Martin Cooper with Cellular Phones

ජංගම මාටිං සහ අපේ ගඩොල් බාගෙ !

ඔන්න ඉතින් පැය ගාණක් ගිහිල්ලත් අපේ ජංගමය චාජ් වෙලා ඉවර උණේ නැහැ නෙව, ඉතින් එහෙමයි කියල රෑ දෙගොඩ හරි ජාමයක් වෙනකම් ඇහැරිලා ඉන්නැයි ? ඕකට ඇහැ ගහගෙන ඉඳල හෙම්බත් වෙච්චි අපි නිදා ගත්ත.

හැබැයි ගඩොල් බාගේ නිදි නෑ, අර වීදුරු පටිය කොනේ තියන බල්බ් එක නිවෙනවයි පත්තු වෙනවයි හරියට කවුරු හරි එක ඇහැක් ඇර ඇර වහනවා වගේ. මේක එකැස් කන ෆෝන් එකක් 🙂

තාත්ත නම් කිව්වෙ ෆෝන් එක චාජ් වෙලා අහවර වෙනකොට ඔය නිවෙන පත්තු වෙන එක නවතිනවලු, ඒ කියපු දේ හරියටම තේරුණේ නැතත් තාත්ත කිව්වා නම් ඉතින් එහෙම තමයි.

කොහොමින් කොහොම හරි පහුවෙනිදට එළි වූණා කියමුකෝ, උදේ පාන්දර අම්ම කකුලෙන් ඇදල කූද්දල ගියත් වෙරි බැහැපු නැති බේබද්දා වගේ ඇඳේ පෙරළි පෙරළි ඉන්නකොට තමයි එක පාරටම ඉස්සරින්ද රෑ වෙච්චි කතන්දරේ ආයෙත් එක පාරටම කණ්ඩගේ ඔළුවට ආවෙ.

හම්මේ … දැන් ඉතින් නිදිමත කොහෙන් ගියාද නෑ … වැඩේ හරි ගිහින්ද කියල බලනකන් ඉස්පාසුවකුත් නෑ  😀

වෙනදා උදේ පාන්දර නැගිටපු ගමන්ම බර හෑල්ලු කරගන්න නිදිමතේම වැනි වැනී වැසිකිළියට දුවන කණ්ඩා එදා බාගෙට බැහැපු කලිසන් කොටයත් උස්සගෙන පිටි අල්ලෙන් කබ කඩ කඩ කෙළින්ම දිව්වෙ ෆෝන් එක චාජ් වෙන්න ගහල තිබ්බ තැනට.

හුටා … චාජ් කරන තොටිල්ලේ ෆෝන් එකත් නෑ  …. කණ්ඩට සිහියත්  නෑ !

ෆෝන් එක කෝ  ??? හොරු අරන් ගිහිල්ලද ??? මේ වගේ ප්‍රශ්න කෝටියක් විදුලි කොටන්නා වගේ ඔළුවට ආවත් යාන්තං සිහි එළව ගත්තු ගමන්

අම්මේ … අම්මේ … ෆෝන් එක නෑ  …!  කියල අහල පහළ ගං හතක එවුන් ඇහැරෙන්න සයිස් එකේ කෝච්චි සයිරන් එකක් තියාගෙන දිව්ව කුස්සියට !

මොකද ළමයෝ උදේ පාන්දරම යටිගිරියෙන් මර ලතෝනි දෙන්නේ ?

එළවළු කප කපා හිටියෙ, මම බය වෙච්චි තරමක් තව පොඩ්ඩෙන් මේ පිහියට අතත් කැපෙනවා … !!!

අම්ම තවම උදේ උයන ගමන්, අම්මට යකා නැගපු පාර වෙලා තියන ඇබැද්දියවත් අහන්නෙ නැතිව මගේ සයිරන් එකට වඩා ලොකු දොස් මුරයක් පත්තු කළා.

අම්මගේ අතේ පිහිය තිබ්බට ඒකෙන් ගහන්න බැහැනේ, ළඟ පාත පොල් කටු හැන්දත් පේන්න නැති හින්ද වැඩියම බයවෙන්න කාරි නෑ

ආ … අම්ම උයනවද ? අම්මේ ෆෝන් එක නෑ !!!

ඇයි වදේ  ඇස් පේන්නේ නැද්ද උයනවා කියල ???

දුවනව … ගිහින් තාත්තාගෙන් අහ ගන්නවා තියන දෙයක් මට කරදර කරන්නේ නැතුව !!!

සාමාන්‍යයෙන් අම්ම මේ වගේ මූඩ් එකක ඉන්නකොට අම්මයි කණ්ඩයි අතර තියන දුර නියතයක් විදිහට තියා ගැනීම ශරීර සෞක්කියට බොහොම හිතකරයි කියල කණ්ඩ අත්දැකීමෙන්ම දන්නව.

ඒනිසා කකුල් දෙකට ක්ෂණික ත්වරණයක් ලබා ගන්න විධාන දුන්නු නිසා කණ්ඩ කුස්සියට ගියාට වැඩි වේගෙකින් එළියට විසික් වුණා කිව්වොත් තමයි හරි 😀

එහෙමයි කියල ෆෝන් එක අමතක කරල නිකන් ඉන්න පුළුවනියැ ?

තාත්තේ … තාත්තේ …  ආපහු තාත්තව හොයාගෙන ඉස්තෝප්පුවට පැත්තට දුවනකොට තාත්ත ඉස්තෝප්පුවේ පඩිය උඩ වාඩි වෙලා ෆෝන් එකයි මොබිටෙල් කොම්පැනියෙන් දුන්නු කොළ වගේකුයි අතේ තියාගෙන බර කල්පනාවක.

Kanda the Menace

තාත්තෙ … ෆෝන් එක චාජ් වෙලා ඉවරද ? හූම් !

මේක ඔය වගේ හැමදාම චාජ් කරන්න ඕනෙද ? හූම් !

දැන් ඕකෙන් කතා කරන්න පුළුවන්ද ?  හූම් !

තාත්තෙ … ඉතින් ගමුකො කෝල් එකක්පොඩ්ඩක් ඉවසන්න ළමයෝ !

මට තියන හදිස්සිය තාත්තට තේරෙන්නේ නැති හැටි බලන්නකෝ  😦

හරි දැන් කාටද කතා කරන්න ඕන ? තාත්තෙ අපි *** පුංචම්මලගෙ ගෙදර එකට එකක් ගමු !

ඒ වෙනකොට දුසිම් බාගයක් විතර වෙච්චි පුංචි අම්මල සේනාවෙ දෙන්නෙක්ගෙම ගෙවල් වල ෆෝන් තිබුණ, ඒත් අපේ තාත්ත සෑහෙන කාලයක් තිස්සේ ෆෝන් එකක් අරගන්න වැඩේ පස්සට දාල තිබ්බේ ගෙවන අස්ප ගානට ගැලපෙන වටිනාකමක් ලැබෙන තුරු කියලයි මට හිතෙන්නෙ.

තාත්ත තමන්ගේම කියල සුළු ව්‍යාපාරයක් පටන් ගත්තහම දුරකථනයක අවශ්‍යතාව තදින් දැනුණ නිසා වගේම ටෙලිකොමා අපිත් එක්ක තිබු ඔරොප්පුව අමතක කරලා නොතිබීම නිසා වෙනත් විකල්පයක් විදිහට ජංගමයෙක්ගෙන් අපේ අවශ්‍යතාවය සපුරා ගන්න සිද්ධ උනා.

මට මතක විදිහට ඒ වෙනකොටත් අපේ පුංචම්මලගෙ ගෙවල් වල තිබුණෙ සෙල්ටෙල් … හරි … හරි … මට වැරදුණේ නැහැ එව්වා සෙල්ටෙල්ම තමයි 😀

ඒත් අපේ තාත්ත කිව්වා ඒකට සෙල්ටෙල් කියන එකත් අපේ එකට මොබිටෙල් කියන එකත් දෙකම වැරදියි කියල, කණ්ඩලෑ තාත්ත මේ වගේ දේවල් සම්බන්ධයෙන් බොහොම තදයි.

ඒ වෙන මොකවත් නිසා නෙමෙයි තාත්තට කවදාවත් ඕන උනේ නැහැ එයා කරපු වැරදි අපි කරනවටවත් එයා පටන් ගත්තු තැනින් අපි පටන් ගන්නවටවත්, ඈත ගමක ඉගෙනගෙන අමාරුවෙන් කොළඹ ඇවිල්ල තනියම නයිට් ක්ලාස් ගිහින් ඉංග්‍රීසි ඉගෙන ගත්තු අපේ තාත්තට ඕන උනේ අපිව එයාට වඩා ඉස්සරහට යවන්න 🙂

ඉතිං තාත්ත කියපු විදිහට අපේ ජංගමයා ඇතුළු අනිත් ජංගමයන්ව හඳුන්වන් හරි නම තමයි “සෙල් ෆෝන්”, මේක “සෙලියුලර් නෙට්වර්ක් ෆෝන්” (Cellular Network Phone) එකෙන් කඩලා ගත්තු එකක් නිසා අපේ ගෙදර ජංගමයාව රෙජිස්ටර් වුණේ “සෙල් ෆෝන්” කියල.

එත් ඉතින් ඔය කිව්වට තාත්ත ළඟ පාත නැති වෙලාවට මේක සෙල්ටෙල් වෙනවා ඉඳ හිටල 😀

ඉතින් ආපහු ට්‍රැක් පැන්න, කොහොම නමුත් අපේ ගෙදරින් ගත්තු කුළුඳුල් කෝල් එක ගියේ පුංචම්මලගෙ ගෙදර සෙල්ටෙල් එකට, කතා බහ කරේ මොකද්ද කියල නම් හරියට මතකයක් නැහැ, ගොඩක් වෙලාවට පවුලේ සෙටමෝල් එකක් ගැන වෙන්න ඕන.

ඒ දවස් වල මාසෙකට දෙහෙකට සැරයක් අම්මලාගෙ පවුලේ චතුරංගනී සේනාවම කොට්ටාවෙ පුංචම්මගේ ගෙදර හරි බ්‍රහ්මණගම අම්මලගෙ මහගෙදර හරි රැස් වෙන එක චාරිත්‍රයක්.

විශේෂයෙන් අම්මලාගෙ පවුලෙ මාමල, බාප්පල නඩය කොහොමත් කන බොන අය, පුළුවන් විදිහට කාල බීල සතුටෙන් ඉන්න එක වැරද්දක් නෙමෙයිනෙ 🙂

ඉතින් ඔය කියන හතර කන් මන්ත්‍රණය දුර බනුව අපේ කනෙන් කන මාරුවෙන් මාරුවට ගිහින් සමූහ කන් මන්ත්‍රණයක් බවට පත් උනා කියල නම් මතකයි 😀

ඉඳල හිටලා ඔය විදිහට ෆෝන් එකේ එල්ලිලා හිටියට අද කාලේ වගේ පැය ගණන් ෆෝන් එකේ එල්ලීගෙන ඉන්න සිරිතක් ඉස්සර නැහැ, ඕනෑම කෙනෙක් හෙලෝ හායි කිව්ව අත්‍යවශ්‍ය පණිවිඩය පුළුවන් තරම් කෙටියෙන් දුන්න ඊට පස්සෙ ටටා … බායි .. !

මේකට ප්‍රධානම හේතුව එහෙම නොකළොත් ඒක සාක්කුවට දැවෙන විදිහට වදදෙන ප්‍රශ්නයක් වෙන එක, අත්‍යවශ්‍ය දෙයක් නොවුණු ජංගමයට නිකන් නිස්කාරණයේ පූජා කරන්න දෙයියන්ගෙ මල්ලි හැම දෙනා ගාවම නැහැනෙ.

අද අපි විනාඩියක දුරකථන ඇමතුමකට වැය කරන මුදල වගේ දහ පහළොස් ගුණයක් එදා අනිවාර්යෙන්ම ගෙවන්න උනා, කොටින්ම අපිට එන කෝල් එහෙමත් නැතිනම් ඉන් කමින් කෝල් වලට පවා ගෙවන්න ඕන. අද වගේ ඉන් කමින් කෝල් නොමිලයේ හම්බ උනේ නැහැ කාටවත්.

කණ්ඩගේ මතකය වැරදි නැති නම් ගන්න කෝල් එකකට රු. 22 කට කිට්ටු සහ එන කෝල් එකකට එයිට ඩිංගක් අඩු අස්ප ගණන් ගාස්තු තමයි ඒ දවස් වල තිබුණෙ (මේ ගණන් මිමි ආසන්න ඒව, සම්පුර්ණයෙන් නිවැරදි නෙවෙන්න පුළුවන්).

මේ මුල් දවස් වල මුදල් ප්‍රශ්න පැත්තකින් තිබ්බත් නගරබද උදවිය ඇරෙන්න වැඩි දෙනෙක් මේ ගැන දැනුවත් නැති වීම නිසා කොල්ලටයි බල්ලටයි හැම එකාටමයි ෆෝන් තිබුණු කාලයක් නෙමෙයි.

එහෙම තිබ්බ නම් අහගන්න තිබ්බ ජෝන් ගෙන් අර කාර් වලට වගේ, බොහෝ දෙනෙක් ජංගමයෝ පාවිච්චි කළේ තමන්ගේ පුද්ගලික දේ වලට වඩා ව්‍යාපාරික කටයුතු වලට.

දැන් ෆෝන් එකක ගත්ත වගේ නෙමෙයි මේක නමට ජංගම උනාට යන යන තැන ඇන්ට යන්න ආම්බාන් කරන්න නොසෑහෙන මහන්සියක් ගන්න ඕන. අපේ තාත්ත සෑහෙන පර්යේෂණකරා  මේ ගැන ඒ දවස් වල.

මුලින්ම ඕක අර කොක්ක තියන කවරයකට දාල කලිසමේ බෙල්ට් එකේ එල්ල ගන්න බැලුව ම්හ් … වැඩේ හරි යන්නෙ නැහැ ගඩොලක් විතර සයිස් මේක පැත්තකින් එල්ලගෙන වැඩි වෙලා යන්නේ නැහැ කලිසම බහිනවා ගඩොල් බාගෙත් එක්කම, මෙහෙම ගියොත් කලිසම බිම … විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා 😀

එහෙමයි කියල අපේ තාත්ත ඕනෑම දෙකින් එහෙමෙ ලේසියෙන් පසු බාල අත ඇරලා යන ජාතියෙ කෙනෙක් නෙමෙයි. බැලුව කලිසමේ පටිය උපරිමේටම තද කරල, එතකොට කලිසම බහින්නෙ නැහැ හැබැයි හුස්ම ගන්න බෑ අනික මෙහෙම එල්ලගෙන ඉන්න ගියොත් ඒ පැත්තේ දුනු බහිනවා ෂුවර්.

ඔය මොන ජල්තරේ කරත් තාත්තට හදිස්සියට අමතක උනහම මේ ජංගමයව සාක්කුවෙත් දාගන්නව. දැන් අහන්න එපා ඔය ගඩොල් බාගෙ සාක්කුවෙ ඔබා ගන්නේ කොහොමද කියල !

එක්කො කමක් නෑ ඒ ටිකත් කියලම දාන්නම්කො, ඔක්කොම කියල ඒ ටික විතරක් නොකිව්වොත් හරි මදිකමක්  🙂

තාත්තලාගේ තරුණ කාලෙ ඉන හරිය කිටි කිටියේ හිර වෙන්න මහල ඒකෙ හිලව්වට පල්ලෙහා හරිය “යං කලිසං මං එන්නම්” තාලෙට තිබිච්චි කලිසම් (බෙල් බොටම්) ඇඳපු උදවිය, ඇයි එතකොට අර බූසිය වගේ කොණ්ඩ (ඇෆ්රෝ), චේ ගුවේරා වගේ රැවුල්, මුනෙන් බාගයක් වැහෙන කණ්ණාඩි … ඔය වගේ විච්චූරණ ගොඩයි  😀

ඒත් මේ කියන දවස් වෙනකොට දරුමල්ලෝ ලැබිලා ඇඳුම් පැළඳුම් එහෙමත් කාලේ තාලෙට තැන්පත් වෙලා පරණ ඇරියස් අල්ලන්න ෆ්ලීට් තුනක් විතර තියන ඩිංගක් ටිකක් විතර බාච්චු කලිසම් අඳින දවස්. ඔය නිසා අමාරුවෙන් මේ ගඩොල් බාගේ සාක්කුවට ඔබා ගන්න බැරි කමක් නැහැ.

Torn Pant Pocketනමුත් වැඩේ තියෙන්නෙ වැඩේ සීරුවට නොකළොත් එක්කො සාක්කුව ඉරෙනව එහෙමත් නැති නම් සාක්කු කටේ මැහුම් ගැලවෙනවා, එදාට ඉතින් කලිසම මහගන්න උදව් ඉල්ලනකොට තාත්තට සිද්ධ වෙනවා අම්මගෙ නෝක්කාඩු වගේම ෆෝන් එක ගැන කියන විහිළු කතන්දරත් අකමැත්තෙන් උනත් අහගෙන ඉන්න 😀

ඒ දවස් වල මම අනන්තවත් දැකල තියනවා මෝටර් සයිකල් වල යන එන උදවිය ඔය ගඩොල් බාග ඉටි කවරෙක දාල පිටිපස්සේ සීට් එකට හරි ඉස්සරහ පෙට්‍රල් ටැංකියට තියල හරි රබර් බෑන්ඩ් වලින් බැඳගෙන යනව,  මොකෝ කැඩෙන බිඳෙන දෙයක් කියලද ? කිසිම අවුලක් නෑ 🙂

නමුත් කණ්ඩලෑ තාත්ත නම් එහෙම කරේ නැහැ, ගොඩක් වෙලාවට මෝටර් සයිකලේ යනකොට මෝටර් සයිකල් ජැකට් එක ඇතුල් පැත්තේ තිබුණු සාක්කුවක තමයි දාගෙන ගියේ, ඒ වැඩි පරිස්සමට වගේම අතරමගදි කෝල් එකක ආවොත් ලෙහෙසි නිසා.

90 දශකයෙන් පස්සේ ඉපදුන අය ඉන්නවා නම් කණ්ඩා මේ කියන කතන්දර නිකං කළු සුදු පින්තූර එක්ක තියන කෝපි කාලේ චිත්‍රපටියක් විදිහට දැනෙන්න ඉඩක වැඩියි,  මේ සමය ගැන කතා කරනකොට නොමිලේ ඉන්කමින් අමතක කරා වගේම SMS, MMS, නිල්පාට දත්, ෆේස්බුක්, ස්කයිප්, වට්ස් ඇප් එහෙමත් අමතක කරන්න ඕන.

මේ දවස් වල මේ හඳුන්වා දීපු සෙල්ටෙල් සහ මොබිටෙල් ජංගම දුරකථන හැම එකක්ම ඇනලොග් තාක්ෂණය යටතේ සන්නිවේදනය කරපු පළමුවෙනි පරම්පරාවේ ජංගම දුරකථන (1G).

ඔන්න දැම්ම මේ ජාතියේ ෆෝන් එකක් වැඩ කරනවා දැකල නැති නම් බලා ගන්න.

සිරි ලංකාවෙ ජංගම දුරකථන වලට එකෙයි බින්දුවෙයි විප්ලවය හෙවත් ඩිගිටල් තාක්ෂනය එකතු වෙන්න “අනාගතය අදයි !” (The Future Today !) කියාපු ඩයලොග් කොම්පැනිය GSM තාක්ෂණය හඳුන්වල දෙනකම්ම බලාගෙන ඉන්න උනා.

මේ ජංගම දුරකථන වල දෙවෙනි පරම්පරාව (2G) උනාට ඩිගිටල් තාක්ෂණය සහිත ජංගම දුරකතනයන්හි පළමුවෙනි පරම්පරාව.

සිරි ලංකාවේ ප්‍රථම ඩිගිටල් ජංගම දුරකථන ජාලය වගේම පහු කාලෙකදි පළමු වරට තමන්ගේ ජාලය තුළ ඉන්කමින් නොමිලයේ ලබා දුන්නෙත් ඩයලොග් කොම්පැනියෙන්ම තමයි.

දවස ගානෙ ඉදිරියට දුවන ලෝකයත් එක්ක ඩිගිටල් තාක්ෂණයට මාරු වෙන්න බැරි වෙච්චි එක තමයි සෙල්ටෙල් කොම්පැනියට හෙනහුරා ලබල ඇප නැති වෙන්න ප්‍රධානම හේතුවක් උනේ.

ඒ වගේම මේ කතන්දරේ අනිත් පැත්ත ඩයලොග් කොම්පැනිය අද වෙනකොට සිරි ලංකාවෙ මොබයිල් ග්‍රාහකයන්ගෙන් 50% ක් පමණ ප්‍රතිශතයක් අයිති කරගෙන ඉන්න එකට හේතුව.

මෙච්චර වෙලා ගඩොල් බාගෙ ගඩොල් … බාගෙ … කිව්වට ලංකාවෙ ජංගම හලෝ වල පුරෝගාමියා වෙච්චි මේ ජංගම දුරකථනය ගැන යමක් නොකිව්වොත් ඒක මදිකමක් විතරක් නෙමෙයි අකෘතඥකමක්.

අපේ මේ රාත්තල් දෙකකට කිට්ටුව බර ජංගමයා මෝටරෝලා සමාගම නිෂ්පාදනය කරපු ඩයිනටැක් (Motorola DynaTAC) වර්ගයේ එකක්. මේ සාමාන්‍ය ජහමනයා වෙනුවෙන් හඳුන්වා දීපු ලෝකෙ පළමුවෙනි ජංගම දුරකථනය.

මේ නව නිපයුම වානිජමය වශයෙන් අතිශය සාර්ථකව උන නිසා මෝටරෝලා කොම්පැනියට වාර්ෂිකව ඩොලර් බිලියන විස්සකට කිට්ටුව සල්ලි මවන උල්පතක් බවට පත් වුණා.

Motorola-DynaTAC-8000X-Advertising

ඒ සාර්ථකත්වය මත උදම් අනමින් මෝටරෝලා කොම්පැනිය නිකං හිටියේ නැහැ ටැක් එක හලන්නේ නැතිව පසුව හඳුන්වා දීපු ස්ටාර්ටැක් (StarTAC) සහ මයික්‍රෝටැක් (MicroTAC) කියන මාදිලි දෙකත් බොහොම සාර්ථක උනා.

ජංගම දුරකතනයේ නිර්මාතෘ විදිහට සැලකෙන මාර්ටින් කූපර් මෝටරෝලා සමාගමේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවරයෙක් වගේම ජංගම දුරකථනය නිපදවපු කණ්ඩායමේ ප්‍රධානියා. (කණ්ඩාගේ බෙහෙවින් හිත ගත්තු අනිත් කූපර් වන මිනි කූපර් රථයේ නිර්මාතෘ ජෝන් කූපර්ට මෙයාගේ සම්බන්ධයක් නැහැ 🙂 )

ඔය උඩින්ම දාල තියන පින්තූරෙ ඉස්සරහින් ගඩොල් බාග වගයක් තියාගෙන ඉන්නෙ ජංගම දුරකතනයේ පියා විදිහට සැලකෙන මාටින් කූපර් තමයි.

ඕනෑම භාණ්ඩයක් නිපදවනකොට ඒ පිටිපස්සේ කණ්ඩායමක් ඉන්නවා නමුත් ඒ කණ්ඩායම පොදු අරමුන වෙත මගපෙන්වන පෙරදැක්මක් ඇති පුද්ගලයාගේ තමයි නම යන්නෙ නිර්මාතෘ විදිහට (කොහෙත් එහෙමයි කට්ටියකගේ නම යනවා අනිත් අයගේ හම යනව).

මම කියන්නෙ බොරු නම් දැන් කාගෙන් හරි අහල බලන්න විදුලි බුබුළු එහෙමත් නැතිනම් අයි-ෆෝන් (iPhone) එක හැදුවෙ කවුද ?  කියල, ගත්තු කටටම කියයි තෝමස් අල්වා එඩිසන් සහ ස්ටීව් ජොබ්ස්  (Thomas Alva Edison & Steve Jobs ) උන්නැහේලනේ කියල 😀

හරියටම කියනවා නම් මේ කණ්ඩායමට මාටින් කූපර්ට අමතරව රිචඩ් ඩ්‍රොන්සර්ත්, ඇල්බර්ට් ලීච්, චාල්ස් ලින්ක්, ජේම්ස් මිකුල්ස්කි, ජෝන් මිචෙල්, රෝයි රිචඩ්සන් සහ ජෝන් සැන්ග්ස්ටර් යන ප්‍රධාන ඉංජිනේරුවරු ඇතුළත් වුණා. ( Richard W. Dronsurth, Albert J. Leitich, Charles N. Lynk, James J. Mikulski, John F. Mitchell, Roy A. Richardson and John H. Sangster).

කවුරු කාට තෑගි සම්මාන දීගත්තත් අන්තිමේදී මාටින්ගෙ ගඩොල් බාගෙ සන්නිවේදනය විතරක් නෙමෙයි මුළු ලෝකයම උඩු යටිකුරු වෙන තරමට වෙනස් කරා කියල කිව්වොත් ඒක කොහෙත්ම අතිශෝක්තියක් නෙමෙයි !

බල්ලෙක් මෙහෙයවන සිංහයෝ රංචුවකට වඩා සිංහයෙක් මෙහෙයවන බල්ලෝ රංචුවක් වඩා බලවත් කියනවනෙ, ඒ බව අත්දැකීමෙන් දන්නා නිසා මම කණ්ඩායමේ ප්‍රධානියාට වැඩි වටිනාකමක් දෙන එකට සම්පුර්ණයෙන්ම විරුද්ධ නැහැ නමුත් පොඩ්ඩක් උලුප්පල පෙන්නුවේ රටේ ලෝකෙ වැඩ සිද්ධ වෙන විදිහ විතරයි 🙂

ඕනෑම තැනක ප්‍රධානියා කෙලින් නම් වැඩත් එහෙමයි, නැති නම් එත් එහෙමයි. මේ තියරිය පොඩ්ඩක් සිරි ලංකාවට අදාළ කරලා ලිපිය ටිකක් දේශපාලනීකරණය කළොත්, මිහිඳු රජතුමා, වෙල්විදානේ මහත්තය, හුටංතුමා වගේම යැංකි ඩීකිගේ බෑන පොඩ්ඩා වෙච්චි රනිල් ලොක්කටත් අදාලයි.

ඔය … ඔය … මොබයිල් ගැන කතා කර කර ඉඳල ඒ පාර මගුල් දේශපාලනයක් ඇදල ගත්ත, එමුද ආපහු මෝබයිල් වලට ?

ආ  … මොබයිල් … එක්කො අද බෑ ඉතිරි ටික එන සතියට 😀

~ මතු සම්බන්ධයි !

ජංගම සමයන් ~ 1 කොටස ~ ජංගමයා !

ජංගම සමයන් ~ 3 කොටස ~ ගඩොල් බාගෙන් සාක්කුවට … !

Advertisements