Bevis in Gal Pothuyaya - 1

The Maara Man under the Maara Tree !

සංගීතය ගැන මෙලෝ හසරක් නොදන්නා කණ්ඩා කවදත් ඉලෙක්ට්‍රොනික සංගීතයට වඩා බොක්ස් ගිටාරයක්, බොංගෝවක් වැනි අවම සංගීත භාණ්ඩයන්ගේ උදව්වෙන් උපදින සජීවී එකොස්ටික් සංගීතයට කැමතිය. (වාසනාවට සංගීතය රස විඳීමට එය පරතෙරට දැන ඉගෙන නොසිටීම බාධාවක් නොවේ 😀 )

ගීයක් රස විඳින්නට නම් සෑම තත්පරයක්ම කුමක් හෝ සංගීත භාණ්ඩයක අඬහැරයෙන් පිරිය යුතු නැතැයි යන මතයේ මා සිටින බැවින් බස් නැවතුමක්, දුම්රිය පොළක් හෝ අවන්හලක් යන කොතැනකදී උවත් එකෝස්ටික් වාදනයක් හෝ ඒ හා ගැලපෙන ගායනයක් සවනත වැටුණු තැන කුමන රාජකාරියට ගියත් එය මදකට නවතා සංගීතය රස විඳීම මා සිරිතයි.

මෙම එකොස්ටික් සංගීතයට කණ්ඩා උස් මහත් වූ 80-90 දශකයන් වලදී ජන මාධ්‍යන් තුළින් එතරම් ප්‍රසිද්ධියක් නොලැබුණත්, අද තත්වය තරමක් වෙනස් බව විවිධ “අන් ප්ලග්ඩ්” (Unplugged) ප්‍රසංග, “මා නොවන මම” වැනි සංගීත වැඩසටහන් සහ ඉතා ප්‍රචලිත යූටියුබ් විඩියෝවන් නරඹන කල්හි පැහැදිලි වේ. එය හොඳ ප්‍රවණතාවයකි !

එකල අප පාසල් සමයේ බස් රථ වලට නැග හාමොනිකාවක් හෝ රබානක් වයමින් ගායනයේ යෙදුණු ගායකයන් මෙන්ම ඉඳහිට යුගලයන් ලෙස පැමිණ ගිටාරයක්, ඩොල්කියක් හෝ රබානක් සමග ගායනයේ සහ වාදනයේ යෙදෙන්නන් ගැන විවිධ වූ මතකයන් කණ්ඩාට ඇත. නමුත් මෑත අතීතයේදී විශේෂයෙන් සිත් ගත් එවන් කණ්ඩායමක් වේ නම් ඒ අඹේපුස්ස අවන්හලේ ගායනයේ යෙදෙන “මික්ස්” ගායක කණ්ඩායමයි.

අප නුවර යන ගමන සති අන්තයකට යෙදුණොත් එන ගමන අඹේපුස්ස අවන්හලට නොවැරදී ගොඩ වැදීමට වග බලා ගන්නේ කෑම බීම නිසා නොව සති අග සන්ධ්‍යාවන්හිදී එහි වාදනයේ නියුතු වන මේ කණ්ඩායමට සවන් දීමට ඇති දැඩි කැමැත්ත නිසාවෙනි.

ඔවුන්ගේ ගායනයක් සහිත පහත යූ ටියුබ් වීඩියෝව සොයා ගැනීමට හැකිවීම භාග්‍යයක් වන්නේ ඔවුන් පිළිබඳ වැඩි විස්තර මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍යන්හි නැති නිසාය. මේ මිහිරි සංගීතය නොයෙක් වාරයක් අසන්නට ලැබුණත් එය පටිගත කිරීමට ඉස්පාසුවක් කණ්ඩාට නොවූයේ සංගීතය රසවිඳීම මුල්තැන ගත් බැවිනි.

තම උපන් දක්ෂතාවයන් ඔපමට්ටම් කර ගැනීමට සහ ඉදිරිපත් අවස්ථාවක් නොලද තවත් කොතෙකුත් නම් ඇතිද ?

දැනට සති කිහිපයකට පෙර “අරූගේ අඩවිය” බ්ලොග් අඩවිය ලියන “අරූ” (අරුණ පෙරේරා) මා විසින් සංගීතවේදී සේනක බටගොඩ මහතා ගැන රචිත ලිපියක තබන ලද සටහනක් මගින් තවත් මෙවැනිම කලාකරුවකු පිළිබඳව තොරතුරු ලබා දීම ගැන මා ඔහුට ස්තුතිවන්ත වෙමි.

ඒ වනතුරු “බේවිස් මනතුංග” නම් සොඳුරු මිනිසා ගැන හෝ බේවිස් නම් දක්ෂ කලාකරුවා ගැන මා කිසිදු හසරක් දැන නොසිටියත් ඔහු නුවර පළාතේ උදවියට නම් ආගන්තුකයකු නොවනු ඇත.

හති වැටෙනතුරුම මුදල් පසුපස දුවනා සමාජයක, එයටත් වඩා ජරාජීර්ණ වුණු මාධ්‍ය කලාවක් ඇති රටක මෙවැනි මිනිසුන් ගැන කතාබහට ලක් නොවීම මෙන්ම සුදුස්සාට සුදුසු තැන නොලැබීම එතරම් පුදුම විය යුතු කාරණයක් නොවේ.

නමුත් ප්‍රමාදය යමක් නොකරම සිටිනවාට වඩා හොඳ බවට (Better Late Than Never) වන කණ්ඩාගේ විශ්වාසය නිසා වැල යන අතට මැස්ස ගැසීමේ න්‍යායෙන් ඉවත්ව උඩුගං බලා පිහිනන්නට තතනන බේවිස් නම් කලාකාමියා ගැන සොයා ගත හැකි වූ විස්තර ඔබ වෙත ඉදිරිපත් කිරීම මේ ලිපියේ අරමුණයි.

මෙම ලිපි සියල්ල කියවූ මා හට හැඟුණු ප්‍රධානම දේ නම් බේවිස් මනතුංග යනු ඉතා සරල අව්‍යාජ මිනිසෙකු බවය. නමුත් ඒ සරලකම වටේ ඉන්නා තරමක් බත් බැලයන් කියන දෙයක් අසමින් කාබන් පෑනෙන් අත්සන ගසා හාමිනේ ඔතා දෙන බත්මුල බුදින ගමන් මාධ්‍ය සංදර්ශන තියනා ඇතැම් ගමරාළලා මතුපිටින් උලුප්පන්නට වෙර දරන “පුහු” සරලකමට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් බව ඉඳුරාම පැහැදිලිය.

පසුගිය දස වසරක් පුරා නොයෙක් වර මහනුවර ගැවසුනත් මේ කියනා මිනිසා ඇස නොගැටීම ගැන කියන්නට තියෙන්නේ ඇතැම්විට කණ්ඩාටත් දිනපතා මහමග ඔහු පසුකර ගිය දහසකුත් දෙනා මෙන්ම ඇස ඉදිරියේ ඇති සරල දේට වඩා වටිනා දේ තිබෙන්නට ඇති බවය.

කෙසේ නමුත් කලින් පැවසු පරිදි සමාජයෙන් වැඩි ගරු සැලකිල්ලක් නොලැබුණ, දහස් ගණනකගේ කන පිනවන්නට ඇති මේ සොඳුරු මිනිසා ගැන පමා වී හෝ සටහනක් තැබීමට හැකිවීම ගැන මා සතුටුය.

මේ ලිපියේ මා සොයා දැන සොයාගත් කරුණු ඇති නම් ඒ ඉතාමත් අල්පයකි, පහතින් ඇති විස්තර සියල්ලම අන්තර්ජාලයේ ඔහු සම්බන්ධයෙන් පලව ඇති වාර්තාවන් ඒ අයුරින්ම ඉදිරිපත් කර ඇති අතර එහි ගෞරවය එම රචකයන් හට හිමි විය යුතුය.

~ කණ්ඩා !


 

බේක් හවුස් පාමුළ වික්ටර් හාරා

දිනමිණ : ඔක්තෝබර් 10, 2011

ඔහු සිනාසෙයි. එහි ළෙංගතුකම් උතුරා පිටාර ගලයි. දළඳා වීදියෙහි ගමන් කරන්නන්ට මේ සිනාවෙන් අංශු මාත්‍රයක් හෝ දෙන්නට හේ පසුබට වන්නේ නැත.

ඔහු මටද ළෙංගතු සිනාවෙන් අංශුවක් දෙයි. මම ද සිනාසුනෙමි. සුදු පැහැ දිගු රැවුල් කෙඳි අතර තාමත් සිනහව රැඳී ඇත. මම මේ අපූරු මිනිසා ඉදිරිපිට නතර වුණෙමි. විසල් මාරගස පාමුළ වූ බේක් හවුස් සමීපයෙහි සිටින මේ සුදු රැවුල්කාරයා නුවරුන්ට අමුත්තකු නොවේ.

Kandy‘මට ඔබ ගැන දැන ගන්න කැමතියි’

‘මොනවද?’

‘හැමදෙයක් ම.’

සුදු රැවුල් කෙඳී අස්සෙන් නැවතත් ළෙංගතු සිනහව මතු ව එයි. හේ දිගු කතාවකට මුල පුරන්නාක් වැන්න.

“මම බේවිස් මනතුංග. ඉගෙන ගත්තේ, මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙන්. එහි ඉගෙනුම ලබමින් සිටි අවදියේදිමයි ගායනයට යොමු වුණේ. විද්‍යාලයේ බටහිර ගායක කණ්ඩායම් සාමාජිකයකු විදිහට මට අවස්ථාව ලැබුණා ගායනය වඩා නිවැරැදිව ප්‍රගුණ කරන්න.

වයස අවුරුදු 08 ක කොලු ගැටයෙක්ව සිටි මම සුප්‍රකට එම්.ජී.පී. කලායතනයේ දී එස්රාජ් වාදනය උගත්තා. ඒ සංගීතඥ සිරිල් පෙරේරා යටතේ.

විශේෂයෙන්ම ගිටාර් වාදනය ගැන මගේ අවධානය යොමු වුණේ පාසල් සමයෙන් පසුවයි. 1971 – 1976 කාල වකවානුවේදී මම වැඩිපුර මේ සඳහා උනන්දු වුණා. මා වඩාත් ආශා කළේ හවායන් ගිටාරය වාදනය කරන්නටයි. සංගීතඥ බ්‍රික්ෂස් සමරසිංහ යටතේ මා මගේ වාදන හැකියාව ප්‍රගුණ කළා.”

ඔහු තම අතීතය පිළිබඳ පාපොච්චාරණය කරයි. මම සිහිනයක් දකින්නෙමි. හවායන් ගිටාරය එල්ලාගත් ගැටවරයකු නුවරුන් ගැවසීගත් ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ අතරින් රිංගා යයි. ඒ බේවිස් මනතුංග වග කවුරුන් හෝ එදා දැන සිටියේ නැත.

කුඩා මාර කොළ ගිළිහී වැටෙයි. හරියට හිම පියළි පරිදිය. ඒවා දළඳා මාවතේ වැතිරෙයි. තැන තැන ඉහිරුණු ඒ හිත නැවතත් ඩේවිස් මනතුංග නම් අපූරු මිනිසාගේ ළෙංගතු සිනාව ලඟ නතර වේ.

ආනන්ද පෙරේරා හා අශෝක පෙරේරා ආරම්භ කළ ‘සුපර් ජේම්ස්’ සංගීත කණ්ඩායමට මාත් එකතු වෙලා හිටියා. මෙය ආරම්භ කළේ 1970 වසරේදියි. අවුරුදු දෙකකට පස්සේ මා එයින් ඉවත් වුණා.”

1970 දසකයේ චිලී රටෙහි ජනතා නැගිටීම් පසුපස සිටි චරිතයක් වූයේ වික්ටර් හාරායි. ඔහු එක්තරා ආකාරයකින් අපට පරමාදර්ශී චරිතයක්. සාමය, මානව හිතවාදය, යුක්තිය හා සාධාරණත්වය අරභයා ඔහු ගැයූ ගී නොතකා හරින්නට කිසි ලෙසකින් වත් බෑ.

‘වික්ටර් හාරා’ සංගීත කණ්ඩායමේ අරමුණ වූයේත් එයයි. එක් අතකින් එය වික්ටර් හාරා ට කළ ගෞරවයක්. අනෙක් අතට සාමය, මානව දයාව වැනි අරමුණු වෙනුවෙන් පෙනී සිටීමක්. මේ සංගීත කණ්ඩායම නිර්මාණය කරන්නට පුරෝගාමි වූ අය අතර මාත් හිටියා.

Bevis1982 වසරේදී මා එයින් ඉවත් වුණා.

නුවරුන් වෙනුවෙන් ඔහුගේ සුදු රැවුල් කෙඳි අතරින් ළෙංගතු සිනා මෝදුවේ. ඇතැමෙක් නතරව මේ අපූරු මිනිසාට කතා කරති. අතැමෙක් දෑත් අල්ලා සිඹ යති. ඒ තම ආදරණීය බව ඔහුට දැන්වීමටයි.

“1992 වසරේ මම ‘දෝංකාරය’ නමින් ගී ප්‍රසංගයක් කළා. එය සාමය, මානව දයාව, යුක්තිය හා සාධාරණත්වය පිළිබඳ මගේ දැක්ම , ආකල්ප – වැටහීම් නිරූපිත හොඳම අවස්ථාවක්. ‘දෝංකාරය’ මේ දක්වාම වාර කිහිපයක් සංවිධානය කෙරුණා. මා ලද රසික ප්‍රතිචාර ඉහළයි.

ඒක පුද්ගල ගී ප්‍රසංග ආකෘතියෙන් පරිබාහිරවද ගී ගායනයේ නිරත වෙනවා. උචිත වේදිකාව මා කෙසේවත් මඟ හැර යන්නේ නෑ. මට වැදගත් වන්නේ පිළිවෙත් පමණයි.”

චිලියෙහි වික්ටර් හාරා නම් මානව හිතවාදී ගායන ශිල්පියා ගේ ඡායා මාත්‍රයක් සිහියට නගා ගන්නට මම උත්සාහ කරමි. ඔහු ගේ රුව බොඳව ගනියි. බේවිස් මනතුංග ගේ ළෙංගතු සිනාව සපිරි මුව මඩල මා ඉදිරියෙහි මැවේ.

විසල් මාර්ගය පාමුළ බේක් හවුසිය සමීපයෙහි නිතොර රැඳෙන මේ අපූරු මිනිසා නුවරුන්ට අමුත්තකු නොවූවද ඔහුගේ ජීවිතයට එබී ඔහු ගැන කියවා ඇත්තේ කීයෙන් කී දෙනා දැයි මට හැඟේ.

විසල් මාර තුරු සෙවණැල්ලේ හිඳිනා මේ බේවිස් මනතුංග නම් මිනිසා පිළිබඳව මම කියවමින් සිටින්නෙමි. එහෙත් ඒ ඉතා සුළු වශයෙනි. ඒ සුළු කතා බහේදීත් මට හැඟුණේ එකම එක දෙයකි.

ඒ ඔහු සුන්දර මිනිසකු බවය. මතක තියා ගන්න, මේ මිනිසා ඔබගෙන් යමක් ඉල්ලා සිටින අසරණයකු නොවේ.

ඉතා සුන්දර මිනිසෙකි.

“මා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක්. 1979 වසරේදී මා ලංකා කොමියුනිස්ට් තරුණ සම්මේලනය හරහා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වෙන්නේ. එහි සාමාජිකත්වය මට හිමි වන්නේ 1983 වසරේදියි. මේ මුළු කාලය පුරාවටම මා මගේ අරමුණුත් සමඟ පක්ෂය තුළ සක්‍රීයව රැඳී සිටිනවා.”

මාර පත් හිම පියළි සේ ගිළිහෙමින් තිබේ. මා දැන් මේ සුන්දර මිනිසාට සමුදිය යුතුව ඇත. ඔහුගේ අත් දෝත උණුසුම්ය. මම බේවිස් මනතුංගයන්ට දීර්ඝායුෂ පතා ආපිට හැරුණෙමි.

දළදා වීදියෙහි මද දුරක් ඇවිදගෙනවිත් බේක් හවුසිය දෙස බැලුවෙමි. බේවිස් මනතුංග නම් සුන්දර මිනිසා සුපුරුදු තම ළෙංගතු සිනාව නුවරුන්ට බෙදමින් සිටියි. විසල් මාර තුරෙන් ගිළිහී ගත් පත් ඔහුට ආශිර්වාද කරන්නාක් මෙන් ඔහු වෙතට ගිළිහී වැටෙයි.

තිසර බෝගස්ගොඩ

ඡායාරූපය : ගාමිණී රාමනායක


 

බේවිස් මනතුංග නම් සොඳුරු මිනිසා සමග ගල්පොතුයායේ සැන්දෑවක්

kiyanna.lk – පෙබරවාරි 11, 2016

 

දහදිය මුතු බිඳු කාසි කරන ළඳුනේ
ඒ රන් කාසියෙ අයිතිය නැති ළඳුන්
දහදිය මුතු බිඳු කාසි කරන ළඳුනේ
තේ දල්ලේ රස ලොවට බෙදන ළඳුනේ

ලඳුනේ … ලඳුනේ … ලඳුනේ … ලඳුනේ …

ඉඳිකටු තුඩුවෙන් කාසි මවන ළඳුනේ
ඒ රන් සේලයෙ අයිතිය නැති ළඳුනේ
වැලි කතරේ හිඳ කාසි මවන ළඳුනේ
හිස් මිනිසුන් හට සැපත සදන ළඳුනේ

ලඳුනේ … ලඳුනේ … ලඳුනේ … ලඳුනේ …

හිස් මිනිසුන්ගේ කුස් පුරවන්නේ
සුසිනිඳු සළුවෙන් ගත සරසන්නේ
විල්ලුද යහනක ගත සතපන්නේ
කාපට් පාරක ඉගිලී යන්නේ

ලඳුනේ … ලඳුනේ … ලඳුනේ … ලඳුනේ …

ගායනය සහ තනුව : බේවිස් මනතුංග
පද රචනය : රන්ජිත් විජේසිංහ

මේ අපූරු පද රචනය නිර්මානය කර, සංගීත සංයෝජනය කර, ගායනා කරන මේ මධුර හඬ හිමි ගායකයාට සවන් දී ඉන් පසු අපි ඔහු ගැන කතා කරමු.

ඔහු නමින් බේවිස් මනතුංගයි. අප ඔහු හමු වුණේ ඔහු වැඩිහිටි පුද්ගලයකු නිසා ම පමණක් නො වේ.

“මට ඒක දැනිලා නැහැ.” ආබාධ සහිත බව ගැන බේවිස් කෙළින් ම කීවේ එසේ ය. “මට ඕනැ දේ මං කරලා තියෙනවා. වයස 14 ඉඳලා ම තනියම නුවර ඉඳලා කොළඹත් ගිහින් තියෙනවා.”

1954 දී සිංහල පියකුට හා බර්ගර් ජාතික මවකට දාව මහනුවර උපන් බේවිස් 1956දී පෝලියෝ රෝගයට ගොදුරු වූයේ ය. එවකට ලංකාවේ පෝලියෝ එන්නත භාවිතයේ තිබුණේ නැත. ඔහුගේ පවුලේ අය ජීවත් වුණේ කිංස්වුඩ් විද්‍යාලය අසලයි. එම විදුහලෙහි අධ්‍යාපනය ලද බේවිස් පසු කලෙක සංගීතය සිය ජීවිතය කර ගත්තේ ය.

ගායකයකු මෙන් ම දක්ෂ ගිටාර් වාදකයකු ද වන බේවිස් ශ්‍රී ලාංකික කලා – සංස්කෘතික හා දේශපාලන ක්ෂේත්‍ර පිළිබඳ අවදියෙන් පසුවන්නෙකි.  කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකි. මහනුවර සිට ක්‍රියාත්මක වන ‘වික්ටර් හාරා’ සංගීත කණ්ඩායම ද බේවිස් ගේ පුරෝගාමිත්වයෙන් බිහිවූවකි.

මහනුවර දළදා වීදිය දිගේ අත් වාරුවෙන් පැමිණ බේක් හවුස් ඉදිරිපිට ගස යට වාඩි වී මිතුරු මිතුරියන් සමග කලාව, සංස්කෘතිය ගැන සංවාදයේ යෙදෙන බේවිස් මහනුවර නගරයේ සංස්කෘතික සංකේතයකි. සංවර්ධන කටයුතු හේතුවෙන් මෑතදී කපා හෙළන ලද ඔහු වාඩි වී සිටි තැන තිබුණු ගස බේවිස් ගස නමින් ප්‍ර‍කට විය. පහත පළ වන්නේ ප්‍ර‍කට ලේඛක කපිල කුමාර කාලිංග බේවිස් ගැන දිනමිණ පුවත්පතේ බද්දරමල්ල තීරු ලිපි සංග්‍ර‍හයේ තැබූ සටහනකි.

විවිධ වැඩරාජකාරි සඳහා මහනුවර නගරයට එන බොහෝ දෙනා, බේවිස්ගේ මිතුරෝ ය. ඔවුහු, බේවිස්ගේ ගස පාමුළ සෙවණේ මොහොතකට ඉසිඹු ලති. මිතුරා හා සතුටු සාමීචියක යෙදෙති. ඔවුනතර කම්කරුවෝ, ලිපිකරුවෝ, කලාකරුවෝ, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, විශ්‍රාමිකයෝ, විදේශිකයෝ පමණක් නොව, නන්නත්තාරේ යන ආගන්තුකයෝද වෙති.

අප බොහෝ විට පණිවිඩ තබා යන්නේ බේවිස් ළඟ ය. ඔහු ඒවා නිවැරදිව සංනිවේදනය කරයි. අනෙක් අතට බේවිස්ගෙන් ද අපට කෙටි පණිවිඩ ලැබෙයි.

“ඊයේ පතිරාජව දැක්කා, බඩෝ දැන් ටවුමට ඇවිත් ඉන්නෙ, කිංස්ලි ළඟ දී ඉන්දියාවට යනවා එක්සිබිෂන් එකක් කරන්ඩ.” යනාදි වශයෙන් ඔහු අපව යාවත්කාලීන කරයි. ඒ අතින් බලන කල, බේවිස්ගේ ගස් සෙවණ නගරය මැද ඉබේ පිහිටි කුඩා අම්බලමකි. ජනතා කමිටුවකි. තොරතුරු මධ්‍යස්ථානයකි.

62 හැවිරිදි වැඩිහිටියකු වන බේවිස් තමන් පීඩාවට පත් කරන දියවැඩියාව වැනි රෝගාබාධවත් බැරෑරුම්ව සලකන්නේ නැත. ඔහු මේ දිනවල අලුත් ව්‍යාපෘතියක නිමග්නම සිටියි. ඔහු දැන් දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ පාරිසරික සංචාරක නවාතැනක් ගොඩනැගීමේ කාර්යයක යෙදී සිටියි. කණ්ඩලම වැව් ඉස්මත්තේ මනරම් පරිසරයක පිහිටි ගල්පොතුයායේ සොබා සෞන්දර්යය සමග මුසුව සිටින බේවිස් සිය සංගීත නිර්මාන සංරක්ෂණය කිරීම ගැන ද සිතමින් සිටියි.

“මගේ තාත්තා දුම්රිය සේවකයෙක්. එයාගේ පෙන්ෂන් එක මට ලැබෙනවා,”

ආබාධිත දරුවන් සිටිත් නම් තමා දායකත්වය සපයන ලද වැන්දඹු හා අනත් දරු අරමුදල ඔස්සේ එම දරුවන්ට දීමනාවක් ලබා ගන්නට සැලැස්වීමේ වරප්‍ර‍සාදයක් ශ්‍රී ලංකාවේ රජයේ සේවකයන්ට තිබේ.

“මෙතන මගේ යාළුවෙකුගේ තැනක්. මං වැටුපක් ගන්නේ නැහැ. ඔවුන් මං ගැන බලා ගන්නවා. මම මෙතන කළමනාකරණය කරමින් පාරිසරික සංචාරක ස්ථානයක් ලෙස ගොඩනගනවා,” බේවිස් කී ය. බේවිස් මනතුංග මුදල්වලට වඩා තමන් කරන කාර්යය අගය කරන පුද්ගලයෙකි. “මිනිසුන්ට පරිසරය එක්ක මුසු වෙන්න, කුරුළු ගීයක් අහන්න, විසල් අහසක් යට සැතපෙන්න මේ වගේ තැන් අවශ්‍යයි. ”

බේවිස් Wild for a While ගීය ගායනා කරන මෙම පසුබිම සුන්දර ගල්පොතුයායයි.

2012 ජන සංගණනය අනුව, ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 8.7%ක් ආබාධ සහිත අය වෙති. ජීවිත අභියෝග ජය ගනිමින් වැඩිහිටි දිවිය පවා අරුත්බර කර ගන්නට උත්සාහ කරන මිනිසකු ලෙස බේවිස් ගැන සතුටින් කතා කළ හැකි ය.

මේ බේවිස්ගේ තවත් සුන්දර නිර්මානයකි.

කඩ පිලේ දාම් පෙත
ඔච්චමට බලනවා
අපව අමතකද දැන් අහනවා
දෙවට දිග මල් පොකුරු
කවටකම් කරනවා
හපෝ දැන් හරි ගණන් කියනවා

මලේ කොණ මකුළුවකු
තටු සිඳුණු මැස්සකුව
යා නොදී බැඳන් මුර කරනවා
මල් ඇඳල ඇඳ උඩත්
නෙත් යොමන් හිස් ලොවට
අහෝ කෙළි ලොල් දිවිය මැවෙනවා

සඳු කිඳුරු දා නළුවෙ
කිඳුරු චරිතය නැතිව
කිඳුරියගෙ විලාපය ඇහෙනවා
පහළ කමතේ ගොයම
පෑගෙනා අඬහැරෙන්
හුනස්නම දවා අළු කරනවා

ගායනය සහ තනුව : බෙවිස් මනතුංග
පද රචනය : ජයසේන බෙලිගල

 


 

නෑසුණේ ද බේවිස් ගහේ ගීතය

බද්දර මල්ල : 2013 මාර්තු මස 19

athana-methana-tag“බේවිස්ගෙ ගහ නගර සභාවෙන් කපල දාලා”

මා කොළඹ සිටි දිනෙක, අනුරාධ ජයසේන මහනුවර සිට මට ඒ දුක්මුසු පුවත සැල කළේ ය. ළබැඳි මිතුරකුගේ වියෝවක් ඇසූ කලෙක මෙන් මසිත ඉන් සසල විය.

අප ගත කරන්නේ තුත්තිරි ගසක්වත් කපා දැමිය යුතු යුගයක නොවේ. වනාන්තරයක් මැද ඇති ගසක් වුව බිම හෙළීම සාහසික බව මගේ අදහසයි. නගරයක ඇති ගහ කොළ නිවසකට මල් බඳුන් වැනි ය. එහෙයින් නගර මධ්‍යයේ, වීදි දෙපස ඇති වියපත් වෘක්ෂයක් පවා දැඩි සත්කාර කරමින් රැක ගත යුතු ය.

athana-methana-1ඛලීල් ජිබ්රාන් පවසා ඇති අන්දමට සෑම ගසක් ම කවියකි (Trees are Poems) ගසක සැඟැවුණු කවිය කියවා ගත නොහැක්කෝ එය වනසති.

බේවිස්ගේ ගස පිහිටා තිබුණේ මහනුවර දළදා වීදියේ එක් පසෙක ය. එය ඉදිරියෙන් KCC නමින් හැඳින්වෙන දැවැන්ත වෙළෙඳ සංකීර්ණය ය. අත්වාරු උදව්වෙන් ඇවිදින බේවිස්, සෑම උදෑසනක ම එම ගස් සෙවණේ පිහිටි සිමෙන්ති පිල් කඩ වෙත පැමිණ එහි හිඳ ගනී.

එතැන් සිට ඔහුගේ ප්‍රධාන රාජකාරිය වන්නේ මඟ යනෙන දන්නා හඳුනන සෑම කෙනකු ම සමඟ අල්ලාප සල්ලාපයෙහි යෙදීමයි.

නමින් බේවිස් මනතුංග වන ඔහු කිංස්වුඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ගායකයකු මෙන් ම දක්ෂ ගිටාර් වාදකයකු ද වන බේවිස් ශ්‍රී ලාංකික කලා – සංස්කෘතික ක්ෂේත්‍රය පිළිබඳ අවදියෙන් පසුවන්නෙකි. මහනුවර සිට ක්‍රියාත්මක වන ‘වික්ටර් හාරා’ සංගීත කණ්ඩායම ද බේවිස් ගේ පුරෝගාමිත්වයෙන් බිහිවූවකි.

‘යු ටියුබය’ තුළින් බේවිස්ගේ ප්‍රසංග හා ගීත දැකගත හැකි ය . ඒ අතුරින් වඩාත් ජනප්‍රිය “ළඳුනේ” ගීතයේ මුල් වදන් මෙසේ ය.

දහදිය මුතු බිඳු – කාසි කරන ළඳුනේ

ඒ රන් කාසියේ අයිතිය නැති ළඳුනේ

විවිධ වැඩරාජකාරි සඳහා මහනුවර නගරයට එන බොහෝ දෙනා, බේවිස්ගේ මිතුරෝ ය. ඔවුහු, බේවිස්ගේ ගස පාමුළ සෙවණේ මොහොතකට ඉසිඹු ලති. මිතුරා හා සතුටු සාමීචියක යෙදෙති. ඔවුනතර කම්කරුවෝ, ලිපිකරුවෝ, කලාකරුවෝ, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ, විශ්‍රාමිකයෝ, විදේශිකයෝ පමණක් නොව, නන්නත්තාරේ යන ආගන්තුකයෝද වෙති.

අප බොහෝ විට පණිවිඩ තබා යන්නේ බේවිස් ළඟ ය. ඔහු ඒවා නිවැරදිව සංනිවේදනය කරයි. අනෙක් අතට බේවිස්ගෙන් ද අපට කෙටි පණිවිඩ ලැබෙයි.

athana-methana-2“ඊයේ පතිරාජව දැක්කා..” බඩෝ දැන් ටවුමට ඇවිත් ඉන්නෙ.” කිංස්ලි ළඟ දී ඉන්දියාවට යනවා එක්සිබිෂන් එකක් කරන්ඩ.” යනාදි වශයෙන් ඔහු අපව යාවත්කාලීන (update) කරයි. ඒ අතින් බලන කල, බේවිස්ගෙන් ගස් සෙවණ නගරය මැද ඉබේ පිහිටි කුඩා අම්බලමකි. ජනතා කමිටුවකි. තොරතුරු මධ්‍යස්ථානයකි.


බේවිස්, මහනුවර නගරයේ විශේෂාංගයකි.

ඔහු පසුකර යන ඔහු නොදත් අය පවා, නිතරම මිතුරු මිතුරියන් වට කරගෙන සංවාදයෙහි යෙදෙන මේ අමුතු පුද්ගලයා දෙස වරක් දෙවරක් හැරී බලති. මුලදී දුගී මගී යාචකයකු ලෙස දුටුවෝ ද, පසුව එය එසේ නොවන බව වටහාගත් කල, වඩාත් කුහුලින් යුතුව බලා සිටිති. බේවිස් නමැති විශේෂාංගයට සෙවණ දුන්නේ ඉහත කී ගස ය.

එය ඔහුට පමණක් නොව මඟ යනෙන අයට ද, දුර තියා වීදිය දකින අයට ද ගතට සෙවණක් ඇසට සිසිලක් විය. එබඳු ගසක් කපා දැමීමට පෙර (කුමන හේතු තිබුණත්) දෙවරක් නොව තෙවරක්ම සිතා බැලිය යුතුව තිබුණේ නොවේ ද?

 athana-methana-3 (1)
එදා බේවිස් ගහේ සෙවණින් නැහැවුණ දළදා වීදිය අද දළදා වීදිය හිරු රැසින් දවාලයි

ගස නැති බැවින්, දැන් එක එල්ලේම දැඩි හිරු රැස් පදික වේදිකාවට පතිත වෙයි. තද වර්ණයත් වෙළෙඳ නාම පුවරු කීපයක් වෙනදාට වඩා උජාරුවෙන් මඟ යෙනෙනවුන් දෙස බලා සිටිති.

පසුගිය වසරේ දී, බේවිස් කැන්ඩි සිටි සෙන්ටර් හි ගීත ප්‍රසංගයක් පැවැත්වී ය. එහි දී ගැයීම සඳහා ගීතයක් ලියා දෙන්නැයි ඔහු මගෙන් ඉල්ලී ය. එදා මා ඔහුට ලියූ ගීතයට තනුව යෙදුවත් මෙතෙක් හඬ කවා නැත. ඒ කෙසේ වෙතත්, එම ගීය තුළ ද, බේවිස් වෘක්ෂය අතුපතර විහිදා බලා සිටී.

දුරක සිට එන මගිය
නවතිනු මැනවි එක මොහොතක්
අමතන්න එක වදනක්
පවසන්න එක වදනක්
නොපෙනේද මා නැවතිලා
දෙනෝදාහක් යනෙන මේ පදිකයේ
නොපෙනේද මා නැවතිලා
ඔබ දුටුව දෙය
මා දුටුව දෙය
හුවමාරු කර ගනිමු
නැවතිලා එක මොහොත
මේ මහලු තුර යට
හුවමාරු කර ගනිමු
ගෙවූ කල ගැන
නුදුටු හෙට ගැන
දකින දේ
සිතෙන දේ
හුවමාරු කර ගනිමු
මේ සෙවණ යට
ගිම් නිවා එක මොහොතක්
රැය තවම තරුණයි
අතිකාල නැති දිවියේ
නවතින්න එක මොහොතක්
පවසන්න එක වදනක්
නොපෙනේද මා නැවතිලා
මහලු තුර යට පදිකයේ

කපා දැමූ ගස වෙනුවට පදික වේදිකාව දිගට පැළ කීපයක් සිටවා ඇත. එය හොඳ වැඩකි. එහෙත් ඒවා සෙවණ දෙන ගස් බවට පත්වන්නට තව කොතෙක් කල් ගතවනු ඇද්ද?

තද හිරු රැස් පතිත වුව ද බේවිස් යළිත් පදික වේදිකාවට පැමිණ සුපුරුදු තැනම හිඳ සිටී.

“ගහ ගැන මට කොළඹට ආරංචි වුණා.” මම ඔහුට කීවෙමි

“ගහට මුකුත් වෙලා නෑ. ඒක තාම තියෙනවා.”

බේවිස් මඳ සිනාවකින් යුතුව කීවේ ය. මම පුදුමයෙන් යුතුව ඔහු දෙස බැලුවෙමි.

“මම ඒ ගහ මෙතන තියෙනවා කියල ඉමැජින් කර ගන්නවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ”

බේවිස් සිනාසුණ ද, සියුම් වේදනාවක සිහින් අඳුරක් ඔහු උවනත පැතිර තිබුණි.

බේවිස්ගේ මතකය තුළ – ඔහුගේ පරිකල්පනය තුළ එම ගස පවතින තාක් කල්, නගර සභාවකට නොව රාජ්‍ය සභාවකට වුව එය කපා හෙළිය නොහැකි වනු ඇත.

එසේ හෙයින්, බේවිස්ගේ වෘක්ෂය, බේවිස් තුළ ම දලු ලමින් මල් පලගන්වමින් තවත් බොහෝ කලක් ඔහුට සෙවණ සාදනු ඇත.

සැම ගසක් ම කවියකි.

කපිල කුමාර කාලිංග ¬ kapilakalinga@gmail.com


 

The Maara Man under the Maara Tree Kandy’s Own Musician Bevis Manathunga

KandyNews.net : July 2013

Bevis Manathunga (59) was born in Kandy and lives in Kandy. For the last 28 years he has resided in Mulgampola with his parents, brother and three sisters.  However his childhood was not easy. At the tender age of two, he was diagnosed with Polio and his life became a challenge, battling with the disease which would affect him for the rest of his life. This did not stop him from achieving his goals. He went on to complete his studies at Kingswood College Kandy where he was a student from 1959 to 1971, achieving much success educationally.

Bevis was a keen student of music which he describes as his “First and Last Love.” His role model has been the late Chilean, theatre director,  singer, songwriter and political activist Victor Jara who was assassinated in 1973 when the country’s military overthrew president Salvador Allende in a violent coup. After schooling Bevis went into politics, joining the Ceylon Communist Party. His goal, he says.  was to fight against exploitation, a matter which he found very close to his heart.

To earn a living he started working, moving from one job to another. However he was not satisfied with what he did. He realized that he wanted to do something that he was passionate about and that was a career in music. He is now a guitarist and vocalist and also plays the mouth organ, performing at shows with different bands such as the “Super Jades” where he worked with several popular artists including Ananda Perera, Asoka Perera, Benedict Kasthuriarachchi, Kenneth Dias, Gimhan Degaldoruva and the late Daninda Degaldoruva.

With the release of his latest song “Landune” Bevis Manathunga’s popularity has steadily risen. When asked about the achievements in his life that he is most proud of, he says that engaging in music as a profession and living with it passionately has been one of his greatest achievements as his music is mainly expressing the views and rights of oppressed people. He proudly reflects on the long journey he has endeavored with a lot of difficulties and agony to become the man he is today.

When asked of the future, he wishes nothing but to see a better society where people open their minds to new ideas. He does not want to see people  shut out because they express contrarian views. Manathunga’s ideal society for Sri Lanka that he hopes will dawn before the end of his life will cherish collectiveness. He wants the ethnic problem and caste system to be just a fading memory of the past. A thing that he finds impressive is seeing ordinary people building up for future generations.

Bevis Manathunga will forever be known as the “Maara man under the Maara tree” a name given to him by the famous Sri Lankan writer and poet Carl Muller. He is currently working on his new music video and is hoping to produce a one man show by October this year. He also expects to release his latest song “Kadapile” written by Jayasena Beligala.

When asked if there was any message that he wanted to share, he looks up and smiles and gives a response that is both deep and valuable, “Please do not judge people from their outer appearance. I have my values and others their own… we must respect each other.

Getting to know Bevis

Sunday Times : December 03, 2006

By Tinaz Amit

He has been dubbed the Maara Man by Carl Muller. Described as an enigma in the city of Kandy, he is known to everybody only by his first name ‘Bevis’. Seated under the Maara tree which gave him the name in the first place- near Bake House on Dalada Veediya for the past 30 years or so, in his sarong, shirt and crutches, Bevis is seen simply as a disabled person and often mistaken for a beggar. I notice the inquisitive glances thrown at me as I stand under the tree talking to him.

What the hundreds of people who pass by him daily do not know is that behind this outward appearance, is a musician, dramatist, sculptor, philosopher, humanist and even political activist. In fact, Bevis Manathunga tells me that even those who keep him company in everyday life do not know about his involvement in the arts and politics. “They just see me as disabled, that’s all and I don’t care. Because I know where I stand.”

His artistic instincts are very much alive. A product of Kingswood College and a musician by profession, Bevis is an expert on the guitar and mouth organ. He sings for and on peace and human rights. His performances are one of a kind as they are all one-man shows in which Bevis makes use of his talents in both instruments. He has composed six to seven English songs and some twenty to thirty Sinhala songs.

Asked why he had not yet released an album with such a vast collection, he replies that though he has live recordings, he is not financially in a position to release a CD. But he adds that he would always opt for a live performance instead of a CD. “In a country like this live performances are more effective than a CD, especially when you are performing on two instruments. It’s something new to society. When I get on stage it’s a novelty to see me playing two instruments.

“My music is also different, it’s a mixture of all kinds and I really don’t know what particular style it is,” he adds. Bevis has had ten live performances so far and looks forward to the eleventh in a couple of months.

Bevis is also a sculptor who carves on coconut shells. His artistic abilities do not stop there. He proudly states that he is a member of the Universal Arts Foundation and has contributed to many dramas throughout his life. He has acted in two teledramas; ‘Sura Tharuwa’ telecast on Swarnavahini in which he played the second major role of a blind musician. Here he performed on the mouth organ on TV for the first time. His second TV appearance was in Sudath Devapriya’s ‘Chandragrahana’ in which he portrayed the role of a fortune teller.

Bevis has also been involved in composing and directing music in a couple of Sinhala dramas. At present, after a short time away from the stage, he is back working on a production of Chekhov’s ‘Uncle Varnia’. The script is being translated into Sinhala at present and work on the production is expected to begin in January.

This multi-talented human being has a deeply philosophical attitude to life. “I always take the progressive side of the human mind. I see value in every individual. I don’t care who they are but I see value in them. I’m against exploitation. What I feel is that poverty is there because of exploitation. Life keeps changing. I meet so many people and I know the problems they have today are not those they had yesterday and what they’ll have tomorrow will not be what they have today.”

People passing him on the streets everyday may dismiss him as just another unemployed man but on the contrary, Bevis is very much an active and committed individual, one whose talents are used for a worthy cause. Says his friend Richard, “In 20 to 30 years time, no one would remember all these rich and famous people but they will definitely remember Bevis.”


 

බේවිස්ගේ තවත් ගීත :

ප්‍රාර්ථනා

ගායනය : බේවිස් මනතුංග
පද රචනය සහ සංගීතය : ටිලානී අමරසිංහ

 

රෑට රෑට ඇවිදින් සඳ

ගායනය සහ තනුව : බේවිස් මනතුංග
පද රචනය : සංජීව මූණමල්පේ

 

බේවිස් සමග පැවැත්වුණු සම්මුඛ සාකච්ඡා :