වර්ඩ්ප්‍රෙස් ගිණුම් සහ බ්ලොග් අඩවි ලිපින
අද ලිපියෙන් කණ්ඩා විස්තර කරන්නට බලාපොරොත්තු වන්නේ නොමිලයේ සපයන වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් සෑදීමේ මුල් පියවර වන වර්ඩ්ප්‍රෙස් ගිණුමක් විවෘත කර බ්ලොග් අඩවිය වෙනුවෙන් වෙබ් ලිපිනයක් (Web Address) වෙන් කරගන්නා හැටියි.
සාදන්නට බලාපොරොත්තු වන බ්ලොග් අඩවියට “මගේ පන්තිය” (Mage Panthiya) යන නම ලබා දෙන්නෙ අන්තර්ජාලේ තිබ්බත් මේකත් එක්තරා ආකාරයක පන්තියක් නිසා 🙂
මෙහිදී නොමිලයේ සැපයෙන සේවාවක් යොදා ගන්නා නිසා අපට ලැබෙන වෙබ් ලිපිනය වර්ඩ්ප්‍රෙස් වෙබ් අඩවියේ අනු අඩවියක් ලෙස තමයි ලැබෙන්නෙ, ඒ වගේම ඇතැම් වෙලාවට බලාපොරොත්තු වන ලිපිනය නොලැබෙන්නත් ඉඩ තියනවා, ඒ ගැන වැඩි විස්තර පස්සට.
උදා : MagePanthiya.com වෙනුවට MagePanthiya.WordPress.com ලෙස තමයි ලිපිනය සැකසෙන්නෙ
මෙම ලිපි මාලාව අවසානයේ එම නමට ගැලපෙන ලිපි පල කරන්නට, බ්ලොග් අඩවිය පවත්වාගෙන යාමට කැමති අයෙක් වෙත ලබා දීමට කැමතියි. ඒ කණ්ඩාගේ මහන්සිය සහ කාලය අපතේ ගියේ නැහැ කියල හිත හදා ගන්න. ( අයිසෙ … කාලය කියන්නේ සල්ලි … ! ඒ කෑල්ල තිබ්බේ පරණ ඇඩ් එකකද කොහෙද ?
එහෙනම් ඔක්කොම හරිනෙ ? ඤාව්වා … පුරුපුරු වැඩේ පටා …….. න් ගමු ! (ඒ කෑල්ල නම් ෂුවර් එකටම ටයි මාමගෙන්)
1 පියවර – ජීමේල් (Gmail) ගිණුමක් සුදානම් කරගන්න
මෙය ඔබගේ බ්ලොග් අඩවියට පිවිසීමට (Login) මෙන්ම සහෝදර බ්ලොග්කරුවන් සහ පාඨකයන් සමග අදහස් හුවමාරුවට (E-mail Communication), බ්ලොග් අඩවියෙන් එන පණිවිඩ ලබා ගැනීම සඳහාත් (Notifications) භාවිත කරනවා.
මේ සඳහා ජී-මේල් ගිණුමක් නිර්දේශ කරන්න අනෙක් හේතුව සෑම ගිණුමක් සමගම ගූගල් සමාගම මගින් නොමිලයේ ලබාදෙන ජී-ඩ්‍රයිව් / ගූගල් ඩ්‍රයිව් (Google Drive) සහ ගූගල් ඇප්ස්/ගූගල් ස්වීට් (Google Apps/Suite) පහසුකම්. ඒවායේ වැදගත්කම පසුවට කතා බහ කරමු.
බ්ලොග් අඩවිය හදන්නට කලියෙන් කණ්ඩා ගූගල් මගින් නොමිලයේ ලබාදෙන ඊ-මේල් පහසුකම් ලබා දෙන ජී-මේල් ගිණුමක් ඇරඹුවත් අවාසනාවට ඒකෙ පින්තූර ගන්න අමතක උනා 😦
මගේ මූලික අරමුණ බ්ලොග් අඩවියක් හදන්න කියා දෙන එක මිස ජී-මේල් ගිණුමක් හදන්න කියා දෙන එක නොවෙන නිසා ඒක මෙතන දාන්නේ නැහැ. අවශ්‍යම නම් පස්සෙ ඒ ගැන ලිපියක් ලියල මේකටම අමුනන්නම් 🙂
බ්ලොග් අඩවිය හදන්නට බලාපොරොත්තු වන නමින්ම ජී-මේල් ගිණුමත් හදන එක තමයි හොඳම විදිහ, හේතුව එය අඩවියේ ප්‍රවර්ධන කටයුතු සහ අදහස් හුවමාරු කිරීමේදී අන් අයට මතක තබා ගැනීම පහසුවක් වන නිසා.
නමුත් ඔබ සතුව දැනටමත් ජී-මේල් ගිණුමක් තිබෙනවා නම්, එය මේ සඳහා යොදා ගැනීමට බාධාවක් නැහැ.
වැදගත් වන්නේ :
- මෙය ඔබේ පුද්ගලික ජී-මේල් ගිණුමක් නම් එය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම හෝ වෙනත් අයෙකුට ලබා දීමට ඔබ දක්වන කැමැත්ත / අකමැත්ත ( මෙය තනිකරම පුද්ගලික තීරණයක් ! )
- අලුතින් ජී-මේල් ගිණුමක් හදන්න විනාඩි පහක්වත් නොගියට ඒ සඳහා තියෙන කම්මැලිකම 😀
- ජී-මේල් ගිණුම් කිහිපයක් පවත්වාගෙන යාම සඳහා ඔබට ඇති පහසුව/අපහසුව ( ඒ හැටි අපහසුවක් නම් නැහැ 🙂 )
මොන දේකට උනත් හැම තිස්සෙම පනින්න පෙර දෙවරක් හිතා බලන්න, ඔබ සිතන විදිහ කොහොම උනත් මේ ගැන අවසාන තීරණය ඔබට බාරයි 🙂
2 පියවර – වර්ඩ්ප්‍රෙස් අඩවියට පිවිසෙන්න
ඔබේ බ්‍රව්සරයට www.wordpress.com වෙබ් ලිපිනය ඇතුළත් කරමින් වර්ඩ්ප්‍රෙස් වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. එහිදී ඔබත් කණ්ඩා මෙන් ඉංග්‍රීසි භාෂාවට මුල් තැන හිමි නොවනා කලාපයක වාසය කරන්නේ නම් ඉහත දැක්වෙන පරිදි ඔටු බසින් හෝ වෙනත් අපබ්‍රන්ස බසකින් නිමවූ වෙබ් අඩවියකට පිවිසුනොත් කලබල නොවන්න.
කලබලය කොරොස් කටේ අත දමා ගැනීම පමණක් නොව තවත් බොහෝ දේ සඳහා නොගැලපෙන බව කණ්ඩා අත්දැකීමෙන් තේරුම්ගෙන ඇත. ඉන් කණ්ඩා පාඩමක් ඉගෙන ගත්තේ නැතත් දැන් අනිත් අයට කෙලින් යන්නට කියා දෙන්නට හැකිය.
* සැලකිය යුතුයි : වෙබ් අඩවියේ පෙන්වන භාෂාව ඉංග්‍රීසි නම් පහත දැක්වෙන පියවරයන් 3 සහ 4 මගහැර කෙලින්ම 5 වැනි පියවර වෙත යන්න.
3 පියවර – වෙබ් අඩවියේ භාෂාව වෙනස් කරන්න
කලබල නොවී වෙබ් පිටුවේ කෙළවර හමු වන තෙක් පහළටම ගමන් කරන්න. භාෂාව වෙනස් කිරීම සඳහා පහත රූපයේ දක්වා ඇති ආකාරයට වර්ඩ්ප්‍රෙස් ලාංඡනයට යටින් ඇති මෙනූව ක්ලික් කරන්න.
4 පියවර – භාෂාව ලෙස ඉංග්‍රීසි තෝරා ගන්න
භාෂාවන් ලැයිස්තුවෙන් ඉංග්‍රීසි භාෂාව තෝරා ගන්න.
දන්නවා නම් ප්‍රංශ, අපබ්‍රංස, ස්පාඤ්ඤ හෝ චීන උවත් කම් නැත, නමුත් නොදන්නවා නම් දනා සුද්දාගේ බාසාව වඩා හොඳය 🙂
5 පියවර – නොමිලයේ බ්ලොග් අඩවියක් සදා ගැනීම තෝරා ගන්න
භාෂාව දන්නා ඉංගිරිසියට මාරු කළ පසු නැවතත් වෙබ් පිටුව කෙලවර තෙක් පහතට ගොස් “Start with free” සබැඳිය (ලින්ක් – Link) මත ක්ලික් කරන්න.
6 පියවර – ගිණුමට ලොග් ඉන් (Log In) වන්න
ගිණුමට ඇතුළු වීම සඳහා “Log in” සබැඳිය මත ක්ලික් කරන්න.
7 පියවර – ගූගල් ගිණුම භාවිතා කර ඉදරියට යන්න
ජී-මේල් ගිණුම භාවිතා කර ඉදිරියට යාම සඳහා “Continue with Google” සබැඳිය මත ක්ලික් කරන්න.
8 පියවර – භාවිත කළයුතු ජී-මේල් ගිණුමතෝරන්න
ඔබගේ ජී-මේල් ගිණුම් අතරින් භාවිත කළයුතු ගිණුම තෝරා එය මත ක්ලික් කරන්න.
9 පියවර – බ්ලොග් අඩවිය පිලිබඳ වැඩිදුර තොරතුරු ඇතුළත් කරන්න
පහත දැක්වෙන තොරතුරු පිළිවෙළින් ඇතුළත් කර “Continue” බොත්තම ඔබන්න
- බ්ලොග් අඩවියේ නම
- බ්ලොග් අඩවියේ අන්තර්ගතය
- බ්ලොග් අඩවිය භාවිත කරන්නේ කුමක් සඳහාද යන්න
10 පියවර – ඔබ කැමති බ්ලොග් අඩවි ලිපිනය ඇතුළත් කරන්න
ඔබගේ බ්ලොග් අඩවිය සඳහා ලබා ගැනීමට කැමති ලිපිනය ඇතුලත් කරන්න. (කැමැත්ත සහ ලැබීම යනු දෙකකි 😀 )
11 පියවර – බ්ලොග් අඩවිය ලිපිනය තෝරා ගන්න
ඔබ කැමති වෙබ් අඩවි ලිපිනය ඇතුලත් කළත්, නොමිලයේ ලැබෙන බ්ලොග් පහසුකම් වලදී ඔබට ලැබෙනුයේ එයට කිට්ටුවෙන් ලැබෙන වෙබ් ලිපිනයක් පමණි.
ඔබට අවැසි නම ඒ අකාරයෙන්ම ලබා ගැනීමට නම් ඒ සඳහා වෙබ් අඩවි නාමයක් මුදල් ගෙවා වෙන් කර ගැනීම මෙන්ම මුදල් ගෙවන වර්ඩ්ප්‍රෙස් සේවාවක් සඳහා මාරු වීමද කළ යුතුය.
මෙහිදී ඇතැම් විට ඔබට නොමිලයේ ලැබෙන නම ඉදිරියෙන් “875875” වැනි අහඹුඅංක පේලියක් සහිත ලිපිනයක් ලැබීමද සිදුවිය හැක. එවිට ඔබ තෝරා ගත් නම මදක් වෙනස් කර බැලීමෙන් අංක රහිත වෙබ් ලිපිනයක් ලබා ගත හැකිවනු ඇත.
උදා :
මුලින් කැමති නම ලෙස MagePanthiya ඇතුලත් කළ විට MagePanthiya87587 ලැබුනේ නම් නැවත කැමති නම ලෙස Blog යන වදන අගට එකතු කරන්න (MagePanthiyaBlog). මෙම අවස්ථාවේදී කණ්ඩා හට එම නම හිමිවිය. මෙලෙස තමන් සෑහීමකට පත්වන තෙක් විවිධ ආකාරයෙන් කැමති නම වෙනස් කර බලන්න.
කණ්ඩාගේ බ්ලොග් අඩවි ලිපිනයේ නම අගට KandasColumnBlog.com කෑල්ලක් ඔබන්නට සිදු වූයේද මේ හේතුව නිසාමය.
මෙයත් සැබෑවටම ජීවිතය වගේය, හොඳ දේවල් නොමිලයේ ලැබෙන්නේ නැත, තමන් කැමති දේ හැමවිටම ලැබෙන්නේද නැත. අනික හැමවිටම අපට අවශ්‍ය හැමදේම ඉටු උනා නම් අපි සියල්ල රජවරුය 😀
ඉතිං නිකන් හම්බවෙන අස්සයගේ දත් ගනින්නෙ නැතුව හිත අදහිරිය නොවී පුළුවන් ආකාරයට සාක්කුවවත් බේරගෙන ඉස්සරහටම යමු !
12 පියවර – නොමිලයේ ලබාදෙන වර්ඩ්ප්‍රෙස් සේවාව තෝරා ගන්න
5 වැනි පියවරේදී නොමිලයේ සපයන සේවාවක් සඳහා අයදුම් කළද වදන්තදයට එය අමතක නිසාදෝ නැවතත් ඒ ගැන විමසුවත් එක සිත් ඇතිව නොමිලයේ දෙන සේවාවම තෝරා ගන්න. “Start with Free” ක්ලික් කරන්න.
කෙතරම් කාසි පනම් ඉල්ලුවත් අනවශ්‍ය ලෙස වියදම් කිරීම අවශ්‍යම නැත 🙂
13 පියවර – මේ අවසාන පියවරයි, ඉදිරියට යන්න
බ්ලොග් අඩවියක් සෑදීමට අවැසි ගිණුමක් විවෘත කිරිම සඳහා වන අවසාන පියවර මෙයයි. “Continue” බොත්තම ක්ලික් කරන්න.
14 පියවර – ඔබගේ වර්ඩ්ප්‍රෙස් ගිණුම සුදානම් !
ඔබගේ වර්ඩ්ප්‍රෙස් ගිණුම දැන් භාවිතයට සුදානම්, නමුත් අප තවමත් බ්ලොග් අඩවියක් සකස් කිරීමට අවශ්‍ය අනෙකුත් දේ සිදු කර නොමැති නිසා ඒගැන වැඩි විස්තර මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.
මතු සම්බන්ධයි
~ කණ්ඩා !
අදාල අනෙකුත් ලිපි :
- වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ I කොටස ~ පනින්න පෙර සිතා බලනු
- වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ III කොටස ~ බ්ලොග් අඩවියක ආකෘතිය (Theme)
- වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ IV කොටස ~ සයිඩ් බාර් (Sidebar) සහ විජට් (Widget)
- කුරුටු ගෑමේ දුෂ්කරක්‍රියා
- වදන් තදයට එරෙහි බ්ලොගර් යුද්ධය සහ අටමා ~ Blogger Vs WordPress War & Atam !
- බ්ලොගර් වෙබ් අඩවියක් සාදා ගනිමු
සැප්තැම්බර් 24, 2018 at 7:47 ප.ව.
“ආදරේ අහස තරම්”👍👍😃
ඔහොම දිගටම ලියමු………
පින්තූර ටික නම් හොදට පැහැදිලියි .
👍👍👍
ඕකේ Layout ,Theme එක එක ගැජට් කෑලි ගැන වැඩි ව්ස්තරයක් දාන්න .මමත් එකක් හදන්න ගිහිල්ලා එතනදී හිරවුනා.
කොහේද මුන් සල්ලි ඉල්ලනවා නේ ඒවට 😂😂
කැමතියිLiked by 1 person
සැප්තැම්බර් 25, 2018 at 9:46 පෙ.ව.
බොහොමයක් දේවල් නොමිලේ කරන්න පුළුවන්. මීළග ලිපියකින් ඒ ගැන කියල දෙන්නම්
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 2, 2018 at 1:52 ප.ව.
🙏 හරිම අපුරුවට කියා දිලා තියෙනවා බ්ලොගර් එකත් එක්ක සසදන්න …
වඩා සුවපහසු මේකද?
කැමතියිLiked by 2 people
ඔක්තෝබර් 2, 2018 at 2:17 ප.ව.
පුද්ගලික තේරීමක් වශයෙන් මම වර්ඩ්ප්‍රෙස් ප්‍රිය කරනවා. ටෙම්ප්ලේට්, නිතර යාවත්කාලීන වෙන අඩවියේ පහසුකම් සහ වර්ඩ්ප්‍රෙස් මොබයිල් ඇප් නිසා මට එය වඩාත් ගැලපෙනවා.
බ්ලොගර් සහ වර්ඩ්ප්‍රෙස් දෙකෙන්ම බ්ලොග් ලියන්න පුළුවන්. නමුත් වර්ඩ්ප්‍රෙස් භාවිත කරන සිංහල බ්ලොගර්ස්ල බොහොම අඩුයි. ඉදිරියේදි පාඩම් ඉවර උනාම මේ ගැන සැසඳීමක් ඉදිරිපත් කරන්නම්.
කැමතියිකැමතියි