Gini avi saha Gini Keli

ඩප්පියාගේ ගිණි අවි සහ ගිණි කෙළි !

වටේ ගිහිල්ල පඳුරු තලලා හරි මහන්සියි, මේ වන්ගියේ නම් ඔන්න ඉවරයක්ම කරල දානව, ඩප්පියගෙ කතාවේ අන්තිම කොටස හෙවත් ගිණි අවි සහ ගිණි කෙළි !

ඉතින් ඔහොම ටික කාලයක් ඉන්නකොට තමයි බක් මාසේ ආපුවම වරක ගහටත් අකුණු වදින්න වගේ ඩප්පිය, ලේන සහ කණ්ඩ කියන අපි තුන්කට්ටුවේ යාලුකමටත් කණකොකා අඬන්න ගත්තෙ.

ඒ කියන්නෙ අර කතාවෙ මුල කිව්ව මයිනට වගේ අපේ ඩප්පියට උණ සන්නිපාතය හැදුන, ගල් කටස් කියන ජාතියේ සංක්‍රමණික ඥාතීන් වෙන තුවක්කු, පිස්තෝල වගේම අත් බෝම්බ, ඩප්පි ගැනත් නොසෑහෙන්න උනන්දුවක් (හැබැයි හරිම වචනය තමයි “ඇම්ම”) මේ හාදයගෙ තියනවා කියා අපිට තේරුණත් ඒ ඇයි කියල අපි අහනකොට කෝච්චිය ගිහින් ඉවරයි.

දැන් ආපහු හැරිලා බලනකොට මට හිතෙන්නෙ අපේ පරම්පාවට මේ තුවක්කු, බෝම්බ වගේ මාතෘකා එදිනෙදා ජීවිතයට එකතු වෙන්න හේතුව කාලයක් තිස්සෙ තිබුණු යුද්ධය කියල, අපිට කලින් පරම්පාරාවට නම් රතු සහෝදරයො උදව් කරා නෙව 🙂

ඩප්පියගෙ උණ සහලෝල මට්ටමට එනකොට මේ භයානක සෙල්ලම් බඩු ගැන මිනිහ නිතරම කියෙව්වා මදිවට අපිට තේරුණා මිනිහට තවත් අපාය සහායක යාලුවෙක් ඉන්න බව. මිනිහ මටයි ලේනටයි මේ ගැන පරස්පර විරෝධී කතා කිව්වේ මොකද කියන එක මට තේරෙන්නෙ නැහැ.

මට කිව්ව විදිහට මේ තුන් වෙනියා හමුදාවේ ඉහළ නිලධාරියෙක්ගෙ පුතෙක්, නමුත් ලේන නම් කිව්වේ ඒක එයිටත් එහා ගිය ඇඟ කීරි ගැහෙන තරමේ බරපතල පාතාල සම්බන්ධයක් කියල.

අදටත් මේ තුන් වෙනියා ලේනයි කණ්ඩයි දෙන්නම දන්නෙ නැති අභිරහසක්, මොකද අපි එච්චර ලඟින් හිටියත් අපි මේ දේවල් අනුමත නොකරන බව තේරිච්ච නිසාද කොහෙද අපිට අර කිව්ව කාපාලුවා ගැන ඩප්පියා එක කෙළ බිඳක් හෙල්ලුවේ නෑ.

නමුත් තත්වය දරුණු අතර හැරෙන බව තේරුණේ මිනිහ සැරින් සැරේ පන්තියට කිනිසි, හමුදා පිහි ගෙන්න ගත්තම. තවත් දවසක අපිට ආරංචි වෙනවා මිනිහ 9 mm පිස්තෝලයක් ඇදල පෙන්නුවා කියල.

මෙහෙම පටන් ගත්ත මේ ගිණි අවි සහ ගිණි කෙළි සෙල්ලම කොහෙන් කෙළවර වෙයිද කියන එක ගැන සාධාරණ බයක් මටයි ලේනටයි දෙන්නටම තිබුණ. අපි මොන තරම් සීරියස් පිට අවවාද දුන්නත් ඩප්පියා මිනිහගෙ සුපුරුදු විහිළුවෙන් තහළුවෙන් ප්‍රශ්නෙන් ලිස්සල ගියා මිසක් කිසි දෙයක් කනකට ගත්තෙ නැහැ, කල් කිරියාවෙ වෙනසකුත් නෑ  😦

නමුත් කොට්ටෝරුවා ගහින් ගහට කොට කොට ගිහින් කෙහෙල් ගහට කොටපු දාට වැඩ වැරදෙනවා කියල කියන්න වගේ මේ සියල්ලටම අනපේක්ෂිත විදිහට නැවතීමේ තිතක් වැටුණ.

මේ කියන්නෙ ලව් සර්වන්ට් මහත්තය අභාවප්‍රප්ත වෙලා, ඩිංගිරි බණ්ඩා උපාසක මහත්තයත් ගෙදර ගියාට පස්සෙ ආපු අර සැටලයිට් නෝන දැහැමෙන් සෙමෙන් (පරක්කුවෙන්) රට පාලනය කරන දවස්, සාමය මුවාවෙන් රටපුරා කොටි කලබල, එකක් අමතක කරන්න කලින් එකක් බස් බෝම්බ, පුද්ගල ඝාතන නිතර සිදු උනා. උදේ ගෙදරින් පිටත් වෙලා කොළඹ යන අපි හවසට ගෙදර එයිද කියල අම්මලා තාත්තලා දැනගෙන හිටිය නැති කාලයක් මේ.

ඔය නිසාම රටපුරා හැකි පමණ ආරක්ෂාව තර කරන්න යෙදුනා, මේ විදිහට අපි නිතර ගැවසිච්ච ගොඩගම හන්දියෙත් පනාගොඩ යුධ හමුදා කඳවුර කිට්ටුව පාත නිසා හන්දිය පහුවෙලා ටෙක්නිකල් එක ගාවට වෙන්න හමුදා මුරපොළක් දාල තිබ්බ.

Military Check Point 2වැලි ගෝනි වලින් සහ පරණ තාර බැරල් වලින් හදාපු බංකර් එකක්, පාර හරහා කටු කම්බි, උල් යකඩ ගහපු මාර්ග බාධක වගේම T-56 යේ තුවක්කු දික් කරන් ඕනෑම දෙකට සුදානම් සරීරේ කියල ඉන්න හමුදාවෙ සොල්දාදුවො කිහිපදෙනෙක් මේ මුරපොළේ වරදින්නෙ නැහැ.

ඔය දවස් වල කණ්ඩත් අර වක් පොල්ල උරුක් කරන් යන කාලෙ නෙව, නමුත් දන්නෙ නැති කෙනෙක් කවරයක දාල “යුද්දෙට මං ගියා ගෑනි ගෙදර තියා” … කිය … කිය කරේ එල්ලන් යන මේ පොලු කෙටියත් ගිනි බටයක් කියල හිතන්න ඕන තරම් ඉඩ තිබ්බ බව මං පිළිගන්නව (කිහිප දෙනෙක් අහලත් තිබ්බ).

නමුත් දවසක් ඔය කියන මාර්ග බාධකයෙදි කණ්ඩවත් නවත්තනකන් ඒ ගැන වැඩි දුර හිතුවවෙම නැහැ.

එදා බංකරය ඇතුලෙ උන්නු එක සොල්දාදුවෙක් මාව ඈත තියලම නවත්තල තුවක්කුවට අත තියා ගත්ත ගමන් බොහොම සීරුවට මං ගාවට ඇවිල්ල වක් පොල්ල දාල තිබ්බ කවරේ ගලවල පරික්ෂා කරා.

ඊට පස්සේ පාසල් අයිඩෙන්ටියත් බලල ඉවර වෙලා ඇතුලෙ හිටපු එවුන්ට ප්‍රශ්නයක් නෑ කියල සංඥා කරල ඉවර උනාට පස්සෙ තමයි මට යන්න කිව්වෙ.

එදා මගේ මුණට තුවක්කුව උරුක් කරේ නැත්තෙ වෙලාවට පාසැල් නිළ ඇඳුමින් හිටපු නිසා වෙන්න ඕන, මේ හෝදිසිය ඉවර කරපු ගමන් ඒ හාදයගෙ මුණට ආපු සැනසිල්ලෙ තරම මට අද වගේ මතකයි.

Rambo Knifeඔය කියන මුරපොළේදි යන එන වාහන අහඹු විදිහට නවත්තල බඩු බාහිරාදියේ ඉඳන් හැඳුනුම්පත දක්වා සීරුවට සෝදිසි කරන එක නිතරම සිදු වුණා, ඔය නිසා තමයි අපේ යාළුවගෙ වාසනාවට හෝ අවාසනාවට (මම නම් අදටත් හිතන්නෙ වාසනාව කියල) මිනිහ හමුදාවට අහු උනේ.

බස් එකෙන් බස්සවල කරපු මේ හෝදිසියෙදි ඩප්පියගෙ බෑග් එකේ තියල තඩි හමුදා පිහියක් අහු වෙච්චි නිසා එතෙක් සාන්ත දාන්ත තීන්ත කූඩුව වගේ හිටපු කොල්ලගෙ කල්කිරියාව මාට්ටු උනා.

ඒ වෙනකොට මිනිහ සමාන්‍ය පෙළවත් නොකරපු හැදෙන වයසේ කොලු ගැටයෙක් නිසාත් වරදක් හොයන්න බැරි පවුල් පසුබිම නිසාත් වැඩේ කිරිමේල් තත්වයට ගියේ නැහැ අපි දන්නා තරමින්.

වැඩේ ගොඩින් බේරුණා උනාට අපේ අල්ලපු ගමේ හිටිය නිසා මේ හාදයගෙ තාත්ත අපේ ගෙදරටම ඇවිල්ල අපේ තාත්තටයි අම්මටයි කතාව කියල මං ගැනත් ඇහැ ගහගෙන ඉන්න කියල. හොඳ වෙලාවට එදා මං ගෙදර නොහිටියේ, හිටිය නම් එක ගිනි විජ්ජුම්බරයයි.

ඒත් එදා ගෙදර ආව ගමන් 4 තට්ටුවට අරං ගියා වගේ තමයි අම්මයි තාත්තයි අහපු ප්‍රශ්න වලට මට වරුවක් වග උත්තර බඳින්න උනා.

එදායින් පස්සේ ඩප්පියගෙ තාත්තයි අපේ තාත්තයි කොහේ හම්බ උනත් බොහොම සුහදව කතා බහ කරනවා, මම ඒ වෙලාවට හිටියොත් කර ගන්න දෙයක් නැති කමට හිටියත් නෑ වගේ බොහොම ඩවුන් ලෝ එකේ කැරකි කැරකි ඉන්න එක තමයි කරේ.

වැඩේ ඔයින් ගියා ඇති කියල අපි ඩප්පියා වෙනුවෙන් හිත පතුලෙන්ම සන්තෝස උනා, නමුත් අපේ යාළුකම් පෙර තිබුණු තත්වයට ආවෙ නැත්තෙ ඇයි කියන එක මට ගැටළුවක්.

හේතුව ඩප්පිය කණ්ඩව වගේම ලේනවත් මග අරින්න ගත්ත එක. එක්කො අපිට මූණ දෙන්න තියන ලැජ්ජාවට එහෙමත් නැති නම් යාළුවො ආස්සරේ අඩු කරන්න කියල ගෙදරින් ආපු බලපෑම.

කොහොම හරි හිටපු හොඳ යාලුවෙක් නැති උනාට අඩු ගානෙ උගේ ලෙඩේ නිට්ටාවටම හොඳ උනා කියල හිත හදා ගන්න අපිට සිද්ධ උනා.

මෙයින් අවුරුද්දකට පස්සේ කණ්ඩලෑ තාත්ත නොඑන්නම කණ්ඩලව දාල ගිය නිසා ජීවිතේ වගේම තව බොහොම දේවල් කණපිට ගැහුව. ඩප්පිය, ලේන සහ කණ්ඩ කියන අපි තුන් කට්ටුවේ මිත්‍ර කමත් කිසිම හේතුවක් තේරුමක් නැතුව ඈත් වෙලා ගියා.

මට අන්තිමට ලේනව අන්තිමට හම්බ වෙන්නෙ මම උසස් පෙළ කණු තුනක් එක්ක උසස් විදිහට පාස් වෙලා IT සාත්තරේ ඉගෙන ගන්න ගමන් ඒඩ්ස් (DP Aides) කොම්පැණියෙ සේවය කරපු කාලෙ.

ඒ දවස් වල මම බයිසිමොටෝ එක ගොඩගම හන්දියෙ ලේනගෙ ගෙදර දාල බස් එකෙන් කොළඹ යනව. ඩප්පියා මේ වෙනකොටත් ආගිය අතක් නැහැ … පහු කාලෙකදි කණ්ඩ ඔටු දේසෙට ඇදෙනවා. ඒ කාලෙම ලේන කැන්ගරුලන්තෙට යනව, බෝට්ටුවෙන් නෙමෙයි බොහොම වැදගත් විදිහට. ඩප්පියා ට්‍රම්පයියගෙ රටට ගියා කියල කනින් කොනින් ආරංචි උනත් කිසිම සම්බන්ධකමක් අද වෙනතුරු නැහැ.

හිතට අල්ලන යාළුවෝ හමු වෙන්නෙ බොහොම කලාතුරකින්, කුඩා කාලයේ ඉඳන් හමුවෙන ඒ යාළුවන් වැඩිහිටියන් වෙනතුරු නොවෙනස්ව ඉන්නවා නම් ඒ තවත් බොහොම දුර්ලභ වාසනාවක්. නමුත් හැමෝටම ඒ වාසනාව නැහැ  😦

ඉතින් වෙන මොනවා කියන්නද ? කාලය මැව් වෙනසක අරුමේ තමයි !

Three Guys

පසු ලිපි :

මම මේ ලිපිය කොටල ටික දවසක් වෙන්න එනව, නමුත් දාන්දෝ … නොදාන්දෝ කියල හිත හිත හමස් පෙට්ටියට කරල තිබ්බෙ පහුගිය කාලේ ලියපු ලිපියකට වැදිච්චි අතිශය දරුණු ගෘහස්ථ මල්ටි බැරල් මෝටාර් ප්‍රහාර වලින් පස්සෙ.

දැන් දෙයක් දාන්න කලියෙන් දෙපාරක් හිතනව, ඒත් ලියපු ඒවා ඕන වෙඩිමක් වෙන්න කියල දාන්නමයි හිත 😀

පුදුමය කියන්නෙ විස්තර කරන්න බැරි අහම්බයක් උනා, මේක ලියල ලංකාවට ගිය සති කිහිපයට මේ කතාවේ අග මුල දන්න ලේන හිටි අඩියේම කැන්ගරුලන්තෙ ඉඳන් මේ ගැන මගෙන් ඇහුව නෙව. අපි පැයකට කිට්ටුව මේ ගැන මතකය ආපහු හාර ඇවිස්සුවත් උත්තර නැති පරණ ප්‍රශ්න එහෙමමයි.

ලේන කිව්ව විදිහට ට්‍රම්පයියගෙ රටේ හිටපු ඩප්පියා දැන් ආයෙත් ලංකාවෙලු, නමුත් මේ වෙනකොට වැලිපිල්ලෑවෙන් පිටමං වෙලා ඉන්න මංතුමා රටේම වැඩ බදාගෙන ඉන්න නිසා ඒ ගැන හාන්කවිසියක් විපරම් කරන්න බැරි උනා.

සමහර විට ලේන එම සැප්තැම්බර් වල සිරි ලංකාවට යන පාර අපහු ඩප්පියා හොයාගෙන යයි … ඩප්පියා හම්බ වෙයිද ?

එහෙම උනොත් තවත් මේ කතාවට තවත් කෑල්ලක් එකතු වේවි … එකම පැතුම ඒක සතුටුදායක එකක් වෙයි කියන එක !

මතු සම්බන්ධයිද ???

~ කණ්ඩා

පෙර ලිපි :

වයසෙ වැරැද්ද ~ I කොටස ~ ඩප්පියා !

වයසේ වැරැද්ද ~ II කොටස ~ ඩප්පි නාටකය ඉතිරි කොටහ !