වර්ඩ්ප්‍රෙස් බ්ලොග් වල කමෙන්ට් කිරීම/ප්‍රතිචාර දැක්වීම
මෙම කොටස වෙන් වන්නේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් ලිපි සඳහා කමෙන්ට් කිරීම (Commenting) හෙවත් ප්‍රතිචාර දැක්වීම පිලිබඳ විස්තර කිරීමටයි. වර්ඩ්ප්‍රෙස්හි වයන්නවත් නොදන්නා සහ ඉගෙන ගැනීමටද උනන්දුවක් නොගන්නා බහුතරයක් සිංහල බ්ලොග්කරුවන්ගේ අප්‍රසාදයට වර්ඩ්ප්‍රෙස් හසු වීමට ප්‍රධාන හේතුවක් ලෙස ඔවුන් ඉදිරිපත් කරන්නේ කමෙන්ට් කිරීමට ඇති අපහසුවයි. පසු ගිය ලිපි කිහිපය පුරාවට විවිධ අය නොයෙක් ආකාරයෙන් මේ පිළිබඳ විමසූවේය :
- ඇයි වර්ඩ්ප්‍රෙස් මේ තරම් ගණන් ? (යැංකි ඌස්නෙ වෙන්ටෑ)
- ඇයි වර්ඩ්ප්‍රෙස් වල කමේන්ට් දාන්න අමාරු ?
- කමේන්ට් දාන්න හැම පාරකම වර්ඩ්ප්‍රෙස් වලට ලොග් වෙන්න ඕනද ?
- වර්ඩ්ප්‍රෙස් වලට ලොග් වෙන්නෙ නැතුව කමෙන්ට් දන්නා බැරිද ?
- අපි දාන වර්ඩ්ප්‍රෙස් කමෙන්ට් පෙන්නන්නෙ නැහැනෙ ?
- වර්ඩ්ප්‍රෙස් වලට ලොග් වෙලා කමේන්ට් දැම්මම බ්ලොගර් එකට ලොග් වෙන්න බෑනෙ ?
- ඇයි වදන්තද කාරයන්ට බ්ලොගර් පාවිච්චි කරන්න බැරි ? (ඇයි බ්ලොගර් පප්පලට වදන්තද අරහන්ද ?)
අන් සෑම දෙයක්ම මෙන් මෙම ප්‍රශ්න පිටුපසින් ඇති ලොකුම කාරණය නොදැනුවත්කමයි, එය වෙනස් කිරීම දැනුම ඇත්තන්ගේ කාරියයි. වර්ඩ්ප්‍රෙස්හි කමෙන්ට් කරන්නට අපහසුයි යන දුර්මතය ඒ පිලිබඳ දැනුවත් කිරීම මගින් මදක් හෝ බිඳ දමන්නට හැකි උවහොත් එය කණ්ඩා ලබන කුඩා ජයග්‍රහණයකි.
වර්ඩ්ප්‍රෙස්හි ප්‍රතිචාර දැක්වීමේ විධි
ඔබ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක ප්‍රතිචාර දැක්වීමේදී ඒ සඳහා ඔබට ප්‍රධාන ක්‍රම දෙකක් ඇත, ඒ නාමිකව හෝ නිර්නාමිකවයි.
a. නාමිකව හෙවත් ප්‍රොෆයිල් එකක් හරහා/විද්‍යුත් ලිපිනයක් සහ නමක් ලබා දීමෙන්
මෙහිදී ඔබ නමක් භාවිත කළත් වර්ඩ්ප්‍රෙස්, ගූගල්+, ෆේස්බුක් හෝ ට්විටර් (WordPress, Facebook, Google+, Twitter) වැනි සමාජ ජාල ප්‍රොෆයිලයක් භාවිත කළත් එය ඔබගේ සැබෑ නම වීමට අත්‍යවශ්‍ය නැත. එනම් ඔබට ඒ සඳහා අන්වර්ථ නාමයක් භාවිතා කල හැක.
කොටින්ම මාගේ සැබෑ නම සැඟවීමට උත්සාහ නොගත්තත් මා භාවිත කරන නම වන “කණ්ඩා” යනු අන්වර්ථ නාමයකි. ඒ වෙන කිසිවක් නිසා නොව “ගනේවත්ත කන්ඩම්බිලාගේ රංගන චාමිකර කොලම” යන නම මට එතරම් හිතට ඇල්ලුවේ නැති නිසාත් එය කොලමකට වඩා කෝලමක් වන්නට ඉඩ ඇති නිසාත්ය 😀
කෙසේ වෙතත් කමෙන්ට් කිරීම සඳහා ඔබගේ සැබෑ නම් භාවිත කරනවාද නැතිද යන්න සම්පුර්ණයෙන්ම ඔබ සතු තීරණයකි !
නාමිකව අදහස් දැක්වීමේදී වඩාත් ලෙහෙසි ක්‍රමය වන්නේ වර්ඩ්ප්‍රෙස් හෝ සමාජ ජාල ප්‍රොෆයිල් එකක් මාර්ගයෙන් ප්‍රතිචාර දැක්වීමයි. මේ සඳහා හේතු කිහිපයක් ඇත
- ලොග් වීමට ඇති පහසුව
- ඔබට අමතර මුරපද මතක තබා ගැනීමට අනවශ්‍ය වීම
- ප්‍රොෆයිල් ඔස්සේ ඔබගේ බ්ලොග් අඩවිය සොයා ගැනීමට පහසු වීම (මේ සඳහා ඔබගේ ප්‍රොෆයිල් වල බ්ලොග් අඩවිය සඳහන් කර තිබීම වැදගත්ය )
ප්‍රොෆයිල් එකක් මගින් හෝ විද්‍යුත් ලිපිනයක් මගින් වරක් ලොග් වූ පසු නැවත භාවිතය සඳහා බ්‍රව්සරයේ ඉතිහාසය මකා දමනාතුරු (Clearing History, Cookies, Passwords etc.) එම දත්ත බ්‍රව්සරයෙහි තැන්පත් වී පවතියි. නමුත් ඉතිහාසය මකා දමනා විට මෙම දත්ත ඉවත්වන බැවින් ලොග් වීම සඳහා භාවිත කළ මුරපද (Password) මතකයේ තබා ගැනීම වැදගත්ය.
වර්ඩ්ප්‍රෙස්හි කමෙන්ට් දැමීම අපහසු බවද, එනිසා ගෙදර ඉන්නා පපියාට තබා අල්ලපු ගෙදර පූසාටවත් වර්ඩ්ප්‍රෙස් අනවශ්‍ය බව කණ්ඩාට පැවසූ කිහිප දෙනෙකුටම සිදුව තිබුණේ සමාජ ජාල ප්‍රොෆයිල් එකක් වෙනුවට විද්‍යුත් ලිපිනයක් මගින් ලොග් වී වර්ඩ්ප්‍රෙස් ප්‍රොෆයිලයක් සාදාගත් පසුව මුරපදය අමතක වීමයි 😦
මෙය සපුරාම ඒ උදවියගේ මතකයේ දුර්වලතාවයක් හෝ මුරපදය අලුත් කරන්නට නොදන්නාකම නොව වර්ඩ්ප්‍රෙස් වල දුර්වලතාවයක් බව කරුණාවෙන් සලකන්න 😀
නමුත් වාසනාවට මුරපදය අමතක වූ පසුවද ගිණුම වෙත පිවිසීම සඳහා විකල්ප ක්‍රමයක් ඇත (Password Recovery). වර්ඩ්ප්‍රෙස් (අ)ප්‍රිය කරන, කමෙන්ට් කර ගැනීමට මුරපදය අමතක වන සහෘද ඔබ සැමගේ ලාම්පු සංවේගය උදෙසා ඒ පිළිබඳව “වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ X කොටස ~ අමතක වූ වර්ඩ්ප්‍රෙස් මුරපද අලුත් කිරීම” ලිපියෙන් 😀
එමෙන්ම අපෝ … වර්ඩ්ප්‍රෙස් මළ ජරාව කමෙන්ට් කරන්න ප්‍රොෆයිල් හදන්න ඕන ? කියනා අයද කණ්ඩා හට හමු වී ඇත. වර්ඩ්ප්‍රෙස්හි කමෙන්ට් කිරීම සඳහා වර්ඩ්ප්‍රෙස් ප්‍රොෆයිලයක් සෑදීම අත්‍යවශ්‍ය නොවන අතර ඒ සඳහා වෙනත් විකල්ප ඇත. (ඒ පිලිබඳ වැඩි විස්තර පහළින්)
අනෙක ඔබ වර්ඩ්ප්‍රෙස් ප්‍රොෆයිලයක් සෑදුවත් එය ලොව පළමු වතාවට සිදු වූ අරුම පුදුම දෙයක් නොවේ. ඕනෑම සමාජ ජාලයකට හෝ බ්ලොග් මෘදුකාංගයකට (Social Media or Blogging Platform) ලොග් වීම සඳහා ප්‍රොෆයිලයක් සෑදීම ඉතාමත් සාමාන්‍යය.
මෙය බ්ලොගර් වලටද පොදු දෙයකි, මන්ද බ්ලොගර් ජොකියන් මහත් උජාරුවෙන් යුතුව බ්ලොගර් වෙත ලොග් වන්නේ ගූගල්/බ්ලොගර් ප්‍රොෆයිල් එකක් මගින් මිස “ගූගල් එකේ අහවල් එකෙන්” නොවන නිසාය.
b. නිර්නාමිකව හෙවත් ඇනෝ (Anonymous – අනෝනිමස් )
නිර්නාමිකව හෙවත් අනෝනිමස් කමෙන්ට් කිරීම සිංහල බ්ලොග් බසින් ඇනෝ කෙටීම/දැමීම ලෙසද හැඳින්වේ. මෙලෙස ප්‍රතිචාර දක්වද්දී ඔබගේ ප්‍රතිචාරයට අමතරව ඔබව හඳුන්වා දීමට භාවිත වන නම, විද්‍යුත් ලිපිනය, පුද්ගලික ප්‍රොෆයිල් යන කිසිවක් අවැසි නොවේ.
ඇනෝ වශයෙන් කමෙන්ට් කිරීමේදී ඔබට ඇති වාසිය දක්වන අදහසේ හොඳ-නරක, හරි-වැරදි, ලැජ්ජා-භය යන කිසිවක් ඔබ පිටින් නොයන නිසා නිදහසේ ප්‍රතිචාර දැක්වීමට ලැබෙන ඉඩකඩයි. නමුත් ඇතැම් පුද්ගලයින් කුණුහරුප, පුද්ගලික මඩ ගැසීම් වැනි දේට මෙම නිදහස අවභාවිතා කිරීම හේතුවෙන් ඇතැම් බ්ලොග් අඩවි වල මෙම පහසුකම අහුරන අවස්ථාද දක්නට ඇත.
කණ්ඩාගේ අදහස නම් සැබෑ ලෝකයේදී අප නිදහස දිගුවන්නේ එය තවකෙක් අපහසුතාවයට පත් නොවනතාක් මෙන්ම, සෑම විටම බ්ලොග් ලෝකයේද වෙනත් අයකු පෙලීම සඳහා ඇනෝ නිදහස භාවිතා නොකළ යුතු බවය.
වර්ඩ්ප්‍රෙස්හි ප්‍රතිචාර දක්වන්නේ/කමෙන්ට් කරන්නේ කෙසේද ?
වර්ඩ්ප්‍රෙස් ලිපියකට/පිටුවකට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය පහසුකම් බොහෝවිට ලිපිය/පිටුව අග කොටසට වන්නට පිහිටා ඇත (ඇතැම් තීම් වල මෙය වම්/දකුණු පසින් ලෙස වෙනස් විය හැක). ඔබට ඉදිරිපත් කරන්නට අවශ්‍ය ප්‍රතිචාරය එම කොටසට ඇතුළත් කළ විට එය පහත දැක්වෙන අයුරින් දිස්වනු ඇත.
1 – ප්‍රතිචාරය/කමෙන්ටුව (Comment) ඇතුළත් කළ යුතු කොටුව
2 – ප්‍රොෆයිල් මගින් ලොග් වීමට භාවිතා කළ හැකි සමාජ ජාල ඇතුළු අනෙකුත් විධි
3 – විද්‍යුත් ලිපිනය
4 – නම (මෙය ඔබගේ සැබෑ නම වෙනුවට අන්වර්ථ නාමයක්ද විය හැක)
5 – ඔබගේ වෙබ්/බ්ලොග් අඩවිය
6 – මෙමගින් ඔබ ප්‍රතිචාරයට ලැබෙන පිළිතුරු ඔබ විද්‍යුත් තැපැල් ලිපිනය වෙත යොමු කරනු ඇත
7 – ප්‍රතිචාරය යැවීම සඳහා මෙම බොත්තම ඔබන්න
a. ගූගල්+ (Google+) මගින් ලොග් වී ප්‍රතිචාර දැක්වීම
Google+ මගින් ලොග් වී ප්‍රතිචාර දැක්වීමට, ඉහත කොටසේ පරිදි
1 – ප්‍රතිචාරය ඇතුළත් කරන්න
2 – Google+ සලකුණ මත ක්ලික් කරන්න
එවිට ඔබ වෙත ලබා දෙන ඔබ ලොග් වී ඇති ගූගල් ගිණුම් ලැයිස්තුවෙන් අදාල ගිණුම මත ක්ලික් කිරීම පමණක් සෑහෙයි. නමුත් ඔබ ගූගල් ගිණුමක් වෙත ලොග් වී නොමැති නම් ලොග් වීමේ පහසුකම් ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
ඔබ ගූගල් ගිණුම තෝරා පසු :
1 – තෝරාගත් ගිණුම ප්‍රර්ශනය කරන අතර එය ඉන් ඉවත් වනු/ලොග් අවුට් වනතුරු නැවත ඇතුළත් කිරීම අනවශ්‍යය
2 – විද්‍යුත් තැපෑල හරහා ඔබ ප්‍රතිචාරයට ලැබෙන පිළිතුරු ගෙන්වා ගැනීම අවශ්‍ය නම් මෙය තෝරා ගන්න
3 – “ප්‍රතිචාරය යවන්න” බොත්තම මත ක්ලික් කරන්න
ඔබගේ ප්‍රතිචාරය සාර්ථකව බ්ලොග් අඩවියේ සටහන් උවහොත් එය පහත පරිදි දිස්වනු ඇත.
සැලකිය යුතුයි : ඔබට ලැබෙන ප්‍රතිචාරයකට පිළිතුරු බැදීම සඳහා “ප්‍රති-පිළිතුරු සැපයීම” (Reply) බොත්තම මගින් සිදුකළ හැක.
මෙම කමෙන්ට් එකට උඩින් ප්‍රදර්ශනය වන නම මත ක්ලික් කිරීමෙන් Google+ මුල් පිටුව (Home) වෙත යොමුකරන අතර About මත ක්ලික් කිරීමෙන් ප්‍රොෆයිල් එකට පිවිසිය හැක.
ඔබගේ වෙබ්/බ්ලොග් අඩවිය පිළිබඳ විස්තර අන් අයගේ දැන ගැනීම පිණිස එහි සඳහන් කළ හැකිය.
b. ෆේස්බුක් (Facebook) මගින් ලොග් වී ප්‍රතිචාර දැක්වීම
Facebook මගින් ලොග් වී ප්‍රතිචාර දැක්වීම සඳහා,
1 – ප්‍රතිචාරය ඇතුළත් කරන්න
2 – Facebook සලකුණ මත ක්ලික් කරන්න
එවිට ඔබ Facebook ගිණුමට ලොග් වී නොමැති නම් ලොග් වීමේ පහසුකම් ප්‍රදර්ශනය කෙරෙනු ඇති අතර කලින් ලොග් වී ඇතිනම් කෙළින්ම ප්‍රතිචාර යැවිය හැක.
“ප්‍රතිචාරය යවන්න” බොත්තම ක්ලික් කිරීමෙන් කමෙන්ටුව ඉදිරිපත් කරන්න.
සැලකිය යුතුයි : Google+හි මෙන් Facebook ප්‍රොෆයිලය වෙත පිවිසීමේ පහසුකම ලබා දී නැත.
c. වර්ඩ්ප්‍රෙස් (WordPress) මගින් ලොග් වී ප්‍රතිචාර දැක්වීම
වර්ඩ්ප්‍රෙස් මගින් ලොග් වී ප්‍රතිචාර දැක්වීම සඳහා,
1 – ප්‍රතිචාරය ඇතුළත් කරන්න
2 – වර්ඩ්ප්‍රෙස් සලකුණ මත ක්ලික් කරන්න
එවිට ඔබ වර්ඩ්ප්‍රෙස් ගිණුමක්ට ලොග් වී නොමැති නම් ලොග් වීමේ පහසුකම් ප්‍රදර්ශනය කෙරෙනු ඇති අතර කලින් ලොග් වී ඇතිනම් කෙළින්ම ප්‍රතිචාර යැවිය හැක.
“ප්‍රතිචාරය යවන්න” බොත්තම ක්ලික් කිරීමෙන් කමෙන්ටුව ඉදිරිපත් කරන්න.
සැලකිය යුතුයි : මෙහිදී නම මත ක්ලික් කිරීමෙන් ඍජුව ඔබගේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවිය වෙත පිවිසීමේ හැකියාව පාඨකයන් හට ඇත.
d. විද්‍යුත් ලිපිනය සහ නමින් (E-mail & Name) ප්‍රතිචාර දැක්වීම
මෙහිදී ප්‍රතිචාරයට අමතරව ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනය සහ නම ඇතුළත් කර “ප්‍රතිචාරය යවන්න” බොත්තම එබීම පමණක් සෑහෙන්නේය.
මෙලෙස ලබා දෙන ප්‍රතිචාරයක් පහත පරිදි දිස්වනු ඇත.
සැලකිය යුතුයි : මෙහිදී ඔබ ලබාදෙන විද්‍යුත් ලිපිනය බ්ලොග් අඩවියේ කතෘ/ඇඩ්මින්ට හැර වෙනත් අයට පෙන්වන්නේ නැත
e. නිර්නාමිකව (Anonymous) ප්‍රතිචාර දැක්වීම
ඔබට ඇනෝ හෙවත් නිර්නාමිකව කමෙන්ට් දැමීමේදී හඳුන්වා දීමක් අනවශ්‍ය නිසා ප්‍රොෆයිලය, නම, විද්‍යුත් ලිපිනය, වෙබ් අඩවිය යන කිසිවක් ඉදිරිපත් නොකර ප්‍රතිචාරය පමණ ඇතුළත් කර “ප්‍රතිචාරය යවන්න” බොත්තම එබීම සෑහෙන්නේය.
නිර්නාමිකව කමෙන්ටුවක් ලිපියේ ප්‍රදර්ශනය පහත දැක්වෙන පරිදිය.
f. ප්‍රතිචාර දක්වන ප්‍රෝෆයිලය වෙනස් කිරීම
ප්‍රතිචාර දක්වන ප්‍රෝෆයිලය වෙනස් කිරීමට අවශ්‍ය නම් “වෙනස් කරන්න” සබැඳිය මත ක්ලික් කිරීමෙන් ඔබට නැවතත් අනෙකුත් විකල්ප ප්‍රෝෆයිල තෝරා ගැනීමේ අවස්ථාව ලැබෙනු ඇත. ප්රෝෆයිලයෙන් ලොග් අවුට් වීමට අවශ්‍ය නම් “පිට වන්න” සබැඳිය මත ක්ලික් කරන්න.
සැලකිය යුතුයි : මෙහිදී “වෙනස් කරන්න” සබැඳිය වෙනුවට “පිට වන්න” සබැඳිය මත ක්ලික් කළහොත් එම ප්‍රොෆයිලයෙන් ලොග් අවුට් වන බවද එය වර්ඩ්ප්‍රෙස් අබාධයක් නොවන බවද සිහි තබා ගන්න 😀
ප්‍රතිචාර සමාලෝචනයට ඇති උපාංග (Comment Management)
ඔබ බ්ලොග් වැටෙනා කමෙන්ට්/ප්‍රතිචාර සියල්ල එකම තැනකින් කියවීමට, පිළිතුරු බැඳීමට සහ අවශ්‍ය විටකදී කමෙන්ට් අනුමත කිරීම සහ ඉවත් කිරීමද වර්ඩ්ප්‍රෙස්හි විශේෂ කොටසක් ඇත. මෙමෙ කොටසට පිවිසීම සඳහා :
1 – My Site මත ක්ලික් කරන්න
2 – Comments මත ක්ලික් කරන්න
3 – මෙමගින් බ්ලොග් අඩවිය වෙත ලැබෙන කමෙන්ට් වෙන්කර පෙන්වනු ලබයි
4 – ප්‍රතිචාර දැක්වූ පුද්ගලයා පිලිබඳ විස්තර මින් ලබා ගත හැක
5 – පිළිතුරු බැඳීමට, අවශ්‍ය විටකදී කමෙන්ට් අනුමත කිරීම හෝ ඉවත් කිරීම මෙම කොටසින් කළ හැක
සැලකිය යුතුයි :
ඔබගේ බ්ලොග් අඩවියේ ප්‍රදර්ශනය කරනු ලබන්නේ අනුමත වූ කමෙන්ට් පමණි, එනිසා යම් අයෙක් තමා දැමූ කමෙන්ට් බ්ලොග් අඩවියේ නොපෙන්වන බවට පැමිණිලි කළහොත් Pending සහ Spam යන කමෙන්ට් ලැයිස්තු වල එම කමෙන්ට් ඇතිදැයි බල එම කමෙන්ට් අනුමත කරන්න.
වර්ඩ්ප්‍රෙස්හි ඇති ස්පෑම් ෆිල්ටරය (Spam Filter) වන “අකිස්මෙට්” (Akismet) මගින් ඇතැම්විට වෙබ් සබැඳි (Links) කිහිපයක් සහිත කමෙන්ට් සහ කලින් වෙනත් අයෙක් විසින් “ස්පෑම්” (Spam) ලෙස රිපෝට් කරනා ලද ප්‍රොෆයිල් සහ විද්‍යුත් තැපැල් ලිපින මගින් ලැබෙන කමෙන්ට් ස්වයංක්‍රීයව ස්පෑම් ලැයිස්තුව වෙත යවනු ලබයි.
ප්‍රතිචාර සහ ලිපි සම්බන්ධ සංඛ්‍යාලේඛන
ඔබගේ බ්ලොග් අඩවියේ ලිපි කියවීම සහ ඒවාට ලැබෙන ප්‍රතිචාර සම්බන්ධ සංඛ්‍යාලේඛන ලබා දීමට Stats (Statistics) නම් කොටසක් වර්ඩ්ප්‍රෙස්හි ඇති අතර එය වෙත පිවිසීම සඳහා :
1 – My Site මත ක්ලික් කරන්න
2 – Stats මත ක්ලික් කරන්න
3 – වැඩිදුර තොරතුරු සඳහා Insights මත ක්ලික් කරන්න
ඉන්සයිට්ස් (Insights) යටතේ ඇති විස්තර
මතු සම්බන්ධයි
~ කණ්ඩා !
මුලාශ්‍ර :
- WordPress support – Comments
- WordPress support – Who Can Comment
- WordPress support – Managing Comments
- WordPress support – Comment with Facebook, Google+, or Twitter
අදාල අනෙකුත් ලිපි :
- වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ I කොටස ~ පනින්න පෙර සිතා බලනු
- වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ II කොටස ~ වර්ඩ්ප්‍රෙස් ගිණුම් සහ බ්ලොග් අඩවි ලිපින
- වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ III කොටස ~ බ්ලොග් අඩවියක ආකෘතිය (Theme)
- වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ IV කොටස ~ සයිඩ් බාර් (Sidebar) සහ විජට් (Widget)
- වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ V කොටස ~ වර්ඩ්ප්‍රෙස් Site Settings වෙනස් කිරීම
- වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ VI කොටස ~ සාර්ථක බ්ලොග් ලිපියකට අවශ්‍ය මොනවාද ?
- වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ VII කොටස ~ වර්ඩ්ප්‍රෙස් භාවිතයෙන් බ්ලොග් ලිපි සකස් කිරීම සහ සිංහල යතුරු ලියනය
- වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ VIII කොටස ~ පාඨකත්වය ලබා ගැනීම, වර්ඩ්ප්‍රෙස් ලිපි කියවනය
- වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක් හදමු ~ X කොටස ~ අමතක වූ වර්ඩ්ප්‍රෙස් මුරපද අලුත් කිරීම
- කුරුටු ගෑමේ දුෂ්කරක්‍රියා
- වදන් තදයට එරෙහි බ්ලොගර් යුද්ධය සහ අටමා ~ Blogger Vs WordPress War & Atam !
- බ්ලොගර් වෙබ් අඩවියක් සාදා ගනිමු
ඔක්තෝබර් 30, 2018 at 12:46 ප.ව.
good post !
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 30, 2018 at 12:48 ප.ව.
ස්තූතියි මචං !
කැමතියිකැමතියි
ඔක්තෝබර් 31, 2018 at 12:22 ප.ව.
දන්නා කියන ඇත්තෙක් අල්ලාන කියා තියෙන එව්වා තෝරවා ගන්නං.එක වචනයක් දෙකක්ය වටහාගන්න තියෙන්නේ, අපි වගේ උදවියට. හීනි අයිඩියා එකක් නම් ඇතිවුනා, හොඳයි. අනෙකාටත් යනවා එහෙනං.
කැමතියිLiked by 1 person
ඔක්තෝබර් 31, 2018 at 12:25 ප.ව.
දන්නා කියන ඇත්තෙක් අල්ලාන කියා තියෙන එව්වා තෝරවා ගන්නං.එක වචනයක් දෙකක්ය වටහාගන්න තියෙන්නේ, අපි වගේ උදවියට. හීනි අයිඩියා එකක් නම් ඇතිවුනා, හොඳයි. අනෙකාටත් යනවා එහෙනං.
කැමතියිකැමතියි
ඔක්තෝබර් 31, 2018 at 1:11 ප.ව.
එහෙම නැතත් උත්සාහ කරල බලන්න 👍
මූලික ගයිඩ් එකක් තියනව නම් Trial & Error තමයි වැඩේ අල්ල ගන්න ලේසිම විදිහ. අර කතාවට කියන්න වගේ මඩ කාල තැනකට ආපුවම ආයෙ වට්ටන්න බෑ 😁
කැමතියිකැමතියි