Wordpress Help

පනින්න පෙර සිතා බලනු !

ලාංකිකයන් බොහෝ දෙනෙකුට “බ්ලොග්” (Blog) එකක් යනු කුමක්ද යන්න ගැන වැඩි වැටහීමක් නොමැති බව කණ්ඩා අත්දැකීමෙන් ලද මතයයි. එනිසා කොයිකටත් “කවුද බොලේ ඇලිස් ?” කියා අසන්නට කලියෙන් “බ්ලොග්” කියන්නෙ මොනවද ? “වර්ඩ්ප්‍රෙස් ” (WordPress) කියන්නෙ මොනවද ? කියල පැහැදිලි කරොත් බින්දුවේ ඉඳන්ම පටන් ගන්න උදවියට වඩාත් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා.

නමුත් මේක ගහ දන්නා අයට කොළ කඩා පෑමක් වගේ දැනෙනව නම් මේ ටික මග ඇරල කෙළින්ම “වදන්තද” හෙවත් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ II කොටසට යන්න 🙂 .

Blog / බ්ලොග් යනු කුමක්ද ?

what-is-a-blogබ්ලොග් අඩවියක් යනු අප විසින් පරිගණක හරහා එසේත් නැතිනම් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් කුරුටු ගාන්නට යෙදෙනා නොයෙක් ලිපි, කවි, කතා සහ ආදිය අන්තර්ජාලය ඔස්සේ පාඨකයන් වෙත රැගෙන යා හැකි ලෙස සකස් කර ගන්නා පුද්ගලික වෙබ් අඩවියක්. ඒ කණ්ඩාට බ්ලොග් අඩවියක් යනු කුමක්ද යන පැනයට දිය හැකි සරලම පිළිතුර.

දැන් ඒ ටික පැහැදිලි කරපු නිසා ඒ හා සම්බන්ධ අනිත් පාරිභාෂික වචන මාලාවත් කියලම පටන් ගන්න එක පසුවට වඩාත් ලෙහෙසියි. මේ සම්බන්ධයෙන් වැඩිදුර බ්ලොග් එකක් හදන තැනට එනකොට කියන්න කියන්න බැරිය.

  • Platform / ප්ලැට්ෆෝම් : බ්ලොග් අඩවි පවත්වාගෙන යන වෙබ් අඩවි මෘදුකාංග සේවාවන්/අඩවිය
  • Blogger / බ්ලොගර් : බ්ලොග් රචකයා/නිර්මාපකයා
  • Post / පෝස්ට් / ලිපිය : කිසියම් මාතෘකාවක් යටතේ වන ගද්‍ය, පද්‍ය හෝ වෙනත් අදහස් ප්‍රකාශ කරන ලියමනක්
  • Link / ලින්ක් / සබැඳිය : වෙනත් ලිපියක් හෝ බ්ලොග් අඩවියක් හා සම්බන්ධ කරන ආකාරය
  • Template / ටෙම්ප්ලේට් / ආකෘති : වෙබ් අඩවියේ ලිපි, තොරතුරු, සබැඳි ඉදිරිපත් කල හැකි මූලික සැකිල්ල
  • Follow / ෆලෝ / ලියාපදිංචි පාඨකයන් : බ්ලොග් අඩවියක ලියාපදිංචි වූ පාඨකයන් “ෆලොවර්ස්” (Followers) ලෙස හැඳින්වෙන අතර ෆලෝ (Follow) යනු එලෙස ලියාපදිංචි වීමයි
  • Archive / ආකයිව් : පැරණි බ්ලොග් ලිපි
  • Comments / කමෙන්ට්ස් / අදහස් දැක්වීම් : ලිපියක් සම්බන්දයෙන් අදහස් ප්‍රකාශ කිරීම
  • Share / ශෙයා / බෙදාහැරීම : ලිපියක් වෙනත් බ්ලොග් අඩවියක් හෝ සමාජ ජාලයක් හරහා බෙදා හැරිම

 

බ්ලොග් ඉතිහාසය

A-Brief-History-of-Bloggingබ්ලොග් අඩවියේ මුලාරම්භය ලෙස සැලකෙන්නේ 1994 වර්ෂයේදී ජස්ටින් හෝල් (Justin Hall) විසින් නිර්මාණය කරනා ලද Links.net නම් වෙබ් අඩවියයි. නමුත් ඔහු විසින් එක හඳුන්වන්නට යෙදුනේ තම පුද්ගලික වෙබ් අඩවියක් (Personal Homepage) වශයෙන් මිස “බ්ලොග්” යන නමින් නොවේ.

පසුව 1997 දී මෙවන් වෙබ් අඩවි හැඳින්වීම සඳහා “වෙබ් ලෝග්ස්” (Web Logs) යන වදන භාවිතයට පිවිසෙන්නේ “රොබෝ විස්ඩම්”(Robot Wisdom) නම් අඩවිය පවත්වාගෙන ගිය ජෝන් බාජර් (Jorn Barger) නම් පුරෝගාමී බ්ලොග්කරුවාත් සමගයි. (මේ ඔහු විසින් මුල් කාලයේ රචිත බ්ලොග් ප්‍රශ්නොත්තර එකතුවක් – Blogging FAQ).

මෙය තවත් ඉදිරියට ගෙන යමින් 1999 දී “පීටර් මර්හොල්ස්” (Peter Merholz) “වෙබ් ලොග්”යන්න වෙනුවට “වී බ්ලොග්” (Web Log > We Blog ) ලෙස භාවිත කරන්නට පටන් ගන්තා. පසුව එවන් විලියම්ස් (Ewan Williams) එහි අගින් බ්ලොග් (Blog) කියන කෑල්ල අරගෙන බ්ලොග් ලියන්නා යන අරුත ඇතිව තම ආයතනය (Pyra Labs) මගින් නිර්මාණය කළ බ්ලොග් ලියන්නටම හදාපු වෙබ් අඩවිය බ්ලොගර් (Blogger) ලෙස නම් කරා. වඩාත් කෙටිවදනක් නිසා බ්ලොග් යන්න වඩාත් ජනප්‍රිය උනා. බ්ලොග් ඉතිහාසය පිලිබඳ වැඩි විස්තර මෙතැනින්

මාතලන් ලොක්කත් මේ ටිකම කියල තියෙනවා කියා දැන ගත්තෙ පස්සෙ, අමාරුවෙන් කොටපු ටික මකල දාන්නයැ ? කොයිකෙ ? කොතනද ? කවුද කියල මතක නැතිමුත් කවුදෝ මන්ද කිව්වා “මැකුවොත් හිරේ” කියල, ඒ හන්ද කෝකටත් ලියපු දේ එහෙමම තිබ්බ. අහක ඉන්න අපි මොටද හිරේ යන්නෙ ? 🙂

අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වල පෙර ගමන්කරුවන් වන අප මේ මොනවා කිව්වත් බ්ලොග් පිළිබඳ රාමුවෙන් ඔබ්බට ගොස් කළ සැබෑ අර්ථ දැක්වීම්ද ඇති බව දත යුතුයි. හෙළයන්ගේ බ්ලොග් කෙරුවාව ගැන වඩාත් අපුරුවට හෙළුවෙන් වනා ඇති වර්ගපූර්ණිකාව ~ ලෝකයේ මුල්ම Blog එක හැදුවේ හෙළයින් බව Google පවසයි” ලිපියත් කියෙව්වේ නම් නැතිනම් එය මදිකමක්.

මේ අන්ත දෙකක අර්ථ දැක්වීමෙන් කොයිකද හරි ? මං දන්නෙත් නෑ, පොඩ්ඩක් හොයල බලන්න  🙂

 

බ්ලොග් අඩවි සහ වර්තමානය

wp-vs-bloggerදැනට බ්ලොග් අඩවි පවත්වාගෙන යන ජනප්‍රිය වෙබ් අඩවි මෘදුකාංග සේවාවන් හෝ ප්ලැට්ෆෝම් (Platform) කිහිපයකි, නමුත් ඉන් වඩාත් ප්‍රචලිත පහතින් දක්වා ඇති ප්ලැට්ෆෝම් ද්විත්වයයි.

WordPress.com – වර්ඩ්ප්‍රෙස් / දැනට ලොව වඩාත් ප්‍රචලිතම බ්ලොග් ප්ලැට්ෆෝම් එක වන මෙමගින් නොමිලයේ මෙන්ම මුදල් ගෙවා පවත්වාගෙන යන වෙබ් අඩවි නිර්මාණයට භාවිත වේ  භාවිත වේ. වර්ඩ්ප්‍රෙස් පිලිබඳ වැඩි විස්තර මෙතැනින්

Blogger.com – බ්ලොගර් / ගූගල් සමාගම මගින් පවත්වාගෙන යන මෙම අඩවිය අන් බොහොමයක් ගූගල් සේවාවන් සේම නොමිලයේ සේවා සැපයෙන්නකි. බ්ලොග් අඩවි පවත්වාගෙන යාම සඳහා පහසුකම් ලබා දෙනු ලබයි. බ්ලොගර් පිලිබඳ වැඩි විස්තර මෙතැනින්

මෙයට අමතරව ටම්බ්ලර් (Tumblr), ට්විටර් (Twitter) වැනි කෙටි බ්ලොග් (Micro Blogging) මෘදුකාංගද ෆෙස්බුක් (Facebook) වැනි සමාජ ජාලයන්ද (Social Media Networks) ඇත. එමෙන්ම ප්‍රධාන බ්ලොග් අඩවි වලට හිමිව තිබුණු ස්ථානය පසුව ආ කෙටි බ්ලොග් සහ සමාජ ජාලයන් වැනි වඩාත් ප්‍රචලිත මාධ්‍ය වලින් සොරාගෙන නිසාවෙන් බ්ලොග් වලට සිදුව ඇති කන කොකා හැඬිම ගැන සියල්ල විස්තර කරන්නට කාලය සහ ඉඩ හසර මේ ලිපියේ මදිය.

 

නෙදකින් වර්ඩ්ප්‍රෙස් *** !!!

Wordpress-Sucksඅප සැම සුද්දා දීපු ඉංගිරීසි යතුරු පුවරුවෙන් කෙටුවත් හෙළුවෙන් වනනා විට කොන්දොස්තර “බස් පලුව” වන්නා යම් සේද “වර්ඩ්ප්‍රෙස්” යන්න”වදන්තද” බවට පෙරලෙන්නේය.

එමෙන්ම වර්ඩ්ප්‍රෙස් යනු එතෙක් මෙතෙක් සිටි සිංහල බ්ලොග්කරුවන් බහුතරයක් විසින් අලුයම ඉවත ලූ කෙළ පිඩක් සේ මහත් පිළිකුලෙන් යුතුව බැහැර කරනා ලද මාතෘකාවක් බව පැවසිය යුතුමය. ලොව පුරා මිලියන 75 කට අධික වෙබ් අඩවි සංඛ්‍යාවක් ඇතුළත් මෙය වෙනත්බ්ලොග් කරුවන් අතර කොතෙකුත් ජනප්‍රිය උවත්  ලාංකීය බ්ලොග්කරුවන් අතර ප්‍රචලිත නැත.

එනිසාම කිසිවෙක් වර්ඩ්ප්‍රෙස් වෙබ් අඩවි නිර්මාණයට දිරි ගන්වනු හෝ උදව් ලබා දෙනු දකින්නද නොහැක. ලිපිය අනවශ්‍ය ලෙස දිග් ගැස්සීමට වටිනා හේතුවක් නොවන නිසා “ඒ ඇයි ?” යන්න ගැන වෙනම ලිපියක් මගින් සාකාච්ඡා කරන්නට තබා වදන්තද ගැන හොඳ / නරක කෙටියෙන් දැක්වීම වඩාත් යෙහෙකි බව කණ්ඩාට සිතේ.

හොඳ

  • සිත් ගන්නා සුළු ටෙම්ප්ලේට් (Template) හෙවත් ආකෘති / සැකිලි
  • ඇස් ඇදගන්නා සහ රඳවා ගන්නා පෙනුම (Look & Feel)
  • බ්ලොග් අඩවි කළමණාකරණයේදී උදව් වන විවිධ මෙවලම් (Management Tools)
  • විවිධ මාධ්‍ය (පින්තූර, වීඩියෝ සහ ලිපි) හැසිරවීමේ පහසුව (Content Management)
  • බ්ලොග් අඩවිය/ලිපි පිළිබඳ සංඛ්‍යා ලේඛණ (Statistics)
  • නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම (Regular Updates)
  • ජංගම දුරකථනයෙන් බ්ලොග් කියවන /ලියන ඇන්ඩ්‍රොයිඩ් (Android) සහ iOS ඇප් (Mobile Apps)

නරක

  • කමෙන්ට් කිරීමේ අපහසුතාවයන් *
  • වර්ඩ්ප්‍රෙස් ඉගෙන ගැනීමට ඇති සිංහල පහසුකම් මද බව
  • සිංහල වර්ඩ්ප්‍රෙස් වෙබ් අඩවි සෑදීම ඉගැන්විමට සමත් / කැමති උදවිය දුලබ වීම
  • සිංහල බ්ලොග්කරුවන් අතර අතර දැඩි වර්ඩ්ප්‍රෙස් විරෝධයක් / අසාත්මිකතාවයක් පැවතීම
  • එනිසා වර්ඩ්ප්‍රෙස් ඇතැමෙක් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවි වර්ජනය
  • වර්ඩ්ප්‍රෙස් බ්ලොග්කරුවන්ගේ නිහඬතාවය
  • කමෙන්ට් කිරීමේ දුෂ්කරතාවයන් ~ මේ සඳහා තාක්ෂණික ගැටළු යම් පමණකින් බල පෑවත් ඉන් එහාට ගිය පුද්ගල කැමැත්ත සහ වර්ඩ්ප්‍රෙස් වෙබ් අඩවි භාවිතය ගැන ඇති දැනුමේ මදකම / වෙනස් යමක් කිරීමට අකමැත්තද තදින් බල පාන බව කණ්ඩාගේ පුද්ගලික මතයයි.

කණ්ඩා කියවන පහත වදන්තද බ්ලොග් අඩවි සඳහා කමෙන්ට් දැමීමේදී කිසි දිනෙක අපහසුතා වලට මුහුණ දී නැත.

සැලකිය යුතුයි : කණ්ඩාගේ අඩවිය මෙන්ම ඇතැම් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවි වල මැස්සන් ඇහිරෙන බැවින් ඔබ වර්ඩ්ප්‍රෙස් අඩවියක් සාදා ගැනීමට පෙර ඒ ගැන දෙවරක් සිතීම වැදගත්ය. එම වගකීම සහ තීරණය ඔබ සතුය. 

බ්ලොග් සාදා ගැනීමට පෙර සැලකිය යුතු දේ

Platform Selectionවාණිජමය පරමාර්ථයන් ඇතිව විශේෂ සේවාවන් සඳහා මුදල් ගෙවා පවත්වාගෙන යන විවිධ ක්ෂේත්‍රයන් සඳහා විශේෂිත වූ “ප්‍රොෆෙෂනල් බ්ලොග්” (Professional Blogs) බ්ලොග් අඩවි ඇත. නමුත් මෙම ලිපිපෙළ තුළින් කණ්ඩාගේ අරමුණු කරන්නේ නොමිලේ පවත්වාගෙන යා හැකි කණ්ඩා වැනි කබ්බන් වෙලාව කා දැමීම උදෙසා අන්තර් ජංජාලේ බල්ටි ගසන බොහොම සැහැල්ලුවෙන් ලියන කියන දෑ අඩංගු “කැෂුවල් බ්ලොග්” (Casual Blog) අඩවියක් නිර්මාණය කර ගන්නා ආකාරය ඉදිරිපත් කිරීමට බව කරුණාවෙන් සලකන්න.

 

පියවර 1 : නමක් තෝරා ගැනීම

නමක් තෝරා ගැනීමේදී පහත දේ  ගැන සැලකිලිමත් වන්න

  • මතකයේ පවතින පෙර භාවිතා නොවූ නමක් තෝරා ගැනීම
  • දිග සහ ඉංග්‍රීසියෙන් / සිංහලෙන් යතුරුලියනයට අපහසු නම් වලින් ඈත් වීම
  • හැකිතරම් ආවේණික සහ සුලභ නොවන නමක් යෙදීම
  • තමන් ලියන්නට අවැසි ක්ෂේත්‍රයට හෝ මාතෘකා වලට ගැලපෙන නමක් වීම
  • කාලයත් සමග වෙනස්වීම් වලට ගැලපෙන නමක් වීම

නමක් හොයාගන්න අමාරුම නම් අර බබාලට සල්ලි පූජ කරලා නම් තියන කට්ටිය පස්සේ යන්න එපා, දන්නා කියන කෙනෙක් එක්ක කතා කරලා තීරණයක් ගන්න 🙂

 

පියවර 2 : ගැලපෙන බ්ලොග් මෘදුකාංගයක් (Blogging Platform) තෝරාගන්න

ගෙයක් හදද්දී ශක්තිමත් අඩිතාලමක් අවශ්‍ය වනවා සේම බ්ලොග් අඩවියක් සෑදීමේදීද වඩා ස්ථාවර සහ සෑහීමකට පත්විය හැකි සේවාවක් තෝරා ගැනීම අවශ්‍යය.

එමෙන්ම ඔබට සහ ඔබගේ බ්ලොගයේ ඉදිරි පැවැත්ම සඳහා සහය වෙන, ඔබේ හැකියාව සහ රුචිකත්වයට සරිලන මෘදුකාංගයක් තෝරා ගන්න. අකමැත්තෙන් පටන් ගන්නා දේවල් සඳහා ආයුෂ අඩු බැවින් හැකි තරම් මේ ගැන කියවා / දන්නා අයගෙන් අසා දැන ගැනීම වැදගත්.

මේ පිළිබඳ විමසන පුද්ගලයා මත ඔබට ලැබෙන පිළිතුර වෙනස් විය හැකි බැවින් පාර්ශව කිහිපයකින් මේ ගැන විමසීමට වග බලා ගන්න.

වර්තමානයේ මෙම ගැටලුවට පිළිතුර බ්ලොගර්, වර්ඩ්ප්‍රෙස්, ෆේස්බුක්, ටම්බ්ලර් හෝ වෙනත්ම මෘදුකාංගයක්ද විය හැක.

 

පියවර 3 : තෝරා ගත් මෘදුකාංගය (Platform) භාවිතා කරන ආකාරය ඉගෙන ගන්න

මේ සඳහා වෙනත් බ්ලොග් ලිපි, සමාජ ජාල ඔස්සේ පවත්වාගෙන යන මිතුරු සමූහ වල පලවෙන ලිපි හෝ යු-ටිටුබ් (Youtube) හි ඇති වීඩියෝ වල පිහිට ලබා ගත හැකිය. මෙම ලිපි පෙළ ලියවෙන්නේද වර්ඩ්ප්‍රෙස් සම්බන්ධයෙන් ඇති අධ්‍යාපනික ලිපි වල අඩුව පිරවීමටය.

බ්ලොගර් සම්බන්ධයෙන් කණ්ඩාට වඩා ඒ ගැන දන්නා කියන බ්ලොගර් කප්පිත්තො ඉන්නව, ඒ අය හදාපු බ්ලොගර් පාඩම් හොයාගන්න පුළුවන් විදිහට වෙනම ලිපියක් හැදුවා පහත සබැඳියෙන් එතනට යන්න පුළුවන්.

 

පියවර 4 : තේමාවක්/ආකෘතියක් (Template) තෝරා ගැනීම

ආපහු ගෙයක් හැදීම ගැන කල්පනා කරමු, අපි ගෙයක් හදද්දී අනිවාර්යයෙන්ම ප්ලෑන් එකක් නැතිනම් සැලැස්මක් හදනවා. අපේ පහසුවට බ්ලොග් සඳහාත් විවිධ ක්ෂේත්‍රයන් වලට ගැලපෙන පෙර නිර්මාණය කළ බ්ලොග් සැලැස්මවල් හෝ ආකෘති තියනවා. ඒ නිසා හැම දේම බින්දුවේ ඉඳන් පටන් ගන්න  අවශ්‍ය නැහැ.

ඔබේ රුචිකත්වය වගේම බ්ලොග් ලිපි කියවන නැතිනම් පාඨකයන්ගේ පහසුව සලසන ආකෘතියක් තෝරා ගැනීම, මේ සම්බන්ධයෙන් පහත දේ ගැන සැලකිලිමත් වන්න.

  • ඇස් නිලංකාර වෙන දීප්තිමත් වර්ණ හෝ ඉතාමත් අඳුරු වර්ණ, එකිනෙක නොගැලපෙන වර්ණ භාවිතයෙන් වැළකීම
  • අකුරු වල විශාලත්වය සහ වර්ණ කියවීමට පහසු ඒවා වීම
  • අත්‍යවශ්‍ය උපාංග වන මෙනු (Menu) සහ සබැඳි (Link), ෆ්ලොවර් (Follower), පැරණි ලිපි (Archive),  සෙවීම පහසු කරන වර්ගීකරණයන් සහ යතුරු පද  (Categories & Keywords) සහ සෙවුම් මෙවලම් (Search Facilities) යනාදිය නිසි පරිදි ස්ථානගත වීම

 

මතුසම්බන්ධයි

~ කණ්ඩා !

 

අනෙක් ලිපි :