Widget Examples - Kanda

සයිඩ් බාර් (Sidebar) සහ විජට් (Widget)

කණ්ඩාචාර්යතුමාගේ අද බ්ලොග් පාඩම වෙන් වෙන්නෙ බ්ලොග් අඩවියක පැති තීරුව නැතිනම් සයිඩ් බාර් (Sidebar) එක සකස් කර ගැනීම සඳහා. කණ්ඩා මෙම ලිපියට තෝරා ගත් ආකෘතිය මත මෙය වෙබ් පිටුවේ දකුණු පසින් දිස් උවත්, ඔබ තෝරා ගත් ආකෘතිය (Theme) අනුව මෙය වම් හෝ දකුණු පසින් තිබිය හැකියි. නමුත් එය අප ඉගෙනීමට යන දේ සඳහා බාධාවක් නෙමෙයි. සයිඩ් බාර් එක අපට අවශ්‍ය පරිදි සකස් කර ගැනීමට අප විජට් (Widget) නම් කුඩා මෘදුකාංග කොටස් භාවිත කරනවා.

ඉහළින් දැක්වෙන්නේ කණ්ඩාගේ බ්ලොග් අඩවියේ සයිඩ් බාර් එක සහ එතුළ විජට් භාවිතා කර ඇති ආකාරයයි. එමගින් ඔබට මෙතෙක් විස්තර කළ දේ වඩාත් පැහැදිලි වනු ඇතැයි සිතනවා.

විජට් (Widget) යනු කුමක්ද ?

මුලින්ම කියන්න අවශ්‍යයි විජට් එකක් කියන්නෙත් කුඩා මෘදුකාංගයක්. එවන් මෘදුකාංග සෑදීමේදී හැම විටම පාහේ එය භාවිත කරන්නට සැකසූ එක කාර්යක් පමණක් සඳහා විශේෂිත වෙනවා, ලොවින් අයෙක් එක් දේකට වෙයි සමත වගේ තමයි. නමුත් දැනට ඇති විවිධ විජට් සැලකූවම එය කැලැන්ඩරයක්, පින්තූරයක්, වීඩියෝවක් පෙන්වීම වැනි සරල කාර්යන්ගේ (Functions) සිට ෆේස්බුක්, ට්‍විටර්, ඉන්ස්ටග්‍රම් වැනි විවිධ සේවා (Service) පහසුකම් ලබා දීම දක්වා පුළුල් පරාසයක තියනවා.

වර්තමානයේ විජට් වර්ඩ්ප්‍රෙස්, බ්ලොගර් වැනි වෙබ් අඩවි වල වගේම ජංගම දුරකථන වලත් බහුලව භාවිත වෙනව. යම් විජට් එකකින් සිදු කර ගන්නා කාර්ය හෝ ලබා ගන්න සේවාවට අමතරව ඉන් ලැබෙන අනිත් වාසිය තමයි මෙම විජට් බ්ලොග් අඩවියක ස්ථානගත කිරීම හෝ ඉවත් කිරීමට එම වෙබ් අඩවිය හෝ ජංගම දුරකථනය භාවිත කරන පුද්ගලයාගේ කැමැත්ත අකමැත්ත මත කළ හැකි වීම (Personalization).

උදාහරණයක් වශයෙන් අප වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියේ ඇති විජට් එකක් ගතහොත් එහි ඇඩ්මින්වරයාට එය පැති තීරුවේ හෝ පාදමේ (Footer) ස්ථානගත කළ හැකි වනවා මෙන්ම එය අනවශ්‍ය යයි සිතුනොත් එය ඉවත් කිරීම මෙන්ම පසු කාලයකදී නැවත ඇතුළත් කිරීමද කළ හැකියි.

සැලකිය යුතුයි : බ්ලොගර්හි (Blogger) ගැජට් (Gadgets) ලෙස හැඳින්වෙන්නේද මෙම උපාංගයන්මය

 

වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියේ ඇති විජට්

නොමිලයේ ලැබෙන වර්ඩ්ප්‍රෙස් සේවාවත් සමග විජට් 40 කට අධික ප්‍රමාණයක් ලබා දෙනවා. කණ්ඩා කැමතියි මෙම විජට් පහත අයුරින් වර්ග කරන්න.

  • අත්‍යවශ්‍ය විජට් (Essential Widgets)

    • Authors – බ්ලොග් අඩවියේ කතෘවරුන් පිළිබඳ විස්තර
    • Recent Posts – අලුත් ලිපි
    • Search – සෙවීමේ පහසුකම්
    • Top Posts and Pages – වඩාත් ප්‍රචලිත ලිපි
    • Categories – ලිපි වර්ගීකරණයන්
    • Tag Cloud – යතුරුපද
    • Archives – පැරණි ලිපි
  • පාඨකයන් හා සම්බන්ධ විජට් (Follower Widgets)

    • Follow Blog – වර්ඩ්ප්‍රෙස් පාඨකත්වය ලබා දීම
    • Follow Button – ඊ-මේල් මගින් වර්ඩ්ප්‍රෙස් පාඨකත්වය ලබා දීම
    • Links – කැමති බ්ලොග් එකතුව
    • Blogs I Follow – පාඨකත්වය දරන වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකතුව
  • සමාජ ජාල හා බැඳුනු විජට් (Social Network Widgets)

    • Facebook Page Plugin – ෆේස්බුක් සම්බන්ධතාවය
    • Twitter Time Line – ට්විටර් සම්බන්ධතාවය
    • Instagram – ඉන්ස්ටග්‍රම් සම්බන්ධතාවය
    • Flickr – ෆ්ලිකර් සම්බන්ධතාවය
  • අවශ්‍යතාවය මත භාවිත කළ හැකි විජට් (Other useful Widgets)

    • Blog Stats – බ්ලොග් කවුන්ටරය (Blog Counter) / ලිපි කියවූ පාඨකයන් සංඛ්‍යාව
    • Gallery – පින්තූර එකතු
    • Image – පින්තූර
    • Text – අනෙකුත් පණිවිඩ සහ විස්තර ලබාදීම
    • Contact Info & Map – ඔබ හා සම්බන්ධ වීමට අවැසි විස්තර සහ ඔබ ඉන්නා රට/ප්‍රදේශ සිතියම
    • Video – වීඩියෝ

ඉහත සඳහන් කළේ වැදගත් යයි සිතුනු විජට් පමණයි, ඒ ඇරෙන්න මෙම ලිපිය මගින් වර්ඩ්ප්‍රෙස් විජට් සියල්ලම විස්තර නොකළත් අත්‍යවශ්‍ය (Essential), පාඨකත්ව (Follower) සහ සමාජ ජාල (Social Networks) හා බැඳුනු විජට් ගැන විස්තරයක් ගෙන එන්නට කණ්ඩා බලාපොරොත්තු වෙනවා.

පැති තීරුව/සයිඩ් බාර් එක සඳහා විජට් එකතු කිරීම

1 පියවර – Customize මෙනූව මත ක්ලික් කරන්න

පෙර ලිපියේ වෙනස්කම් සිදු කිරීම ආරම්භ කළ පරිදිම “Personalize” කොටස වෙත ගොස් “Customize” මත ක්ලික් කරන්න (Themes මත නොවේ).

Customize Widgets 11

2 පියවර – Widgets උප මෙනූව මත ක්ලික් කරන්න

විජට් ඇතුළත්/වෙනස් කිරීම සඳහා එහි ඇති උප මෙනූ අතරින් “Wigdets” මෙනූව ක්ලික් කරන්න.

Customize Widgets 21

3 පියවර – Sidebar මෙනූව මත ක්ලික් කරන්න

බ්ලොග් අඩවියක සිරසේ, පැති තීරුවේ හෝ පාදමේ (Header, Sidebar or Footer) විජට් ඇතුළත් කළ හැකි අතර මෙය තෝරා ගත් ආකෘතියට අනුව වෙනස් විය හැක. කණ්ඩා තෝරා ගත් ආකෘතියේ (Theme) විජට් අඩංගු කළ හැක්කේ පැති තීරුවේ පමණි.

එය තෝරා ගැනීම සඳහා “Sidebar” මත ක්ලික් කරන්න.

Customize Widgets 31

4 පියවර – “+Add a Widget”  බොත්තම මත ක්ලික් කරන්න

අපට තෝරා ගැනීමට ඇති විජට් ලැයිස්තුව බැලීම සඳහා  “+Add a Widget”  බොත්තම මත ක්ලික් කරන්න.

Customize Widgets 41

5 පියවර – “Archives” මත ක්ලික් කරන්න

පැරණි ලිපි විජට් එක ඇතුළත් කිරීමට “Archives” මත ක්ලික් කරන්න.

Customize Widgets 42

6 පියවර – විජට් එකට අදාල තොරතුරු ඇතුළත් කරන්න

1 – Title – විජට් මාතෘකාව ලෙස “පැරණි ලිපි” යොදන්න (මෙය ඔබට කැමති ලෙස වෙනස් කළ හැක)
2 – Show post counts මෙය තෝරා ගැනීමෙන්, මාසයකට අදාල ලිපි ගණන එයට ඉදිරියෙන් දර්ශනය වේ
3 – Done මත ක්ලික් කර වෙනස්කිරීම් නිමා කරන්න
4 – Publish බොත්තම එබීම මගින් වෙනස්කම් තහවුරු කරන්න (Save)

Customize Widgets 51

දකුණු පස ඇති පෙර දැක්ම (Preview pane)  කොටස මගින් හෝ බ්ලොග් ලිපිනය වෙත ගොස් ඔබ අපේක්ෂිත වෙනස්කම් සිදු වී ඇතිදැයි බලන්න.

Customize Widgets 61

අනෙක් අත්‍යවශ්‍ය (Essential) විජට් සහ ඒවායේ සැකස්මවල්

  • Authors – බ්ලොග් අඩවියේ කතෘවරුන් පිළිබඳ විස්තර

Authors Widget

බ්ලොග් අඩවියේ කතුවරුන් පිළිබඳ විස්තර ලබා ගත හැකි සබැඳියක් මෙමගින් ඉදිරිපත් කළ හැක.

එක් අඩවියක් සඳහා එක් කතෘවරයෙක්ට වැඩි ගණනක්ද  සිටිය හැක.

 

 

 

 

 

 

 

 

  • Recent Posts – අලුත් ලිපි

Recent Posts Widget

 

ඔබ පල කරන අලුත් ලිපි කිහිපයක් සඳහා සබැඳි මෙමගින් ඉදිරිපත් කළ හැක.

පැති තීරුව උවමනාවට වඩා නොපිරෙන පරිදි ලිපි කොපමණ ප්‍රමාණයකට සබැඳි සපයනවාද යන්න ඔබ තීරණය කළ යුතුය.

 

 

 

 

 

  • Top Posts and Pages – වඩාත් ප්‍රචලිත ලිපි

Top Posts and Pages Widget

 

ඔබ පල කරන ලද ලිපි අතුරින් වඩාත් ජනප්‍රිය ලිපි සඳහා සබැඳි මෙමගින් ඉදිරිපත් කළ හැක. මෙය ලිපි  ගණන හෝ ලිපි වලට කැමැත්ත ප්‍රකාශ කිරීම් (Likes) ප්‍රමාණය මත තීරණය කළ හැක.

පැති තීරුව උවමනාවට වඩා නොපිරෙන පරිදි ලිපි කොපමණ ප්‍රමාණයකට සබැඳි සපයනවාද යන්න ඔබ තීරණය කළ යුතුය.

 

 

 

 

 

 

 

 

 

 

 

  • Categories – ලිපි වර්ගීකරණයන්

Categories Widget

 

මෙම බ්ලොග් පාඩමෙන් ලිපි වර්ගීකරණයන් (Categorization) ගැන ඉදිරියට පැහැදිලි කරන්නට බලාපොරොත්තු වන අතර එලෙස සකස් කරන ලද ලිපි වර්ගයන්ගේ ලැයිස්තුවක් මින් ඉදිරිපත් කරනු ලැබේ.

යම් වර්ගයක් (Category) මත ක්ලික් කිරීම මගින් එයට අදාළ සියළු ලිපි සඳහා ප්‍රවේශයක් ලබා ගත හැක.

 

 

  • Tag Cloud – යතුරුපද

Tag Cloud Widget

 

බ්ලොග් අඩවියේ ලිපි වලට යොදන ලද යතුරුපද හෙවත් “ටැග්ස්” (Tags) එකතුවක් මෙමගින් ඉදිරිපත් කළ හැකි අතර එම යතුරුපද හා බැඳුනු සියළු ලිපි සඳහා ප්‍රවේශයක් ලබා ගත හැක.

අවැසි නම් එකවර පෙන්වන  යතුරුපද ප්‍රමාණය සීමා කිරීම හෝ ඇතැම් යතුරුපද නොපෙන්වීමද කළ හැක.

 

 

 

 

 

  • Archives – පැරණි ලිපි

Archives Widget

 

පාඨකයන් තෝරා ගනු ලබන මාසයක් ඇතුළත පල කරන ලද පැරණි ලිපි සඳහා ප්‍රවේශයක් මෙමගින් ලැබෙන අතර  අඩවියේ අලුත්  පාඨකයන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත්ය.

නමුත් බ්ලොගර් (Blogger) වල මෙන් තුරු සටහනක් (Tree/Hierarchical Structure) මගින් නොපෙන්වීම අඩුපාඩුවකි.

 

 

  • Search – සෙවීමේ පහසුකම්

Search Widget

මෙමගින් බ්ලොග් අඩවිය තුළ තොරතුරු සෙවීමේ අවස්තාව පාඨකයන්ට හිමි වේ.

කාලයත් සමග බ්ලොග් අඩවියේ ලිපි සහ අඩංගු තොරතුරු ප්‍රමාණය වැඩි වනවාත් සමග මෙම පහසුකමේ අගයද වැඩි වේ.

 

 

 

 

විජට් පෙන්වන පිළිවෙල (Display Order) වෙනස් කිරීම

විජට් වෙබ් පිටුවේ පෙන්වන පිළිවෙළ තීරණය කිරීම ඔබ සතු කාර්යක් උවත් පාඨකයන් හට වඩාත් පහසුව සලසන පිළිවෙලකට සකස් කිරීම වඩාත් සුදුසුය.

පිළිවෙල වෙනස් කිරීම සඳහා විජට් එකක් මත ක්ලික් කරමින් එය ඉහළට/පහතට ඇදීමෙන් එනම් ඩ්රෑග් කිරීමෙන් (Drag & Drop) සිදු කළ හැක.

එලෙස පිළිවෙල වෙනස් කිරීමෙන් පසු “Publish” බොත්තම ඔබා වෙනස්කම් තහවුරු කරන්න.

Changing Widget Order

අවසාන ප්‍රතිපලය !

Todays Result

විජට් එකක්  භාවිතයෙන් ඉවත් කිරීම

විජට් භාවිතය යනු රොකට් යවන සාත්තරේ මෙන් සංකීර්ණ, ඉගෙනීමට අපහසු, අරුම පුදුම දෙයක් නොවේ. විජට් එකතු කිරීමෙන් හෝ එසේ කරද්දී යම් අත් වැරදීමක් සිදු උවහොත් බ්ලොග් අඩවියට නිවැරදි කළ නොහැකි හානියක් ඉන් සිදු නොවේ.

Delete a Widgetපෙන්වා ඇති පරිදි වැරදුන යමක් නිවැරදි කිරීම හෝ එම විජට් එක ඉවත් ඉතා පහසුවෙන් කළ හැකිය. එනිසා මෙහි විස්තර නොකළ විජට් වර්ගයන් අත්හදා බැලීමට බිය වියයුතු නැත.

පනින්න පෙර සිතා බැලුවාට කමක් නැත, එහි වැරද්දකුත් නැත, හැබැයි එහෙමයි කියා පනින්නේ නැතුව ඉන්නට එපා කියල කියන්න කැමතියි,  එහෙම උනොත් කවදාවත් බ්ලොග් සාගරේ පීනන්න ඉගෙන ගන්න පුළුවන් වෙන එකක් නැහැ 😀

 

සැලකිය යුතුයි :

මෙයට අමතරව පාඨකත්ව (Follower) සහ සමාජ ජාල (Social Networks) හා බැඳුනු විජට් ගැන විස්තර ඒ හා බැඳුනු වෙනම ලිපි මාර්ගයෙන් ඉදිරියේදී ගෙන එන්නට කණ්ඩා බලාපොරොත්තු වෙනවා.

මතු සම්බන්ධයි !

~ කණ්ඩා !

මුලාශ්‍ර :

අදාල අනෙකුත් ලිපි :

Advertisements