ගඩොල් බාගෙන් සාක්කුවට !
කණ්ඩලගෙ ගෙදරටත් ජංගමයෙක් වැඩපු හින්ද ඒකෙන් දුසිම් ගානක පුංචම්මල, බාප්පල, නැන්දලා, මාමලා එක්ක පණිවිඩ හුවමාරු කටයුතු වලට වගේම තාත්තා ආරම්භ කරපු වායුසමීකරණ අලුත්වැඩියා ව්‍යාපාරයටත් ලොකු අත්වැලක් ලැබුණ.
තාත්තගෙ පාරිභෝගිකයන්ව අමතන්න, දැන්වීම් සහ බිස්නස් කාඩ් වලට දාන්න වගේම ගෙදර උදවිය එක්ක කතා බහ කරන්න, ඕපාදූප වලට කෝකටත් තෛලය වගේ අපිට තිබුණේ ඔය කියන වන් ඇන්ඩ් ඔන්ලි ගඩොල් බාගෙ තමයි.
පහු ගිය ලිපියෙදි සිංහල බොග්ලන්තෙ කෝ. ක. ස. ගරු සභාපති තැන්පත් Praසන් දෙමළ නයන්න මහතා විශේෂයෙන් මතක් කරපු නිසා ඒ දවස් වල මෝබයිල් බිල් ගැනත් විස්තර ටිකක් කියන්න ඕන.
මොන දේ වෙනස් උනත් සෑහෙන කාලයක් යනකං වැඩි වෙනසක් නොවුනු එකම දේ තමයි මාසෙ අන්තිමට අයිතිකාරයො පස්සෙන් පන්නන හෙණ ගහන සයිස් බිල.
ඒ දවස් වල කවුරුවත් බිල එනකං බලන් ඉන්නෙ කැමැත්තෙන් නම් නෙමෙයි, පපුවෙ අමාරු කාරයො එහෙම ඉන්නවා නම් ඉතින් කිට්ටුව පාත සිද්ධාර්ථ තෙල් කුප්පියක් ලඟින් තියාගෙන තමයි මේක දිග අරින්න ඕන.
විනාඩිය ගානෙ ඇන ඇන කපන ගානට අමතරව මාස් පතා දුක හිතෙන තරමේ මාසික දායකත්ව ගාස්තුවකුත් (Monthly Subscription Fee) අනිවාර්යයෙන්ම ගෙවන්න ඕන. අදටත් මේ ගාස්තු තිබුණත් එම්තරම් අස්ප ගානක් ගෙවන්න වෙන්නේ නැහැ.
ඒ විදිහට ගෙවන මුදල ව්‍යාපාරයකින් වගේ විදියකින් නැවත උපයන්න බැරි නම් ඉතින් මේකත් හරියට මකර කටකට සල්ලි වීසි කරනවා වගේ තමයි.
මම වැරදිද කියල නම් දන්නෙ නැහැ නමුත් මතක විදිහට මුල් දවස් වල පෙර ගෙවුම් සබඳතා හෙවත් “ප්‍රී-පේඩ් පැකේජ්” (Prepaid Packages) එහෙම තිබුනේ නැහැ, ඔක්කොම “පොස්ට්-පේඩ් පැකේජ්” (Postpaid Packages) හෙවත් පසු ගෙවුම් සබඳතා.
අද නම් ඉතින් බිල ගැන විස්තර දැන ගන්න අන්තර්ජාලය ඔස්සේ (Online Portals), SMS හෙවත් කෙටි පණිවිඩ මෙන්ම ස්වයංක්‍රීය දුරකථන ඇමතුම් (Automated Phone Calls) ආදී නොයෙක් ක්‍රම තියනවා නොවැ.
නමුත් ඒ දවස් වල අන්තර්ජාල පහසුකම් නොතිබීම මෙන්ම අනෙක් ක්‍රම එතරම් ප්‍රචලිත නැති නිසා මාසෙ අන්තිමට පියුං මහත්තය බිල ඇන්න එනකං තත්වය කොයිතරම් දරුණුද කියන එක දැන ගන්න ඉන්න වෙනව.
නොහිතපු විදිහ සැර බිලක් එහෙම ඇවිල්ල කවුරු හරි මළොත් එහෙම මරණ දැන්වීම් වල ලියන්න වෙන්නෙ තැපෑලෙන් ආපු ජංගම හෘදයාබාධයක් කියල තමයි 😀
ජංගමයෝ සාමාන්‍ය මිනිස්සුන්ගෙ අතට ඇවිල්ලත් සෑහෙන කාලයක් යනකං ලංකාවෙ පළාත් වල හැම ගමක්ම ආවරණය වෙන විදිහට දුරකථන කුළුණු තිබුනේ නැහැ, එහෙම තිබුනත් මොබිටෙල් තියන හරියේ ඩයලොග් නෑ, ඔය දෙකම තිබ්බත් සෙල්ටෙල් නෑ, තවත් සමහර තැන වල උස තැනකට, ගහක් උඩට බඩ ගෑවෙ නැතිනම් ඔය මොකවත්ම නෑ 😀
ඔය නිසා සමහර උදවියගේ ගෙවල් වල දුරකථන ඇමතුම් (අපි දැන් එහෙම එව්වා ගන්නේ නැහැ) කෝල් ගන්න පුළුවන් සිග්නල් අදින විශේෂ තැන් තියනවා, ඒවත් එන්නේ එව්වට ඕන තැන වලට මිසක් අපිට ඕන තැන වලට නෙමෙයි. බාග විට ගෙවල් හදනකොට හඳහන්කාරයෝ දෙන “වස්ති විජ්ජා” වලින් මේවා හොයා ගන්න පුළුවන් ඇති. 🙂
සාලෙ TV එක තියල තියන තැන පිටිපස්සෙ බිත්තිය ගාව, ඉස්සරහ මිදුලෙ අඹ ගහ එහා පැත්තෙ … හැබැයි ඊට ජුන්ඩක් එහා කොස් ගහ ගාව නම් මොකුත්ම නැහැ, කොහොමින් කොහොම හරි ගෙදරට එන කෝල් එකක් ගන්න, වෙන කාට හරි පණිවිඩයක් දෙන්න දහඅට සන්නියක් නටන්න වෙනවා ගෙදර.
අපේ ගඩොල් බාගෙනුත් ඉඳහිට ඔය ලෙඩෙ කරදර වින්දත් කොළඹ අවට නිසා වැඩි අපහසුවක් වුනේ නැහැ, සමහර විට දුරකථන කුළුණක් තරමටම උසට තියන ඇන්ටනා පොල්ලත් මේකට සෑහෙන්න බලපාන්න ඇති. 😀
මෙහෙම වසර කිහිපයක් ගත වෙලා ගඩොල් බාග පාවිච්චි කරන උදවිය ටිකෙන් ටික අඩු වෙලා වෙනත් අරුමෝසම් ජංගමයො ඉස්සරහට එන්න ගන්න කොට ගඩොල් බාග උස්සගෙන යන උදවිය ඩයිනෝසරයො ගානට වැටුන.
නමුත් මොකද අපිට තිබුණ මුලික අවශ්‍යතා සියල්ල අපේ ජංගමයා උවමනාවටත් වඩා හොඳින් ඉටු කරපු නිසා අපේ තාත්තට නම් සුපුරුදු ගඩොල් බාගෙ වෙනස් කරන්න කොහෙත්ම හදිස්සියක් තිබුනෙ නැහැ.
අවුරුද්දෙන් අවුරුද්ද දියුණුවෙන් දියුණුවට පත් වෙච්චි ඉලෙක්ට්‍රොනික තාක්ෂණයත් එක්කම ජංගමයන්ට ඇඟේ තරබාරුව බස්ස ගන්ට ඩයට් ප්ලෑන් එකක් හම්බ උනා වගේ සයිස් එකෙන් ඇකිලෙන්නයි තව නොයෙක් මාදිලියේ විච්චුරණ වැඩ කෑලි එකතු වෙන්නයි ගත්ත.
අලුතෙන් එන හැම සුකුරුත්තන් ගැජට් එකම වගේ මේකත් නවීන විලාසිතාවලට නැතිවම බැරි අංගයක් බවට පත් වුණු නිසා මෝටරෝලා කොම්පැනියත් එක්ක කරට කර තරඟ කරපු නානා මාදිලියේ පාට, හැඩ වල ෆෝන් සිරි ලංකාවට ගොඩ බහින්න ගත්ත.
කොච්චර කොහොම උනත් පැණි වරක ගහටත් හෙණ වදිනවලුනේ, ඔහොම ඉන්නකොට තමයි ගහක් ගලක් වගේ හිටපු තාත්ත හදිසියේම අසනීප වෙලා අපිව දාල යන්න ගියේ. ඒ ගැන කලින් ලිපියක ලියූ නිසා කණ්ඩා තවත් ඒ ගැන කියන්නට යන්නේ නැහැ.
තාත්තගෙයි අම්මගෙයි ධෛර්යය නිසාම අමාරුවෙන් ඔලුව උස්සපු පාසල් යන වයසේ ළමයි තුන් දෙනෙක් හිටපු කණ්ඩලෑ පවුලට ධනපාල හිඟ වෙනකොට ජංගමයට වඩා ගොඩක් වැදගත් ප්‍රශ්න අනන්තවත් මතු වුණා 😦
උසස් පෙළ ලයිට් කණු තුනක් සමග ඉහලින්ම සමත් වුණු කණ්ඩාගෙනුත් ඒ දවස් වල අම්මාට නිවනක් නොලැබුණු බව මතක් වෙනකොට දැනෙන්නේ කනගාටුවක්.
නමුත් ඔය ප්‍රශ්න ඔක්කොමත් එක්ක තාත්තගෙ ගඩොල් බාගෙ ගෙදර තිබුණ කබඩ් එකේ රාක්කය කෙළවරකට වෙලා දූවිලි බැඳෙන්න ගත්ත, අපි තුන් දෙනෙක්වම ගොඩ දාන්න මහන්සි වෙච්චි අම්මට කොහෙත්ම ජංගමයෙක්ගෙ උවමණාවක් තිබුනේ නැහැ.
ඔහොම විසි අවුරුද්දක් තිස්සෙ කාගෙවත් ඇල්මක් බැල්මක් නොලැබී හැමෝටම අමතක වෙලා ගිය මේ ජංගමයට මොනවා උනාද කියල කණ්ඩට මතක නැහැ, සමහර විට අම්ම ඒක අරන් තියල ඇති එහෙමත් නැති නම් පොඩි කණ්ඩිගේ අධ්‍යාපන කටයුතු සඳහා ගෙවල් මාරු කරද්දී ඒකත් අනවශ්‍ය දේවල් ගොඩට වැටිලා අමතකම වෙලා යන්න ඇති 😦
සහස්‍රය එහෙමත් නැතිනම් මිලේනියම් එක (2000) ලබනකොට කණ්ඩ ගැටවරයෙක්, මේ කාලය වෙනකොට ජංගම දුරකථන නගරයේ වගේම දුරකථන සේවා ආවරණය සහිත ගම්බද පැති වල මධ්‍යම පාන්තිකයන් අතරත් බොහොම ජනප්‍රියයි.
මතක හැටියට මේ කාලය වෙනකොට ඇනලොග් තාක්ෂණය සිරි ලංකාව පුරා පණ අදින කාලෙ, ඒ නිසා බොහෝ දෙනෙකුට කමැත්තෙන් හෝ අකමැත්තෙන් ගඩොල් බාග රිටයර් කරලා ඩිජිටල් ජංගමයෙක්ව අර ගන්න සිද්ද වුණා. හැබැයි අර මුලින් ගඩොල් බාග ගත්තු උදවියට වගේ අස්ප ගණන් ගෙවන්න උනේ නැහැ මම හිතන්නෙ.
නමුත් සහස්‍රය උදාවෙනකොට කවුරුවත් ජංගමයෝ ගැන ඇහැ ගහගෙන හිටියෙ නැහැ මොකද හැමෝම කට ඇරගෙන නියපොතු උලා කකා බලාගෙන උන්නෙ “Y2K /මිලේනියම් බග්” (Y2K/Millenium Bug) යනුවෙන් හඳුන්වපු පරිගණක මෘදුකාංග වලට බලපාන ගැටලුව නිසා ලෝකේ පුරා පරිගණක ජාලත් එත් එක්කම රටවල් වල ආර්ථික කටයුතුත් කඩාගෙන වැටෙයි කියල.
නමුත් කල් තියාම මේකට අවශ්‍ය ප්‍රතිකර්ම සිදු කරපු නිසා “සහස්ර මකුණා” කාවවත් දරුණුවට ලෙඩ වෙන්න කාපු බවට හෝ ඉංගිරීසි චිත්‍රපටි වල වගේ ලෝක විනාසය වෙන්න ඔන්න මෙන්න තියල බේරෙනවා වගේ දේවල් වුණු බවට මතකයක් නම් කණ්ඩට නැහැ 😀
මේ අවදියේ සිරි ලංකාවට බැල්ම දාපු ජංගම දුරකථන නිෂ්පාදකයින් අතර මෝටරෝලා සමාගමට අමතරව නොකියා, එරික්සන්, ඇල්කටෙල්, සීමෙන්ස් සහ පැනසොනික් (Nokia, Ericsson, Alcatel, Siemens, Panasonic) යන කොම්පැනි මුල් තැන අර ගත්තු බව මතකයි.
වර්ථමානයේ ස්මාර්ට් ජංගමයන්ට (Smart Phones) ප්‍රසිද්ධ ඇපල්, සැම්සන්ග්, LG, HTC, හුආවේ, සෝනි ( Apple, Samsung, LG, HTC, Huawei, Sony ) වගේ කොම්පැණි සම්පුර්ණයෙන් ජංගම යුද්ධයට අත ගහල තිබ්බේ නැහැ.
දැන් ස්මාර්ට් දුරකථන කියන්නෙ අන්තර්ජාල පහසුකම් සහිත වැඩි දියුණු වුණු ජංගම පරිගණක කියල කිව්වොත් වඩාත් නිවැරදියි. ඒ එක්කම අපි මුලින් භාවිත කළ ජංජාල සෙල්ලම් දාන්න බැරි එව්වට සුද්දගේ භාෂාවෙන් පහු කාලෙක කිව්වෙ “ෆීචර් ෆෝන්” (Feature Phone) කියල.
“පීචං ෆෝන්” නෙමෙයි “ෆීචර් ෆෝන්” මේක කෙළින්ම අමු හෙලුවට හරවනවා නම් නෑ .. නෑ … හෙළුවෙන් නෙමෙයි මං කිව්වේ සිංහලට පරිවර්තනය කරනවා නම් “විශේෂිත දුරකථන” කියලා තමයි යෙදෙන්නෙ.
ඒත් ඇත්ත තත්වය එයිට හාත්පසින්ම වෙනස්නේ, කොටින්ම වර්ථමාන ස්මාර්ට් දුරකථන හා සසඳනකොට මේවා කිසිම විශේෂිත බවක් නැති දුරකථන 😀 නමුත් මින් ඇත්තටම ඇඟවෙන්නෙ දුරකථන ඇමතුම් ගැනීම, කෙටි පණිවිඩ වැනි ඉතාමත් ප්‍රාථමික කටයුතු සඳහා පමණක් විශේෂිත බව.
මේ මුල් අවදියේ ජංගමයන්ට ප්‍රාථමික කිව්වෙ මුලින් ආපු කනට වඩා පස්සේ ආපු අඟ ලොකු වීමක් නිසා නෙමෙයි ඇත්ත ඇති සැටියෙන් පැවසීමක්, එත් එක්කම අපේ දෙමව්පියන්ගෙන් තොරව් අපිට පැවැත්මක් නැහැ වගේම මේ කියන ෆීචර් ෆෝන් නොතිබුණා නම් ස්මාර්ට් ෆෝන් වලටත් පැවැත්මක් නැහැ.
මේ ජංගමයෝ අරගෙන ආපු විලාසිතා වලට අමතරව SMS, රිඟින් ටෝන් වගේ දේවල් ඉක්මනට ජහමනයා අතර බෝවෙලා ගියා.
මුලින්ම හඳුන්වලා දුන්නු ගඩොල් බාග වල තිබුණු බීප් … බීප් … සද්ද වෙනුවට නානා ප්‍රකාර සද්ද මවන්න පුළුවන් “පොලිෆොනික් රිඟින් ටෝන් ” (Polyphonic Ringtones) ජංගමයන්ට අළුත් හඬක් දුන්න වගේම අද කාලේ සින්දු අහන උදවියට නැතිවම බැරි MP3 වාදනය කිරීමේ හැකියාව ලැබෙන්නත් වැඩි කල් ගියේ නැහැ.
තව නොම්මර පෙන්නන තියන ඇහැට පෙනෙන නොපෙනෙන ගානට තිබිච්චි තනි පේළියේ පාට දෙකේ වීදුරු පටිය වෙනුවට වඩාත් ලොකු වර්ණ දර්ශන තිර හෙවත් “ඩිස්ප්ලේ ස්ක්‍රීන්” (Color Display Screen) තරඟයට එලියට බැස්ස නිසා එය කෙටි පණිවිඩ හෙවත් SMS වැනි දේ යැවීම, කියවීම එය වඩාත් පහසු වුණා.
ඒ එක්කම ඉස්සර වියතක් විතර දිග අඟහරු ලෝකේ කුරුමිට්ටෝ එක්ක උනත් කතා කරන්න පුළුවන් විදිහට හදාපු ඇන්ටනාව ටිකෙන් ටික ඇකිලිලා ගිහින් ෆෝන් එක උඩහින් යන්තම් දික් වෙච්චි බන්ටි ටොපියක සයිස් එකට ඇවිත්, තවත් සමහරක් එව්වයේ ඇන්ටනා කූර නැතුවම ගිහින්.
තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනව, ඔය කාලේම තමයි ෆෝන් එකේ නයා අරින්නයි (මේ වෙන නයෙක් ~ මීට නයා) ගඩොල් බාන සෙල්ලමයි පුළුවන් වුණේ … මොනවා කරත් නයාගෙ වලිගෙ අහු නොවෙන්න එක එක පැත්තට නයාව නටවන්නයි වැල යන අතට මැස්ස ගහනවා වගේ එන එන විදිහට ගඩොල් අතුරන්නයි පුළුවන් නම් කාලෙ කන්න මරු සෙල්ලම් මේවා, වෙලාව යනවා තේරෙන්නේ නෑ 🙂
කණ්ඩ ඔය කිව්වෙ තමන්ගේ ප්‍රියතම එව්වා, එයිට අමතරව තවත් එව්වා තිබුණු බව මතකයි, මොබයිල් පිස්සන්ගේ ලාම්පු සංවේගය උදෙසා ඔය පහලින් දාල තියෙන්නේ ඒ ජංගම සෙල්ලම් වලින් පින්තුර දෙකක් (Snake & Tetris).
ඔය කියාපු විදිහට සහස්‍රයෙන් පස්සෙ වසර කිහිපයක කාලය තුළ ජංගමයන්ගෙ අරුම පුදුම වේගයකින් වෙනස්කම් රාශියක් ඇති වුණා, එක කොනක ඉඳන් තව කොනකට හලෝ කියන්න විතරක් පාවිච්චි වුණු මේ ගැජට් එක පණිවිඩ හුවමාරුවට අමතරව සින්දු අහන්න පුළුවන්, කාන්සිය මකා ගන්න සෙල්ලම් කරන්න පුළුවන් විනෝදයට බර දෙයක් බවට පත් වෙන්න ගත්ත.
~ මතු සම්බන්ධයි !
පසු ලිපි :
මට අමතක වුණු දෙයක් තමයි ජංගම දුරකථන වලට කලින් භාවිතා වුණු ලංකාවෙ නගරබද ව්‍යාපාරික ප්‍රජාව අතර යම් තරමක ජනප්‍රියතාවයක් හිමි කරගත් “පේජර්” (Pager) ගැන. ඒ ගැන වැඩි විස්තර පස්සෙ ලියන්න ඕන.
කලින් කොටස් :
ජංගම සමයන් ~ 1 කොටස ~ ජංගමයා !
ජංගම සමයන් ~ 2 කොටස ~ ජංගම මාටිං සහ අපේ ගඩොල් බාගෙ !
ඔක්තෝබර් 31, 2017 at 9:24 පෙ.ව.
එලෝ…. කණ්ඩයියා… පීස්..
යෑස් ඉස් පීකින්..
මොන මගුලක්ද යකූ ඉක්මනට ඉක්මනට ලියපන්කෝ
හා… කවුද මේ??
ආ මම තඩිය…..
හා එහෙමද
ඔව් එහෙනම් තියන්නම්…. සල්ලි නෑ පෝන් එකේ..
බුදු සරනයි දෙවි පිහිටයි!!!
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 31, 2017 at 2:11 ප.ව.
තඩියෝ ලන්ඩන් වල ඇල්බට් අන්කල්ගෙ මාර්ගෙන් හරි රීලෝඩ් එකක් එවන්නෙයි ? … හික් .. හික් … 😀
කැමතියිකැමතියි
ඔක්තෝබර් 31, 2017 at 1:11 ප.ව.
විල්පත්තුවෙ සංචාරක නිවාසවල තාමත් ඉස්සරවගේ වටේ ඇවිදින්න ඕනෙ සිග්නල් තියන වර්ග අඩි 6ක වගේ ස්පොට් එකක් හොයාගන්න
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 31, 2017 at 2:13 ප.ව.
ප්‍රා එහෙනම් ෂුවර් එකටම බදුර්දීන් නාන විල්පත්තුවට වැඩේ දෙන ගමන් සෙල් ටවර් ටිකත් පරණ යකඩ වලට දීල !
කැමතියිකැමතියි
ඔක්තෝබර් 31, 2017 at 4:57 ප.ව.
කණ්ඩයියේ, පේජර් ගැන ලියහං. මං එව්ව එකක් හැබැහිං දැකලවත් නෑ. ඔය නොකියා ටෙලිපෝන්වල කොම්පෝසර් එක කියල එකක් තිබුණා. ඒකෙං නාදරිද්ම හදාගන්න පුළුවංකම තිබ්බා. දළදා මාලිගාවෙ තේවාවෙ සද්දෙ එහෙම ඒ විදිහට එකකිං බලං අනිකෙ ටයිප් කරපු කාලයක් තිබුණා. අනිච්චේ දුක්කේ මේ පිහින පෝන් ආවයිං පස්සෙ ඒ මොකක්වක් නෑනෙ.
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 31, 2017 at 7:22 ප.ව.
ලියන්නම් වෙලාව තියන විදිහට 👍
ඔය කම්පෝසර් මාර හිට් වෙච්චි කාලෙ මට ෆෝන් එකක් තිබ්බෙ නෑ 😁
ඒත් අපේ එවුන් ඔව්වයෙ සින්දු හොය හොය අත්හදා බලනව මතකයි !
කැමතියිකැමතියි
නොවැම්බර් 1, 2017 at 12:02 ප.ව.
මමත් 1999 දී ඔය ෆෝන් වල 4 වෙනියට වගේ තියෙන පොඩි ගඩොලක හිමිකාරයෙක් උනා…
ඒක ටැංගෝ වගේ නමක් තිබ්බ එකක් වගේ තමයි මතක…
නොකියා 3310 එහෙම පට්ට ජනප්‍රිය වෙච්ච කාලේ මට සල්ලි තිබ්බේ එයින් එකක් ගන්න…
මම පාවිච්චි කලේ මෝටරෝලා, සජෙම් වගේ ටිකක් අඩු කුළයේ ෆෝන්…
පස්සේ බොහොම මෑතකදි නොකියා ලුමියා ෆෝන් එකක් ගත්තා…
එතකොට නොකියා අඩු කුළයට වැටිලා…
නොකියා ගැන සංසාරේ අන්තිම දක්වා කළකිරුණා ඒකෙන්…
පස්සේ ඇපලක්, ඒක ගැන ඊටත් වඩා කළකිරුණා…
දැන් මම සාඩම්බර හුවාවේ හිමිකරුවෙක්…
කැමතියිLiked by 1 person
නොවැම්බර් 1, 2017 at 5:38 ප.ව.
2000 වෙනකොට නොකියා හිටියට නොකියා වලට උඩින් යන ෆෝන් තිබ්බෙ නැති තරම්.
ඒක නොකියා හිටියොත් හරිමදි, මම පාවිච්චි කරපු හොඳම එකක් තමයි නොකියා 1100 , හම යනකං පට්ට ගැහුව.
ඔබ ඔය කියන 3310 මරු, බිම වැටිල කෑලි සීසීකඩ ගියත් ආපහු අමුණපු ගමන් යකා වගේ වැඩ.
කල් පැවැත්ම අතින් අදටත් පරණ නොකියා ෆෝන් වලට කිට්ටු වෙන්නත් බෑ 👍
කැමතියිකැමතියි
නොවැම්බර් 2, 2017 at 8:36 පෙ.ව.
අර සුරංගය කියල තියෙනව වගේ කොම්පෝසර් එකෙන් ලංකාවෙ එවුවො උංට ඕන හැටියට හදාගත්ත සිංදු කෑලි රිංග් ටෝන් එකට දාගන්න එක ඒ කාලෙ මාර ජනප්‍රියයි. මට මතක විදියට ඔය ටෝන් කෝඩ් SMS එකකින් වෙන ෆෝන් වලට මාරු කරන්න පුලුවන්.
මම හිතන විදියට ඒ කාලෙ ලංකාවෙ වැඩිම කවරේජ් තිබුනෙ සෙල්ටෙල් එකට.
කැමතියිLiked by 1 person
නොවැම්බර් 2, 2017 at 11:58 පෙ.ව.
නැතුව … නැතුව … කට්ටිය නෝට් හොයා හොයා වැඩ කිඩ දාන කොට මමත් නෝට් (Naught) එකේ … හික් … හික් … යාළුවො හැමෝටම තිබුණට මොකද මට 2004 විතර වෙනකං ජංගමයෙක් තිබ්බේ නෑ 😀
අනික මම එකක් ගන්න කාලෙ වෙනකොට ඔය පිස්සුව ගිහින් MP3 ෆෝන් එන්න පටන් ගත්තු කාලේ නෙව 😀
කැමතියිකැමතියි
නොවැම්බර් 2, 2017 at 8:39 පෙ.ව.
තව ඔය කාලෙ මොබයිල් ෆෝන් වල ට්රාන්ෆෝටබල් වර්ෂන් එකකුත් තිබුණ වගේ මතකයි වාහනවල හයිකරන්න පුලුවන්.
කැමතියිLiked by 1 person
නොවැම්බර් 2, 2017 at 11:54 පෙ.ව.
ඔව් ඒ ජාතියෙ එව්වා තිබුණ ගඩොල් බාග එන්නත් කලින්, නමුත් ලංකාවේ ප්‍රචලිත උනේ නැහැ මම හිතන්නෙ. එහෙමයි කියල අපේ උන්දලා නිකං හිටියෙ නැහැ පහු කාලෙක ලංකාබෙල් වෑර්ලස් ෆෝන් වාහන වලට හයි කරගෙන තියනවා නම් මම කිහිප විඩක්ම දැකල තියනවා 😀
කැමතියිකැමතියි
නොවැම්බර් 2, 2017 at 8:24 ප.ව.
1999 ගනන් වලදි මමත් ගත්තා එරික්සන් 688 ගඩොලක්. ඒක තමයි මගේ පලමු ජංගමේ. මොබිටෙල් කෙම්පැනියෙන් රුපියල් 20000ක් විතර ගෙවලා ගත්තේ. එකේ අගලක් විතර උස පොඩි ඇන්ටෙනා කෑල්ලක් එක්ක කී පැඩ් එක වැහුන ෆැලැප් එකක් තිබුනා. පස්සේ ඒක මම 3750 කට විකුනලා නොකියා 1315 එකකට මාරුවුනා. ඊටත් පස්සේ 1100ක් එකක් ගත්තා. 99 යුද්දේ කාලේ යාපනේට ආයුද කෑම බඩු අරගෙන ගිය නැව කන්කසන්තුරේ හරි පේදුරුතුඩවේ හරි නැංගුරම් දාගෙන ඉන්න දවස් වලට චීෆ් ඔෆිසර් ඇවිත් ජංගමයන් තියෙන කිහිපදෙනාට පනිවිඩ දෙනවා ඔන්න දැන් සිග්නල් අහුවෙනවා දැන්ම කෝල් එකක් ගනිල්ලා කියලා. ඒකාලේ යාපනේට සිග්නල් නෑ. වලාකුලු වැඩි දවස් වලට සිග්නල් ලාවට විතර අහුවෙනවා. සිග්නල් අල්ලා ගන්න ජංගමවත් උස්සාගෙන අපි ඉතිං කුඹ ගහට හරි නගිනවා.
කැමතියිLiked by 1 person
නොවැම්බර් 6, 2017 at 12:44 ප.ව.
සාමාන්‍යයෙන් කියවන්න නොලැබෙන ආකාරයේ අත්දැකීම්, අසංග මේ ගැන වැඩි විස්තර නොලියන්නේ ඇයි ?
කැමතියිකැමතියි