Afro Hair 2

පොඩි දවස් වල මතක ඇති කාලෙක ඉඳල කණ්ඩට තිබ්බෙ වැස්ස වෙලාවක එළියට බැහැල අකුණක් වැදුන ගානට ආපු ඉත්තෑ කූරු කොණ්ඩයක් නමුත් අපේ තාත්තට බොහොම හැඩ බොකුටු කොණ්ඩයක් තිබුණ. 70 – 80 ගණන් වල තාත්ත තරුණ කාලෙ බූසි කොණ්ඩ (Afro) ෆැෂන් එකක් වෙලා තියෙද්දි අර ගත්තු පින්තූර දැක්කම නළුවෙක් වගේ තමයි. ඉතින් එහෙව් එකේ කරුමෙට හැදිච්ච මගේ ඉත්ත කූරු කොණ්ඩෙ හෙනම වාතයක්.

ළමා වියට ආයුබෝවන් කියල උගුරු ඇටේ එළියට පැනගෙන එන කාලෙ වෙනකොට මේ අකීකරු කොණ්ඩ කෙටිය ආම්බාන් කරන්න තවත් අමාරැයි. අනික ඉතිං ගෑල්ලමයෙක් දෙන්නෙක් ගැන හිතේ පොඩි එව්වා මෙව්වා ඇති වෙනකොට ලස්සනට ඉන්න ඕන හින්ද මේ කොණ්ඩෙ හෙනම වදයක්.

මේ මළ ඉලව්ව කරන්න බැරි ගමන එයරෝඩයිනැමික්ස් (Aerodynamics) ගැන එහෙම හිතල හුළං බදන නොබදන ගානට පුළුවන් තරම් කොටට කපල දැම්ම. නමුත් මේ උලව්ව සති දෙකෙන් ආයෙත් තිබ්බ ගානටම වැවෙනව පොඩ්ඩක්වත් කීකරු නැහැ මළම කරදරයක්.

ඒ ගමන ඉසේ ගාන ජෙල් පාප්ප කුප්පියක් පාවිච්චි කරන්න ගත්ත, කොන්ක්‍රීට් දාපු ගානට ජෙල් පාප්ප නාගෙන ඉස්කෝලෙ යන නිසා එයිං කුප්පියක් යාන්තමට මාසයක් ගෑවහැකි. හැම තිස්සෙම කොණ්ඩෙ කොටට කපන්න අනිත් හේතු තමයි වක්පොලු කෙළියෙදි ගෝලියා වෙච්චි මට නිතර හෙල්මට් දැමීමට කොට කොණ්ඩය වඩාත් පහසු වීම සහ ඒ එක්කම ඉස්කෝලෙ අණ්ඩපාල ටීම් එකට කණ්ඩත් සම්බන්ධ වීම.

ඇයි අප්පේ එච්චර මහන්සියෙන් ගත්තු අණ්ඩපාල බැජ් එක ගහගෙන වලහැඩියෙක් වගේ කොණ්ඩෙ වවාගෙන හිටියම වස්තරයක් ඇඳන් අනිත් එවුන්ට කොණ්ඩෙ කපන්න කියන්නෙ කොහොමෙයි ?

ඉතින් ඔහොම ගිහින් කණ්ඩ ඉස්කෝලෙන් එලවන්න කලියෙන් ස්වකැමැත්තෙන්ම එළියට බැස්සත් අර කොට කොණ්ඩෙයි පාප්ප කෙළියයි දිගටම කරගෙන ගියා පාප්ප කොම්පැනියෙ උදවියට බඩේ පාර ගහන්න බැරි නිසා. ආයෙත් අවුරුදු 30 ත් පැනල තමයි කණ්ඩට මේ පුරුද්දෙන් මිදිලා කොණ්ඩෙ වවන්න ඕනය කියල අමුතු අදහසක් පහළ වෙන්නෙ.

ඒක නිකම්ම කිව්වොත් හරි මදි, නිධාන කතාව කියල තමයි පටන් ගන්න ඕන. එනිසා ඔන්න ළඟපාත ඉන්න උදවිය පුටුවක් කාරිය ඇදගෙන පොප් කෝන් බාල්දියකුත් තම්බගෙන වාඩි උනානම්.

මේ කතන්දරේ පටන් ගන්නෙ ඔය කියන දවස් වලම අපේ හාමිනේ මක්කදෝ හිතිලා :

අනේ බලන්න බබාහරීයට මගේ කොණ්ඩෙ යනව බබාදැන් මොකද කරන්නෙ බබා

කියල අර ඇස් ලොකු කරල බොහොම දුක… හිතෙන විදිහට කෙඳිරි ගාන පොමරේනියන් බලු කුක්කියෙක් වගේ නාහෙන් අඬන්න තියා ගත්ත.

ගෙදර පුරාමත් බූල් බල්ලෙක් ඉන්න ගානයි, මේ අතුගාල යනකොට අනිත් අතට ගේ පුරා කොණ්ඩ ගස් හැම තැනම, අන්තිමට කොහොම හරි කණ්ඩටත් බෝලයක් බස්සපු හාමිනේ කණ්ඩට පස් අවුරුද්දක් කොණ්ඩෙ කපන්න යන තරමේ ගාණක් වියහියදම් කරල සූ ගාල ඉතිරි වෙලා තිබ්බ අඟල් තුනේ කොණ්ඩ කෙටියටත් කෙලල ඇරලා කොලු කට් එකකට බැස්සෙ නැතෑ.

බාරියාව හින්ද කියනවා නෙමෙයි ඇස්වහක් කටවහක් නෑ කොහොමත් උන්දැට කොළු කට් එක ගැලපෙනව, අනික උන්දැගෙ වැඩත් ටිකක් ඒ විදිහ තමයි 🙂

ඒ කිට්ටුවම තමයි කණ්ඩට 💡 ලයිට් බල්බ් මොහොතක් උදාවෙලා මහා නසරාණි අදහසක් පහළ වෙන්නෙ, ඒ හාමිනේට වඩා දිගට කොණ්ඩෙ වවන එක. හාමිනේගෙ කොට බූටෑව වගේ තියන කොණ්ඩෙට උඩින් යන්න වවන එක එතරම් දෙයක් නෙමෙයි කියල  ෂුවර්. වවන්න අරගෙන මාස තුන හතරක් යනකොට මෙන්න ඇන්ටනා දාපු ඉත්තෑවෙක් වගේ තිබ්බ කොණ්ඩෙ බලාගෙන ඉද්දි බොකුටු වෙනව. කවුද දන්නෙ මටත් තාත්තට වගේම බොකුටු කොණ්ඩයක් තියනවා කියල ?

අවුරුදු 30 ක් ගියා ඔය ටික තේරුම් ගන්න, දන්නව නම් ඉස්කෝලෙන් අස් වෙච්චි ගමන් වවනව 🙂

මේන් මෙතෙන්දි තමයි අපේ අසල්වාසී යුවල කථාවට එන්ටර් වෙන්නෙ, මුළින් ගරු රඟපෑම් වලට ආවට අන්තිමට කතාව නවතින්නෙ ඒ දෙන්න ප්‍රධාන චරිත බවට පත් වෙලා තමයි 😀

අපේ ගෙදරට ඉස්සරහ ගෙදර (Apartment) මේ මෑතක් වනතුරුම හිටිය මේ ජෝඩුව අපිට බොහොම හිතවත් ලංකාවෙ පවුලක්, ගාල්ලෙ පැත්තෙන් ආපු මහත්තැන් දිනපතා සල්ලි අතපත ගාන තැනක විධායක නිලධාරියෙක්, නෝන දන්කොටුව පැත්තෙ, රාජකාරිය හර බැර සමබර කරන එක. මේ සම්බන්ධකම දැන් අවුරුදු හත අටක්ම පරණයි.

ඔය දෙමහල්ලන්ට මේ කියන දවස් වල හිටියෙ එකම එක කෙළි පොඩ්ඩයි දැන්නම් නම් තව නංගියෙකුයි, අක්කල දෙන්නම කන් කෙටියෙන් ඇදල නම්මවන්නයි අම්මවයි තාත්තවයි කටිනුත් පාලනය කරන්නයි දන්න අණ්ඩපාල මල්ලියෙකුයි එක්ක තුනක්ම ඉන්නව.

ඉතින් මේ කියන ලොක්කි පොඩ්ඩි මොන්ටිසෝරි ගොහින් ඇවිත් අම්මයි තාත්තයි ගෙදර එනකම් දවස් වරුවම ඉන්නෙ නැනී එක්ක. ඒ ගෑනු මනුස්සය කෙල්ලට පුදුමාකාර විදිහට ආදරෙයි නමුත් මේ දඟ මල්ලට කැමති සෙල්ලම් දාන්න දෙන්නෙ නැති නිසා ඒ මනුස්සය කියන දෙයක් කෙල්ල අහන්නෙ නෑ. ආම්බාන් කර ගන්න අමාරුම තැන ගෙදරින් එළියට එක්ක යනව.

එයාලගෙ අහ දොර ඇරිය පරක්කුවට … එළියට අඩියක් තිබ්බ ගමන් ලොක්කි අපේ දොර ගාව.

දොර අරිනකම්ම … ඉච්ච ගෙදර නැංඳීඉච්ච ගෙදර නැංඳීඉච්ච ගෙදර නැංඳීඉච්ච ගෙදර නැංඳීකියල දොරට තඩි බානව.

** ඉච්ච ගෙදර නැංඳී ** ඒ තමයි හාමිනේට දීල තියන නම, හාමිනේ නැති උනොත් එදාට කෙළින්ම බිල්ඩිම පහළ රවුමක් ගහන්න එක්ක යනව 😀

මේ පැටික්කි අපේ හාමිනේට පණ ඇරගෙන. ඉතින් හවස් වරුවෙ කොයි වේලෙත් අපේ ගෙදර, ඇඟ පතෙන් හැදුනට හාමිනෙයි මේ පැටික්කියි දෙන්නම එකම වයසෙ හින්ද හාමිනේ තමයි මෙයාගෙ හොඳම යාළුව. පොඩ්ඩි එයාගෙ තියන සෙල්ලම් බඩු සබ්බ සලමනාවම උස්සගෙන අපේ ගෙදර ගෙනහල්ල දෙන්නත් එක්ක සෙල්ලම.

අපේ අහ ආපුවම යන්න කැමැත්තක් ඇත්තෙම නෑ, ආයි කෙල්ලගෙ අම්ම හවස වැඩ ඇරිල එන ගමන් බලෙන්ම තමයි ආපහු ගෙදර උස්සන් යන්නෙ.

ඔහොම ඉන්නකොට තමයි පොඩ්ඩිට සෙල්ලම් කරන්න තව පොඩ්ඩෙක් ගේන්න ඕන කියල අපේ අසල්වාසී ජෝඩුවට හිතෙන්නෙ. එදිනෙදා OPDP දාන බවලත් උදවිය ඔය කතාබහ කරන ගමන රහස් තියා ගන්න හරි දස්සයි නෙව. ඔන්න ඉතින් ඒ නෝනා මහත්තැන්ම හාමිනේට කියල දෙන්න දෙමහල්ලො මේ සඳහා අවශ්‍ය ෆවුන්ඩේෂන් දාල ඉවරයි බිත්ති නග්ගගෙන යනවා කියල 🙂

ඉතින් ඔය කියන දවස් වෙනකොට මගේ කොණ්ඩෙ බොකුටු ගැහිලා සාරෙට තියනව. අපේ අසල් වැසියො දෙන්න නිසා නිතරම කණ්ඩාගෙ කොණ්ඩය ගැන බොහොම විහිළුත් කරනව ඉඳහිට මේ නෝන මහත්තැන් නෝණ්ඩියටත් එක්ක හානේ … හරි ශෝක් කියා කියා දිරි ගැන්වීම එහෙමත් හම්බ වෙනව.

ඔය මොනවටත් වඩා කණ්ඩට දැන් වඩාත්ම ආඩම්බර දැන් හාමිනේගෙ කොණ්ඩෙට වඩා කණ්ඩගෙ කොණ්ඩෙ දිග වීම, ඕව ඔහොම තමයි ආයිබෝවණ්ඩ අහල නැද්ද පරණ ශ්ලෝකයක් තියනවඅබුදස්ස කාලේන කජ්ජේන පුහුළං !” කියල.

ඇයි එතකොට මුලදි ක්‍රිකට් මැච් එකක් සෙට් වෙන වාරයක් ගානෙ කණ්ඩගෙ බඩ දිහා බලාගෙන රණතුංගාරණතුංගා  කියල කොචොක් දාන අපේ අසල්වැසි රටවල් දෙකේ කඩප්පුලියොන්ට මුවින් නොබැන හිතෙන් බෙල්ල මිරිකමින් ඉන්නව.

නමුත් කොණ්ඩෙ වැවුවට පස්සෙ ඒ සෙට් එකම මාලිංගාමාලිංගා කියනකොට ඇඟට එන ගැම්ම නිකං මාලිංගගේ යෝකර් වලට පොළු විසික් වෙනකොට වගේම තමයි. ඕන මංගල්ලයක් කියල උන්ට කොණ්ඩෙ හින්ද මගේ බඩ අමතක වෙච්චි ප්‍රීතිය නිසා මාත් ඒකට නම් ඩිංගක්වත් අකමැත්තක් පෙන්නුවෙ නැහැ 😀

ලොකු ප්‍රශ්නෙකට කියල තිබ්බෙ අර ඉස්සර මාසයක් තිස්සෙ ගාපු පාප්ප කුප්පිය දැන් සතියකටත් මදි වෙච්චි එක, මොනවා කරන්නද අර ජුන්ඩන් කුප්පියෙන් එකක් ගෑවෙන්නත් මදි නිසා මම අර සැලුන් වල තියන ගමකට ගාන්න පුළුවන් සයිස් පාප්ප බාල්දියකට මාරු උනා.

ඔය අල්ල පනල්ල අස්සෙම අපි සකල සිරින් පිරි සිරි ලංකාවට ගියහම කණ්ඩ තවත් නොහිතපු ගැටළුවකට මුහුණ පෑව, ඒ තමයි නිකං ඉන්නකොටත් දාඩිය දාන මට පැය විසි හතරම කොණ්ඩෙ පාප්ප උලාගෙන ඉන්න බැරිකම. පාප්ප ගාල පීරුවෙ නැති උනහම කොණ්ඩෙ මුහුණපුරා හතර අතේ දුවනවා කරන්ට් වැදිච්ච වලස් තඩියෙක් වගේ. මෙව්වා මට ඉතින් කලින් තිබ්බ ප්‍රශ්න නෙමෙයිනෙ 😦

ඒකට පිහිටට ආවෙ කණ්ඩගෙ ආදරණීය නෑන හෙවත් අපේ හාමිනේගෙ අක්ක, එයා පාවිච්චි කර කර හිටිය ඇලිස් බෑන්ඩ් එක කුලී පදනම මත ණයට දුන්න. උන්දැගෙ කොන්ඩෙත් බූසි කොණ්ඩයක්, මාත් ඉතින් උකුණො එහෙම නැද්ද කියල සැක ඇරල පාවිච්චි කරන්න පටන් ගත්ත. (අදින් පස්සෙ නඩුවක් තමයි, හදිස්සියකට අබ්බගාත් වැඩක් කරගෙනත් ඉවරයි 😦 )

හම්මේ අපේ නෑනට කිරියෙන් පැණියෙන් උතුරන්න වැඩි වැඩියෙන් හම්බ වෙන්න ඕන ඇලිස් බෑන්ඩ් එක දැම්මහම දාඩිය දාන එක, කොණ්ඩෙ හතර වටේ දුවන එක ප්‍රශ්න මොකුත් නෑ ඔක්කොම කිරි ගහට ඇන්න වගේ ගොඩ.

නමුත් තත්වෙ ඔහොම උනාට ගෙදර මනුස්සයගෙ කොණ්ඩෙ මායියට වඩා දික්වීම සහ උන්දැගේ පිරිමිකමට නොගැළපෙන ඇලිස් බෑන්ඩ් දැමීම ගැන හාමිනේගෙනුයි, ගෙදර එවුන්ගෙනුයි, නෑදෑ සනුහරෙනුයි, යාලුවන්ගෙනුයි තවත් රටෙන් බාගයකිනුයි නැති කතන්දර ඇහුවත් ඒ සති දෙක තුන කණ්ඩ කරදරයක් නැතුව හිටිය.

ඔය එක්කම ඇලිස් බෑන්ඩ්  (Alice Band) පිරිමි දාන්නෙම නැද්ද කියල ඒක ගැන වැඩි විස්තර හොයපු හන්ද තමයි මේ ගැජට් එකට ඇලිස් දුටු විස්මලන්තය ( Alice in Wonderland ) හි දෙවන කොටස වන “Through the Looking-Glass” කතාවේ ඇලිස් පාවිච්චි කරන හිස් පළඳනාවක් නිසා මේ නම යෙදෙන බව දැන ගත්තෙ.

ඒ එක්කම අර පයින් ගහන බෝල සෙල්ලම කරන බෙකම් අයියත් ඇලිස් බෑන්ඩ් දානව කියල දැන ගත්තහම හිත නිවුණ, මාත් ටිකක් දැන් ඒ වගේ කියල හිත හදා ගත්ත. දැන් ඇලිස් නංගියි, බෙකම් අයියයි, කණ්ඩයි නෑනයි තුන් හතර දෙනාම එක බෝට්ටුවේ. ඒ ගමන්ම අපේ ලොකු නෑන මට ණයට දීපු ඇලිස් බෑන්ඩ් එක මම වැඩි පරිස්සමට අපහු ඔටු දේසෙට එනකොට අරගෙන ආව 😀

ඔහොම මාස කිහිපයක් යනකොට අර ෆවුන්ඩේෂන් දාපු අසල්වැසියො දෙන්නගෙ ජොයින්ට් ප්‍රොජෙක්ට් එක ඉවර වෙලා දෙවන වතාවටත් බොහොම හුරුබුහුටි කෙලි පොඩ්ඩෙක්ගෙ දෙමව්පියෝ බවට පත් වෙනව. කෙල්ල මේ දෙන්න දෙමහල්ලන්ගෙ කපාපු පළුව, ඇස්වහක් කටවහක් නෑ හරි ලස්සන හිනාවක් තියන අපූරු කෙළි පැටික්කි.

නමුත් මෙහෙම කියලත් බැරි නොකියත් බැරි වැඩක් හැමෝටම නෝට් උනා. අලුත් කෙලි පොඩ්ඩිගෙ කොණ්ඩෙ බොකුටුම බොකුටුයි. අම්මගෙ කොණ්ඩෙත් එහෙම එකක් නෑ තාත්තත් තියන කොණ්ඩෙ ටික බොහොම අර පරිස්සමින් තියාන ඉන්නෙ. ඒ විතරක් නම් කමක් නෑ මේ ජෝඩුව කියනව ඒ උදවියගෙ පරම්පරා වල කාගෙවත් බොකුටු කොණ්ඩ නැතිලු.

අහල පහළ රට වටෙත් දන්න කියන බූසි කොණ්ඩයක් තියන බොකුට්ටෙක්ට කියල ඉන්නෙ කණ්ඩ විතරමයිලු. මේව කුරුළු කූඩු කඩා ඉහිරවන, මිනී මැරැම් වලට හේතු වෙන කරැනු කාරණා අපේ හාමුදුරැවනේ o_O

ඒ මදිවට ලොක්කි ඉච්ච ගෙදර නැංඳි පස්සෙම උනාට පොඩ්ඩි කැමති ඉච්ච ගෙදර මාමිට, දැක්ක තැන කොමලෙ, කාට කොහොම පැහැදිලි කරන්නද මේව ?

අනික ඒ නෝන මහත්තැන් එක හෙලා කියල හිටිනව උදේ හවා කණ්ඩගේ බොකුටු කොණ්ඩෙ දැකපු හින්දමලු මේ පළ හිලව්ව, උන්දැගෙ මහත්තැන් පැත්තක ඉදන් හිනා වෙනව. ඔය කිව්වට පස්සෙ තමයි දැන ගත්තේ අර නෝනා මහත්තැන්ගෙ සහෝදරීගෙ කොණ්ඩෙත් ඒ වගේම තමයි කියල, කණ්ඩ බයිට් ! 😦

නමුත් ඉතින් මේ මනුස්ස ලෝකෙ හැමදේම අනිත්‍යයි කියල කියනවනෙ, කණ්ඩගෙ කේශ කල්‍යණයටත් ඒ සන්තෑසියම තමයි පිංවතුනි. එච්චර කාලයක් තිස්සෙ වැව්ව ආදරබර කොණ්ඩෙ රාජකාරීමය හේතුවකට පහු කාලයකදි තද හිතේ අමාරුවෙන් කොටට කපන්න වෙනව. ඒ රස්සාව මාරු කරන්න හිතල සම්මුඛ සාකච්චාවකට සහබාගී වෙන්න.

“You get Only One chance to make a First Impression !” කියල කියනවනෙ 😦

ඉතිං හූල්ල හූල්ල සුපුරුදු කොණ්ඩෙ කපන බාබර් සැලුමට ගියා. මාව හොඳින් අඳුරන මළබාරි බාබරය ගත්ත කටට කපන්න බෑ කිව්ව නෙව, මම කපන්නම කියනවා මූ බෑම කියනවා, කොණ්ඩෙ කපන්න පෝලිමේ ඉන්න මිනිස්සු දත්මිටි කමින් මේ මුදල් නොගෙවා ප්‍රචාරය වෙන ඇඩ් එක දිහා කන්න වගේ බලං ඉන්නව 😆

කොහොමින් කොහොම හරි මගේ කේශ කල්‍යාණය ගැන හිතල බාබර් අයියගෙ ඉටි වගේ උණු වෙලා වැක්කෙරිච්ච හිතත් හදල කොණ්ඩෙත් කපාගෙන ගෙදර එනකොට තමයි ඉතිරි අලකලංචිය උනේ.

පොඩ්ඩියි ලොක්කියි සෙල්ලම් කරනව, පොඩ්ඩිගෙ අම්මයි අපේ හාමිනෙයි දෙපැත්තට වෙලා උළුවහු දෙක වැටුණොත් කියල අඩ තියාගෙන සතරකන් මන්ත්‍රණයක්. හැබැයි කණ්ඩව දැකපු ගමන එය සයකන්ව යා නොදී ඉබේම නවතිනව, හොල්මනක් දැක්ක වගේ දෙන්නගෙම යටි හනුව බෙල්ල ගාවට පාත් වෙනව 😮

ඔය එක්කම  මාව දැකපු ගමන මේ පොඩ්ඩි කොයිතරම් බය උනාද කියනවනම් දුවල ගිහින් අම්මගෙ පිටිපස්සෙ හැංගුනා. ලොක්කි සිරික්කිය දාල අහනව මාමි කොණ්ඩෙ කෝ … ?

වෙනදට මාව දැක්ක තැන ඇඹරි ඇඹරි කොමළ පාන පොඩ්ඩි කොණ්ඩෙ වැවෙනකං හැංගි හැංගි මං දිහා බැලුවෙ හොල්මනක් දිහා බලන්න වගේ, ඇයි ඒ මදිවට දකින දකින එකාගෙන් හම්බ වෙන නානා ප්‍රකාර ප්‍රතිචාර, කොණ්ඩෙ කැපුවට වඩා හොඳයි බෙල්ල කපා ගත්තනම්  🙂

~ කණ්ඩා !

ප.ලි. :

මේක ලියන්න හිතුනෙ අවුරුදු හත අටක් තිස්සෙ අපේ පාලු මකපු ලොක්කියි, පොඩ්ඩියි අර බටු ඇට දෙකක් උස නැති අණ්ඩපාල කොලුවවයි මතක් වෙලා 😦

ඒ එක්කම දැන් ඉහ නිකට පැහෙන්න පටන් අරගෙන තිබ්බත් ආපහු කේශ කල්‍යාණය වර්ධනය කර ගන්න අදහසකුත් තියනව 😀