Painful Writing

නිකන් ඉන්න බැරි කැසිල්ලට කණ්ඩා මැස්සො ඇහිරෙන බ්ලොග් කටුවක් අටවගෙන කුරුටු ගාන්න අරගෙන ටික දොහක් වෙන්න එනව කියල මංතුමා ලියන හෑලි  කියවන උදවිය දන්නව නෙව. මේ ඔය ඩිංග නොදන්නෙ අයට දැනගන්නත් එක්ක මුදල් නොගෙවා ප්‍රචාරය කරපු වෙළඳ දැන්වීමක් හෙම නෙමෙයි තවත් කතාවකට ප්‍රවිෂ්ඨයක් විතරයි 😀

ලොකු පම්පෝරි ගැහුවට දැන් බ්ලොග්කරුමාන්තෙ බහින කලාව උදා වෙලා ටික කලක් වෙන්න එනව, බ්ලොග්කාරයොත් වඳ වී යන සත්ව කොට්ඨාශයක් (අපි තොප්පි මැහුවොත් බබ්බු ඔලු නැතිව උපදිනවා කියන්නෙ ඕකට තමයි). එව්වට තිබුණු තැන පසුව ආපු මුහුණුපොත, ට්විටර්, ඉන්ස්ටග්‍රම් වගේ වඩා ප්‍රචලිත මාධ්‍ය වලින් අරගෙන. නමුත් ස්මාර්ට් ෆෝන් එක අතේ තියාගෙන තාත්තගෙ ගඩොල් බාගේ මතක් කරනවා වගේ තවමත් බ්ලොග් වලට කැමත්තක් තියනව.

ඉතින් ඔහොම දෙයියනේ කියල අකුරක් දෙකක් කොටාන ඉන්න අතර අලුත් ලෝකෙට හැඩ ගැහෙන්න කණ්ඩ අර මුහුණු පොතේ තියන වැල්වටාරම් ලියන කියවන සමිති සංගම් කිහිපෙකටත් බැඳුන, සමහර ඒවාට බලෙන් බන්ද ගත්ත. ආවට පස්සෙ ගියොත් බලාගෙනයි කියල සමහර ඒවයෙ තර්ජනයත් කරා !

ඉතින් හුදී ජනයාගේ ලාම්පු සංවේගය උදෙසා කණ්ඩ ලියාපු මෙලෝ රහක් නැති පරණ ලිපි එහෙමත් ඔය කියන සමිති සංගම් වල ගෙනහල්ල එල්ලලා යනව. හැබැයි ඉතිං බොහෝ වෙලාවට කොටාපු ලිපියෙ මුල හරියෙ කොටහකුයි ලින්ක් එකයි තමා දාන්නෙ කම්මැලිකමට.

ඉතින් ඔය නිසාම කිහිප දෙනෙක් මේ සම්බන්ධව කණ්ඩගෙන් ප්‍රශ්න කරා,

ඇයි සම්පූර්ණ ලිපියම කොපි කරල දාන්නෙ නැත්තෙ ?

මුලින්ම ස්තුතියි මේ ප්‍රශ්නෙ අහපු අයට, ඒ අයට ඒ ප්‍රශ්නය අහන්න සාධාරණ හේතුවක් වගේම අයිතියකුත් තියනව.

  • පහසුකම් අඩු ෆෝන් වලින් බ්ලොග් තුලට පිවිසීමට තියන අපහසුව.
  • කියවීමට බ්ලොග් අඩවිය තුලට පිවිසීමට අමතර ඩේටා වැය වීම.
  • බ්ලොග් තුලට පිවිසී ලිපිය කියවීමට ඇති කම්මැලිකම.
  • කාල වෙලාව මදකම. ඉන් කිහිපයක්.

ඒ ගැන කණ්ඩ පහතින් පැහැදිලි කරන දේ මහ උඩඟුකමක් විදියට නොහිතයි කියල හිතනව. ඒ වගේම මේ හෑල්ල යම් අයෙක් ඉලක්ක කරලා ලියාපු එකකුත් නෙමෙයි, පසු ගිය මාස කිහිපය ඇතුළත කිහිප දෙනෙක්ම මේ ගැන විමසපු නිසා බ්ලොග් එකට දාන්නම බලාගෙන ලියාපු එකක්.

ඔබ පවසන දේ මට නොතේරෙනව නෙමෙයි නමුත් කියවන බොහෝ දෙනා ලියන්න ගන්න මහන්සිය තේරුම් නොගන්න එක සහ ලින්ක් එකක් විතරක් ඔබල යන කතාවට තවත් පැත්තක් තියනවා කියල විතරයි මට පැහැදිලි කරන්න අවශ්‍ය එකම දේ.

මේ ලියන ලිපියක තියන වචන ප්‍රමාණය 2,500 ක් කියල සැලකුවොත් එහි අවමයෙන් අකුරු 15,000 ක් විතර තියනව. සිංහල අකුරු වලින් ටයිප් කරන්න තියන අමාරුව ඉතිං අමුතුවෙන් කියන්න ඕන නැහැ නෙව. අනිත් අය ගැන මම දන්නෙ නැහැ නමුත් එවන් ලිපියක් ලියන්නට මට අවම වශයෙන් දින 3 – 4 ක් වත් වැය වෙනව.

එක දිගට ලියන බව ඉන් අදහස් කරන්නෙ නැහැ මොකද කණ්ඩ වෘතීය රචකයෙක් නොවෙන නිසාත් ලිවීමට සහජ හැකියාවක් සහ භාෂාව පිලිබඳ දැනීම අඩු නිසාත් රාජකාරි, ගෙදර දොර වැඩ ඔක්කොම අස්සෙ තමයි මේ ලියවිල්ල වෙන්නෙ. කොහොමින් කොහොම හරි තිස් හතලිස් වතාවක් කඩින් කඩ ලියනකොට අඩුම තරමේ පැය 15 – 20 ක් යනව.

එහෙම කඩින් කඩ ලියනකොට පටන් ගත්තු තැනයි ලියාගෙන ආපු තැනයි අමතකයි බොහෝ විට, ඉතින් ආපහු මුල ඉඳං කියවල ලියන්න පටන් ගන්නකොට අර මුලින් තිබ්බ අදහස් ගලා ආපු විදිහ ඒ වෙලාවෙ තියන මනෝභාවය එක්ක වෙනස් වෙලා. සමහර ලිපි වල භාෂාවෙ, කතාව ගලා යන විදිහෙ වෙනස්කම් තියන බව දැක්කොත් මේක තමයි හේතුව. ඔය නිසාම අන්තිමේදි මොන මල් රටා දාල වැල් වටාරම් ලිව්වත් මේ නොගැලපීම් සහ දන්නා අයුරින් අක්ෂර වින්‍යාසය නිවැරදි කරමින් ලිපිය අහවර කරන්න, එයට අවශ්‍ය පින්තූර සපයා ගන්න තවත් වරුවක් යනව.

ඒ සියල්ල ඉවර උනහම ලියාපු ඩිංග බ්ලොග් එක වෙත දාල ෆෝමැටින් කාරිය හදල, අමතර සබැඳි එහෙමත් හරි ගස්සල ඉවර කරන්න තවත් පැයක්වත් මහන්සි වෙන්න ඕන.

ඔය ඔක්කොමත් කරල රාජකාරියත් අතපසු නොකර, හාමිනේගේ දේවකාරි ටිකත් අහවර කරල උන්දවත් සතුටින් තියන ගමන ඔලුව බේරාගෙන ඉන්නවා කියන්නෙ ලේසි පහසු කටයුත්තක් නෙමෙයි ආයිබෝන්. මේ කිව්වෙ කියවන අය නොදකින ඉඩකඩ ලැබෙන පරිදි අමාරුවෙන් අකුරු ගලපන කණ්ඩගේ පැත්ත.

එහෙම ලියන දේවල් ටික කියවන්නෙ බොහෝවිට වටේ පිටේ ඉන්න යාළු මිත්‍රයෝ, සහෝදර බ්ලොග්කරුවන් කිහිප දෙනෙක් සහ මේ කියවන ඔබ වැනි කිහිප දෙනෙක් පමණයි. දැන් අහන්න එපා ඔච්චර දුක් විඳගෙන මොකට ලියනවද කියල ?

අමුතුවෙන් අහන්න දෙයක් නෑ කිහිප දෙනෙක්ම මේක තරමක් වෙනස් විදිහට ඇහුව 😀

  • ඈ බං තාම රස්සාවක් කරන්නෙ නැද්ද ?
  • උඹට වෙන වැඩක් නැද්ද ?

ඔය මොනව කිව්වත් මෙහෙම හරි ලියන්නෙ කණ්ඩ අත්විඳින දේ ලියල පුද්ගලිකව සතුටු වෙන නිසා. එහෙම නැති දවසට ලියවෙන එකක් නැහැ.

දැන් එන්නම් අර මුලින් අහපු ප්‍රශ්නයට ආපහු ඇයි සම්පූර්ණ ලිපියම කොපි කරල දාන්නෙ නැත්තෙ ?

මෙච්චර මහන්සියක් අරගෙන ලියල බ්ලොග් එකකට දාල තියන පැරණි ලිපි නැවත මුහුණු පොතට දාන්නෙ අනිත් අයගේ දේවල් කියවනවා වගේම කණ්ඩ ලියන දේවල් තවත් කෙනෙක් කියවන්න වැරදිලාවත් කැමති වෙයි කියල හිතන නිසා. නමුත් වැඩිමනක් ඒ දාන්නෙත් වෙලාවට ලැබෙන විදිහට ජංගම දුරකථනයෙන්ම තමයි. සමහර විට පරිගණකයත් භාවිත නොකරනව නෙමෙයි.

ඔය කොයිකෙන් කොපි කරත් කොපි කරන්න වගේම ආපහු මුල ඉඳන් ෆෝමැටින් කරන්නත් අමුතුවෙන් වෙහෙස වෙන්න අවශ්‍යයි. ඉතිං ඒ නිසා අර තරම් මහන්සි වෙලා බ්ලොග් එකේ ඔය දේ කරාට පස්සෙ ආපහු ඒ දේම නැවත කරන්න කම්මැලි වගේම කාලය නාස්ති කරන්න අවැසි දෙයක් කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ කියල හිතනවා.

ඉතින් කාල වෙලාව ඉතිරි කර ගන්න පළමු ජේද කිහිපය විතරක් කොපි කරලා අරගෙන නැවත ෆෝමැට් කරලා ලින්ක් එක දමන එක තමයි කණ්ඩට තියන පහසුම විදිහ. ඉන් කියවන උදවියට යම් අපහසුවක් වෙනව නම් සමාව භජනය කරන ගමන්ම අමාරුවෙන් ලියන අපි ගැනත් ටිකක් හිතන්න දෙයක් තමයි මේ ඉදිරිපත් කළේ 🙂

පසු ලිපි :

අපි හැමෝගෙම අදහස් රුචි අරුචිකම් වෙනස්නෙ, ඒක අපි ලියන්න පාවිච්චි කරන මෙවලම්, බ්ලොග් ලියන වෙබ් අඩවියන් වගේ හැම දේකටම බල පානව, වෙනස් කරනව.  වෘතියෙන් IT බාස් කෙනෙක් උනාට තවමත් සමහර දේවල් සම්බන්ධයෙන් කණ්ඩ මහ ගතානුගතික ඩයිනසෝරයෙක්.

කොටින්ම ලියන එක තරම්ම අනෙත් අය කියවන එක වැදගත් බව ඉඳුරා දැනගෙන හිටියත් ඒ සඳහා අමතර මහන්සියක් දරන්න ඇති අකමැත්ත නිසා දවසක වඳ වෙලා යන ජාතියේ එකෙක් 😀

~ කණ්ඩා !

වෙනත් ලිපි :

වදන් තදයට එරෙහි බ්ලොගර් යුද්ධය සහ අටමා ~ Blogger Vs WordPress War & Atam !