The Barking Dog

බුරන ස්ටේසම සහ දැවැන්තයෙක් හමුවීම !

ලිච්ෆිල්ඩ් (Lichfield) සිට නගරාන්තර දුම්රියකින් ලන්ඩන් යුස්ටන් (London Euston) වෙත පැමිණි අප ඉන් අනතුරුව ටියුබ්” (Tube) හෝ අන්ඩග්‍රවුන්ඩ්” (Underground) ලෙස හඳුන්වන නගරය ඇතුලත දිවෙන මෙට්‍රෝ දුම්රියකට ගොඩවීමු.

විනාඩි 30 – 40 ක ගමනක අවසානයේ දුම්රිය පොළ කිහිපයකින් මාරු වී ගමනාන්තය වෙත ලඟා වෙද්දී අප මිතුරියගේ සැමියා අප එන මග බලා සිටි බැවින් අපගේ දුම්රිය ගමන එතෙකින් නිමා විය.

සතියක් පුරා සුද්දාගේ කෑම බීම වලින් හෙම්බත්ව සිටි අප දෙදෙනා හට කටට රහට ලංකාවේ කෑම වේලක රස බලන්නට ලැබුණේ හාමිනේගේ මිතුරිය වන උස එකීත් ඇගේ මවටත් පින්සිදු වන්නටය. ඒ ගැන ඔවුන් නොසෑහෙන මහන්සියක් ගෙන තිබුණු බව කොකියාම බැරිය.

ආගත්තුක සත්කාරයට ලැදි මේ උදවියගේ නිවසේ රැය පහන් කළ අපි පසුවදා දෙවන වරටත් බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ගොඩ වදින්නට තීරණය පසුගිය වර කළේ චීන ආක්‍රමණයක් නිසා අතපසු වූ ප්‍රදර්ශන ගැලරි කිහිපය දැක බලා ගැනීමටය, වෙනදාට තනියම කෞතුකාගාර බඩ ගාන අපගේ පාළු මකන්නට මෙවර හාමිනේගේ මිතුරිය වන උස එකීද එක් වූවාය.

කණ්ඩා කෙසේ වෙතත් ගෑල්ළමයින් දෙදෙනා (හෙවත්ඇන්ටිලා 🙂 ) කෞතුකාගාරය නැරඹීමටත් වඩා ආගිය තොරතුරු කතා බහට (OPDP) වැඩි වෙලාවක් වෙන් කරන බව පෙනුණත් ඉන් කණ්ඩාට වැඩි නිදහසක් ලැබුණු බව කියන්නට ඕනෑය. එනිසා ඒ සම්බන්ධයෙන් කණ්ඩාගේ කිසිඳු මැසිවිල්ලක් නැත 🙂

කලින් වර සංචාරයේදී අප මුහුණ දුන් චීන වසංගතය මෙවර කෞතුකාගාරයේ දක්නට නොවූ බව කියන්නේ අප්‍රමාණ සතුටිනි, එනිසා ඉතා නිවී සැනසිල්ලේ ඇමරිකානු රෝම, ග්‍රීක සහ අප්‍රිකානු ප්‍රදර්ශන කුටි හිතේ හැටියට නැරඹීමට අපට ඉඩ කඩ ලැබුණි.

බ්‍රිතාන්‍ය කෞතුකාගාරය නැරඹු ඇතැම් දෙනා නිතර පවසන දෙයක් වන්නේ වෙනත් රටවල් වලින් කොල්ල කා ගත් පුරා වස්තූන් නැවතත් නියම අයිතිකරුවන් වෙත ලබා දීමට සිදු උවහොත් කෞතුකාගාරය මුළුමනින්ම පාහේ හිස් වනු ඇති බවය. ඒ ඔවුන්ගේ ඉතිහාසයට වඩා වෙනත් රටවල සහ පැරණි ශිෂ්ඨාචාරයන්ගේ කෞතුක වස්තු ප්‍රදර්ශනය සඳහා විශාල ඉඩක් ලබා දීම නිසයි.

කණ්ඩා බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සිදු වුණු පුරාවස්තු මංකොල්ලය සම්බන්ධයෙන් තරමක් එකඟ උවත් වර්තමානයේ ඇතැම් මැද පෙරදිග, අප්‍රිකාව පුරා විසිරුණු වැදගත් පුරා විද්‍යාත්මකව ස්ථානයන්ට අත්ව ඇති ඉරණම ගැන සැලකූ විට මේ මංකොල්ලය වක්‍රව හෝ ඍජුව පුරා වස්තූන්ගේ ආරක්ෂාවට හේතු වී ඇති බව පිළිගන්නට මැළි වන්නේද නැත.

එමෙන්ම මෙම විදේශීය පුරා වස්තූන්ගෙන් තොරව කෞතුකාගාරයක් පවත්වාගෙන යාමට අවශ්‍ය දේ වලින් අඩුවක් බ්‍රිතාන්‍යට නැත, අප වැනි ආසියාතිකයන්ට සාපේක්ෂව එවන් දෑ ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ඔවුන් බෙහෙවින් උනන්දු වන්නේය.

සංචාරයට අමතරව මෙදා පොටේ රැජින ආත්තම්මාගේ රටට ගොඩ බැහැපු ගමනේ එක් අරමුණක් වූයේ බ්ලොග් රචකයන් අතරින් මාගේ ප්‍රියතම ලේඛකයකු වන “බෝග්කරුවන් හැමෝම දන්නා නමුත් නොදන්නා” හාදයෙක් හමුවීමයි.

මෙතෙක් කිසිදා මුණ ගැසී නැති නොතිබුණත් ඔහුගේ ලිපි බොහෝමයක් මා හිතට ඉතා සමීපය, අවංකත්වය ගැබ් වුණු ලිපි තුළින් ඔහුගේ අත්දැකීම් නැවත විඳින්නට හැකි වීම පිළිබඳ ඇත්තේ දුකත් සතුටත් එක්වුණු අමුතුම සම්මිශ්‍රණයකි.

අපගේ හමුව යොදාගෙන තිබුණේද කෞතුකාගාරයට ගොඩ වැදුණු දිනයේම දවල් වරුවේය, හාමිනේ නම් කිවේ වෙනදා කෞතුකාගාරයකින් ඇදගෙන මිස පිටතට ගන්නට බැරි කණ්ඩා එදා සිටියේ කෞතුකාගාරයෙන් පිටවන තෙක් නොඉවසිල්ලෙන් සිටි බවය.

අලුත් මිතුරන් හඳුනා ගෙන සෙට් වෙන්නට යද්දී උනන්දුව කොහොමත් එහෙමය, අනික පොත්පත් බ්ලොග් යනාදිය කියවීම කිසිසේත් ප්‍රිය නොකරන මතට තිත හාමිනේට ඕවා තේරුම් බේරුම් කරන්නට බැරි නිසා හොඳම දේ කට පියා ගෙන ඉන්නා එකය.

අපගේ හමුව යොදා ගත්තේ අප නැවතී සිටි පෙදෙසට කිට්ටුව පිහිටි බාකින්” (Barking) අන්ඩග්‍රවුන්ඩ් දුම්රියපොළහිදීය, නමේ හැටියටම තැන දරුණු නැත. අහල පහළ පේන තෙක්මානයක බලු රංචුවක් හෝ එවැනි සද්දයක්ද නැත. වෙන කවුරුවත් අපිට බුරාගෙන හපා කන්නට පැන්නේද නැත.

Barking Underground Stationඑනිසා මේ බාකින්එක බලු බාකින් එකක් නොවඑම්බාකින්“(Embarking) වැනි තේරුමක් විය යුතු යයි කණ්ඩා සිතුවේය, නමුත් හදිසි නිගමන වලට පනින කණ්ඩා නැවතත් වැරදිය.

පසු විපරමකින් දැන ගත්තේ එය පුරාන ඇන්ග්ලෝසැක්සන්”(Anglo-Saxon) බසින් බිඳී ලතින් බසට පැමිණි “බාකින්ගයි ” (Berchingae) යන පදයේ වත්මන් ස්වරුපය බවයි. එහි අරුත ගැන අදහස් කිහිපයක්ම ඇත, ඒ අතරින් වර්තමානයේ ළඟ පාතක එකදු බර්ච් ගසක් හෝ පෙනෙන්නට නොතිබුණත් ඉන් මා සිත් ගත්තේ බර්ච් වදුලේ ජනපදය” (Settlement by the Birch trees) යන්නයි.

දුම්රියපොළෙන් කඩිමුඩියේ යනෙන මගීන් දෙස උනන්දුවෙන් බලා සිටි අප වෙත එන සිනාමුසු මුහුණින් යුතු තනි රිදී පැහැති කොණ්ඩයක් සහිත උස මහත මිනිසා කොහේදී හෝ දැක පුරුදු ඇති බව කණ්ඩාට දැනුනි. ඒ වෙන කවුරුවත් නොව ඔහුම බවද කණ්ඩාට නිසැකය, එනිසා දෙවරක් නොසිතා අතට අත දී ආචාර කළේ හද පිරි සතුටින්මය.

මේ වෙනකෙක් නොව අරූගේ අඩවියේ අකුරු අමුණන අරූ ය, නමින් අරුණ පෙරේරා වන ඔහු අවුල්වන්නට පෙර අහවර කරන්නට ගත් ලියමන අවුලට පත්ව ලිවීමෙන් ඈත්ව සිටීම ගැන ඇත්තේ දැඩි කණගාටුවක්මුත් ඔහුව මුණ ගැසීමට අවස්ථාවක් ලැබීම භාග්‍යයක් ලෙස සලකමි.

එදා මිතුරිය සමග නිවස වෙත ගොස් අල්ලාප සල්ලාපයේ යෙදීමට හාමිනේ නොඉවසිල්ලෙන් සිටියත් කණ්ඩා අරූ එන තෙක් මුං ව රඳවා ගත්තේ මුංට අරූ ද, අරූට මුංද හඳුන්වා දීමට තිබුණු ආසාව නිසාමය. අචාර සමාචාරයෙන් පසු අප නඩය මද වෙලාවක් පිලිසඳරේ යෙදෙන විට මට සිහි වුයේ දැන හැඳිනුම් කමක් නැතත් අපගේ මිතුරියත් අරූගේ ගමේම ඇත්තියක් බවය.

සිරි ලංකාවෙන් ගව් ගණනක් ඈත සත් සමුදුරෙන් එහා නුහුරු රටකදී දෙල්කඳකට දෙල්කඳක් හමුවීමට ඇති සම්භාවිතාවය කෙතරම්ද යයි මම නොදනිමි, නමුත් එය අතිශය අහඹු සිදුවීමක් බව අමුතුවෙන් නොකිවමනාය.

අලුත් මිත්‍රයා වන මූට අරූ කියන්නට හිත දෙන්නේ නැතිය, එනිසා නිසි ගෞරවය දී අරුණ අයියා කියා ඇමතීම වඩාත් සුදුසු යයි කණ්ඩා කල් තියාම තීරණය කළ බැවින් ආමන්ත්‍රණය එසේම විය. නමුත් වැඩි විස්තර කතා බහේදී ඔහු හෙළි කළේ තරුණ වයසේ උදවිය ඔහුව හඳුනන්නේමචං අන්කල් කියා නිසා කොහොම ඇමතුවත් වැරද්දක් නැති බවය, නමුත් මචං අන්කල්ට වඩාඅරූ යන නම වඩාත් ගැලපෙන්නේ යයි මා පුද්ගලිකව සිතමි.

With Aruna Ayyaඅපේ හමුවීම මීටත් වඩා රසවත් වෙන්නට තිබුණේ පිස්සු කෙළින්නටම උපන් හාදයෙක් විය යුතු ටික්කාවත් අල්ලා ගන්නට පුළුවන් උනා නම්ය, ආරංචියේ හැටියට උගේ බොගේ ලියන කතන්දර වලට වඩා ටික්කා දැන් වෙනස්ය, ඒක කිව්වේ ඌ නිසා වැඩිය විශ්වාස ගන්නටත් බැරිය.

ටික්කා දැන් ලොකු ළමයෙක්ය, හොඳටෝම හැදිලාය ඒ ගැන අපිට අප්‍රමාණ සන්තෝසය  😀 😀 😀

කරුමයට ටික්කාව අපේ සංගමයට ඇද ගන්නට නොලැබුණත් නැවත හෙට දවසක එවන් අවස්ථාවක් උදා වේ යයි සිතමි, එමෙන්ම හමු වීමට නොහැකි උනත් දැඩි කාර්‍යබහුලත්වය මැද කිහිප විටක්ම මා ඇමතීම ගැන ටික්කාට ස්තුතිවන්ත වෙමි.

ගැහැණු ළමයින් දෙදෙනා හට නිවෙස කරා යාමට සමුදුන් අප බාකින් දුම්රියපොළ අසලම වූ පබ් එකකට වැදුනේ තිබහ නිවාගැනීමටත් සහ කතා බහ කරන්නටය. එහි නමත් අපුරුය ද බාකින් ඩෝග්” (The Barking Dog) හෙවත් බුරන බල්ලාය, ඒ නම තබන්නට ඇත්තේබුරන බල්ලෝ සපා නොකයි යන පදනමෙන්ද විය යුතුය 🙂

බීර සහ පේල් ඒල් එකකින් උගුර තෙමා ගන්නා අතර මා සන්ධ්‍යා වරුවට වෙනත් කිසි වැඩක් යොදාගෙන නොමැති බව දැනගත් අරූගේ ප්ලෑන වුයේ තව කිහිපදෙනෙකු සමගින් සෙට් වෙන්නටය.

අරූට මිතුරන්ගෙන් කිසි අඩු පාඩුවක් නැති බව මට නිසැකය, එනිසා බුරන බල්ලාට සමු දී ඔහුගේ මිතුරෙකුගේ ව්‍යාපාරක ස්ථානයකට ගොඩ වැදුණේ ඕනෑම දෙයක් තනියෙන් රස විඳිනවාට වඩා මිතුරන් සමග කිරීම සතුටක් දනවන නිසාය.

කෙටි කාලයකට උව දැන හඳුනා ගන්නට ලැබුණු අරූගේ සහ ඔහුගේ මිතුරු සංගමය මා දැඩි සේ රස වින්දෙමි. සතුටු සාමීචියට මෙන්ම සඳ තරණයට තමන්ගේ තැන අපේ තැන ලෙස භාවිත කරන්නට ඉඩ දුන් නම සඳහන් නොකරන මිතුරාටද අනපේක්ෂිත ලෙස රස කතා වැලක් අත්හැරිය රොහාන්වද ලෙහෙසියෙන් අමතක වන්නේ නැත.

අනුමත වීමෙන් පසු අප දෙදෙනා එදා කෑම කන්නට ගිය කින්ග්ස්බරි හංදියේ Mo’s නිසැකවම මගේ ජාතියේ කඩයක් බව කියන්නය ඕනෑය. එය පුහු පඩ නැති කටට රසට කන්නට හැකි තැනක් වීම ගැන මා බොහොම සතුටු වෙමි. තරු පහේ කඩ වලට වඩා වැඩකරන පන්තියේ උදවියට සලකන මෙවන් තැන් කණ්ඩා වඩාත් ප්‍රිය කරන්නේය.

MOs Restaurantරහදිවට නොදැනෙන සුද්දගේ කඩචෝරු ඇරෙන්න අපේ කඩයකින් කට සැරට රස බැටළු මස් කරියක් සමග කාලයකට පසුව ආප්ප සහ පරාටා ගිලින්නට ලැබීම ඉස්තරම්ය, ඩයට් ප්ලෑන් සහ හෙල්ත් චෙක් පසෙක තබා කැලරි කැරලි ගැසෙන්නට වෙනදාටත් වඩා බඩ පැලෙන්නට අඹරුවේ ඇඟ රත් කළපේල් ඒල්සහබීර (Pale Ale & Stout) සමග නොම්මර එකට කෑමත් ගැලපුන හන්දාමය.

ලබන සැරේ අපේ හාමිනේවත් ඇන්ට අරූ සහ නෝනා මහත්මයා (අරකි කියන්නට හිත හදා ගන්නට බැරිය) සමග Mo ව හමුවෙන්නට යන්ට බලාපොරොත්තුවක් ඇත. එතෙක් කල් ඉවසන්නට සිදුවන මුත් හොඳ දේ වෙනුවෙන් ඉවසිමෙහි ගැටළුවක් නැත.

~ මතු සම්බන්ධයි !

.ලි. :

අරූ හමුව ගැන හදිසියේම ලියන්නට සිත් වූයේ, එක්තරා හොරෙක්, මංකොල්ල කරුවෙක්, මං පහරන්නෙක්දේශප්‍රේමියෙක් තැබූ සටහනක් නිසාය. ඒ සටහන අරූ සහ මුන් සමග ගෙවුණු සොඳුරු හෝරා කිහිපයක් ගැනය. ඒ ලියමන කණ්ඩාගේ හිතට ගෙනාවේ සතුටකි නමුත් හිතට තියන එකම දුක කණ්ඩාටත් එතනට ප්ලග් වීමට ඉඩ නොලැබීමය.

අප හමු වූ සති අන්තයට පසුව සති අන්තයේ හාමිනේව Mo’s වෙත උස්සන් එන්නට ලොකු උවමණාවක් තිබුණද ඒ වැඩේ ගැස්සුනේ කලින් දින හවස එන ගමනේදී ලන්ඩන් නුවර මොනියුමෙන්ට්“(Monument) අන්ඩග්‍රවුන්ඩ් නැවතුම් පොළේදී හාමිනේ විසින් දමන්නට යෙදුණු මොනියුමෙන්ටල් කබරයා පාරක් නිසාය.

පෙර ලිපි  :

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ I කොටස ~ රැජින ආත්තම්මා වෙත ආදරයෙන් ලියමි !

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ II කොටස ~ A380ය සහ සුද්දගේ ජර්මන් බෝම්බ !

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ III කොටස ~ බ්‍රමී නුවර සහ ලිච්ෆීල්ඩ්

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ IV කොටස ~ පෙන්ඩොලීනෝ, අණ්ඩග්‍රවුන්ඩ් සහ බෝම්බ

 

Advertisements