Kensington Great Hall

දෙගොඩහරි ජාමේ හිමකිරම, ගී අමා සහ පරිප්පු කතා

රැජින ආත්තම්මාගේ රටේ සවාරිය ගැන කණ්ඩා අන්තිමට ලියුවේ දැනට නව මාසයකටත් කලියෙන්ය, එතැන් සිට හිරු නොබසිනා දූපතේ කතා වස්තුවට බාලගිරි වැළදුණු නමුත් දැන් එය සනීප බව කියන්නට සතුටුය. පැරණි ලිපි කිහිපය නැවතත් පහතින් දැමුවේ මෙතක් කල් කතාව අමතක වූ උදවියගේ මතකය පෑදෙන්නටය.

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ I කොටස ~ රැජින ආත්තම්මා වෙත ආදරයෙන් ලියමි !

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ II කොටස ~ A380 ය සහ සුද්දගේ ජර්මන් බෝම්බ !

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ III කොටස ~ බ්‍රමී නුවර සහ ලිච්ෆීල්ඩ්

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ IV කොටස ~ පෙන්ඩොලීනෝ, අණ්ඩග්‍රවුන්ඩ් සහ බෝම්බ

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ V කොටසබුරන ස්ටේසම සහ දැවැන්තයෙක් හමුවීම !

අරූ, කණ්ඩා සහ ස්ටෙලා සමග කාලය ඔරලෝසුවේ කටු වේගයෙන් දුවා ඇති බව තේරෙන විට පමා වැඩිය, හමුවෙන් පසුව අන්ඩග්‍රවුන්ඩ් හරහාම අප නැවතී සිටි මිතුරිය “උස එකී”ගේ නිවස ආසන්නයට ගිය මා කැටුව යාමට ඇගේ සැමියා පැමිණ සිටි නිසා කරදරයකින් තොරව නිවස වෙත ලඟා වීමු. නමුත් නිවසට ගොඩ වැදුණු වහා මහ අලකලංචියකට කණ්ඩා මුහුණ දුන්නේ රෑ කෑමට ගෙදර එන බවට මේ උදවියට දුන් පොරොන්දුව කණ්ඩාගේ ටිකිරි මොළය තුළ අස්ථානාගත වීම හේතුවෙනි.

කොනක හිට දරුණුවට හාමිනේට වග උත්තර බඳින්නට සිදු වූයේ ඇගේ මිතුරිය පවුලේ සියලු දෙනාත් කැටිව රාත්‍රී අහාර වේල සඳහා එළි පහලියට යාමට තීරණය කරගෙන තිබූ නිසාය. අවාසනාවට කණ්ඩාගේ කඩා කප්පල්කාරී ක්‍රියාව හේතුවෙන් ඒ සියල්ලම කම්මුතුය. කණ්ඩා පැමිණෙනතුරු බඩ පණුවන් සමග ඔට්ටු ඇල්ලූ උදවිය බැරිම තැන ගෙදරම කෑම බීම පිළියෙළ කර වළඳලාත් හමාර බැවින් කණ්ඩා අතුරුපස බවට පත් විය.

කොහෙද ගියේ ? ඇයි පරක්කු වුණේ ? හොඳටම බිව්වා නේද ? මොනවද කෑවෙ ? කොහෙන්ද කෑවෙ ? අපි බඩගින්නේ කියල දන්නේ නැද්ද ? පරක්කු වෙනවා නම් කෝල් එකක් දෙන්න බැරිද ? ආදී හතර අතින්ම එල්ලවන ප්‍රශ්න කෝටියකි !!!

දැන් දැන් ටිකෙන් ටික හාමිනේ මැණිකේ අත්තනායක මෝඩ් එකටද කණ්ඩා සුනිල් අයියා මෝඩ් එකටද අනුගත වෙමින් පවතින්නේය 🙂

මතට තිත හාමිනේ කණ්ඩා අනුමත වීම අනුමත නොකරනමුත් බේබද්දෙක් නොවන නිසාත් අනුමත වූදාටත් කොම්බුව කෙළින් තියාන නම්බු පිට දෙපයින් ගෙදර එන බව සහසුද්දෙන් දන්නා නිසාත් මිතුරු පාසානයේදී කලාතුරකින් දෙකක් නවා ගත්තාට මුවින් නොබැන ඉවසා වදාරන්නේය. එනිසා හාමිනේගේ වෙස් පෙරළීම එදා කණ්ඩා හට ගෙනාවේ පුදුමය මුසු වූ සියුම් කෝපයකි.

කිතුලට නැගපු එකාට පිළිවන් වූ දෙය කණ්ඩා හට බැරි උනොත් වස විලි ලැජ්ජාවක් නිසා නැවත ටිකිරි මොළය ක්‍රියාත්මක විය, ලෝකෙටම වෙලාව තියන්න සුද්දා ඇඳපු ග්‍රිනිච් රේඛාවට ආසන්නව ශරීරගත වන ඇල්කොහොල් පරිමාවට සාපේක්ෂව ඔරලෝසු වල කටු කරකැවෙන ප්‍රවේගය අනුලෝමව ඉහළ යෑම ගැන කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කළ කණ්ඩාගේ වෑයම තේම්ස් නදියට කැපූ ඉණි මෙන්ම විය.

මෙය කණ්ඩාගේ හෝ අරූගේ වරදක් නොව ඔරලෝසුවේ වරදක් බව පුන පුනා කියූවත් වන් ඇන් ඔන්ලි හාමිනේ ඒ බව පිළිගත්තේම නැත.

විද්‍යාවෙන් ගොඩ එන්නට බැරිම තැන ගැලවිජ්ජවට බැසීමට කණ්ඩා තීරණය කළේ හීනියට නැග එන බමණ මතින් උවත් “කමින් කලර්ස් නොට් ගූඩ්” (සුද්දගෙ රටට ආපුවම ඉංගිරීසි දන්නේ නැතත් දන්නවා වගේ පෙන්නන්න ඕන) බව තේරුණ නිසාමය.

බොන උදවිය දන්නා විද්‍යාවන් නොබොන අය දන්නේ නැත, එනිසා මේ ගල් පැලෙන සැටිපිකෙට් ඇත්ත පිළිගැනීමට හාමිනේ අපොහොසත් වූයේ කණ්ඩා දෙකක් අනුමත වී සිටි නිසා නොව හාමිනේ ගණිතය සහ කාල විද්‍යාව නොදැන සිටීම නිසා බව පාඨකයින් සිහි බුද්ධියෙන් විමසා අවබෝධ කළමනාය.

මේ පනල්ලේම අපට සලකන්නට තියන උනන්දුවට හාමිනේගේ මිතුරිය උස එකීද හාමිනේගේ හරස් ප්‍රශ්න වලට උල්පන්දන් දුන්නත් වැඩි මොකවත් නොකිව්වේ ගෙදරට ආපු මනුස්සයට කෑ කොස්සන් දෙන එක හොඳ නැති නිසා විය යුතුය 😀

කණ්ඩාව අතුරු පසට ගැනීමෙන් පසුවත් පොඩි ඉඩක් බඩේ ඉතිරිව තිබුණු බැවින් රෑ දෙගොඩහරි ජාමයට අයිස් ක්‍රීම් අවන්හලකට යාම සඳහා යෝජනා වූ අතර ඒ වන විට කණ්ඩාගේ ප්‍රජා අයිතිය අහෝසිව තිබූ බැවින් එයට ජන්දය ප්‍රකාශ කිරීමට හැකියාවක් නොවූවත් යෝජනාව ඒක ජන්දයෙන් සභා සම්මත විය.

කන්නට බඩේ ඉඩ නැතිවීම ඇරෙන්න හාමිනේත් කණ්ඩාත් උපන්ගෙයි අයිස්ක්‍රීම් පෙරේතයන් නිසා එක පයින් නොව දෙපයින්ම මෙයට එකඟ වීමු. කණ්ඩ දෙමහල්ලන්ගේ අයිස්ක්‍රීම් පෙරේතකම් සහ තකතීරුකම් ගැන විස්තර කලින්  වතාවකත් ලියා ඇත්තේය, ඒ ගැන කියවන්න කැමති උදවිය මෙතැනින් (හිම කිරම සහ තවත් කතා) එබිල ගියාට අමනාපයක් නැත.

වදෙන් පොරෙන් නිවසට තරමක දුරින් වූ අයිස් ක්‍රීම් පාලරයක් වෙත නඩයම ගොඩ වැදුන අතර එය කෙතරම් ජනප්‍රියදැයි සනාත කරමින් 30 – 40 කට අසුන් ගත හැකි එහි ආසන සියල්ලම පාහේ පිරී පැවතුනි.ඉඩකඩ තියෙනාකාරයෙන් අප සියලූමදෙනා වාඩි උනත්, ඉන්පසුව ඇති වූයේ සීතලෙන් දැවෙන ප්‍රශ්නයකි.

ලහි ලහියේම අතට මෙනූවක් ලැබුණත් ඉන් කැමති යමක් තෝරා ගැනීම ලෙහෙසි නැත, බැලුවත් දියවැඩියාව හැදෙනා තරමේ අටෝරාසියක් වූ නානාවිධ රස වලින් යුතු වූ හිමකිරම අතුරින් එකක් තෝරා ගැනීම සැබවින්ම අපහසු කාරියක් විය, අමාරුවෙන් ඇනවුම දුන්නත් කළ මෝඩකම තේරුණේ ඇනවුම් කළ දෑ මේසයට පැමිණි කලය.

අසාවට ඇනවුම් කළත් එක අයිස්ක්‍රීම් පතක් තුන් වේලටම සෑහෙන්නේය, කණ්ඩාත් උස එකීගේ සැමියාත් අමාරුවෙන් නමුත් අයිස්ක්‍රීම් පංගුවට වග කීව අතර කණ්ඩාගේ හිම කිරම අහවර වෙනකොට වෙරි බැහැලාය. හාමිනේ අනනවා මිස කන පාටක් නැත, කණ්ඩාට හිතෙන් හිනා ගියේ හැමදාමත් අයිස්ක්‍රීම් වලට පෙරේත හාමිනේ හිතේ අමාරුවෙන් අනන හැටි දැක්ක නිසාය.

හාමිනේගේ අතිජාත මිතුරිය අනේ මට නම් කන්නත් බෑ අනේ … දවස් දෙකකට කලින් චෙක් කරනකොට සීනි කට්ට අසූ හාරදහට ඩිංගක් උඩින් තිබ්බේ … එදා දොස්තරත් හොඳටෝම බැන්න සීනි වැඩියි කියලා … අතවත් තියන්න එපා කියලයි තියෙන්නෙ (ඒකයි හැන්දෙන් කන්නෙ), යයි ශෝක බරිතව අඬා වැළපෙමින් ගැලුමක පමණ අයිස්ක්‍රීම් පිඟානකට වග කියන්නට යෙදුණාය 😀

කොහොමින් කොහොම නමුත් උපන්ගෙයි අයිස්ක්‍රීම් පෙරේතයින් දෙදෙනෙක් හට එදා ඉස්මුරුත්තෙටම බලෙන් අයිස්ක්‍රීම් ගිල්ලවූ උස එකීට සහ මහත්තැන් හට අපගේ ගෞරව පුර්වක ස්තූතිය !

එදින රාත්‍රියේ නිවසට ගොස් නිදන්නට යන අතර පවා හාමිනේගේ කංකුන් වන නැලවිලි ගීත වලට සවන් දීමට කණ්ඩාට සිදුවිය. එදා කණ්ඩා මුවින් නොබැන ඉවසිල්ල ප්‍රගුණ කලේ උස එකීගේ දයාබර මව කණ්ඩා වෙනුවෙන්ම විශේෂයෙන් ආහාර පාන සකස් කරන්නට යෙදුනු බවත් දැනගත් නිසාය, එනිසා රෑ කෑමට පොලු තැබීම පිලිබඳ හාමිනේගේ කෝපය අතිශය සාධාරණය.

පසුවදා අවදි වූ අප වැඩි වෙලාවක් නිදහසේ ගත කරන්නට තීරණය කළේ දහවල් වරුවේ පැවැත්වීමට නියමිතව තිබුණු ලාංකික සංගීත ප්‍රසංගයකට සහබාගී වීම ඇරුණුකොට වෙනත් කිසිවකට ලක ලැහැස්තියක් අනවශ්‍ය වීමයි.

පෙරදින අතපසු රාත්‍රී අහාර වේලේ කණ්ඩාගේ පංගුව වෙන් කර තැබීමට උස එකීගේ දයාබර මව කාරුණික වූ බැවින් උදෑසන අහාර වේල නාභිය උල් වන තුරු කොටා බාන්නට කණ්ඩාට අමතර වෙහෙසක් අවැසි නොවූයේ කවදත් කැමති කටට කෙළ උනන දෙයින් අනූන නිසාය. ඒ මදිවාට කණ්ඩා කන්නට කැමතියි කියා විශේෂයෙන් කරවල බැදුමකුත් රහට හදලාය.

තවද පෙරදා රෑ හාමිනේ අයිස් ක්‍රීම් එක ගිල දමන්නට බැරිව හොර කෙටුවේ ඇයිද යන්නත් මා හට මැනවින් පසක් විය. හාමිනේ දැන ගන්නට ලැබුණේ මේ සියල්ල උස එකී, සහ මව පිළියෙළ කර ඇත්තේ කණ්ඩා කලින්දා රෑ කීයට ආවත් කතැයි යන අදහසින්ම බවයි.

කණ්ඩා මේ ගැන විශේෂයෙන් ලියුවේ සතියක් තිස්සේ සුද්දගේ කෑම කා කුරුවල් වී තිබුණු අපගේ රහදිව යථා තත්වයට පත් කිරීම මෙන්ම අපව ආදරයෙන් රැක බලා ගැනීම පිළිබඳව උස එකීටත් ඇගේ සැමියා, මව,පියා ඇතුළු පවුලේ සැමටත් ස්තුති කරන්නට අවැසි නිසාය, අවාසනාවට එය වචනයට පෙරලන්නට කණ්ඩාගේ වචන මදිය.

කොහොම වෙතත් අපට ඉස්මුරුත්තාවටම ගිල්ලවීමෙන් අනතුරුව මේ උදවිය සෑහීමකට පත් වූ බැවින් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් සවස සංගීත ප්‍රසංගයට යාමට ලක ලැහැස්ති වීමු.

ආචාර්ය වික්ටර් රත්නායකයන් සහ කණ්ඩාගේ සමකාලීන පරිප්පුවෙකු වූ කසුන් කල්හාර ගී ගයන්නට නියමිත වූ “ගී අමා” ප්‍රසංගය නැරඹීමට මෙහි වාසය කළ තවත් පරිප්පුවෙකු එක් වන බව කණ්ඩා දැන සිටියේ ඔහු හා කලින්ම කතා බහ කර තිබුණු නිසාය.

මින් කසුන් සතු උපතින්ම රැගෙන ආ ගායන හැකියාව ගැන මෙන්ම ඔහුට ගුරුහරුකම් දුන් ආදරණීය දෙමව්පියන් වන මාලනී බුලත්සිංහල මහත්මිය සහ එච්. එම්. ජයවර්ධන මහතාගේ සංගීත ප්‍රතිභාව ගැන විවාදයක් නැත. මා සඳහන් කළ අනෙක් පරිප්පුවා හටද අහළ පහළ ගැරඬියන්ට හිංසා පීඩාවක් නොකර ගී පදයක් දෙකක් කියන්නට හැකියාව ඇත්තේ උගේ දක්ෂතාවයක් නිසා නොව ඔහුගේ පියාගේ දක්ෂතාවයෙන් අංශුවක හෝ තරමක් උටත් ලැබී ඇති නිසාය.

වරෙක වරෙක සිංහබාහු ලෙසද තවත් වරෙක මනමේ කුමාරයාටද ඉන් එහාට වැද්දාත්ටද රඟන්නට තරම් කුසලතාවයකින් යුතු ප්‍රවීණ වේදිකා නළු නිශ්ශංක දිද්දෙණිය මහතාගේ පුත්තර රත්නය වන මනුජ කණ්ඩා හාමිනේගේ මහ ගෙදරට හූවක දුරින් පදිංචිව සිටියත් දස වසරකින් මෙහා හමු වී නොමැත. නිශ්ශංක දිද්දෙණිය මහතාවත් පාසල් කාලයේදී ඇරෙන්නට හැබැහින් දුටු කාලයක් මතක නැත.

ඉහත පරිප්පුවන් දෙදෙනාගෙන් කණ්ඩා හඳුනන්නේ මනමේ පුත්‍රයා පමණි (පියා මනමේ උනාට මූ අමු මොඩ් වැද්දෙකි). ඒ මිත්‍රත්වය ඇති වූයේ අප එකල සහෝදර පාසල් ශිෂ්‍ය නායකයක් වූ කාලයේ පටන්ය.

එමෙන්ම කණ්ඩා කසුන්ගේ රසිකයෙක් උවත් මිතුරෙක් නොවේ. ඔහුගේ සංගීතය හැඳින්නත් හත් අවුරුද්දක් එකම පාසලේ ඩෙස්ක් බංකු රත් කලත්, හිස් පීරියඩ් වල කවකටු පෙට්ටි සංගීතයෙන් රසවත් වූ ගායනයන් අසා ඇතත් මා කසුන් කල්හාර නොහඳුනමි, හඳුනන මිතුරන් හට ඔහු “කස්සා” උවත් ඈතින් ඉඳ රසවිඳින මට ඔහු තවමත් කසුන්ය.

එකම වසරේ ඉගෙනුම ලැබු මා කසුන් සමග මුල් වරට වචනයක් හෝ කතා බහ කරන්නට යෙදුනේ පාසලෙන් ඉවත් වී දහ හත් වසරකට එනම් පසුගිය වසරේ ඩුබායිහි පැවති ප්‍රසංගයක සංගීත පුහුණුවීම් අතරතුරය. එයත් කසුන් හමු වීමට ගිය ගමනක් නොව කෙටි සංචාරයකට පැමිණ සිටි අප දෙදෙනාගේම පොදු මිතුරෙකු වූ ඉන්දික හමු වීමට ගිය අතරේ සිදු වූවකි. එහිදී කසුන්ටත් තවත් සමකාලීන පරිප්පුවකු වූ ඉන්ද්‍රචාපටත් මා හඳුන්වා දුන්නේ ඉන්දිකය ( දැන් මේ හාදයාව වැඩි දෙනෙක් දන්නේ යහපාලන ඉන්දික නොහොත් අපමණ අගයක් ඉන්දික ලෙසය 😀 )

කසුන් මෙන්ම ඉන්දිකද චතුරිකා සොරිසේන ලියූ ජනාධිපති තාත්තාපොතේ පිටුවකට පසු කාලීනව එක් විය ( නමුත් පොතට යතාර්ථවාදී නමක් දෙනවා නම් රටක් ඇන්දූ ග්‍රාමසේවක පඹයා යනුවෙන් වෙනස් කිරීම වඩාත් යෙහෙකිය).

අප මෙන්ම සැබෑ වෙනසක් පැතූ මේ දෙදෙනා ඇතුළු ලක්ෂ 62 ක ජනතාවට හිටංතුමා සරම ඔසවා අමුඩය පෙන්වීමත් එතුමාට අමුඩය අඳින්නට අමතක වීමත් ගැන කතාබහ වෙන දවසකට තබමි.

පාසල් සමයේ කලා විෂය තෝරා ගැනීමේදී උච්ච සා අල්ලන්නට ගොස් හක්ක පන්නා ගන්නට අකමැති සරිගම කන්නන් සහ පොළොව ඇද නිසා නර්තනය බැරි කණ්ඩා වැනි ශිල්ප කාලා නිදි කුලකයේ ඇත්තන් විකල්පයක් ලෙස හැදෑරුවේ චිත්‍ර හෝ ඉංගිරිසි සාහිත්‍යය විෂයන්ය.

නමුත් කසුන්, ඉන්දික සහ මනුජ යන තිදෙනා මුල සිටම සංගීතය හැදෑරු ගජයෝය, විද්‍යාලයීය සංගීත කවයේ සාමාජිකයෝය. එකල මේ තුන් කට්ටුවට අමතරව විශ්ව, ඉරේෂ්, සංජය, චතුරංග, පාලිත සහ සුරත් යන සමකාලීන පරිප්පුවන් “රිදම් ඔෆ් ද මරුන්ස්” (Rhythm of the Maroons) නම් වූ අප විද්‍යාලයීය අපරදිග සංගීත කණ්ඩායම නියෝජනය කළෝය.

අවාසනාවට වර්තමානයේ මෙන් කැමරා සහ සජීවී පටිගත කිරීමේ උපකරණ සුලභ නොවූ සහස්‍රකයන්ගේ පැරණි “රිදම් ඔෆ් ද මරූන්ස්” මතකයන් සොයා ගැනීමට ඇති විධි ඉතාමත් දුලබය. එනිසා කාලෙකට පෙර යූ බටයේ තිබී හමුවූ සංජය සතු මෙම වීඩියෝව රත්තරන් හා වටින්නේය.

මේ වීඩියෝවේ විශ්මි නම් හුරුබුහුටි කෙල්ලත් සමග මවුත් ඕගනය වයමින් ගායනයේ යෙදෙන්නේ සංජයයි, ඔක්ටෝ පෑඩ් එකෙන් තම්මැට්ටම් ගසන්නේ මනුජය, පටන් ගත් තැන සිටම හිස පහත හෙලාගෙන ගිටාරයේ තත් මීයෝ කාලාදැයි පිරික්සන්නේ කසුන්ය, බැන්ජෝ ගසන්නා වගේ බොරුවට ගිටාර් ගසන්නේ ඉන්දිකය, සුදු ගිටාරයක් අතේ ඇති හැන්ඩි හාදයා පාලිතය, මියුරු බට නලා හඬ විශ්වගේය, ඕගන් වාදනය චතුරංගය, අවාසනාවට ඉරේෂ් සහ සුරත් පෙනෙන්නට නැතිය.

මෙම වීඩියෝව 2000 වසරේ විද්‍යාලයීය වර්ණ ප්‍රධානෝත්සවයේදී පටිගත කරනා ලද්දක් වන අතර එම උත්සවය කණ්ඩාටද සුවිශේෂය. ඒ වර්තමානයේ පිපිරෙන්නට ඔන්න මෙන්න වළස් තඩියකු තරමට හිටියත් එදා කණ්ඩා පළමු වසරේ වර්ණ ලාභියකු ලෙස සම්මාන ලැබීමයි. ඒ කණ්ඩාගේ පාසල් දිවියේ අවසාන දෙවසර තුළ විදුහල වෙත පැමිණීමට දිරිමත් කළ එකම දෙය වූද නොමග යාමෙන් වැලැක්වූද වක්පොලු කෙළියටය.

කණ්ඩාගේ මතකය නිවැරදි නම් වර්ණ ප්‍රධානෝත්සවයේ අවසාන ගීතය ලෙස “චිකීත ලින්ඩා” නම් වූ 70 දශකයේ බෙහෙවින් ප්‍රචලිත වූ පේරූවියානු ගීතය රස වෑහෙන අයුරින් ඉදිරිපත් කිරීමට සුරත් සමත් විය. පහත දැක්වෙන්නේ එම ගීතය අප පරපුර අතර ප්‍රචලිත කල ජෝ බී පෙරේරා හඬින් රසවත් වූ අයුරුය.

උත්සවයේදී හිතුවාටත් වැඩි කාලයක් සංගීතය සඳහා වෙන් වීම පිළිබඳව විදුහල්පති ටිකිරි බණ්ඩා දරුණුපොර මහතාගේ බලවත් අසන්තෝසයට හේතු වූ බව අපට පෙනෙන්නට තිබුණත් වාද්‍ය වෘන්දය ඔහුගේ උදහසට ලක් උනාදෝ යයි නොදනිමි.

වර්තමානයේ මේ සහෝදර පරිප්පුවන්ගෙන් දක්ෂ බටනලා සහ සැක්සෆෝන් වාදකයකු වූ විශ්ව පැවිදිව මහණදම් පුරන්නේය, කසුන් සහ සංජය සංගීතය ජීවිතය කරගත්තෝය, ඉන්දික සහ චතුරංග කලාකාමී IT බාස්ලාය, ඉරේෂ් කන්ගරුලන්තයේය, සුරත් හිට්ලර්ලන්තයේය, දන්නා තරමින් පාලිත තවමත් ලංකාවේය, මනුජ රැජින ආත්තම්මාගේ රටට වී ලංකාවට එන දින ගනින්නේය. ලොව හතර අත විසිරී ඇතත් ඔවුන් තමන් තෝරා ගත් නේක ක්ෂේත්‍රයන්ගෙන් ඉදිරියට ගොස් ඇති බව දැකීම සතුටකි.

මේ කතා බහට කිසිඳු සම්බන්ධයක් නැතත් ඉහත වීඩියෝව සොයද්දී හමු වූ සහස්‍රකයන්ට පෙර “රිදම් ඔෆ් ද මරුන්ස්” නියෝජනය කළ තවත් ප්‍රසිද්ධ පරිප්පුවන් දෙදෙනෙකු වන භාතිය ජයකොඩි සහ පොඩි මල්ලී හෙවත් ගාමින්ද ප්‍රියවිරාජ්ගේ ගායනය ඇතුළත් පහත වීඩියෝවත් අතීත කාමය ඇවිස්සීම අතින් මුල් වීඩියෝවට දෙවැනි නැත.

මෙතක් කල් පරිප්පුවන්ගේ මතකයන් පසුපස දුවමින් පඳුරු තැලූ එකේ හිතාදර පාඨකයන්ගේ ලාම්පු සංවේගය උදෙසා මෙයත් පල කරන්නට සිතුවෙමි.

1995 තරම් ඈතක TNL රුපවාහිනී සේවයේ ප්‍රචාරය වූ සංගීත කණ්ඩායම් පිලිබඳ වැඩසටහනක කොටසක් වූ මෙය ආසාවෙන් නැරඹු බව මතක ඇතත් වැඩසටහනේ නම මතකයෙන් ගිලිහී ගොසින්ය, ඒ කාලය මැව් වෙනසක අරුමයයි 😦


රැජින ආත්තමාගෙ රටේ සවාරිය කියන්නට ගොස් පඳුරු තලමින් පරිප්පුවන් ගැන වෙළඳ දැන්වීම් ප්‍රචාරය පිළිබඳ බලවත් කණගාටුව, මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කළ වෙළඳ දැන්වීමකි !


එහෙනම් නැවතත් හරි පාරට, ඉන්දික සහ කසුන් ඩුබායිහිදී හමු වූ නමුත් අවාසනාවකට එවර හාමිනේගේ මව අපත් සමග නිවාඩුව ගත කිරීමට පැමිණ සිටි බැවින් කාර්ය බහුලත්වය මත එම ප්‍රසංගය නැරඹීමට ඉඩ ප්‍රස්තාවක් කණ්ඩා හට සැලසුනේ නැත. එනිසා මේ කසුන්ගේ මෙන්ම වික්ටර් රත්නායකයන්ගේද සජීවී ප්‍රසංගයක් නරඹන ප්‍රථම අවස්ථාවයි.

ලන්ඩන්හි කෙන්සිංටන් නගර ශාලාවේ පැවැත්වුණු ප්‍රසංගය නොයෙක් වයස් කාණ්ඩ වල රසිකයන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී පැවතුනි. මනමේ පුත්‍රයා හෙවත් මනුජ සිය දෙමව්පියන්, බිරිඳ සහ නෑදෑ නඩයත් සමග එහි ඇවිත් සිටි අතර වසර ගණනාවකට පසු ඒ හමුව කණ්ඩාට ගෙන ආවේ සතුටකි.

මේ අතරේම හාමිනේගේ අනෙක් මිතුරිය වූ “මිටි එකී” කොට්ටයක් තැබූ පුටුවක වාඩි වී කලබලයෙන් ටිකට් නිකුත් කරමින් සිටියදී සොයා ගන්නට “උස එකී” සමත් විය, ප්‍රසංගය සංවිධානය වෙනුවෙන් හවුල්ව සිටි ඇය කාර්ය බහුල බැවින් පසුව හමුවන්නට කතිකා කරගත් අප සංගීත ප්‍රසංගය රස වින්දෙමු.

වික්ටර් රත්නායකයන්ගේ සිහින් සුළං රැල්ලේ, කොහේ සිට ඔබ පැමිණියේදෝ, මියුරු කල්පනා, පෙම් රස වෑහෙන, සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නෑ, සඳකැන් වැසිලා, අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක් , නිල් වන පියසේ, දයිව යෝගයකින් නොවේදෝ වැනි ප්‍රියතම ගීතයන්ද කසුන්ගේ අනන්තයට යන පාර දිගේ, මල් මිටක් තියන්න, සඳ මිතුරි, ප්‍රේමයේ විල් තෙරේ, ආදර මල් වල, කවුළු පියන්පත් වහන්න, සිහිනයකි මට ආදරේ වැනි අප පරපුර වැළඳ ගත් ගීතද රසවිඳීමේ අවස්ථාව අපට නොමදව ලැබුණි.

සංගීත ප්‍රසංගය අවසනදී නැවතත් සියලුදෙනා හමු වුනු අතර මනුජටත් මටත් වැඩි ආයාසයකින් තොරව කසුන් හා ජායාරූපයක් ලබා ගැනීමට හැකිවූයේ සියල්ලම පාහේ වික්ටර් රත්නායක මහතාත් ඔහුගේ බිරිඳත් සමග ජායාරූප ගන්නට පොරයක නිරතව සිටි නිසාය.

පුද්ගලික කාරණයක් වූ වික්ටර් රත්නායක මහතාගේ විවාහය ගැන සදාචාරාත්මක නොවන අනවශ්‍ය තරමේ ප්‍රචාරයක් එකල මාධ්‍ය සහ එතුමන්ගේ පුත්‍ර රත්නය මගින් ලබා දී තිබුණු බැවින් එය කණ්ඩාගේ පුදුමයට කාරණයක් නොවීය. ඉතාමත් කැමති කලාකරුවකු වශයෙන් මා දුටු එකම දෙය ඔහු ඉතාමත් සතුටින් සිටිනා බවය, ඉන් එහා යමක් දැන ගැනීම සංගීත ලෝලීන් වශයෙන් අපට අවශ්‍ය නැත.

Parippuwo Thidenek

ප්‍රසංගයේ පින්තූර වැඩිමනක් පල නොකළත් එහිදී ලබා ගත් පින්තූර රාශියක් ගී අමා වෙබ් අඩවියේ තිබෙණු දුටුවෙමි. මනුජ ඇතුළු දිද්දෙණිය පවුලේත් ඉතා ලස්සනට හැඳ පැළඳ සාන්ත දාන්ත තීන්ත කූඩුව සේ “සංවරව” සිටිනා මිටි එකීගේ ජායා රූප කිහිපයක්ද එහි වූ බව දුටුවේ මේ ලියන අතරය.

එදින ප්‍රසංගය අවසානයේ “උස එකී”, “මිටි එකී” සහ හාමිනේ යන තුන් කට්ටුව එකතු වූ කල්හි කල කී දෑ ප්‍රසිධියේ පැවසීම අනුචිත බැවින් ඒ සියල්ල අවාසනාවන්ත ලෙස නිසි බලධාරිණියගේ කතුරට හසුව කැපී ගිය බව කරුණාවෙන් සලකන්න.

වේදිකාවට අමතරව පොඩි ලෑලි තට්ටුවක් උවමනා උවත් මිටි එකීටද සින්දුවක් දෙකක් කියා ගන්නට පුළුවන් බව නිසඳැසක්වත් තාලයට කියන්න බැරි හාමිනේ පැවසුවත් එදා මිටි එකී සහය ගායනයකට හෝ එක් වීමෙන් වැළකී සිටියේ අප ගැන කෙසේ වෙතත් රැජින ආත්තම්මාගේ රටට ආවේණික ගැරඬි හා සර්ප විශේෂ කෙරෙහි ඇති වූ මහත් සත්ව කරුණාව නිසා යුතුය (මින් පසු ඒ පැත්ත පළාතේ නොයන එක කණ්ඩාගේ ශරීර සවුක්කියට හිතකරය – වෙන එක්ක හන්ද නෙමෙයි සර්පයො හන්ද 😀 ).

එමෙන්ම මිටි එකී එතෙක් අපට මුලිච්චි නොවීමට හේතුවද හෙළි විය, ඒ එම දින කිහිපය තුල වික්ටර් රත්නායක යුවලට ආගන්තුක සත්කාර සපයන්නට වෙහෙස මහන්සි වීම නිසාය.

මතු සම්බන්ධයි !

~ කණ්ඩා !

පසු ලිපි :

මේ හෑල්ල පරිප්පුවන්ගේ ගොඩට දාන්නද රැජිණගේ ගොඩට දාන්නද යන්න හිතා ගන්නට බැරිය, කණ්ඩාගේ “වන් ඇන් ඔන්ලිතුමිය” ගේ අදහස් විමසීමේදී මුට්ටිය දාපු පරක්කුවෙන් කුඩු වෙන්නම නෙළුව අතර මෙය අමුම අමු අච්චාරුවක් බවට තීන්දු කරන ලදී.

නමුත් දැන් ටික කලක සිට ගිලිහී යන කණ්ඩාගේ මතකයන් සම්පුර්ණයෙන් අතුරුදන් වන්නට පෙර මේ අයුරින් හෝ නොලිව්වොත් ආයෙත් ලියන්නට දිනයක් නොඑන බව සහතිකය.

Advertisements