Big ButtonThe Big Button Theory !

කාලයකට පස්සේ ඊයේ පෙරේද දවසක රුපවාහිනියෙ බලන්න දෙයක් නැතිව චැනල් පෙරල පෙරලා ඉන්නකොට එපාම වුණු තැන දාගත්ත නිව්ස්. නිව්ස් කිව්වට නිව්ස්ම නෙමෙයි, CNN (Certainly Not New) කියල ටෙලි නාට්ටියක් වගේ දෙයක් (අපි දැන් ජාත්‍යන්තරේට ගිහින් ඉන්න නිසා, දොට්ට පිලට යන ගමනුත් බලන්නෙම CNN කාටද ආඩම්බර 😀 )

කොහොම උනත් පුදන කොටම කාපි යකා කියල තුන් හතර දෙනෙක් ඉන්න විද්වත් පැනල් එකක් එක්කහු වෙලා අනේ අර අහිංසක පිවිතුරු ට්‍රම්පයියව පතුරු අරිනව. ට්‍රම්පයිය පොඩ්ඩක් කරත්තයකට අහු වෙච්චි තැඹිලි කොම්බයක් වගේ හිටියට, දන්න එකම වචන සෙට් එක දහ පහළොස් පාරක් විතර රිපීට් කරන “ජීනියස්” ඩයල් එකක් උන පලියට, අල්ලන එකක් පුසගෙන්ම අල්ලගන්න ඕන කිව්වට මෙහෙම කරන එක හරිද මං අහන්නේ ?

Biggest Button

CNN හාදයො ටික තමයි කිව්වෙ කියල උතුරු කොරියාවෙ කිම්මයියගේ බොත්තමට වඩා ට්‍රම්පයියගෙ බොත්තම ගොඩා …. ක් ලොකූ…යි කියල උන්දැ කියපු බව, එහෙම අනිත් හැම දේම ලොකුයි කියන්නෙ තියන වෙනත් දේවල් වල පොඩිකම් වහගන්නලු !

අනේ ඔය කිව්වට අපි නම් දන්නේ නෑ ඔව්ව … මොකෝ අපි ඔය එක එක්කෙනාගෙ බොත්තම් වල සයිස් එක මනින්න යන එකක් කියලයැ මන් අහන්නෙ ? ( බාගවිට මෙලනි අක්කගෙන් ඇහුවොත් කියාවි 🙂 )

බොත්තම් වල සයිස් එක මනින්න ඕනෑම නම් අපිටත් නැතුවයැ සේනාවක් තරම් සෙට් එකක්, My3 සොරිසේන, බොNd රනිල්, ස.තො.ස. රවී, සුනාමි මිහිඳු, චණ්ඩි බණ්ඩි … කාටද ආඩම්බර  හෙහ්  ?

ඒ උනාට ආයිබෝවන්ඩ එහෙමයි කියල “බොත්තම උගේ නම් ? ඒක ඔබා ගන්නෙ ඌ නම් ? අපිට මොකෝ ?”

කියල අත පිහදාල අහක බලාගෙන පුළුවන් කමකුත් නෑ … මේ බොත්තම් කෙළිය බොහොම භයානකයි, කලින් හිටපු ඔබා මාම ඕක ඔබා ගන්න දැඟලුවේ නැති උනාට ට්‍රම්පයියයි කිම්මයියයි දෙන්න දෙන්න ඔට්ටු සෙල්ලම් කරන ගමන් ඔබා ගත්තොත් හිරෝෂිමා, නාගසාකි කැලේ !!!Wanna have a Play Date

කොහොමෙන් කොහොම හරි මේ “බිග් බට්න්” (Big Button) කතාවෙන් කණ්ඩගෙ ඔලුවට ආවෙ මේ අන්දකයිප්පුවෝ දෙන්න නෙමෙයි ඊට හාත් පසින්ම වෙනස් මම බොහොම ගරු කරන හාදයෙක් ගැන අවුරුදු 10 ක් විතර පරණ කතාවක් !

කණ්ඩ ලංකාවේ ඉන්න දවස් වල රාජකාරි කළ “Q-කොම්පැණියෙ” , විවිධ රාජකාරි අත්දැකීම් සහ රස කතා උපරිමේටම ලැබුණු තැනක් විදිහට අදටත් මම සලකනවා, මේ කියන වකවානුවේ කන්තෝරුව මුලින්ම නුගේගොඩ පාගොඩ පාර පැත්තට වෙන්නත් පස්සේ කාලයක කොහුවල හන්දිය ය කිට්ටුවත් තිබිල එයින් පස්සෙ කොළඹ බාන්ස් ප්ලේස් එකටත් සංක්‍රමණය උනා.

බොහොම පොඩි ආයතනයක් උනත් වැඩ පොඩි නැහැ, බිස්කට් හදන මංචි කොම්පැණියෙයි ටයර් හදන DSI කොම්පැණියෙයි මෘදුකාංග නිපදවන පාට්නර් විදිහට ඒ දෙගොල්ලොන්ටම අයිතිය තිබුණු ආයතනයක්.

ඒ දවස් වල අපට සැහෙන දේවල් උගන්වපු ජෙෂ්ඨයෝ, කොම්පැණියේ මුල් කණු වගේ හිටපු අය ඉවත් වෙද්දි “ඔරකල්” (Oracle) කණ්ඩායම භාර ජෙෂ්ඨයා වෙච්චි “පුබ්බයිය” (ඇත්ත නමට ලඟින් යන  එකක් දැම්ම ඕං ) ERP (Enterprise Resource Planning) කණ්ඩායමෙත් ව්‍යාපෘති කළමනාකාරවරයෙක් විදිහට කටයුතු කළා, අපි එතකොට වැඩිය කවුරුවත් දනිස්සෙන් පල්ලෙහාට ගණන් ගන්නේ නැති චූ කොල්ලො (සූ ගාල බෙහෙතකට වගේ එකම එක කෙල්ලෙකුත් හිටිය) 😀

ඔය “ඔරකල්” කතාව නිසා පුබ්බයියට “පුබ්ඔරා”(PubOra) කියල කාඩ් ගැහුවෙ මරදානේ ඉඳන් ගම්පහට වෙනකම් කෝච්චි පෙට්ටියෙන් පෙට්ටියට ගෑනු ළමයින්ගෙන් බේරෙන්න සඟ(සන් ග්ලාස්) මාරු කරන බෝල මාම මිසක් අපි නෙමෙයි ( දැන් අහන්නේ එපා බෝල මාම කවුද ? ඒ ඇයි කියල ? ඒ කතාව පටන් ගත්තොත් මේ කතාව ඉවර කරන්න වෙන්නෙ නැහැ මේ සම්මජාතියකට )

අපි එදා වගේම අදටත් බොහොම ගෞරවයෙන් පුබ්බයිය කියල කියනවා මිසක් ඔය වගේ කට කැඩිච්චි කතා කියන්නේ නැහැ අපේ හාමුදුරුවනේ !

පුබ්බයිය ඒ දවස් වල ඇනිල තිබුණ සමහර ප්‍රොජෙක්ට් ගොඩදාන්න වෙහෙසෙන ගමන් ඉටු කරන්න බැරි, තවත් වෙලාවට තකතීරු ඉල්ලීම් කරන දයාබර පාරිභෝහික ප්‍රජාව ගැන සෑහෙන අධ්‍යනයක් කරල තේරුම් ගත්තු දේවල් වලින් තියරියක් හදල තිබ්බ.

වැඩේ චෝර වෙලා මළම පැන්නහම “මුන්ට ඕන වෙන මොකවත් නෙමෙයි හැම මගුලම කරන්න පුළුවන් එක ලොකු බොත්තමක් විතරයි !” කියල දත්මිටි  ගමන් අපිත් එක්ක උන්ට බනින එක සාමාන්‍ය දෙයක්.

අර කලින් කියපු බෝලයා ඔය ඩිංග අහං හිටියොත් හා .. හා .. පුබ්බ ඔච්චර තරහ ගන්න එපා බලපන් තරහ ගිය ගමන් මුණත් කළු වෙලා  !

කියල ඇවිලෙන ගින්නට පිදුරු දානවා ( පුබ්බයිය කොහොමත් මහ කළු සිංහල පාට මනුස්සය 😀 )

ඇයි මොකද මේකත් මේ කෝච්චි පෙට්ටියෙන් පෙට්ටියට සන් ග්ලාස් මාරු කරනවා වගේ කියල හිතුවද …?

උඹත් මාව අවුස්සා ගන්න එපා අරක කියන්නද ?

ඔය කියන වැඩ කරපු අය හිටියේ පන්නිපිටිය පැත්තෙ … ඒ බෝලයාගෙ අන්ඩර් ද බෙල්ට් කවුන්ටර් අටෑක් !

උඹ මගේ කට අවුස්ස ගන්න තමයි ඔය හදන්නෙ  අර *** ඩිස්ට්‍රිබියුටර් ගාව සිද්ද වෙච්චි වැඩේ මතකනේ !!!

පුබ්බයිය කිව්වම බෝලය තවත් අව කැපෙන කතාවක් දෙකක් ලාවට කියාගෙන තමන්ගෙ පැටිකිරිය එළියට ඇදිල වැඩේ වණ වෙන්න කලින් සද්දෙ වහල මාරු වෙනවා.

නෑ ඉතින් ඔහොම තරහ ගන්නකොට ඉක්මනට නාකි වෙනව ඒකයි කිව්වේ ! ඔච්චර තද වෙන්න ඕනයැ ඕකට ?

තොපි ගිහින් එක එකාට බෝල පාස් කරලා ඇවිල්ල තමයි මෙහෙම අනලා තියෙන්නෙ !!!

ඔහොම පටන් අරන් පුබ්බයියගෙ ගැම්ම බහින්න තව ටික වෙලාවක් යනව 😀

ඉතින් ඔය කියපු ලොකු බොත්තම් තියරිය සැකෙවින් විස්තර කරනවා නම් මෙහෙමයි :

Customers Always Right

Customer may not always be right, but always in need of a One Big Button that does it All !

ඕකම හෙළුවෙන් වනනවා නම් : පාරිභෝගිකයා හැමව්විටම නිවැරදි නොවූවත් හැම විටම පාරිභෝගිකයා පතන්නේ කෝකටත් තයිලය බඳු හැම දේම කළ හැකි එක ලොකු බොත්තමකි !

ඉතිං ඒ දවස් වල ඔය කියන ලොකු බොත්තම් තියරිය හෙවත් Customer Expectations & Big Button Theory” ට පුබ්බයිය කොපි රයිට්ස් අරගෙන තිබ්බෙ 😀

ඒ වගේම කාලයක් යද්දී පුබ්බයිය ඕකට තව අලුත් කෑලිත් ඩිසයින් කරා තමන්ගේ පහසුවට, ඒ උපරිමයට බට්ට මාරු උන වෙලාවට දුරස්ථව ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිහට හදාපු පාරිභෝගිකයන් පියවි සිහියට ගන්න පුළුවන් නවීන උපාංග !

පුබ්බයියගෙ ඩිසයින් එක ගැන වඩාත් විස්තර කරනවා නම් ඒ උපකරණය පරිගනකයට සවි කරහම දුරස්ථ පාලකයක් මගින් අපිට පුළුවන් එහි තියන අකුලන්න දිග අරින්න පුළුවන් අණ්ඩක් මාර්ගයෙන් පරිගණකය පාවිච්චි කරන පාරිභෝගිකයාට කරන හැම තකතීරු වැඩක් ගානෙම හොඳ ටොක්කක් අනින්න, ස්ක්‍රීන් එකේ එන පණිවිඩ (Error Message) කියවන්නෙ නැතිව Ok බොත්තම ඔබන එවුන්ගෙන් කනෙන් ඇදල ආපහු මැසේජ් කියවන්න,  එහෙමත් නැතිනම් බැරිම උනොත් කනේ පාරක් උනත් දෙන්න පුළුවන් විදිහෙ අරුම පුදුම යන්තරයක්.

ඩොලර් ප්‍රකෝටි ගණන් ලාභ ලබන ගූගල්, මයික්‍රොසොෆ්ට්, SAP වැනි පරිගණක ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම ඉන්න ආයතන මේ ජාතියේ යන්තරයක් තවමත් හදල නැත්තෙ ඇයි කියන එක වෙලාවකට පුදුම හිතෙන දෙයක්, එහෙම එකක් තිබ්බ නම් පරිගණක ක්ෂේත්‍රයේ ඉන්න අපේ ජිවිතේ කොයිතරම් පහසුද ?

පහුගිය දොළොස් අවුරුද්දක් තිස්සෙ කණ්ඩගේ රස්සාව තමයි ව්‍යාපාරයන් සඳහා කොම්පීතර් මෘදුකාංග ස්ථාපනය සහ පුහුණුව ( ERP Software Implementation & Support ) නමුත් කවුරුවත් ඇහුවොත් නම් මම කියන්නෙ ජොබ් එක “වඳුරන්ට කුරුම්බා කඩන්න පුරුදු කරනවා !” (Teaching Monkey’s to Pluck Coconuts ! ) කියල, මොකද ඒ වැඩේ මම කරන වැඩේට වඩා බොහොම ලේසි තේරුම් ගන්න පහසු දෙයක් නිසා.

අපිට අහන්න දකින්න ලැබෙන දේ, නොදන්නාකමට හෝ තකතීරුකමට මිනිස්සු අහන වල්බූරු ප්‍රශ්න කොයිතරම් ලෙහෙසියෙන් විසඳන්න තිබ්බද මේ වගේ දෙයක් තිබ්බ නම්.

දැනුම බදාගන්නවට වඩා බෙදාගන්න එක වැදගත් නිසා මම කලින් වැඩ කරපු සුපිරි කොම්පැණියේ උදවියටත්, මේ කතන්දරේ කිව්වහම අපේ පාරිභෝගිකයන්ගෙ තකතීරු වැඩ වලින් හෙම්බත් වෙලා හිටපු අපේ ලොක්කත් මේක නිතර පාවිච්චි කරන්න ගත්ත.

**** in ****** Department is Demanding a Big Button ! වගේ දේවල් ඒ දවස් වල නිතර ඇහුණ 🙂

හැබැයි මේකට මගේ බොසා නම තිබ්බෙ “රංගාආආආ’ස් බිග් බට්න් තියරි” (Ranga’s Big Button Theory) කියල ! ( ඔව් අවාසනාවකට පිටරට්ටුම හිටපු සුපිරි කොම්පැණියෙදි මට අලුත් උප්පැන්නයක් දීල නම අගටම ඇදල ගෑල්ලමෙක්ගෙ නමක් වගේ තමයි උච්චාරණය කළේ  😦 )

ඒ සමහර විට Ranga’s Ex-Boss’s Big Button Theory කියන එකට වඩා පහසු නිසා වෙන්න ඇති 😀

මම සෑහෙන පාරක් ට්‍රයි කරත් මේක මගේ තියරිය නෙමෙයි කියල සුදුස්සාට කොපි රයිට්ස් දීල වැඩේ හරි ගස්සන්න මුන්ගේ ලේසියට “Ranga’s Big Button Theory” කියලම රෙජිස්ටර් උනා.

~ කණ්ඩා !