10-Years Anniversary

මතකයි මට අද වගේම
තව එක දවසක් !
අවුරුදු දහතුනකුත්,
මාසයකුත් සහ +1 දිනයක්  …

ඔව්,  අහිංසක කණ්ඩ කුරා කූඹියෙකුටවත් වරදක් නැතුව තමන්ගේ පාඩුවේ කරගෙන හිටිය තනිකඩේ වහල දාන්න සිද්ද වෙලා දැනට එච්චර කාලයක් වෙන්න එනවා. තනිකඩේ වැහුවට පස්සේ හා හාපුර කියල පටන් ගත්තු හවුල් ව්‍යාපාරය නැකත් නොබලාම විවෘත කරේ හරියටම අලුත් අවුරුද්දට පහු වෙනිදා.

මං අහන්නේ කවුද මේවට වග කියන්නේ ???

වෙන කවුද ඉතින් ? වන් ඇණ්ඩ් ඔන්ලි, ඇතුවත් බැරි, නැතුව කොහොමත් බැරි හාමිනේ තමයි 😀

ඉට් සාත්තරේ ඉගෙන ගන්න කියල ගියපු, එළ හරකයි මී හරකයි වගේ මෙලෝ ගැලපිල්ලක් නැති, කළු කපුටා සුදු වෙනතුරු මොනයම් ආකාරයකින්වත් එකතු වෙයි කියල තුන් හිතකින්වත් හිතන්න බැරි, හොස්ස ලඟින් මැස්ස යන්න බැරි කොලුවෙක් සහ බාගෙට පිස්සු ගෑල්ලමෙක් අතරේ අනපේක්ෂිතව විදිහට පටන් ගත්තු ඒ පොඩි හුටපටයක් ගියපු දුරක් !

විස්වාස කරත් නොකළත් ඒ පටලැවිල්ල අහවර උනේ දැන් දහ අවුරුද්දකට කලින් ජයට මගුල් කාල, අර ආණ්ඩුවෙන් දෙන කොළ කෑල්ලෙත් අස්සන ගහල හැතැප්ම දහස් ගානක් ඈත කාන්තාරයකට ඇවිල්ල දෙන්න එක වහලක් යටට උනායින් පස්සෙ  😀

දෙමව්පියන්, නෑදෑ හිතමිතුරන් වගේම එතෙක් කරපු වටිනා කියන රස්සාව පවා දෙපාරක් නොහිතාම අත ඇරල දාල කණ්ඩත් එක්ක කාන්තාරෙ කට්ට කන්න ආපු එක ගැන හාමිනේට කොහොම ස්තූති කරත් මදි. මොකද දැන් කොයිතරම් සැප වින්දත් නන්නාඳුනන රාජ්ජෙකට ඇවිල්ල බිංදුවෙන් පටන් ගත්තු කාලයක් අපි දෙන්නටත් තිබුන වගේම එතනින් ගොඩ එන්න පුළුවන් උනෙත් හාමිනේගෙ සකසුරුවම්කම නිසා තමයි.

මේ ගැන බොහොම සැහැල්ලුවට පේළි දෙක තුනකින් ලියල දැම්ම නමුත් ඊට යටින් දුවපු කතා, කතා මැද කතා සහ ටීකා, ටිප්පණි බොහොමයක් නොතිබුණා නෙමෙයි. එදා මේ සම්බන්දයට අකමැත්තෙන් උන්නු උදවිය පවා අද වෙනකොට බඩ බැඳගෙන ඉන්නේ ඕං කණ්ඩ හින්ද නම් නෙමෙයි. ඒ ගරු නම්බු ඔක්කොම සපුරා හාමිනේ සතුයි.

පහුගිය කාලය පුරාවට ගෙදර දරුමල්ලො නොහිටියට එක වැඩේ දෙක කරන කම්මැලි, නසරාණි (නාකි) කොලුවව බලා කියා ගන්න එක තමයි හාමිනේට පැවරිලා තියන ලොකුම රාජකාරිය.

එහෙමයි කියල වැඩ රාජකාරි අහවර නැහැ, එයිට අමතරව දන්නා කියන උදවියට කණ්ඩ දෙපාරක් නොහිතා පොරොන්දු වෙන උදව් පදව් අර ප්‍රසිද්ධ පිචර් එකක් බවට පත් වෙන එක වලක්වන ඒක, කණ්ඩට වැඩ මදි නිසා (පිස්සුවට) එකතු වෙච්චි සමිති සංගම් වල වැඩ රාජකාරි වගේ එකී මෙකී නොකී වැඩකටයුතු ඔක්කෝමත් වැටෙන්නෙ හාමිනේගෙ පිටටම තමයි.

ඒ විතරක් නෙමෙයි යාලු මිත්‍රයෝ කෙසේ වෙතත් තමන්ගෙ පවුලේ උදවියට පවා දුරකථන ඇමතුමක් ගන්න කම්මැලි කණ්ඩව නේක කයි කතන්දර වලින් බේරගෙන හැම දේටම රාළහාමිගේ හැරමිටිය වගේ ඉන්න නිසා උන්දැට ඔය කියන ගරු නම්බු නොදී බැහැ නෙව.

ඉවරයි කියල හිතුවට හිතුවට ඉවරම නැහැ, තව තියනවා … ඇයි  වැදගත්ම එක ??? ඒ කිව්වේ  ??? වෙන මොකද්ද ඉතිං කණ්ඩගේ නිළලත් මාතලී ජොබ් එක, ඒ ගැනත් නොකියාම බෑ නොවැ. කොයි වෙලාවේ කොහේ යන්න ඇහුවත් … නෑ … බෑ … නොකිය සුක්කානම අතට ගන්න සූදානම් සරීරෙන් කකුලක් එළියේ තියං ඉන්න බවලත් උදවිය හරි අඩුයි, කොටින්ම මම දන්නේ එක්කෙනයි  (කොහොමටත් අපහු වෙන උදවිය ඉන්නවද කියල හොයල බලන්න අවසරයකුත් නැහැ නෙව ) 😀

මාතලී හොඳ උනාට පොඩි අවුලකට ඉතින් තියෙන්නෙ උන්දැගෙ හිමින් ගමනක් නැති එක තමයි, ඒ මදිවට මීහරක් වගේ වෙට්ටු දාන ඔටුවන්ට, පකිස් බුරුවන්ට සහ මළබාරියන්ට නොමිලේ පාඩම් කියල දෙන්න යනකොට  ඇඟේ ලේ වතුර වෙන නිසාදෝ කණ්ඩට “ලෝ බ්ලඩ් ප්‍රෙෂර්” ඇත්තෙම නෑ.

ඔය කිව්ව හැම දේම අමතක කරත් කණ්ඩ නම් කියන්න අවුරුදු දහයක් තිස්සෙ කණ්ඩත් එක්ක පවුල් කෑව එකම ඇති හාමිනේට “නොබෙල්” තෑග්ග වගේ එකක් දෙන්න. (ට්‍රම්පයියටත් නොබෙල් තෑග්ගක් දෙන්න කියල බොහෝ දෙනා ඉල්ලන එකේ, හාමිනේටත් එකක් ගන්න බැරි වෙන්න විදිහක් නෑ ටිකක් දත කෑවොත්)

නොබෙල් තෑග්ග දෙන්න බැරි උනත් අඩු තරමේ මැඩල් එකක්වත්  කියල තමයි කණ්ඩව දන්නා කියන උදවිය නම් කියන්නෙ, මැඩල් නෙමෙයි හාමිනේට නම් ඉතින් ඕන දෙයක් !!!

පසු ලිපි :

ඔය උඩින් ලියල තියන ලිය වරුණාව කොටන්න පටන් ගත්තෙ පහු ගිය මැයි 16 වෙනිදට තිබුණු අපි දෙන්නගෙ දහවෙනි විවාහ සංවත්සරය වෙනුවෙන්, නමුත් “අද තියන වැඩය හෙටම කරන්න !” කියන නිසා හෝ වැඩ රාජකාරි බහුල වෙච්චි නිසා පල කර ගන්න කාල වෙලාවක් නැතිව ගියා. නමුත් සුද්ද පහු කාලෙක “Better Late Than Never !” කියල තියන නිසා ඔන්න දැම්ම 😀

~ කණ්ඩා  !