Tips For Writing A Blog Post

සාර්ථක බ්ලොග් ලිපියකට අවශ්‍ය මොනවාද ?

දැන් සති කිහිපයක ඉඳන් කණ්ඩාචාර්යතුමා බ්ලොග් එකක් හදන හැටි කියල දුන්නත්, තවම බ්ලොග් ලිපියක් එහෙම නැතුව බ්ලොග් භාෂාවෙන්ම කියනවනම් “පොස්ට්” (Post) එකක් ලියන විදිහ කියල දුන්නේ නැහැ නෙව.

ඉස්තාලෙ හැදුවට ගාල් කරන්න අස්සයො හදන්නෙ නැතිනම් වැඩක් නැහැ කියල කණ්ඩ දන්නව නමුත් බ්ලොග් ලිපියක් ලියන්න කලින් ඒ ගැන පොඩියක් දැනුවත් කළොත් හොඳයි කියල හිතුන නිසා මේ ටිකත් කියලම වැඩේට බහින්න හිතුව. අපි මේ කරුමාන්තෙට බහිනකොට අපිට මග පෙන්වන්න කට්ටිය හිටියෙ බොහොම සුළු දෙනයි, ඒත් අපි වැටිච්ච වලවල් වල අනිත් අය වැටෙන්න අනවශ්‍යයි !

ඒ නිසා අද පාඩම  :

සාර්ථක බ්ලොග් ලිපියක් ලියන්න දත යුතු දේ මොනවාද ?

මොකක් හරි අකුරු ටිකක් ගලපල පින්තූරයක් ඔබල බ්ලොග් ලිපියක් හදන එක මහ ලොකු කජ්ජක් නෙමෙයි නමුත් සාර්ථක ලිපියක් ලියන්න නම් අපි ඒ ගැන පොඩි හැදෑරීමක් වගේම මහන්සියක් යොදන්න ඕන. එනිසා අනිත් හැම දේම වගේ බ්ලොග් ලියන එකත් කරන්නං වාලෙ කරන්නෙ නැතුව පොඩ්ඩක් හොයල බලල කරමු.

එයට අමතරව සාර්ථක බ්ලොග් ලිපියක් ලියන්න දන්නෙ එහෙම ඒව ලියන උදවිය නිසා, මේ පහතින් දාල තියෙන්නෙ එහෙම අය කියන දේවල් මිස මම හොයාගත්තු දේවල් නෙමෙයි.

බොරු නෙමෙයි, සිංහලෙන් නැති උනත් මේ තැන් වලට ගිහිං බලන්න : How to Write a Stunning Blog Post: A Beginner’s Guide, Top 10 Tips For Writing A Successful Blog Post For Bloggers ) !

 

1 – සුදුසු ඇස් ඇදගන්නා මාතෘකාවක් යොදන්න (Pick a Good Title)

Good Titleපොතක නම වගේ බ්ලොග් ලිපියක් මුලින්ම ඇහැ ගැටෙන කොටස තමයි මාතෘකාව හෙවත් “ටයිට්ල්” (Title) එක. පාඨකයා බ්ලොග් ලිපියක් කියවනවාද නැතිද යන්න එමගින් බොහෝ දුරට තීරණය විය හැකියි.

එනිසා බ්ලොග් ලිපියකට මාතෘකාවක් යොදනකොට ලිපිය ගැන ඉඟියක් දෙන ගමන් කෙනෙක් දෙපාරක් හිතන්න සහ කියවන්න පොළඹවන දෙයක් භාවිත කරන්න. මම ඉන් අදහස් කරන්නෙ නැහැ ගොසිප් සයිට් වල වගේ අදාලම නැති ගොන් මාතෘකා පාවිච්චි කරන්න කියන එක, හැම විටම ලිපියේ කරුණු වලට අදාලව මාතෘකාව තෝරා ගන්න එක සුදුසුයි 🙂

ඒ වගේම මතක තියාගන්න මාතෘකාවක් කියන්නෙ ජේදයක් නෙමෙයි, කෙටි වෙන තරමට හොඳයි කියන එක තමයි බොහෝ දෙනෙකුගේ පිළිගැනීම.

 

2 – කුමක්ද > කාටද > කොහොමද ? (What > Who > How ?)

What Who How

කුමක්ද ? – අපි මාතෘකාවක් තෝරා ගත්තෙ ලියන්නට යන දේ ගැන අඩු තරමේ දළ අදහසක් හෝ ඇති නිසානෙ, හැම විටම තෝරා ගත් රාමුවෙන් පිට යන එක අවම කරන්න. තමන් ලියන කරුණු කාරනා ගැන කියවා දැනුම වැඩි දියුණු කරගන්න.

කාටද ? – අපි තෝරා ගත් මාතෘකාව සහ කරුණු ඉදිරිපත් කරන්නේ කාහටද යන්න පැහැදිලිව වටහා ගැනීම

උදා : බට්ටො පනින එක ගැන ලිපියක් වැඩිමහළු උදවියටත් අභිධර්මය පොඩි ළමයින්ටත් ප්‍රයෝජනවත් නැත.

කොහොමද ? – කරුණු පෙළගස්වන අකාරය, පාඨකයන බලාපොරොත්තු වන විස්තර අවැසි පරිදි කෙටියෙන් හෝ සවිස්තරාමකව ඉදිරිපත් කිරීම. භාෂා ශෛලිය සහ ලිපියේ සමබරතාවය වැදගත්ය,

 

3 – රසවත් ආරම්භයක් (Work on a Captivating Intro)

Introduction1ඕනෑම දෙයක ආරම්භය එහි අවසානය කෙතරම් සාර්ථකද යන්නට ඉඟියක් ලබා දෙනවා මෙන්ම, බ්ලොග් ලිපියක එහි සාර්ථකත්වය පාඨකයන් ඇද බැඳ තබා ගැනීමට ඉවහල් වෙනව.

එබැවින් සෑම විටම ඔබ ලිපියේ පටුන රසවත්, කියවීම උනන්දු කරනසුළු ලෙස ඉදිරිපත් කරන්න, ඇල්මැරුණු ලිපි කියවන්න කිසිවෙක් කැමති නැති බව අමුතුවෙන් කියන්නට අනවශ්‍යයි කියල කණ්ඩ හිතනව.

4 – ලිවීම, කැපිලි-කෙටිලි සහ කැටයම් (Write, Edit and Fine Tune)

improve without  ment

ලිවීමේ ශෛලිය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකියි, සමහරු කඩින් කඩ එන අදහස් විටින් විට අකුරු වලට හරවනව තවත් සමහරෙක් එක දිගටම නොනැවතී ලියනව. ඔබ මේ කුමන ආකාරයට ලියූවත් එය නැවත කියවන්න. අකුරු වල හරි වැරදි, සිංහල යතුරු ලියන දෝශ, අදහස් ඉදිරිපත් කර ඇති ආකාරය, උපමා උපමේය වල ගැලපීම් හෝ ඇතැම් නොගැලපෙන කොටස් වෙනස් කිරීම හෝ නැවත මුල සිට ලිවීම කරන්න.

5 – ජේද වෙන්කිරීම සහ අනු මාතෘකා (Use Subheadings and Organize Ideas)

What's in a Sub Headingබ්ලොග් අඩවියක් පවත්වාගෙන යද්දී පාඨකයගෙ පහසුව ගැන අවධානය යොමු කිරීම වැදගත්. ඕනෑම ලිපියක් කියවද්දී එය ගැලපෙන ආකාරයට කෙටි ජේද වලට වෙන් කිරීම කියවීම පහසු කරවන්නක්.

එමෙන්ම එසේ ඉදිරිපත් කරන කරුණු අනු මාතෘකා වලට වෙන් කිරීමෙන් ලිපියේ පහැදිලිකම මෙන්ම ඊය එක දිගට නොකියවන අයෙකුට නැවත්වූ තැන සිට නැවත කියවීම ආරම්භ කිරීමද පහසුය.

 

6 – පින්තූර භාවිතය (Use Images Wisely and Format)

Choose Wiselyපින්තූර යොදා ගැනීමේදී තැනට ගැලපෙන පින්තූර, දළ සටහන් සිතියම් අවැසි ලෙස භාවිත කරන්න, එමගින් ඔබගේ ලිපිය පාඨකයන්ට වඩාත් ප්‍රියමනාප වනු ඇත. තවද අනවශ්‍ය පරිදි ප්‍රමාණයෙන් විශාල පින්තූර භාවිතයෙන් වළකින්න එය ඔබගේ බ්ලොග් ලිපිය ‍බ්‍රව්සරය ප්‍රදර්ශනය වීමට ගත වන කාලය (Loading Speed) ඉහල දමයි.

කණ්ඩාගෙ පුරුද්ද තමයි විවිධ කටු සටහන් සහ සිතියම් හැරුණු විට අන් පින්තූර 70 kb ප්‍රමාණයේ හෝ එයිට අඩුවෙන් තබා ගැනීම.

උදා : කණ්ඩාට පින්තූර නොදමා ඉන්න ඇති පදම ඉඩ තිබුණ, නමුත් ජේද විතරක් තිබුණම ලිපිය බොහොම ඇහිරිච්ච ගතියක් වගේම සිත් ඇද ගන්න බව අඩුයි කියල හිතුන නිසා කම්මැලිකම පැත්තකින් තියල අදාල කොටස් වලට ගැලපෙන කුඩා පින්තුර ඇතුළත් කළා.

 

7 – විශ්වාසදායක මුලාශ්‍ර සඳහා සබැඳි සැපයීම (Link to Reputable Sources)

Reliable Sourceඅපි ලියන කියන හැම දේම අපි හොයා ගත්ත ඒවා නොවෙයි කියල හැම දෙනාම පිළිගනීවි, බොහෝවිට ඒ තවත් ලිපියකින් එහෙම නැතිනම් කෙනෙක්ගෙන් ඉගෙන ගත්ත දේවල්. එනිසා ඒ පුද්ගලයාව හෝ ලිපිය අමතක කරන එක අකෘතඥකමක්, ඔබ උපුටා දක්වන අදහස් වේ නම් ඒ සඳහා අදාල සබැඳි (Link) ඇතුලත් කරන්න.

එමෙන්ම ඉදිරිපත් කරන අදහස් හෝ කරුණු තහවුරු කිරීම සඳහා හෝ වැඩිදුර විස්තර සැපයීමට ඒ හා සම්බන්ධ මුලාශ්‍ර වල සබැඳි  ඉදිරිපත් කරන්න. එලෙස සපයන මුලාශ්‍ර විස්ත්වාසදායක ඒවා වීම ඔබ ලිපියේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කිරීමට හේතුවක්.

 

8 – රසවත් අවසානයක් (End Your Blog with a Bang)

Grand Finaleලිපියක ආරම්භය මෙන්ම අවසානයද වැදහත්ය, මෙය ලිපියේ ආරම්භයේ සිට ඕන ඉදිරිපත් කළ කරුණු සම්පිණ්ඩනය කරමින් ඉදිරිපත් කරන නිගමනය හෝ පාඨකයන්ට සිතන්නට යමක් ඉතිරි කරන ප්‍රශ්නයක් හෝ ඔබ ලියන කතාවක කූට ප්‍රාප්තියද විය හැක. වැදගත් වන්නේ පහු පහු වෙනකොට කොහු කොහු වනවා සේ ලිපිය දියාරු නොවීමය.

ඔබගේ ලිපියක් වරක් කියැවූ අයෙක් නැවතත් ඔබ ලිපියක් කියවන්නේ එමගින් ඔහුට හෝ ඇයට ලැබෙන දැනුම, රසවිඳීම සහ අවසානයේ ඉන් ඉතිරි වන හැඟීම මත බව අමතක නොකරන්න.

 

9 – සෝදුපත් බැලීම / ගුණදොස් විමසීම (Proof Read and Get Opinions)

Proofreadingලිපිය ලියා පල කිරීමට සුදානම් තත්වයක තිබුණත් නැවත එය තවත් අයෙකුට පෙන්වා ගුණදොස් විමසන්න. ඔබ නොදකින අඩුපාඩු සහ අදහස් තවත් අයෙකුට ඉතා පහසුවෙන් හමුවිය හැක.

මෙමගින් ඔබ ලිපියේ ගුණාත්මක බාවය වැඩි දියුණු වනවා සේම ඔබට පාඨකයන්ගෙන් ලැබිය හැකි ප්‍රතිචාර පිලිබඳ පෙර දැක්මක්ද ලැබෙන නිසා ලිපිය අවශ්‍ය පරිදි ලිපිය වෙනස් කර අන්තර්ගතය සහ ඉදිරිපත් කිරීම වැඩිදියුණු කිරීමට හැකියාව ලැබේ.

 

10 – යතුරුපද සහ කැටගරි (Use Tags & Categories)

Categories and Tagsඔබ ලියනා බ්ලොග් ලිපි සියල්ල නිසිලෙස වර්ගීකරණය කර නියමිත කැටගරි හෝ යතුරුපද සමග සම්න්බන්ධ කරන්න. එමගින් පාඨකයන් හට ලිපි සෙවීම සඳහා අමතර මහන්සියක් යෙදීම අනවශ්‍යයි.

එමෙන්ම කැටගරි සහ යතුරුපද අනවශ්‍ය ලෙස භාවිතයද සෙවීම අපහසු කරන නිසා එය සමබරව කිරීම වැදගත්. (ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත :))

පසු ලිපි :

සාර්ථක බ්ලොග් ලිපියක් ලියන්න දැන ගන්න අවශ්‍ය මොනවාද කියන එක ගැන වැටහීමක් තියන නිසා මීළඟ ලිපියෙන් වර්ඩ්ප්‍රෙස් යොදාගෙන බ්ලොග් ලිපියක් ලියන විදිහ කියල දෙන්නම්. ඒකත් මෙතනම දාන්න ගියෝතින් ලිපිය කියවන්න කම්මැලි වෙන තරමට දික් වෙනව, බ්ලොග් ලියනකොට එයත් නොකළ යුතු දෙයක් !

මීළඟ ලිපියෙන් ආයෙත් හමුවෙමු 🙂

මතු සම්බන්ධයි !

 ~ කණ්ඩා

අදාල අනෙකුත් ලිපි :

 

 

Advertisements