Christmas

කොහෙන්ද ? කාටද ? කාගේද ?

දැනට අවුරුදු කිහිපයක සිට මැද පෙරදිගදී දැන හඳුනා ගත් කිතුනු මිතුරන් කිහිප දෙනෙකු සමග නත්තල සමරන්නට කණ්ඩා හට විටින් විට ආරාධනා ලැබෙන්නේය. මේ අතරින් මාගේ අතිජාත මිත්‍රයා වන මළයාලි (Malayali) ජාතික “රෝයර්” (Royer) පවුල සහ ගෝවෙන් ආ කොන්කානියන් (Konkani) වන ඩි’සූසා (D’Souza) පවුල ප්‍රධානය.

රෝයර් දෙමහල්ලන් මැද පෙරදිග ඉන්නා තෙක්ම ඔවුන්ගේ පොඩි එවුන් දෙපොල සතුටු කිරීමට ඉඳහිට නත්තල් පප්පාට සැරසීමට සිදු වුණෙත් කණ්ඩාටමය. ඉන වටේට අමුතුවෙන් පුළුන් කොට්ට බඳින්නට අනවශ්‍ය වීම නිසා  සියලු දෙනා නිතරඟයෙන්ම ඒ රාජකාරිය කණ්ඩා වෙත පංගරාත්තු කළෝය.

අලුත් අවුරුද්ද මෙන්ම කවදත් නත්තලින්ද ජාති, ආගම් භේද වලින් තොරව සංතෝශ වූයේ පොඩි එවුන් බව අමුතුවෙන් කියන්නට අනවශ්‍යය. හිතේ හැටියට කන්නට බොන්නට, නටන්නට, අලුත් ඇඳුම් ආයිත්තම්, තෑගි භෝග ලැබෙද්දී පොඩි උන්ට ඇති සැහැල්ලුව දෙමව්පියන්ට ඇති පවුල් බර සහ අටෝරාසියක් ප්‍රශ්නත් සමග නොලැබුණ බව ඇත්තය.

නමුත් කෙටි කාලයකට හෝ ඒ ඒකාකාරිත්වයෙන් සහ බරෙන් මිදී සතුටු වෙන්නට ලැබෙන වාතාවරණයක් ඇති වීම ගැන ආයෙත් දෙයක් කියන්නට නැත.

පසුගිය වසර අගදී රෝයර් පවුල ඔසීලන්තයට සංක්‍රමණය වූ නිසා මෙවර නත්තල් සමරන්නට කණ්ඩාට සහ හාමිනේට ආරාධනා ලැබුණේ ඩි’සූසා පවුලෙන්ය. නමුත් හාමිනේගේ ඥාති පුත්තරයෙක් ඔටු දේසයට ගොඩ බැස්ස නිසා ඒ සාජ්ජය ගැනත් නිච්චියටම කියන්නට බැරිය.

වසර අගදී  කණ්ඩලෑ කොම්පැණියෙන් නොමසුරුව පවත්වන්නට යෙදෙන නත්තල් සාදයත් දෙසැම්බර් 25 – 26 දෙදිනට ලැබෙන විශේෂ නිවාඩුවත් නිසා නත්තල සුවිශේෂ වන නමුත් කරුමයටදෝ මෙදා පොටේ කන්තෝරුවේ නත්තල් සාදයත් නැත.

ඒ කෙසේ වෙතත් මෙවර කණ්ඩාගේ වකුගඩු දෙකට දුෂ්කර ක්‍රියා කරන්නට වෙන්නේ නැති නිසාදෝ හාමිනේ නම් මේ සම්බන්ධයෙන් ඉන්නේ සතුටින් බව පෙනේ 😀

ඒ මදිවාට නත්තලේ සිට නව වසර තෙක් වන දෙසතියට මුළු කන්තෝරුවම සොහොන් පිටියක් තරමටම පාළුය. කිතුනු බැතිමතුන් වන සුද්දන්, පිල්ලන් සහ බොහොමයක් මළබාරියන්ද මේ සමයේ නිවාඩුවට යන බැවින් ජරමර වලින් තොරය. හැම දේටම වෙනදාට නැති අමුතු නිස්කලංක බාවයක් ආරෝපණය වන්නේය.

එනිසා රටේ නැති වල්පල් කියවන්නට, අමුතු දේ හිතන්නට වෙනදාටත් වඩා ඉඩ කඩක් ලැබී ඇත, ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන බාලගිරි වැළඳී තිබුණු ලිපි කිහිපයක්ම කඩිමුඩියේ පල කර අහවර කරපු නිසා අලුතින් දෙයක් ලියන්නට හොයද්දි නත්තලට වඩා දෙයක් ඔලුවට එන්නේද නැත. එනිසා කණ්ඩාගේ මේ වෑයම නත්තල වෙනස් ඇසකින් ඉදිරිපත් කරන්නටය.

උපතින් බෞද්ධයෙකු වන (දැන් නම් මොකෙද්ද කියල හරියටම තේරුමක් නැත) කණ්ඩා ඔටු දේශයට ගොඩ බසිනා තෙක් නත්තල ගැන සමීප අත්දැකීම් විරලය, තියෙනා සුළු අත්දැකීම් උවත් පිටස්තරයෙකුගේ ඇසින් දකිනා දේවල්ය. නමුත් නත්තල් ගස්, කැරොල්, කේක්, සාදයන්, නත්තල් පප්පා සහ තෑගී බෝග හුවමාරුව වැනි ජනප්‍රිය දෑ ගැන යම් වැටහීමක් සේම නොසන්සිඳුණු කුතුහලයක්ද කණ්ඩාට තිබුණි.

හිත කොයි වෙලෙත් තිබහින් තියන්නට හොඳ නැති නිසා මේ පිපාසාව සහ කුතුහලය සංසිඳවා ගැනීමට අන්තර් ජංජාලයේ ඉබාගාතේ සැරිසරන අතර නත්තල ගැන කියවූ දේත් කණ්ඩාගේ ටිකිරි මොළයට වැටහෙන තරමට නත්තල ගැන තාර්කිකව හිතෙන දේත් එකතු කරපු එක්තරා ආකාරයක විමර්ශනකි මේ.

වර්තමානයේදී නත්තල සමරන කිතුනු බැතිමතුන් එය යේසුස්තුමන්ගේ ජන්ම දිනය ලෙස සලකති, යේසුස්තුමාගේ උපත සිදු වූයේ දෙසැම්බර් 25 වෙනිදා බෙත්ලෙහෙමේ ගව ලෙනකදී යයි අද බොහෝ දෙනා විශ්වාස කලත් ඓතිහාසිකව ඒ ගැන සලකා බලද්දී එයිට බෙහෙවින් පරස්පර තොරතුරු සොයා ගැනීම අපහසු නැත. ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යාත්මකව පිළිගත හැකි සාක්ෂියක් අද වනතුරු හමු වී නැත.

Bedouineකණ්ඩා සංචාරය කරද්දී  සහ ප්‍රදර්ශන වලදී  යුරෝපීය, කළු ජාතික මෙන්ම මැදපෙරදිග මුහුණුවර ඇති යේසුස්තුමන්ගේ සුරුවම්, පින්තූර ආදිය දැක ඇත. නමුත් යෙසුස් වහන්සේ කී පමණින් අද වන විට මා හිතේ ඇඳෙන්නේ රැවුල සහ කොණ්ඩය වැවූ ලෝගුවක් ඇඳ හම් ඉනපටියක් පැළඳි ගොපල්ලෙකු වන් පුද්ගලයෙකි. එය අපි වර්තමානයේ දකින සුද්දන්ගේ යෙසුස් තුමාට වඩා බොහෝදුරට මැදපෙරදිග කළාපයේ සංචාරක ගොපල්ලන් වන බෙඩුයින්වරයෙකුගේ (Bedouin) රූපයට සමාන වන්නේය.

ඒ අතින් ගත් කල බෞද්ධයින් බුදු රජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පරිනිර්වාණය සිදු වුයේ යයි සමරන වෙසක් පසළොස්වක දිනය නත්තලෙනුත් බුදුරජාණන් වහන්සේගේ රූපය යයි සිතා වන්ඳනා මාන කරන අටෝරාසියක් පිළිමයන් යේසුතුමගේ සුරුවම් වලිනුත් වෙනස් වන්නේ නැත.

වතිකානුවෙන් මුල්ම නිළ කිතුනු නත්තලක් ගැන ප්‍රකාශයට පත්වන්නේ ක්‍රි.ව. 350 දී පමණ පළමුවැනි ජුලියස් පාප්වරයා විසින් දෙසැම්බර් 25 වැනිදා නත්තල් දිනය ලෙස ප්‍රකාශ කිරීමත් සමගයි.

නමුත් රෝම ක්‍රමය අනුව ශීත සෘතුවේ කෙටිම දවස හෙවත් “වින්ටර් සොල්ස්ටිස්” (Winter Solstice) යෙදෙන්නේ එයට කිට්ටු දිනයකදීය. වසරේ මෙම කාල වකාවානුවේ පවත්වන්නට යෙදෙනා “පේගන්” (Pagan) හෙවත් කිතුනු දහමට පෙර පැවති විවිධ ආගම් වලට අයත් නානාවිධ සිරිත් විරිත් සහිත උත්සව කිහිපයක්ම පැවතුණි.

ඒ අතර හිරු දෙවියන් ඇදහූ ජනයා විසින් සමරන්නට යෙදුණු “ඩයිස් නැටලිස් සෝලිස් ඉන්වික්ටයි” (Dies Natalis Solis Invicti) සහ සෙනසුරු දෙවියන් හට ගෞරවයක් වශයෙන් පැවති “සැටනෙලියා” (Saturnalia) නම් උත්සව ප්‍රධාන තැනක් ගත් අතර පසුකාලීනව කිතුනු දහමේ ව්‍යාප්තියත් සමග එය කිතුනු උත්සවයක් බවට පරිවර්තනය කර ගන්නා ලදී.

එමෙන්ම මුල් අවදියේ කිතුනුවන් නත්තල සමරුවේ නැතුවා මෙන්ම වත්මන විශේෂ අහාර පානයෙන් සපිරුණු නත්තල් භෝජන සංග්‍රහයන්ගේ සහ නත්තල් කැරොල් ගීතිකා වල ඇරඹුම සනිටුහන් වන්නේ 4 වන ශතවර්ෂයේ පමණ රෝමයේදීය. රෝමන්කාරයෝ ආදරයට, යුද්ධ කරන්නට මෙන්ම කන්නට බොන්නටත් (Wine & Dine) හපනුන් බව වත්මන් ඉතාලියානු සූපවේදය ගැන දැනුවත් අයෙකුට සිතා ගැනීමට අපහසු නැත.

රසමසවුලෙන් පිරි භෝජන සංග්‍රහයන්, සාදයන් සහ තෑගි භෝග හුවමාරුව දෙසැම්බර් මස 25 වනදාට සමගාමිව යෙදෙන වෙනත් ආගමික උත්සව වලින් කිතුනු දහමට ආරෝපණය කර ගත් දෑය. රෝමානුවන් පැවැත්වූ සැටනෙලියා උත්සවය මෙන්ම ජර්මානු/නොර්ඩික් ගෝත්‍රිකයන් සැමරූ “යූල් ලොග්” (Yule Log) යන උත්සවයන්හි කෑම බීමට සහ තෑගි භෝග හුවමාරුවට ප්‍රධාන තැනක් ලැබී තිබුණි.

ඉස්සරම කණ්ඩා පොඩි දවස් වල නත්තලට තෑගි ලැබුණු බව මතකය. ඒ තෑගි දුන්නේ නත්තල් පප්පාය. නත්තල් පප්පා රාත්‍රියේදී කාටත් හොරෙන් එන්නේ පිනිමුවන් විසින් ඇදගෙන අහසින් යන කරත්තයකින් බවත්, ඒ ඇවිදින් ගෙදර දුම් කවුළුවෙන්  කීකරු ළමයින් හට තෑගි බෙදන බව කිව්වේ තාත්තාය.

අප නිවසේ තෑගී එවන්නට පුළුවන් චිමිනියක් හෝ කීකරු ළමයි නොසිටීම ප්‍රශ්නයක් උවත් අපට නොවරදවා නත්තල් තෑගි වැරදුනේ නැත 😀

නත්තල් පප්පා නත්තලට එකතු වෙන්නේ පුරාණයේ බයිසැන්තියානු අධිරාජ්‍ය පිහිටි තුර්කියෙනි. අද “සැන්ට ක්ලෝස්” (Santa Claus) නමින් හැඳින්වූවත් නියම නම සෙන්ට් නිකලස්ය (Saint Nicholas).

තුන්වන ශතවර්ෂයේ විසූ ග්‍රීක ජාතික බිශෝප්වරයෙකු වන ඔහු දුප්පත් දරුවන් සහ තරුණ තරුණියන් හට තම ධනයෙන් හැකි පමණ උදව් කළ නිසාවෙන් බොහෝ ප්‍රසිද්ධියට පත් විය. දෙසැම්බර් මසට යෙදුණු ශාන්ත නිකලස් සැමරීම පසුකාලීනව තුර්කිය හරහා යුරෝපයටත් ඉන් ලොව පුරාත් ව්‍යාප්ත වූවා සේම නත්තලට නැතිවම බැරි අංගයක් බවටද පත් විය.

එදා අසරණයින්ට උදව් උපකාර කළ ශාන්ත නිකලස් සහ වර්තමානයේ තනිකරම පාහේ වාණිජමය කටයුතු සඳහා පතුරු ගසනා සැන්ටාත් අහසට පොළොව මෙන් වෙනස්ය. හැඩ හුරුකමින් ගත්තද මේ වෙනස එලෙසින්ම පවතී, පහත දැක්වෙන පින්තුර ද්විත්වය මගින් එම වෙනස මොනවට පැහැදිලි වනු ඇත.

අද අප දකිනා සුදෝසුදු රැවුලකින් සහ රතුපැහැ ලෝගුවකින් සහ බාච්චුවකින් සැරසී පිනි මුවන් විසින් අදිනා කරත්තයකින් ගොස් තෑගි බෙදනා තඩි මහත සැන්ටාගේ කන්තදර තනිකරම වෙළඳ අරමුණු පෙරදැරි කරගෙන 19 වන ශතවර්ෂයේ සිදු වන්නට යෙදුණු නිර්මාණයකි. අද නත්තල ලංවන විට පඳුරකට පයින් ගැසූවත් නත්තල් පප්පලා විසිවෙන නිසා ඒ ගැන කියන්නට ඇත්තේ හො  .. හො .. හෝ … අනේ අනිච්චං ! කියා පමණි.

නත්තල ලං වන විට පාරවල් දෙපස විකුණන්නට තබා තිබෙන ෆර් හෝ සයිප්‍රස් ගස් සුලභ දසුනකි, ඒ අන් කිසිවක් සඳහා නොව නත්තල් ගස් ලෙස සැරසීමටය. කැලයේ  සාරයට වැවෙනා සදාහරිත ගසක් කපා ගෙයක් තුළ තැබීමෙන් ඇති වාසියක් පෙනෙන්නට නැතත් අද එයත් ප්‍රමුඛ නත්තල් චාරිත්‍රයකි.

නත්තල් ගස කිසිම අයුරකින් කිතුනු දහම හා සෘජු සම්බන්ධතාවයක් නැත, නමුත් “‍ට්‍රී ඔෆ් ලයිෆ් “(Tree Of Life) හෙවත් ජීවන වෘක්ෂයේ පුරාවෘත්තය බඳු පේගන් ඇදහීම් කිතුනු සංස්කෘතිය හා බද්ධ වීම මත නත්තල් ගස මෙන්ම හොලී, මිසල් ටෝ (Holly & Mistletoe)  වැනි අනෙකුත් සැරසිලි වලටද මග පාදා ඇත.

නත්තල් ගස් සැරසීමේදීද ඒ සඳහාම ආවේනික වූ විවිධ සැරසිලි හා බැඳුනු හේතුන් සහ සම්ප්‍රදායන් ඇත :

සීනු : යේසුස්තුමන්ගේ උපත ලොවටම දැනුම් දීම

නත්තල් තරුව : යේසුස්තුමන්ගේ උපත සහ උපන්දා බෙත්ලෙහෙමට උඩින් පෑයූ තරුව

ඉටි පන්දම් : යේසුතුමන් ලොවට පහල වීමෙන් ලද දිව්‍යමය මග පෙන්වීම

බෝ පටි  : හොඳහිත සහ බැඳීම්

මේ අතර ප්‍රධාන වනවා සේම නත්තල් ගස මුදුනේ තරුව තැබීම සහ ගෙදර ගවලෙනක් ඇතිනම් එහි යේසු බිළිඳුන්ගේ පිළිරුවක් තැන්පත් කිරීම ගෙදර ප්‍රධානියා විසින් සිදුකරනු ලබන විශේෂ කාරියක් සේ සැලකේ.Christmas Stable

යේසුතුමන් උපත ලැබූ ගවලෙන පිළිබිඹු කරමින් සරසන්නට යෙදෙන ගවලෙන්හි යේසු බිලින්දාට අමතරව, ඔහුගේ දෙමාපියන් වන ජෝසප් සහ මරියතුමිය, එළුවන් සහ බැටළුවන් මෙන්ම නත්තල් තරුව අනුව යමින් යේසු බිලිඳා සොයා පැමිණි රජ තුන්කට්ටුවද (Three Wise Men) වේ.

අන්තිමේදී මේ සියල්ල කාලයත් සමග නත්තල් උත්සවය වෙත අවශෝෂණය වී නවතින නමුත් නත්තල අයිති කාටද යන්න තවමත් ප්‍රශ්නයකි ?

යුදෙව්වන්ගෙන් ග්‍රීකයන් හා රෝමානුවන්ටද පේගන් බැතිමතුන්ගෙන් කිතුනුවන් අතටද ගිය නත්තල අද කා අතේද ? අද නත්තල වෙළඳ සමාගම් අතේය !

අද නත්තල අන් සියලු දෙනාටත් ඉහළින් සමරන්නේ වෙළඳ ප්‍රජාවයි, අපට අමතක උනත් නත්තල ඔවුන්ට අමතක වන්නේ නැත. පුවත් පත්, සඟරා, ගුවන්විදුලිය, රුපවාහිනිය යන සියළු මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොනික මධ්‍යයන්හි ප්‍රචාරය වන නොයෙක් මාදිලියේ දැන්වීම් සලකා බලන විට කිසිම අයුරකින් නත්තල අමතක වන්නට දෙන්නේ නැති බවද පැහැදිලිය.

e-තැපෑල නොයෙක් විශේෂ නත්තල් දීමනා දන්වමින් එවනා ස්පෑම් ලිපි (Spam mails) වලින් පිරි ගොසින්ය, හැම දැන්වීමකම බලෙන් ඇඟේ ගසන්නට හදන කුමන හෝ ජාතියක නත්තල් සැරසිලි, නත්තල් සුභපැතුම් කාඩ්පත්, විවිධ කෑම බීම ආදී අටෝරාසියක් විච්චූරණ සිහි ගන්වන්නේ වෙළෙන්දන් විසින් පැහැර ගන්නා ලද සිංහල දෙමළ අලුත් අවුරුද්දේ වර්තමාන තත්වයමය.

මේ වෙළඳ ප්‍රචාරණය සඳහා වෙළඳ ප්‍රජාව කෙතරම් මුදලක් යට කරන්නේද යන්න කණ්ඩාට හිතා ගැනීමටත් බැරි තරම්ය, එම්තරම් මිල මුදල් වැය කරමින් මේ උදවිය දිවා රෑ නොබලා මහන්සි වන්නේ පාරිභෝගිකයන් වන අපිට ඇති සත්ව කරුණාව නිසාමය 🙂

මේ සමයේදී ඇති මිනිසා මෙන්ම නැති මිනිසාද එක සේ කරදරයේ වැටෙන්නේ මේ වෙළඳ ප්‍රචාරණ යාන්ත්‍රනය මගින් අපගේ හිත් වලට කවා ඇති අමුතු නත්තල සැමරීමට වියදම් කරන්නට සිදු වන මුදල් කන්දරාව නිසාය.

සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරද්දී මෙන්ම පොඩි එවුන් සතුටු කිරීමට නත්තල සැමරීමෙන් ඈත් වී සිටීමද අපහසු දෙයකි, නමුත් නුවණක්කාර වැඩය නම් ණයට නත්තල් කා අලුත් අවුරුද්දේ දත නියවාගෙන නොඉන්නට මග බලා ගන්නා එකය !

කොහොමින් කොහොම නමුත් කණ්ඩාගේ ප්‍රාර්ථනය මෙවරත් නත්තල සමරන්නට මග බලා ඉන්නා කිතුනු බැතිමතුන්ට සියලු දෙනා හට :

සුභ නත්තලක් වේවා  ~ Wish you all a Merry Christmas !

~ කණ්ඩා !