Wife Boss

කණ්ඩා මාස කිහිපයකට පෙර ගැසූ බොග් හාෆ් සෙන්චරියට සමගාමීව කණ්ඩාගේ නොම්මර එකේ බ්ලොග් පාඨකාවියගෙන් අමුතුම ආකාරයේ චෝදනා කිහිපයක් එල්ල විය.

සාමාන්‍යයෙන් මෙවන් දේ පිලිබඳ කණ්ඩා පයිසෙකට ගණන් නොගත්තද, මේ ඇත්තියත් සමග නිතර දෙවේලේ ගනුදෙනු කිරීමට සිදුවන නිසා මේ සම්බන්දයෙන් නොසලකා හැරීම සරීර සවුක්කියටත් බෙහෙවින් අහිතකරය.

චෝදනා ගත් කළද කේස් එක කිරිමේල් තරමට බරපතලය … දන්නා දහන් ගැටයක් ගසා විසඳුමක් නොදුන්නෝතින් කණ්ඩා නඩු නැතිව ගස්ය 😦

හේතුව මේ හැමදේකටම මුල හෙවත් මේ කියනා පාඨකාවිය අන් කවුරුත් නොව කණ්ඩා හාමිනේ වීමයි 😀

අපි ඉතින් අර නිතර දකින කුකුළගේ කරමලේ වගෙ නැතෑ දැන් … !

දැන් ඉස්සර වගේ අපි ගැන හොයල බලන්නේ නෑනෙ, ඔහොම තමයි පහු පහු වෙනකොට කොහු කොහු වෙනව කියන්නෙ කට කහනවටයැ  … !

අනික ලියනවා කියල දවසම වල්බූත ලිව්වත් අපි ගැන මොකුත් ලියන එකකයැ, ලිව්වත් ඉතින් රටේ නැති කෙබරයක්ම තමයි … !

ඉඳහිට අහන දකින බ්ලොග් හාදයෙක්ගෙන් ලැබෙන පැමිණිල්ලක් මෙන් නොව කණ්ඩා සමගම වෙසෙන හාමිනේගෙන් බේරී ඉන්නට බැරිය, හාමිනේගෙන් බේරී ඉන්නවාට වඩා ඉන්ටර්පොල් රතු වරෙන්තුවකින් බේරෙන එක ලෙහෙසිය 🙂

අනික හිටි අඩියේ දැඩි තීරණ ගන්නා හාමිනේ වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වී ස්ට්‍රයික් කළොතින් කණ්ඩා කපෝතිය.

එහෙම උනෝතින් තුන් වේලට කෑම කඩෙන්ය … ඇඳුම් කැඩුම් ටිකට ලොන්ඩරියේ පිහිටය … අනිත් මොනවා කළත් හාමිනේ සමග තරහ මරහ වී කතා බහ නොකර සිටීම ඉවසිය නොහැක්කකි 😦

එබැවින් කණ්ඩා ඔලුව කසමින් කසමින් හතර අතේ කල්පනා කළේ  හාමිනේව සනසන්නට ගත හැකි හදිසි ක්‍රියාමාර්ගයන් මොනවාද යන්නයි ???

හැකි ඉක්මනින් නිසි පියවර නොගත්තෝතින් තත්වය දරුණු අතට හැරෙන්න ඉඩ කඩ ඇත, එනිසා මොකෙන් නමුත් ලිස්සා යන්නට ගැලවිජ්‍ජාව දන්නා කණ්ඩා අන්තිමට තීරණය කළේ හාමිනේව යාප්පුවෙන් ෂේප් කර ගැනීමට ඉහළින්ම ඔසවා තබන්නටය  😉

පාරම්පරිකව කවුරු නමුත් ඔසවා තබන්නට රෙකමදාරු කර ඇත්තේ මුරුංගා අත්තකය. නමුත් කණ්ඩාගේ පදිංචිය ඔටුවන්ගේ රටේ නිසා එයත් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ, ඉතින් එකත් කට්  … කට්  … කට් …

ඉස්සර මුහුණු පොතේ හොර රහසේ සිංදු ඩෙඩිකේට් කරන ඇප් එකකින් හාමිනේට සිංදු යැවීම කණ්ඩාගේ පුරුද්දක් තිබුණ, කරුමයට දැන් එහෙම එකකුත් නැත.

අවසානයේ කණ්ඩා තීරණයකට පැමිණියේය, ඒ නෝනා වෙනුවෙන් කවි පන්තියක් හෝ සින්දුවක් ලියන්නටය, නමුත් එතැනත් කොස්සකි නෝනාව වර්ණනා කරන්නට කණ්ඩාගේ භාෂා දැනුම කොහෙත්ම මදිවාක් මෙන්ම එවන් දෙයින් නෝනා සෑහීමකට පත් කරන්නද බැරිය.

දැන් ඔක්තෝබර් මාසයටත් කිට්ටු කරලාය, හාමිනේගේ උපන්දියත් නොදැනීම කට ළඟය ඉතින් අකමැත්තෙන් නමුත් කණ්ඩාට ඇති එකම විසඳුම නෝනලා ගැන හොඳින් දන්නා කියන අයකු ලියූ කවියක් හෝ ගීතයක් සොයා උස්සන එකය 😦

අන්තිමේදී දන්නා සෙල්ලම් සියල්ල දමමින් ගූගල් දෙයියන්ට කළ වරුවකටත් එහා ගිය කන්නලව්වක ආනිසංස ලෙස අමාරුවෙන් හාමිනේට තක්කෙටම හරි යන ගීතයක් හම්බ උන නිසා කණ්ඩාට ඉබේටම තවත් සිංදුවක් කියවුණේ අධික ප්‍රීතිය නිසාමය.

සොයා සොයා ආවා මම සෙව්ව මැණික හමුවුනා … සොයා සොයා ආවා මම සෙව්ව මැණික හමුවුනා …

නෑ …  නෑ … වරද්ද ගන්න එපා මේක මේ මට කියවෙච්චි “සින්දි” (සිංහල + හින්දි) සිංදුවක් මිස නෝනට දාන්න හිතපු එක නෙමෙයි …  හැබැයි ඉතින් මේක හින්දි කොපියක් උනාට මේකත් හාමිනේට නරකම නැහැ 😉

ඒ හන්ද ඔය පහළ යමිං ගමං මේං මේකත් බලලම යන්ඩලා 😀

අහා හැඩයි රූපේ-බෝනික්කි වාගෙ සෝබනා
අහා හැඩයි රූපේ-බෝනික්කි වාගෙ සෝබනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා … ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා

සඳක් පෙනේ මූනේ රත්තරන් පාට මල් හිනා
සඳක් පෙනේ මූනේ රත්තරන් පාට මල් හිනා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා … ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා

දැක්ක ගමන් හිත වැටුනා … වාසනාවෙ දොර ඇරුනා …
දැක්ක ගමන් හිත වැටුනා වාසනාවෙ දොර ඇරුනා
දැන් මට තේරේ..හා හා තේරේ මේ මගේ වාරේ …..

වැඩි විස්තර කියනවා නම් මේක කිෂෝර් කුමාර් ගායනය කළ “යහා වහා සාරේ” කියන හින්දි ගීතයේ තනුවම තියන විදිහට ඇම්. ඇස්. ප්‍රනාන්දු සමග ඇන්ජලින් ගුණතිලක ගායනය කරපු එකක්.

හැබැයි ඕක බැලුවට නෝනට දාපු හැබෑම සිංදුව තමයි ඔය පල්ලෙහායින් දාල තියෙන්නේ හිටං, ඕං අහල බලන්නකො … කොහොමත් ගෙදරදී වගේම පිටදීත් කණ්ඩා හාමිනේව අමතන්නේ නෝනා කියා නිසා මෙය ඇයටම ගැලපෙන්නේය.

 

*නන නන් නාන්නා ..  ///

නෝනා …
නෝනා … නාන්න නන් නාන්න නෝනා
නෝනා …
නෝනා … නොනා නොනා නේන්න නෝනා

*නන නන් නාන්නා ..  ///

නෑනා නානු නාන්නේ
නනාන නාන නාන
නානා නානු නාන්නේ
නනාන නාන නාන නාන නා

නෑනා නොනා නේන්නේ

නෑනෑ නොනා නේන්නේ // ….

( පොඩි අප්සෙට් එහෙකට තියෙන්නේ මේකෙ නෝනලාට අමතරව නෑනලත් ඉන්න එක,  ඔන්න ඔහේ කමක් නෑ අප්පා … දැන් තියෙන්නෙ යහපාලනේ වගේ පෙරලුන පිට හොඳයි කියල නොතේරුණ ගානට ඉන්න එක )

කොහොමද කණ්ඩගෙ ටිකිරි මොළේ … එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි … දැන් නෝනලවත් ෂේප් … නෑනලවත් ෂේප්  … කාටද ඉතිං ආඩම්බර 😀

බොරු නෙමෙයි … පොඩියක් හිතල බලන්ට නෝනලවයි … නෑනලවයි දෙගොල්ලවම ෂේප් කරනවා කියන එක සුළු පහේ පුතෙකුට කරන්ඩ පුළුවන් වැඩක්යැ ?

( නෝන”ලා” කිව්වට වැරදි වැටහීම් ඇතිකර ගන්ට එපා ඕං ඔය කිව්වට එකයි ඉන්නේ හොඳේ … කොටින්ම ඔටුවගේ රටේ හිටියට කොන තවම නිරුපද්‍රිතයි 😉 අනික ඉන්න එක ආම්බන් කරන්න බැරිව තව එව්ව මක්කටැයි ? )

මට මතක විදිහට, මේ සින්දුව මම මුලින්ම ඇහුවෙ දැනට අවුරුදු විස්සකටත් එහා අපි සාමාන්‍ය පෙළ කරන අවදියෙදි 🙂

මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් තනි අකුරක් යොදාගෙන ලියන්න පුළුවන් ගීතයක් එහෙමත් නැතිනම් තේරුම් ගන්න අපහසු විදිහට කියනවා නම් “ඒකාක්ෂර බන්ධනයක්” ආශ්‍රයෙන් කළ පර්යේෂණයක ප්‍රථිපලයක් ලෙස ලියවෙච්චි පදමාලාවක් ඇසුරෙන් තමයි විශාරද නන්දා මාලනීමේ ගායනා කරන මේ ගීතය එළි බැස්සෙ.

ඒ වගේම මේ කිට්ටු වකවානුවක ඇගේ තවත් සරල ගීතයක් ඒ තරමටම අතිශය ජනප්‍රිය වුණා, ඒ තමයි “යනවා නම් අනේ මං අරන්”.

යනවා නම් අනේ මං අරන් … යන තැනකට යන්න රත්තරං //
හිඟා කකා කොළපතක් අරං ලුණුයි බතුයි කමුකො රත්තරං //

සීතහිමේ කඳු පාමුල හින්දි සිංදුවක් කිය කිය, හිඟාන ආ ලුණුයි බතුයි කමුකො රත්තරං
ඊට පස්සේ දුන්හිඳ ළඟ නටමු රත්තරං

සතය සතය එකතු කරලා රහසේ කැටයකට දමල, නුවර එළියේ ටජ් මහලක් හදමු රත්තරං 
සාරි ඉරල ජනෙල් වලට දමමු රත්තරං

**යාළු වෙච්චි දවස් වල නම් අපේ හාමිනෙත් කිව්වෙ ඔහොමම තමයි, බැන්දට පස්සෙ නම් අනේ මංද  … 😦

විශ්වාස නොකෙරුවට මේකත් මහාචාර්ය සුනිල් ආරියරත්නම තමයි ලියල තියෙන්නෙ ඒ වගේම තනුව රෝහණ වීරසිංහයන්ගෙ කිව්වට මේකත් හින්දි සින්දු කිහිපයක තනුවල කොටස් අරන් තමයි හදල තියෙන්නෙ 🙂

ඒ දවස් වල ගොඩක් ජනප්‍රිය වෙච්චි “සාජන්” චිත්‍රපටයේ “දේකාහේ පෙහෙලි බාර්” සහ “ලාඩ්ලා” චිත්‍රපටයේ “තේරි උඟලි පකර්කේ චලා” කියන සිංදු ඇහුවොත් මේ බව හොඳින්ම තේරෙනවා.

මේ කියන්නේ බස් අජිත් සහ මල් කිංස්ලිට කලින් සන්දිය ගැන උනත් සිංදුව කොයිතරම් ජනප්‍රියද කිව්වොතින් වැරදිලාවත් රේඩියෝ එක දැම්මොතින් මුලින්මයි අන්තිමටයි යන්නෙ ඕක.

දවස ගානෙ ප්‍රයිවෙට් බස් එහෙක එහෙමත් නැතිනම් රෝද තුනකට ගමනක් යන්න නැග්ගොතින් අපිට කවමදාවත් මේ සිංදුව අහන්නෙ නැතිව ගෙදර එන්න දෙන්නෙ නැහැ රියපලු මහත්තුරු 😀

ඒ මදිවට JVP කලබල සමයේ විප්ලවවාදී ගීත නිසා රූපවාහිනියෙන් සහ ගුවන් විදුලියෙන් නොසෑහෙන කාලයක් දොට්ට දාල හිටිය නන්දා මාලනී ආයෙත් එළි පහළියට ගත්තු කාලේ හන්ද TV එකෙත් මේක යන්න ගත්ත කියපන්කො 🙂

කොහොමින් කොහොම හරි අද දවසේ ටොයියෝ – බයියෝ කියන කවදාවත් එකතු නොවෙන දේසපාලන දෙකොන වගෙම, මේකත් දෙපැත්තට බෙදිලා වාද විවාද කරන්න වටිනා ලංකාවේ තියන ලොකුම දැවෙන ප්‍රශ්න වලින් එකක බවට පත් උනා :

නන්දා මාලනී වගේ ප්‍රබුද්ධ ගායිකාවකට ගැලපෙනවද මේ වගේ දෙකයි පනහෙ සින්දු කියන්න ?

අම්මපා නන්දා මාලනීත් බේබි ශානිකා වෙන්න හදනවද ?

සුනිල් ආරියරත්න කොහොමට හිටිය මනුස්සයෙක්ද ?

මොකෝ දන් නෑ නන්දක්කට JVP  සිංදු කියල ඇති වෙලාද ?

රෝහණයි නන්දා මාලනී කිව්වම හොඳයි, වෙන කවුරු හරි ඕකම කිව්ව් නම් බලාගන්න තිබ්බ !

ඕං ඔහොමයි ඒ සිංදුවෙත් හැටි, අනික ආයිබොවන්ඩ ඔහෙලට කිව්වම මොකෝ ලියන්න කිසිම දෙයක් නැති උනාම, කම්මැලි කමට මොකවත්ම නොලියා පොස්ට් දාන්නේ මේං මෙහෙමයි !

මේ අදහස මට දුන්නු තඩියා මහතාවත් මේ අවස්ථාවේදී ආදරයෙන් මතක් කරන්න කැමතියි 😉 හූ .. හූ .. මම එකට තුනක්ම දැම්ම ඕං 😀


පලි :

මේ ලිපිය පබ්ලිස් කරාට පස්සෙ මාව ඇඩ්මිට් කරා නොවැ ඩුබායි හොස්පිටල් එකේ හතරෙ වාට්ටුවට, බාත්රූම් එකේ ලිස්සල වැටුණ අප්පා  😦 බොරු නෙමේ … අල්ලප ඇත්ත !!!

ළඟ පාතකදි කවුරු හරි මාව බැහැ දකින්ඩ එනව නම් හෝර්ලික්ස් වෙනුවට උණු වතුර බෝතලේක දාපු බියර් ඩිංගක් කාරිය ඇන්න ආවට කාරි නෑ  😉

~ කණ්ඩා !