Premakeerthi De Alwisඒ  කාලෙකට කලින් මා කුඩා කාලයේ පටන් තදින් හිත ගත්තු අසහාය මිනිසෙක් ගැන ඉදිරිපත් වුණු රූපවාහිනී වැඩසටහනක නම. එහෙම කොටු වෙච්චි නැති, කොටු කරන්න හැදුවත් බැරි වෙච්චි මිනිස්සු ඉන්නේ කීයෙන් කී දෙනාද ? මේ ලිපියටත් එහෙම නම දාන්න හිතුනෙ අද වෙනකම් මේ කියන “මනුස්සයා” ගැන මම අහපු හොඳම අර්ථ දැක්වීම නිසා.(ඒ වැඩ සටහනේ ලින්ක් එක පහලින් ඇති )

පහුගිය සති කිහිපයේම ප්‍රේම් ගැන හොඳ නොහොඳ දෙකම අහන්න ලැබුනත් අද උදේ පාන්දරම පටන් ගත්තෙ මහ මුස්පේත්තු විදිහට, හේතුව පාන්දර ඇස් පොඩිකරමින් තේක බොන ගමන් දවසට කියවපු මුල්ම ලිපියෙන් ආයෙත් මතක් කරා ප්‍රේම් කියන යෝධයෙක් වගේ පුංචි මිනිහව කලාවට කැමති ලක්ෂ ගාණක් මිනිස්සුන්ගෙන් සදහටම උදුරා ගත්තු දවස කියල.

අපි කුඩා කාලෙ ශනිදා ආයුබෝවන් වැඩ සටහන බලන දවස් වල රූප පෙට්ටියේ එහා කොනේ හිටපු ප්‍රේම් අංකල් අනිත් උදවියට වඩා වෙනස් කියල එදත් දැනුන, හයක් හතරක් තේරෙන්නෙ නැති කාලෙත් ඒ මනුස්සය තුළ අමුතු ලෙන්ගතුකමක් දැක්ක.

දැනට අවුරුදු විසි නමයකට කලින් කරුමක්කාර දවසක (1989 අගෝස්තු 1 වෙනිද) කණ්ඩගෙ දෙමව්පියන් අහල පහළ උදවිය ළඟ ඥාතියෙක් නැති උනාටත් වැඩියෙන් තවත් මිනිසෙක් වෙනුවෙන් දුක් උනා, අම්මගෙ ඇස් වල නම් කඳුළුත් තිබුණ අද වගේ මතකයි.

ඒ ගැන වැඩි තේරුමක් නොතිබුණත් ඉන් පස්සෙ ආපහු කවදාවත් වෙනදා වගේ ශනිදා ආයුබෝවන් වැඩ සටහන හිතට වදින විදිහට නැති බව වගේම අමුතු හිස් බවක් එදා හිටපු අවුරුදු අටක කොලුවෙකුටත් තේරුණා.

නමුත් ශනිදා ආයුබෝවන් වලින් එහාට ගිහින් පහු කාලෙක අදුර ගත්තු විදිහට වරක්වත් හැබැහින් නොදැක්කත් මගේ කියවීම අනුව ප්‍රේම් කියන්නෙ මිනිස්සුන්ට අයිති කන බොන නාඩි වැටෙන ඇඟ පුරා කාලාව පිරිච්ච සුන්දර මිනිහෙක්.

දැන් දවස් කිහිපයක් ඉඳන් හැම තැනම වගේ ප්‍රේම් ගැන ගුණ වැයීම් සහ ප්‍රේම් ගැන මතකයන් අයිති කරගන්න හදන උත්සාහ, මම ඒකෙ කොහෙත්ම වැරද්දක් දකින්නේ නැහැ. මොකද ප්‍රේම් හැම දෙනාටම අයිති මිනිසෙක්.

කලාව බල්ලට යවන බාල දේවල්ම මාකට් වෙන වර්තමානයේ මෙහෙම හරි ප්‍රේම් වගේ අයිති කරගන්න වටිනා වස්තුවක් ගැන කතා බහට ලක් වෙන එක කොයිතරම් දෙයක්ද, ඉතිං තරහ අරන් මොකටද ?

අද ප්‍රේම් හිටියනම් ඒ මනුස්සය අතින් තව කොයිතරම් නම් නිර්මාණ බිහි වෙන්න තිබුණද කියල හිතෙනකොට හීල්ලෙනවා 😦

මේ යන රැල්ලත් එක්ක ප්‍රේම් වගේ උදවිය අයෙත් එන්නෙ නැහැ කියල මතක් වෙනකොට දුකයි නමුත් අපේ පරම්පරාව ඉන්නකං වත් අඩු ගානේ ප්‍රේම් ගැන මතකය තියේවි, මේ ප්‍රේම් වෙනුවෙන් මගේ ආචාරය.

ප්‍රේම් ගැන වැඩි විස්තර : http://www.premakeerthidealwis.com

පසු ලිපි :

මට තේරුම් ගන්න බැරි සම්භාව්‍ය දේට වඩා තේරෙන සරල දේ ඇඟටම පත්තියන් වෙන නිසාදෝ මේ තමයි ප්‍රේම්ගෙ නිර්මාණ වලින් මම කැමතිම එක. තම තමන්ගෙ ක්ෂේත්‍ර වල පතාක යෝධයින් තුන් කට්ටුවක් එකතු වෙලා හැදුණු “කුණ්ඩුමණී” ප්‍රේම් ගැන මතක් වෙන වාරයක් ගානේ අදටත් නොදැනීම මිමිනෙනව.

~ කණ්ඩා

කුණ්ඩුමනී …

මන්නාරම් පිටි වැල්ලේ
මදටිය වැල් ඔංචිල්ලේ
කොණ්ඩෙ කඩං
හඳට අඬං සිංදු කියන්නී…

කුණ්ඩුමණී
කුණ්ඩුමණී කුණ්ඩුමණී
කුණ්ඩුමණී කුණ්ඩුමණී

නැහැයෙ කරාබුව දෙකනේ
කඩුක්කන් දමා සියොළඟ
මොට්ටක්කිළියෙන් හැඩ කොට
වසා ඉඟ නමා
උලුඳු කොටා තල වේලා
තල් පත මත ගිනි අවුවේ ලා…

කුණ්ඩුමණී
කුණ්ඩුමණී කුණ්ඩුමණී
කුණ්ඩුමණී කුණ්ඩුමණී

සෙම්බු තාලි උකුළෙ හොවා
ආඬි ළිඳෙන් දිය ඇදලා
ලූණු පාත්තියට දමා විඩාපත් වෙලා
හැන්දෑවට කෝවිල් ගොස්
පොල් ගහලා නළලේ අළු ගා…

කුණ්ඩුමණී
කුණ්ඩුමණී කුණ්ඩුමණී
කුණ්ඩුමණී කුණ්ඩුමණී

ගොම ඉහලා හැදූ ගෙබිම
පිච්ච මලින් සරසාලා
කෙසෙල් ගස් දෙකක්
දොරකොඩ සිටුවා තබලා
කොම්බු කතම් මෘදංග නද
මුළු ගමටම හඬවා දීලා…

කුණ්ඩුමණී
කුණ්ඩුමණී කුණ්ඩුමණී
කුණ්ඩුමණී කුණ්ඩුමණී

සණ්ඩු කරල බැණුම් අහල
හැංගි හැංගි බැන්ද ප්‍රේමෙ
මහ රාජා ආ කල ගෙට
තිරික්කළෙන් බැසලා
කුණ්ඩුමනී යන පෙරහැර
බලා හිඳීමි කීකරු වීලා…

කුණ්ඩුමණී
කුණ්ඩුමණී කුණ්ඩුමණී
කුණ්ඩුමණී කුණ්ඩුමණී

පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: ෆ්‍රෙඩී සිල්වා

පින්තූර ඉස්සුවේ  :

ෆ්‍රේම් නොවූ ප්‍රේම් …