Boat Near Bhandar Khiyran

සිෆා සහ බණ්ඩාර් ඛයිරන්

මස්කට්හි සිට සිෆා (Sifah) වෙත දිවෙන මග වැටී ඇත්තේ මනස්කාන්ත කඳුකර ප්‍රදේශයක් හරහාය, ඕමානයේ ඇති විශේෂ භූ ලක්ෂණයන් පිලිබඳ හදාරද්දී රට පුරාවට විහිද ඇති කඳු පන්තීන් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතුවාක් මෙන්ම ඒ අතර  ඉදිරියෙන්ම සිටිනා ප්‍රතාපවත් “හජාර්” කඳුවැටිය ගැන කතා බහ කිරීමෙන් වැළකීමටද බැරිය. අරාබි බසින් “ජෙබෙල් අල් හජාර්” (Jebl Al Hajar) ලෙස හඳුන්වන මෙහි සෘජු අරුත වන්නේ “ශෛලමය කඳුවැටිය” යන්නයි.

හජාර් කඳුවැටියේ එක් කෙලවරක් ඇරඹෙන්නේ ඕමානයේ උතුරු කොන වන එක්සත් අරාබි රාජ්‍යයෙන් සහ පර්සියානු මුහුදින් වටවූ මන බඳිනා “මුසන්දම්” (Musandam) ප්‍රදේශයෙනි. මුසන්දම් අර්ධද්වීපය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ “කූඩාරම් කොත” ලෙස හඳුන්වන රට අග්ගිස්සේම පිහිටි “රස් අල් කයිමා” (Ras Al Khaimah) සහ එයිට මෙපිටින් ඇති “ෆුජෙරා” (Fujeirah) එමිරේට නිසා ඕමානයේ අනෙකුත් ප්‍රදේශයන්ගෙන් වෙන්ව පවතින්නේය.

Al Khaimah - Bedouin Tentමෙහිදී එමිරේට යනු කුමක්දැයි නොපැවසුවහොත් මදිකමක් යයි සිතමි, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සැදී ඇත්තේ ප්‍රාන්ත හෝ කුඩා රාජ්‍යන් හතක එකතුවකිනි, මේ එකතුව දේශපාලනික වශයෙන් සන්ධීය හෙවත් “ෆෙඩරල් රාමුවකින් (Federal Framework) බැඳී පවතින්නේය. මෙම ඒකල ප්‍රාන්ත වල පාලකයන් හඳුන්වන්නේ “එමීර්” (Emir) යන නමින් නිසා එමීර් වරයකුගේ පාලනයට නතු ප්‍රදේශය යන අරුත් ඇතිව එමිරේට (Emirate) ලෙස හඳුන්වනු ලැබේ.

රටවල් වලට මායිම් තිබුණත් හජාර් කඳුවැටිය එවන් දේශසීමා මායිම් නොකරනා බැවින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසු කරමින් ඕමානයේ අග නුවර වන මස්කට් ප්‍රදේශයද ඉක්මවා දිවෙන්නේය. එනිසා අතරමැද කොටසකට එක්සත් අරාබි එමීර් රාජ්‍යය උරුමකම් කීවත් හජාර් කඳුවැටියේ ආරම්භය මෙන්ම කෙළවරද වැටී ඇත්තේ ඕමානයේය.

එක්සත් අරාබි රාජ්‍යයේ සාජාහි සිට මස්කට් බලා යාමට කඳුකරය හරහා සහ මුහුදුබඩ ප්‍රදේශයන් ඔස්සේ දිවෙන මාර්ග ද්විත්වයක් ඇත. මින් අප ගමන් ගත් හත්තා, ශිනාස්, සොහාර්, බර්කා, සුවයික් සහ සහම් (Hatta, Shinas, Sohar, Barka, Suwaiq, Saham) හරහා වැටී ඇති මුහුදුබඩ මග යෙදී ඇත්තේ හජාර් කඳුවැටියට සමාන්තරවය, නමුත් කඳු පන්තිය මුහුද ආසන්නය තෙක්ම නොදිවෙනා බැවින් මේ මාර්ගය හෝ ගමන දුෂ්කර නැත.

සිරි ලංකාවේ උපන් අපට කඳුකරය යයි පවසන සැනින් නිතැතින් සිහියට එන්නේ තුරු වදුලින් වැසුණු ගිරිහිසෙන් යුතු නිල් පැහැයෙන් දිදුලන කන්ද උඩරට ඇතුළු මධ්‍යම කඳුකරයයි. නමුත් මැදපෙරදිග පුරා විසිරී ඇති බොහෝමයක් කඳු පන්තීන් මෙයට හාත් පසින්ම වෙනස්ය.

(රට ඉඳි ගස් , ගාෆ් ගස් වදුලක්, සහ ෆ්රැන්කිසෙන්ස් සුවඳ දුම්මල ගස්)

ගලා යන දිය පහරවල් හෝ නිතර ලැබෙනා වර්ෂාපතනයෙන් තොර නිසාවෙන් වියළී ගිය හජාර් කඳු පන්තිය ඇතුළු මේ දැවැන්තයින් බොහෝ දුරට තුරුවදුලෙන් තොරය, අතරින් පතර ජීවයක් දක්නට ලැබුණොත් ඒ කාන්තාරයේ ශුෂ්ක දේශගුණයට හැඩ ගැසුණු “ගාෆ්”, රට ඉඳි සහ ෆ්රැන්කිසෙන්ස් සුවඳ දුම්මල ගස්  (Garf, Date Palm & Frankincense Trees) හෝ තෘණ පඳුරු පමණි.

වාලුකාව සහ කඳු වැටි පුරා ඇවිදින ඔටුවන්, එළුවන්, බූරුවන් මෙන්ම නිතර මිනිස් ඇසට හසු නොවන “ගැසල්” (Gazelle) නමින් හඳුන්වන මුවන්ද “අයිබෙක්ස්” (Ibex) නම් කඳුකර එළුවන්ද  තම ජීවිතය රැක ගන්නේ මේ අවම ශාක ගහනයට පින් සිදු වන්නටය.

(දිගු අං ඇති අයිබෙක්ස් එළුවන්, ගැසල් මුවන්, ඔටුවන් සහ ගස් බඩගාන එළුවන්)

කාන්තාරය දවන කටුක හිරු රශ්මියට අමතරව නිරන්තරයෙන් හමා යන වැලි කුණාටු සහ ඉඳහිට ඇද හැලෙන කෙටි වර්ෂාවන්ද පරිසරය හැඩ ගන්වන මිනිස් අත පෙවීම් වලින් ඔබ්බට ගිය සාධකයෝය. එම බලපෑම් වලට නතුව ගිරි ශිඛර පුරා කැඩී බිඳී විසිරී ඇති එකිනෙකට වෙනස් පැහැයෙන් යුතු නානාවිධ ශෛලමය ස්ථරයන්ගේ නටඹුන් නිසා කිසිම විටෙකත් එක කඳු මුදුනක් තවත් කඳු මුදුනක් හා සම වන්නේ නැත.

ස්වාභාව ධර්මයා විසින් වර්ණ ගැන්වූ නිමක් නැති ගුරු පැහැ සංකලනයන්ගෙන් හෙබි ඕමාන කඳුකරය නිල් පැහැයෙන් බබලන පාරාදීසයන් බඳු තම ආසියාතික සහෝදරයන් හා සැසඳීම කිසිසේත් සාධාරණ නොවනමුත් කාන්තාරවාසීන්ට මෙන්ම එහි ගැවසෙන කණ්ඩා වැනි සංචාරකයන්ටත් දනවන්නේ එයටම අවේනික වූ සොබා සෞන්දර්යයකි.

මේ සුන්දරත්වය වෙනම රස විඳිය යුත්තක් වනවා මෙන්ම ඒ හා අනුගත වූ විට සම කළ හැකි අන් කිසිවක්ද නැත්තේය. මේ තත්වය තරමකට හෝ වෙනස් වන්නේ මැද පෙරදිග කාන්තාරයන්හි අතිශය දුර්ලභ සංසිද්ධියක් වන වර්ෂාව සහ භූගත ජලයෙන් ආශීර්වාද ලබන ගණනින් අතේ ඇඟිලි වලටත් වඩා අඩු ඕමානයේ “සලාලා” (Salalah), සිරියාවේ “ගෝලාන් සානුව” (Golan Heights), සෞදි අරාබියේ “ජෙබෙල් අල් ෆයිෆා” (Jebel Al Fayfa) සහ ඉරානයේ “ගිලාන්” (Gilan) වැනි කඳුකරයන්ය.

හජාර් කඳුවැටිය පුරාවට ගිණිය නොහැකි තරමට විසිර ඇති කඳු මුදුන් වලින් අඩුවක්ද නැත, එමෙන්ම කඳු ඇති තැනක නිම්නයක් වරදින්නේ නැති හෙයින් කඳු පන්ති තරමටම ඒ වටා ඇදෙන නේක නම් ඇති සහ නැති නිම්නයන්ද මේ ප්‍රදේශයේ එමටය.

මැදපෙරදිග වෙසෙන පිටරැටියන් විසින් අරාබි වැසියන් ඉදිරිපිට විවෘතව නොපවසනමුත් නැති තැන අරාබීන් “ඔටුවන්” ලෙසද ඔවුන්ගේ බස “ඔටු බස” ලෙසද හාස්‍යයෙන් පැවසීම එතරම් දුලබ දෙයක් නොවේ. නමුත් ඔටුවන් හා අදහස් හුවමාරුවට ඔටු වහර දැන සිටීම අත්‍යවශ්‍ය නැත, ඒ බොහොමයක් ඔටුවන් සුද්දගේ බස මෙන්ම යම් තරමකට හින්දි බසද දැන සිටීමයි.

පුද්ගලිකව මා ඔටු බසට වැඩි ඇල්මක් නොදැක්වූවත් එය ඉගෙනීම අවැදගත් හෝ කාලය කා දැමීමක් ලෙස අදහස් නොකරමි, විශේෂයෙන් දිගු කාලීනව මැද පෙරදිග ගෙවෙන දිවියකට හොඳින් හැඩ ගැසීමට නිතර භාවිතයේ යෙදෙන අරාබි වදන් කිහිපයක් හෝ දැන සිටීම ප්‍රයෝජනවත්ය.

එනිසා කණ්ඩාද පසුගිය දස වසර තුළ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අරාබි වාංමාලාවේ බොහෝ දෙනෙක් දන්නා දෙවියන් සඳහා යෙදෙන “අල්ලාහ්” (Allah) සහ ඉන් අමතරව විවිධ අවස්ථාවන්හි නොයෙක් ආකාරයට යෙදෙන “යමු /යන්න / පලයං” යන අරුත් ඇති “යල්ලා !” (Yallah! ) යන ප්‍රචලිත වදන් වලට වලට අමතරව තවත් දෑ උගත්තේය.

ඒ අතර අරාබි බසින් කඳු හැදින්වීමට යෙදෙන “ජෙබෙල්” හෝ “ජබල්” යන වදන්ද (Jebel, Jabal),  නිම්නයන් හැඳින්වීම උදෙසා භාවිත වන “වාදි” (Wadi) යන වදනද වේ. හජාර් කඳුකරය හරහා ගමන් ගනිද්දී කඳු හෙල් සහ නිම්නයන්ට අමතරව ගම් ගොඩවල්, නගර සහ විවිධ ව්‍යාපාරික ස්ථානයන් හැඳින්වීමටද “ජබල්” සහ “වාදි” යන වදන් බහුලව යෙදෙන බව නිරීක්ෂණය කල හැකිය.

මැදපෙරදිගට කෝඩුකාරයන් නොවූවද සිෆා වෙත යෙදුණු අප ගමනේ අරමුණ මේ අමුතුම කඳුකරයේ සුන්දරත්වය දැක බලා ගැනීම මෙන්ම මුහුදු වෙරළේ කඳවුරු බිමක රාත්‍රිය ගත කිරීමයි. ගමන ආරම්භයේ සිටම මස්කට් සිට සිෆා වෙත ඇදෙන මග දෙපස ඇති කඳු මුදුන් සහ නිම්නයන් මැවූ නොයෙක් සුන්දර දසුන් අප බෙහෙවින් රස වින්ඳෙමු.

ගුරු පැහැ ගත් කඳුකරයේ ඇති ඒකාකාරීත්වය බිඳීමට මෙන් අතරින් පතර මතු වන සශ්‍රික රටඉඳි වගාවෙන් යුතු ක්ෂේම භූමි, තැන තැන යමින් උලා කන එළු, බැටළු සහ බූරුවන් රංචු, රිය පැදවීම රසවිඳින්නන් උදෙසාම තැනූවාක් බඳු දඟර ගැසෙමින් කඳු මුදුන් සහ නිම්නයන් අතරින් දිවෙන මං මාවත් අප සංචාරයට එක් කළේ විනෝදයක්මය.

කණ්ඩා සහ හාමිනේ මින් පෙර මේ හා සමාන අත්දැකීමක් ලැබුවේ නම් ඒ හජාර් කඳුවැටියේ එමීර් රාජ්‍යට අයත් රස් අල් කයිමා දෙසට වන්නට පිහිටි “ජෙබෙල් ජයිස්” (Jebel Jais) කඳු පියස, ෆුජේරා කඳුකරය සහ ජෝර්දානයේ “කිංග්ස් හයිවේ” (Kings Highway – Jordan) හෙවත් රජ මාවත ලෙස හඳුන්වන අම්මාන් සිට ඓතිහාසික “පෙට්‍රා” නගරය (Pink City of Petra) පිහිටි “වාදි රුම්” (Wadi Rum) වෙත දිවෙන මනස්කාන්ත මගත් පමණි.

(ජෝර්දානයේ පෙට්‍රා, වාදි රුම් සහ රජ මාවත)

අනපේක්ෂිත ලෙස “බණ්ඩාර් අල් ඛයිරන්” (Bandar Al Khayran) පෙදෙසට ආසන්නයේ මහමග අසලම කුඩා ධීවර තොටක් අපගේ අවධානයට ලක් වූ නිසා, එහි නැවතී වටපිට විමසා බලන්නට තීරණය කළෙමු. අපගේ සිතියමට අනුව එය මුහුදේ සිට කිලෝමීටර තුනක පමණ දුරක් ගොඩබිම තුළට කා වැදුණු කලපුවක කොටසකි.

කලපුව අද්දරම වැලි තලාවක් මත හුදෙකලාව අතහැර දමා තිබුණු පැරණි ධීවර බෝට්ටුවක් සහ ඒ අවට වූ නිස්කලංක පරිසරය රස විඳීමට ලැබීම අප ලද අසිරිමත් අත්දැකීමකි. වැලිතලය මතට වී හති අරින යෝධයකු බඳු පසෙකට ඇලව වැතිරුණු දැවැන්ත බෝට්ටුව කාලයක් තිස්සේ අව් වැසි වල පහර ලැබ බෙහෙවින් අබලන්ව තිබුණද එහි විස්තර කළ නොහෙන අමුතුම සුන්දරත්වයක් විය.

එමෙන්ම මා පසුව දැන ගත් පරිදි මෙම බෝට්ටුව ඇතුළු වටාපිටාව පහතින් දැක්වෙන “ගුණ්ඩේ” (Gunday) නම් හින්දි චිත්‍රපටයේ ගීතයක පසුතලයක් ලෙසද යොදාගෙන ඇත.

තවමත් අමතක කල නොහැකි ලෙස අප හද පැහැරගත් මේ සිත්තම වඩාත් තීව්‍ර කරන්නට පසුතලය සැපයූ කලපුව මැදි කරගත් කඳු වළල්ලද කලපුවේ ජල තලය හා එක්වූ නිල්වන් අහසද සමත් විය. අහම්බයෙන් ලද අවස්ථාවෙන් උපරිම පල නෙලා ගන්නට තීරණය කළෙන් අප දෙදෙනාම තරඟයට ඡායාරූපකරණයේ නිරත වීමු.

ඉන්ද සෑහීමකට පත් නොවූ හාමිනේට අප හිතාදර ගමන් සගයා වූ මෝටර් රථයද මේ සිතුවමේ කොටසක් බවට පත් කිරීමට උවමනා වූ නිසාවෙන් වැලි තලාව ඔස්සේ බෝට්ටුව අසලටම මෝටර් රථය ගෙන යාමට සිදු විය. වාසනාවට ඒ බාදිය ඇති වෙලාවක් නිසාත් හතරයි හතර (4 x 4) ගැන වූ විශ්වාසය නිසාත් එයට කිසි බාධාවක්ද නොවීය.

අප නැවත ගමන ආරම්භ කිරීමට සුදානම් වෙද්දී අසල වූ ධීවර ගම්මානයේ බව සිතිය හැකි කොලු කුරුට්ටන් රැළක් බෝට්ටුව කිට්ටුවම වූ වතුරෙන් යටව ඇති නොගැඹුරු අගලකට බැස කක්කුට්ටන් සහ මුහුදු බෙල්ලන් අල්ලනු දකින්නට ලැබිණි.

ඔවුන්ගේ ඡායාරූප කිහිපයක් ගැනීමට දැඩි උවමනාවක් තිබුණද අවාසනාවට ඒ සඳහා අවසර ලබා ගැනීමට අහල පහල වැඩිහිටියෙකු නොවීය. මැදපෙරදිග කලාපයේදී අනවසරයයෙන් පුද්ගල ඡායාරූප ගැනීම කරදර වලට විහින් අත වැනීමක් නිසා ඒ අදහස අත්හැර දැමූවේ බොහොම කණගාටුවෙනි.

ඒ කොලු කුරුට්ටන් රංචුව දෙස බලා ඉඳිනා අතරතුර කණ්ඩාට සිතුනේ නගරයෙන් ඈත ඉන්නා මේ ළමයින් විඳිනා නිදහස සහ අත්දැකීම් එකතු කර අපේ මඩොල් දූවට සම කළ හැකි ඔටු දේසෙ ඉන්නා අල් ජින්නලගෙයි, අල් උපාලිලගෙයි කතාව “ජසීරත් අල් ඕමාන්” (ඕමාන් දූව) කියල ඔටු බාසාවෙන් ලියන්නට තිබුණු බවය.

ඉන් අනතුරුව අප අකමැත්තෙන් උවත් නැවතත් ගමන ඇරැඹුවේ සිෆා වෙත තවත් දුර යන්නට ඇති නිසාය. කඳු ශිඛර සහ නිමක් නැති නිම්නයන් අතරින් දඟර ගැසෙමින් ඇදෙනා තනි මං තීරුවක් සහිත පටු මාර්ගයේ කරදරයකින් තොරව ගමන් කළ හැකිමුත් ඉඳහිට හමුවන වාහන පේළියක් ඉස්සර කිරීම තරමක් අපහසුය.

බොහෝ තැන්වල ඇති තීව්ර කඳු පල්ලම් සේම දැඩි වංගු සහිත මාවත නිසා අනෙක් මංතීරුවේ ඉදිරියෙන් එන වාහන හරි හැටි දර්ශනය නොවීම මෙයට ප්‍රධාන හේතුවය. එවන් ස්ථානයන්හිදී ඇතැම් වාහන නොසැලකිලිමත් ලෙස ඉස්සර කරනු කිහිප වතාවක්ම දුටු නමුත් බොහෝ දෙනා ඉවසිලිවන්ත ලෙස රිය ධාවනය කරන බව අපගේ නිරීක්ෂණය විය.

බණ්ඩාර් ඛයිරන් කලපුව අද්දරින් දිවෙනා පැරණි පටු මග දරණ ගැසුණු සර්පයෙක් සිහි ගන්වනමුත් ඉතා සිත් ගන්නා සුළු දසුන් වලින් යුක්තය. නමුත් පෙර සිදුව ඇති අනතුරු නිසාදෝ මෙම මාර්ගය වෙනුවට මංතීරු හතරකින් යුතු නව මගක් මේ වන විටත් ඉදිවෙමින් පවතී. අලුත් මාර්ගයත් සමගම පැරණි මාර්ගය වසා නොදමනු ඇතැයි යන්න කණ්ඩාගේ පැතුමයි, එසේ උවහොත් සංචාරකයන් හට තවත් සුන්දර පෙදෙසක් අහිමි වනු ඇත.

මුලින් සිෆා පසු කරගෙන අමුතු නමක් තිබුණු “සූර්” (Sur) නගරය වෙත ගොස් ආපසු සිෆා වෙත පැමිණීමට අප අදහස කරගෙන සිටියත්, මග වැරදීම නිසා සැලසුම් වෙනස් කරන්නට තීරණය කළෙමු. සුවතට හැරෙමින් තිබුණත් තවමත් දෙදෙනාගේම ගත පෙළන අසනීප තත්වය මෙන්ම ගමන් වෙහෙසද මෙයට බෙහෙවින් බලපෑවේය.

මස්කට් වෙතින් ක්‍රම ක්‍රමයෙන් ඈත් වෙද්දී ගෙවල් දොරවල් මෙන්ම හදිසියකට බඩු මුට්ටුවක් ගන්නට සිල්ලර කඩයක් හෙවත් ග්‍රොසරියක් (Grocery Shop) සේම කෑම බීම සඳහා කුඩා හෝටලයක් හෝ “කැෆෙටේරියාවක්” (Cafeteria) පවා සොයා ගැනීමට අසීරු වන බව අපට උදක්ම වැටහුණි. බඩු මුට්ටු කෙසේ වෙතත් ආහාර පාන සියල්ල පිටින් ගන්නට සිතා සිටි බැවින් වතුර ඇරෙන්නට කෑම බීම කිසිවක් අප සතුව නොවීය.

කෑම බීම වලින් තොරව දෙවේලක් ගත කරන්නේ කෙසේද යන්න ගැන හාමිනේගේ මෙන්ම කණ්ඩාගේද සිතට බෙහෙවින් වද දෙන කාරණාවක් උවත් මා ඇය අස් වැසුවේ කඳවුරු භුමියේ කළමනාකාර තැනගෙන් ඒ සඳහා උදව් ලබා ගත හැකි යයි කියාය.

වැඩි කරදරයකින් තොරව අපගේ කඳවුරු බිම සොයා ගන්නට සමත් උවත් එහි කළමනාකාර තැනගෙන් ආහාර පාන සම්බන්ධයෙන් අපට ලැබුණේ සුභ ආරංචියක් නොවේ, නමුත් සිෆා ගම්මානය දෙසට වන්නට කුඩා ග්‍රොසරියක් සහ කැෆෙටේරියාවක් ඇති බව ඔහු අපට දැන්වූ නිසා ගමන් මලු අස්පස් කර මද විවේකයකින් පසු ඒ පිලිබඳ විපරම් කර බැලීමට තීරණය කළෙමු.

කඳවුර වෙත එද්දී පසුකරගෙන ආ කිලෝමීටර හය හතක ඈතින් වූ සිෆා ගම්මානය වෙත නැවතත් ගිය අප ඉතා අඩු පහසුකම් වලින් යුතු ග්‍රොසරිය මෙන්ම වැඩි පිරිසිඳුකමකින් තොර කැෆෙටේරියාවද සොයා ගැනීමට සමත් වූ බව පවසන්නේ කොළොම්බස් ඉන්දියාව කියා ඇමරිකාව සොයා ගත්තාටත් වඩා සතුටිනි.

පකිස්ථාන් ජාතිකයන් කිහිපදෙනෙකු විසින් පවත්වාගෙන යන මෙහි අප යනවිට දහවල් වරුවද පසු වී හෝරා කිහිපයක් ගෙවී තිබුණු බැවින් ඒ වන විට ඉතිරිව ඇති ආහාර පාන සීමිතය. එනිසා කණ්ඩා දන්නා නොදන්නා කැඩුණු හින්දි සහ සුද්දගේ බාසාව පිහිටෙන් අපට පරාටා සැන්විච් රෝල් කිහිපයක් සාදා දෙන්නට එහි සිටි කෝකියා එකඟ විය.

අහල පහළ ගම් වාසීන් සහ අතරින් පතර විසිරි ගොවිබිම්, ගොඩනැගිලි ඉදිකරන තැන්හි සේවය කරන කම්කරුවන් ඇරෙන්නට අප වැනි සංචාරකයන් ඔවුන් බලාපොරොත්තු නොවූ බව ඔවුන්ගේ හැසිරීමෙන් සහ කතා බහෙන් අපට පැහැදිලිය.

මේ ගම්බද පළාත්හි, විශේෂයෙන් අරාබි පවුල් අහාර පාන නිවෙසට රැගෙන ගියත් කැෆෙටේරියාවක වාඩි වී අනුභව කිරීම ඉතා දුලභ දෙයක් බව මා දැන සිටියෙමි, එසේම එවන් වටා පිටාවක වැඩිපුර කාන්තාවන් නොගැවසෙන මේ පළාතේ හාමිනේ කණ්ඩාත් සමග එහි රැඳී සිටීම ඔවුන්ට අමුත්තක් විය.

අප සාජා සිට පැමිණ එහි රාත්‍රිය ගත කරන සංචාරකයන් බව අපෙන් අසා දැන ගත් ඔවුන් අප සමග කුළුපග වූවා සේම ඉතා සුහදව සත්කාර කළේය.

පරාටා බදින සුවඳත් බඩ පණුවන් පිනුම් ගහන බඩේ ගින්දරත් නිසා කල්පයක් පමණ දැනුණු මිනිත්තු කිහිපයකින් පසුව උණු උණු පරාටා රෝල් කිහිපයක් මේසටය වැඩියත්, ආවාට වඩා ඉක්මනින් ඒ සියල්ල අතුරුදහන් විය.

නියං කලට කොස් වහල්ලත් රස බව කියන්නාක් මෙන් ඒ වන විට වරුවකින් කෑමක් බීමක් නැතිව දැඩි කුසගින්නේ පෙළුණු අපට පරාටා දිව්‍ය භෝජනයක්ම විය. එනිසා හත් දොහකින් කෑමක් නොදුටුවා සේ ගිල දමන බඩජහරියන් දෙස කඩේ උදවිය බලා සිටියේ මද සරදමක් කැටි වූ කුතුහලයකිනි.

කණ්ඩා පාසල් යන අවදියේ පටන්ම සයිවර් කඩ, පෙට්ටි කඩ, කරත්ත කඩ සහ බත් කඩ යන ඔය කොයිකටත් හුරුය, නමුත් හාමිනේ ඉන් හාත්පසින්ම වෙනස්ය. ඔය කියනා කඩ සියල්ලට හාමිනේ ගොඩ වදින්නේ කණ්ඩා සමග හාදකම් පවත්වන්නට පටන් ගත් පසුව නිසා තවමත් ඒ කෙරෙහි ඇත්තේ බෙහෙවින් ඇල් මැරුනු උනන්දුවකි.

නමුත් වෙනදාට මෙවන් දේට කොතෙකුත් කන්කෙඳිරි ගාන හාමිනේ පවා මැසිවිල්ලකින් තොරව පාරාට ගිල දැමුවේ ලොව ඉතිරිව ඇති අන්තිම පරාටාව රස විඳින්නාක් මෙන් ඉතා සතුටින් බව නොකිව්වොත් එය මදි කමකි 😀

ඒ වන විට සවස් වී තිබුණත් රාත්‍රියේ හැදෙන්නට ඉඩකඩ තියෙනා පොඩි බඩගින්නකට සරිලන ලෙස තවත් පරාටා රෝල් කිහිපයක් සහ අඩුම කුඩුම මිලදී ගන්නටද අප අමතක නොකළෙමු. එමෙන්ම පසුවදා සිකුරාදා දිනයක් උවත් දහවල් පල්ලි ගොස් ආගම නමදින වෙලාව හැරුණුකොට සුපුරුදු පරිදිම එදිනත් කඩය විවෘතව ඇති බව දැන ගැනීම අපගේ නොමද අස්වැසිල්ලට හේතු විය.

අන්තිමේදී පිරුණු කුසින් සහ සතුටු සිතින් නැවතත් කඳවුර වෙත ගිය අපට බැස යන හිරුත්, පසෙකින් ඇති කඳු වැටිය සහ සාගරයත් එක්ව මවනා සොඳුරු සැඳෑවක මුහුදු වෙරළට වී නිවී සැනසිල්ලේ කාලය ගත කිරීමේ අවස්ථාව හිමි විය.

Oman Map - Muscat Trip

(සාජා සිට සිෆා දක්වා අපේ ගමන් මග)

ඕමානයේ ශිනාස්, මස්කට් සහ සිෆා හිදී ගත් ඡායාරූප එකතුවක් 

~ මතු සම්බන්ධයි !


පෙර ලිපි :

මස්කට් කතන්දර ~ I කොටස ~ මස්කට් රස සොයා

මස්කට් කතන්දර ~ II කොටස ~සාජා සිට මස්කට් වෙත

මස්කට් කතන්දර ~ III ~ ශිනාස් සහ මස්කට්

මස්කට් කතන්දර ~ IV කොටස ~ මස්කට්, ඔපෙරා සහ මත්‍රා

මස්කට් කතන්දර ~ V කොටස ~ සින්බෑඩ්, වහල්ලු සහ පරංගි