Pick up your Sword

ගනු කඩුව එනු සටනට !

ඒ අපේ අපේ මලයගෙ හෝම් කමින් (Home Coming) දවස, සිරි ලංකාවෙ සමහර පැති වල ඇට් හෝම් (At Home), ඇට් + හෝම් = ඇට්ටෝම් = ඇස්ටෝං එහෙමත් නැතිනම් දෙවෙනි ගමන කියල කියන්නෙත් ඕකටම තමයි.

හවස තියන පොඩි උත්සවේට සූදානම් වෙන්න ගෙදර සුද්ද පවිත්‍ර කරන්න, පාර විසි ගහන්න, තීන්ත ගාන්න, ලයිට් වැල් එල්ලන්න පවුලේ උදවිය සහ නෑදෑ පිරිවර ගජරාමෙට වැඩ.

ඒ වෙනකොට අපි මත්තේගොඩ ගෙදරට ගොඩ වැදිලා වැඩි කලක් ගොහින් නොතිබුණු නිසා, කරන්න දේවල් තව බොහොමයක් ඉතිරි වෙලා තිබුණ.

මේ වෙනකොට තනිකරම අයිස් පප්පෙක් වෙලා උන්නු කණ්ඩත් ඈලි මෑලි කම පැත්තකින් තියල අත අපය හිරි ඇරලා වැඩට බැස්ස, මේ මොන වැඩේ කරත් කණ්ඩ හාමිනේ තමයි අම්මගේ දකුණත් සව්, වමත් සව් තවම නෑ … උන්දැව ගෙදර කැන්දන් එන නිසා තමයි මේ කලබලේ.

ගෙදර වැඩ ඔක්කොගෙම ඉංජිනේරුවා, ඕවසියර් සහ හෙඩ් බාස් හාමිනේමයි (අනේ අපි නම් ඔය පට්ටම් දුන්නේ නැහැ, සෙල්ෆ් අපොයින්ටඩ් ! ) ඉතිං අපි සොක්කො ඔක්කොටම වැඩ බෙදල දෙන්නෙ, අඩුපාඩු බලන්නෙ සහ අපිව කඩේ යවන්නෙ හාමිනේම තමයි.

ඒ මදිවට ලංකාවට ආපු දවසෙම කණ්ඩගේ පොකැට්ටුව හාමිනේ අත්අඩංගුවට අර ගත්තු නිසා යාළුවො හම්බ වෙලා සෙට් වෙන්න, රස්තියාදුවේ යන්න, ගෙදර වැඩ කල් අරින්න සපුරා තහනම් !

හාමිනේගෙ හිතට අල්ලන තරමට වැඩ සිද්ද වෙනකං අපි ටික යකා බැඳ ගත්ත වගේ ගෙදර වැඩ 😀

ඔහෙ කමක් නෑ ඒවත් කෙරෙන්න ඕන දේවල් නොවැ, කණ්ඩට සහෝදරයො දහය පහළොවක් ඉන්නව කියලයැ බේතකට වගේ ඉන්න එකම මලය නොවැ.

ගෙදර වැඩිමලා වෙච්චි කණ්ඩ කවමදාවත් කාටවත් හොඳ රෝල් මොඩල් එකක් උනේ නැහැ, බොරුවක් නෙමෙයි ඒක තමයි ගල් පැලෙන සැටිපිකෙට් ඇත්ත 🙂

දැන් ඔය එක එකා … මේකව රෝල් වෙන්නෙ නැති වෙන්ට විදිහක් නැතිය, මේක බෝලයක් වගේ කොට මොඩල් එකක් කියල කට කැඩිච්ච කතා කියාගෙන ආවොත් හොම්බ කට තළලා, කන පලළ පොල් හිටෝල පොල් මණ්ඩලේට දීල දානව !!! 😦

ඔය මං කිව්වෙ හොස්ස ළගින් මැස්ස යන්න බෑ මේක මොන රෝල් මොඩල්ද ?

අපේ මලයයි මමයි එකම පාසල් වලට ගියත්, එකම අත්දැකීම ලැබුවත් අපි දෙන්න දෙවිදිහක්. ගෙදර වැඩිමලා වෙච්චි කණ්ඩ කරපු තකතීරු වැඩ බොහෝමයක් මලය කළේ නැහැ, කණ්ඩ ගහපු කරණං කස්තිරම් හන්ද එහෙම කරන්න අවසරයක් තිබ්බෙත් නෑ.

ඒක ඇත්තටම සතුටක් මොකද පවුලකට එක ගොන් නාම්බෙක් හිටියම හොඳටෝම ඇති, නැතිනම් ඒ පවුල අවුල් !

නමුත් කණ්ඩ වගේම මලයත් උත්සව දෙකක් තියන්නෙ නැතිව මගුල් ගෙදර දවස ඇරෙන්න චාමෙට ගෙදර “ඇට් හෝම්” එකක් ගන්න තීන්දු කරපු එක මොළේ තියන වැඩක්.

දැන් ඉතින් ඇට් හෝම් කිව්වට ඉතින් එව්වත් බොහොමයක් තියන්නෙ පිට නොවැ, නමුත් කණ්ඩ වගේම මලයගේ “ඇට් හෝම්” එකත්  “@At Home” ම තමා  හෙක් … හෙක් … 😀

ඔහොම වැඩ කරන අතරේ තමයි හෙඩ් බාස්ගෙන් කඩේ යන්න විධානයක් ආවේ, හාඩ්වෙයාර් එකටයි, සුපර් මාර්කැට්ටුවටයි ගොහින් එන්න කියල බඩු ලැයිස්තුවකුත් හම්බ උනා. ඒ මදිවට ධනපාල හිඟයි කියල බැංකුව පැත්තෙත් රවුමක් දාන්නත් ඕනැලු.

කරුමෙට ඒ වෙලාවේ ගෙදර වාහනයක් තියා ෆුටාර් එකක්වත් නැහැ, දෙපාරක් හිතන්නෙ නැතිව ඇඳන් හිටපු ඇඳුම පිටින්ම කණ්ඩ පයින්ම හන්දියට ඇද්ද, යන පාරේ මාර්කට් එකෙනුයි හාඩ්වෙයාර් එකෙනුයි බඩු ගන්න වැඩි වෙලා ගියේ නැහැ නමුත් ශරීර හොරෙකුට ගිනි මද්දහනෙ ඇවිදිනව කියන එක තමයි කට්ට.

දැන් ඉතිරි වෙලා තියෙන්නෙ බැංකුව විතරයි, මොළේ තියන එකෙක් නම් බැංකුවට අතින් කටින් උස්සගෙන යන්න බැරි හින්ද එතනට මුලින් යනව, ඒත් කණ්ඩ ඒ වගේ වැඩ කරනව අඩුයි 😀

දැන් මොනවා කරන්නද ? ආපහු බැස්ස පාරට … දැම්ම අත … නැවැත්තුව තුන් සක් රියක් … විනාඩියෙන් මම හන්දියෙ බැංකුව ගාව, බඩු ටික ත්‍රී වීල් එකේ තියාපු හින්ද එව්වා බැංකුවට උස්සාගෙන යන්න ඕනත් නෑ !

හන්දිය කිව්වේ මත්තෙගොඩ නිවාස සංකීර්ණය කිට්ටුවම තියන සල්ගස් හන්දිය, බැංකුවත් එසේ මෙසේ නැහැ අපේ අනාගතය ගොඩ නගනවා (We Present Your Future) කියල තමයි කියන්නෙ 🙂

මෙහෙම ගියොත් අනාගතේ අනාථයි, ඒකත් හරියට අර බුකී කාරයගෙ අම්මට බෞද්ධ සම්මේලනේ බාර දුන්න එකේ අනිත් එක !

ඒව පොඩියකට අමතක කරමුකෝ … දැන් කණ්ඩ ෆුල් සූට් පිට ඉන්නෙ, ගෙදර තීන්ත ගාන ගමන් ඇඳගෙන හිටපු තීන්ත හැලිච්ච දාඩිය ගඳ ගහන කසිකබල් ඇඳුමයි, හොඳටෝම ගෙවිලා ලෙලි ගියපු බාට කෑලි දෙකකුයි දාගෙන. කාටද ආඩම්බර ?

එතන හිටිය ආරක්ෂක නිලධාරිය අකමැත්තෙන් වගේ මටත් දොර ඇරිය, කණ්ඩ ගැන කිසි පැහැදීමක් නැති බව ඒ මූණේ පැහැදිලිවම ලියවිලා තිබුණත් මම නෙමෙයි ඒක් ගානකට ගත්තෙ, මැදපෙරදිග කකුල් දෙකේ ඔටුවො එක්ක වසන්න පුළුවන් නම් මුනුත් කජ්ජක්ද ?

Bank Counterඉතිං මමත් ගිහිල්ල කොයි තරම් එපා කරපු වැඩක් උනත් පුරුදු විදිහටම කවුන්ටරේ ඉස්සරහ පෝලිමේ අග්ගිස්සෙන් හිටගත්ත නමුත් ඔහොම ඉන්නකොට එකා දෙන්න මට ඉස්සරහින් පැනල ගිහින් ප්‍රශ්න අහනවා නොයක් වැඩ කර ගන්නවා ???

කවුන්ටරේ හිටපු තරුණ හාදයත් මාව පයිසෙකට ගණන් ගන්නෙ නැතිව අනිත් උදවියගෙ වැඩ ඔක්කොම කරලා දෙනව, හෝම් කමින් එකේ වැඩ කෝටියක් තිබ්බත් මට මේක බලන් ඉන්න එක මාරම ආතල් වැඩක් උන හින්ද අනේ අපේ එවුන්ගේ හැටි කියල හිතමින් ජොලියෙ බලාගෙන හිටිය.

මේක මරු පෝලිමක් ! මේකට සුද්දෝ නම් කියන්නෙ ඉන්දියන් පෝලිම (Indian Queue) කියල, නමුත් ලංකාවෙ පෝලිම කිව්වත් වැරද්දක් නෑ.

අන්තිමට විනාඩි 15 කට විතර පස්සෙ මගේ වාරේ ආවහම කවුන්ටරේ හිටපු බොහොම පිළිවෙළකට ඇඳලා ටයි එකක් දාපු තරුණය මගේ මූණ දිහා යන්තම් බලල වැඩි ගරු සරුවක් නැතිව උවමනාවට එපාවට මොනවද කෙරෙන්න ඕන කියල ඇහුව.

මට හිතුන මම මෙච්චර වෙලා බයිට් උනා ඇති දැන් මේ හාදයවත් පොඩ්ඩක් මඩවන්න ඕන කියල, ඒ හින්දම මෙච්චර වෙලා හංගගෙන හිටපු කඩුව ගත්ත එළියට, අවශ්‍ය වෙලාවට නැති කඩුව කොස් කොටන්නද ?

ටිකක් බර කරලා දිගට හරහට කොටාගෙන කොටාගෙන ගියා හතර අතටම, මිනිහ හොල්මං … ඇස් උඩ ගිහින් මගේ කේශාන්තයේ ඉඳල පාදාන්තයටම බැලුව.

මිනිහගේ මූණේ වැරැද්දක් කරල සමාව ඉල්ලන පෙනුමක් තිබුණත් කණ්ඩට වැඩේ තව ටිකක් ඉස්සරහට ගෙනියන්න හිතුන, එතකොට මීට පස්සෙ එන මනුස්සයෙකුටවත් හරියට සලකාවිනේ.

දැන් වැරදියට පටන් ගත්තු ගනුදෙනුව හරිගස්සා ගන්න මේ තරුණ හාදය උපරිම උත්සාහයක් ගන්නව, කොටින්ම මම ආපු වැඩේ ගැන අහන්නෙ නැතිව වෙන පුද්ගලික ප්‍රශ්නත් අහනවා.

මේ හාදය ඉංගිරීසියෙන් අහන දේවල් වලට මම සිංහලෙන් උත්තර දෙනව, මගෙන් සිංහලෙන් අහන දේවල් වලට ඉංගිරීසියෙන් උත්තර දෙනවා, මට පිටිපස්සෙ හිටපු එවුන්ට අපි දෙන්න හෙනම ඇඩ් එකක් 😀

සර් මේ පළාතෙමද, කලින් දැකල නැහැ !  ඔව් මම මෙහෙට අළුත් !

මෙච්චර වෙලා බල්ලෙක්වත් ගණන් ගන්නෙ නැතිව පෝලිමේ හිටපු මම දැන් “සර්”, කාටද ආඩම්බර ?

කරුමෙට මගේ ජාතික හැඳිනුම්පත නැති උණු නිසා නිසා මට ඉදිරිපත් කරන්න උනේ තියන එකම ලියකියවිල්ල වෙච්චි පූස්පාට්, ඒක දික් කරහම, මේ මනුස්සය එකේ තියන කොළ පෙරළ පෙරළා තවත් ප්‍රශ්ණ අහනව.

සර් රටද වැඩ කරන්නෙ ?  ඔව් !

සෑහෙන්න ඇවිදලා තියනවා වගේ ?  ඔව් !

මම ආපු වැඩේ කරගන්න ඕන නිසා මමත් පුළුවන් තරම් කෙටියෙන් උත්තර දෙනව  🙂

සර් නිවාඩුවකට ආවද ? නෑ මගේ වතු වල වැඩ වගයක් එකලාසයක් කරන්න තියනවා, ඒකට ආපු ගමන් !

(මම ඉඩම් හිමි ව්‍යාපාරික පාට් එක ඇට් කරන්න පටන් ගත්ත, මටයි කියල එක බිම් අඟලක් නෑ මේ වෙනකොට 😀 )

ඇයි සර් මෙච්චර ගාණක් හදිසියේම ආපහු අර ගන්නෙ ? පොඩි බිස්නස් වැඩකට !

මේ හාදය හිඟන්නෙක් වගේ ඇඳ ගත්තු මං වගේ බිස්නස්කාරයෙක් දැක්කමද කොහෙද.

ඇහුවට තරහ වෙන්න එපා, මොකක්ද සර්ගේ බිස්නස් එක ? ලෑන්ඩ් සේල්ස් !

මුචලින්ද නාග රාජය බැංකුව මැද්දෙන් ඇදීගෙන ඇවිල්ල දැන් මගේ පිටිපස්සෙ !

සර් කැමති නැද්ද අපි ගාව කරන්ට් එකවුන්ට් එකක් අරින්න ? මට කිහිපයක් තියනව, බලමු අවශ්‍ය උනොත් !

එක පාරටම ඔලුව වටේ නයි පෙන හතක් මවා ගත්තු මුචලින්ද නාග රාජය ආයෙත් මතු වෙලා සයිඩ් එකට වෙලා මගේ මූණ දිහා බලං ඉන්නව.

එනකොට මාව පයිසෙකට ගණන් ගන්නේ නැතිව හිටපු මේ හාදය මට දැන් කරන්ට් එකවුන්ට් එකකුත් ඇරලා දෙන්න හදනවා, අනේද කියන්නෙ ?

කොහොමින් කොහොම හරි මේ කතා බහ ඉවර වුණේ මාව බැංකුවේ කලමණාකාර තැනටත් හඳුන්වලා දීල ඉවර වෙලා.

සකල සිරින් පිරි ආශ්චර්යමත් සිරි ලංකා ද්වීපයේ කොතැනකදී කොයි වෙලාවක හරි ගැලවිජ්ජාවට චේතිය රජ්ජුරුවන්ගෙන් ටියුෂන් අරං මුචලින්දව ගේන්නම වෙනව, ඕං මන් කිව්වා කියල හිතේ තියා ගන්න 😀

ඕං ඔහොමයි සිරි ලංකාවෙ තවමත් තියන තත්වෙ, තැනකට හරි හමන් විදිහට ඇඳන් ගියේ නැති නම් සත පහකට ගණන් ගන්නේ නැහැ, නිකං රස්තියාදු වෙන්න සිද්ද වෙනව.

අවුරුද්දකට සැරයක් දෙසැරයක් සිය රට ගොඩ බැස්සම ඇඟට පහසු සැහැල්ලු ටී-ෂර්ට් එකක් ඇඳලා කොට කලිසමකට බැහැල, රබර් සෙරෙප්පු දෙකක් දාගෙන නිදහසේ ඕනෑම තැනකට යන්න කණ්ඩ බොහොම කැමතියි.

ඒ උනත් සමහර වෙළාවට ප්‍රායෝගිකව වැඩක් ඉක්මනට කර ගන්න ඕනෑ නිසා යන තැන අනුව අකමැත්තෙන් උනත් ඇඳ පැළඳුම් ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න වෙනව 😀

මේක ලංකාවට විතරක් විශේෂ දෙයක් නෙමෙයි මට හිතෙන විදිහට දකුණු ආසියාවට වගේම මැද පෙරදිගටත් පොදු දෙයක් !

අනික සුද්ද රට ඇරලා ගිහිල්ල අවුරුදු හැටක් ගිහිල්ලත් සමහර තැන් වලට ගිහින් වැඩක් කර ගන්න කඩ්ඩෙන් කොටන්නම වෙනව, කණ්ඩට මේවට හිනා වෙන්නද අඬන්නද කියල තේරෙන්නෙ නෑ 😦

කොයි තරම් කාලයක් රටින් පිට වෙලා හිටියත් අපිට සිංහල අමතක වෙන්නේ නැහැ, එහෙම වෙන්න මැරිලා ඉපදිලායැ ? අපිත් කැමතියි කාලයක් තිස්සෙ රටින් පිට ඉඳ හිටලා ආවහම සිංහලෙන් කතා බහ කරන්න.

නමුත් තමන්ගෙම රටෙත් තමන්ගෙ මව් බාසාවෙන් කතා බහ කෙරුවම ගණන් ගන්නෙ නැති එක නම් හැබෑම විහිළුවක් !

ප.ලි. :

මේ සිදුවීම වෙලා දන්නෙම නැතිව අවුරුදු තුන හතරක් ගත වෙලා තිබුණත් හදිසියේ ඔලුවට ආවෙ ලඟදි කියවපු සජ්ජාගේ පඩංගුවේ තිබුණු ලිපියක්  සහ මම මුහුණ දීපු දෙයක් නිසා, නමුත් දැන් බොහෝ දේවල් ගණන් නොගෙන ඉන්න අත හරින එක කණ්ඩට පුරුදුයි.

ඉස්සර පට්ට “අයිඩියලිස්ට්” (Idealist) කෙනෙක් වෙච්චි කණ්ඩ කාලයත් එක්ක ලබාපු අත්දැකීම්, කළකිරීම් නිසා “රියලිස්ට්” (Realist) කෙනෙක් හෙවත් යතාර්ථවාදියෙක් වෙලා – TRAITOR  ~ පාවාදෙන්නා කියල හංවඩු ගහන්න වටිනවා 😀

ඒ කතන්දරේ කිව්වා වගේ අත්දැකීම් වලට මුහුණ දෙද්දී බැංකු/කන්තෝරු වලට ගොඩවදින කොට, රටින් රට පියාඹනකොට හොඳට ඇඳ පැළඳ යන්න කියල කොයි වෙලාවෙත් නහයෙන් අඬන හාමිනේගෙ කංකුන් වල පොඩි ඇත්තක් තියනව කියල හිතෙනව.

නිදහසේ පහසු ඇඳුමක් අඳින්න, රටේ ලෝකෙ එවුන්ට කුද ගහ ගන්න කියල තමන්ට ඕන විදිහට ජිවත් වෙන්න තියන නිදහස නැති කර ගන්න කණ්ඩා තවම සූදානම් නැති නිසා, මේ ආකාරයේ සිදුවීම් ඉස්සරහටත් සිදු වෙන බව නම් කිසිම සැකයක් නැහැ  😀

~ කණ්ඩා !