Dreams

බලෙන්ම ඇතුළු වෙලා හතුරුකම් කරමින් හිත ටිකෙන් ටික කොනිත්තන හැඟුම් එක්ක ඔට්ටු වෙන්න බැරිව සැහැල්ලුව පස්සේ දොරින් පලා යද්දි … තියුණු කටුවකින් අනින්නා වගේ දැනෙන මොහොතක් පාසා හිත වේදනාවෙන් බර වෙද්දි … තවත් හැංඟෙන්නට තැනක් නැති තැන මහා තනිකමක් එක්ක බලාපොරොත්තු රහිත හිස් බවක් දැනෙද්දි 😦

කටුවකට වදින ඉදිබුවෙක් වගේ තවත් අතුලාන්තයටම ගුලි වෙනවද ? නැතිනම් සියල්ල අමතක කරලා හිත නිදහසේ පාවෙලා යන්න ඉඩ දෙනවද ?

තිර කිසිම දෙයක් නැති මේ ජිවිතයේ අපිට පාලනය කරන්න බැරි දේ බොහොමයි, හැමදේම ගැන අමතක කරලා මොහොතකට හෝ සීමාවක හිර වෙන්නෙ නැතිව හිතට නිදහසේ කැමති තැන සැරි සරන්න දෙන්න, සතුටයි සැහැල්ලුවයි නොවරදවාම එතැන ඉඳීවි 🙂

අපේ හීන වලට වැට කඩුළු බඳින්න පුළුවන් නොපෙනෙන සීමා අඳින්න පුළුවන් අපිටම විතරයි, හැමදේම අතාරින්න හීන ඉගිලේවි අනන්තයෙනුත් එහාට ….

 

අනන්තයට යනවාමයි …

සිහින මවන්නැති අහස උසට තනියම
ලංවෙන්න වෙන්න ඇයි සමහර දුර
ඇහෙන දකින දේවල් කෙතරම් තිබුණද
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක …

සෑම දේම නිමවිය හැක නිමේෂයක
එහෙම උනෝතින් මොනව හිතන්නද
සිහින විමන් වල කවුළු පියන් හැරුනම
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම

සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක …

පද රචනය, ගායනය, සංගීතය : සේනක බටගොඩ

ප.ලි. :

සේනක බටගොඩ කියන සංගීතඥයා මෙතෙක් කල් කොහේ හැංගිලා හිටියද කියන එක කණ්ඩට වගේම තවත් බොහෝ දෙනෙකුට තියන ගැටළුවක්, ඒ ගැන වැඩි විස්තර කොතැනකවත් සොයා ගන්න ලැබුණෙ නැහැ. මේ සේනක බටගොඩ වෙනුවෙන් පවත්වාගෙන යන ෆේස්බුක් පිටුව, එහිත් ඔහු ගැන විස්තර අවමයි.

කොහොම නමුත් පහුවෙලා හරි දක්ෂයෙක් එළි බැහැපු එක ගැන බොහොම සතුටුයි. ඔහු හොඳ ගිටාර් වාදකයෙක් වගේම, ගීත රචකයෙක් සහ තනු නිර්මාපකයෙක් බව ඔහුගේ අතින් වූ අනෙකුත් නිර්මාණ බලද්දී වැටහෙනවා. අවාසනාවට ඒ බොහොම අතලොස්සයි.

කණ්ඩ සංගීත ඔස්තාද් කෙනෙක් නොවුණත් මට හිතෙන විදිහට තරුණ වැඩිහිටි ඕනෑම අයෙකුට ලෙහෙසියෙන් රසවිඳින්න පුළුවන් බටහිර පන්නයට කිට්ටුවෙන් යන සිංහල සරල ගීත කිහිපයක් ක්ලැරන්ස්ගෙන් පස්සෙ ඇහුවමද කොහෙද ?

සේනකගේ ගීත මුලින්ම අහන්න ලැබෙන්නෙ සංගීත් විජේසූරිය ප්‍රමුඛ “වායෝ” (Wayo) සංගීත කණ්ඩායම ගැයූ “අපි කවුරුද” සහ “අපි සැනසිල්ලේ” කියන ගීත නිසා. සමහර උදවිය වායෝ අනුන්ගේ ගීත ගායනා කරනවා කියල දොස් නැගුවත්, ඔවුන් සේනකගේ අවසරය ඇතිව තමයි ඒ ගීත ගායනා කරන්නෙ.

කණ්ඩා අතුළු බොහෝ දෙනා සේනක බටගොඩ හඳුනා ගන්නේ වගේම ඔහුගේ ගීත ජනප්‍රිය වීමට එක හේතුවක් වෙන්නෙත් වායෝ මයි. නමුත් සේනක කියා ඇති පරිදි ඔවුන් ඒ ගැන මෙයට වඩා අසන්නන් දැනුවත් කරනවා නම් තමයි වඩාත් හොඳ.

සේනක ගැන වැඩි විස්තර හොයා ගන්න නොලැබුණත් ඔහු 90 දශකය අග බාගයේ  “චන්දිමාල් ඇන්ඩ් ද සෙකන්ඩ් කනෙක්ෂන්” (Chandimal & The 2nd Connection) සහ 2005 වසරේ “ක්ලියර් වෝටර්ස්” (Clear Waters) කියන දේශීය සංගීත කණ්ඩායම් සමග එක්ව කටයුතු කරල තියනවා. ලිපිය අවසානයේ දාල තියන ගීත අතරින් “එක මොහොතක” ගීතයට සංගීතය සපයන්නෙ “ක්ලියර් වෝටර්ස්” සංගීත කණ්ඩායම.

ඉහළ ඇති සංගීත කණ්ඩායම් වල නමට දාල තියෙන ලින්ක් ඒ ගැන ලියවුණු සඟරා ලිපි, මේ ගැන වැඩි විස්තර හොයල දුන්නෙ “The S Blog” ලියන අසේල අතුකෝරළ, ඔහුට බොහොම ස්තුතියි. ඒ හඳුනා ගැනීම සිදුවුණේ අසේල ලියපු සේනකගෙ මුලින්ම ජනප්‍රිය වූ ගීතය වන “අපි කවුරුද” ගීතය ගැන ලියපු ලිපියක් මාර්ගයෙන්.

සේනක ගැන ලියවුණු ලිපි අන්තර්ජාලයේ සොයා ගන්නට නැති තරම්, එනිසා අසේලගේ ලිපිය මග ඇරෙන්න තියන ඉඩකඩ බොහොම අල්පයි. අසේලටත් සේනක ගැන මට ඇතිවුණු කුතුහලය සහ අදාළ ගැටළු ඒ විදිහටම තියන බව ඔහු හා අදහස් හුවමාරු කර ගැනීමේදී වැටහුණා. (බලාගෙන යනකොට අපි දෙන්නම එක බෝට්ටුවේ දෙපැත්තකට වෙලා ඉඳල තියෙන්නේ 😀 )

නමුත් අසේල කණ්ඩා වගේ සරිගම කන්නෙක් නොවන හේතුවෙන් සහ සංගීතය පැත්තට වඩාත් නැඹුරුවක් ඇති නිසා ගීතය පිලිබඳ ඔහුගේ අදහස් එකතු කරලා හොඳ ලිපියක් ලියල තිබුණා.

මේ ගැන වැඩි විස්තර සොයාගෙන යද්දි සේනක විසින් ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් “අපේ රට” වෙබ් අඩවියේ තිබිල අහම්බෙන් වගේ කණ්ඩට හම්බ වුණා. අවුරුදු 30 ක් තිස්සෙ සංගීත ක්ෂේත්‍රයේ ඉඳලත් අත නොදුන්නු මාධ්‍ය ආයතන වලින් සිදු වූ කුඩම්මාගේ සැලකිලි වගේම ඔහුට අහිමි වූ අවස්ථාවන් ගැනත් මෙහි සඳහන් වෙනවා.

පහතින් දාල තියෙන්නෙ “අපේ රට” වෙබ් අඩවියේ තිබුණු ඒ ලිපිය  :

“අපි කව්රුද” ගීතයේ සැබෑ හිමිකරුවා මෙන්න – සේනක බටගොඩ

 

‘සංගීතය’ කියන්නේ කෙනෙක්ගේ හිත සුවපත් කරන සුවිශේෂ මාධ්‍යයක්. මීට වසර ගණනාවකට කළින් බේස් ගිටාර් එකක් වාදනය කරමින් ගීත ගයපු සේනක බටගොඩ ගොඩක් අය අතරට ආවේ නැත්තේ ලංකාවේ චැනල් එයාට උඩට එන්න අත නොදුන්න හින්දලු. ඒ වගේම අපි කවුරුත් දන්න “අපි කවුරුද” ගීතය ගැනත් ඔහු මේ සාකච්ජාවෙන් ප්‍රකාශයක් කළා.

සේනක ලියපු ගීත වෙන අය ගායනා කරන්නේ නැද්ද ?

මගේ ගීත මමම ලියා ගන්නවා. මං හිතන්නේ ඒකයි හරි වීදිය. අනුන්ගේ තේ එකට සිනි දාන එක මට කරන්න බෑනේ.

ඒත් ඔබේ සින්දු වෙන අය කියනවනේ. ඒකට හිතේ අමාරුවක් නැද්ද ?

එහෙම වෙන්න පුළුවන්. ඒත් මට වෙලාවකට ඒක සතුටක්.

ඇත්තටම සේනකට චැනල්වලින් කුඩම්මාගේ සැලකිලි ලැබුණේ ඇයි ?

ඒ කතාව හරි. මං සංගීත ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු තිහක්. හැම චැනල් එකකින්ම මගේ සින්දු භාර ගත්තේ නැහැ. කවුරුත් මගේ රිද්මය හඳුනාගත්තේ නැහැ.

සේනකගේ රිද්මය හඳුනාගත්තේ සංගීත් ද ?

කවදාහරි ඔය වීදියේ ප්‍රශ්නයකට උත්තර දෙන්න වෙයි කියල ඒ දවස්වලදිම මට හිතුණා. ගිනියම් රැය, යං  යං මේ ගීත රිඟින් ටොන්වලට යොදලා මුදල් ගන්න විදියක් ගැන කිව්වේ ශේනුයි, සංගීතුයි.

ඉතින් ඔබ ඒකට කැමති වුණාද ?

ඔව්. කීයක් හරි ලැබෙන නිසා කැමති වුණා. ආපහු දවසක සංගීත්, ෂේන් මාව හම්බෙන්න ඇවිත් ඒ සින්දු කියන්න කැමතියි කිව්වා. මම ඒකට කැමතියි කිව්වා. ඒකයි කතන්දරේ.

ඔබම ඒ ගීත කියද්දී මෙච්චර හිට් නෑ නේද ?

ඒක හරි. සංගීත්ලා ඒවා තැනකට ගෙනාවා. මට තියෙන එකම දුක ඒගොල්ලවත්, මේ සින්දු කියන අනෙක් සංගීත කණ්ඩායම්වත් ඒ ගීතවලදී මගේ නම නොකියන එකටයි.


 

මේ තමයි මට සේනක බටගොඩ ගැන හොයා ගන්න ලැබුණු සියළුම දේ, මීට වැඩිය විස්තර දන්නා කෙනෙක් ඉන්නවා නම් කරුණා කරලා මා වෙත එවන්න.

“අනන්තයට යනවාමයි” සහ “අපි කවුරුද”  ගීත වලට අමතරව පහත සඳහන් තවත් අපූරු ගීත කිහිපයක්ම සේනකගේ අතින් නිර්මාණය වී තියනව.

සැනසෙන්නම් මා

නිදි නැති රැය පුරා

සැනසුම

හීන වලට පණක් තියනවා

එක මොහොතක

අපි සැනසිල්ලේ

අවාසනාවකට මේ අවුරුද්ද මුල සේනක ඩුබායි වල සංගීත ප්‍රසංගයක් පවත්වල තියන බව දැන ගන්නකොට එයිට ජුන්ඩක් මෙහා සාජා වල ඉන්න පිට ඔටුවෙක් වෙන කණ්ඩ සෑහෙන්න ප්‍රමාද වැඩියි, නැති නම් නොගිහින් අරින්නෙ නැහැ නමුත් සේනකගේ සංගීත ප්‍රසංගයකට සහබාගි වෙන්න අවස්තාවක් ලැබෙන දවසක් ආයෙමත් ඒවි කියල හිතෙනවා.

ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටේ කියන ලංකාවෙ මිනිස්සුන්ට කනක් ඇහිල බස් එකේ යන්න පුළුවන් විදිහට සිංදු ඇහෙන්න තව තවත් මේ වගේ නිර්මාණ බිහි වෙනව නම් කොයි තරම් හොඳද ?

~ කණ්ඩා !

Advertisements