Malay 1

මතකයෙන් ඈත් නොවන මැලේ පිටිය

අපි වක්පොලු කෙළියේ නියත වුණු අනූව දශකයේ ක්‍රීඩා තරඟ සඳහා කොළඹ 02 පිහිටි මැලේ පිටිය තමයි වැඩිපුරම ආ ගිය තැන උනේ, අනූ ගණන් වල මැද බාගයේ කොළඹ දිස්ත්‍රික් පාසැල් හොකී තරඟ සියල්ලක්ම පාහේ පැවැත්වුණේ මෙතැනමයි. මරදාන පරණ වාඩියේ පිහිටි අපේ පාසලේ ඉඳන් මෙතැනට යන්න වැය වෙන්නෙ පැය බාගයකටත් අඩු කාලයක් නිසා යන්නත් බොහොම පහසුයි.

මැලේ පිටිය වෙත ලඟා වෙන්න ලෙහෙසිම විදිහ තමයි නම කිව්වට ලියන්න අමාරු කොම්පකද කද වීදියේ (කොම්පඤ්ඤ) රියෝ සිනමා ශාලාව (Rio) එහෙමත් නැතිනම් පැරණි නිපොන් ගොඩනැගිල්ල ( Nippon Building) ඉදිරි පිටින් බැහැල කිව් පාර (Kew) දිගේ ඇවිත් “ජලාන් පඩාන්” (Jalan Padang) පාරට වැටිලා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පහු කරගෙන වම් පැත්ත බලාගෙන ඉදිරියට යන එක.

රියෝ සිනමා ශාලාව සහ නිපොන් ගොඩනැගිල්ල ගැනත් කියන්න දේවල් එමට තිබුණට ඒව පස්සට 😀

“ජලාන් පඩාන්” ??? ඔව්, විහිළුවක් වගේ උනාට විහිළුවක් නෙමෙයි “ජලාන් පඩාන්” තමයි පාරෙ නම, පාර නම් කරලා තියෙන්නෙ මැලේ බසින්. මේ ප්‍රදේශයේ ලාංකික මැලේ ජාතිකයෝ බහුලව වාසය කරපු නිසා මේ වගේ මැලේ නම් දකින්න ලැබෙන එක අහම්බයක් නෙමෙයි.

“ජලාන්” කියන්නේ මැලේ බසින් මාවත, “පඩාන්” කියන්නෙ ක්‍රීඩා පිටිය. එතකොට “ක්‍රීඩා පිටිය පාර” යන අර්ථයයෙන් තමයි තමයි “ජලාන් පඩාන්” කියන නම හැදෙන්නෙ.

වර්තමානයේ මැලේ ක්‍රීඩා පිටිය කිව්වහම බොහෝ උදවිය අඳුනන්නෙ ජලාන් පඩාන් වීදියේ තියන ක්‍රීඩාංගනය සහ පිටිය උනාට ඉතිහාසය අරගෙන බලපුවම මේ මැලේ ජාතිකයන් විසින් කොළඹ නගරය ඇතුළත දෙවැනි වතාවට ඉදිකරපු ස්ථානය.

මින් පළමුවෙනි ක්‍රීඩාංගනය ගොඩ නගල තියෙන්නෙ දැනට සිනමන් ලේක්සයිඩ් හෝටලය (Cinnamon Lakeside Colombo) ඉදිරිපිට ඇති රයිෆල් ග්‍රීන් (Rifle Green) නමින් හඳුන්වන පිටියේ. ඒ බ්‍රිතාන්‍ය පාලන සමයේ සිලෝන් රයිෆල් රෙජිමේන්තුවට අයත් වූ බහුතරය මැලේ ජාතිකයන්ගෙන් සැදුම්ලත් කොළඹ මැලේ ක්‍රිකට් ක්‍රීඩා සමාජය මගින්.

අද ශ්‍රී ලංකන් ක්‍රිකට් (Sri Lankan Criket) විදිහට අපි දන්නා තුන් වේලටම කිරිකැට් අනුභව කරන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සමාරම්භක උත්සවය පවා පවත්වන්නට යෙදී ඇත්තේ මෙහියි. ඒ 1948 ජූනි 25 වැනිදා.

නමුත් 1939 දෙවෙනි ලෝක යුධ සමයේ රජයට පවරා ගනු ලබන මෙම ක්‍රීඩාංගනය පසුකාලීනව 1945 දී නැවතත් මැලේ ක්‍රීඩා සමාජය වෙත ලැබුණත් එය නැවත රජයට පවරා ගනු ලබන්නේ කොම්පඤ්ඤ වීදිය පොලිස් ස්ථානය සහ නිවස්න ඉදිකිරිම සඳහා.

නමුත් මැලේ සමාජයේ දැඩි ඉල්ලීම මත 1957 දී රජය විසින් රයිෆල් ග්‍රීන් පිටිය වෙනුවට කිව් පාරේ පිහිටි පොලිස් බැරැක්කයක් ලෙස කාලයක් භාවිත වුණු පිදුරු හෙවිල්ලූ තාවකාලික ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් වගේම ක්‍රීඩාංගනය ඉදිකිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දුන් නිසා එම ස්ථානයේ තමයි වර්තමාන මැලේ ක්‍රීඩා පිටිය සහ ක්‍රීඩාංගනය ඉදි වෙන්නෙ.

Map Malay Criket Ground and Slave Island

කණ්ඩා ඉතිහාසඥයෙක් නොවෙන නිසා මේ විස්තර හොයා ගත්තෙ ජංජාලයේ විසිරිලා තියන විවිධ ලිපි මුලාශ්‍ර කරගෙන. කොම්පඤ්ඤ ප්‍රදේශය වගේම ලංකාවෙ මැලේ ජාතිකයන් ගැන වැඩි විස්තර හොයා බලන්න කැමති කෙනෙක්ට උදව්වක් විදිහට ඒ විස්තර අඩංගු ලිපි පහළින් දාල තියනවා.

කණ්ඩගේ කුළුඳුල් හොකී තරඟය වගේම අනෙක් සමකාලීන වක්පොලු කාරයන්ටත් බොහොම සුන්දර වගේම දුක්බර මතකයන් රාශියක් මැලේ පිටිය වටේ තියනව කිව්වොත් එය බොරුවක් එහෙම නෙමෙයි. කොළඹ මැලේ ක්‍රිකට් සමාජයට අයිති මෙම ක්‍රීඩා පිටිය සහ ක්‍රීඩාංගණය, ක්‍රිකට් සහ හොකී යන ක්‍රීඩා දෙකටම භාවිතා උනා කොටින්ම ක්‍රිකට් සෙල්ලම් කරපු පිටියෙම තමයි හොකී ගහන්නෙත්.

ඒ වගේම එයට අල්ලපු වැටේ තියන තියන “සිටි” පාපන්දු පිටිය (City Football Complex) ගැනත් මොකුත් නොකිව්වොත් මදිකමක්. හේතුව මේ පිටියට හිටි අඩියේ හෙලිකොට්ටෝරුවෙක් ගොඩ බස්සල කණ්ඩා ඇතුළු වක්පොලුකාර කණ්ඩායමට සිද්ධ වෙච්චි අලකලංචියක්  සහ ඒ හා ඈඳුන රසවත් කතන්දරයක් කියන්න තියනව.

Old Anandians Team - Runner-Up of The Padang Golden Jubilee Hockey 7S - 2010

( 2010 පඩාන් ස්වර්ණ ජුබිලි සත් සාමාජික හොකී අනුශුරතාව දිනූ ආදි ආනන්දීය කණ්ඩායම මැලේ පිටියෙදී  )

දැන් ඉතින් කණ්ඩගේ හිතවත් වක් පොලු කාර පරිප්පුවෝ රොත්ත බුරුත්තම ඇවරිය නියවාගෙන බලන් ඉන්නෙ මේක කියනකන් කියල කණ්ඩ නොදන්නවා නෙමෙයි නමුත් ඒක පස්සට … හූ … හූ …

මැලේ ක්‍රීඩා සමාජ පිටිය ක්‍රිකට් සහ හොකී දෙකටම භාවිතා කරන හන්ද හරියටම හොකී පිටිය මැදට ක්‍රිකට් පිච් එකත් අහු වෙනව. මේක තණකොළ වවපු ට‍ර්ෆ් විකට් එකක් නොවෙන නිසා ලණූ පැදුරක් එහෙමත් නැති නම් මැටිං එකක් තමයි දාන්නෙ.

මැටිං එක ක්‍රිකට් වලට හොඳ උනාට හොකී ගහනකොට එතන හොඳටම අවුල්, මැද උසයි හැබැයි මැටිං එක දාන තැන වල වගේ.  ග්‍රවුන්ඩ් එකේ අනිත් හරිය එක්ක සමතලා නැති නිසා මේක හරහා බෝලේ යනකොට උඩ පනිනවා, හෙවත් අපේ බාසාවෙන් අන්ඩර්කට් (Undercut) වෙනවා.

මේ ක්‍රීඩා පිටියේ තත්වයන් යටතේ අන්ඩර්කට් වෙන එක අමාරු වැඩක් උනාට ඉඳහිට උවමනාවෙන්ම අන්ඩර්කට් කිරීම ප්‍රතිවාදී ක්‍රීඩකයන් අතේ දුරින් තබා ගැනීමේ උපක්‍රමයක් ලෙසත් භාවිත වෙනවා. එය සිදු කරන්නේ බොහෝ විට වක්පොල්ලෙන් පහර දෙන වේගය සහ ආනතිය වෙනස් කිරීමෙන්. කන ගාවින් යන්න පාරවල් දෙක තුනක් දුන්නහම මොන ජගත උනත් මූණට මුණ වෙට්ටු දන්නා දෙපාරක් හිතනව. වැඩේ තියෙන්නෙ එහෙම කරනකොට ඒවයේ ප්‍රථිපල අපිටත් අත් විඳින්න වෙන එක.

හැබැයි ඔය මොනවා කරත් අන්ඩර්කට් වැරදුණොත් අන්ඩර් ටේකර්ලව හොයන්න වෙනව. ආයිත් ඉතින් ජයරත්න හෝ බානි රේමන්ඩ්ස් තමයි  🙂

එනිසා සාමාන්‍ය තරඟ තත්වයන් යටතේ ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තකා ශරීර හානි වෙන අයුරින් පන්දුව උඩින් ගැසීම නීති විරෝධීයි. මෙය වෙනස් වෙන්නෙ මුළු ගතම ආවරණය වන පරිදි ආරක්ෂක ශරීරාවරණ පැළඳ සිටින ගෝල රකින්නන් සම්බන්ධයෙන් පමණයි.

කෑලි හැලෙන අණ්ඩ දාපු වැරහැලි වෙච්චි පෑඩ් කුට්ටමකින්,  ක්‍රිකට් විකට් රකින්නන් භාවිත කර ඉවත දැමූ පරණ හම ගිය අත් ආවරණයකින් සහ වැදගත්ම දේ වන අංගාරක්ෂකයකින් (Ball Gaurd) පමණක් සන්නද්ධ වෙච්චි කණ්ඩ සම්බන්ධයෙන් මේක කොයිතරම් අදාලද කියන එක වෙනම කතාවක්.

මැලේ පිටියේ ක්‍රිකට් ටර්ෆ් එක අවට හැරුනුකොට අනිත් හැම තැනම අවුරුද්ද පුරාම හොඳට තණකොළ වවල තියන නිසා ඇඟ පත හම යවා නොගෙන පනින්න පෙරලෙන්න බය වෙන්න දෙයක් නෑ 🙂 අනෙත් කාරණය තමයි මැලේ පිටිය තියෙන්නෙ බේරෙ වැවට බොහොම කිට්ටුවෙන් කොටින්ම වැඩිම උනොත් මීටර් 50 – 60 ක් ඇති මයෙ හිතේ.

එනිසා පොළොව තණකොළ ගහක් වවා  බැරි තරම් කාෂ්ඨක වෙන්න හේතුවක් නැහැ නමුත් තාප්ප, ගොඩනැගිලි වලින් වට වෙලා නිසා කලාතුරකින් බේරේ වැව පිස එන නහය පොපියවන හුළං පාරක් ඇරෙන්න බේරෙ වැවට මෙතරම් ළඟ බව හැඟෙන්නේ නම් නැහැ.

හැබැයි ඉතින් ප්‍රශ්නෙ ක්‍රීඩා පිටි සඳහාම භාවිතා කරන ඇණ (Studs) සහිත සපත්තු නැතිව එහෙ මෙහේ දුවනවා කියන්නේ බටර් උඩ දුවනවා වගේ පොඩ්ඩ වැරදුණාද බුරුස් ගාල ලිස්සලා යනවා. එහෙම සපත්තු නොතිබිච්ච කණ්ඩ හාල්පොත වගේ තිබිච්චි අණ්ඩ දාපු සපත්තු දෙක දා ගත්තහම හොකී කොහොම වෙතත් සමහර වෙලාවට සෙල්ලම් කරන්නේ කවදාවත් අයිස් ස්කේටින් නොකරපු ආධුනික පාපන්දු ක්‍රීඩකයෙක් වගේ තමයි.

මේ තත්වය පොද වැස්සක් එහෙම ගිය දවසට තවත් වැඩියි, එහෙම දාට සෙල්ලම් කරන්න ඉතා අපහසුයි. තදින් වැස්සොතින් මැලේ පිටියේ වතුර බහින පහසුකම් අවම නිසා සමනල ආර, ළය ආර, පසු ආර ආදී ඔය කොයිකෙන් හරි පිහිනීම සහ වෝටර් පෝලෝ, වෝටර් හොකී ඇතුළු ජල ක්‍රීඩා වලටත් වඩාත් සුදුසුයි.

එවැනි දවසට මඩ වලක බැහැපු ඌරෝ රංචුවක් වගේ එලියට එනකොට ගෙදර ගිහින් ඇඳුම් කැඩුම් සුද්ද කරන්න යන මහන්සිය දන්නෙ අම්මම තමයි. ඇයි ඒ මදිවට කාලාන්තරයක් තිස්සෙ දාඩියෙන් පෙඟිල තිබිල මඩ වතුර එක්කහු උනහම මැනිං මාකට් එකේ වැසිකිළියක් වගේ ගඳ ගහන සපත්තු දෙකයි පෑඩ් දෙකයි පුසුඹේ ඉවසන්න බැරුවා.

මේ තත්වය යටතේ උනත් පාසල් ක්‍රීඩා පිටියට වඩා කොළපාට තැනක ක්‍රීඩා කරන්න ලැබුණු එකත් ඒ දවස් වල අපිට ලොකු දෙයක්, තරඟ වලට එනකොට ඉස්කෝලෙන් නොදී ඉන්න බැරි කමට දෙන කණ්ඩායමේ 15 දෙනා සහ ක්‍රීඩා ආම්පන්න ප්‍රවාහනය කරන්න යාන්තං සෑහෙන පරණ හයියෙස් වෑන් එකේ ( මතක විදිහට Toyoya Hiace LH 30 වර්ගයේ එකක් ) සැමන් ඇහිරුවා වගේ එකට වකුටු වෙලා ඉහින් කනින් දාඩිය දාගෙන මැලේ පිටියෙ ගේට්ටුව ගාවින් බහින එකේ ගැම්ම අද කාලේ ළමයි දන්නේ නෑ අපේ හාමුදුරුවනේ.

මේ හුණ්ඩුවක් හා සමාන වෑන් රථයට අමතරව අප පාසල සතුව බස් රථ දෙකක් තිබුනත් මුල් කාලයේ ඒවා ලැබුණේ ක්‍රිකට් වගේ වැදගත් ක්‍රීඩා වලට පමණයි, පහු කාලයකදී මෙය වෙනස් උවත් මෙවන් කුඩම්මාගේ සැලකිලි අදටත් කණ්ඩාගේ හිතේ යම් කහටක් ඉතිරි කර ඇති බව රහසක් නොවේ.

මේ මොන කරදර තිබුණත් කණ්ඩා ඇතුළු සමකාලීන සහෝදර හොකී ක්‍රීඩකයන් බොහෝ දෙනෙකුගේ කුළුඳුල් හොකී තරඟය ගැන සුන්දර මතක සටහන් තියෙන්නෙ මැලේ පිටියත් සමගයි.

කණ්ඩාගේ මතකය නිවැරදි නම් (වැරදි නම් මොනව කරන්නද ? හරි එක කියන්න තමයි තියෙන්නෙ 🙂 ) 13 න් පහළ අපේ කණ්ඩායමේ පළමු තරඟයේ පිළිමලුන් උනේ කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය. අපේ කණ්ඩායම එකක් ඇරෙන්න එකක් ගෝල ලබා ගැනීමේ අවස්ථාවන් මග හරිනකොට පුහුණුකරු ඉත්තෑපාන සර් සහ ජේෂ්ඨ ක්‍රීඩකයන් එපිට පිටියෙන් ඉඳන්  පුළුවන් හැම උපදේශයක්ම දුන්න.

කණ්ඩායමක් විදිහට එදා එතරම් දක්ෂතා නොදැක්වුවත් බෙනඩික්ට් විද්‍යාලයේ දක්ෂ ඉදිරිපෙළ ක්‍රීඩකයකු වූ “ඔස්කා” ලැබුණු සීමිත අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තෙ “ඩී” එක හෙවත් ගෝල් කණුවලට යාබද අඩ කවය මැද සිට කිසිඳු බාධාවකින් තොරව අනපේක්ෂිතව එල්ල කරපු පහරකික්.

හොකී ගෝල රකින්නෙක් විදිහට අහන්න ලැබෙන එපාම කරන දෙය තමයි ඇසුරු සැනකින් “දඩාං” ගාල ගෝල පුවරුවට බෝලය වදින සද්දය, ඕනෑම ගෝල රකින්නෙක් මේ ගැන එකඟ වෙයි. මේ තමයි තරඟයකදී කණ්ඩට ඒ අමිහිරි අත්දැකීම ලැබුණු පළමුවෙනි වතාව. අවාසනාවට ඒ අන්තිම නෙමෙයි  😀

කොහොමින් කොහොම හරි අවසානයේදි ලකුණු සටහන් වුනේ ගෝල 1 – 0 ක් ලෙස අපි ලබපු පරාජයකින්.

සාමාන්‍යයෙන් වෙනදට අපිට බොහොම තදින් ඉන්න නිහඬවම හිතෙන් දත් මිටි කෑවත් නොබනින, බැන්නත් කෑ කොස්සන් නොගහ මහත්මයෙක් විදිහට බනින, බනිනවටත් වඩා රවල බලන එක බැල්මකින් ගොඩක් දේ කියන අපේ පුහුණුකරු ඉත්තෑපාන සර් තරඟයෙන් පස්සෙත් සෑහෙන්න අපේ හිත හැදුව මතකයි.

මතු සම්බන්ධයි !

~ කණ්ඩා

ලිපි මුලාශ්‍ර :

https://en.wikipedia.org/wiki/Sri_Lankan_Malays

http://srilankamalay.com/cmcc.htm

http://colombofort.com/slave.island.htm

http://www.mabolemalay.com/About%20Sl%20Malays.html

https://roar.media/english/life/srilanka-life/the-slave-island-that-we-have-forgotten

http://groundviews.org/2015/08/27/kartel-an-evolving-mixed-muslim-heritage-in-slave-island

පසු ලිපි :

මෙච්චර වෙලා අමාරුවෙන් කියන්න හැදුවේ, අල්ලපු ගෝල වලට වඩා අත ඇරපු ගෝල ගාන වැඩි අහිංසක කණ්ඩා පාසලෙන් එතෙක් මෙතෙක් බිහි වෙච්චි අසාර්ථකම (අල) ගෝලියා හෙවත් ගෝල රකින්නා වෙන්න හේතුව, පිටියේ පිහිටි පොලොවේ ඇදය, භූමි දෝශ, සපත්තුවේ ඇණ රහිතවීම සහ හෙලිකොට්ටෝරුවෝ මිසක් අබ මල් රේණුවකින්වත් වරද කණ්ඩගේ නොවන බව ;-D

පෙර ලිපි :

වක්පොලු කතා වස්තුව ~ I කොටස ~ කැන්ඩොස් මාමා සහ ගෝලියා
වක්පොලු කතා වස්තුව ~ II කොටස ~ වක්පොලු සහ වනන්න වටිනා ආයිත්තන්

වක්පොලු කතා වස්තුව ~ IV කොටස ~ හෙලිකොට්ටෝරුවෙක් සහ කණ්ඩෙක්