DFAC

ආපන ශාලාවේ අවුල්-නිරවුල් !

කාලයක් තිස්සේ ඇෆ්ගනිස්ථාන කතා පෙලට විරාමයක් ලබා දී තිබුණත් නැවත පටන් ගන්නට හිතුවේ පාඨකයන්ගේ දැඩි ඉල්ලීම මතය. පසු ගිය මාස කිහිපය තිස්සේ මොන අටමගලයක් ලිව්වත් එක් අයෙකු හෝ මේ ගැන විමසූ නැති ලිපියක් මට මතක නැත. එනිසා ලියන්න තියන කම්මැලිකම මකාගෙන නැවතත් ඇෆ්ගනිස්ථානයට පිවිසෙමි 🙂

අන්තිම එක දැම්මෙ හය මාසයකට එහා නෙව, එනිසා මෙතක් කතාව :

I කොටස ~ සුපිරි කොම්පැණිය සහ කණ්ඩාගේ ඇෆ්ගන් පිස්සුව !

II කොටස ~ හිවලුන් සමග රාමසාන් සහ ඇන්ටනොව් !

III කොටස ~ උඩ යන ඇන්ටනොව් සහ බිම යන ඇන්ටනොව් !

IV කොටස ~ පිපිඤ්ඤා සැන්විච්, යහතින් ගොඩ බෑම සහ ඇන්ටනොව් ගැරේජ් !

V කොටස ~ කාබුල් ගුවන්තොටුපොළ පාගා මරුවෝ !

VI කොටස ~ කාබුල් පොල්ල !

VII කොටස ~ කාබුල්හි සුපිරි කඳවුර !

VIII කොටස ~ කාබුල් ස්පෙෂල් නේපාලි අරිෂ්ඨ !

IX කොටස ~ කයා ඩීෆැක් සහ යැංකි පඩත්තරයෝ !


ඇෆ්ගනිස්ථානයේ අඩව් අල්ලද්දී බෙරේ පළුවක් ගියත් තනි පලුවෙන් හෝ තාලය අල්ලන්නට සමත් විය යුතුය. අඩු පහසුකම් යටතේ අවැසි දේ සාර්ථකව කරන්නට නම් එකම රාමුවකට කොටු නොවී ගැටළු විසඳන්නට හැකි විය යුතුය. මේ ලිපියෙන් ගෙන එන්නේ අප කාබුල්හි සුපිරි කඳවුර වෙත තනි කෑල්ලට ලඟා වූ පසුවත් අපට මුහුණ පාන්නට වූ නොයෙක් ගැටළු සහ ගැහැටය.

රංජිත් සමග ගිය නූර් නැවත ආවේ තනිවමය, ගිය ගමනේ වැඩි විස්තර අසන්නට නොගියේ එයට අවැසි උත්තර නූර්ගේ මුහුණේම සටහන්ව පැවති නිසාය. දින කිහිපයක් තිස්සේ එකක් පසුපස එකක් වශයෙන් ඇදී එන නරක ආරංචි වල කෙළවරක් දකින්නට අද දවසේත් අවසරයක් නැති බව මට වැටහුණි.

කෙසේ නමුත් මා කිසිවක් විමසන්නත් කලියෙන් නූර් ඇසුවේ අප රැගෙන ආ ස්වයිප් කාඩ් ස්කෑනර පරිඝනක ජාලයකට සම්බන්ධ නොකර භාවිතා කර හැකිද යන්නයි.

මින් නොඇසූ ප්‍රශ්න ගණනාවකට පිළිතුරු ලැබුණි, මෙතරම් මහන්සියෙන් කටයුතු පෙර සුදානම් කළත් ආපන ශාලාවේ පරිගණක ජාලය (Computer Network) සැකසීමේ කටයුතු හරි ආකාරව සිදු වී නැති බව මා හට පසක් විය.

නැති දේ ගැන නොසිතා ලද දෙයින් තැනේ හැටියට ඇණේ ගැසිය යුතුය, නූර්ගේ ගැටළුවට පිළිතුරු සපයන ගමන් කණ්ඩාගේ ඔලුව වැඩ කරේ පරිගණක ජාලය සකසන තෙක් තාවකාලිකව හෝ වැටුණ වලෙන් ගොඩ එන විදිහක් හොයන්නටය.

අප රැගෙන ආ ස්වයිප් කාඩ් ස්කෑනර පරිගණක ජාලයකට සම්බන්ධ නොකලත් 20,000 ක උපරිම කාඩ් දත්ත (Records) රඳවා ගැනීමට සමත්ය. එම මට්ටම ඉක්මවූ කල පැරණි දත්ත ඉබේම මැකී අලුත් දත්ත සටහන් වීම සිදු වේ.

rf-terminal

එනිසා අවසානයේ තීරණය වූයේ එක් වේලකට 2,000 – 5,000 ක් අතර දෙනා හට ආපන ශාලාව භාවිත කරන බැවින් අප රැගෙන ගිය ස්කෑනර් යන්ත්‍ර 6 ක් පරිගණක ජාලයට සම්බන්ධ නොකර භාවිතා කිරීමටයි.

දමන්නට පුළුවන් උපරිම ආරක්ෂක විධි විධාන (Fail safe) යොදා අප ලබා දුන් විසඳුම අතිශය ප්‍රාථමිකය, මූලික පරිගණක දැනුමැත්තෙක්ට උවත් පහසුවෙන් කරන්නට හැකිය.

අවැසි වන්නේ සෑම ආහාර වේළකට පසුව ඒ වෙනුවට භාවිත වන ස්කෑනරය වෙනුවට වෙනත් එකක් එහි තබා ස්කෑනරයේ ඇති දත්ත එහි වූ ජාල ගත නොකළ පරිගණකයකට (Stand Alone PC) කොපි කිරීමෙන් අනතුරුව කිලෝමීටර් කිහිපයක් ඈතින් වූ අපගේ ප්‍රධාන කඳවුරේ IT කාර්යාලය වෙත රැගෙන යෑමයි.

ස්කෑනරය ආපන ශාලාවෙන් පිටතට ගෙන යාමට පෙර ජාල ගත නොකළ පරිගණකයකට එසේ දත්ත කොපි කරන්නේ ආපන ශාලාවේ සිට ප්‍රධාන කාර්යාලයට යන අතරතුර මුහුණ දිය හැකි අනපේක්ෂිත කරදර සලකා ඒ සඳහා පෙර සැලැස්මක් ලෙසයි. පිටතට රැගෙන යන ස්කෑනරය හෝ එය රැගෙන යන පුද්ගලයා තම ගමනාන්තය වෙත ළඟා වීම හා නැවත පැමිණීම රඳා පවතින්නෙ තනිකරම තලිබාන්වරුන්ගේ සහ ඇෆ්ගන් ආරක්ෂක හමුදාවන්ගේ ක්‍රියා කලාපය මතය.

ලංකාවට දශක තුනක් තිස්සේ වින කැටූ LTTE ත්‍රස්තවාදීන් මෙන්ම තලිබාන්වරුන්ද යම් ස්ථානයකට හෝ පුද්ගලයෙකුට ප‍හර දීමට තීරණය කළහොත් එය එය යතාර්ථයක් බවට පත්වීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් වැඩිය.

පෙර පිනක් පලදී ස්කෑනරය සහ එන ගෙන යන්නා තනි කෑල්ලට ප්‍රධාන කඳවුරට ළඟා උවහොත් එහි ඇති මධ්‍යම දත්ත ගබඩාව (Central Database) වෙත මේ තොරතුරු නැවතත් කොපි කළ යුතුයි. එම දත්ත තහවුරු කළ පසු ස්කෑනරයේ දත්ත මකා දමා මීළඟ ආහාර වේලට කලින් නැවතත් ආපන ශාලාව වෙත යැවිය යුතුයි.

මෙම රාජකාරිය මෙතැනින් නිම වන්නේ යයි යමෙක් සිතන්නේ නම් එය වැරදීමකි, මේ විස්තර කළේ ක්‍රියාවලිය ආරම්භයේ එක් කොටසක් පමණි.

ඉතිරි වැඩ කොටසින් ප්‍රධාන වන්නේ අවසන් වූ අහාර වේල සම්බන්ධ වාර්තා හැකි ඉක්මනින් පිළියෙළ කර සුපිරි කොම්පැණියේ ආපන ශාලාව භාර කළමණාකාර තැනගේ අනුමැතිය ලබා ගැනීමයි, ඉන් අනතුරුව අදාල හමුදා කණ්ඩ හෝ ආයතන ප්‍රධානීන්ගේ අනුමැතිය වෙත නියමිත වේලාවට පෙර යොමු නොකළහොත් එතැන තවත් යුද්ධයකි.

මෙම ඉදිරිපත් කරන වාර්තා හමුදා කණ්ඩ හෝ ආයතන අනුව සාරාංශය ගත (Summarised reports) ඒවා වන අතර එම වාර්තා සම්බන්ධයෙන් හදිසියේ ඇතිවිය හැකි ආරවුල් විසඳීම හා විගණන කටයුතු සඳහා විස්තරාත්මක වාර්තාද (Detailed reports) අවැසි විට සැපයිය යුතුය.

දිනපතා ඉදිරිපත් කළයුතු මෙම වාර්තා සඳහා පාරිභෝගිකයන්ගේ අනුමැතිය නොලදහොත් සුපිරි කොම්පැණියට ගෙවීම් සිදුකරන්නේ නැත, එය දිගින් දිගටම සිදු උවහොත් කාගෙ කාගෙත් බඩට වදින නිසා එසේ වීමට ඉඩ ඇහිරීම අප රාජකාරියයි.

අප නව ක්‍රමවේදයක් හඳුන්වා දීමටද නොයෙක් හේතු විය. හමුදා සාමාජිකයන් සඳහා පිරිනමන ආහාර වේල් වෙනුවෙන් මුදල් ගෙවීම කරනු ලබන කෑම වේල් ගණනේ පරාසයන් අනුව අමුතු ආකාරයේ මිල සූත්‍රයක් සුපිරි කොම්පැණියට ලැබුණු කොන්ත්‍රාත්තුවේ (Cost Plus Contract) විය.

උදාහරණයකට කෑම වේල් 1,000 ක් දක්වා වේලකට ඩොලර් 10ක් බැගින් ගෙයවන්නේ නම් එය කෑම වේල් 1,000 ඉක්මවූ කල ගෙවීම ඩොලර් 12 බැගින් වැඩි වේ.

එහෙයින් මෙය කෑම වේල් 950 ක් වැනි ගණනක් ඇති වේලකදී එය ඉබේම 1,050 ක් වැනි ගණනකට අරැම පුදුම ලෙස වෙනස් වන බව වැනි ඔප්පු නොවූ විවිධ චෝදනා විය.

කාබුල්හි මෙම වාර්තා පිළියෙළ කෙරුණේ රංජිත්ගේ අතින් බැවින් මේ පිළිබඳව මා කිහිප වාරයක්ම ඔහුගෙන් හාර හාරා ප්‍රශ්ණ කරත් ඒ ගැන ඍජු පිළිතුරක් ලැබුණේ නැත. නමුත් පසුදිනක ඔහු සහ කාබුල්හි සිටි තවත් තොරතුරු තාක්ෂණවේදියෙකු වූ ක්ලීටස් අතර වූ සංවාදයකදී වහෙන් ඔරෝ පැවසූ දේ ආශ්‍රයෙන් මෙහි යම් සත්‍යක් ඇති බව වැටහුණි. (ඒ ගැන වැඩි විස්තර පසුවට)

මෙනිසා එවක මිනිස් ඇඟිලි ගැසීම් අවම හැකිතාක් ස්වයංක්‍රීය ක්‍රමවේදයක අවශ්‍යතාවය දැඩිව දැනෙමින් තිබුණි.

මෙයට අමතරව එතෙක් ගිණුම් වාර්තා සකස් කිරීම සඳහා පැය කිහිපයක් ගත වනමුත් එය ක්ෂණිකව ලබා දීමට සැලැස්වීම මෙන්ම ආපන ශාලා සියල්ලෙහි සැපයෙන කෑම වේල් ප්‍රමාණය පිළිබඳ සජිවී වාර්තාකරණයද අපගේ අරමුණු විය. මෙම ව්‍යාපෘතිය කෙරෙහි රංජිත් තුළ වූයේ සතුට සහ බිය මුසු වූ අමුතුම ආකල්පයක් බව ඔහු හා කතා බහින් මට ඒ වන විටත් වැටහී තිබුණි.

මෙතක් භාරදූර දුෂ්කර කටයුත්තක් ලෙස සැලකූ ගිණුම් වාර්තා සකස් කිරීම බොත්තමක් ඔබන පරක්කුවෙන් ලැබීමට සැලැස්වූ විට තමන්ට බඩේ පාර වදිවිදෝ යන සැකය එයට හේතු වන්නට ඇත. නමුත් ඉන් සැලසෙන පහසුව සලකා ඒ ගැන සතුටු වූ රංජිත් තමන් වෙත පැවරූ සියළු රාජකාරි අකුරටම ඉටු කිරීමට ඔහු වග බලා ගත්තේය.

නමුත් මේ සියල්ල සඳහා ආපන ශාලා සුපවයිසර්වරුන්, පරිගණක තාක්ෂණවේදීන් පුරැදු පුහුණු කිරීම සහ වාර්තාකරණය වෙනුවෙන් ඒ සඳහාම වෙන් වූ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම අප ඉදිරියේ වූ අනෙක් අභියෝගයන්ය.

අප සිටි “කයා ඩීෆැක්” (KAIA DFAC) හි දත්ත කොපි කිරීම සහ ස්කෑනර් හුවමාරුව එහි සිටි යම් පරිගණක දැනුමක් තිබූ පිලිපීන ජාතික සුපවයිසර්වරයා හට භාර දීම ගැටළුවක් නොවූවත් අනෙක් ආපන ශාලාවේ සිටි නේපාලි ජාතික සුපවයිසර්වරයා මත වැඩි විශ්වාසයක් තැබිය නොහැකි බව අපගේ නිගමනය විය.

ආහාර වේලක් පාසා දිනකට තෙවරක් බැගින් මෙම කර්තව්‍ය නොකඩවා සිදු කිරීම ඇෆ්ගනිස්ථානයේදී අපහසු මුත් වෙන විකල්පයක් තිබුණේද නැත. එබැවින් ඇෆ්ගනිස්ථානයට කෝඩුකාරයකු නොවූ රංජිත් හට ආපන ශාලාවන්හි ස්කෑනර් ප්‍රවාහනය ඇතුළු සියළු සම්බන්ධීකරණ කටයුතු බාර දීමට අප තීරණය කළෙමු.

මේ සියළු දේ බලාපොරොත්තු වූ අයුරින්ම තිතට සිදු උවත් ප්‍රවාහන පහසුකම්, ආරක්ෂාව, තොරතුරු වල සුරක්ෂිතභාවය පිළිබඳව සහතික වීමට නොසෑහෙන ආයාසයක් දැරිය යුතු බව මෙන්ම අපගේ සරල සැලැස්මේ කිසිදු සරල බවක් හෝ විශ්වාසදායී බවක් නොමැති බව මෙය කියවන ඔබට පැහැදිලි වන්නට ඇතැයි සිතමි 🙂

නමුත් අවස්ථානුකූලව සීමිත පහසුකම් යටතේ අපට ඉදිරිපත් කළ හැකිව තිබූ එකම විසඳුම මෙයයි, එහිදී රංජිත් මත පෙර නොවූ පරිදි බර පැටවුණත් දින දෙකක් යනතුරු ඔහුගේ සහයට අප සිටි බැවින් ඒ පිළිබඳ එතරම් ගැටළුවක් නොවීය.

ඒ සමගම උදේ පාන්දරම නූර් හට යක්ෂාරෑඩ වීමට හේතු වූ කරැණු කාරණාද හෙළි විය. අපට ඩුබායි සිට රැගෙන ආ නොහැකි උපකරණ ගෝපාල් කන්දහාර් සිට කාබුල් වෙත පොරොන්දු වූ පරිදිම එවා තිබුණත් බඩු භාණ්ඩ නිසි ලෙස මුදා ගැනීම සහ අවැසි තැන් වෙත ප්‍රවාහනය කිරීමට කිසිඳු උත්සාහයක් කාබුල්හි ප්‍රධාන කඳවුරේ IT (තොරතුරු තාක්ෂණික) කාර්යාලයෙන් ගෙන නොතිබුණු බව පැහැදිලි වූයේ එම උපකරණ වලට කුමක් සිදු වීද යන්න කිසිවෙක් දැන නොසිටීම නිසයි.

මෙම කාර්යාලය භාරව සිටියේ ටෝනි නම් මළයාලි ජාතික උප කලමණාකාරවරයෙකි. අප ව්‍යාපෘතියට අදාළ යටිතල පහසුකම් සැපයීමේ වගකීම (IT Infrastructure ) මෙන්ම කාබුල්හි ඇමරිකානු හමුදාවන් හට පමණක්ම සේවා සපයන කඳවුරු හැර සෙසු කඳවුරු සියල්ලෙහි වගකීම ඔහු සතු විය.

ඩුබායි වලින් පිටත් වීමට දෙසතියකට පෙර සියළු තොරතුරු සහ සැලැස්මවල් සැපයු අපට සෑම පහසුකමක්ම ලබා දීමට ටෝනි සහතික උවද එක පරිගණක රැහැනකට හෝ අත නොතැබීමට තරම් ඔහු කාර්යක්‍ෂම පුද්ගලයකු වීය.

මේ ගැන අල ගිය තැන් මුලගිය තැන් සොයා යාමේදී කාබුල්හි ඔඩුදුවා තිබූ කන්තෝරු දේශපාලනය (Office Politics) මෙයට හේතුව බැව් මා හට වැටහුණි. මෝඩයකු නොවූවත් අලසයෙකු වූ ටෝනි හට කඩිසරව කටයුතු කළ නූර්ව රිස්සුවේ නැත, පිටින් පෙනෙන්නට නොතිබුණත් පසු කාලයකදී ටෝනිගේ මුවින් පිටවූ යම් දෑ නිසා එයට ඉන්දීය – පකිස්තානු අන්තර්ජාතික දේශපාලනයද යම් තරමකින් මුසු වී තිබෙන්නටද ඇති යයි ආපසු හැරී බලද්දී මට සිතේ.

නූර් යනු කන්තෝරුව අතු ගාන මිනිසාගේ සිට සුපිරි කොම්පැණියේ අයිතිකරු දක්වා සබඳකම් හා පිළිගැනීමක් තිබුණු අයෙක් විය, ටොනිගේ මෙම ආකල්ප ගැන මින් ප්‍රථමද කිහිප වතාවක්ම පැමිණිලි කර තිබුණත් ඇෆ්ඝනිස්ථානයේ රාජකාරි කිරීමට සුදානම් පුහුණු තාක්ෂණවේදීන්ගේ අඩුවත්, අපට මෙසේ සැලකුවත් කඳවුරේ ප්‍රධාන කළමණාකරු සහ අනෙකුත් ජේෂ්ඨ සුදු හම ඇත්තන්ට මුට්ටිය ඇල්ලීම නිසාත් මේ පැමිණිලි වලින් වෙනසක් සිදුවුණේ නැති තරම්ය.

එනිසා එදා නූර් තනිවම නැවත පැමිණ ඇත්තේ ප්‍රධාන කාර්යාලයෙන් උදව් බලාපොරොත්තු විය නොහැකි තැන රංජිත්ව උපකරණ රැගෙන ඒම සඳහා පිටත් කිරීමෙන් අනතුරුවයි.

ටෝනිව කන තරමේ කේන්තියෙන් සිටි නූර් පැවසුවේ පසුදින උදෑසනම කන්දහාර් සිට ගෝපාල් පැමිණෙන බැවින් එම දවස ඇතුළත පරිගණක ජාල පිළිබඳ කටයුතු සියල්ල හොඳින් හෝ නරකින් අහවර කරන බවයි. එයට පසු දින අප නැවතත් ඩුබායි බලා යා යුතුව තිබූ නිසා ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කටයුතු අධීක්ෂණය ගෝපාල් වෙත පැවරීමටත් අප තීරණය කළා.

Me in Kabul Airport

එදිනට සිදුකිරීමට වෙනත් රාජකාරියක් නොවූ බැවින් පිලිපීන ජාතික සුපවයිසර්වරයා නැවත වරක් පුහුණු කිරීමෙන් අනතුරුව අප නැවතත් කයා ඩීෆැක් සිට සුපිරි කඳවුරට එන්නට පිටත් වුණා.

~ මතු සම්බන්ධයි !