Entrace to KAIA

කයා ඩීෆැක් සහ යැංකි පඩත්තරයෝ !

තද නින්දේ සිටි කණ්ඩා හිටි අඩියේම අවදි වූයේ කවුරුන් හෝ කලහ කර ගන්නා ඝෝෂාවක් නිසාය, තවමත් පහව නොගිය නිදිමත සහ අඳුරු කාමරයත් නිසා කටහඬවල් මිස බැන අඬ ගසන උදවිය පෙනෙන්නට නැත. උස් කට හඬවල් කිහිපයකම ඇසුණත් කුමක් කියන්නේද යන්න ගැන වැටහිමක් හෝ ඒ ගැන වැඩි විස්තර දැන ගැනීමට උවමනාවක්ද කණ්ඩා තුළ නොවීය.

මේ බෑඟිරි ගසන මළබාරියන් නිදි ඇඳේ ඉන්නා උදවියට නිදහසේ ඇහැ පියා ගන්නට ඉඩදී යන තැනකට තොලොංචි උනා නම් හොඳය, මේ හිපාටුවන් අනුන්ට කරදරයක් නොවන සේ තම තමන්ගේ ගනුදෙනු බේරා නොගන්නේ මන්ද යන්න ගැන දැඩි කෝපයක් හට ගත්තත්, ඇඳෙන් නැගිට ගැනීමට හෝ උන්ට නිශ්ශබ්ද වන ලෙස පෙරළා කෑ කොස්සන් ගැසීමට පණක් නැතිය.

ඒ මදිවාට ඇඟපත තලා දැමුවාක් බඳු සියොලඟම පෙලන රුදාව මෙන්ම හිසට යවුලකින් අනින්නාක් මෙන් වරින් වර මතුවන පුපුරන තරමේ හිසේ ඇම්මත් කුමන හේතුවකටදැයි නිච්චියක් නැත.

වාසනාවකට මෙන් මද වෙලාවකින් කිහිපදෙනෙකු කාමරයෙන් පිටව යන අඩි සද්දත් මුළු කාමරයම දෙදරන්නට තරම් වේගයෙන් වැසුණු දොරත් සමගම කෝලාහලය නිමා වූ බැවින් නැවතත් කාමරය පුරාවට දැඩි නිශ්ශබ්දතාවයක් පැතිර ගියේය.

එකල ඩුබායිහි කණ්ඩා නැවතී සිටි බෝඩිමේ මළබාරියන් රොත්ත සතියකට දෙකකට වරක් එහි සිටි මරාතියා හෝ පාකිස්තානුවා සමග කුමක් හෝ රටේ නැති හේතුවකට වලියක් ඇද ගැනීම ඉතා සාමාන්‍ය දෙයකි. තේ, කෝප්ප, පිඟන් ඇතුළු කෑම බීම ගන්නා භාජන පිරිසිදු නොකිරීම, කාල සටහනට පිටින් නාන කාමරය භාවිතය, වායුසමීකරණ යන්ත්‍රයේ සීතල වැඩි කිරීම වැනි වැදගැම්මකට නැති හේතු මේ සඳහා හොඳටෝම සෑහෙන්නේය.

ඒ නිසා මේ කලබලය ගනිච්චියකට නොගත්තත් කවදාවත් නැතිව මෙදා පොටේ මළබාරියන් නේපාලි බාසාවෙන් ආඩපාලි කියන්නේ ඇයිද යන්න කණ්ඩාගේ ටිකිරි මොළයට තේරුණේ නැත, ඒ කොහොම වෙතත් උන්ගේ දෙමව්පියන් ඇතුළු නෑදෑ සනුහරයටම යටිහිතින් පින් අනුමෝදනා කළ කණ්ඩා ආපහු ඇඳ රෙද්ද අස්සට රිංගුවේය.

ගනකම ලොම් පොරෝනාවකින් කේශාන්තයේ සිට පාදාන්තයටම වසාගෙන සිටියත් දැඩි සීතලක් ගත වෙළා ගත්තේ වායුසමීකරණ යන්ත්‍රය උපරිමයටම ක්‍රියාත්මක කර ඇති නිසා විය යුතුය. කණ්ඩා සීතල මකා ගන්නට තවත් ගුලි ගැසී තදින් ඇස් පියා ගත්තේ නැවතත් නින්දට යන්නට වූ උවමනාව නිසාමය.

වෙනදා කණ්ඩා මුහුණ කට සෝදා කන්තෝරු යන්නට ඇඳ පැළඳ ගන්නේ මළබාරියන් පිටත්වී පැයක් පමණ ගතවූ තැනය, ඒ වැඩිපුර පැයක නින්ද සද්ද බද්දයෙන් තොරය. පාන්දර ජාමයට වැඩිපුර පැයක් නොව විනාඩි පහක නින්දක පවා ඇති වටිනාකම අමුතුවෙන් කියන්න අනවශ්‍යය. හැමදාමත් ඇස් පියා ගත් පමණ නිරුත්සාහයෙන් නිදි වදින මා අහලකටවත් අද නින්ද නොඑන්නේ මොන කරුමයකට දැයි නොතේරේ. බලෙන් දෙනෙත් පියා ගත්තත් ඉන් අත්වූ සෙතක්ද නැත.

මෙසේ නැවත නිදි වදින්නට නිරර්ථක උත්සාහයක් දරමින් නින්දත් නොනින්දත් අතර පෙරළෙමින් සිටි මා ඇඳ කෙළවරක රඳවා ඇති එලාම් ඔරලෝසුව සෙව්වේ වෙලාව දැන ගැනීමටය. නොසිතා පුරුද්දට ඇස් පියාගෙන අත පත ගෑවත් වෙනදාට අතට ගුලි වෙන ඔරලෝසුව අද අසුවන මානයක නැත.

අමාරුවෙන් ඇස් විවර කරගත් මා නැවතත් ඔරලෝසුව සොයද්දී අවට පරිසරයේ වූ අමුතුම නුහුරු බවක් සිතට දැනුණි, කොටින්ම බිත්ති වල දිග පළලේ සිට ඇඳේ කෙඳිරිය පවා වෙනදාට වඩා වෙනස්ය.

ඒ අවසරයෙන් එතෙක් වේලා මග හැර සිටි පියවි සිහිය පොල්ලෙන් ගැසුවා සේ හදිසියේම මා සොයා පැමිණියේය, මා ඉන්නේ බෝඩිමේ නොවේ, කොටින්ම බෝඩිමෙන් සැතපුම් දහසකටත් එහාය. පෙරදා ඩුබායි සිට කාබුල් කඳවුර වෙත පැමිණි ගමන මෙන්ම රාත්‍රී දෙගොඩහරි ජාමයක් පසු වන තෙක් පැවති නැටුම් තෙල් සාජ්ජයත් කෙමෙන් සිහියට නැගෙන්නට විය.

ඒ සමගම මළබාරීන් නේපාලි බාසාවෙන් බැන අඬ ගසා ගත්තේ ඇයිද යන අභිරහසද ඉබේම විසඳුණත් ඒ සමගම මා කාබුල් වලට පැමිණි කාරණාවද සිහිවූ නිසා මා ඉබේටම ඇඳෙන් නැගිට්ටා නොව පැන්නා යයි කිව්වොත් එය වඩාත් නිවැරදිය.

ඒ වන විට වෙලාව පෙරවරු 5.00 ට පමණ වන්නට ඇත, තට්ටු ඇඳෙන් පැන්න පිම්මට වලළුකරත් තරමකට උළුක්කු උවත් අඩුම කුඩුම සියල්ල රැගෙන නොණ්ඩි ගසමින්ම පිටතින් වූ පොදු නාන කාමරය වෙත ඇදුනේ තවත් පරක්කු වෙන්නට වෙලාව නැති හෙයිනි.

එවේලේත් පෙරදා රෑ මෙන්ම නාන කාමරය හිස්ය, සියලු පහසුකම් තිබුණද කඳවුරේ සිටිනා මිනිසුන් වටාපිටාවේ පේන්නට නැත්තේ මන්ද යන්න මට තේරුම් ගත නොහැකි උභතෝකෝටික ගැටළුවකි.

ඒ සියල්ල අමතක කර උණු වතුර පයිප්පයට ඔලුව අල්ලාගෙන සිටියේ පෙරදා සාජ්ජයේ අතුරුඵලයක් වන ඉසේ ඇම්ම තරමක් සමනය කර ගැනීමටය. ඊට අමතරව තවමත් දැනෙන බඩ දැඟලීම සහ උගුරට එන ගතිය අජූතය. ඔය මොනවාටත් වඩා කරදර වෙන්නේ අරිෂ්ඨ ගඳ කන්තෝරුවේ එවුන්ට මීටර් උනොතින්ය.

ඇඟේ පතේ අමාරුව යන්නට උණු උණුවේ තේකක් සමග කාගෙන් නමුත් පැනඩෝල් දෙකක් ඉල්ලන් බොන්නට තියනවා නම් හොඳය.

කඩි මුඩියේම හැඳ පැළඳ ගත් මා එළියට බසිද්දී වාසනාවට මෙන් ආරක්ෂක භටයන් කිසිවෙකුත් පෙනෙන තෙක් මානයක සිටියේ නැත, එනිසා කණ්ඩා හනික පරිගණකයත් කරේ එල්ලාගෙන කාර්යාල පරිශ්‍රය වෙත දිවූවත් ඒ සියල්ල තවමත් හිස්ය.

පෙරදා රාත්‍රියේදී තිබුණු කඩිසර බව වත් නොමැති කඳවුර පාලු ස්වභාවයක් ගත්තා සේම රාත්‍රියටත් වඩා නුපුරුදු දුරස්තර බවක් දැනවීය. කළුවරේ හරිහැටි නෙත නොගැටුණු ගොඩනැගිලි, තැන තැන ගොඩ ගසා ඇති විවිධ උපකරණ සේම නොයෙක් අවවාදාත්මක දැන්වීම් හිතට විශාල අමුත්තක් දැනවුවත් මා ඒ ගැන වැඩි දුර සිතන්නට නොසිට පිම්මේම ආපන ශාලාව වෙත ඇදෙන අතර මගදී රංජිත් මුණගැසුණු නිසා සිතට ලැබුණේ දැඩි අස්වැසිල්ලකි.

රංජිත් පැවසූ පරිදි කඳවුරේ පළමු සේවා මුරය ආරම්භ වන්නේ පෙරවරු 2:00 තරම් උදෑසනින්ය, දවසේ පළමු අහාර වේල පිරිනමන්නට නියමිතව ඇත්තේ අලුයම 4:00 ට වීම නිසා විශේෂයෙන් මුළුතැන්ගෙයි සේවයේ නියුතු කෝකියන්, අහාර පෙර සුදානම් කරන සේවකයන් මෙන්ම එයට අනුයුක්ත සෙසු රාජකාරි කරන්නන්ද සේවයට වාර්තා කරන්නේ කුකුළා හඬලන්නටත් පෙරය.

එදින තුළ දහසකුත් එකක් වැඩ කටයුතු අහවර කිරීමට යොදාගෙන තිබුණු බැවින් හැකි තරම් උදෑසනින් රාජකාරි ඇරඹීම නුවනට හුරුය, ඒ වන විටත් උදෑසන ආහාර සුදානම්ව තිබුණු බැවින් පාන්දර වැඩි නමුත් ඒ සඳහා යොමු වූයේ කිනම් මොහොතක හෝ “කයා” ආපන ශාලාව හෙවත් “කයා ඩීෆැක්” (KAIA DFAC) වෙත යාමට නූර් අප සොයා එන බව අප දන්නා නිසාය.

උදේ  කෑම මේසයේදී මැජික් අරිෂ්ඨ මාතෘකාවක් බවට පත් නොවීම සුභ ලකුණකි, ඒ බොහෝ විට අරිෂ්ඨ සුවඳ නොදැනීමටත් වඩා එය දැනීම සාමාන්‍ය දෙයක් විය යුතු නිසා යයි දැන් මට සිතේ. අහාරය අතරතුරම ආපන ශාලාවේ සේවකයෙක්ගෙන් ඉල්ලා ගත් පැරසිටමෝල් පෙති දෙකක් බීම නිසා ඔලුවේ කැක්කුම පහව යනු ඇත, කෑම බඩට වැටුණු නිසා බඩ දඟලන ගතියත් අවමය.

Entrance of Kabul Airport

“කයා” (KAIA DFAC) යනු කාබුල් අන්තර්ජාතික ගුවන්තොටුපොළ ආපන ශාලාව (KAbul Internationa Aiarport Dining FACility) යන පතරංග නම කෙටියෙන් හැඳින්වීම සදහා යෙදෙන්නකි. අප සිතූ ආකාරයටම ආහාර ගනිමින් සිටින අතරතුර රංජිත් හට දුරකථන ඇමතුමක් ලබා දුන් නූර් කෑම අහවර වී කාර්යාල ගොඩනැගිල්ල වෙත පැමිණ මුණගැසෙන ලෙස ඉල්ලුවේ වාහනයක් සුදානම් වූ ඉක්මනින් අප ගමන ඇරඹීමටය.

අප කාර්යාලය වෙත යන විටත් නූර් විසින් වාහනයක් සුදානම් කර තිබුණි, ඒ වන විට අප ආයතනය සතුව නවීන ටොයෝටා ෆෝරනර් (Toyota Forerunner 4×4) රථ තිබුණත් සියල්ලන්ගේම කැමැත්ත පැවතියේ ඇෆ්ගන් වැසියන්ගෙන් කුළී පදනම මත ලබා ගන්නා ලද කල් පැන ගිය පැරණි වෑන් රථයන්යටමය.

හතරයි හතරක සුවපහසුවට ගමන් කළ හැකි උවත් එවැනි වාහන අතරමග රැක එල්ල කරනා තලිබාන් ප්‍රහාරයන්ට ලක් වීමේ සම්භාවිතාවය වැඩිය, එනිසා සැප පහසුවෙන් එලොව යනු වෙනුවට පිට කැස්ම හැදුනත් මළකඩ කෑ වෑන් කබලක එල්ලීගෙන කරන රාජකාරියක් නිම කර පණ නළත් රැකගෙන පරිස්සමට කඳවුරට පැමිණෙනා එක ශරීර සෞඛ්‍යයට හිතකරය 😀

පෙරදා රාත්‍රියේ අප කඳවුර වෙත පැමිණි වෑන් රථය හා සමානම පැරණි රථයකට ගොඩ වැදුණු අප අප කයා ඩීෆැක් වෙත පිටත් වීමු. පහසුවෙන් පස්ස තබා ගැනීමට හැකි ආසන සහිත ඩීසල් දුමෙන් තොරව නිදහසේ හුස්ම ගත හැකි මෙය පෙරදා වාහනයට වඩා දහස් ගුණයක් හොඳය.

ඕනෑම වාහනයක් කඳවුරෙන් පිට වෙද්දී එය පදවන රියදුරා සහ රැගෙන යන මගීන් ඇතුළු බඩුබාහිරාදිය ගැන ප්‍රවේශමෙන් විපරම් කිරීම මෙන්ම ඒ පිලිබඳ සටහන් ලබා ගැනීම ගේට්ටුව මුර කරන නේපාලි ජාතික ආරක්ෂක භටයන් අතපසු වීමකින් තොරව සිදු කරන්නකි. එබැවින් නැවතත් කඳවුරු හැඳුනුම්පතක් නොමැතිවීම ගැන කණ්ඩාගෙන් පෙරළා ප්‍රශ්න කෙරුණත් නූර් මැදිහත් වී එය සමතයකට පත් කළ නිසා වැඩි කරදරයකින් තොරව කඳවුරෙන් පිටත් වීමට හැකි විය.

අප යන මග දෙපස විමසිල්ලෙන් නිරීක්ෂණයේ යෙදුනෙන් රාත්‍රියේ (නු)දුටු නගරයට වඩා හාත්පසින්ම වෙනස් නගරයක් අප ඉදිරියේ ඇති බව අවබෝධ විය. මහා මාර්ග, වාණිජ ගොඩනැගිලි ඇතුළු යටිතල පහසුකම් වල වූ අඩුපාඩුකම් හැරුනුකොට නගරයේ බොහෝ ප්‍රදේශයන් දුප්පත්කම වෙළාගත් ලොව අන් නගරයකට වඩා වැඩි වෙනසක් නැත.

නමුත් තැනින් තැන කොන්ක්‍රීට් කුට්ටි සහ යකඩ බාධක යොදා ඇටවූ මාර්ග බාධක මෙන්ම මග දෙපස ඉඳහිට හමුවන වෙඩි පහරවල් වලින් සිදුරු වී ගිය බිත්තිද බෝම්බ ප්‍රහාර වලට ලක් වන්නට ඇතැයි සැක කළ හැකි විනාශ වී ගිය විවිධ ගොඩනැගිලි සහ රථ වාහනද මෙහි ඇති කිසිම දෙයක් සාමාන්‍ය නොවන බවට ඉඟි සපයන්නේය.

බොහොමයක් මාර්ග බාධක අවි අමෝරා ගත් හමුදා හෝ පොලිස් නිලධාරීන් විසින් රැකවල් කරනු ලබන අතර නිතර සැක කටයුතු වාහන නවතා සෝදිසියේ යෙදෙනු දක්නටද ලැබුණි, වාසනාවට කිසිඳු මුරපොළකට හිර නොවූ අප රථය දිගටම කාබුල් ගුවන්තොටුපොළ බලා ධාවනය විය.

පාර පුරාවට ඇති අලි නාන තරමේ වළවල්, ගරා වැටුණු ගොඩනැගිලි, අතරින් පතර විසිරුණු කුඩා කඩ මණ්ඩි සේම තම තමාගේ වැඩ රාජකාරි වෙත යන කිළිටි ගැසුණු ශල්වාර් කමීස්, අත් රහිත කෙටි කෙටි කබායෙන් සහ පකොල් හෝ කන්දහාරි හිස් පළඳනාවෙන් සැරසුණු ඇෆ්ගානි ජාතිකයෝ ඉතා සුලභය. නගර මධ්‍යයට ලඟා වන විටි පාරේ විවිධ මාදිලියේ ජීප් රථ, කාර්, මෝටර් සයිකල්, වෑන් රථ මෙන්ම හමුදා වාහන වලින්ද අඩුවක් නැත.

ගුවන් තොටුපොළ ආසන්න වන විට නගරයේ අනෙකුත් ස්ථානයන්ට සාපේක්ෂව ආරක්ෂාව දැඩිය, එහිදී හමුදා බාධක කිහිපයකින්ම පරික්ෂාවට ලක් වූ අප අවසානයේ ආපන ශාලාවට නුදුරින් වූ රිය නැවතුම්පොළින් බැස ගත්තෙමු. මීටර 50 ක පමණ වූ ඉතිරි දුර පයින් යා යුතුය, එම සීමාවෙන් එපිටට ධාවනය කළ හැක්කේ හමුදා සහ අවසර ලත් වාහන වලට පමණි.

සුළු පාගමනකින් පසු ආපන ශාලාව වෙත ඇතුළු වුණු අප එහි යන විටත් හමුදා භටයන්ගෙන් සහ සිවිල් කොන්ත්‍රාත්තුකරුවන් යයි සැලකිය හැකි පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන්ද පිරී පැවතුණි.

ආපන ශාලාවට ඇතුළු වන සෙබළුන්ට අහාර ගන්නා ශාලාව තුළට අවි ආයුධ රැගෙන යාමේදී හැම විටම පතුරම් සහිත මැගසීනය තුවක්කු වලින් ඉවත් කරන බවද කණ්ඩාගේ නිරීක්ෂණයට හසු විය.

විවිධ අවි ගැන දැන ගැනීමට දැඩි උනන්දුවක් කණ්ඩාට තිබුණත් ඒ ගැන ඉවෙන් මෙන් තේරුම් ගත් නූර් අවි ආයුධ ගැන අනවශ්‍ය විපරමක් නොකරනා ලෙස අවවාද කල නිසා අකමැත්තෙන් උවත් එතනින් ඉවත් වෙන්නට කණ්ඩාට සිදු විය.

අප වැඩි කල් නොයවා එතැන භාර වැඩ අධීක්ෂක ලෙස කටයුතු කළ පිලිපීන ජාතිකයා සමග කතා බහකට වැටුනේ දවසේ ඉතිරි වැඩ කටයුතු සැලැසුම් කර ගැනීමටයි. ඉතා ප්‍රියමනාප සැහැල්ලුවෙන් කතා බහේ යෙදෙන පුද්ගලයෙකු වූ ඔහුගෙන් අපට අවශ්‍ය තොරතුරු සහ උපදෙස් ලබා ගැනීමට අපහසු වුයේ නැත.

එහිදී අත්‍යවශ්‍ය පරිගණක උපාංග ඇටවීම, වයර් ඇදීම, බිත්ති සිදුරු කිරීම ආදී කුමන කාරියක් සිදු කළත් ඒ සියල්ල හමුදා භටයන් ඇතුළු අහාර ගන්නා උදවියට හිරිහැරයක් නොවන සේ සිදුකළ යුතු බව අපට පැහැදිලි විය.

නූර් සහ රංජිත් පරිගණක ජාලයන්ගේ සබඳතා සහ අනෙකුත් උපාංග සවි කරනාතුරු පරිගණක මෘදුකාංග භාර කණ්ඩා හට විශේෂ වැඩ කටයුත්තක් තිබුනේ නැත, එනිසා නූර් ඒ සම්බන්ධ කටයුත්තකට රංජිත් කැටුව ඉවතට ගිය අතර කාලය ගෙවා දැමීමට ආපන ශාලාවේ දැනට භාවිත වන පරිගණක පද්ධතිය සහ ලියකියවිලි විශ්ලේෂණය කළේ අප අතින් කිසියම් හෝ අතපසු වීමක් නොවීමට වග බලා ගැනීමටය.

ඒ අතරතුරම මද විවේකයක් ලබා ගත් පිලිපීන ජාතික සුපවයිසර්වරයා වෙනුවෙන් ආපන ශාලාවට ගොඩ වදින අහාර කුපන් නොමැති සෙබළුන්ට හට වෙනම ලේඛණයක් භාවිත කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීමට සහ ඔවුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමේ නිරත වන්නට කණ්ඩාට භාර ගත්තේ කම්මැලිකම යවා ගන්නටය.

මේ කාලය අතුළත ඇමරිකානු, බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියානු සහ හංගේරියානු සේනාංක වලට අයත් සෙබළුන් රාශියක් වරින් වර ක්‍රමානුකූලව අහාර ගෙන පිටව ගියහ.

නමුත් මේ භට පිරිස් සිවිල් කොන්ත්‍රාත්කරුවන් වූ එහි සිටි සේවකයන් හා සුහදව කටයුතු කළේ කලාතුරකිනි, බොහෝ දෙනා අමුතු අහංකාර කමකින් යුතුව සේවකයන්ට සලකන බව පෙනෙන්නට තිබුණි, එනිසාම ඔවුන් අතරින් ඉතා මිත්‍රශීලි ලෙස කටයුතු කළ හංගේරියානුවන් සහ ඔස්ට්‍රේලියානුවන් බෙහෙවින් කැපී පෙනුණි.

හංගේරියානුවන් ආපන ශාලාව තුළට පැමිණියේම විහිලු තහළු කරගෙනය, එම කණ්ඩායමේ ජේෂ්ඨයෙකු යයි අනුමාන කල හැකි තරුණ නිලධාරියෙකු තම නිල ඇඳුමේ වූ හංගේරියානු කොඩිය සහිත ලාංචනයට තට්ටු කර ගනිමින් අමුතුම යුරෝපීය උරුවකින් පැවසුවේ :

“We are from Hungary, and we are Very … Very …  Hungry !!!”

හෙවත් තමන් බඩගිනිකාර දේශයේ සිට පැමිණි බඩගිනිකාරයින් බවයි 😀

ඒ ඇරෙන්නට වැඩියත්ම ආඩම්බරකම් පෙන්නුවේ සහ අශිලාචාරම හැසිරීම් රටාවක් ප්‍රදර්ශනය කළේ ඇමරිකානු සෙබළුන්ය. එදින වූ අප්‍රසන්නම සිදුවීමේ ගෞරවය නිතැතින්ම හිමිවන්නේද ඇමරිකානු නොහොත් යැංකි (Yankee) භටයන් වෙතය.

කෑම ශාලාවට ආහාර ගැනීම සඳහා ඇතුළු වන සෙබළුන් ගණනය කිරීමට භාවිත කරන්නේ ඔවුන් සතු ස්වයිප් කාඩ්පතක් (Swipe card / RFID card) ඒවා කියවීමේ උපකරණයක් මාර්ගයෙන් ස්කෑන් කිරීමෙන් බව මා කලින් ලිපියක සඳහන් කළා මතකය.

rf-terminalගැටළුව ඇතැම් සෙබළුන් සතුව මෙම කාඩ්පතක් නොතිබීම හෝ එය තම කඳවුරේ අමතක කර දමා පැමිණීමයි, එවන් අවස්ථා වලදී සිදුවන සාමාන්‍ය ක්‍රියා පටිපාටිය කාඩ්පත් නොමැති සෙබළුන්ගේ නම, සේනාංකය සහ හඳුනා ගැනීමේ අංකය වෙනම ලේඛනයක සටහන් තැබීමයි.

එසේ නොවුණහොත් සුපිරි කොම්පැණිය මගින් ආහාර පාන සැපයුවද ඒ වෙනුවෙන් නියමිත මුදල් අය කර ගැනීමට හැකියාවක් නොලැබෙන නිසා පාඩුව අපටමය.

මේ කියන ගැටුමට මග පෑදුවේ ආහාර කූපන් නොමැතිව ආපන ශාලාවේ ආහාර නිකුත් නොකරනා බව දැන දැනත් එක් යැංකි නඩයක් ලේඛණයේ නම් සටහන් කිරීමට ප්‍රතික්ෂේප කරමින් කණ්ඩා ඇතුළු සේවකයන්ට තග දමා ආපන ශාලාව ඇතුළට යාමයි.

අනෙකුත් සේවකයන් වලිගය කකුල් දෙක අස්සේ ගසා ගත් බලු කුක්කන් සේ වෙනතක් බලා ගත්තත් නිවටයකු ලෙස බලා සිටින්නට බැරි තැන ඔවුන්ගේ මේසය වෙත ගිය කණ්ඩා නිළ ඇඳුම් වල වූ නම් සටහන් කර ගත්තේ මේ පිළිබඳව ඔවුන්ගේ සේනාංකය වෙත දැනුම් දෙන බව පවසමිනි.

ඉන් අතිශය කෝපයට පත්ව තම ආසනයෙන් නැගී සිටි හයේ හතරේ යෝධයෙක් වන් සෙබලෙක් කණ්ඩාගේ මුහුණට එබී :

“We are here to have Breakfast !!!”

“And you Fucking ***** are here to server us, don’t want to hear a single word more !”

“Get the fuck out of here !!!”

ලෙස කාරුණිකව පැවසූයේ මා බිය වැද්දීමට විය යුතුය, මතු පිටින් නොපෙන්නුවත් ඔහුගේ අභිප්‍රාය තරමක් සාර්ථක වූ බව කියන්නට විලි ලැජ්ජාවේ සංතෝසේ බැරිය 😀

මෙම හමුදා සෙබළුන් විනයකින් තොර කාඩයන් ලෙස හැසිරෙනු ඇතැයි කිසිසේත් අපේක්ෂා නොකළත් කණ්ඩාගේ හිත නොගැස්සුණ බවත් කකුල් මැන්ඩලින් නොගැසූ බවත් පැවසුවොත් එය තවත් රාජකීය මුචලින්දයකි 😀

මෙම නොහික්මුණු සෙබළුන් සමග වාද කර ගැනීමේ නිෂ්ඵලත්වය මෙන්ම අනතුරුදායක බවද මා වටහා ගත්තත් මා අත වරදක් නැතිව පසු බසින්නට හිත ඉඩ දුන්නේම නැත. නන්නාඳුනන රටක පිටරැටියන් පිරිසක් මැද සමච්චලයට ලක් වීමත් ඉන් පළුදු වී ගිය ආත්ම ගරුත්වය නිසා රතු කට්ට පනින තරමට සිතේ ඇති වූ කෝපයත් කණ්ඩාගේ බිය සහ තිගැස්ම යටපත් කළා විය යුතුය.

එහෙයින් කෙතරම් තග දැමූවත් මේ යැංකියාට හිස නමන්න මට හිත නොදුන්නෙන් උගේ සද්දයට නොදෙවෙනි තරමට වෙන දෙයක් වෙන්නට පපුව ඉස්සරහට දමා :

I’m just doing my Job and you should do yours ! 

And I’m not asking for favors, just stick to what you should do !!!

සැරෙන් කියා එන්නට හැරුණත්,  අනපේක්ෂිත ලෙස අප අතර ඇති වූ බහින්බස් වීම ඇසුණු එතැන ආහාර ගනිමින් සිටි එක් ජේෂ්ඨ හමුදා නිළධාරියෙකුගේ මැදිහත් වීම මත ගැටළුව නිරාකරණය විය. ඔහුගේ අණ කිරීමෙන් කණ්ඩාට තග දැමූ සෙබළුන් සියලු දෙනා හට ආපසු පැමිණ නම් සටහන් කර යන්නට සිදු විය.

ඒ යන අතරතුරදීත් ආසියාතිකයන් සියල්ලට ඇහෙන නෑහෙන ගානට තිත්ත කුණුහරුප වකාරමින් ගිය මේ නඩයට කණ්ඩා සමච්චල් සහගත හිනාවකින් ඇරෙන්නට වෙනත් පිළිතුරක් දෙන්නට නොගියේ ඒ සිදුවීම තවත් දුර දිග ගෙනයාම අප පැමිණි කාර්යය තවත් දුෂ්කර කිරීමට හේතු විය හැකි බව වටහා ගත් නිසාය.

ඉන් මද වෙලාවකට පසුව පැමිණි පිලිපීන ජාතික ආපනශාලා සුපවයිසර්වරයාට මේ සිදුවීම ගැන පැවසු විට දෑතින්ම ඔලුව බදා ගත් ඔහුගේ ප්‍රශ්න වැල ආරම්භ වුයේ :

“Oh My God, What the Hell Pare !”

Why do you have to piss off bloody god awful Rednecks ???

“WTF were you thinking ???” ලෙසයි 😀

ඔහු පැවසූ ආකාරයට ඇතැම් ඇමරිකානු සෙබළුන්ගේ මේ නොහික්මුණු හැසිරීම ඉතා සාමාන්‍ය සිදුවීමක් බව කණ්ඩාට පසක් විය. එමෙන්ම මේ ස්ථානයන්හි රාජකාරිය අකුරටම ක්‍රියාත්මක කිරීමට ඇති අපහසුකම පිලිබඳ නොයෙක් ප්‍රායෝගික ගැටළුද ඔහු විසින් මතු කරන්නට යෙදුණේය.

මාගේ වාසනාවට ජේෂ්ඨ හමුදා නිළධාරියා නිසි පියවර ගත්තත් බොහෝ නිළධාරීන් අසන්නට සුදානම් සෙබළුන්ගේ පැත්ත පමණක් බවත් එවන් අප්‍රසන්න සිදුවීම් කිහිපයකටම ඔහු මුහුණ දී ඇති බවත් අනාවරණය කළේය. එමෙන්ම ජේෂ්ඨ හමුදා නිළධාරියෙක් එහි නොසිටියා නම් තත්වය තවත් දුරදිග යන්නට ඉඩ තිබුණු බවත් ඔහුගේ මතය විය.

වෙනදාට එවන් අවස්ථාවන් පාලනය කරන්නේ කෙසේදැයි මා පෙරළා විමසු විට උරහිස් හකුළමින් සිනාසුණු ඔහු කියා සිටියේ එවැනි දේ ඔවුන් නොදැක්කා සේ නොසලකා හරින බවයි.

මේ එදා මෙදාතුර ඇෆ්ගනිස්තානය පුරා ලද අත්දැකීම් අතුරින් හමුදා භටයන් සම්බන්ධයෙන් කණ්ඩා මුහුණ පෑ අප්‍රසන්නතම සිදුවීමයි. ඒ ගැන ආපසු මතකයට නගද්දී  ඇමරිකානුවන් සමච්චලයට ලක් කරනා “රෙඩ් නෙක්” විහිළු (Redneck Jokes) වලට මුල් වූ මෙවැනි සාධාරණ හේතු කොතෙකුත් තිබිය හැකි යයි කණ්ඩාට සිතේ.

නමුත් මේ කතන්දරයේ තවත් පැත්තක් වන්නේ සුපිරි කොම්පැණියේද යැංකියන් රැසක් සේවය කළත් ඔවුන් බොහෝදෙනා ඉතා ආචාරශීලි බවය. ඔවුන් මෙවන් නොහික්මුණු ගති ලක්ෂණ පල නොකළ බව නොකිව්වොත් මේ කතාව ඒක පාර්ශවික වැරදි චිත්‍රයක් මවා පෑමට ඉඩ ඇත.

Kabul Truck Parkනමුත් වර්තමානයේ අසන්නට දකින්නට ලැබෙන දෑ කණ්ඩාගේ අත්දැකීම් සමග තාර්කිකව අනුමාන කරන්නට ඇත්තේ යැංකියන් අතර ඔබාමා වැනි සමබර පුද්ගලයන් අබිබවා යන ට්‍රම්පයියාගේ පරම්පරාවේ කල කෝලාහලයට බර ජෝකරයන්ද ඇමරිකාවේ සිටින බවය.

එදාත් අදත් කණ්ඩා ඇමරිකානුවන් දකින්නේ ඇතුවත් බැරි නැතුවත් බැරි වසංගතයක් ලෙසය. නමුත් මේ චිත්‍රයේ ඇති ලොකුම පරස්පරය ඇත්තේ මෙතැන නොවේ, මේ හිල් බිලියන් (Hill Billies) ඩොලර් බිලියන ගණනක් වියදම් කරමින් ඉරාක, ඇෆ්ගනිස්ථාන වැනි යුද්ධ කරද්දී ඉන් යැපුණු කණ්ඩා වැනිම තවත් සිය දහස් ගණනක පිරිසක් ලොව පුරා විසිරී සිටීමයි.

එනම් යුද්ධයෙන් කවුරු බැට කෑවත් තවත් තැනක එයම කාට නමුත් හොඳ පල්ලමක් බවට පත් වන එක වළක්වන්නට බැරිය 😀  😀

~ මතු සම්බන්ධයි !

පසු ලිපි :

වසර කිහිපයකට පසුව බලද්දීත් මේ යැංකි මිනීමරුවන් සමග වාදයට යාම වීර ක්‍රියාවක් නොව අමුම අමු තකතීරුකමක් බව පිළි ගන්නා පළමුවැනි පුද්ගලයා කණ්ඩාය. එමෙන්ම මෙවන් අවස්ථාවන්හිදී සෘජු ගැටුම් වලින් වැළකී සිටීමට කණ්ඩා පසු කාලයකදී ඉගෙන ගත්තේය.

මේ අත්දැකීම් සියල්ලට ලැබුණු වටිනාකම නම් ඇමරිකානු මහජනතාවගේ බදු මුදලින් සහ ඔවුන් විසින් පත් කර ගන්න ලද තකතීරු ආණ්ඩු වල පිහිටෙන් ඉතා සැපවත් ජීවිතයක් ගත කිරීමට අපට අවස්ථාව ලැබීමය.

එනිසා මේ සිදුවීම් කිසිවක් පිලිබඳ කණගාටුවක් අදටත් කණ්ඩාට නැත !

 No Regrets & Long Live American Tax Payers !!!

පෙර ලිපි :

මා දුටු ඇෆ්ගනිස්ථානය ~ I කොටස ~ සුපිරි කොම්පැණිය සහ කණ්ඩාගේ ඇෆ්ගන් පිස්සුව !

මා දුටු ඇෆ්ගනිස්ථානය ~ II කොටස ~ හිවලුන් සමග රාමසාන් සහ ඇන්ටනොව් !

මා දුටු ඇෆ්ගනිස්ථානය ~ III කොටස ~ උඩ යන ඇන්ටනොව් සහ බිම යන ඇන්ටනොව් !

මා දුටු ඇෆ්ගනිස්ථානය ~ IV කොටස ~ පිපිඤ්ඤා සැන්විච්, යහතින් ගොඩ බෑම සහ ඇන්ටනොව් ගැරේජ් !

මා දුටු ඇෆ්ගනිස්ථානය ~ V කොටස ~ කාබුල් ගුවන්තොටුපොළ පාගා මරුවෝ !

මා දුටු ඇෆ්ගනිස්ථානය ~ VI කොටස ~ කාබුල් පොල්ල !

මා දුටු ඇෆ්ගනිස්ථානය ~ VII කොටස ~ කාබුල්හි සුපිරි කඳවුර !

මා දුටු ඇෆ්ගනිස්ථානය ~ VIII කොටස ~ කාබුල් ස්පෙෂල් නේපාලි අරිෂ්ඨ !