Pothgul Viharaya - Bo Tree and Pagoda

පොත්ගුල් විහාරය සහ බබ්බු දෙන පොකුණ

මෙදා පාර සිරි ලංකාවට ( කාලයක් නිකං ලංකාව, ඊට පස්සෙ ශ්‍රී දැන් දැන් කියන්නෙ චී. ලංකාවද මන්ද ?) ආපු වෙලේ හෙම්බත් වෙලා තිබ්බ හිත සන්සුන් වෙන්නත් එක්ක දැම්ම කුරුවිට, රුවන්පුර සහ නුවර පළාතෙ දවස් කිහිපයක සවාරියක්. මේ කියන්න යන කතන්දරේ සිද්ද උනේ ඔය අතරතුර රත්නපුර පොතුගුල් විහාරෙට ගිය ගමනෙදි.

හැබැයි මේ ගමනේ ප්ලෑන ගැහුවේ මම නෙමෙයි දැනට වසර කිහිපයක ඉඳන් ලංකාවට එනකොට නෑ බෑ නොකිය කියන ඕනෑම තැනක උස්සගෙන යන අපේ මාතලී වෙච්චි සම්පත්, සම්පත් තමයි නඩේගුරා.

කලින් වතාවක මං අපේ නෑදෑ කාන්ඩෙ බස් එකක් පිටින් එක්ක ආව සර් මට පාර හොඳට මතකයි.

ඔන්නොහොම පෙර කතා කියල “මහත්තයා බිය නොවන්න – යනෙනා හැටි මම පෙන්වමි” කියල තමයි සම්පත් ගමන පටන් ගත්තෙ.

හැබැයි මගක් දුර යනකොට ඔලුව කහ කහ වටපිට බලන ගමන් ඇහෙන නෑහෙන ගානට සර් හැරෙන තැන මෙතැනින්ද දන්නෙ නැහැ නේද ?

කියල කට වහන පරක්කුවෙන් හාමිනේ ඔච්චං කරන්න පටන් ගත්ත, ඇයි සම්පත් දැන් දන්නව කියල නේද පටන් ගත්තෙ ?

නෑ මිස් මං පාර දන්නව මං සර් දන්නවද කියල බැලුවෙ ?

සම්පත් රා බිව්වෙ නැති උනාට හොඳට කිතුල් ගස් වලට නගින්න දන්නව මයෙ හිතේ 😀

කොහොමින් කොහොම හරි හැමදාම වගේ ආපහු පිහිටට ආවෙ ගූගල් දෙයියො අපි වගේ ගැත්තන්ට අනුකම්පා කරල මග පෙන්නන්න දාල තිබ්බ ගෑල්ලමය, ඒත් ඔය සක්කරවට්ටම හිටි ගමන් අපිව වට වන්දනාවේ අරන් යන නිසා වැඩි ආරක්ෂාවට අතරමග කිහිප විටක් නවත්තල මග සලකුණුත් අහගෙන තමයි පොත්ගුල් විහාරෙට ගියේ.

පන්සල් වත්තට වාහනේ දාන පරක්කුවෙන් වලිග වලට ඉස්පාසුවක් නැති හිනාවෙන බලු හමුදාවකුයි බටු ඇට දෙකක් උසනැති බොහොම හුරතල් සාමණේර නමකුයි කොහේදෝ ඉඳන් දූවගෙන ආව අපිව පිළිගන්න.

වාහනෙන් බැහැල වඳින්නත් කලියෙන් මාමල පන්සල බලන්න අවැයි ? (අපිට ඉස්සර නම් පොඩි ඈයො කිව්වෙ අයිය කියල, දැන් මාමෙ/අංකල් කියනකොට හිතට අමාරු උනත් මුවින් නොබැන ඉවසනව, ඔහොම යනකොට මැන්ටල් කියලත් කියාවි)

ඒ ඇහුව ලෙන්ගතු විදිහට හිත මොකද්දෝ මන්ද උනා, මට සාමාන්‍යයෙන් පොඩි එකෙකුට හිත යන්නෙ බොහොම කළාතුරකින් නිසා හිතට මහා අමුත්තක් දැනුන.

ඒ දවස් ටිකේ හතර හන්දි පණ නැතිවෙනකම් ඇවිදලා කෙඩෙත්තු වෙච්චි කොන්දයි දනිස් කෙටි දෙකයි නමල වඳින්නවත් ඉස්පාසුවක් නෑ පොඩි හාමුදුරුවන්ගෙන් තවත් අහිංසක ප්‍රශ්න වැලක්ම ආව හින්ද මං පුළු පුළුවන් විදිහට උත්තර දීල හාමිනේ කොහේද කියල බැලුව

හාමිනේ පිටි පස්සෙ ඉදං කාටත් නොපෙනෙන්න මට ඔලොක්කුවට හිනා වෙනව. මොකද වෙනදට පොඩි කාන්ඩෙ සම්බන්ධ වැඩ කටයුතු වල සම්බන්ධීකාරක උන්දැ නෙව.

මාමයි නැන්දයි  ඔහොම්ම ඩිංගක් ඉන්න !

පිළිමගෙයි වහල මං විගහට එන්නම්, කියල පොඩි හාමුදුරුවෝ වැටෙන වැටෙන පාරට සිවුරත් උස්ස උස්ස ආපුහු දිව්ව …  හයියෙන් කෑගහගෙනම

කුමාරයියේ …හ් … කුමාරයියේ …හ්  යතුර ගේන්ටෝ …. මේ මාමලා කාණ්ඩයක් ඇවිල්ලෝ  …

හාමිනේ අමාරුවෙන් හිනාව තද කරන් ඉන්නව පුපුරන්න ඔන්න මෙන්න, මට වගෙම  හාමිනේටත් පොඩි හාමුදුරුවෝ බොහොම හිතට අල්ලලා පාටයි.

පොඩි හාමුදුරුවෝ ආපහු ආවෙ පන්සලේ ඇබිත්තිකමටදෝ හිටිය අවුරුදු 12 – 13 වයස කොලුවෙකුත් එක්ක, මේ ජෝඩුව තමයි අපිව පිළිමගෙට එක්කරගෙන යන්ට ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් උනේ, හරියට නිකං ජාඩියට මූඩිය වගේ 🙂

එයිට කලින් දවසේ කුරුවිට දිවාගුහාවත් උදේ වරුවේ බටදොඹ ලෙනත් නැගල අමාරුවෙන් හිටියෙ, හප්පොච්චියෙ සීරුවට තනි කෙළින් තියන පඩි කන්ද දැක්කහම පපුව පිච්චිලා ගියා.

Pothgul Viharaya Staircase

මේ නම් වාහනේ යන්න බැරි කඳු හෙල් අස්සේ ගමන් දාගන්නවට සම්පත් අපිත් එක්ක තිබ්බ පරණ ඇරියස් එකක් කවර් කරන්න තමයි කියල සම්පත්ට යටි හිතින් බැන බැන නැගපන් අම්මා කියල අත ගැහුව පඩි නගින්න.

පොඩි හාමුදුරුවොයි ඇබිත්තියයි සම්පත් එක්ක ඉස්සර උනා. ඒ එක්කම අර හිනාවෙන බලු හමුදාවේ හිටපු බලු රාළහාමිලා දෙන්නෙකුත් ආරාධනාවක් නැතුවම අපිට මග පෙන්වන්න එකතු උනා.

පඩි කිහිපයක් නගිනකොටම ශරීර හොරු දෙන්න වෙච්චි රබ්බඩ අයියයි උන්දැගේ මායියයි පහු බහින්න ගත්ත විතරක් නෙමෙයි විවේක ගන්න අම්බලම් එහෙම නැති උනාට හැම පඩි හත අටකටම වාරයක් හුස්ම ඩිංගක් ගන්න නතර වෙන පාරක් ගානෙම අර බලු රාළහාමිලා දෙන්නත් නැවතිලා නක්කලේට වගේ අපේ මුණ දිහා බලන් ඉන්නවා.

හරියට නිකං මොකෝ හති දාන්නෙ, අමාරුද ? අද මේක නැගල ඉවර කරනවද ? ගයිඩ් වැඩේ කරාට අපිටත් වෙන වැඩ තියනව !

අතරමගදි පහළොස් වතාවක් විතර මග ගිමන් ඇරපු හාමිනේ පොඩි සාදුගෙන් අහනව පොඩි හාමුදුරුවො දවසට කී පාරක් උද මළුවට නගිනවද ?

පන්සල බලන්න ඈයො එන හැම පාරකටම එනවා, අඩු ගානේ දහ දොළොස් පාරක්වත් !

හාමිනේට හුස්මත් හිර උනාද කොහෙද, හපොයි අපිට නං දනිස් පොල්කටු, හන්දි සෙට් එකක් ලියවල දාන්න වෙනව එහෙම කළොතින්

තුම් මුණින් දාඩිය පෙරාගෙන, බඩගාගෙන, අර කියපු බලු හාමිලා දෙන්න වගේම දිවත් එලියට දාගෙන අපි උඩ මළුවට සේන්දු වෙනකොට පොඩි හාමුදුරුවොයි, ඇබිත්තියයි සම්පත් එක්කම නැගල විහාරගේ ඇරලත් ඉවරයි.

Pothgul Viharaya

උදැහැනැක්කේ කණ්ඩවයි සම්පත්වයි කූඩැල්ලො කඩ කඩ බටදොඹ ලෙන නගින්න ඇරල තනියම අයිස් කන්දක් උඩට වෙලා අපි පල්ලං බහිනකන් වාහනේ මුර කරපු හාමිනේට කෙළින් ඉන්න බෑ මේ වෙනකොට.

ඇබිත්තිකමට හිටපු ළමයට පොඩිපහේ අවුලක් තිබ්බට (වැරදියට හිතන්න එපා කොහෙත්ම සමච්ච්ලයට නෙමෙයි කියන්නෙ) හැකි උපරිම විදිහට පන්සල ගැන කෙටි විස්තරයක් කෙරුව.

මේක ඉස්සර වළගම්බා රජ්ජුරුවො හැංගිලා හිටපු ගුහාවක්, මේ පන්සලත් ඒ කිට්ටු කාලේම හදාපු එකක්.

මේ පන්සලට පොත්ගුල් විහාරය කියන්නෙ මේක ඒ දවස් වල පොතුගුලක් ඒ කියන්නෙ පුස්තකාලයක් විදිහට තිබ්බ නිසා.

පිළිම ගෙයි 18 රියන් සැතපෙන බුදු පිළිමයක් වගේම විශ්ණු, සමන් දෙවි වරුන්ගේ රූපත් තියනවා.

ආ ඒ දෙන්නත් ඉන්නවද ? ඌයියා !!!

කියල කණ්ඩට කියැවුණේ හාමිනේ පිටිපස්සේ ඉඳන් පිට කෙනිත්තුව හින්ද (අනතුරු ඇඟවීමේ වෙඩි මුරය – I )

ඇබිත්තියා ආපහු කතාව පටන් ගත්ත.

ඒ වගේම ගුහාව පිටිපස්සෙ කිලෝමීටර් ගානක් දුරට යන රහස් උමගක් තියනවා.

උමග යන්නේ කොහෙටද ? එච්චර දුර කියල කොහොමද දන්නෙ ?

යන්නේ කොහෙටද කියල නම් දන්නෙ නෑ, මේ ගුහාවේ කෙළවර හොයාගන්න ගිය හාමුදුරු නමකුයි ගමේ මාම කෙනෙකුයි ආපහු ඇවිල්ල නැහැ.

ඒ කොයි කාලේද  ?

දන්නෑ එදයින් පස්සේ කාටවත් යන්න දෙන්නේ නැහැ.

මේ පිළිමගෙයි වහළේ තිබුණු රත්තරන් පුස්කොල පොතක් දවසක් බිම වැටිලා තිබිල හම්බ වෙලා තියනවා දැන් ඒක කොහේද දන්නේ නැහැ (එහෙනං ඉතිං හෙට්ටිවීදියේ තමයි )

ඒ වගේම ඉස්සර මේ විහාරයේ හරියට හාස්කම් තිබිල තියනවා ඒත් මේ පිළිමගේ නිධන් හොරු කඩල නිදන් කරපුවා ගෙනියල හින්ද දැන් එහෙම නෑ

හාස්කම් තිබ්බ නම් කැඩුවේ කොහොමද ? ඒ පාර ඌයිය උනේ නෑ පළවෙනි සැරේ පාඩමෙන් පස්සෙ හාමිනේව අතේ දුරින් තියන් හිටපු හන්ද.

ඒත් රවපු නිසා කට පියා ගත්ත (අනතුරු ඇඟවීමේ වෙඩි මුරය – II)

ඒ වගේම ගුහාව ඇතුළේ පොඩි ලිඳක් තියනවා, එකට පිච්ච මලක් දැම්මම ඒක මතුවෙන්නෙ රත්නපුර සමන් දේවාලෙන්.

එතකොට සමන් දේවාලෙන් දාන ඒවා මෙහේටත් එනවද ?

මේ ප්‍රශ්න නිසා කොල්ලට දැන් මාත් එක්ක මළද කොහෙද, ඌ දැන් මගේ ප්‍රශ්න නෑහෙන ගානට කියවගෙන යනව.

පිළිමගෙයි එහා පැත්තෙන් පොකුණකුයි බෝධීන් වහන්සේයි,  චෛත්‍යයි තියනවා. ඒ පොකුණෙත් හාස්කම් තියනවා පොඩි හාමුදුරුවෝ කියයි.

තවමත් රෑට මෙතන හාස්කම් තියනව, අදටත් උඩමළුවේ කවුරුවත් වැඩිය රෑ බෝ වෙනකම් ඉන්නෙ නැහැ.

ඕං ඔහොම කොල්ල කතාව අහවර කළ ගමන් පොඩි හාමුදුරුවෝ ඇබිත්තිය නවත්තපු තැනින් ගයිඩ් වැඩේ පටන් ගත්ත.

මේ පිළිම ඔක්කොම පරණ ඒවා, මේ අත් කඩල දාල තැනින් තැන හාරලා තියෙන්නේ නිදන් හොරු.

ඒ කරලා තියන විනාසෙ දැක්කහම හිත පිච්චිලා ගියා, ඒ විනාසෙ කරපු එවුන්ගෙ හතර මහා පරම්පරාවටම මම හිතින් පින් අනුමෝදන් කරන ගමන් සමන්ටත් හිතින් බැන්න.

“සමන්, මහා ලොකුවට බෝගෙ හාස්කම් ගැන කිව්වට, උඹ නම් මහා ගොන් @@@$@”,

යකෝ තමන්ගෙ ගෙදරට ඇවිල්ල මෙහෙම කරලා යනකම් බලන් ඉන්න ඉන්න එක මාර හාස්කමක් නෙව ? “

මේවා කාටවත් ඇහෙන්න කියන්න බෑ එතකොට අපි නරක මිනිස්සු වෙනවා, අනික අපේ මාතලී සම්පත් ඔහොම හිටියට මහ බයගුල්ල. මගේ කටේ තරම දන්නා හින්දද කොහෙද කලින්දා දිවා ගුහාවට යන ගමනුත් මතක් කරා

සර් මේක සමන් දෙයියන්ගෙ අඩවිය කට පරිස්සම් කරන් යමු කියල 😀

දැන් ඉතින් අල්ල දෙයියන්ගේ බජාර් එකේ ඉන්න නිසා මේ වැල් වටාරම් ලිව්වට අවුලක් නෑ (ඊට ඉස්සෙල්ල තිබ්බෙත් නෑ)

ඒ කොයි කාලේද ඉතින් පොඩි හාමුදුරුවනේ ? ඒ නිදන් හොරු ඇල්ලුවේ නැද්ද ?

දන්නේ නෑ මාමෙ දැන් අවුරුදු දහය පාළොහක් ඇති.

මේ ගුහාවේ වහළේ ඇඳලා තියන චිත්‍ර සෑහෙන පරණයි.

මහනුවර යුගේ ඒවා වගේ නේද හාමුදුරුවනේ … දන්නේ නෑ මාමේ හැබැයි සෑහෙන පරණයි !

නමුත් මම අහපු ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි බව තේරුණාම පොඩි හාමුදුරුවන්ව තවත් අපහසුතාවයට පත් නොකර මම මගේ පාඩුවේ පොටෝ අල්ලන්න පටන් ගත්ත.

තව ඔය එහා පැත්තෙ තියන පොකුණ හරි හාස්කම් තියනවා, දරු පොකුණ කියල කියන්නෙ ඒකෙ වතුර බිව්වම ළමයි හම්බ වෙනව.

ඇත්තද එතකොට …. ඌයියායායා… හ් …!!! දන්නෙම නැතුව හාමිනේ මගේ පිටිපස්සෙ 😦

(අනතුරු ඇඟවීමේ වෙඩි මුරය – III)

එතනින් එහා පොඩි හාමුදුරුවන්ගෙ හොඳම යාළුවා උනේ හාමිනේ, හාමුදුරුවොත් එක්ක සෑහෙන්න දේවල් කියවනවා අහගෙනයි මම පින්තූර ගන්න අතරෙත්.

එයිට ඩිංගකට පස්සෙ ඒ හප්පඩ වතුරයි දිය සෙවලයි පිරිච්චි පොකුණ දැක්කම අයියෝ සංසාරේ … කියල හිතුණ. ඒ ජරා වතුර බීල ළමයි කොහොම වෙතත් බඩයාම, පාචනය, අජීර්ණේ හම්බ වෙන්න බොහෝ දුරට ඉඩ තියනවා.Pothgul Viharaya - Babbu Pond

කවුරු හරි බීල බලපු අය ඉන්නවා නම් රත්නපුර ඉස්පිරිතාලෙට යන්න පුළුවන් ඉක්මනින් (මාතෘ සායනයට නෙමෙයි OPD එකට හොඳේ)

ඒ එක්කම පිළිමගෙයි මුදුනෙ කොටුවට කපපු කට්ටයක් පෙන්නපු පොඩි හාමුදුරුවො මෙතන තිබිල තමයි අර රත්තරං පුස්කොළපොත වැටුණ කියල කියන්නෙ.

මාත් පොඩ්ඩක් විශේෂයෙන් විපරම් කරලා බැලුව ඒ වගේම කට්ට තවත් තිබ්බ හොඩුවාවල් පේන්න තිවුණට ඒ පරණ ලී වහළක කණු දරන්න හදාපුව කියල මම කියන්න ගියේ නැහැ.

ඔන්න ඔහොම පැයක් විතර උඩ මලුවටම වෙලා ඉන්නකොට අහල පහළ කඳු වළල්ල කොයිතරම් ලස්සනට පෙනුණත් ළඟ ලගම එන වැහි බිරීමක ලකුණු තිබ්බ නිසා හනික ආපහු පල්ලම් බහින්න පටන් ගත්ත.

ඔහොම හීනියට පල්ලම් බහින ගමන් කණ්ඩ එතෙක් වෙලා අමාරුවෙන් හිරකරගෙන හිටපු ප්‍රශ්නෙ ශරීර සෞක්කියට ගැළපෙන දුරින් ඉඳල හාමිනේගෙන් ඇහුව, මොකද එහෙම නොවුණොත් පඩි 70 – 80 ක් කරනං ගහල ඉස්පිරිතාලෙ ඉඳන් තමයි මේ ලිපිය කොටන්න වෙන්නෙ.

එතකොට අහපු ප්‍රශ්නෙ  ?

වෙන මොනවත් නෙමෙයි මන් ඇහුවෙ හාමිනේ බබ්බු වතුර බිව්වැයි ??? කියල විතරමයි 😀

මේ මට ඔය සමයන් ඕන නෑ, ඔයාට ඕන නම් බීගන්න එකයි තියෙන්නෙ !!!

හාමිනේ කියපු අහිංසක විදියෙන්ම තේරුණා කණ්ඩ අතට අහු වෙන දුරින් හිටිය නම් ඌයියම !!! තමයි කියල.

හැබැයි අප්පිරියාව අත ඇරලා බිව්වා නං කණ්ඩත් මේ වෙනකොට තාත්ත කෙනෙක් (එහෙම නැත්තං කන වැන්දුම්)  😀

ප.ලි.

රත්නපුර පොත්ගුල් රජමහා විහාරය ගැන වැඩි විස්තර දැන ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඔය පහළින් දාල තියන Amazing Lanka වෙබ් අඩවියේ තියනවා. බොහොම හොඳට පවත්වාගෙන යන වටිනා විස්තර තියන සයිට් එකක් (පින්තූරෙ ගත්තෙත් ඒකෙන්ම තමයි, මම ගත්තුවා තවම කොපි කර ගත්තෙ නැහැ).

http://amazinglanka.com/wp/pothgul-viharaya

~ කණ්ඩා !

සිරි ලංකාගමනය ~ II කොටස ~ හන්තාන සිහිනය සහ උඩරට සිරි පිරි කොණ්ඩගල !

සිරි ලංකාගමනය ~ III කොටස ~ අටං හමුව සහ හොරෙන් ඔටර්ස් පැදීම !

 

Advertisements