Happy New Year

අද දෙසැම්බර් 31, අවුරුද්දේ අන්තිම දවස

ඒ පැත්ත බලල මේ පැත්ත බලනකොට ඒ අවුරුද්දත් ඉවරවෙලා කියපල්ලකො. කමක් නැහැ හෙට තවත් අලුත් අවුරුද්දක් එන නෙව.

ඉතින් ලබන්නා වූ නව වසර සිරි ලංකාවාසී සහ කරදිය වළල්ලෙන් එපිට වෙසෙනා සකල දේශවාසී සිරි ලාංකිකයන් හැමදෙනාටම කිරියෙන් පැණියෙන් උතුරන, බලාපොරොත්තු සියල්ල ඉටු වන සුභ අලුත් අවුරුද්දක් වේවා කියල කණ්ඩා දෙපළ හද පතුලෙන්ම ප්‍රාර්ථනා කරනව.

කණ්ඩට හිතෙන විදිහට ඉහත ප්‍රාර්ථනාවන් අතරින් වැදගත්ම බලාපොරොත්තු ඉටුවීම වෙන්න ඕන, කෑම-බීම, ඇඳුම්-පැළඳුම් සහ ඉඳුම් හිටුම් කියන මුලික අවශ්‍යතාවයන් පිරිමැසුණට පස්සෙ මිනිසා ජිවත් කරවන ප්‍රධානම දේ තමයි බලාපොරොත්තුව !

බලාපොරොත්තුව මිනිසාට ලුහු බඳින්නට අරමුණක්ද ලබා දෙනවා වගේම ඒ අරමුණ මුදුන් පමුණුවා ගත්තහම දැනෙන විස්තර කරන්නට බැරි තරම් ආඩම්බරය සහ සිතේ ඉපිල්ලෙන සතුට ඕනෑම පෘතග්ජනයෙකුට පොදුයි.

නමුත් මොකක් හරි හේතුවකට හරි අහේතුවකට ඒ ඉලක්කයට ලඟා වෙන්න බැරිව බලාපොරොත්තු සුන් උනහම හිතට එන  දුක, අසරණකම වගේම සමහර විට කෝපයත් ඒ තරමටම බලවත් 😦

මේකට විකල්පය තමයි ඔය තරම් බරපතල දේවල් පස්සෙන් පන්නන්නෙ නැතිව අධික දුක වගේම සතුටෙනුත් ඈත් වෙලා සමබර ජිවිතයක් ගෙන යන එක. එක ඉතින් කරනවට වඩා කියන එක තමයි පහසු. ඒ හන්ද බැරිනම් ඔන්නොහෙ යන අතකට යන්න කියල හැම දේම අත ඇරලා දාන එකත් කරන්න බැරි නැහැ.

අරමුණක් නැතිව ජීවිතය ඉබාගාතේ යන්නට ඉඩ ඇරියම විස්තර කරන්න බැරි තරමේ සැහැල්ලුවක් දැනුනත් ඉන් ඔබ්බට ගිය මහා හිස් කමකුත් එකතු වෙන බව නොකිව්වොත් මේ චිත්‍රය තනිකරම අසම්පුර්ණයි.

කණ්ඩාගේ ටිකිරි මොළයට තේරෙන විදිහට අලුත් අවුරුද්දක් ලබන්නට ඔන්න මෙන්න තිබියදීත් හිතේ තියන හිස් බවට හේතුවත් අරමුණක් නැතිව මැදපෙරදිග ගෙවෙනා ජීවිතයම වෙන්න ඕන.

හාමිනේ නම් කියන්නේ කණ්ඩාට තියෙන්නෙ වෙන මොනවත් නෙමෙයි කලින්ම ආ අමුතුම ආකාරයක මැදිවිය අර්බුදයක් (Mid-life Crisis) කියල, ඒ කොහොම වෙතත් ජීවිතය තවත් නීරස වෙන්න ඉස්සර හැකි ඉක්මනින් අරමුණක් සොයා ගන්න එක වඩාත් සුදුසුයි කියල තමයි කණ්ඩට හිතෙන්නෙ.

අනික ඔය කිව්වට අනිත් බොහෝමයක් දෙනාට වගේම කණ්ඩාටත් අලුත් අවුරුදු ප්‍රාර්ථනා (New Year Resolutions) නැතිව නෙමෙයි, අඩුපාඩුව තියෙන්නේ ඔය කිසිම දෙයක් පිටිපස්සේ ඉවර වෙනකම් පන්නන්නේ නැති එක.

ඔය පල්ලෙහායින් දාල තියෙන්නෙ පතරංගයක් වගේ ගොන්නකින් තෝරාගත්ත 2018 දී ගොඩ දාගන්න පුළුවන් කියල හිතිච්චි කෙටි ලැයිස්තුවක්.

අද කරන්න තියන දේ හෙටම කරන්න ~ බාලගිරි

Postponingතමන්ගේ වැඩ වලදි දවසින් දවස වැඩ කල් අරින එක කණ්ඩගේ නරක පුරුද්දක්, ඒ නිසා පහුගිය අවුරුද්දේ කරන්න බැරි වෙච්චි වැඩ ඔක්කොම මේ අවුරුද්දට දාන එක තමයි මේ අවුරුද්දේ පළමුවැනි කාර්යය.

ඒක මම විසින් යෝජනා කරලා, වෙන කවුරුවත් නැති නිසා ඕං මංම ඒක ඡන්දයෙන් ස්ථිර කරා.

සුද්ද කිව්වෙ “බෙටර් ලේට් දෑන් නෙවර්” (Better Late Than Never) කියල නේද?

ලයිසොන් හෝ  …  ඔටුවා හෝ … කණ්ඩා හෝ  !!!

Driving Licenceපහුගිය මාසෙ ඕමානයේ නිස්වා වෙත යෙදුණු කිලෝ මීටර 2,000 කට ආසන්න සංචාරයේදී දැනුණු ලොකුම අඩුපාඩුව තමා කණ්ඩාට ලයිසොමක් හෙවත් රියදුරු බලපත්‍රයක් නොමැතිකම.

ඩැයිවර් හාමිනේ කෙනෙක් කසාද බැඳපු නිසා පහුගිය දහ අවුරුද්ද පුරාවට කරදරයක් නොතිබුණා වගේම සංචාරයක් කිව්වොත් කොයි වෙලාවෙත් අඩියක් එළියෙන් තියාගෙන ඉන්න කණ්ඩලෑ ගෘහස්ථ රියදුරුතුමියගේ ක්‍රියාශිලීත්වය උපරිමයි. එහෙව් එකේ ඉඳහිට හෝ උන්දෑට විවේකයක් ලබාදීම තමයි කණ්ඩාගේ පරම යුතුකම !

එනිසා මේ අවුරුද්දේ හොස්ස ලඟින් මැස්සා යන්නට බැරි ගතිය (හෝ මූලගින්න 😀 ) කෙසේ හෝ පාලනය කර ගෙන මේ කියනා මහා බල සම්පන්න ප්ලාස්ටික් කෑල්ල ලබා ගැනීමට නැවත උත්සාහයක් දැරීමට කණ්ඩා අධිෂ්ඨාන කරගෙන ඉන්නව.

ඔටුවෙක්ගේ හොම්බ තලල හිරේ විලංගුවේ නොවැටී හොඳින් හෝ නරකින් ලැයිසොම ලබාගෙන, අරාබිකරයේ ඉන්න පාරවල් වල ප්ලේන් එලවන හෝමෝ සේපියන් ඔටු පයිලට්ලා වගේ ඉවක් බවක් නැතිව ඉගිල්ලෙන්න වාසනාව කණ්ඩාටත් ලැබේවා කියල ප්‍රාර්ථනා කරගෙන සාදුකාරයක් දෙන්න පින්වතුනි !!!

පොස්සගන් සරණං ගච්චාමි !

VWපුහුලට අත තියපු එකා ලබ්බටත් අත තියන බව ෂුවර් කියලනේ ඉස්සර හිටපු මිනිස්සු කිව්වෙ, එනයින් ගත්තහම කාර් පිස්සෙක් විදිහට මිනියකට තියපු අත පොස්සගන් එකකට නොතිබ්බොත් ඒක මහා නව නින්ගිරාවක් නොවැ !

ඉතින් හාහාපුරා කියල මේ අවුරුද්දෙ මමත් දෙයියන්ගේ මල්ලි තැන්පත් කරන්න ගත්ත “පොස්සගන් ෆන්ඩ්” (Das Auto Fund) කියල ගහපු තඩි කැටේකට. හාමිනේගෙන් මේක බේරගන්න එක තමයි ඊලඟට තියන ලොකුම අභියෝගෙ, ගෙදර ඉන්න හොර හතුරොන්ගෙන් බේරන්න බැරිම උනොත් ගිහින් තියා ගන්නවා කන්තෝරු කාමරෙන් 😀

හැබැයි ඔය කිව්ව ජාතියේ ඉබ්බෙක් ගන්නවද නැද්ද කියල තීරණය වෙන්නෙ කණ්ඩටත් ගොඩ පයිලට් ලයිසන් හම්බ උනොතින් තමයි 😦

කොහොම නමුත් “මිඩ් ලයිෆ් ක්‍රයිසිස්” එකක් යනු කෑලි හැලෙන, පිටකැස්ම හැදෙන, ගැරේජ් එකටම නාකි වෙන පොස්සගන් එකක්ද විය හැකි බව කරුණාවෙන් සලකන්න !

දේශාටනය ~ මාර්කෝ පොලෝ , ඉබන් බතූතා සහ අල් කණ්ඩා !

Egyptකණ්ඩාට තවත් ජිවිත කාලයක් තිස්සේ ඇවිදින්නට තරම් තැන තවත් ඉතිරිව ඇත්තේය. මැද පෙරදිග කලාපයේ පවතින අවිනිශ්චිත වාතාවරණය නිසා ඒ කිට්ටුව පාත ඇති නගර කිහිපය මුලින් බලා අහවර කර ගැනීම නුවණට හුරුය.

එනිසා ඕමානයේ සලාලා, ඊජිප්තුවේ කයිරෝ සහ ඇලෙක්සැන්ඩ්‍රියාව මෙන්ම ලෙබනනයේ බේරූට් සහ බාල්බෙක් යන නගරයන්හි සංචාරය කිරීමට කණ්ඩා අදහස් කරගෙනේ සිටින්නේය.

මේ ඔක්කෝම සෙල්ලම් දාන්නට වෙන්නේ ගෙදරට ගොඩ වදිනා දෙයියන්ගේ මල්ලි අනුවය, මේ අවුරුද්දේ ඉන පටි තදකරගෙන හෝ මේ ගමන් ටික යන්නට ලැබුණෝතින් ප්‍රීති ! ප්‍රීති ! ප්‍රීති !

 

ටු ගිව් ඔර් නොට් ටු ගිව් එ පක්  ?

To Do List - Not Give a Fuckඔය කියපු කුණු හබ්බය කිව්වේ කණ්ඩා නොව ඉංගිරිසියේ මහා ගත්කරු විලියොන් හොල්ලන හෙල්ල තුමා ලියාපු හැම්ලට් නාටකයේ ප්‍රධාන චරිතය වන හැම්ලට් කුමාරයාය ! (අහිංසක කණ්ඩා හීනියට වචනයක් දෙකක් එහෙ මෙහෙ කළා විතරයි ඕං 😀 ).

කණ්ඩා ඕනෑවටත් වඩා විවිධ දේ සහ පුද්ගලයන් කිට්ටු කරගන්නා බවත් අනවශ්‍ය තරමට ඒ දේවල් ගැන හිතනා බවත් දැන් දැන් කණ්ඩාට තේරෙන්නේය. පහුවී හෝ පශ්චාත් භාගයේ සි මොළය සිරසට සංක්‍රමණය වීම අනාගතයට වැදගත් ලක්ෂණයකි.

එනිසා ලබනා නව වසරේදී මේ සියල්ල ගැන නැවත සලකා බලමින් ඩයරියේ මුල්ම පිටුව හරි මැදින් දෙකට බෙදා “ටු ගිව් එ පක්” හා “නොට් ටු ගිව් එ පක්” ලෙස වගුගත කිරීමට නියමිතය.

විශේෂයෙන් මේ ලයිස්තුවේ පුද්ගලයෝ වෙත් නම් වගුවේ “නොට් ටු ගිව් එ පක්” ගණයට නොවැටීමේ වගකීම අදාළ පුද්ගලයන්ගේ මිස කණ්ඩාගේ නොවන බව කාරුණිකව සලකන්න !

එහෙනං ආයෙමත් කණ්ඩගේ පල්හෑලි කියවන හැමෝටම සෞභාග්‍යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා !

~ කණ්ඩා !