Mercedes SL300 Gull Wing 7

Dubai International Motor Show – 2017

ඔන්න එහෙනං උපාසක මහත්තුරු කාණ්ඩෙම ටිෂු පෙට්ටියක් ලේන්සු කෑල්ලක් එහෙම ළඟට අරගෙන ලෑස්ති උනා නම් පෙරෙන කඳුළු වගේම බේරෙන කෙළ හත් පට්ටේම පිහිදාගන්න. ඇයි කියල තේරෙයි කියවගෙන පල්ලෙහාට යනකොට 🙂

මෝටර් රථ ප්‍රදර්ශන සහ කාර් පිස්සන් ලෙහෙසියෙන්ම සමාන කරන්න පුළුවන් බළලුන් සහ උන් පිස්සු වට්ටන කුප්පමේනියා වලට. කාර් සම්බන්ධයෙන් කවදත් උපාසක බළලෙක් වෙච්චි කණ්ඩට පසුගිය සතියේ කුප්පමේනියා වලින් අහේනියක් තිබ්බේ නැති බව කියන්න බොහොම සතුටුයි.

ඒ පහුගිය සති අන්තයේ කණ්ඩා මායියත් එක්කලා ඩුබායි නුවර ලෝක වෙළඳ මද්දියස්තානෙ (Dubai World Trade Center) තිබ්බ කාර් ප්‍රදර්ශනයක් බලන්න ගිය නිසා, කණ්ඩ ගියා කිව්වට ඒ සාලාව ඇතුළට රිංගුව වෙලේ ඉඳන් කණ්ඩ නිකං බණ්ඩා කොළඹ ගිය ගානයි.

අපේ මායිය කණ්ඩ හාමිනේට වැඩ කෝටියයි, දොහින් දොහ සිහි කල්පනාව නැතිව එහෙ මෙහෙ දුවන, ඉඳහිටල ගිණි කණ වැටෙන කණ්ඩට අමතක වෙන දේවල් නිරන්තරේම සිහි කැඳවල දෙනව.

ලේන්සුවක් දෙන්නෙයි කට දෙපැත්තෙන් බේරෙන කෙළ පාරවල් පිහිද ගන්ට ?

හා  .. හා … ඔය බ්රේක් බුරුල් වෙච්චි මැස්සො එහෙම පව්, පරිස්සමිං දිව ඇතුළට දාං කට වහ ගත්තනං හක්ක පනින්න කලියෙන් ?

ඔහේ ඔය වාහනේ දිහාද බලං ඉන්නේ නැත්තන් ජම්බු ගෙඩිය වගේ රතට රතේ ඉන්න ඉසකුඩිච්චිය දිහාද ?

මොන පිස්සුද ඔය හාමිනේ අභූත චෝදනා කෙරුවට කොච්චර සුකුමාළ ගෑල්ලමයි හිටියත් ඕං කණ්ඩ නෙමෙයි ඒ දිහා ඇහැක් ඇරලා බැලුවෙ. බොරු නෙමෙයි අල්ලපා ඇත්ත, ගත්තු තරමක් පින්තුර හිටං අර ගත්තේ ඔය කියාපු ගෑල්ලමයි එහෙට මෙහෙට වෙනකං ඉඳල !

ඒ අස්සෙම කමල් පාලිත සයිකල් රේස් පදිනකොට අවුරුදු උත්සවේ ස්ටේජ් එකේ ඉන්න උන් විස්තර ප්‍රචාරය දෙනවවගේ හයිලයිට්ස් පැකේජ් එහෙකුත් හම්බ වෙනව හාමිනේගෙන්.

ඉන් වැඩි හරියක් අර වාහන හතර වටේටම ජම්බෝල වගේ දිලිසි දිලිසි ඉන්න හුරුබුහුටි ගෑනු දැරිවියො ගැන :

අම්මප ඔය වියතක් දිග නැති ගවුන් කොටේ ඇඳගෙන හදිස්සියකට නැවෙන්නෙවත් කොහොමද ? සබ්බ සලකමනාවම එළියෙ නොවැ !

හප්පේ ඔහොම හිරට ඇඳලා කොහොමෙයි ඉන්නෙ, මුවහත් තියන දෙයක් හෙම ලඟින් ගියොත් පුපුරනව ?

අර එක වාහනයක් වටේ හය දෙනෙක් කරකැවෙන්නෙ මොකටද මන්ද ? වෙන වැඩ නැත්තං හොඳයි !

ඒ අල්ල පනල්ලේම ඉඳල හිටලා හාමිනේ කණ්ඩට පපුවේ අමාරුව හැදෙන, එළොව පොල් පේන කතන්දරත් කියනව.

AMG GT Roadster with Hamineඅනේ “බබා” අපිත් මෙයිං එකක් ගම්මු ? කියන ගමන් හාමිනේ අමාරුවෙන් ඇඹරිලා සීට් දෙකේ කාර් එහෙකට රිංගුව, හුටා මේ මොන මරාලයක්ද මේ ? ඒක AMG GT Roadster වර්ගයේ දරුණු එකක් !

කැහ් … හප් .. අහ් … කණ්ඩට ඉහමොළ රත්වෙලා හුස්ම හිර වෙච්චි පාර ළඟ පාත හිටිය දෙකේ හතරෙ හාදයෙක් පිටට තඩි බෑව හන්ද යන්තං මැරෙන්නෙ නැතුව පණ නළ රැකුන.

තරුණ ජිවිතයක් බේරපු නම නොදන්නා ඒ හාදයට කණ්ඩගේ හද පිරි ප්‍රමාණය !

කණ්ඩට හාමිනේ ආමත්‍රණය කරන අටෝරාසියක් හුරතල් නම් අතරින් “බබා” කියල ඇදල පැදලා දෙයක් පටන් ගත්තොත්, කණ්ඩ අනිවාර්යෙන්ම දන්නව එන පොට හොඳ නෑ කියල.

දැන් මොන දහං ගැටයක් ගහල හරි මේ උගුලෙන් ගොඩ එන්නත් එපායැ, කණ්ඩත් අත ඇරියේ නෑ උණ්ඩුක පුච්චය පාවිච්චි කරලා ඇඹරුව හොඳවයින් එකක්.

අපෝ ඔව්ව හරි නැහැ මැණික, මහා ලෙඩ ගොඩවල්, බලන්න අඩුගානේ සීට් හතරක්වත් තියෙනවද ?

චික් විතරක් ඩිකියෙ සයිස් එක හරියට නිකං කිම් කරදාසියන්ගේ ප්ලාස්ටික් පුයන්න යන්න  වගේ !

මං අහන්නේ කවුද කැමති ඒ වගේ දොන්ත පතං එහෙකට ?  තුහ් විතරක් … !

ඒ මදිවට බලන්න මැණිකෙ මේකෙ උඩ කොටහ රැහැල දාපු තැඹිලි ගෙඩියක් වගේ, හදිස්සියට වැස්සොත් බේරෙන්නවත් විදිහක් නෑ !

තෙමිලා නැවතුනොත් ඇති වතුර රැඳුනොත් ඩෙංගු මදුරුවො බෝවෙන්නත් ඉඩ තියනව, ලේසි නෑ !

අනික ඒ නැතත් වහලක්වත් නැති මේ කාර් බාගෙන් ගිනි ගහන අව් කාස්ටකේ ගියොත්, සුදුවට ඉන්න ඔහේ හොඳටොම කළු වෙයි, ඊට පස්සෙ අම්මගෙන් බැනුම් අහන්න වෙන්නෙත් මටම තමා දෝණියන්දව රැක බලා ගත්තෙ නෑ කියල !

ඕක අල්ලලා දාන්න මයෙ පණ, මැණිකෙට මම කිරි ටෝයිය වගේ අලුත්ම අලුත් දිලිහෙන ඇල්ටෝ එකක් අරන් දෙන්නං ඊළඟ වතාවෙ !

යාන්තං කණ්ඩ හාමිනේවත් ආම්බන් කරගෙන පවුල් සංස්ථාවත් රැකගෙන ඉස්සරහටම ගියා 😀

එහෙම යනකොට තමයි කොහේදෝ මුල්ලක තිබිල කාර් රේස් වීඩියෝ සෙල්ලම් කරන්න දෙන තැනක් හාමිනේ හොයා ගත්තෙ, නරක නැහැ වාහනේක වගේම පුටුවක හරි බැරි ගැහිලා සැපට වාඩිවෙලා, ඉස්සරහ තියන සුකානමෙන් වාහනේ මෙල්ල කරගෙන රේස් එකෙන් දිනන්න තමයි තියෙන්නෙ. එක පාර දහ දෙනෙකුට තරඟෙට ඉන්නත් පුළුවන්.

කණ්ඩ හාමිනේව කොහොම හරි තල්ලු කරලා ඇරිය සෙල්ලම් කරන්න, මම ගියේ නැහැ මට ලයිසොම් නැති නිසා. බුරුවො හත් දෙනෙක්ගෙ වයස උනාට උන්දැ තවමත් හරි මනාපයි ඔය වීඩියෝ සෙල්ලම් වලට. මම පස්සට වෙලා බලාගෙන හිටිය සෙල්ලම ඉවරවෙනකොට හාමිනේ ලැයිස්තුවේ අනිත් පැත්තෙන් තුන.

Hamine & Video Gamesපළමුවෙනිය උනේ බටු ඇට දෙහෙක විතර උස තියන කෙළි පොඩ්ඩක්, කෙල්ලගෙ අක්කණ්ඩි දෙක, හාමිනේ තුන, ඉතිරි කට්ටිය ඒ තරම් වැදගැගම්මක් නැහැ. නමුත් ලැයිස්තුවේ අනිත් කොනේ හිටපු උදවියට තෑගිත් හම්බ උනාද කොහෙද 😀

ඔය පහළින් දාල තියෙන්නෙ මුළු ප්‍රදර්ශනේටම තිබුණු හොඳම කාර් කිහිපය, මේ කුටිය දාල තිබුණේ මර්සිඩීස් කොම්පැනියට පාරවල් වල දුවන රොකට් යන්තර හදන්න උදව් වෙන බරබ්බස් (Brabus) කොම්පැණියෙන්.

අර කතාවට කියනවා වගේ පුළුවන්කමක් තිබ්බ නම් අම්මප යකාට ආත්මය උගස් තියලා හරි එකක් නෙමෙයි හතර පහක්ම අර ගන්නවා, ඒත් ඉතිං “පූරුවෙ කළ පිං අපිට කොයින්දා ?” 😦

මෙතන තියන මර්සිඩීස්-බෙන්ස්  SL 300 “මූදු ලිහිණි මොඩල් එක හෙවත් ගල් වින් සහ ඕපන් රෝඩ්ස්ටර් කූප්” දෙක (Gull Wing & Open Roadster Coupes), SE 280 3.5 වගේම මර්සිඩීස්  600 පුල්මන් ලිමෝ  එකත් “0” කිලෝමීටර් වාහන.

ඒ කියන්නේ දැනට හැට අවුරුද්දකට කලියෙන් පැට්ටේරියෙන් එළියට දාපු විදිහටම අලුත් වැඩියා කරලා  තියං ඉන්නවා, අම්මපා මේ වාහන වල ටික දැක්ක වෙලේ ඉඳන්ම කණ්ඩගෙ හඳුන්පොත කී ගානව.

මේව්ව මොටර් ෂෝ අහේනිය දවස් වල ඩුබායි බ්‍රාබස් (Brabus) ප්‍රදර්ශනාගාරයෙලු තියෙන්නෙ. ආ … එකෙන් මේකෙන් කියන්න අමතක වුණා මේ විස්තර කිව්වේ එතන හිටපු අක්‍රම් කියල එතන වැඩ කරන අපේ සිරි ලංකාවෙ මලයෙක්. මිනිහ ඇතුගල්පුරේ හාදයෙක් කිව්ව, මේ විස්තර දුන්නට උන්දැට බොහොම පින්.

මම ඉතින් පිස්සුවෙන් වගේ පින්තූර අරගෙන ඉවර වෙලා මිනිහත් එක්ක ආයෙත් පොඩි කතාවක් දැම්ම. හරි හොඳ කොල්ල, මිනිහ දිගටම කියවගෙන යනවා :

අයියෙ මේක දිරාම් ලක්ෂ 1-2 ක් විතර වෙනව, ඔය ඉගිල්ලෙන්න වගේ තියන එක අඩුම ලක්ෂ 8 -10 ක් විතර ඒ ජාතියේම රතු එක ….  අර අතන තියන …

එතනින් එහාට කියපුව මට වැඩිය ඇහුනෙ නැත්තෙ පොඩ්ඩක් විතර ඔලුව කැරකැවෙන්න අර ගත්තු නිසයි.

මොනවා කොරන්නද “මෙවන් අසිරිමත් රථාසනයන්ගේ පහස ලබන පශ්චාත් භාගයෝ නිසැකයෙන්ම පෙර පිනැති භාග්‍යවන්තයෝය !” කියල නූතන “මර්සිඩීස් පදයක්” කියල හිත හදා ගන්ට තමයි තියෙන්නෙ.

මේ වාහන පරිස්සං කරන්න සෑහෙන්න වෙහෙසක් ගන්නවා බරබ්බස් කොම්පැනියෙ ඈයො. කොටින්ම අපිව පෝලිමක හිටෝලා තියල ප්‍රදර්ශන කුටියට ඇතුළු කර ගත්තෙත් එල්ලගෙන හිටපු එහේ මෙහේ වදින්න පුළුවන් බඩු භාණ්ඩ, බෑග් මළු ඔක්කොම පැත්තකින් තියල.

මේ යකඩ ළමිස්සියෝ ටිකට කණ්ඩ කොයි තරං නම් වසී වෙලා හිටියද කියනවා නං ඒ වෙලාවේ ගමන් මළු නෙමෙයි ඇඳුම් ගලෝල යන්න කිව්වත් හා කියන තත්වෙක හිටියෙ.

නමුත් ඔය අස්සෙත් එක පකිස් බූරුවෙක් කාගෙත් ඇස් වහල ලිමෝ එකට රිංගුව කියන්නෙ අයිබෝවන්ඩ. කණ්ඩට යස්ස කේන්තියි, වෙන එහෙකට නෙමෙයි තමන්ට බැරි වෙච්චි එක ගැන ඉරිසියාවට.

උගේ වාසනාවට කණ්ඩ විතරයි දැක්කෙ මේ සංගදිය, අහු උනා නම් බෙල්ලෙන් අල්ලලා දොට්ට දානවා. හැබැයි මටත් හිතුන පොලීසියට අල්ලලා දුන්නත් අර කුරුළු පිහාට්ට වගේ බොහොම වටකුරුවට තියෙන යාත්තරාවට රිංගන්න.

දොරවල් දෙක ඇරපු අතක් නෑ අත්තටු දෙකක් වගේම තමයි, මං නං කියන්නෙ ඕකට රෝද හයි කොරාට රොකට් පැට්‍රෝල් ගැහුවා නං ටක්කෙටම පියාඹන්නත් පුළුවන් වෙන්ටෝන.

මේ විස්තරේ මම කාර් පිස්සට යැව්වට පස්සෙ මිනිහ හොයා ගත්ත මේ වාහන වල අල ගිය මුලගිය තැන් “ටොප් ගියර්” (Top Gear) මැගසින් එකේ තිබිල. මේ ඒ ගැන වැඩි දුර විස්තර.

Dubai International Motor Show Picture Gallery පැය හතරකට කිට්ටු වෙන්න රවුම් ගහපු අපි දෙන්න ඩබොල කාගෙන්වත් ගුටි නොකා, හාමිනේවත් සන්තෝසෙන් තියාගෙන යහතින් ගෙදර ආව. දැන් ගත ගෙදර උනාට හිත තාම කාර් එක්ක, දවස් කිහිපයක් යනකම් ඉතින් ඔහොම තමයි.

ඕනෑම දෙයක් බදං කනකොට නෙමෙයි බෙදං කනකොට තමයි රහ, ඒක මම හැමදාම විස්වාස කරපු අත් දැකීමෙන් දන්නා දෙයක්.

කණ්ඩා විසින් අනේකව රස විඳින්නට යෙදුණු ඒ සතුට බෙදා හදා ගන්ට, සකල දේස වාසී සිරි ලාංකික කාර් පිස්සන්ගේ ලාම්පු සංවේගය උදෙසා ඔන්න දැම්ම පහලින් පින්තුර ඔක්කොම.

ඔය පින්තූරෙ උඩ හරි ලිංකුවට හරි කෙටුවොත් මුළු පින්තූර පොතම බලා ගන්ට පුළුවන් :

~ මෝටර් රථ ප්‍රදර්ශනයේ පින්තුර පොත ~

 

 

පෙර ලිපි :