Where is My Cell Phone

ෆෝන්, කැමරා ෆෝන්, NO ෆෝන් සහ ස්මාර්ට් ෆෝන් !

තමන් මිලදී ගත්තු පළමුවෙනි ජංගමයා ගැන ආපහු මතක් කරනකොට කණ්ඩා සෑහෙන්න තෘප්තිමත් පාරිභෝගිකයෙක්, මොකද කණ්ඩගේ කුළුඳුල් ජංගමයා ඒ වෙනකොට තිබුණු සියළු සිල්ලර අවශ්‍යතාවයන් වෙච්චි මල් කඩන එක, කෝල් ගන්න එක සහ SMS කෙටීම ඉහළින්ම සපුරපු නිසා.

ඔය එක්කම කැමරා ෆෝන් එකකටත් පොඩි පහේ ආසාවක් නොතිබුණා නෙමෙයි නමුත් ඒ වෙනකොට ඉතාම ප්‍රාථමික මට්ටමක තිබුණු කැමරා ෆෝන් වලින්  පින්තූර ගන්න එක කොහෙත්ම සාර්ථක නැහැ, ඒ නිසා මම එකක් ගත්තේ නැහැ.

නරියෝ මිදි කනවද නැද්ද කියන එක සෑහෙන්න විවාදාත්මක ප්‍රශ්නයක් උනත්, එකෝමත් එක කාලෙක ඈත මූකලානක හිටපු නරියෙකුත් මිදි කන්න බැරි උනහම ඔහොම කතාවක් කිව්වයි කියල තමයි ආරංචිය 😀

විහිලු පැත්තකින් තිබ්බත් ඇත්තටම මේ මුල දවස් වල ආපු කැමරා ෆෝන් වල එතරම් පැහැදිලි පින්තූර ගැනීමට, බැලීමට සහ යැවීමට බොහොම සීමිත පහසුකම් තිබුණේ. ඒ වගේම අද බොහෝ දෙනා කැමරා වලින් ගන්න පින්තූර වල තත්වය “මෙගා පික්සල්” (Mega Pixel) වලින් කිරුවට එදා අපිට එහෙම පහසුකම් තිබුණෙ නෑ. අනික ඒ ජංගමයන්ගේ තිබුණු ඉතා අඩු දත්ත ගබඩා කිරීමේ හැකියාව නිසා ගත්තු පින්තූර උනත් හිතේ හැටියට රඳවා ගන්න තරම් ඉඩකඩ තිබුනෙත් නැහැ නොවැ  .

ජංගමයන්ගෙ අඩුපාඩු වලට අමතරව විශේෂයෙන්ම ඩිගිටල් ජංගම දුරකථන ජාලයන්ගේ වේගය සීමිත වීමත් ජංගම පින්තූර හුවමාරු කර ගන්න ලොකු බාධාවක් වුණා. මේ තත්වය 3G (3rd Generation ) හෙවත් තුන්වෙනි පරම්පරාවේ ඩිගිටල් දුරකථන සන්නිවේදන තාක්ෂණය පැමිණෙන තෙක්ම පැවතියා කිව්වොත් නිවැරදියි.

එදා තිබුණ විකල්ප තමයි කේබල් එකකින් ජංගමයව පරිගණකයකට සම්බන්ධ කරලා ඊ-මේල් කරන එක, එහෙමත් නැතිනම් අත පොව්වන මානයක ඉන්න කෙනෙකුට යවන්න තියේ නම් “නීලදන්ත තාක්ෂණය” හෙවත් “බ්ලූ ටූත්” (Bluetooth) උපයෝගී කරගෙන ජංගමයගෙන් තවත් ජංගමයෙකුට අධි සංඛ්‍යාත කෙටි තරංග ඔස්සේ යැවීම.

Bluetoothමම ටිකක් හොයල බැලුව මේක හදල තියෙන්නේ වැල බාපු චීනෙක්වත්ද කියල, නමුත් එහෙම නෙමෙයි මුල් කාලයේ ජංගම තාක්‍ෂණයේ දැවැන්තයෙක් වෙච්චි “එරික්සන්” (Ericsson) සමාගමේ ඉංජිනේරුවෙක් විදිහට සේවය කළ “යෝහාන් උල්මාන්” (Johan Ullman)** හඳුන්වල දීපු තාක්ෂණය වැඩි දියුණු කිරීමෙන් තමයි “බ්ලූ ටූත්” කළ එළි බහින්නෙ.

** (මේ නම “ජොහාන් උල් මෑන්” කියල උච්චාරණය කළොත් වැරදියි 🙂 ) **

ලොව ප්‍රථම “බ්ලූ ටූත්” තාක්ෂණය සහිත ජංගමයා විදිහට සලකන්නෙත් Ericsson T39 කියන ෆෝන් එක නමුත් තවත් සමහරු Ericsson R520M එක කියලත් වාද විවාද කරනවා. ඒ කොහොම වෙතත් බ්ලූ ටූත් තාක්ෂණය අද වෙනවිට දුරකථන වල විතරක් නෙමෙයි කාර්, පරිගණක ඇතුළු තවත් ස්මාර්ට් උපකරණ රාශියක භාවිතා වෙනවා.

කැමරා ෆෝන් ගැන කතා කරනකොට 1999 – 2002 දී විතර කාලෙ ඉඳන් මේ ගැන උනන්දුවක් තිබිල තියනව, නමුත් පළමුවෙනි කැමරා ෆෝන් එක මොකක්ද කියල කවුරු හරි ඇහුවොත් ෂුවර් නෑ කියල තමයි කියන්න වෙන්නෙ. හේතුව මේ සඳහා පාර්ශව කිහිපයක්ම අයිතිවාසිකම් කියන නිසා.

සමහරක් උදවිය කියනවා 1999 මැයි මාසෙ ජපානෙන් එළි බැහැපු “ක්යෝසේරා VP-210” (Kyocera VP-210)  තමයි මුල්ම එක කියල, තවත් සමහරක් උදවිය කියන විදිහට “සැම්සන්ග් SGH-V200” (Samsung SGH-V200) , ඒකට එකඟ නොවෙන අය කියනවා නෑ .. නෑ .. “ශාප් J-SH04” (Sharp J-SH04) තමයි පළමුවැනි එක, ඒ එක්කම තවත් කාණ්ඩයක් “සැන්යෝ SCP-5300” (Sanyo SCP-5300) ගැන කියනව.

දැන් පේනවනේ තියන ප්‍රශ්නෙ ? කවුද එක කියල තවම තේරුනේ නැතත් ඔය කියන තුන් හතරගොල්ලම බොහොම කිට්ටුව කැමරා ෆෝන් හදාපු බව නම් සහතිකව කියන්න පුළුවන්.

ඔය කියපුවායින් දෙකක් “ක්ලෑම් ෂෙල්” (Clam Shell Phone) වර්ගයේ ෆෝන් එහෙමත් නැතිනම් පියළි දෙකේ මුහුදු සිප්පියෝ වගේ ඇරෙන වැහෙන ජාතියේ ඒවා, මේ ජාතියේ ජංගමයෝ පාවිච්චි කරන්න කිසිම පහසුවක් නොතිබුණාට ඒ දවස් වල ඔය ජාතියට පුදුම ඉල්ලුමක් නෙව තිබුණේ 🙂

මේවට “ෆ්ලිප් ෆෝන්” (Flip Phone) කියලත් කිව්ව, නමුත් ඕව පාවිච්චි කරද්දී හදිස්සියට අරින්නයි වහන්නයි දඟලන්න වෙනකොට තියන කරදරය නිසා කණ්ඩගේ නම් කිසිම කැමැත්තක් තිබුනේ නැහැ මේ ජාතියේ ෆෝන් ගැන.

ඔය කැමරා ෆෝන් එකක් තියා නිකං කැමරාවක් වත් තිබ්බේ නැති කණ්ඩ ඕව අමතක කරලා තමන්ට තිබුණු ජංගමය එක්ක තකට තක වගේ හිටියට අනිත් හැම දේම වගේ “පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා” කියල කතාවක් තියනවනේ.

ඉතින් ටික කාලයක් යනකොට ජංගමයගෙ නවතාවය නැති වුණු නිසාදෝ කාර්යබහුලත්වය එක්කම ඒ කෙරෙහි තියන ඇල්ම බැල්ම සැලකිල්ලත් ටික ටික අඩු වුණා කියලයි මට හිතෙන්නෙ.

ඔය නිසාම තමයි දවසක් බස් එකේ හාමිනේව (හාමිනේ කිව්වට ඒ දවස් වල උන්දැ හාමිනේම නෙමෙයි “වෙන්ට හාමිනේ” හෙවත් ගෑල්ළමය :)) හම්බ වෙන්න යනකොට සාක්කුවේ දාගෙන ගිය ජංගමය හිටි අඩියේ අතුරුදහන් වුණේ. කවුරුවත් ෆෝන් එක සාක්කුවෙන් අරගත්තද ? වාඩි වෙනකොට වැටුණද ? කියන එක අද වෙනකම්ම නොවිසඳුණු අභිරහසක්.

ඒ වගේම අමතක නොවෙන දෙයක් තමයි එදා ගමන කණ්ඩ තනියම නෙමෙයි හාමිනේව හම්බ වෙන්න ගියේ, එදා තමයි කණ්ඩලෑ මලය තමන්ගෙ අනාගත නෑනණ්ඩියව අඳුර ගත්තෙ. අන්තිමේදි එදා මලටය අනාගත නෑනණ්ඩිව හම්බ උනාට මලයගෙ අයියණ්ඩියට මල් කඩන්න ෆෝන් එකක් නැති උනා.

ෆෝන් එක නැති වෙලා පැයක් ඇතුළත වගේ ආයෙත් කිහිප වතාවක් කෝල් අරගෙන බැලුවත් ඒ වෙනකොටත් ගත්තු මනුස්සය ෆෝන් එක ඕෆ් කරලා තිබුණ නිසා වැඩක් වුනේ නැහැ.

ඒ දවස් වල පොළීසියේ පැමිණිල්ලක් දැම්මත් එතැනින් එහා වැඩ කටයුතු පස්සේ පන්නන්න වෙලාවක් නැති නිසා ගත්තු එකාගෙ මෑණියන්දෑ ඇතුළු නෑදෑ සනුහරේටම නිවන් දකින්න තරම් ඇති වෙන්න පින් අනුමෝදනා කරලා ෆෝන් එක ගැන ආසාව අත ඇරලා දැම්ම.

වර්තමානයේ නැතිවුණු ජංගම දුරකථනය හොයා ගන්න විදිහ ගැන පැහැදිලි උපදෙස් සිරි ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිසම මගින් ප්‍රසිද්ධ කරලා තියනවා , ඒ දවස් වල නම් එම ගැන විස්තර හොයා ගන්න බොහොම අමාරු වුණා.

දැන් විස්තර තියෙන බව ඇත්ත නමුත් අපේ පොලිසියේ සහ ආණ්ඩුවේ කන්තෝරු වල වැඩ කටයුතු බොහොම කාර්යක්ෂම නිසා පැමිණිල්ල දාල කල්පයක් විතර ගිහින් මෛත්‍රී බෝධිසත්වයෝ පහල වෙන කාලය වෙනකොට හොරයි අයිතිකාරයයි දෙන්නම පන පිටින් හිටියොත් ෆෝන් එක හොයා ගන්න බැරි වෙන්නේ නැහැ.

අපිට යමක් නැති වෙන්නම ඕනනේ ඒ දේ ගැන වටිනාකමක් දැනෙන්න, ඒකත් තමන් අමාරුවෙන් හරි හම්බ කරලා අර ගත්තු දෙයක් නම් ඒ හිතේ අමාරුව තවත් වැඩියි. එනිසා ෆෝන් එක නැති උනාට පස්සේ කණ්ඩ හරියට “නයා මැරිච්ච අහිකුණ්ඨකය” වගේ.

“සියලු දේ නැසෙන සුළුය” කියල බණ පදයක් මතක් කරගෙන හිත හදා ගත්තත්, මල් කඩන එක මොහොතකට අමතක කරත් හදිස්සියට පණිවිඩයක් එහෙම දීගන්න බැරි උනහම නිකං හරියට අවුරුදු දහයක් ආපස්සට ගිය ගානයි.

කන්තෝරුවෙයි ගෙදරයි ඒ වෙනකොට දුරකථන වලට පිං සිද්ද වෙන්න වැඩේ ගොඩ දාගත්තත් ආපහු පරණ පුරුදු තත්වෙට වැටුන නිසා කණ්ඩලෑ කොම්පැනියේ දුරකථන බිල වෙනදාට වඩා වැඩි උනාට සැකයක් නැහැ.

මේ වෙනකොට කණ්ඩ පරිගණක ඉංජිනේරුවෙක් විදිහට පුහුණුවීම අවසන් කරල, තරමක් අත්දැකීම් ලබාගෙන තිබුන කාලෙ, ඔය දවස් වලම තමයි අපේ කොම්පැනියෙන් ජංගම දුරකථන මෘදුකාංගයක “ප්‍රොටෝටයිප්” (Prototype) එකක් එහෙමත් නැතිනම් මූලාකෘතියක් හදන්න අවශ්‍යතාවයක් ආවෙ.

මේ කාලේ වෙනකොට කණ්ඩ නමට පරිගණක ඉංජිනේරුවෙක් උනත් “ක්ලීන් සූට් එම්ටි පොකට්” (Clean Suit Empty Pocket) නිසා හදිසියේම ආපහු ජංගමයෙක් ගන්න බැරිව ලත වෙවී හිටියට හදිසියේම නොහිතපු විදිහට ජැක්පොට් එකක් ඇදුන කලින් කියාපු ව්‍යාපෘතියත් එක්කම.

ඒ වෙන දෙයක් නෙමෙයි පැවරිච්චි මෘදුකාංග නිර්මාණය සඳහා අත්‍යවශ්‍ය දෙයක් වූ ස්මාර්ට් ජංගමයෙක් කණ්ඩට ලැබීම. නමුත් ඒ දවස් වල අපි මේකට “ස්මාර්ට් ෆෝන්” කියල කිව්වේ නැහැ, ඒක මෑතකදී ජනප්‍රිය වෙච්චි පදයක් නෙව.

එදා ඒ වෙනුවට පාවිච්චි වුණේ PDA හෙවත් “පර්සනල් ඩිගිටල් ඇසිස්ටන්ට්” (Personal Digital Assistant) යන නම, ඒ ඇරෙන්න තවත් සමහරු මේකට “පොකට් PC” (Pocket PC)  කියලත් කිව්ව.

මේ තමයි කණ්ඩ හා හාපුරා කියල පළමු වතාවට ස්මාර්ට් ෆෝන් එකක් වගේම කැමරා ෆෝන් එකක් පාවිච්චි කරපු අවස්ථාව, ඒ හන්ද පොඩ්ඩක් විතර “කණ්ඩා කොළඹ ගියා වගේ !” ගතියක් නොදැනුනාමත් නෙමෙයි.

නමුත් ෆෝන් එකේ තිබුණ මෙහෙයුම් පද්ධතිය හෙවත් OS (Operating System) එක අපේ පරිගණක වල තිබුණු “ජනේල” (Windows ~ වින්ඩෝස්) වගේම නිසා පාවිච්චි කරන හැටි ඉගෙන ගන්න වැඩි අමාරුවක් උනේ නැහැ.

මේ ජංගමයගෙ “ටච් ස්ක්‍රීන් “(Touch Screen) එකක් තිබුණ නිසා ඇඟිල්ලෙන් කොටන්න බැරි කමක් නැති උනත් අද තියන ස්මාර්ට් ජංගයන්ගෙ වගේ ඔබන්න පහසු “ඔන් ස්ක්‍රීන් කී බෝර්ඩ්” (On Screen Keyboard)  එකක් නොතිබුණ පාඩුව මකන්නයි කුරුටු ගාන්න පහසු වෙන්නයි “ස්ටයිලස්” (Stylus) හෙවත් අඳින කූරකුත් තිබුණ.

 

ඒ වගේම අකුරු පුවරුවක් නැතිවම බැරි පරණ තාලෙ උදවියගෙ පාලු මකන්න පිටින් අමුණන්න පුළුවන් යතුරු පුවරුවකුත් (Add-on Keyboard) මේ ජංගමයට තිබුණත් එහෙම එකක් අපිට හම්බ වුනේ නැති නිසා ඉතින් ඇඟිල්ලෙයි ස්ටයිලස් එකෙයි පිහිට තමා.

ෆෝන් එකක් දුන්න කිව්වට තියා ගන්න සින්නක්කරම දීපු දෙයක් නෙමෙයි, අපේ කණ්ඩායමට වැඩේ ඉවර වෙනකම් තාවකාලිකව හම්බ උන දෙයක්. නමුත් ඒ වෙනකොට ෆෝන් එකක නැතිව වැලේ වැල් නැතිව හිටපු කණ්ඩ මේක තමන්ගේ තනි භුක්තියට සවි කරගත්ත.

ඒකෙන් මාස කිහිපයකට හරි ජංගමයෙකුගේ අඩු පාඩුව පිරිමැහුණ එක වෙලාවේ හැටියට ලොකු දෙයක්, නමුත් මං ඒ වෙනකොට සේවය කරපු Q – කොම්පැණියේ මගේ කණ්ඩායමේ සගයෝ වෙච්චි “බඩා නොහොත් ලොකු පොල් මුදලාලි” නොහොත් ලක්මාල් සහ “Q – චිකී” නොහොත් ලක්මාලි දෙන්නම පර සක්වල ගහල කියල හිටියෙ කණ්ඩට PDA එකක් දුන්නු එක තඹ සත පහකට වැඩක් නැති දෙයක්ය කියල.

කණ්ඩගේ තකතීරුකමට ඇයි කියල මුන් දෙන්නගෙන් ඇහුවම පොල්ලෙන් ගැහුව වගේ කියපි “මෝඩයෙකුට” PDA එකක් දුන්නු පලියට ඌ ස්මාර්ට් වෙන්නේ නැහැලු !

නෙදකින් මේ වගේ අපාය සහායකයෝ ටිකක්, අපරාදේ නාස්ති කරපු මගේ වචන ටික **~(^*&@&^$%# !!! 😦

Intel Inside Idiot Outsideටිකක් හිතට අමාරු නමුත් උජාරුවෙන් ස්මාර්ට් ෆෝන් උස්සගෙන යන ඇතැම් උදවිය දිහා බැලුවම ඒ කතාවෙත් ලොකු ඇත්තක් නැතුව නෙමෙයි 🙂

ඒ එක්කම මට මතක් උනේ පරිගණක ප්‍රචලිත වීගෙන එන දවස් වල “ඉන්ටෙල්” (Intel) සමාගමේ “ඉන්ටෙල් ඉන්සයිඩ්” (Intel Inside) ඇඩ් එක කවුදෝ ඇම්ඩෙක් “ඉන්ටෙල් ඉන්සයිඩ්, ඉඩියට් අවුට්සයිඩ්” (Intel Inside, Idiot Outside) කියල නොපිට පෙරළපු හැටි 😀

කණ්ඩටමේ හම්බ වෙච්චි ෆෝන් එක HP iPAQ h6300 වර්ගයේ එකක්වින්ඩෝස් මොබයිල් (Windows Mobile) කියන ඔපරේටින් සිස්ටම් එක යොදා ගත්තු එකක්, මේ ෆෝන් එකට එතරම් ඇප්ස් තිබුනේ නැති උනාට සෑහෙන්න හොඳ ෆෝන් එකක්.

නමුත් මතක විදිහට වටිනාකම ඒ දවස් වල හැටියට රුපියල් ලක්ෂයකට කිට්ටු ගාණක්, කොටින්ම හය මාසෙකටත් එහා පඩිය. එහෙව් එකේ මේ ෆෝන් එක කණ්ඩ පාවිච්චි කරේ බොහොම බයෙන්. කලින් එක වගේ අන්තරස්දහන්

වුණොත් මොන දෙයියන්ට කියන්නද ? මගේ දෙයක් නම් තව කමක් නැහැ, නැති උනොත් එහෙම උනොත් කවද ගෙවල ඉවර කරන්නද ?

ඒ වෙනකොට අපේ “ටෙක් ලීඩ්” (Technical Leader) විදිහට හිටපු අසංග අයිය නම් බොහොම කාරුණිකව කිව්වේ “ඕක නැති කර ගන්න නම් එපා පුතෝ, ආපහු ගෙවන්න නම කියන්න බැරි දේවල් උගස් තියන්න වෙයි !” කියල 🙂

අපිට දුන්නු ව්‍යාපෘතිය අතරමග ඇණ හිටියත් හැමෝටම ෆෝන් එක අමතක වෙලා තිබුන නිසා ආපහු ජංගමයෙක් ගන්නා තුරුම අවුරුද්දකට කිට්ටුව මේ PDA එක කණ්ඩගේ භුක්තියට සවි වෙලා තිබුණ.

අන්තර්ජාලයට පිවිසෙන්න හැකි වෙබ් බ්‍රව්සරයක්, ඊ-මේල්, කැමරාවක්, PDA වලටම හදාපු “මයික්‍රොසොෆ්ට් පොකට් – ඔෆිස් ” (Pocket Office) මෘදුකාංග වගේ ඒ වෙනතෙක් කණ්ඩා ජංගමයෙක්ගෙ අත්දැකල නොතිබුණ බොහෝ දේවල් මේ ජංගමය නිසා අත්හදා බලන්න හැකි වීම ඒ දවස් වල හැටියට බොහොම ලොකු දෙයක්.

අපේ යාළුවෝ කියන විදිහට නං ඕං ඔහොම තමයි ඒ වෙනකං මෝඩ කණ්ඩෙක් තාවකාලිකව හරි ස්මාර්ට් කණ්ඩෙක් බවට පත් වුණේ !

~ මතු සම්බන්ධයි !

පසු ගිය ලිපි :

ජංගම සමයන් ~ 4 කොටස ~ මල් කැඩිල්ල සහ මෝබයිල් !

ජංගම සමයන් ~ 3 කොටස ~ ගඩොල් බාගෙන් සාක්කුවට !

ජංගම සමයන් ~ 2 කොටස ~ ජංගම මාටිං සහ අපේ ගඩොල් බාගෙ !

ජංගම සමයන් ~ 1 කොටස ~ ජංගමයා !

Advertisements