kabul-market

කාබුල් නගරසිරි, පටාන් රොටි සහ කාමර මාරුව

දැක්කත් පිටගැස්ම හැදෙනා සුපුරුදු වෑන් රථයට ගොඩවුණු අප අතිශය සුඛෝපභෝගී පහසුකම් යටතේ සුපිරි කඳවුර වෙත එන්නට වූ ගමන අතරතුරදී සැලකිය යුතු කරදරයකට මුහුණ පාන්නට වූයේ නැත. එනිසා පරිසරය වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමට නිදහස කණ්ඩා වෙත ලැබුණි.

ඇෆ්ගනිස්තානයේ අගනුවර කාබුල් නගරය බව කීම ගහ දන්නා අයට කොළ කඩා පෑමක් විය හැකි උවත් ඒ ගැන නොදන්නා උදවියගේ දැනගැනීම උදෙසා ඒ ගැන යම් විස්තරයක් සටහන් කිරීම වැදගත් යයි සිතමි. හින්දුකුෂ් කඳු වැටියේ පටු නිම්නයක පිහිටා ඇති කාබුල් මිලියන 4.6 ක් පමණ වන ඇෆ්ගනිස්තාන වැසියන් වෙසෙන ජනගහනය වැඩිම සහ විශාලම නගරයයි.

Afghan Silk Road Map

අවුරුදු දහස් ගණනක් පැරණි කාබුල් (Kabul / Kophen) නගරයට විශේෂ තැනක් හිමි වන්නේ එය ගොඩබිම සේද මාවතේ කොටසක් වීමත් එය අනෙකුත් ප්‍රධාන ඇෆ්ගනිස්තාන සේද මාර්ග නගරයන් වූ බාග්රම් (Bargram/ Alexandria Caucaso), බාල්ක් (Balkh / Bactra), කන්දහාර් (Kandahar/Alexandria Arachosia), හෙරාත් (Herat, Alexandria Areion) සහ කුන්දූස් (Kunduz / Drapsaka) සමග යාව තිබීමත් නිසාය.

සේද මාවත මගින් දකුණු ආසියාවේ පකිස්තානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වෙතත් චීනය ඇතුළු ගිණිකොනදිග රටවල් වෙතද පර්සියාව හරහා යුරෝපය වෙතද කාබුල් නගරය සම්බන්ධව පැවතුණි.

Silk Road

සේද මාර්ගයන් පුරා විහිදී පැවති ලොවපුරා වූ අනෙකුත් නගරයන්.

මෙම දින දෙක තුලදී කණ්ඩාට ඉතා තදින් දැනුණු වෙනසක් නම් මග තොටදී ඇෆ්ගන් කාන්තාවක් දුටු වාර ගණන අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු වීමයි. එය තලෙයිබාන්වරුන්ගේ මෘග නීති රීති මෙන්ම සාම්ප්‍රදායික ඇෆ්ගනිස්තානු සමාජය මගින්ද කාන්තාවන්ගේ එදිනෙදා ජීවිතය වෙනුවෙන් කෙතරම් තද බලපෑමක් සහ පීඩනයක් එල්ල කරන්නේද යන්න මොනවට පැහැදිලි කළේය.

ඉතාමත් කලාතුරකින් දකින්නට ලැබෙන කාන්තාවක් උවද බොහෝ විට හිස සිට දෙපතුල දක්වාම ආවරණය වන පරිදි ලා නිල් පැහැ හෝ දුඹුරු පැහැති බුර්කාවකින් සර්වාංගයම වැසෙනා ලෙස සැරසී සිටින්නීය. නමුත් දැනට දශක තුන හතරකට පෙර පැවති තත්වය මෙයට සහමුලින්ම වෙනස් බව  අන්තර්ජාලය හරහා පහසුවෙන් සොයාගත හැකි නොයෙක් ජායාරූප සාක්ෂි දරන්නේය.

70 දශකයේ ඇෆ්ගනිස්තානය

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් 70 දශකයේ සහ වර්තමාන සැසඳීමක්

රුසියානු ආක්‍රමණයට පෙර ඇෆ්ගනිස්ථානය

Afghan Women in 70s

ඇෆ්ගානි ජාතික පිරිමින් බොහොමයක් තම සාම්ප්‍රදායික ඇඳුමෙන් මෙන්ම බටහිර පන්නයේ කමිස සහ කලිසම් වලින්ද සැරසී මහමග ගමන් කරනු දැකීම සුලබය. නමුත් සාම්ප්‍රදායික ඇඳුම් ඔවුන් නියෝජනය කරන ජන වර්ගයා සහ ප්‍රදේශය අනුව වෙනස් වන බව කාබුල්හි ගත කළ දින ඇතුලද කණ්ඩා හට වැටහුනි.

මුළු ජනගහනයෙන් 42 % ක බහුතරයක් පශ්තුන්වරුන් (Pashthun) වන ඇෆ්ගනිස්තානයේ සම්ප්‍රදායික පිරිමි ඇඳුම් අතරින් බහුලවම දකින්නට ලැබෙන්නේ ඔවුන් අඳිනා ෂල්වාර් කමිස්ය. පශ්තුන්වරුන්වරුන්ට අමතරව ටජික්වරුන් (Tajik) 27 % ක්ද හසාරි ජාතිකයන් (Hazaras) සහ උස්බෙක් ජාතිකයන් (Uzbek) 9% බැගින්ද තුර්ක්මන්වරුන් (Turkmen) 4% ක්ද අයිමක් ජාතිකයන් (Aimaq) 3 % ක්ද බලෝචි ජාතිකයන් (Baloch) 2% ක්ද තවත් සුළු ජාතින් කිහිප වර්ගයක්ද ඇෆ්ගනිස්තානයේ වාසය කරන්නෝය.

මෙම විවිධ ජාතීන්ගේ අනන්‍යතාවයන්ට අනුකූලව ඔවුන් අඳින පළඳින ආකාරයද වෙනස් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ, පහතින් දක්වා ඇත්තේ අන්තර්ජාලය ඇසුරින් කණ්ඩා හට සොයා ගැනීමට හැකි වූ තොරතුරු සහ පින්තූරයන්ය. ( ඇෆ්ගනිස්තානයේ කරක් ගසනා අවදියේ තමන්ටම කියා පින්තූර ගන්නට කැමරාවක් නොතිබීම ගැන කණ්ඩා අදටද දුක් වන්නේය )

මෙලෙස විවිධ ජාතීන්ගෙන් සැදුම්ලත් ඇෆ්ගනිස්තානය සංස්කෘතිකමය අතින් අතිශය පොහොසත් වනවා සේම දේශපාලනිකව මෙම ජාතිකත්වයන් ඔස්සේ දැඩි ලෙස බෙදී පවතින්නේය. නිදහසින් පසුව ලංකාවේ සිදුවෙමින් පවතිනේද මෙයයි. ප්‍රධාන ජාතීන් 3 – 4 ක් පමණක් ඇති සිරි ලංකාවේ රජයන නාඩගම් දැක පුරුදු ඔබට ඇෆ්ගනිස්තානය ගැන යම් අදහසක් මවා ගැනීමට අපහසු නැතැයි මා සිතමි.

කණ්ඩාගේ නෙත ගැටුණු අනෙක් කාරණය නම් ප්‍රවාහන පහසුකම් අතින් කාබුල්හි ටැක්සි සහ පැරණි බස් රථද භාවිත උවත් වැඩිමනක් අඩුපාඩු පිරිමැසෙන්නේ පුද්ගලික කාර් මගින් බවයි. එමෙන්ම පාර පුරා අක්‍රමත්ව ධාවනය වන වාහන නිසා වටරවුම් සහ ප්‍රධාන මංසන්ධි දැඩි රථවාහන තදබදයන්ට දවල් කාලයේ මුහුණ දීමට සිදු වන්නේය.

ඇෆ්ගනිස්තානයේදී එවන් ජනාකීර්ණ ස්ථානයන්හි එක තැනකට කොටුවීම වනාහි සියදිවි නසාගන්නා බෝම්බකරුවන්ගේ ඉලක්කයට හසුවීමේ සම්භාවිතාව වැඩි කරන්නකි. එබැවින් හැකි තරම් එවන් ස්ථානයන් මග හැරීමත් ගමනා ගමනයට කෙටි අතුරු පාරාවල් තෝරා ගැනීමත් මගින් ගමනේ යෙදෙන කාලය සීමාව අවම කර ගැනීමට අප රියදුරන් වග බලා ගත්හ.

Traffic in Kabul

නමුත් ආරක්ෂාව යනු  සාපේක්ෂ දෙයකි. එවකට අප ආයතනය තුළ සේවය කළ රියදුරාගේ පටන් කම්කරුවන්, භාෂා පරිවර්ථකයන් හා මගපෙන්වන්නාගේ සිට කාර්යාල සේවකයා දක්වා වූ ඇෆ්ගනිස්තාන වැසියන් අතරත් තලෙයිබාන් හිතේශිවන්තයන් සිටීමට බොහෝ ඉඩකඩ තිබුණි. කවරෙක් විශ්වාස කරන්නද නොකරන්නද යන්න තීරණය කිරීම අතිශය දුෂ්කර කටයුත්තකි.

මග දෙපස කිසි ක්‍රමවේදයකින් තොරව ඉදි කර ඇති  දුහුවිල්ලෙන් පිරුණු කැඩී බිඳී ගිය ගොඩනැගිලි හැකි පමණින් අලුත්වැඩියා කර හෝ තාවකාලික ගොඩනැගිලි සහ කුඩාරම් වල පවත්වාගෙන විවිධ කඩ පොළවල එළවලු පලතුරු, මස් වර්ග, නොයෙක් ඇඳුම් සහ විසිතුරු භාණ්ඩ මෙන්ම එදිනෙදා ජිවිතයට අවශ්‍ය දෑද විකුණන වෙළෙන්දන් සුලබය.

නගරය තුළ නිරන්තරයෙන් ඇති වූ ගැටුම් වලට තාවකාලික විරාමයක් ලැබීමේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් අලුතින් ඉදිවන ගොඩනැගිලි මෙන්ම මාර්ග ප්‍රතිසංස්කරණයන්ද තැනින් තැන දක්නට ලැබෙයි. නමුත් දැනට අවුරුදු 40 – 50 කට පෙර පැවති තත්වයට මෙම නගරය කවදා පත් වේද යන්න කාටවත් උත්තර දිය හැකි ගැටළුවක් නොවේ.

ලංකාවේ යුද්ධය පැවති වකවානුවේ පැවතියාක් බඳු හමුදා සහ පොලිස් භටයන් විසින් පවත්වාගෙන යන නොයෙක් මාර්ග බාධක මෙහි සුලභය. වෙනසකට ඇත්තේ ඉතා සීරුවට අඳින නිළ ඇඳුමේ සිට ලංකාවේ සොල්දාදුවන් තුළ ඇති විනය සහ අචාරශිලිභාවය මොවුන් තුළින් දැකීමට නොහැකිවීමයි.

නමුත් මේ සියල්ල අතරින් කණ්ඩාගේ නෙත් පැහැර ගත්තේ ඇෆ්ගානි රොටි විකුණන තැන් කිව්වොත් නිවැරදිය. රෙදිපිළි කඩවල විවිධ අකාරයෙන් රෙදිපිළි ප්‍රදර්ශනයට තබා ඇතිවාක් මෙන්ම මෙම රොටි අලෙවි කරනා ස්ථානයන් විසිතුරු ලෙස රොටි වලින් සරසන අයුරු දකින්නට විසිතුරුය.

තන්දූර් උදුනක අධාරයෙන් පුළුස්සන ලබන නාන් නමින් හැඳින්වෙන මෙම රොටි විශේෂය සාදනු ලබන්නේ තිරිඟු පිටි, ඊස්ට්, සීනි සහ තෙල් මිශ්‍ර කර පිපෙන්නට හැරීමෙනි. අනතුරුව විවිධ සිත්ගන්නා හැඩයන්ට පැතලි කර ගන්නා අමු නාන් ඇඟිලි තුඩු වලින් හැඩ වැඩ කර රත් වූ තන්දූර් උදුනේ ඇතුළු පස බිත්තියේ අලවා පදමට පුළුස්සා ගනු ලබයි.

ඇතැම් නාන් වර්ගයන් සඳහා විශේෂිත රසයක් එක කිරීමට රොටිය මත තල, සුදුරු හෝ පොපි ඇට සමගින් ගිතෙල් ආලේප කිරීමද සිදු වන්නේය. පිළිස්සීමෙන් අනතුරුව පිටතට ගන්නා රොටි මතට ගිතෙල් ගලවන්නේ පාරිභෝගිකයන්ගේ කැමැත්ත අකමැත්ත මතය.

එලෙසම බොහෝදෙනා දන්නා සැන්විච් පිළියෙළ කරනා ආකාරයට රොටි පිළිස්සීමට පෙර අල, ළූණු, කොත්තමල්ලි කොළ, ඇඹරූ මස් හෝ කේජු වැනි දෑ එක කිරීමෙන් සාදන ඇති විශේෂ රොටි වර්ගයන්ද සුලභය.

නාන් සෑදීම කලාවක් වන තරමට දියුණු කර ඇති ඇෆ්ගානි ජාතිකයන් නාන් පුළුස්සන අයුරු කෙතරම් වෙලාවක් බලා සිටියත් එපා නොවන තරමේ අපුරු දෙයකි. එමෙන්ම නාන් පුළුස්සන උදුනක් තියන තැනක් සොයා ගැනීම කොහෙත්ම අපහසු නොවන්නේ එමගින් එන කුසගිනි දනවනසුළු සුවඳ ඉක්මනින් හතර අත පැතිර යන නිසාය.

Roti Shops in Afghanistan

උණු උණුවේ බාන විට කොයිතරම් රසට සුවඳට තිබුණත් සීතල වූ විට නම් මේ නාන් සිහිගන්වන්නේ ඇදෙන සුළු රබර් රොටිය, එනිසා කන රොටියක් උණු උණුවේ දුම් දමමින්ම කන්නට ඕනෑය.

එමෙන්ම ඇෆ්ගනිස්තානයට අමතරව පකිස්තානයේ සහ නොයෙක් මැදපෙරදිග රට වලද මෙම නාන් ප්‍රචලිතය. එම රටවලද මෙම කුඩා බේකරි බොහෝමයක් පවත්වාගෙන යන්නේ පශ්තුන්වරුන් හෙවත් පටාන්වරු නිසා මෙම නාන් වලට යයිද “පටාන් රොටි” ඉඳහිට ව්‍යවහාර වේ.

අධික උණුසුමක් ඇති තන්දූර් උදුන ආසන්නයේ දහඩිය හෙලාගෙන නාන් සාදන උදවිය සහ භාවිත කරන උපාංග වල පිරිසිඳුකම ලංකාවේ බක්කරේලාට සහ බේකරි වලටත් වඩා ඉහළය. ඒ ගැන දන්නේ නාන් අරගෙන එන්නට බේකරියට යන උදවිය පමණක් නිසා ගැටළුවක් නැත.

කණ්ඩාගේ හාමිනේද උණු උණුවේ නාන් කන්නට පෙරේතය, වරක් මෝඩකමට නාන් ගෙනෙන්නට අප නැවතී සිටි ගොඩනැගිල්ල අසල වූ බේකරියක් වෙත ඇය කැටුව යාම නිසා පහන් වූ සිත් ඇතිව නොසෑහෙන කාලයක් නාන් කෑම ප්‍රතික්ෂේප කළාය. නමුත් ඌරන්ට සෞඛ්‍යය අදාල නැති නිසා කණ්ඩා අදටත් දුම් දමන පටාන් රොටියක් කිසිවිටෙකත් ප්‍රතික්ෂේප නැතුවා සේම කන්තෝරුව කිට්ටුව ඇති ඇෆ්ගානි අවන්හලක නිත්‍ය පාරිභෝගිකයෙකි 😀

කණ්ඩා ඇෆ්ගනිස්තානයට පැමිණීමට පෙර ඩුබායි සහ සාජා හිදී මෙම නාන් රොටි සාදන බේකරි වලට ගොඩ වැදී රොටි සාදන ආකාරය මෙන්ම එහි රසයත් අනන්තව අත්විඳ තිබුණු නමුත් ඇෆ්ගානි නාන් කඩවල් රොටි වලින් අලංකාරව සරසා තිබෙන අයුරු දුටුවේ පළමු වතාවටය.

පැය බාගයක පමණ ගමනකින් පසු ගුවන්තොටුපොළ පිහිටි කයා ඩීෆැක් සිට සුපිරි කඳවුර වෙත නූර් සමග පැමිණි කණ්ඩාට විසඳා ගත යුතු ගැටළු කිහිපයක්ම විය. කඳවුර තුළ නිදහසේ හැසිරීමට හැකි ඉක්මනින් හැඳුනුම් පතක් සකස් කර ගැනීම, නේපාලියන් සමග අරිෂ්ඨ සන්තර්පණය වෙමින් තවත් රැයක් ගෙවන්නට ඇති අපහසුව නිසා වඩා පහසුකම් සහිත කාමරයකට මාරු වීම මෙන්ම එකල “වෙන්ට හාමිනේ” සමග කතා බහ කිරීම සඳහා අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමත් මේ අතර ප්‍රධාන විය.

මින් හැඳුනුම් පතක් සකස් කර ගැනීම සඳහා වානර සම්පත් දෙපාර්තුමේන්තුවේ සහයෙන් වැඩි කරදරයක් නැතිව සිදු කර ගන්නට හැකියාව ලැබුණු අතර සුපිරි කොම්පැණිය විසින් අදාළ කඳවුර වෙත පැමිණෙන පිටස්තර සාමාජිකයන් වෙත ලබා දෙන පින්තූරයක් සහිත තාවකාලික හැඳිනුම්පතක් කණ්ඩාටත් නිකුත් කරන ලදී.

නමුත් නිදන කාමරය මාරු කිරීමට වානර කළමනාකාරතුමා පැමිණෙන තෙක් නොකළ හැකි බව දැන ගත් හෙයින් කණ්ඩා නැවතත් කාමරය වෙත ගියේ වෙනත් කරන්නට දෙයක් නැති තැනය. පෙරදා රාත්‍රියේ නිදිමත සහ බමණමත නිසා නෙතට හසු නොවූ කාමරයේ අපිරිසිඳු බව, යකුන් නැටූ පිටියක් සිහිගන්වන අපිළිවෙල බව මෙන්ම නාස් පුඩු වලට රිංගන බාල සිගරට්, මත්පැන් මිශ්‍ර දහදිය දුගඳත් හිතට එක් කළේ අසතුටකි.

Bunk Beds

කර මුලටම සිගරට් කොට වලින් පිරී තිබුණු පෙරදා අළු බඳුනක් ලෙස බාවිත වූ අඩක් කපා වැලි පිරවූ ප්ලාස්ටික් බෝතලය, තැනින් තැන විසිර තිබුණු හිස් බියර් හා මත්පැන් බෝතල් කිහිපයක්ද තවමත් කාමරය තුළ විය. උදෑසන කලබලයේ පිටත් වූ බැවින් ඒ කිසිවක් ඔලුවට ගියේ නැතිය.

බොහොමයක් ඇඳවල් හිස් වූ අතර අහස කඩන් වැටුණත් නොනැගිටින අදිශ්ඨානයෙන් යුතුව කේශාන්තයේ සිට පාදාන්තය දක්වා පොරවාගෙන එකිනෙකා පරයන සද්දෙන් ගොරවමින් නිදා සිටි නේපාලින් දෙදෙනා රාත්‍රී වැඩ මුරයේ යෙදෙන්නන් විය යුතුය. හිස් ඇඳක වාඩි වී කල්පනාවේ නිමග්න වූ කණ්ඩාට හැකි ඉක්මනින් කාමරය මාරු කර ගත යුතු බව ප්‍රත්‍යක්ෂ කිරීමට මේ විනාඩි කිහිපය ප්‍රමාණවත් විය.

ශබ්ද නොනගා හැකිතාක් සීරුවට ගමන් මල්ල අසුරාගත් කණ්ඩා, හඬ නොනැගෙන සේ දොරත් වසාගෙන එලියට බැස්සේ වානර දෙපාර්තුමේන්තුවට යන්නටය. ඒ අතරමග IT කන්තෝරුවට ගොඩ වැදින්නට තීරණය කළේ රංජිත් නැවත පැමිණ ඇතිදැයි බලන්නටය, ඔහුගේ සහයෙන් අන්තර්ජාල පහසුකම් සහිත ස්ථානයක් සොයා ගැනීම කණ්ඩාගේ අභිප්‍රා‍ය විය.

ගමන් මල්ලත් කර තබාගෙන කාමරයට ඇතුල් වූ කණ්ඩා දුටු පමණ රංජිත් විමසුවේ අලුත් කාමරයක් ලැබුණේද යන්නයි, ඒ ගැන යළිත් වානර කළමනාකරණ අංශයත් සමග කතා බහ කළයුතු බව කණ්ඩා පැවසුවිට. රංජිත් පැවසුවේ දෙදෙනෙකු පමණක් වෙසෙන තම කාමරයේ සිටි අනෙක් සගයා නිවාඩු සඳහා පිටත්ව ගොස් ඇති බැවින් වෙනම කාමරයක් නොලදහොත් ඔහුගේ කාමරයේ ලැගුම් ගන්න ලෙසයි. ඒ ගැන රංජිත් හට ස්තූති කල මා ගමන් මළු එහි තබා නැවතත් වානර කළමනාකාරතැන හමුවට ගියේ බලාපොරොත්තු තබාගෙනය.

එහිදී කණ්ඩා හට මුහුණ දීමට සිදු වූයේ අනපේක්ෂිත තත්ත්වයකටය උදෑසන කඳවුරෙන් පිටත් වීමට පෙර කාමරය මාරු කර දෙන මෙන් නූර්ගේ මාර්ගයෙන් ඉල්ලීමක් කර තිබුණද. මා කළමනාකාර තැනගෙන් විමසූ විට ඔහු දන්වා සිටියේ මා හට ලබා දීමට නියමිතව තිබුණු කාමරය හදිසියේ කන්දහාර් සිට පැමිණි අයකුට ලබා දීමට සිදුවුණු බවයි. ඇෆ්ගනිස්තානයේදී නිදන කාමර පහසුකම් පිළිබඳව තහවුරු කර ගන්නා තෙක් එලෙස තවත් කඳවුරකට නොයන බව දැන සිටි මට මෙය අණ්ඩර දෙමළයක්ම විය.

මගේ සිත පුන පුනා කිව්වේ මෙය වානර දෙපාර්තුමේන්තුවේ අතපසු වීමක් වසා ගන්නට තැත් කිරීමක් ලෙසටය, කෙතරම් කරුණු දැක්වූවත් මා කියනා දෙයට ඇහුම්කන් නොදෙන බව තේරුම්ගත් මා, හැකි තරම් ආචාරශීලිව විමසුවේ මෙම පොදු නිදනකාමර වල එක රැයක් හෝ ඔහු නිදාගෙන ඇතිද ? යන්නයි.

එයට මහත් නොරිස්සුම් ගතියක් පෙන්වූ ඔහු පැවසුවේ ඔහුට එසේ කිරීමට කිසිඳු උවමනාවක් නැති බවය.

ප්‍රශ්නය ලෙහෙසියෙන් අත අරින්නට අකමැති වූ බැවින් කාමර පිරිනැමෙන්නේ පැමිණෙන පිළිවෙලට (First Come First Served) නම් මා හට වෙන් කරන ලද කාමරය දුන්නේ කා හටද ? ඒ කිනම් පදනමකින්ද ? යන්න තදින් විමසූ විට එම ගැටළුවෙන් බලවත් අපහසුවට පත් වූ ස්වරූපයක් පෙන්නුම් කල නිසා මේ පිටිපස කුමක් නමුත් හොරයක් ඇති බව කණ්ඩාට වැටහුණි.

රංජිත්ගේ ආරාධනය ගැන කිසිවක් ඔහුට නොපැවසීමට කණ්ඩා තීරණය කළේ මේ ගැන තවදුරටත් සොයා බලන්නට සිතූ නිසාය. මේ ගැන තවත් වාද කිරීම නිෂ්ඵල බව වටහා ගත් නමුත් ඔවුන් හට උදව් කිරීමට පැමිණි අපට පහසුකම් සැපයීම ඔවුන්ගේ වගකීම බවත් කාබුල් ගුවන් තොටුපළෙන් පිට වූ පැමිණි මොහොතේ සිට සිදු නොවුණේත් එයම බවත් මතක් කර දී එන්නට ආවේ පුපුරා හැලෙන තරම් කෝපයෙනි.

නැවතත් රංජිත් හමු වූ මා මේ අකරතැබ්බය පැවසූ විට ඔහුගෙන් දැන ගත්තේ මෙම පුද්ගලයා කිසි වැදගැම්මකට නැති පුටු රත් කිරීමේ සහ සුද්දන්ට මුට්ටි ඇල්ලීමේ යෙදෙන අලසයෙක් පමණක් බවය.

ඔහුගෙන් කාමරයේ යතුර සහ අන්තර්ජාලයට පිවිසීම සඳහා වූ මුරපදයත් ලබා ගත් කණ්ඩා ගමන් මල්ලත් රැගෙන කාමරයට වෙත යාමට පිටත් වූයේ දවසේ වැඩ කටයුතු අහවර වී රංජිත් පැමිණීමට පෙර වෙන්ට හාමිනේ සමග නිදහසේ මලක් දෙකක් කඩාගන්නට ලැබෙන අවස්තාව ගැන සිහි කරමිනි.

කණ්ඩා එතෙක් නාස් ලණුව නොදැමූ ළපටි කැකුළු නාඹර වස්සෙක් වූ නිසාවෙන් හාමිනේත් සමග මල් කැඩුවේ නැතිනම් හිතට හරි මදිය. හදිසියේ දැමූ පණිවිඩයක් දෙකක් ඇරෙන්නට පසුගිය දින කිහිපය තිස්සේ කතාබහ කරන්නට අවකාශයක් තිබ්බේද නැත.

Ignorance is Blissඇෆ්ගනිස්තාන ගමන නිම වී බොහෝ කාලයක් යනතුරුත් පවුලේ උදවියට මේ විස්තර සැඟවූ නිසා හතර වරිගයේම කාටත් නොලැබුණු මයිලෝද්ගමනය වන නැවුම් අත්දැකීම බෙදා හදා ගන්නට ඉන්නෙත් ඒ ගැන වටින් ගොඩින් දන්නා “වෙන්ට හාමිනේ” පමණය.

ඇය ලොව වටා පුවත් තියා හදිස්සියට ඉරිදා පත්තරේවත් නොබලන කියවීමට උපතින්ම හොර ඉස්තිරියා රත්නයක් බව ඉන්තේරුවෙන්ම දන්නා නිසා මෙහි ඇති සැබෑ තත්වය නොදන්නා බව කණ්ඩාට සහතිකය.

ඇතැම් අවස්ථා වලදී කරුණු නොදන්නා තරමට හිත නිදහස්ය ( Ignorance is Bliss 🙂 ).

මේ තත්වය යම් තරමක් දුරට වර්තමානයේ වෙනස් වී ඇත්තේ කණ්ඩාගේ බ්ලොග්කර්මාන්තය පටන් ගත් පසුවය. නමුත් එයට හේතුව කණ්ඩා තවත් මාටින් වික්‍රමසිංහ කෙනෙක් නිසා නොව හුදෙක්ම ගෘහස්ථ වාරණය අත්‍යවශ්‍යතාවය මත යැයි මා සිතමි 😀

යුධ හමුදාවට බැඳෙන්නට ඇති දැඩි කැමැත්ත මත අම්මාගේ අදහස වටින් ගොඩින් විමසන්නට ගොස් කන් ඈත් වෙන්නට අසා ගත් දේ තවමත් කන් පතුලේ පැල පදියන් වී තිබීම නිසා ඇෆ්ගනිස්තාන ගමන ගැන තොරතුරු මවට පවසා ඇගේ හිත කරදර කිරීමට කිසිඳු අදහසක් කණ්ඩාට තිබුණේද නැත.

මෙලෙස අරමුණක් රහිත ලෙස හිස පහත හෙලාගෙන කල්පනාවේ නිමග්නව කාමරය වෙත පිය නගන අතරතුර හදිස්සියේ කණ්ඩා පියවි සිහියට එළඹියේ කිසිවකු අමතන හඬකටය. ඒ පෙර දා රාත්‍රියේ කණ්ඩාගේ හැඳිනුම් පත් ඉල්ලූ ගුර්කා භටයාය, ඈත තියාම කිසිත් නොකියා ගෙල රැඳී හැඳිනුම් පත ඔසවා පෙන්වූ විට ඔහු සිනහ සී “තම්බ්ස් අප්” එකක් දුන් බැවින් අත වනාගෙනම කණ්ඩා කාමරයට යනවිට සවස හතර පමණ වන්නට ඇත.

රංජිත් වාසය කළ කාමරය තිබුණේ කාමරය මෙන් තාප්පය අද්දරට වන්නට නොවේ එය ප්‍රධාන කාර්යාලයට වඩාත් කිට්ටුය. ඉතා පිරිසිඳු කාමරය දුටුවනම කණ්ඩාගේ සිත් ගත්තේය, තරමින් එක හා සමාන උවත් දෙදෙනෙකුට පමණක් වෙන වෙනම ඇඳන් පනවා ඇති මෙහි තත්වය අහසට පොළොව තරම් වෙනස්ය. ඇඳන් වලට අමතරව ඇදුම් පැළඳුම් තබා ගන්නට තරමක කැබිනෙට්ටුවක්ද, කුඩා ශීතකරණයක්ද , පුටුවක් සහිත ලියන මේසයක් මත තැබූ පැතලි රූපවාහිනියක්ද විය.

සම්පුර්ණයෙන් ආවරණය කර තිබූ ඇඳ රංජිත්ගේ සගයාගේ බවට නිගමනය කළ කණ්ඩා ගමන් මල්ල ඒ පසෙකින් තබා තවත් විපරම් කරද්දී මේසය මත රූපවාහිනියට අමතරව පසෙක ක්‍රමානුකූලව ගොඩ ගැසූ අඩියක් හමාරක් උස CD/DVD තැටි ගොන්නක්ද චීන යයි සිතිය හැකි නමක් නොමැති CD/DVD තැටි යන්ත්‍රයක් සමග වූ කේබල් TV රිසීවරයක්ද දුටුවේය.

කාමරයේ සිරි නැරඹීමෙන් අනතුරුව වෙන්ට හාමිනේ සමග කතා බහ කරන්නට අවැසි බව නැවත සිහි වූ නිසාවෙන් CD/DVD තැටි අමාරුවෙන් නමුත් එහා මෙහා කර ලැප්ටොප් එක මේසය මත තබා පුටුව පසෙකට කර වාඩි වෙන්නට හැදුවත් මේසය යටවූ යමක් නිසා කකුල් මේසය තුලට රුවා ගන්නට අපහසු විය.

මේසය යටට එබී බැලූ කණ්ඩා හට නෙත ගැටුණේ බෙහෙවින් අනපේක්ෂිත දසුනකි, ඒ පිළිවෙලට තබා තිබුණු ශරිරාරක්ෂක උපාංග කට්ටලයන් දෙකකි. වෙඩි නොවදින ගල් තොප්පියකින් සහ කබායකින් මෙය සමන්විත විය. උපතින්ම නොයෙක් දෑ ගැන දැඩි කුතුහලයක් ඇති කණ්ඩාට මෙය රිලවෙකුට අඹයක් දුන්නා හා සමය. අඹය කනතුරු රිලවාට ඉවසිල්ලක් නැති බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත.

ඉතින් මේ ගැන වැඩි විපරමක් නොකර ඉන්නා එක හොඳ මදි නිසා ඉන් එකක් එළියට ඇද ගත් මට තේරුම් ගියේ මින් එකක් කිලෝ 15 – 20 ක් පමණ බරකින් බවය. කල් පවතින නයිලෝන් රෙද්දෙන් නිර්මිත කබායේ පපුව සහ පිට ආවරණය වන පරිදි ගනකම් වෙඩි නොවදිනා ආවරණයන් බහාලූ විවෘත කල හැකි පැසි වලින් යුක්තය. ගල් තොප්පිය හැඩයෙන් මෝටර් සයිකල් හෙල්මටයකට වඩා වෙනස් බැවින් පහසුවෙන් පැළඳිය හැකිය, එනමුත් මෝටර් සයිකල් හෙල්මටයක් මෙන් හත් අට ගුණයක බරක් සහිත නිසා වැඩි වෙලා පැළඳ සිටීම අපහසුය.

ආරක්ෂක කබාය පැළඳීමට නම් ඉන දෙපස ඇති පටි ගලවා දමා කබාය හිස මතින් ඇතුළට රිංගා ගත යුතුය, ඉන්පසු ඉන දෙපස පටි නොසෙල්වෙන සේ පහසු තරමකට තද කර ගත හැකිය. කිලෝ 15 – 20 ක් බර මෙම කට්ටලය ඇඟලා ගෙන වැඩි වෙලාවක් සිටීම ඉතා අපහසු කටයුත්තක් වන්නේ බරට අමතරව තදින් දැනෙනා නුපුරුදු බව නිසාය. හමුදා සෙබළුන් මෙම ආරක්ෂක කබයන්ට අමතරව කිලෝ 30 – 40 ක කෑම, උණ්ඩ, ප්‍රථමාධාර සහ අනෙකුත් ආම්පන්නත් රැගෙන රාජකාරි කරන්නේ කෙතරම් අපහසුවකින්ද යන්න කණ්ඩාට වැටහුණි.

පහතින් දමා ඇත්තේ දස වසරකට පෙර කණ්ඩා මේ අංගෝපාංග හැඳ පැළඳ ලබා ගත් ජායාරුපයකි, ඒ අහිංසක කොලුවාගේ කඳ මැදින් කලයක් තරම බඩ ගෙඩියක් නොමැති නිසාවෙන් ඇඳ පැළඳ ගැනීමට අපහසුවක්ද නොවීය.Me with Protective Gear

අලුතින් ලැබුණු සෙල්ලම් බඩු සමග ජල්ලි අල්ලද්දී නැවතත් කරන්නට හිතාගෙන හිටි වැඩය සිහි වූ බැවින් ගල් තොප්පියත් කබායත් තිබුණු පරිදිම අකුලා තැබූ කණ්ඩා හාමිනේට පණිවිඩයක් යවන්නට පරිගණකය පණ ගන්වා ගත්තත් කරුමයට හාමිනේ ඔන්ලයින් නොසිටීම නිසා ඇයට පණිවිඩයක් තැබීම හැරෙන්නට කරන්නට දෙයක් තිබුණේ නැත.

ඒ අතර කණ්ඩා CD ගොන්න ඇවිස්සුවේ කම්මැලිකමට බලන්නට යමක් සොයා ගන්නටය, එම ගොඩේ මළයාලම්, දමිළ සහ හින්දි චිත්‍රපටි බහුල වූ අතර ඉංග්‍රීසි චිත්‍රපටද විය. ඉන් කණ්ඩා නරඹන්නේ ඉංග්‍රීසි චිත්‍රපට පමණක් උවත් ඒ සියල්ල කලින් බැලූ ඒවාය. එනිසා නම් ගම් සඳහනක් නැති නොම්මර පමණක් ගැසූ CD කිහිපයක් තෝරාගෙන බැලීමේදී ඒවා අතර MP3 වල සිට කාටූන් දක්වාද එතැන් සිට වැඩිහිටියන්ට පමණක් ඒවා දක්වාද වූ මහත් විවිධත්වයකින් යුතු එකතුවක් ඇති බව පැහැදිලි විය.

කම්මැලිකමට CD ගොන්න ඇද ගත්තත් පෙරදා රාත්‍රියේ අල්ලපු ජල්ලි වලට පින් සිද්ද වන්නට නිදි මත පමණටත් වැඩියෙන් තිබුණු නිසා CD සෙල්ලම පසෙක තබා, සපත්තු දෙක පමණක් ගලවා දමා ඇඳෙන් ඇල වූයේ රාත්‍රී කෑමට පෙර පැයකට හෝ ඇහැ පියවා  ගැනීමටය.

මතු සම්බන්ධයි !

~ කණ්ඩා

අනෙකුත් ලිපි :

ශිෂ්ටාචාර එකට යා කළ​ සේද මාවත – Roar

සේද මාවත ~ දිවයින

පෙර ලිපි :

I කොටස ~ සුපිරි කොම්පැණිය සහ කණ්ඩාගේ ඇෆ්ගන් පිස්සුව !

II කොටස ~ හිවලුන් සමග රාමසාන් සහ ඇන්ටනොව් !

III කොටස ~ උඩ යන ඇන්ටනොව් සහ බිම යන ඇන්ටනොව් !

IV කොටස ~ පිපිඤ්ඤා සැන්විච්, යහතින් ගොඩ බෑම සහ ඇන්ටනොව් ගැරේජ් !

V කොටස ~ කාබුල් ගුවන්තොටුපොළ පාගා මරුවෝ !

VI කොටස ~ කාබුල් පොල්ල !

VII කොටස ~ කාබුල්හි සුපිරි කඳවුර !

VIII කොටස ~ කාබුල් ස්පෙෂල් නේපාලි අරිෂ්ඨ !

IX කොටස ~ කයා ඩීෆැක් සහ යැංකි පඩත්තරයෝ !

X කොටස ~ ආපන ශාලාවේ අවුල්-නිරවුල් !

Advertisements