Wordpress Password

අමතක වූ වර්ඩ්ප්‍රෙස් මුරපද අලුත් කිරීම

වර්ඩ්ප්‍රෙස් මුරපද අලුත් කිරීම හෙවත් පාස්වර්ඩ් රිකවරි (Password Recovery) සිදුකරනා ආකාරය පැහැදිලි කරනා බවට කණ්ඩා පසුගිය ලිපියෙන් පොරොන්දු වූ නිසාත්, කණ්ඩා දේශපාල අඥානයෙක් නොවන නිසාත් මේ ලැහැස්තිය පොරොන්දුව ඉටු කිරිමටය.

මුරපදය අමතක වීම මනුස්ස ගතියකි එයට සමාව දීම වර්ඩ්ප්‍රෙස් ගතියකි, කෙසේ වෙතත් ඔබ මෙතෙක් කල් කමෙන්ට් කිරීමට භාවිත කළ වර්ඩ්ප්‍රෙස් ගිණුමේ මුරපදය නැතිවූ විට පහත දැක්වෙන දේවල් වලින් එකක් හෝ කිහිපයක් හැකි අයුරින් සම්පුර්ණ කරන්න (මේ සියල්ල පසුගිය දෑවුරුද්ද තුළ කණ්ඩාචාර්යතුමාට ලැබුණු ප්‍රතිචාර ඇසුරින් බව කරුණාවෙන් සලකන්න 😀 )

  • වර්ඩ්ප්‍රෙස් කියන්නෙ මහා ජරාවක් බව හන්දියේ කඩේ මුදලාලිගේ සිට අල්ලපු ගෙදර ටොමියා දක්වාත් දන්නා කියනා සියළු දෙනාටම පවසන්න
  • ආපෝ … වර්ඩ්ප්‍රෙස් වල කමෙන්ට් කරන්න අමාරුයි පාවිච්චි කරන්න එපා යයි සෑම කෙනාම හැකි පමණින් අධෛර්යයට පත් කරන්න
  • වදන්තද බ්ලොග් අඩවියක් කියවන වාරයක් පාසා වර්ඩ්ප්‍රෙස් කණ්ඩායමේ සහ වර්ඩ්ප්‍රෙස් බ්ලොග්කරුවන්ගේ මාපියවරුන් සිහිකර පිං පැමිණවීමට පියවර ගන්න

( දැනට හිටංතුමාගේ, අප්පොච්චිගේ, බීන්තුමාගේ සහ ට්‍රම්පයියාගේ මව්පියන් හැරුණුකොට මෙතේ බුදුන්ගෙන් පසු නිවන් දකින පෝලිමේ පිං මලු කර තියාගෙන මුලින්ම ඉන්නේ වර්ඩ්ප්‍රෙස් භාවිත කරන උදවියගේ දෙමව්පියන්ය 😀 . එමෙන්ම මෛත්‍රී බෝධිසත්වයන් නම වෙනස් කරගන්නට යන බවද ආරංචිය )

  • කවුරු කියූවත් මුරපදය නැතිවීම සහ එය අලුත් කරනා විදිහ පිළිබඳ නොදැදැනුවත්කම කිසිවිටෙකත් තමන්ගේ වැරද්දක් ලෙස කිසිඳු ආකාරයකින් පිළිනොගන්න

ඉහත සඳහන් දේ සම්පුර්ණ කර සීතල වතුර වීදුරුවක් පානය කිරීමෙන් අනතුරුව ඔබගේ වර්ඩ්ප්‍රෙස් ගිණුමේ මුරපදය අලුත් කරන්නේ කෙසේද යයි විමසා බැලීමට කැමති නම් තවදුරටත් මෙම ලිපිය කියවන්න.

ඔබගේ විද්‍යුත් ලිපිනය ඇතුළත් කර කමෙන්ට් කිරීමට තැත් කරද්දී “මාව මතක තබා ගන්න” (Remember me) යන්න තෝරා ගැනීම මගින් ඔබගේ මුරපදය (Password) බ්‍රව්සරයේ පසු භාවිතය සඳහා තැන්පත් වනු ඇත. නමුත් මෙය දෙපැත්ත කැපෙන් කඩුවක් වන්නේ මුරපදය නිතර ලොග් වීමට භාවිත නොකිරීම නිසා අමතකව යාමයි.

පහළින් විස්තර කරන්නේ විද්‍යුත් ලිපිනයක් මගින් වර්ඩ්ප්‍රෙස් වෙත ලොග් වන සියලුදෙනා හට පොදුවේ මුරපදය අලුත් කිරීම සඳහා භාවිත කළ හැකි ක්‍රමවේදයකි. එහිදී ඔබ භාවිත කරනා විද්‍යුත් ලිපිනයට ලොග් වීමට හැකි වීම අනිවාර්ය වන අතර, එසේ නොමැති නම් ඔබ ප්‍රථමයෙන් එම විද්‍යුත් ලිපිනයට අදාල මුරපදය අලුත් කළ යුතුය.

සැලකිය යුතුයි :

  • ඔබට වර්ඩ්ප්‍රෙස් සඳහා භාවිත කළයුතු විද්‍යුත් ලිපිනය හෝ එහි මුරපදය අමතක නම් හයියෙන් ටොක්කක් ඇන ගැනීම, හිස බිත්තියක ගසා ගැනීම වැනි මතකය අවදි කිරීමේ විද්‍යාත්මක ක්‍රම අත්හදා බලන්න 🙂
  • එසේ නොමැතිනම් මෙවන් හදිසි අවස්ථා සඳහා යොදා ගැනීමට ඔබගේ විද්‍යුත් ලිපිනයට හා සම්බන්ධ කර ඇති විකල්ප විද්‍යුත් ලිපිනයක් (Recovery Email)  තිබේ නම් එය මාර්ගයෙන් ඔබගේ විද්‍යුත් ලිපිනයේ මුරපදය අලුත් කළ හැක.
  • ඔබගේ විද්‍යුත් ලිපිනයේ මුරපදය අලුත් කිරීමට නොහැකි නම් පැරණි වර්ඩ්ප්‍රෙස් ගිණුම අමතක කර දමා අලුතින් වර්ඩ්ප්‍රෙස් ගිණුමක් ඇරඹීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත 😦
  • අලුතින් වර්ඩ්ප්‍රෙස් ගිණුමක් ඇරඹීමටද අකමැති නම් වර්ඩ්ප්‍රෙස් යනු මළ ජරාවක් බවත්, මගේ බල්ලටවත් වර්ඩ්ප්‍රෙස් එපා යනුවෙන් බැන වදිමින් වදන්තද බ්ලොග් අඩවි කියවීම සහ කමෙන්ට් කිරීම ප්‍රතික්ෂේප කරන්න 😀

වර්ඩ්ප්‍රෙස් ගිණුමක මුරපදය අලුත් කරන පියවර

1 පියවර –  http://www.wordpress.com වෙත පිවිස දකුණුපස උඩු කෙළවරේ ඇති Log in සබැඳිය මත ක්ලික් කරන්න.

Recovery 1

2 පියවර – “Lost your password ?” මත ක්ලික් කරන්න

Recovery 2

3 පියවර – ඔබගේ වර්ඩ්ප්‍රෙස් ගිණුම සඳහා භාවිත කරන විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුළත් කර Get New Password බොත්තම මත ක්ලික් කරන්න

ඉංග්‍රීසි බසින් ඇති උපදෙස් මාලාව ලබා ගැනීමට අවශ්‍ය නම් guide to resetting your password සබැඳිය මත ක්ලික් කරන්න

Recovery 3

4 පියවර – ඔබ ඇතුළත් කල විද්‍යුත් තැපැල් ලිපිනයට වර්ඩ්ප්‍රෙස් ගිණුමෙහි මුරපදය අලුත් කිරීමේ සබැඳිය සහිත පණිවිඩයක් ලැබෙනු ඇති අතර එහි ඇති Reset Password බොත්තම මත ක්ලික් කරන්න

Recovery 4

5 පියවර – වර්ඩ්ප්‍රෙස් ගිණුම සඳහා වන නව මුරපදය ඇතුළත් කර Reset Password බොත්තම මත ක්ලික් කරන්න (ඔබට මතක තබා ගැනීමට පහසු අංක සහ විශේෂ අකුරු සහිත මුරපදයක් තෝරා ගැනීමට වග බලා ගන්න)

Recovery 5

6 පියවරLog in සබැඳිය මත ක්ලික් කරන්න

Recovery 6

7 පියවර  – ඔබගේ විද්‍යුත් ලිපිනය ඇතුළත් කර Continue බොත්තම ක්ලික් කරන්න

Recovery 7

8 පියවර – නව මුරපදය ඇතුළත් කර Log in බොත්තම එබීමෙන් ගිණුමට ලොග් වන්න

Recovery 8

9 පියවර – ටික කලකින් නැවත මුරපදය අමතක වූ විට 1 – 8 දක්වා පියවර මගින් එය අලුත් කරන්න. ඔබ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් අඩවියක පාඨකයෙක් නම් ඔබ  මුහුණපාන හැම ගැටළුවකටම වර්ඩ්ප්‍රෙස් වගකිව යුතු නැති බව සිහි තබා ගන්න 😀

සැලකිය යුතුයි : ඉහළින් විස්තර කළ පිළිවෙලට අමතරව, ඔබ කමෙන්ට් කිරීමේදී ලොග් වන පිටුවේදී “ඔබේ මුරපදය නැතිවුණාද”  සබැඳියෙන්ද මුරපදය අලුත් කිරීම සඳහා සැලකිය යුතුයි පිවිසිය හැක.

Login with Your Worpress Email

පසු ලිපි :

කණ්ඩා වදන්තද ගැන ලියන්නට පටන්ගෙන දැනට මසකට ඩිංගක් වැඩිය, ඒ කාලය තුළ වදන්තද පිළිබඳ කුතුහලයක් ඇති අතලොස්සකගේ ගැටළු වලට පිළිතුරු සැපයීමට මෙන්ම වර්ඩ්ප්‍රෙස් සම්බන්ධයෙන් වන ඇතැම් දුර්මත දමනයටද ඉඩකඩ ලැබුණි.

නමුත් එම අතරතුර කාලයේදී ලිපි කියවන සංඛ්‍යාව 70% කින් පහල වැටීම වදන්තද මෙන්ම කණ්ඩාගේ හෑලි ගැන ඇති ජනප්‍රියත්වයටද කදිම සාක්ෂියකි 😀 මෙම ලිපි පෙළ පටන් ගැනීමේදීම මේ ගැන දැන සිටි නිසාවෙන් වඩා වැදගත් කණ්ඩාගේ ආත්ම තෘප්තිය සහ කවදා කාට හෝ මෙම ලිපි පෙළ උදව් වේවා යන පැතුම පමණි !!!

ඉදිරියටත් මෙවැනිම (නී)රස වදන්තද ලිපියකින් නැවත හමුවෙමු 😀

~ කණ්ඩා !

මුලාශ්‍ර :

අදාල අනෙකුත් ලිපි :

Advertisements