Manchester Arena Outside

මැන්චෙස්ටර් : 2017 මැයි 22 ~ 22:31 BST

ගී අමා රස විඳීමෙන් පසු නැවතත් යුස්ටන් දුම්රියපොළ වෙත අප ඇරලවීමට උස එකී සහ අගේ සැමියා උත්සාහ ගත්තත් රැජිණ ආත්තම්මාගේ ප්‍රවාහන සේවය ගැන විශ්වාසය තැබූ නිසා කිට්ටුව පාත වූ අන්ඩග්‍රවුන්ඩ් නැවතුම් පොළ හරහා නැවතත් යුස්ටන් වෙත් ගියෙමු.

කිහිප වතාවක් ගොස් ඇති හේතුවෙන් වූ විශ්වාසය මත යුස්ටන් වෙත ගියත්, හාමිනේ හදිසියේ ඇසූ පැණයක් නිසා කණ්ඩා හිට් විකට් විය. හාමිනේ විමසුවේ ලිච්ෆීල්ඩ්හි අප නැවතී සිටි හෝටලයට කිට්ටුවෙන්ම පිහිටි දුම්රියපොළ වූ “ලිච්ෆීල්ඩ් ට්‍රෙන්ට් වැලි” (Lichfield Trent Valley) වෙත අප ළඟා වන වේලාවට කුලී රථ සොයා ගැනීමට තිබෙනු ඇද්ද යන්නයි.

අප එන ගමනේදී එහි එකඳු කුලී රියක් හෝ නොතිබුණු බව කණ්ඩාට සිහි විය. එනිසා ට්‍රෙන්ට් වැලි වෙත යනවාද එසේ නැතහොත්  සැතපුම් 20 ක් පමණ ඈතින් වූ බර්මින්හැම් නිව් ස්ට්‍රීට් (Birmingham New Street) වෙත ගොස් නැවතත් කුලී රථයක් හෝ දුම්රියක් ගන්නවාද යන්න උභතෝකෝටික ගැටළුවකි.

කෙතරම් ආත්ම විශ්වාසයකින් යුතුව එළි පහලියට බැස්සත් තමන් සහ සුද්දෙන් නොදන්නා රටක කරක් ගසද්දී මෙවැනි දේට මුහුණ පාන්නට වීම සුලභය, වැදගත් වන්නේ අප එම අවස්ථාවට මුහුණ දෙන්නේ කෙසේද හා විසඳුමක් සොයා ගන්නේ කෙසේද යන්න පමණි. එය හිරිහැරයක් ලෙස සලකන ඇත්තෝ සංචාරයේ නොදෙන එක වඩාත් සුදුසුය 🙂

නමුත් ට්‍රෙන්ට් වැලි දුම්රියපොලෙහි කුලී රථ සමාගම් කිහිපයක දුරකථන අංක රැගත් දැන්වීම් පුවරු තිබූ බව සිහි වූ බැවින් අවදානමක් ගෙන හෝ ට්‍රෙන්ට් වැලි වෙත යාම වඩාත් පහසු බව කණ්ඩාගේ අවසන් තීරණය විය. ඉරුදිනක් වූ එදින සවස භාගයේ ගමනේ යෙදෙන උදවිය අඩු නිසාදෝ දුම්රියේ වෙනදාටත් වඩා ඉඩපහසුකම් විය. කලබලයකින් තොර සැප පහසු දුම්රිය ගමනින් පසු ගමනාන්තය වෙත පැමිණි අපගේ වාසනාවට කුළී රථයක්ද හමු වූ බැවින් විනාඩි කිහිපයක ගමනකින් පසු හෝටලය වෙත ළඟා වීමු.

පසුදා කණ්ඩා රාජකාරි සඳහා නැවතත් කන්තෝරුවට ගිය බැවින් ලැබෙන උපරිම නිදහසත් කම්මැලිකමත් නිසා හෝටලයට වී නිදා ගන්නට වලිකන  හාමිනේට ඒ සඳහා කිසිම අවසරයක් නොදීමට කණ්ඩා අදිටන් කරගෙන සිටියේය. කණ්ඩා නැතිව තනිවම රවුම් ගසන්නට අකමැති කුම්භකර්ණ හාමිනේව  වරින් වර දුරකථන ඇමතුම් දෙමින් කූද්දා බලෙන්ම ඇවිදින්නට යවන්නට මහත් වෙහෙසක් දරන්නට සිදු විය.

මැදපෙරදිග සිටින තාක් කල් එළි පහලියට බහින්නට බෑ හරි ගිරිස්මේ, කරන්නට දෙයක් නෑනෙ යයි නාහෙන් අඬනා ඇය, ලිච්ෆීල්ඩ් වැනි සුන්දර නගරයකට පැමිණි පසුවත් ඇවිදින්නේ නැතිව අතපය හකුලාගෙන සිටීම කණ්ඩා හට මහත් නොරිස්සුමක් ගෙන දෙන්නකි. මෙහි වැසියන් සියලුදෙනා ඉංග්‍රීසි බස කතා කරන්නවුන් නිසා භාෂාව සම්බන්ධයෙන් හෝ ගම්බද පෙදෙසක් බැවින් ආරක්ෂාව ගැන හෝ පිළිබඳ කිසිඳු ගැටළුවක් නැත.

කලින් වතාවක නොවැම්බර් මස මුල අප ආ සංචාරයකදී සතියකටත් අධික කාලයක් පුරා වැස්ස, පින්න, මීදුම, හෙම්බිරිස්සාව යන සකලවිද පාරිසරික හේතූන්ද ඉස්තිරියා රත්න සතු සූ සැට කල්‍යාණයේද අධාරයෙන් එළි පහලියට නොයා හෝටලයටම වී අලස සුවය විඳ ගන්නට හාමිනේ සමත් වුවාය.

නමුත් මෙවර අතිශය සුන්දර වටාපිටාවක් සහ සුවබර කාළගුණයක් කාලගුණයක් සහිත වූ බැවින් හොඳින් මෙන්ම නරකින්ද කියා බැරිම තැන නැවත කිසිඳු සංචාරයකට රැගෙන නොයන බවට කළ තර්ජනයකින්ද අවසානයේ හාමිනේව එළි පහලියට බස්සවන්නට කණ්ඩා සමත් විය.

එදින සැන්දෑවේ අප නැවත එලි බැස්සේමුත් ඉඳහිට මුණ ගැසෙන චීන නඩයකට අමතරව ඒ නගරයේ ඇවිදිමින් සිටි එකම දකුණු ආසියාතිකයින් යුගලය වූ අප දෙස ඉඳහිට විපරම් කළත් එය කුතුහලය නිසාවෙන් මිස වපරැසින් නොවේ. එමෙන්ම අප උදව්වක් හෝ යම් තොරතුරක් විමසූ සෑම අවස්ථාවකදීම ඉතා අචාරශීලිව උදව් කිරීමට නොපැකිලීම ප්‍රධාන නගරයන්ගෙන් ඈතට යද්දී දැනෙනා ප්‍රධානතම වෙනසයි.

කිහිප වාරයක්ම නගරයේ හැම අහු මුල්ලකම පාහේ ඇවිදීම නිසා වූ කකුල් කෙඩෙත්තුවද ඒ අමාරුව යවා ගන්නට කෑමත් සමගම අනුමත වූ අරිෂ්ඨයන්ටද පින් සිදු වන්නට කණ්ඩා එදා සුවපහසු නින්දකට හිමිකම් කිවේය. පසුදින උදෑසනම අවදි වූ කණ්ඩා හැඳ පැළඳගෙන හාමිනේත් සමග හෝටලයේ ආපන ශාලාව වෙත ගියේ සුපුරුදු ලෙස උදෑසන ආහාර ගන්නටය.

වෙනදාට වඩා යම් කලබලයක් ආපනශාලාවේ තිබුණත්, කෑමත් රැගෙන අපගේ ප්‍රියතම කොනට වී උදෑසන ආහාරය රස බැලීමු. ඒ වන විට සුද්දාගේ සුදුම සුදු උදෑසන කෑම වේලේ නොයෙක් අකරයට පිළියෙළ කළ බිත්තරද (Omlette, Scrambled, Salad, Sunny Side Up, Full/Half Boiled, Poached egg etc.) තැම්බූ බෝංචිද (Baked Beans) තිත්ත වී තිබුණ බැවින් කණ්ඩාගේ හිත ගියේ “ඩිල්” හෙවත් සූදුරු කොළ සහ නිවිති කලවම් කර සදා තිබුණු අල බැදුමත්, බැදපු හතු, බේකන් සහ බ්ලැක් පුඩින් වෙතය.

සුද්දගෙ රටේදී ඉහත කී මොනයම් කෑමකට උවත් ලුණු හෝ කුළුබඩු එකතු කිරීමක් සිදු නොවනා තරම්ය, එනිසා මේසය මත ඇති ගම්මිරිස් සහ ලුණු බෝතලයෙන් බාගයක් පිඟානට හලා ගත් විට කටට දැනෙනා ලෙස තමන් කැමති තරමට බඩ පුරවා ගත හැකිය. පසු ගිය දවස් කිහිපයේ උස එකී සහ ඇගේ මව විසින් පිළියෙළ කරන්නට යෙදුණු ලංකාවේ කෑමට හුරු වීම නිසා මෙම වෙනස තවත් තදින් දැනුණි 😦

අවන්හලේ සිටි උදවියගේ උවමනා එපාකම් සොයා බලමින් කඩිසරව සේවයේ නියුතුව සිටි තරුණ වේටර්වරයා වරින් වර අප සිටි ස්ථානයට තරමක් ඈතින් වූ රූපවාහිනිය දෙස නැවතී බලා සිටිනු කීපවාරයක් දුටුවත් ඒ ගැන වැඩි යමක් සිතන්නට කණ්ඩාට උවමනාවක් නොවූයේ හාමිනේ සමග නොයෙක් වල්පල් සහ ඉදිරි දින කිහිපය තුළ කරන්නට අවැසි දෑ ගැන කියවමින් සිටි නිසාය.

නමුත් කෑම වේලෙන් පසු හාමිනේගේ අත් ගුණයෙන් පිළියෙළ වූ කෝපි කෝප්පයක් අතැතිව උදෑසන නිසාවෙන් හිස්ව තිබූ බාර් එක පැත්තට වන්නට තිබූ වඩාත් සැපපහසු කවිච්චියක් වෙත ගියේ මා රැගෙන යන්නට පැමිණෙන කන්තෝරුවේ මිතුරිය වන ලිස් තවත් පැය බාගයකටවත් නොඑනා බව දන්නා නිසාය.

හාමිනේ සිය මිතුරියන් සමග මුහුණු පොතේ එල්ලුන නිසා කණ්ඩාගේ අවධානය කවිච්චිය ඉදිරියේම වූ රුපවාහිනී තිරය වෙත යොමු විය. සුපුරුදු පරිදි එය BBC පුවත් විකාශය වෙනුවෙන් වෙන්ව තිබුණි. එහි කොහේ නමුත් සිදු වූ කබගෑනියක් විශේෂ පුවතක් ලෙස පෙන්වමින් තිබුණු අතර, එය යුරෝපීය රටක බව තේරුණත් වැඩි විස්තර බලා ගන්නට දුර වැඩිය. (දැන් දුර පෙනෙන්නේ නැති තරමට ඇස් පොට්ටය – ඔය කිව්වාට ඉස්සර දුර පෙනුනේද නැත 🙂 )

ආසියාවේ, එසේත් නැතිනම් ඉන්දියන් සාගරේ (අ)මුතු ඇටයේ ඉපදී දශක තුනක යුද්ධයකද සහෝදරවරුන්ගේ මැරකම්ද රසවිඳි අපට මෙවැනි කලබල කොහෙත්ම අමුත්තක් නැතත්. රටේ තොටේ වෙන දේ ගැන දැන ගන්නට කවදත් කැමති කණ්ඩා රූපවාහිනියට වඩාත් කිට්ටුව තැනකට ගොස් වාඩි විය.

කණ්ඩාගේ ඇස් දෙක උඩ ගියේ විකාශය වෙමින් පැවති පුවත කණ්ඩා හිතුවාට වඩා බොහොම ළඟ පාත නිසාය, මුහුණු පොතේ එල්ලී සිටි හාමිනේගේ අවධානය ගන්නට කිහිප වතාවක් ඇමතුවත් ඇසිල්ලක් නොලද තැන තරමක් සද්දයෙන්

*** මැන්චෙස්ටර් වල බෝම්බයක් පිපිරිලා !!! ***

කියූ විට හාමිනේගේ සම්පුර්ණ අවධානය කණ්ඩා වෙත යොමුවිය.

හාමිනේට මේ ගැන කීවාට වැඩ නොකියා සිටියා නම් වැඩිය හොඳය … හේතුව හාමිනේ වහාම ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියේ පොලිස් පරීක්ෂක ලෙස්ට්‍රාඩ්ගේ රාජකාරිය කරන්නට පටන් ගත් නිසාය.

ඒ කොහෙද ? ඒ මේ කිට්ටුවද ? මෙතන කොයිතරම් දුරද ? ගොඩ දෙනෙකුට තුවාලද ? කවුද ඕක කරලා තියෙන්නෙ ? කරපු අය අල්ලාලද ? තවත් බෝම්බ තියෙන්න ඉඩ තියනවා නේද ?

හාමිනේගෙන් උත්තර දෙන්නට නොදන්නා ප්‍රශ්න අටෝරාසියකි, ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දන්නට බැරි නම් කණ්ඩා කුමක් කරන්නද ? 😦

කලබලයක් නැතිව ගූගල් සිතියමක් දිග ඇරගත් කණ්ඩා බැලුවේ අප සිටින්නේ මැන්චෙස්ටර් සිට කොපමණ දුරකින්ද යන්නයි. මැන්චෙස්ටර් නගරය පිහිටා ඇත්තේ අප නැවතී සිටි ලිච්ෆිල්ඩ් සිට උතුරු දෙසට වන්නටය නමුත් සැතපුම් සියයක් යනු ඒ හැටි දුරක් නොවේ.

මෙම සිදුවීමට පෙර කණ්ඩා මැන්චෙස්ටර් ගැන දැන සිටියේ පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් පමණි, ඒ ලෝක ප්‍රසිද්ධ පාපන්දු කණ්ඩායම් ද්විත්වයක්ම එහි ස්ථානගතව පැවතීම හේතුවෙන්. ඒ අවුරුදු 140 ක පමණ ඉතිහාසයක් ඇති ලොව ධනවත්ම සහ ඉතා ප්‍රසිද්ධ “මැන්චෙස්ටර් යුනයිටඩ් – Manchester United” (මැන්චෙස්ටර් එක්සත් කිව්වද කම් නැත 🙂 ) සහ “මැන්චෙස්ටර් සිටි – Manchester City” යන කණ්ඩායම්ය.

Manchester Map

මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ගැන ලොවම දන්නාමුත්  “මැන්චෙස්ටර් සිටි” කණ්ඩායම ගැන ලොව වැඩි අවධානයක් සමග මැදපෙරදිග ඇත්තන්ගේ කතාබහට ලක් වූයේ එය 2008 වසරේදී දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිතුමා වන “ශේක් කලීෆා බින් සයිඩ් අල් නහ්යාන්” ගේ (Khalifa bin Zayed Al Nahyan) සොහොයුරෙක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප අගමැති වන “ශේක් මන්සූර් බින් සයිඩ් අල් නහ්යාන්” (Mansour bin Zayed Al Nahyan) විසින් මිලයට ගැනීමත් සමගයි.

මෙම බෝම්බ පිපිරීම සිදුවීම සිදුව තිබුණේ මෙම ක්‍රීඩාංගන වලට තරමක් දුරකින් පිහිටි මැන්චෙස්ටර් ඇරීනා (Manchester Areana) නම් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදීය. ක්‍රීඩා වලට අමතරව නොයෙක් සංගීත සංදර්ශන පවත්වන මෙහි අරියානා ග්‍රන්ඩේ (Ariana Grande) විසින් පවත්වන්නට යෙදුණු සංගීත ප්‍රසංගයක් මෙහි අවාසනාවන්ත ඉලක්කය විය.

වාර්තාකරණය සහ මාධ්‍ය සදාචාරය අතින් අපට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටිනා සුද්දගෙ රටේ මාධ්‍ය පොලිසියට සහ නිසි ආයතනයන් හට සිය රාජකාරි කරන්නට ඉඩ දී ඔවුනට අවහිරයක් නොවන පරිදි අදාළ සිදුවීම පිලිබඳ අවශ්‍ය විස්තර පමණක් සිය පාඨකයන් වෙත රැගෙන ආවේය. ඒ හැරෙන්නට ඔවුන් මළ මිණී විකුණන රාජකාරියේ නොයෙදුන බව නොකියාම බැරිය.

සංගීත සංදර්ශනය අවසාන වී පැමිණෙනන් වෙත ගොඩනැගිල්ල ඉදිරිපිට සිදුකළ සියදිවි හානි කරගන්නා බෝම්බ ප්‍රහාරය නිසා 22 ක් මිය ගොස් තවත් 250 කට පමණ තුවාල සිදු වූ අතර ඉන් වැඩිමනක් සංදර්ශනය නැරඹීමට පැමිණි තරුණ තරුණියන් සහ ඔවුන් කැඳවාගෙන යාමට පැමිණි වැඩිහිටියන්ය.

එක්සත් රාජධානියේ මාධ්‍ය මනා සංයමයකින් වාර්තාකරණයේ යෙදුනත් එවක ධවල මන්දිරයට අරක්ගෙන ඉන්නා ට්‍රම්පයියාගෙ බහිරව කාණ්ඩය සියළු ආරක්ෂක පටිපාටි උල්ලංගනය කරමින් සදාචාරාත්මක නොවන ලෙස පුපුරවා ගත් බෝම්බයේ සුන්බුන් සහ එහි ප්‍රධාන සැකකරුගේ ජායාරූප ඇමරිකානු මාධ්‍ය වෙත නිකුත් කරන ලදී.

සියල්ල සිදු වූ පසු සොරි කියා ජාම බේරා ගන්නවා ඇරෙන්නට යැන්කියන් ඉන් අනතුරුව කුමක් සිදු කළේද යන්න ගැන වැටීමක් කණ්ඩාට නැත.

පසුව දැන ගැනීමට ලැබුණු පරිදි බෝම්බකරු ලිබියානු සංක්‍රමණික පවුලකට දාව බ්‍රිතාන්‍යයේම උපත ලද සල්මාන් රාමදාන් අබේදි නම් 22 හැවිරිදි මුස්ලිම් ජාතික තරුණයෙක් බවට සනාථ කරන ලදී. සුද්දන් විසින් මැද පෙරදිගට කරන ලද අරියාදුකම් සහ වපුරන ලද බීජ වල ඵලයන් නැවතත් ඔවුන් සොයා නිවෙස වෙතම පැමිණීමක් ලෙස සැලකිය හැකි උවත් මෙවැනි හිංසාකාරී දේ වර්තමාන සමාජයට ඔබින්නේ නැති බව නොකියාම බැරිය. අවුරුදු 30 ක ත්‍රස්තවාදී යුද්ධයකින් මෙන්ම 71 සහ 87 තවත් එවැනිම කැරළි දෙකකින් බැට කෑ අපට ඒ ගැන අමුතුවෙන් කියා දෙන්නට අනවශ්‍යය.

අප මෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයින්ද මෙවැනි දේට නිරාවරණය වී ඇත්තේය, එනිසා බෝම්බ පිපිරීම් ඔවුන් හට සහමුලින්ම ආගන්තුක දේ නොවේ. බ්‍රිතාන්‍ය තුල සිදු වූ ඉස්ලාමීය අන්තවාදීන් මගින් සිදු කරන්නට යෙදුනු ත්‍රස්තවාදී ක්‍රියාවන්ටද ඉතිහාසයක් ඇත.

බ්‍රිතාන්‍ය විසඳීමට අසමත් වූ පලස්තීන අරගලය, ඇමරිකාවට ගොට්ට අල්ලන්නට ගොස් ඔවුන් සමගම බ්‍රිතාන්‍ය හත්පොළේ ගා ගත් ඉරාක යුද්ධය, ඇමරිකාවට තනි රකින්නට ගොස් බ්‍රිතාන්‍ය ඉල්ලාගෙන ටොපි කෑ ඇෆ්ගනිස්ථාන් යුද්ධය ආදිය මෙයට සමීපතම හේතු ලෙස දැක්විය හැකිය.

මුස්ලිම් අන්තවාදය මගින් වපුරන්නට යෙදුණු ප්‍රහාරයන්ට පෙරත් මෑත ඉතිහාසය සැලකූ විට IRA සංවිධානය (Irish Republican Army) හෙවත් අයර්ලන්ත ජනරජ හමුදාව මගින් ඇති කරන්නට යෙදුණු භිෂනකාරි ක්‍රියා සහ දෙවන ලෝක සංග්‍රාමය සමයේ ජර්මනිය මගින් හෙලන්නය යෙදුණු ටොන් ගණනක බෝම්බ වරුසාවන්ගේ මතකයන් තවමත් බ්‍රිතාන්‍ය තුළ ඉතිරිව ඇත.

මෙම ගමන ආරම්භයේදීම අත් විඳීමට සිදු වූ එවන් අත්දැකීමක් ලිපි පෙළ අතරමගදී ලියූ බව ඔබට මතක ඇති සිතමි (A380 ය සහ සුද්දගේ ජර්මන් බෝම්බ).

එදා අනපේක්ෂිත ලෙස වෙනදාටත් වඩා ප්‍රමාද වී මා රැගෙන යාමට පැමිණි ලිස්ගේ වාහනයට මා කඩිමුඩියේ ගොඩවූයේ හාමිනේට සමු දෙමිනි. බ්‍රිතාන්‍ය ජාතිකයන් හට උපතින් උරුම වූ හැගීම් පිටතට නොපෙන්වනසුලු බව නිසා මොනයම් කාරණයක් ගැන උවද ඒ පිළිබද වූ සැබෑ හැඟීම් තේරුම් ගැනීමට අපහසුය. නමුත් මා දැන හඳුනන නිසාදෝ ඇගේ වික්ෂිප්තබාවය සැඟවීමට උත්සාහයක් ඇගෙන් පිළිඹිබු නොවීය.

අතරමගදී අප කතා බහ යෝමු වූයේද මෙම බෝම්බ ප්‍රහාරය ගැනමය, තරුණ පිරිසක් ඉලක්ක කරගනිමින් සිදු කල මෙම ප්‍රහාරය ගැන ඉතා කණගාටුව මුසු වූ කෝපයෙන් අදහස් දැක්වූ ඇය පැවසුවේ එවන් ක්‍රියාවන්හි යෙදෙන්නන් හට කිසිඳු සමාවක් හෝ ලිහිලක් නොපෙන්විය යුතු බවය.

සරණාගතයින් ලෙස මැදපෙරදිග සිට පැමිණෙන්නන් හරිහමන් ලෙස පරික්ෂාවකට ලක් නොවනතාක් මෙම තත්වය තව දුරටත් නරක අතට හැරෙනු මිස අවසානයක් දකින්නට නොලැබෙන බවට මා දැක්‌වූ අදහසට එකඟ වූ ඇය පැවසුවේ යුරෝපය පුරා පැතිර යන මෙම තත්වය පාලනය කිරීමට හැකිවේද යන්න සැක සහිත බවයි.

එමෙන්ම ලන්ඩන් සහ මැන්චෙස්ටර් බෝම්බ පිපිරවීමෙන් පසුව ජනාකීර්ණ උත්සව ආදියට සහබාගී වීම ගැන දෙවරක් සිතා බැලිය යුතු උවත් තමන් ජිවත් වන ආකාරය නොපෙනෙන දෙවියෙක් පසුපස යන අතලොස්සක් මිනිසුන් වෙනුවෙන් සිමා කිරීමට සුදානම් නැති බව ඇගේ අදහස විය. මෙම කතා බහ හැරෙන්නට බෝම්බ පිපිරවීම පිළිබඳ වෙනත් කතා බහක් කන්තෝරු කාල වෙලාව තුළ ඇති නොවූ අතර සියලු දේ සුපුරුදු ලෙසම ගලාගෙන ගියේය.

මේ අතර අරූ සහ ටික්කා හට කෙටි දුරකථන ඇමතුමක් දුන්නේ ඔවුන්හට කරදරයක් නැති බව සහතික කර ගැනීමටය. ටික්කා සම්බන්ධ කර ගැනීමට නොහැකි උවත් දැන් ස්ථිර පදිංචිකාරයෙකු වන අරූ සමග වූ සංවාදය මගින් රටතුළ තත්වය මාධ්‍ය වලින් දක්වන දෙයට වඩා තරමක් වෙනස් බව වටහා ගතිමි.

UK Police - Armedඑමෙන්ම එදින සන්ධ්‍යා වරුවේ රාත්‍රී අහාරයට පෙර ලිච්ෆීල්ඩ් නගරයේ යළිත් ඇවිදින්නට ගිය අප දුටුවේ අනපේක්ෂිත දසුනකි, වැඩිමනක් මිනිසුන් නොගැවසෙන නගරයේ ප්‍රධාන දේවස්ථානයට යන මාර්ගයේද (Lichfield Cathedral), කඩමණ්ඩිය පිහිටි නගර මධ්‍යයේද ආයුධ සන්නද්ධ පොලිස් භටයින් යුගලයක් රඳවා තිබුණි.

මින් පෙර කිහිප වරක් එක්සත් රාජධානියට අප පැමිණ තිබුණත් ඒ කිසිඳු වතාවක මෙලෙස පොලිස් නිලධාරීන් ස්වයංක්‍රීය ගිනි අවි වලින් සන්නද්ධව එළිමහනේ රාජකාරි කරනු දැක නැත. නගරයේ අරමුණකින් තොරව සැරිසරණ අප ඔවුන්ගේ නිරීක්ෂණයට හසු උවද ඔවුන්ගේ ඉලක්කය ත්‍රස්තවාදී ක්‍රියා මැඩලීම මිස සංචාරක පිස්සන් ඇල්ලීම නොවුණු නිසාවෙන් මෙම අවස්ථාවේ හෝ ඉන් පසුව කිසිඳු කරදරයක මුහුණ දීමට අපට සිදු වුයේ නැත.

මෙම බෝම්බ පිපිරීමත් සමගම රටෙහි ආරක්ෂාවට ඇති තර්ජනය ඉහළම තත්වයට (UK Threat Level) දමා ඇති බව පසුව දැන ගන්නට ලැබුණි. ජීවිත 52 කට මරු කැඳවමින් 2005 දී සිදු වූ ලන්ඩන් බෝම්බ ප්‍රහාරයෙන් පසුව ඇති වූ දරුණුම ප්‍රහාරය හේතුවෙන් ඒ ගැන පුදුම වන්නට කාරණයක්ද නැත.

Manchester Victoria Stationමෙම අවාසනාවන්ත සිදුවීමෙන් දෙසතියක් ඉක්ම යන්නට මත්තෙන් ඉන් විපතට පත් උදවියට සහන සැලසීමේ පරමාර්ථයෙන් විශේෂ සංගීත ප්‍රසංගයක් (One Love Manchester) අරියානා ග්‍රන්ඩේ ප්‍රමුඛ ගායක ගායිකාවන් රැසකගේ සහබාගිත්වයෙන් මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පවත්වන්නට යෙදුණි.

මෙම විනාශය සිදු වූ මැන්චෙස්ටර් ඇරීනා ක්‍රීඩාංගනය සහ එයට යටින් භූගතව පිහිටි මැන්චෙස්ටර් වික්ටෝරියා දුම්රිය පොළටද (Manchester Victoria Railway Station) අලාබහානි සිදු විය. එබැවින් සතියකට කිට්ටු කාලයක් තිස්සේ එම දුම්රියපොල නඩත්තු කටයුතු සහ පොලිස් පරීක්ෂණ සඳහා වසා දැමුණු බවටද පැවසුණ අතර ක්‍රීඩාංගනය නැවත විවෘත කිරීමටත් තවත් මාස කිහිපයක් ගත විය (සැප්තැම්බර් 9, 2017).

මතු සම්බන්ධයි !

~ කණ්ඩා

අනෙකුත් ලිපි :

 

පෙර ලිපි :

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ I කොටස ~ රැජින ආත්තම්මා වෙත ආදරයෙන් ලියමි !

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ II කොටස ~ A380 ය සහ සුද්දගේ ජර්මන් බෝම්බ !

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ III කොටස ~ බ්‍රමී නුවර සහ ලිච්ෆීල්ඩ්

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ IV කොටස ~ පෙන්ඩොලීනෝ, අණ්ඩග්‍රවුන්ඩ් සහ බෝම්බ

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ V කොටස ~ බුරන ස්ටේසම සහ දැවැන්තයෙක් හමුවීම !

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ VI කොටස ~ දෙගොඩහරි ජාමේ හිමකිරම, ගී අමා සහ පරිප්පු කතා !

Advertisements