Helicopter

හෙලිකොට්ටෝරුවෙක් සහ කණ්ඩෙක්

මැලේ ක්‍රීඩාංගනය සහ පිටියේ කතන්දරය පහුගිය සතියක කියපු නිසා මෙදාපාර ඒ හා සම්බන්ධ කියලත් බැරි නොකියත් බැරි සන්තෝසේ විලි ලැජ්ජාවේ පණ යන කතාවක් කියන්න කියල හිතුව. අපේ එව්වො මඩ ගහන්න දෙයියො, එහෙව් එකේ මේ ගැන කමෙන්ට් එකක් වැටිලා සායම යවා ගන්නවට වැඩිය නම්බු පිටින් කණ්ඩම මේ ගැන කියල අහවර කරන එක වඩා හොඳයි 🙂

අපේ එකාලව සත පහකට විස්වාස කරන්න බැහැ !!!

මේ කියන්නෙ 93 – 94 වගේ මට මතක විදිහට, අපි 15 න් පහළ වක් පොලු කෙළින කාලෙ. ඔය දවස් වලත් කොළඹ පාසැල් හොකී ක්‍රීඩා තරඟ පැවැත්තුවේ මැලේ ක්‍රීඩා පිටියෙමයි. ඒ අතර මේ කියන සිදුවීම උන තරඟය මොන පාසලකට එරෙහිව තිබුණ එකක්ද කියල අදටත් මට ඒ හැටි මතකයක් නැහැ. ඒ ඇයි කියල තේරෙයි කියවගෙන පහලට යනකොට.

අපේ වක්පොලු කණ්ඩායමේ පසුපෙළ ආරක්ෂක ක්‍රීඩකයන් (ෆුල් බැක් – Full Back) විදිහට කටයුතු කළේ ගලා ( ඔව් අර ෆ්‍රිජ් එක කැඩුණ කිව්වම අයිස්ක්‍රීම් බාල්දියක් උස්සගෙන ආපු එකාම තමයි ), එරංග නොහොත් තඹයා සහ සුමනෙ.

අපේ ගමට ඒ කියන්නෙ වැලිපිල්ලෑවෙ ඉඳන් හූවකට දෙකකට එහායින් තිබ්බ දැඩිගමුවෙ හිටපු ගලාට ගලා කිව්වෙ වාසගමේ කෑල්ලක් හින්ද උනාට තඹයට තඹයා කියල කිව්වෙ උගේ කෙස් සහ මයිල් තඹ පාට නිසා. මං හිතන්නෙ පොඩි කාලෙ විනාකිරි බාල්දියකට වැටිලා වෙන්ට ඇති.

මේක තඹයට හය වසරෙදි විතර වැදිච්ච කාඩ් එකක්, එදා ඉඳන් තඹය තඹයම තමයි ( පහු කාලෙකදි මුට ලොන්ත කියලත් කිව්වද මන්ද ) 😀

බලංගොඩින් ආපු සුමනෙ අපේ නේවාසිකාගාරෙ නැවතිලා කාලෙ ගෙවා ගන්න අපිත් එක්ක වක්පොලු ගහපු දුසිමක් විතර සෙට් එකේ හිටපු දක්ෂම වක්පොලුකාරයෙක්. කණ්ඩ සහ ගලා වගේම සුමනෙත් කාලයක් තිස්සේ ඔටු දේසෙ ඔට්ටු උනා.

තඹයයි ගලයි කොයිතරම් දක්ෂ උනත් මහා කම්මැලියො පුහුණුවීම් වලට එහෙම. ඒ දවස් වල ප්‍රැක්ටිස් එන්න බැරිවීමට දෙන නිදහසට කාරණා තමයි මගුල් ගෙවල්, මළ ගෙවල්, දාන ගෙවල්, පන්සලේ පින්කම්, කැස්ස, හෙම්බිරිස්සාව රටේ නැති මල දාන කෝටියයි.

ඒත් මුන්ගෙ වළන් හට්ටි මදි අපේ පුහුණුකාරතුමා වෙච්චි ඉත්තෑපාන සර්ව තම්බන්න, එහෙම දවස් කිහිපයක් මේ ජවුසන් කතා අහන් ඉඳල බැරිම තැන අපිට හොඳ හොඳ කතා ඇහෙනවා 🙂

අයිසෙ තමුසෙ මාසෙකට දවස් දෙක තුනක් ඔහොම අමාරු හැදෙන්න තමුසෙල ගෑණුද ?

මෙහෙම ගියොත් තමුසෙලට සෙල්ලම් කරන්න සායක් අන්දවන්න වෙන්නෙ !

කැස්සයි හෙම්බිරිස්සාවයි නම් පස් පංගුව ටිකක් තම්බන් බීල සෙල්ලන් කරන්න එන්න බැරිද ?

සර්ගේ කටිං අයිසෙ, තමුසෙ වගේ වචන එළියට පනින්නෙ බ්ලඩ් ප්‍රෙෂර් මීටරේ කටුව නැගගෙන එනකොට, සමාන්‍යයෙන් ඒ වෙලාවට වැඩිය මොකුත් නොකියන එක ඇඟට ගුණයි !

ඈ අයිසෙ ඔය තරම් නෑදෑ ගෙවල් වල මළගෙවල්, දාන ගෙවල්, පින්කම් කොහේද තියෙන්නෙ ?

මුළු ගමේම මිනිස්සු තමුන්ගෙ නෑදෑයොද ? ඔව් සර් !

( ඒ ගලා, ඇත්තටම හතර වටේටම ඉන්නේ උන්ගෙ පරම්පරාවෙ එවුං, පඳුරකට ගැහුවත් දෙතුන් දෙනෙක් වීසි වෙනව 😀 )

එතැනින් පස්සේ වෙන ප්‍රශ්න ඇහිලි නැහැ, අන්තිම තීන්දුව හම්බ වෙනව 🙂

යනවා පිට්ටනිය වටේ තව වට තුනක් දුවල ඉක්මනට ප්‍රැක්ටිස් පටන් ගන්නව !

එදාට මුං කරන්න දෙයක් නැති නිසා ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ බොහොම අමාරුවෙන් දුවන්න පටන් ගත්තත් හොර හිත නිසා පිට්ටනිය වටේ යන්නෙ  නැතුව මළල ක්‍රීඩා වලට පාවිච්චි කටන 400 m ට්‍රැක් එකේ දුවනකොට අහු උනොත් පිට්ටනිය මායිම වටේ දුවන්න කියල තවත් වටයක් දෙකක් බෝනස් හම්බ වෙනව 🙂

මේ කියන දවසෙ අපේ තරඟය යන අතරතුරේ අල්ලපු වටේ තිබුණ පාපන්දු පිටියට මහා ගාලගෝට්ටියක් එක්ක හෙලිකොට්ටෝරුවෙක් බැස්සෙව්වා තිබුණ තරඟය මතක නැති උනාට බස්සපු හෙලිකොට්ටෝරුව තද  කොළපාට ගාපු බොහොම ගාම්භීර තාලෙ එකක් කියල මතකයි. මට හිතෙන්නෙ මෙය බොහෝ දුරට ගුවන් හමුදාව ඒ කාලයේ නිතර පාවිච්චි කරපු බෙල් 212 වර්ගයේ එකක් වෙන්ට ඕන.

මේ පියාඹන යන්තරේ මොන එහෙකට ඒ වෙලාවේම එතැනට බැස්සුවද කියන්න දන්නේ නැතත් ඇතැම් විට එය තුවාල ලබපු හමුදා නිළධාරීන් රැගෙන යාමට හෝ දෙසපාලුවෙක්ගෙ ටැක්සියක් විදිහට පාවිච්චි කරපු එකක් වෙන්න ඉඩකඩ වැඩියි.

Hockey Goal Keeperකොහොම නමුත් එදා මුන් දෙන්නත් කණ්ඩට වැඩිය හොඳින් හෙලිකොට්ටෝරුවගෙ සිරි නරඹල කියල තේරුණේ  “ඩෝං” ගාල ගෝල පුවරුවට මොකද්දෝ වදින සද්දයක් පිටි පස්සෙන් ඇහිල පියවි සිහියට එනකොට තමයි.

එදා මේ මැච් එකට හිටියෙ ගලයි සුමනෙයිද කොහෙද, ගලා සුමනෙගෙන් අහනව මොකද බං උනේ කියල ?

සුමනෙ ගලාගෙන් අහනව මොකද බං උනේ කියල ?

ඊට පස්සෙ උන් දෙන්නම කණ්ඩගෙන් අහනවා යකෝ මොන ලබු ගෙඩියක්ද ගෝල් එකක් වදිනකන් කරේ කියල ?

අනිත් අතට අපේ එව්වො ඔක්කොම හැරිච්ච ගමන් ඇහුවෙත් කණ්ඩ බෝලෙ දිහාද හෙලිකොට්ටෝරුව දිහාද බලන් හිටියේ කියල ?

මාත් හැරෙන තැපෑලෙන් උන්ගෙන් ඇහුවෙ ගෝල් එක වදිනකන් තොපි ඔක්කොම ඇට කෑවද කියල ?

ඔය කොයික උනත් එදා වගේම අදටත් මට හිතෙන්නෙ කන පැලෙන්න වැදිච්ච මේ විලි ලැජ්ජා නැති ගෝල් එකේ වැරැද්ද සහ වගකීම තනිකරම ගුවන් හමුදාවයි, අපේ එවුන් ටිකයි අනිත් පිලේ එවුනුයි බාරගන්න ඕන !

ඒ කිව්වෙ ?

ඇයි හමුදාවෙන් හෙලිකොට්ටෝරුව බෑවේ නැත්තන් අපේ එවුන් කොහොම හරි බෝලෙ නවත්තනවනෙ.

හරි … හරි … එතකොට අනිත් පිලේ එවුන් මොකටද මේ සිද්ධියට වග කියන්න ඕන ?

ඇයි හත් ඉලව්වේ උණුත් හෙලිකොට්ටෝරුව දිහා බලන් හිටිය නං මෙහෙමත් ගෝල් වදීවිද ???

පිටිය අග්ගිස්සෙම ගෝල් කණු දෙකට තනි රකින කුරා කුඹියෙකුටවත් කරදරයක් නැතිව පැත්තකට වෙලා උන්නු අහිංසක ගෝලියා වෙච්චි මට බෝලෙ මග හැරෙන්න කලින් ඉස්සරහ ඉන්න තව දහ දෙනෙකුට ඔය මගුල මග හැරෙන්න එපායැ, දහයකට බැරි වෙච්චි එකේ තනි මම මක්කොරන්නද ආයිබෝවන්  ?

කරුමේ කියන්නෙ මම බොහොම හිතල මතල ඉදිරිපත් කරපු තර්ක විතර්ක එකක්වත් අපේ එවුන් පිළිගත්තෙ නැහැ නෙව, අන්තිමේදී විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ හෙලිකොප්ටර් බලල බෝක්කු යැව්ව කියල කණ්ඩට “හෙලිකොට්ටර්” කියල කාඩ් එකකුත් ගැහුව.

Hockey Stick and Ball

වක්පොලු කාරයෙක් හම්බ උනොත් අදටත් මේ කාඩ් එක එහෙමයි කියන්නෙ ආඩම්බරෙන්, ඉතිං කොහොමද රටට ලෝකෙට මූණ දෙන්නෙ ?

කොහොමින් කොහොම හරි එතකං කාඩ් එකක් නැතුව හිටපු මට හෙලිකොට්ටර් කියන එක රෙජිස්ටර් උනා, අපේ එවුන් ඕක කිව්වට නම් අවුලක් තිබ්බේ නැහැ නමුත් හිතට අමාරු කොටු රූල් පොතේ අන්තිම පිටුවෙ බින්දු කතිර සෙල්ලමට වඩා ක්‍රීඩාවක් නොකරපු එවුං පවා මේක කියන්න ගත්තම, එතකොට ඉතිං ගඟේ මාළු ඇඟේ නටනවා.

මෙහෙම අහස පොලොව උහුලන්නෙ නැතුව අහිංසකයන්ට කාඩ් ගහන උන්ගෙ හතර පරම්පරාව මතක් කරන පුරුද්දක් මට තිබ්බත් තිවුණු කාඩ් කුඩු වෙලා ගන්න දෙයක් නැතිවෙනකොට ඒකෙ ගානක් නැතුව ගියා 😀

මතු සම්බන්ධයි !

~ කණ්ඩා

පසු ලිපි :

පසුගිය දින කිහිපය තිස්සේ කණ්ඩාගේ සහෝදර වක්පොළු කාරයන් කිහිප පොලකගෙන් සරදම් මෙන්ම ලිපියේ ඇති වැරදි අඩු පාඩු පෙන්වමින් යොමු වූ පණිවිඩ කිහිපයක් පහතින් දක්වන්නේ වැරදි නිවැරදි කිරීමට සහ පාඨකයන්ගේ ලාම්පු සංවේගය පිණිසය. තත්වය කුජිතය ශෝචනීයය, මේ පිළිබඳව කියන්නට ඇත්තේ කණ්ඩාට කිසිවක් මතක නැති බව විතරමය (ඒ අනුව කණ්ඩා දැන් කොළොන්නාවෙන් චන්දය ඉල්ලීමට එක්  මූලික සුදුසුකමක් සපුරා ඇත)

දොස්තර හොඳ හිත

සිතූ පරිදිම කණ්ඩාගේ මෙමරි චිප් සේරම අවුල් බවට අපගේ හිටපු කපිතාන් තැන්පත් දොස්තර හොඳ හිත මහතා සුහදව සිහි කැඳවන ලදී.

යකෝව් (%^#@ *^&%&) *&^$%# මේ ටික නොකිව්වට කිව්වා බව දන්නව) !!!! ඔය මැච් එක තිබුනෙ අපියි සෙන්ට් තොමස්  එකයි අතර. අන්ඩර් 15 නෙමෙයි අන්ඩර් 13 සෙමි ෆයිනල්. 1994 අපි 1 – 0 විදිහට පරාදයි උඹට පින් සිද්ද වෙන්න. බැක් ගැහුවෙ තඹයයි, ගලයි. සුමනදේව එතකොට අන්ඩර් 15. අපි නම් හෙලිකොප්ටර් එකක් දැක්කෙවත් නෑ. අපි එච්ච්රටටම මැච් එකේ හිටියෙ. උඹ විතරක් නෙමෙයි මට පේන විදිහට අර ෆුල් බැක් යක්කු දෙන්නත් ඔය මගුල දිහා බලන් ඉඳල තියනව.

නෙදකින් !!!

බදුල්ලේ මලින්

මේ අල්ල පනල්ලේ මැද්දට පැන්න අපේ අනිත් එල් කැපිටෑන් වන මලින්තුමා කණ්ඩාට තවත් නොණ්ඩි දමමින් තමන්ගේම පිට කාසා ගත්තේ මෙසේය.

උඹල මැච් එක ගහනකොට අපි අන්ඩර් 15 සෙමි ෆයිනල් එකට සෙට් වෙනව, සමීර ගලප්පත්ති කැප්ටන් කරේ … සුමනෙයි අන්ඩර් 15 ගහන සෙට් එක උඹත් එක්ක හෙලිකොප්ටර් බලල ඊ ළඟ මැච් එකේදි DS එකට ගෝල් එකක් ගහල ෆයිනල් ගියා. ගෝල් එක ගැහුවේ මම නිසා ටිකක ආඩම්බරයි !…. උඹල ගහපු ගෝල් වලට වඩා මිස් කරපු ගෝල් වැඩියි නේද ?

මෙච්චර දෙයක් කරන්න පුළුවන් උනේ කණ්ඩා වැනි ශ්‍රේෂ්ඨ ක්‍රීඩා තරුවකගේ මුල් නම උගේ මැද නමට වැටීම නිසා බව උට නොතේරෙන්නේ අවාසනාවකටය 😦

එරංග AKA තඹයා

ඌටත් හෙලිකොට්ටෝරුවා මතක උනත් ඒ බව දැක්කේ කණ්ඩා පැවසූ විට බව තඹයා පැවසුවේ තමන් වක් පොල්ලට සමුදුන්නේ දුවන්න පනින්න කම්මැලි නිසා නොව, එම යුගයේ පහළ වූ අසහාය ගෝල රකින්නා නිසා බවට පාපොච්චාරණයකද යෙදෙමිනි. 

මල් වගේ ගල්

එයට අමතරව ගලා උදේ පාන්දරම මේ සිද්දිය පිලිබඳව අත පිහිදා ගත්තේ හැමදාම “මල්” වගේ උන්නු එවුන් මේ සිදුවීමට ඈඳන්නට තතනන මෙම ලිපිය  තනිකරම කණ්ඩා ගැසූ ගේමක් ලෙසය.

කණ්ඩාගේ ගේම කෙසේ වෙතත් මුත්‍රා සාම්පල ලබාගෙන මල් සම්බන්ධ කතාව වැඩි දුර විමර්ශනයට ලක් කළ යුතුය

බංගම මාජිත්

බංගමට නෑකමකටත් වඩා උරුමකම් කියන තවත් වක්පොලුකාරයෙක් වන මාජිත් පැවසුවේත් එය අපගේ 13න් පහළ අර්ධ අවසාන තරඟය බවයි.

පෙර ලිපි :

වක්පොලු කතා වස්තුව ~ I කොටස ~ කැන්ඩොස් මාමා සහ ගෝලියා

වක්පොලු කතා වස්තුව ~ II කොටස ~ වක්පොලු සහ වනන්න වටිනා ආයිත්තන්

වක්පොලු කතා වස්තුව ~ III ~මතකයෙන් ඈත් නොවන මැලේ පිටිය