඩිට් කාඩ් පත ඉදිරිපත් කල යුතුය.

ලිස් අපට සමුදී පිටත්ව ගිය පසු නියමිත දුම්රිය පැමිණෙන තෙක් තවත් පැය බාගයකට අධික කාලයක් ඉතිරිව තිබුණි, කාලය ගෙවා ගන්නට ජංජාලයට එබෙන්නට බැලුවත් ඒ වැඩේ හරි නොගිය තැන ඒ වැඩෙත් ලත් තැනම ලොප්ය.

බ්‍රිතාන්‍යයේ දුම්රිය පොළවල නොමිලයේ සපයන වයි-ෆයි (Wi-fi) පහසුකම් තිබුණද අපේ කරුමයට මෙම දුම්රිය පොළේ බාගත කිරීමේ වේගය සිරි ලංකාවේ සොරිසේන නොමිලේ බෙදාපු වයිපයියට නොදෙවෙනිය.

කොටින්ම ළඟ පාතක පුස් සයිකලයක් හෝ තිබුණා නම් එයිට වැඩි වේගයකින් යවන මගුලක් අතේම ගොහින් දී එන්නට තිබුණු බව කියන්නේ අප්‍රමාණ සන්තෝශයෙන්ය, එහෙනම් එය නිකම්ම වයි-ෆයි වෙනුවට අතේ ගිහින් දෙන “ඩෝ-ටු-ඩෝ වයි-ෆයි (Door to Door Wi-fi) ය.

මම නම් හිතන්නේ සුනිල් අයියා කියාපු තාලයට සුද්දොත් අපෙන් ඉගෙනෙ ගෙන තියෙනා හැඩය 🙂

කාලය කා දමන්නට වෙනත් විකල්පයක් නොමැති තැන කණ්ඩා දශක කිහිපයකින් තිරිහන් වෙන වැඩකට අත ගැසුවේය, ඒ වෙනකක් නොව අප සිටි වේදිකාව ඉදිරියෙන් යන එන දුම්රිය නැරඹීම හෙවත් “ට්‍රේන් ස්පොටින්” (Train Spotting) ය.

දුම්රිය මාර්ග තුනකට උරුමකම් කියනා ලිච්ෆීල්ඩ් ට්‍රෙන්ට් වැලි දුම්රිය පොළෙහි දුම්රිය නැරඹීමට එතරම් වෙහෙස මහන්සි වීම අනවශ්‍යය. නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සියල්ලම මෙහි නොනවත්වන මුත් සෑම මිනිත්තු කිහිපයකටම වරක් ලන්ඩන් සහ මිඩ්ලන්ඩ්ස් අතර දිවෙනා යකඩ යකුන් මෙම දුම්රියපොළ හරහා හූ තියමින්  ඇදෙන්නේය.

මින් කණ්ඩාගේ සිත බෙහෙවින් ඇදී ගියේ අධි වේගී වර්ජින් දුම්රිය කට්ටල වෙතයි, පැයට කිලෝමීටර 200 කට (පැයට සැතපුම් 125 කට) ආසන්න වේගයක් සහිත මෙම දැවැන්තයින් ධාවනයේ යෙදෙනු බලා සිටිනා කණ්ඩා වැනි කොච්චි පිස්සන්ගේ ඉබේ ඇරෙනා කටවල වලට බ්රේක් නැති මැස්සන් රිංගීම වැළක්වීමට නම් පොඩි පහේ දැලක්ම ගැසිය යුතුය.

මෙලෙස අධි වේගයෙන් ඇදී එන මැදිරි කිහිපයකින් යුතු දුම්රිය කට්ටල තියුණු ඝෝෂාවක් නගමින් වේදිකාව පසු කරන්නට ගතවන්නේ තත්පර කිහිපයකි, එලෙස වේදිකාව පසු කර යන්නට මිනිත්තුවකට පමණ පෙර ඈතින් ඇසෙනා කන් කීරි ගැසෙන ඝෝෂාව මෙම දැවැන්තයා ගැන කෙරෙන පූර්ව අනතුරු ඇඟවීමකි.

නුපුරුදුකමට මේ ගැන වැඩි තැකීමක් නොකළ නිසාවෙන් ලන්ඩන් බලා යන පළමු අධිවේගී දුම්රිය අප පසු කරද්දී කණ්ඩා සිටියේ වේදිකාව කෙළවරට මීටරයක් දෙකක් පමණ ඈතින්ය, ඇසිපිය ගසන පමණින් අවසන් වූ ඒ අත්දැකීම නිම වනවිට මට දැනුණේ කන අසලින් සුළි සුළඟක් හමා ගොස් බේරා ගත් අයෙකුට ඇතිවන අස්වැසිල්ල හා සමාන හැඟීමකි.

එනිසා ඉන් පසුව සෑම විනාඩි 5-10 කට වරක් වේදිකාව අසලින් දුම්රියක් ගමන් ගද්දී දෑතින්ම කන් වසා ගන්නා හාමිනේ වේදිකාවේ මුල්ලකට ගියේ, නැවතත් ඕනෑවට වඩා වේදිකාව අසලට නොයන ලෙස කණ්ඩාට අනතුරු ඇඟවීමක්ද කරමිනි.

Tilting Trainමෙම අධිවේගී දුම්රිය මාර්ගය වල වංගු සහිත ස්ථානයන්හිදී පීලි වල ඇතුල් පස පිහිල්ල නිමවා ඇත්තේ පිටත පිහිල්ලට වඩා පහතින් සිටින සේය, ඒ අධික වේගයත් සමග දුම්රිය මැදිරි පීලි පැනීම වැළක්වීම සඳහා කේන්ද්‍රාරාපසාරී බලය පාලනය කරන්නටය.

එමෙන්ම ඇලවෙන දුම්රිය හෙවත් “ටිල්ටින් ට්‍රේන්” (Tilting Trains) යනුවෙන් හඳුන්වන මෙම අධිවේගී දුම්රිය මැදිරි වංගු වලදී අංශක 6-8 ත් අතර ප්‍රමාණයක් වංගුව ඇතුල් පසට ඇල වන්නේය.

මෙසේ ඇල වෙමින් වංගු ගන්නා දුම්රියක් දකිනා වාරයක් ගානේ කණ්ඩාට සිහිවන්නේ නව යොවුන් වියේදී කනේ වැලි ගෑවෙනා තරමට මෝටර් සයිකල් සහ පුස් සයිකල් වලින් වංගු ගත් ආකාරය මෙන්ම වංගු කෙළින් කර ලැබුණු අත්දැකීම්ය.

නමුත් ටොන් ගණනාවක් බරැති මේ සද්දන්ත යකඩ යකා පීලි මත දුවන කඟවේණකු මෙන් සීරු මාරුවට වංගුවෙන් මතු වෙද්දී හුස්ම පහලට හෙලන්නට අමතක වන හැඟීම තේරුම් ගත හැක්කේ තවත් කොච්චි පිස්සෙකුටම පමණි.

පහත දැක්වෙන්නේ එවන් ඇල දුම්රියක් වංගු සහිත වේදිකාවක් පසු කර යන ආකාරයයි

පසුව මේ ගැන වැඩි විස්තර සෙවූ කණ්ඩා දැන ගත්තේ මෙම මාර්ගය ඔස්සේ වර්ජින් දුම්රිය සේවය (Virgin Trains) යටතේ  “පෙන්ඩොලීනෝ” සහ “සුපර් වොයේජර්” යන (56 Class 390 Pendolino Sets & 20 Class 22 Super Voyager Sets) අධිවේගී දුම්රිය කට්ටල මාදිලි ද්විත්වයක් ධාවනය වන බවයි.

 

මින් “පෙන්ඩොලීනෝ” යනු ඉතාලියානු තාක්ෂණය යටතේ නිෂ්පාදිත දුම්රිය කට්ටලයි, පෙන්ඩොලීනෝ යන නාමයට මුල් වන්නේ “පෙන්ඩියුලම්” (Pendulum) හෙවත් අවලම්භය හෝ දෙපසට වැනෙනා ඔරලෝසු බට්ටා යන අරුතයි.

දැනට දශක කිහිපයකට පෙර නවීන විද්‍යාවේ ආශ්චර්යක් වශයෙන් සැලකුණු මෙම දුම්රිය වලට හිමිව තිබුණු තැන අදවන විට “මැග්ලේව්” (Maglev – Magnetic Levitation) තාක්ෂණය යොදා ගන්නා නවීන “බුලට්” දුම්රිය (Bullet Train) විසින් අත්පත් කරගෙන තිබුණද කණ්ඩාට නම් තවමත් මෙය අරුමයක්මය.

 

බ්‍රිතාන්‍යයේ ධාවනය වන අධිවේගී වර්ජින් දුම්රිය ඉතා සැප පහසු සේවාවක් සපයන්නේය, වර්ජින් සමුහ ව්‍යාපාර නිර්මාතෘ සර් රිචඩ් බ්‍රැන්සන් (Sir Richard Branson) අත ගසනා කුමන ව්‍යාපාරයක් උවද හරියටම කරනා පුද්ගලයකු හැටියට ප්‍රසිද්ධියක් උසුලන නිසා ඒ ගැන පුදුම වන්නට කාරණාවක් නැත.

සේවාව උසස් තරමටම එය සාපේක්ෂව මිලෙන්ද ඉහළය, තත්වයෙන් උසස් කඩිනම් සේවයක් සපයද්දී මිල ඉහළ යන සුත්‍රය කොහොමත් කොතැනත් එකමය.

මගේ මතකය නිවැරදි නම් අප පළමුවර ලන්ඩන් සිට බර්මින්හැම් වෙත පැමිණි ගමනේදී කාලය ඉතිරි කර ගැනීම සඳහා වර්ජින් දුම්රියක ගමන් ගත්තත් ඒ සඳහා සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර මෙන් අට ගුණයකටත් වඩා වැඩි මුදලක් වැය කරන්නට සිදු විය.

මේ සියල්ලම සමගින් කණ්ඩාට සිහි වූයේ සුද්දා “ඇල” දුම්රිය පාවිච්චි කරද්දී අපට තවමත් ඇත්තේ හැමදාමත් ප්‍රමාදව පැමිණෙන“අල” දුම්රිය පමණක් බවය, කොටින්ම සුද්දාටම බැන බැන පැලැස්තර අලවමින් තවමත් පට්ට ගසන්නේ සුද්දා හදාපු පෞරාණික කෝච්චි පාරවල් ටිකමය.

අඩුතරමේ ඉතා කාර්ය බහුල කැළණිවැලි, වෙරළබඩ සහ පොල්ගහවෙල දුම්රිය මාර්ගයන් අමතර රේල් පීලි සහිතව වැඩි දියුණු කළහොත් මහා මාර්ගයන්හි රථ වාහන තදබදය අඩු කළ හැකිව තිබියදී ඒ ගැන වගක් නැති දේසපාලුවන් සහ දුම්රිය දෙපාර්තුමේන්තුවකින් රටට ඇති පලය කුමක්ද  ? යන්න සිතන්නට වටිනා කාරණයකි.

අධිවේගී ඇල දුම්රිය තාක්ෂණය අතින් කොපමණ ඉදිරියෙන් සිටියත් මෙවන් දුම්රිය පවා නොසැලකිලිමත්කම හේතුවෙන් අනතුරක වැටෙන්නට සුළු වරදක්  උව සෑහෙන්නේය, දුම්රිය මාර්ගයේ නඩත්තු කිරීමේ අතපසු වීමක් නිසා 2007 වසරේදී සිදු වී ඇති පෙන්ඩොලීනෝ දුම්රිය අනතුර මෙයට ආසන්නතම උදාහරණයයි.

 

මෙම දුම්රිය අනතුර ගැන විශේෂ සඳහනක් සර් රිචඩ් බ්‍රැන්සන්ගේ චරිතාපදානයක් වන “Losing My Virginity” පොතෙහිද ඇතුළත්ය.

නමුත් වර්තමානයේදී පරිඝනක මගින් ක්‍රියාත්මක වන නවීන සංනිවේදන, සංඥා, වේග මාපක, තිරිංග පද්ධති මෙන්ම ස්වයංක්‍රීය ගිනි අනාවරණය පද්ධති සහ ස්වයංක්‍රීය මැදිරි දොරවල් වැනි විවිධ ආරක්ෂිත යාන්ත්‍රණ රාශියක් මගින් ආනාගතයේ සිදුවිය හැකි ව්‍යසනකාරී අනතුරු සඳහා වැට බැඳ ඇත.

මෙලෙස කණ්ඩා කෝච්චි නරඹමින් පොඩි එකෙකු සේ විනෝද වෙද්දී කාලය ගතවනු තේරුණේ නැත, අප ගමන් කිරීමට නියමිතව තිබූ දුම්රියද විනාඩි 10 ක පමණ පමාවකින් පසුව වේදිකාව වෙත ළඟා විය (සුද්දත් කොච්චි පරක්කු කරන්න ඉගෙන ගෙන ඇත්තේ අපෙන්ය, ඒ ගැන ඇත්තටම ආඩම්බරය 🙂 )

දුම්රිය වේදිකාව අසලින් නැවැත් වූ පසු මගීන් කිහිප දෙනෙකු බැස යද්දී පොරකෑමකින් තොරව සීරුවෙන් දුම්රිය මැදිරි තුළට ගොඩ වදිනා මගීන් අතරට අපිද එක්වීමු, කාර්ය බහුල වෙලාවක් නොවූ බැවින් අසුන් වෙන් කර ගැනීමට අපහසුවක් නොවීය.

ගමන ඇරඹීමට කලින් ස්වයංක්‍රීයව වැසී යන දොරටු සියල්ලම පාලනය වන්නේ දුම්රිය බාර “කොන්දොස්තර” හෙවත් පරීක්ෂකවරයා විසිනි, එනිසා පැයට කිලෝමීටර දෙසියක වේගයෙන් ෆුට්බෝඩ් එකේ යන්නට අවස්තාවක් නැත 🙂

එයට අමතරව විවිධ නිවේදන, මගීන්ගේ ආරක්ෂාව මෙන්ම ටික්කාගේ රාජකාරියද ඇතුළු තවත් බොහෝ දේ දුම්රිය පරීක්ෂකවරයා අතින් සිදු වෙයි.

London Midland Trainලිච්ෆීල්ඩ් ට්‍රෙන්ට් වැලි දුම්රිය පොළේ සිට ලන්ඩන් මිඩ්ලන්ඩ්ස්  සාමාන්‍ය නගරාන්තර දුම්රියකින් “ලන්ඩන් යූස්ටන්” (London Euston) වෙත ළඟා වන්නට ගත වූ කාලය පැය එක හමාරකට මදක් වැඩිය.

මෙම නගර දෙක අතර වන සැතපුම් 140 ක් (කිලෝමීටර් 225 ක්) පමණ වන දුර ප්‍රමාණය සැලකූ විට මෙය ඉතාමත් සතුටුදායක සේවාවකි, එනම් මෙම සාමාන්‍ය දුම්රියත් පැයට කිලෝමීටර 140 කට ආසන්න වේගයක් රඳවාගෙන ඇත. නමුත් ඒ වෙනුවට සීග්‍රගාමී දුම්රියක් තෝරා ගතහොත් ගමන් කාලය තවත් අඩුය.

මෙම දුම්රිය සම්බන්ධයෙන් තවත් සිත්ගත් කාරණාවක් වන්නේ සෑම මැදිරියකම පාහේ පුස් බයිසිකල් නැවත්වීම සඳහාම වෙන් වූ කොටසක් තිබීමයි. නගරයකින් නගරයකට තම බයිසිකලයද රැගෙන එදිනෙදා කටයුතු සඳහා මෙන්ම විනෝදය සහ ව්‍යායාම සඳහා  දුම්රියෙන් ගමන් ගන්නා සාමාන්‍ය වැසියන් ගිම්හාන කාලයේදී මෙහි සුලභ දසුනකි.

කෙසේ වෙතත් අපගේ ගමන කිසිඳු අබග්ගයකින් තොරව අවසන් විය, තොරතෝංචියක් නැති ඝෝෂාව, තෙරපීම් සහ ගැස්සිලි-පැද්දිලි අවම නිසා ගමන් විඩාවක්ද නැත. ඉහින් කනින් දාඩිය පෙරාගෙන සීට් වලට පොරකමින් හෝ කටු කාගෙන ෆුට්බෝඩ් එකේ එල්ලී සිරි ලංකාවේ දුම්රිය ගමන් ගොස් පුරුදු කණ්ඩා හට මෙම වෙනස හොඳින් දැණුනි.

යුස්ටන් වෙතින් නැවතත් ලන්ඩන් නගර සීමාව ඇතුළත පොළොව යටින් දිවෙන  “අන්ඩග්‍රවුන්ඩ්” (Underground) දුම්රිය සේවාව වෙත පිවිසුණ අප නැවතත් හාමිනේගේ මිතුරිය වන උස එකීගේ නිවස ආසන්නයේ ඇති දුම්රියපොළක් වෙත යන ගමන ආරම්භ කළෙමු.

භාවිත වන රට අනුව “මෙට්‍රෝ”, “සබ්වේ”, “ටියුබ්”  (Metro, Subway, Tube) ආදී නොයෙක් නම් වලින් හඳුන්වන්නට යෙදෙන මෙම නගර අභ්‍යන්තර දුම්රිය ප්‍රවාහන සේවාවන් (Rapid Transit Systems) ලන්ඩන්හි හඳුන්වන්නේ “අණ්ඩග්‍රවුන්ඩ්” ලෙසයි.

අණ්ඩග්‍රවුන්ඩ් දුම්රිය පද්ධතිය තරමටම රතු පැහැති රවුමක් මැදින් අඳිනා ලද නිල් පැහැති දික් හතරැස් කොටුවක “UNDERGROUND” යනුවෙන් පින්තාරු කළ එහි සන්නාමයද ප්‍රසිද්ධය.

එම ලාංඡනයම දුම්රියපොළ නාමයන් ප්‍රදර්ශනය කිරීමට මෙන්ම වැනි “MIND THE GAP” වැනි දුම්රියපොළ ආශ්‍රිත සංඥා පුවරු ප්‍රර්ශනයටද භාවිත වන්නේය.

බොහෝ නගරාශ්‍රිත මෙට්‍රෝ පද්ධති වලට ආවේනික වූ “Mind The Gap” වැනි සංඥා සහ නිවේදනයන් ඇත, ඩුබායිහි මෙට්‍රෝ මැදිරි වල දොරවල් ඇරෙන වැසෙන විට වාදනය කරන “අල් අබ්වා තුහ්තක් !” සහ “අල් අබ්වා බුදුක්ලක් !” මේ හා සමානය. ඩුබායිහි වෙසෙනා සිරි ලංකාවේ උදවිය මෙය හාස්‍යය උදෙසා  :

“අනේ අම්මෝ බුදු *** !  සහ  අනේ අම්මෝ ****! ලෙස හරවා ගෙන ඇත 😀

 

අණ්ඩග්‍රවුන්ඩ් ලෙස හැඳින්වූවත් මෙහි භූ ගත මාර්ගයන් ඇත්තේ කිලෝමීටර 400 ක් පමණ වන සම්පුර්ණ මාර්ගයන්ගෙන් 45% ක පමණ වන කොටසකය, එනිසා කුසල්හාමි මාළු බාන්නා සේම අණ්ඩග්‍රවුන්ඩ් යන නමට නොගැලපුනත් බාගෙට බාගයක් වැඩ “ඕවග්‍රවුන්ඩ්” (Overground) හෙවත් පොළවෙන් උඩය.

එකිනෙක හරහා යමින් මාරුවිය හැකි, දුම්රියපොලවල් 270 කින් යුතු මකුළු දැලක් මෙන් මුළු නගරය පුරාම ආවරණය වන ලෙස විහිදුණු මාර්ග 11 කින් යුතු මෙම සේවාව ඉතා කාර්යක්ෂම මෙන්ම පාන්දර 5 පමණ සිය රාත්‍රී 10 – 11 වන තෙක් මහජනයාට විවෘතය.

 

කාලයත් සමගම වැඩි දියුණු වූ අණ්ඩග්‍රවුන්ඩ් සේවාවේ ප්‍රථම කොටසේ ආරම්භය 1863 තරම් ඈතට දිවෙන්නේය (එනම් උඩරට ගිවිසුම මගින් කන්ද උඩරට රදළයන් තාන්න මාන්න වෙනුවෙන් රට පාවාදී අඩ සියවසකට ආසන්න කාලයක් ගිය තැනය  🙂 ).

එලෙස ආරම්භ වූ අණ්ඩග්‍රවුන්ඩ් පද්ධතිය වර්තමානයේදී දිනකට මගීන් මිලියන 4.8 ක එනම් සිරි ලංකාවේ ජනගහනයෙන් 1/5 ක පමණ පිරිසක් භාවිත කරන්නේ, එය ලන්ඩන් නුවර ඇතුළත වාහනයක් භාවිත කරනවාට වඩා අඩු පිරිවැයකින් යුතු කාලය ඉතිරි කරනා නැතුවම බැරි සේවාවක් නිසාය.

එමෙන්ම උදෑසන සහ සැන්දෑවේ මගීන්ගෙන් පිරි ඉතිරී යන අතිශය කාර්ය බහුල අණ්ඩග්‍රවුන්ඩ් පද්ධතිය ප්‍රදර්ශනය කරන්නේ බ්‍රිතාන්‍ය ජනතාව පොදු ප්‍රවාහන සේවා කෙරෙහි තබන විශ්වාසයයි. නමුත් වර්තමානයේ ලන්ඩන් අණ්ඩග්‍රවුන්ඩ් පද්ධතියට බලපාන ප්‍රධානම අභියෝගය කාර්යක්ෂමතාව, පිරිවැය හෝ සේවය ලබා ගන්නා සංඛ්‍යාව නොවේ, ඒ සියල්ලටම වඩා වැදගත් කරුණ “ආරක්ෂාවයි”.

2007 වසරේදී 52 කුට මරු කැඳවමින් තවත් 700 ක් දෙනා තුවාල කරමින් “ඕල්ඩ් ගේට්”, “එජ්වෙයා රෝඩ්”, “රසල් ස්ක්වෙයා” (Aldgate, Edgeware Road, Russell Square) යන නැවතුම්හි ත්‍රස්තවාදී බෝම්බ පිපිරීම් සහ දැනට තෙදිනකට පෙර 29 දෙනෙක්ට තුවාල සිදු කළ “පාසන්ස් ග්‍රීන්” (Parsons Green) ත්‍රස්තවාදී බෝම්බය මේ ගැන නැවත නැවතත් තහවුරු කරන්නේය.

ඉතිහාසය පුරාවටම ලන්ඩන් අණ්ඩග්‍රවුන්ඩ් සේවාව සහ අධිවේගී දුම්රිය සේවා කාර්යක්ෂමතාව සහ කඩිනම් සේවාවක් පදනම් කරගෙන දියුණු වුවා මිස ත්‍රස්තවාදී ක්‍රියා වලින් ආරක්ෂා වන ආකාරයට නිර්මිත වූවක් නොවේ. එනිසා අදටත් ඕනෑම වෙලාවකට නැවත ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදුවීමේ ඉඩකඩ ඉතා ඉහළ සේම එවන් ප්‍රහාරයක් මැඩ පැවැත්වීමේ හැකියාවද අවමය.

මීට ප්‍රධානම හේතු වන්නේ එදිනෙදා මෙම සේවය පරිහරණය කරන අති විශාල මගීන් සංඛ්‍යාවත් සමග මගීන් සියල්ල ආරක්ෂක නිළධාරීන් යොදා වෙන් වෙන්ව පරික්ෂා කිරීම ප්‍රායෝගික නොවීම සහ ස්වයංක්‍රීය හෝ අර්ධ ස්වයංක්‍රීය පරික්ෂා කිරීමේ යාන්ත්‍රණයක් (Automated/Semi -Automated Screening Mechanism ) නොමැති වීමත්ය.

එනිසා වර්තමානයේදී කෙටි කාලින විසඳුම් වන්නේ අහඹු සෝදිසි කිරීම්, කැමරා මගින් සැක කටයුතු දෑ නිරීක්ෂණනය සහ මුර සංචාරයන් (Random/Spot Checks, Camera Surveillance, Security Patrol) පමණි, ඒ ඇරෙන්නට මෙයට වඩා සාර්ථක සහ ඵලදායී විසඳුමක් බලාපොරොත්තු විය හැක්කේ ඉදිරි අනාගතයේදීය.

කවදත් මේ හැමදෙයින්ම තැලෙන්නේ සාමාන්‍ය ජනතාවමය, එනිසා ඒ ගැන සතුටු වීමට කිසිසේත් නොහැකි උවත් මෙහි සුභදායක පැත්ත ත්‍රස්තවාදය ගැන ප්‍රමාද වී හෝ මේ සුපිරි බලවතුන්ගේ ඇස් ඇරීමය.

පහත ඇත්තේ“ලන්ඩන් අන්ඩග්‍රවුන්ඩ්” (London Underground Map) දුම්රිය පොළවල් සහ මාර්ගයන් දැක්වෙන සිතියමකි

London Underground Map

පසු ලිපි :

මා සිතනා ආකාරයට ඕනෑම රටක මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් සංවර්ධනය මනින මිනුම් දණ්ඩ විය යුත්තේ මහජනයා සතු පුද්ගලික වාහන සංඛ්‍යාව නොව, ජනයාගෙන් කිනම් ප්‍රතිශතයක් වඩා පිරිමැසුම්දායී සහ පරිසරහිතකාමී පොදු ප්‍රවාහන සේවාවන් භාවිත කරන්නේද යන්නයි.

සිරි ලංකාවටද මෙය පොදු  කාරණාවක් නිසා පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීමට අවශ්‍ය වන්නේ පළාත් යා කරමින් රට පුරා විහිදි කාර්යක්ෂම දුම්රිය සේවාවක් සහ කොළඹ තදාසන්න ප්‍රදේශ ආවරණය වන මෙට්‍රෝ සේවාවකි.

අලි සහ මොණරු ලගින මූකලාන් වල තල, මිරිස් වේලන්නට සෑදූ ක්‍රිකට් ක්‍රීඩාංගන වරාය සහ ගුවන්තොටු පොළ වැනි මහජන මුදල් කාබාසිනියා කරන ව්‍යාපෘති වෙනුවට කෙටි සහ මධ්‍යකාලීන ආයෝජන සඳහා වැඩි ප්‍රතිලාභ ලැබිය හැකි (Short to Mid Term Projects with High Return On Investment) ව්‍යාපෘති සඳහා යොමු විය හැකි නම් අප රටටද අන් බොහෝ රටවල් මෙන් සාර්ථක වීමට බැරි කමක් නැත.

ඒ ඇරෙන්නට දීර්ඝ කාලීන ව්‍යාපෘති අපිට නොගැළපෙන්නේ ඒ කොයිකටත් ආණ්ඩු මාරුවන විට පාණ්ඩුව වැළඳෙන නිසාය 😀

නමුත් මේ හැමදේටම මග පාදා ගැනීමට නම් රට කන සහෝදර සමාගම්, ඔවුන්ගේ වන්දිභට්ටයන් සහ නාස්තිකාර දූ පුත්තු සේම, යහපාලනය යටතේ මහ බැංකුව සුද්ද කෙරූ මාමලා බෑණලාද හිරේ විලංගුවේ දැමීම මුලින්ම සිදු කල යුතු කාරණාවකි.

ඒ සඳහා සොරිසේන ඇතුළු යහපාලන ආණ්ඩුව පෙන්වන FCID මැජික් සංදර්ශන වලින් එහාට ගිය බලය සහිත විධිමත් ස්වාධීන යාන්ත්‍රණයක් ඇති කළ හැකි නම් එය නිසැකවම ටෝයියන්ගේත් බයියන්ගේත් හිත සුව පිණිසම වන්නේය !

~ මතු සම්බන්දයි !

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ III කොටස ~ බ්‍රමී නුවර සහ ලිච්ෆීල්ඩ්

Advertisements