Love Over Mobiles

මල් කැඩිල්ල සහ මෝබයිල් !

තාත්තගෙ සෙල් ෆෝන් එකට පස්සෙ අපේ ගෙදරට ජංගමයෙක්ගේ හෙවනැල්ලක් වැටෙන්නෙ කණ්ඩ රස්සාවක් කරන්න පටන් අරගෙන අවුරුදු කිහිපයක්ම ගියාට පස්සෙයි, කොටින්ම තාත්ත ගඩොල් බාගෙ ගෙනැල්ල දහ අවුරුද්දකට විතර පස්සෙ.

එතකං මේ හතර අතේම වේගයෙන් සිද්ද වෙන වෙනස්කම් දිහා පිටත ඉඳන් බලාගෙන හිටපු කණ්ඩ තවත් එක ප්‍රේක්ෂකයෙක් බවට පත් වෙලා හිටියෙ, උසස් පෙළට කණු තුනක් අරං කැම්පස් යන්න ලකුණු දෙතුන් සීයක් මදි වෙච්චි පව නිසාවෙන් ගොඩ යන විදිහක් හොයමින් හිටිය කණ්ඩට වෙනත් විකල්පයක් තිබුනෙත් නැහැ 🙂

මං ගැන කිව්වා දැනට ඇති, ඒ නිසා මෙතනට තිත් කොමාවක් තියල නවත්තනවා ආපහු පස්සෙ ඇදල ගන්න, මොකද ජංගමයො ගැන කතා බහ කරද්දි එයිට වඩා බොහොම වැදගත් කාරණයක් කියන්න තියෙනවා, ඒ තමයි “මල් කැඩීම”.

ඉස්සරම සාමාන්‍ය ජනතාව හෙවත් ජහමනයා මල් කැඩුවෙ පන්සල්/කෝවිල් යන්න, ගෙදර දොර ලස්සනට තියන්න එහෙමත් නැතිනම් මගුල් ගෙයක් වගේ විශේෂ උත්සවයකට, නමුත් කණ්ඩ කියන්න තතනන මේ මල් කැඩීම වෙනම ජාතියේ එකක් කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ නොවැ.

මේ මල් කැඩිල්ල අර කලින් කියපු සාමාන්‍ය මල් කැඩිල්ලට වඩා බොහොම රසවත්, ජංගමය එන්න කලින් ඉස්සරවෙලා උකුළු මුකුළු, පෙම් කතා වලට තිබිච්චි වැට කඩොළු වලින් පනින්න, නිතර හමු වෙන්න බැරි උනහම අදහස් හුවමාරු කර ගන්න බොහොමයක් රෝමියෝ – ජුලියට්ල කළේ ලියුම් ලියන එකනේ, නිකම්ම නිකං ලියුම් නෙමෙයි “පෙම් හසුන්” !

මේ ලියුං කියුං තැපෑලට දාල පියුම් මහත්තය අතේ ගෙදරටම එවන්න පුළුවන් ජාතියෙ එව්ව නෙමෙයිනේ, ඒ නිසා මේකට තමන්ගෙම හෝ වෙනත් දන්නා කියන බාල සහෝදර සහෝදරියක් එහෙමත් නැතිම යහළුවෙක් යෙහෙළියක් වැනි තුන් වෙනි පාර්ශවයක් සම්බන්ධ කර ගැනීම අනිවාර්යයි.

ඒ විතරක් මදි මේ තුන්වෙනි පාර්ශවය යාළුවෙන් යාප්පුවෙන් තියා ගන්නත් වෙනවා, ඒකට වෙනත් සුළු උදව් පදව්, පොඩි පොඩි තෑගි භෝග දෙන එක එහෙමත් බොහොම වැදගත්.

ලියුම් කියුවට සමහර එවුන් කවිත් ලියනවා, ඒවායින් සමහරක් සඳස්, සඳස් ලියන්න බැරි එවුන් නිසඳස්. ඔය මොකුත්ම බැරි එවුන් තමන්ගේ හිතේ තියන ප්‍රේමය වෙන එකෙකුට කියල ලියාගෙන හ‍රි කොහොම කොහොම හරි එළියට දානව.

ඔය ඔක්කොම අතර ඒ වෙනකොටත් කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි නැති අනාථයො සමහරක් අර කියපු තුන්වෙනි පාර්ශවය බවට පත් වෙනව, එහෙමත් නැති නම් අර ලව් ලෙටර් ලියාගන්න බැරි එවුන්ට ලව් ලෙටර් ලියල දෙනව.

මොනවා කළත් ආදරයයි කැස්සයි හංගන්න බෑනෙ ඒකට තැනක් නොතැනක් වෙලාවක් අවේලාවක් නැහැ, ආදරේ අන්ධයි බ්රේක් නැහැ කියල කියන්නෙත් කට කහනවටම නෙමෙයි ඉතින්.

ඔය මොන දේ කළත් වැරදිලාවත් මේ පෙම් හසුන් හෙවත් “ලව් ලෙටර්” අතපසු වෙලා ගෙදර උදවියට මාට්ටු උනහම “ලව්” (Love) එක ඉබේම “ඉලව්” (e-Love) බවට පත් වෙනව.

නමුත් කණ්ඩට නම් ඉතින් මේ කියන අල කලංචි වලට මුහුණ පාන්න වුණේ නැත්තෙ ලව් ලෙටර් ලියුවේ නැති නිසා. බොහොම සාන්ත දාන්ත සුවච කීකරු ළමය නොවැ 🙂 , හැබැයි අර කියපු තුන් වෙනි පාර්ශවකරුවෙක් විදිහට ඉඳ හිට දෙතුන් දෙනෙකුට පොඩි පහේ උදව් පදව් නොකරමත් නෙමෙයි, ඒව ඉතින් යුතුකම් නොවැ.

එදත් විවිධ උදවිය නොයෙක් විදිහට මේ දිහා බැලුව වගේම අදටත් බලනව, ඉන් සමහර මධ්‍යස්ථ වැඩිහිටියො නම් ඉතින් අනේ මොකද වෙන්නෙ ඔය ඉතින් වයසෙ වැරැද්දනෙ… ඔය කාලේ ඔව්ව කරන්නේ නැතිව වයසට ගිහින් කරන්නයැ ? කියල මැදහත්ව හිතුව.

මේ දේවල් දිරවන්නෙ නැති තවත් සමහර ඈයො තුහ් .. නෙදකින් නොසන්ඩාල හැත්ත ! අනේ අම්මපා මුන්ට මදන විසේ ගහල … !

ඇටෙන් පොත්තෙන් බේරෙන්න කලින් මගුල් නටන්නයි ලෑස්තිය … !

අපේ කාලෙ නම් (හඳ පානේ පැනල ගියා මිසක්ක) ඔහොම උනේ නැහැ අපේ හාන්දුරුවනේ !

කියල අතිශය කාරුණික වදන් වලින් සංග්‍රහ කරනව.

අලුත් පරම්පරාවට ඉතින් කවදත් පරණ පරම්පරාවත් එක්ක ගැටුම් තිබ්බනෙ… ඒක කණ්ඩලෑ පරම්පරාවට කියල විශේෂයක් වුනේ නැහැ.

ඒ අතරම ඔය මොනවා කිව්වත් ඒ කිසිම දෙයක් කනකට නොගන්නා අළුත් පරම්පරාවෙ ඈයො මේ විවේචන පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් මායිම් කළෙත් නැහැ නොවැ 🙂

කණ්ඩලෑ පරම්පරාවේ එවුන් කරදඬු උස මහත් වෙලා ප්‍රතිලිංගික පාර්ශවයට ඇල්ම බැල්ම දාන්න පටන් ගත්තු කාලේ තමයි පනින රිලවුන්ට ඉණි මං බැන්ඳ වගෙ තරුණ කොල්ලො කෙල්ලෝ අතට මෝබයිල් ෆෝන් වඩින්න ගත්තෙ.

මම හිතන විදිහට ජංගමයන්ගේ ආගමනයත් එක්කම කලින් පරම්පරාවෙන් උරුම වෙච්චි පෙම් හසුන් ලිවීම නැතිවම ගියා, එතකොට මල් කැඩිල්ල මොබයිල් එකට මාරු උනා විතරක් නෙමෙයි අතරමැද හිටපු තුන් වෙනි පාර්ශවයේ තැන ටෙලිකොම් කොම්පැනි අර ගත්ත කිව්වොත් නිවැරදියි.

එනිසා ජංගමයෝ මල් කැඩීමේ එක යුගයක අවසානය වගේම තවත් යුගයක (e-මල් කැඩීම) ආරම්භයත් සටහන් කළා. තාක්ෂණයත් එක්ක හැමදේම වෙනස් වෙනව, එහෙම නොවෙන්න නම් ඉතින් ගල් ලෙනකට ගිහින්  කරගෙන ඕන.

මේ කියන දවස් වල කණ්ඩට කෙල්ලක් නොහිටපු එක ගැන නම් හිතට වැඩි දුකක් තිබුනෙ නැහැ නමුත් තිබිච්චි එකම දුක අපේ කාණ්ඩයේ හිටපු හැම කොල්ලටයි බල්ලටයිම මෝබයිල් එකක් තියෙනකොට තමන්ට එකක් නැති එක.

ඔය කොහොම උනත් කණ්ඩා මල් කැඩීමට එන්ටර් වෙන්නෙ සහස්‍රය හෙවත් මිලේනියම් එකත් පහු වෙලා අවුරුදු 4 ක් ගිය තැන, ඒකට හේතුව වෙන දෙයක් නෙමෙයි ඒ වෙනකම් ධනපාල අවුල් නිසා කණ්ඩට මොබයිල් එකක් වගේම දිගටම මල් කඩන්න හරියන කෙල්ලෙක් සෙට් වෙලා නොතිබිච්චි එක.

Samsung SGH-X100 - My First Phoneකණ්ඩ දුක් මහන්සියෙන් හම්බ කරලා තමන්ටම කියල අර ගත්තු වටිනාකමක් තියන පළමුවෙනි දේ තමයි මේ කියන ජංගමය, මේ ජංගමයගෙ පැටිකිරිය ගැන කියනවා නම් සැම්සන්ග් SGH X-100 (Samsung SGH X-100) වර්ගයේ කුඩා නමුත් වර්ණ තිරයක් තියන බොහොම හුරුබුහුටි එකක්.

මේ එදා තිබුණු හොඳම හෝ වටිනාම ජංගම දුරකථනය නෙමෙයි, දරන්න පුළුවන් මට්ටමේ තිබුණු කරදරයක් නැතිව පහසුවෙන් සාක්කුවේ දාගෙන යන්න පුළුවන් එකක්. අනික අද වගේ අටෝරාසියක් වැඩ කරගන්න තිබුනේ නැහැ, අත්‍යවශ්‍ය‍ දේවල් කියල උවමනා වුණේ කෝල් අර ගන්න එකයි SMS යවන එකයි විතරයි.

ඒ වෙනකොටත් කොළඹ පිටකොටුවේ වගේම වෙනත් නගර වලත් හතු පිපෙන්න වගේ පොඩි පොඩි මෝබයිල් කඩ එළි බහින්න පටන් අරන් අහවරයි, මේ හැම එකකම අලුත් සහ පාවිච්චි කළ නානාප්‍රාකාර ජංගමයො වැහි වැහැල.

නමුත් ඔව්වයෙන් ෆෝන් අරගෙන අමාරුවේ වැටිච්ච හාදයෝ ගැන මම දැනගෙන හිටපු නිසා ඒ පස්සේ පන්නන්න හිතුනෙ නැහැ, ආයෙත් හැරි හැරී හිටියේ නැහැ කෙළින්ම ගියේ කණ්ඩ ඉගෙන ගත්තු ඩුප්ලිකේෂන් පාරේ IDM එක අල්ලපු වැටේ තිබුණු වරලත් අලෙවි නියෝජිත ආයතනයකට.

කෝකටත් මම තනියම ගියොත් මොකක් උස්සන් එයිද කියල නිච්චි නැති නිසා එදා ෆෝන් එක ගන්න ගියේ කාණ්ඩලෑ පරම්පරාවෙ වැඩිමල් කියල හිටපු එකම ඥාති සහෝදරයත් එක්ක.

මොනවා උනත් එතන කන්තොරුවෙ ලස්සනට සුදට ඉන්න මුණේ පාට උලා ගත්තු කඩුවෙන් වචන හරඹ කරන්න දස්ස කැකුළියො දෙතුන් දෙනෙක්ම හිටියත් අපිට උදව් කරේ අපේ වයසේම වගේ තරුණ හාදයෙක්.

අර කියපු ලලනාවක් ගාවට යන්න අපේ හිතේ කිසිම අකමැත්තක් තිබුණෙ නැතත් හැම දේම වෙන්නේ හොඳටයි කියනවනේ, අපිට උදව් කරපු හාදය ජංගමයො ගැන හොඳ දැනුමක් තියන කෙනෙක් නිසා බොහොම සීරුවෙන් දැන ගන්න ඕන සියල්ලම විස්තර කරල අපිව හරි මාර්ගයේ යැව්ව.

Samsung SGH-X600 - Ex-Loveමේ සැම්සන්ග් X-100 එක ගන්න වෙලාවෙ ඒ හැඩයේම ඉස්සරහට පස්සට කරකවන්න පුළුවන් කැමරාවක් ඇතුළු තව ගැජට් බැජට් තියන මිලෙන් දෙගුණයකට කිට්ටු Samsung SGH X-600 එකකට මගේ හිත බොහොම ඇදිල ගියා.

තවමත් නිවන් නොදැක්ක පෘතග්ජනයො විදිහට හැමදාමත් අපිට ලබා ගන්න බැරිව ලතවෙන දේවල් එමට තියනවා නොවැ.

ඒ ඇතැම් විට පෙම්වතියක්, රෝද දෙකක් එහෙමත් නැතිනම් හතරක්, පරිගණකයක් වගේම X-600 ජංගම දුරකතනයක් වෙන්නත් පුළුවන් 🙂  අතේ තියන සල්ලිත් හොඳටෝම මදි, ධනපාලත් බෑම කියනව ඒත් ඉතින් මගේ හිත නම් ගන්නමයි.

එදා මට වගේම මගේ සහෝදරයටත් ඕන වුණේ X-600 ක්, අඩු පාඩු මුදල ගෙවන්න මගේ සහෝදරයා ඉදිරිපත් උනත් බලා ඉඳීද්දී වෙනස් වෙන ජංගමයන්ට එපමණ මුදලක් වියදම් කරන එක අපරාධයක් කියල කිව්වේ අපෙන් ගාන කපන්න දාල තියන තරුණ හාදයමයි.

ඒකෙන් කණ්ඩගේ ඇස් පෑදුන බව කියන්න සන්තෝෂයි, මට හොඳටම විශ්වාසයි අර කැකුළියෙක් ගාවට ගියා නම් X-600 කොහොම හරි අපේ ඇඟේ ගහනව හැට හතර මායම් දාල, නමුත් අපි X-100 ක් අරගෙන එදා එළියට බැස්ස 🙂

ඒත් අදටත් X-600 ගැන හිතෙනකොට නිකං පපුව කීං … කීං… ගානව, ඒකත් හරියට අර යාලු වෙන්න ට්‍රයි කරලා හරි ගියේ නැති ඒත් තවම අමතක කරන්නත් බැරිව හිතේ කොනක ඉන්න පැරණි පෙම්වතියක් වගේ, බොරුවක් නෙමෙයි 😀

අන්තිමේදි හා හාපුරා කියල කණ්ඩ මොබයිල් එකක ගත්තත් පවුලේ උදවියගෙ නොම්මර අරුනහම මම හිතන්නේ නැහැ තව සූ ගාල නොම්මර දහය පහළොවකට වඩා මං ගාව තිබුණ කියල.

මුල දවස් වල බොහොම පරිස්සමින් තමයි ජංගමය පාවිච්චිය, කතා කරලා ඉවරවෙලා පිහිදල තමයි ආපහු සාක්කුවේ දාගන්නෙ, අරපිරිමැස්මෙන් බිල අඩුවට තියා ගන්න බොහොම උනන්දුයි, ඒ නිසාම කතා බහට වැඩ කෙටි පණිවිඩ (SMS) වැඩියි.

ඒ එක්කම තව අමුතු වසංගතේකුත් බෝවෙන්න ගත්ත එකේ නම තමයි “රිංග්-කට් සින්ඩ්‍රෝම්”(Ring-Cut Syndrome), මේ ලෙඩේට වග කියන්න ඕන ඒ දවස් වල හිටපු “අදින්‌නපුබ්‌බකයො”. ඒ කියන්නෙ දුරකථන ඇමතුමකට රුපියලක් වියදම් කරන්න ලෝභකමට කෝල් එකක් ගන්නෙ නැතිව අනිත් පැත්තෙන් කෝල් එක ගනීවි කියන බලාපොරොත්තුවෙන් රිංග් කරලා කට් කරන උදවිය.

ආපහු කෝල් එක ගත්තහම මේ ගැටේට අහුවෙන රිංග්-කට් එක අනිත් කොනේ ඉන්න අහිංසක මනුස්සයගෙ පිටින් තමයි අදින්නපුබ්බකයගෙ බිලත් යන්නෙ. එහෙම උදවිය අපි අතරත් නොඅඩුව හිටිය, කිහිප වරක් ඒ වැඩේට අහු උනාට පස්සෙ හැමෝම ඒ උදවියගෙ රිංග්-කට් මිස් උන කෝල් මග ඇරිය, තවත් සමහරුන්ට මතක හිටින පාඩම් ලැබුණ.

මේ උදවිය වැරදිලා ෆෝන් එක කොහේ හරි තියල ගියොත් හතර වටේට කෝල් ගැනීම සහ SMS යැවීම, දන්නා කාගේ හරි ෆෝන් එකකට කෝල් එකක් අරගෙන විසන්ධි නොකර සෑහෙන වෙලාවක් තියෙන්නේ අරින එක, වෙදාගේ බෙහෙත් වෙදාටම පොවනව වගේ ඒ අයටත් ආපහු රිංග් කට්ම දීම ඒ අතර ජනප්‍රිය දේවල්.

කණ්ඩගෙ සාක්කුවටත් ජංගමයෙක් ආවට පස්සෙ පුද්ගලික වැඩ කොහොම වෙතත් නිතරම කන්තෝරුවෙන් පිට යන්න සිදු වුණු අවස්ථාවල රාජකාරි වැඩ වලට නම් බොහොම පහසුවක් ඇති කළා, හැබැයි අවාසනාවකට වගේ කණ්ඩගේ නොසැලකිල්ල නිසා මේ අරගත්තු ෆෝන් එකට වැඩි ආයුෂ තිබුනේ නැහැ. ඒ ගැන වැඩි විස්තර පස්සෙ කියමුකෝ.

මේ ඔක්කොම වෙනස් වීම් සහ විවිධ රැළි අතර කණ්ඩගේ ජංගමය වගේම කන්ටැක්‍ට් ලිස්ට් එකේ තිබුණු එක නොම්මරයක් කණ්ඩගේ ජිවිතේම වෙනස් කරා, මේ නොම්මරේ අයිතිකාරයගෙ නොම්මරේ ගැන මගේ බ්ලොග් එක කියවන සහ නෑදෑ හිත මිතුරු උදවිය දන්නා නිසා ඒක එතරම්ම රහසකුත් නෙමෙයි 🙂

ජංගමයගෙ ආනුභාවය ගැන කියනවා නම් කණ්ඩ ටික කාලයකට පස්සෙ IDM එකේ පාට්-ටයිම් බැච් එකේ එකට ඉගෙන ගත්තු එක්තරා මානවිකාවක් එක්ක නිතර කතා බහ කරන්න ගත්ත. ඒ කතා බහ දන්නෙම නැතිව පොඩි ඇයි හොඳයියක් බවටත් පත් වුණා.

ඒකත් මහා අමුතුම කතාවක්, අපේ බැච් එකේ මානවිකාවෝ වගේම චිංචි මානවිකාවොත් කිහිප දෙනෙක්ම හිටියත් මේ මානවිකාව එක්කම මේ හුටපටේ පටන් ගත්තෙ ඇයි කියන දේ අදටත් කණ්ඩට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් ?

හොඳට හෝ නරකට මේ හැම දේටම මුල ජංගමගෙ ආගමනය තමයි, ඔන්න ඔහොමයි කණ්ඩ මොබයිල් එකෙන් මල් කඩන්න පටන් ගත්තෙ.

Couple SIM

අද කාලේ ආදරයෙන් මුසපත් වෙලා තොරතෝංචියක් නැතිව හොරෙන් මල් කඩන කොල්ලොයි කෙල්ලෝයි ගැන ජංගම දුරකථන සමාගම් කරුණාව පහළ කරලා අඩු වියදමින් වැඩි මල් ප්‍රමාණයක් කැඩීම උදෙසාම පිරිනමපු මල්/කපල් පැකේජ් සුලභයි.

නමුත් ඒ දවස් වල කවුරුවත් අපි දිහා කරුණාවෙන් බලලා එහෙම පිනා චාන්ස් දුන්නෙ නැහැ, නිතරම කතා බහ කරද්දි  විනාඩියකට රුපියල් හත අටක වියදමක් දරන්න අමාරු උනත් මල් කඩන්න ගත්තහම බ්රේක් නෑ.

ඒ නිසා මාසේ අන්තිමට මාගලක් වගේ දිග බිලකුත් එක්කම පපුවේ අමාරුවක් එහෙම නාවෙ ඒ කාලෙ තිබුණ තරුණ විසේ හින්දම වෙන්න ඇති.

සමහර මාස වල කණ්ඩගෙ මාසෙ පඩියෙන් බාගයක් විතර ඩයලොග් ෆෝන් බිල විදිහට ගෙව්ව, ඩයලොග් කොම්පැනියට අනාගතය අදයි කියල ආඩම්බරයෙන් තවමත් කියන ඒ සාර්ථකත්වය ලබා ගන්න අපිත් සාඩම්බර කොටස් කාරයෝ 😀

ඉතිරි ටිකෙන් ගෙදර වැඩට අම්මගෙ අතටත් යමක් දීල මාසේ ඉතිරි දවස් ටික ගෙවන්න දන්නා කියන එවුන්ගෙන් අතමාරු එහෙමත් අරගෙන එදාවේල ටුවර්ස් වගේ ගහන රෝල තමයි රෝල, ඒ දවස් වල අපි හිතුවේ මේක කවදාවත් ඉවරයක් දකින්න බැරි සංසාරේ වගේම විෂම චක්‍රයක් කියල.

ඇත්තටම මේක ඩයලොග් කොම්පැනියට ගිය ආත්මෙක ඉතිරි වෙලා තිබිච්චි පරණ ණයක්ද කොහෙද ? අන්තිමට ගෙවල ගෙවලම ටික දොහකින් අපිට මොළේ පෑදුන නිසා බිල කෙට්ටු කරගන්න පුළුවන් උනා.

විශේෂයෙන්ම දවල්ට මල් කඩන එක අඩු කරලා රෑට මල් කඩන එක තමයි කරන්න තියන ලෙහෙසිම දේ, මොකද කාර්යබහුල සහ නොවන හෝරාවන් ඒ කියන්නේ “පීක්/ඕෆ්-පීක්” (Peak / Off-Peak) වෙලාව අනුව අයකිරීම් වෙනස්.

දවල්ට වඩා රෑට ගාස්තු සෑහෙන්න අඩු නිසා රෑට මල් කඩන එක තමයි සාක්කුවට වාසි. නමුත් ඒකත් ඉතින් ඔය කියන තරම් ලේසි නෑ, ගෙදර උදවියට කට්ටි පැන පැන මදුරුවෙකුට තියා තමන්ටවත් ඇහෙන්නේ නැති ගානට කොඳුර කොඳුරා තමයි මේ රෝමියෝ ජුලියට් නාටකය රඟ දක්වන්න වෙන්නෙ.

කොහොම නමුත් ඒ කඩපු මල් වල හැටියට සල්ලි ටික බැංකුවේ දැම්ම නම් පොළියත් එක්ක මේ වෙනකොට පොඩි ඉඩම් කෑල්ලක් අරන් දාගන්න තිබ්බ  😀

~ මතු සම්බන්ධයි !

පෙර ලිපි :

ජංගම සමයන් ~ 3 කොටස ~ ගඩොල් බාගෙන් සාක්කුවට !

ජංගම සමයන් ~ 2 කොටස ~ ජංගම මාටිං සහ අපේ ගඩොල් බාගෙ !

ජංගම සමයන් ~ 1 කොටස ~ ජංගමයා !

 

Advertisements