Art by Joanne

ඇත්ත ඇති සැටියෙන් කියනව නං කලාව කියන දේ ලඟින්වත් ගෑවිලාවත් නොගිය මනුස්සයෙක් තමයි මේ කණ්ඩ කියන්නෙ, ඔය නොදන්නා මගුල් කරන්න ගොහින් වෙච්චි අකරතැබ්බ සහ අහ ගත්ත කුණු කතා ගැන තමයි අද මේ කියන්න යන්නෙ.

ඔය කලාව කිව්වට ඉතින් ඉස්කෝලෙ යන්න පටන් ගත්තු සන්දියේ ඇටිකිච්ච කාලෙ කලාව කියල එකක දැනං උන්නේ නැහැ නෙව, අපි දැනගෙන හිටියෙ චිත්තර, කවි සිංදු සහ නැටුම් කියන හතර වරිගයනෙ. ඒකෙනුත් අම්මයි තාත්තයි කියපු විදිහට නැටිල්ල තමයි කණ්ඩට හොඳටම පිහිටලා තිබ්බෙ හැබැයි ඒකට හොඳක් කියනව වෙනුවට පොල්කටු හැඳි මිටෙන් හරි ළඟ පාත කඩා ගන්න තිබ්බ ක්‍රෝටන් කොටුවකින් තමයි අම්මගෙනුයි තාත්තගෙනුයි දෙන්නගෙන්ම සමබරව හම්බ උනේ.

හෝඩියේ ඉඳන් තුනේ කැලෑසියට එනකං ඔය කියන මොකුත් අමුතුවෙන් විෂයක් විදිහට ඉගැන්නුවෙ නැතත් පන්තියේ ඉන්න ගමන් පිකාසෝ ආවේස වෙච්චි කට්ටඩියො වගේ ඇඳපු බලිකුරුටු, ටකරමකට බොරළු ගහන්නා වගේ (තල් අතු කොහෙද කොළඹ පළාතෙ උදවියට 😦 ) පුළුවන් තරම් හයියෙන් යටි උගුරෙන් අනුභව කරපු කවි, සිංදු වලින් අඩුවක් තිබ්බෙම නැහැ.

ඒ දවස් වල කණ්ඩ චිත්තරයක් ඇන්ද නම් අනිවාර්යයෙන් ඇඳපු දේ මොකද්ද කියල පොල් ගෙඩි අකුරෙන් යටින් ලියන්නම වෙනව, මොකද එහෙම නොවුන දාට ආයෙ සක්කරයගෙන් වරම් ලැබ ආවත් ඇඳලා තියෙන්නෙ මොනවද කියල චිත්තරේ බලල තේරුම් ගන්න පුළුවන් ජගතෙක් අපේ ඉස්කෝලෙ හතර මායිමේ හිටියෙ නැහැ.

වැරදියට හිතන්න එපා අපේ චිත්තර ඒ තරමට සවුත්තුයි කියල, හැකියාව, වටිනාකම තේරුම් ගන්න බැරි වෙච්චි පලියට නරකයි කිව්වැහැකිද ? මිනිස්සු පිකාසෝටත් පිස්සෙක් කිව්වලුනෙ 🙂 කණ්ඩත් පිකාසෝ වගේ තමයි, ඒ චිත්තරත් උත්කෘෂ්ඨයි ශ්‍රේෂ්ඨයි ඇඳපු මටවත් තේරෙන්නෙ නෑ !

සිංදු සහ කවි අතින් ගත්තත් කණ්ඩ සම වයසේ කාණ්ඩෙට වඩා නොසෑහෙන්න ඉස්සරහින් හිටිය, මොකද එළිසමය පිහිටුවල බොහොම අපූරුවට ලියපු කවි පන්ති කියවන කොට නිසදැස් හෝ ගද්‍ය සාහිත්‍ය බවට හැරවීම එසේ මෙසේ හපන්කමක්යැ ? කොටින්ම මම කවි කියන්න නැගිට්ටොත් රචනා කියවනව අහන්න කැමති එවුන් තමයි වට වෙන්නෙ.

සිංදු කියන එක එයිට එහා, අපේ අම්ම කියන විදිහට නම් ඒ දවස් වල මං සිංදුවක් කියන්න කට ඇරියොත් එළියට පනින්නෙ “යුද්ධෙට මං ගියා ගෑණි ගෙදර තියා”, “ගෝවේ ගෑණු පරාදයි”, “පෘතුග්‍රීසිකාරයා”, “මඩේ ලගින තාරාවන් නාවන්නද මං” වගේ ළමා ගීත විතරමලු. ඒවත් කොයිතරම් අපූරුවට කියනවද කිව්වොත් අපේ අම්ම නම් කියන්නෙ ඒව අහල ඉහ හිටපු උකුණෝ ලේඬිත් කරේ තියාගෙනලු බිමට පනින්නෙ.

කොටින්ම කණ්ඩ තමයි ඒ දවස් වල අම්මගෙ ඉසේ තිබ්බ උකුණො කරදරය සහමුලින් වඳ කරල තියෙන්නෙ, වස විස නැහැ තනිකරම ඔර්ගනික් (Organic) ප්‍රතිකාරයක් ! ඔහේලටත් මං වගේම හොඳට සිංදු කියන්න පුළුවන් නම් ඔන්න සත පහක වියදමක් නැතුව අත්හදා බලන්න පුළුවන්, ප්‍රථිපල 100% ක් විස්වාසයි 🙂

“මඩේ ලගින තාරාවන් නාවන්නද මං” : තාරාවෝ ඉගිලෙති ~ මර්සි එදිරිසිංහ

“ගෝවේ ගෑණු පරාදයි” : සමුද්‍ර දේවි ~ සඳුන් විජේසිරි

“පෘතුග්‍රීසිකාරයා” :  සංදේශය ~ එච්.ආර්. ජෝතිපාල

“යුද්ධෙට මං ගියා ගෑණි ගෙදර තියා” : “හුණුවටයේ කතාව” ~ සෝමසිරි අලකොලංග, විජිත සල්ගාදු

උකුණො ඇරෙන්න කණ්ඩා නිසා දැඩි අපහසුවට පත් වෙච්චි අනිත් සත්ව කොට්ටාසෙ තමයි අහල පහළ කාටවත් කරදරයක් නැතිව මීයෙක් දෙන්නෙක් ගිල දාගෙන සතුටෙන් හිටපු ගැරඬි, හරියටම කියන්න දන්නෙ නැති උනාට මං සිංදු කියනව අහං හිටපු එවුං නම් කියන්නෙ ගැරඬි සේරොම පළාතෙ නොහිට දිව්වෙ කකුල් කඩාගෙන කියල.

හිනා නෙමෙයි අද කාලෙ මෙහෙම උනා නම් සංවිධාන වලින් මෙලහකට නඩු දාලා 😦

චැහ් … ඒ උනාට අපේ කරුමෙට ඔව්වයේ පොටෝ පින්තූරයක් ගන්නවත් ඒ කාලෙ මොබයිල් එකක්වත් තිබ්බ කියලයැ ? අනික ඔය දවස් වෙනකොට අර පරිණාමවාදයද මොකද්දෝ එකක් කියල පල්ලියෙන් ගේම ඉල්ලපු චාර්ලිස් ඩාර්වින් ගොයිය දෙයියො හම්බ වෙන්න්න ගිහිල්ල හිටපු එක හරි පාඩුවක් !

හිටිය නම් මේ කකුල් තියන අලුත් ගැරඬි විශේෂයක්ද කියල හොයල බලන්න තිබ්බ. කොහොමද උජාරුවට ඌට නම තියනකොට “ප්ටියාස් මුකෝසා කණ්ඩාස් ~ Ptyas Mucosa Kandas” කියල. නමුත් ඒකෙන් මේකෙන් කණ්ඩට පින් සිද්ද වෙන්න පළාතෙ ගැරඬි නොහිටපු නිසා ඇති වෙච්චි මී වසංගතයට නිසා වත්තෙ මඤ්ඤාක්ක ගහක්වත් හිටව ගන්න බැරි ගානට ආව.

කොහොමින් කොහොම හරි ඔය විදිහට යනකොට සත්ව හිංසනය වලක්වන්න ඕනෑ නිසාත් ගැයුවට ඉමිහිරි පද උපුටා , කොවුලෙකු වෙනවද කළු කපුටා කියල කෑල්ලක් තියන සී.ටී. ප්‍රනාන්දු මහත්තයගෙ සිංදුව අහල කණ්ඩට සත්‍ය අවබෝධ වුණු නිසාත් සිංදු කියන ආසාව පොඩි කාලෙම අත ඇරල දැම්ම 🙂

උනහපුළුවටත්  උගේ දරුව මැණිකක් වගේ සිංදු කියන්නට බැරි බව දැන දැනත් වැරදිලාවත් පොඩි දවස් වල කණ්ඩා සංගීතයට යොමු උනොත් කියා තාත්තා මෙලෝඩිකාවක් ගෙනැවිත් දුන්න. නමුත් නමුත් කණ්ඩාගේ සරිගම කෑම කෙතරම් අගනේද කියනවා නම් ඒ කන්දොස්කිරියාව ඉවසා ගන්නට බැරිවදෝ අම්මා මේලෝඩිකාව අල්මාරිය උඩ හංගල තිබිල හොයා ගන්නට පසු කලෙක පුළුවන් උනා. ගෙදර ලොකු කොලුවාගේ සංගීතය හැකියාව ගැන අම්මාට ඒතරම් විස්වාසයක් තිබ්බ 🙂

ඔහොම යනකොට තුනේ කැලෑසිය පන්නල හතරෙ පන්තියට ආවට පස්සෙ අපිට ගොඩ යන්න තිබ්බ අස්ස රේස් එක පටන් ගත්තු නිසා කලාව කන එකට මද විරාමයක් ලැබුණ. ඒ අස්ස රේස් එක ගැන වෙනම ලියන්න ඕන. ඔය රේස් එක නිදහස අහුරපු හෙනම වාතයක් උනාට අද කණ්ඩ මෙතැන ඉන්නෙත් ඔය මළ ඉලව්වට පින් සිද්ද වෙන්නම තමා.

ඔන්න ඔය කාලෙ තමයි අපේ ලිවීමේ හැකියාව ගැන වැඩි අවධානයක් යොමු වෙන්න ගත්තෙ. එතකන් ඔය අම්මට හදිස්සියට ලූණු ගෙඩියක් දෙකක් ලියල දෙන එක, ඩබල් රූල් පොතේ පොල් ගෙඩි අකුරු ලියල හුරු උනාට පස්සෙ අකුරු ජිම් යවල හීනි කරලා තනි රූල් මැද්දෙන් අමාරුවෙන් කුරුටු ගාපු එකයි ඇරෙන්න එහෙමට ලොකු ලිවිල්ලක් දැනන් හිටියෙත් නැහැ.

නමුත් මොන කලාව කෑවත් ගුරුවරු දෙමව්පියො එහෙම කිව්වෙ කණ්ඩට තියෙන්නෙ ගෑල්ලමයෙක්ගෙ වගේ බෝල අකුරු කියල. ඔය කාලේ පන්තියේ 1-2 ස්ථාන වලින් පහළට නොගියට කෙරුවොත් කරන තකතීරු අණ්ඩපාල වැඩ නිසා කාගෙන් හරි හොඳක් ඇහුවමද මන්ද 🙂

නමුත් ලියන්න උගන්නවා කිව්වට ශිෂ්‍යත්ව විභාගෙට ඕන නිසා හරක බෝන් ලීයට බැඳල කෙවිටෙන් තලන්නා වගේ හැල්මේ දුවන්න කිව්වා මිසක් භාෂාව රස විඳින්න උගන්වන එක නෙමෙයි. ඒ කියන්නෙ නිතරම රචනා ලියන්න පුරුදු පුහුණු කරත් ඒ ලිවීම බොහොම යාන්ත්‍රික විදිහට සිදු වුණු දෙයක් මිස කලාවක් විදිහට ඉගැන්නුවේම නැති බව තමයි.

සමහර විට අපි පොඩි වැඩි හන්ද වෙන්න ඇති, (පහු කාලෙකදි සාමාන්‍ය පෙළ සිංහල සාහිත්‍ය කියල කරෙත් ඔය ටිකමයි) හැබැයි හකුරු වගේ තියන අකුරු රවුම් කිරීම, උපමා- උපමේය, යුගල පද, ව්‍යාකරණ, ණ – ළ භේදය වගේ ඒව නම් පෙව්වා ගානයි දැන් අමතක උනාට.

ඒ ඇරුනම ලියන අපිට ඉතිං වැඩියම වැදගත් උනේ පොතේ එහෙම නැත්තං ෆුල්ස්කැප් කොලේ පිරෙන ප්‍රමාණය, මොකද සම්පුර්ණ කරන්න ඕන වචන ප්‍රමාණයක් තියනවනෙ. අනේ ඉතිං මොන මාතෘකාවක් දුන්නත් ඉතින් වදෙන් පොරෙන් ලඟින් යන උපමාවක් දෙකක් රිංගෙව්ව, පොඩ්ඩක් පඳුරු තැලුව ගමන් පිටුව කෙළවරට ආව නම් ඔන්න රචනාව අහවරයි.

හැබැයි රචනා ගැන මතක් කරනකොට අර සුප්‍රසිද්ධ මැක්කා ගැන ලියාපු රචනාව ගැන නොලියාම බැහැ, කියවල නැත්තං ඕං ගිහින් බලා ගන්න එකයි ඇත්තෙ “සිරීගේ රචනාව“. අපිත් ඉතින් ලියන්න ගත්තහම ටිකක් ඒ වගේ තමයි දුන්න මාතෘකාව ඇරෙන්න අනික් ඔක්කොම පිටුව අස්සට බලෙන්ම ඔබ්බවල තියනව 😀

මේ රචනාව පසු කලෙක බ්ලොග්කාරයෝ එකතු වෙලා තව අරළු බුළු දාල ඇම්ඩන්කරණයට ලක් තව බොහෝ දුර නොමග අරන් ගිය බව මතක තිබ්බත් හදිස්සියට අර මොකේදත් අත දාන්ට බැරුවා වගේම ජන්ජාලයෙන් හොයා ගන්න බැරි වෙච්ච එකට කණ්ඩාගේ බලවත් සංවේගය ~ ඉරකි තිතකි !

ඔන්න ඔහොමයි ලිවීම ඉගෙන ගන්න උවමනාවට චිත්තර, සිංදු සහ නැටුම් ඉබේම පල්ලම් බැහැල ගියේ, නමුත් කණ්ඩා පහේ කැලෑසියට එනකොට හෙන ලොකු කොලුවෙක් මොකද ඉස්කෝලෙ අටේ පන්තිය වෙනකම්ම තිබ්බත් ශිෂ්‍යත්වයෙන් පාස් වෙලා බහුතරය වෙන පාසල් වලට යන නිසා අපිට වඩා ලොකු ඈයො බොහොම අතලොස්සයි හිටියෙ.

කොහොම කිව්වත් මේ කාලේ බොහොම සුන්දරයි, ළමයි ගැන බොහොම හිතපු හැබෑ ගුරුවරු කණ්ඩට හමුවුණා නම් ඒ සුභාරතී කනිෂ්ඨ විදුහලේ ගෙවුණු මේ කාලය තුළ තමයි. අපිට එහෙමට ගැහුවෙත් නැහැ නමුත් එකම වැරද්ද ආපහු නොකරන්න දෙන දඬුවම මතක හිටින්න දුන්න. පාසලකදි ගුරුගෝල බැදීම් කියන දේ හැබවින්ම අත් වින්දෙ සුභාරතියෙදි.

ඉතින් ඔහොම ඉන්නකොට කණ්ඩ ශිෂ්‍යත්ව විභාගෙන් සමත් උනා විතරක් නෙමෙයි ඉස්කෝලෙ උඩම 10 – 15 දෙනා ඇතුළට වෙන්නත් හැකිඋනේ දෙමව්පිය – ගුරුවරුන්ගෙ කැප වීම මත. ඔන්න ඔහොම තමයි කොළඹ ඉස්කෝලෙකට යන්න කණ්ඩටත් ටිකට් එකක් ඇදුනෙ. බණ්ඩ කොළඹ ආපු හැටි කතාවත් ලිව්ව දැනට අවුරුද්දකට දෙකකට කලියෙන්, කැමති අයට ඒ ගැන මෙතැනින් කියවන්න පුළුවන් : තවත් එක පරිප්පුවෙකුගේ ආගමනය !

කලාවන් ගැන මතක් කරනකොට කොළඹ ඉස්කෝලෙකට ගියාට පස්සෙත් අපි කලාව (නො)කරපු හැටි මතක් කළොත් හොඳ මදි හන්ද ඒ ඩිංගිත්තත් කියලම කතාව ඉවර කරන්නම්කො.

ඕං ඉතිං ලොකු ඉස්කෝලෙක හයේ කැලෑසියට වැටුණ කියන්නෙ ඔක්කොම හරි ගියා කිව්වොත් ඒක ලොකු වැරදීමක්. නමුත් අර  සංගීත  ඇල්ම ආයෙත් මෝදු උන නිසා තමයි මේ කියන දවස් වල ඩෙස්ක් එකටයි කවකටු පෙට්ටියටයි, ස්කුල් බස් එකේ ටකරමටයි තඩි බාගෙන සිංදු කි ගත්තෙ. ඔය හින්ද ඒ ඒ දවස් වල අපෙන් කවුරු හරි සංගීත භාණ්ඩ ගැන ඇහුවම අපි දන්නෙ කවකටු පෙට්ටියයි, සිලෝන් ටකරං බස් (CTB) එකේ පිටි පස්සෙ ඇලුමිනියම් තහඩුවයි රුපියල් දෙකේ කාසියයි තමා.

හැබැයි අර පරණ මතකයන් නිසා කණ්ඩ අනිත් උදවිය ගැන අනුකම්පාවෙන් නොදන්නා සංගීතය නොකර හිටිය මිසක් සංගීතයට බයේ හෙම නෙමෙයි ඕං. ඒ ගමන්ම කියන්න ඕන සංගීතය ඇත ඇරියත් ඉන් පස්සෙ ගිය චිත්‍ර පන්තියේදි හැමෝටම එපා වුණු අපිට සෑහෙන්න ලොකු පිළිගැනීමක් ලැබුණ.

අපේ පළමුවෙනි චිත්තර ගුරුන්නාන්සේ උන ලයනල් රණවීර මහත්මයා වගේම පහුකාලෙක අපිට චිත්‍ර අඳින්න (බැරි බව) ඉන්තේරුවෙන්ම උගන්නපු “මකරි” ගුරුතුමියත් (මතක ආකාරයට ඇගේ සැබෑ නම තමරා, නමුත් ඒ නම පාවිච්චි කළේම නෑ) අපිට සෑහෙන්න සැලකුවා.

පිකාසෝ වලෙන් නැගිටල ඇවිත් ඇන්ද චිත්‍ර පරාද කණ්ඩගේ බලි කුරුටු දැකපු ලයනල් රණවීර මහත්මයා ඇස් දෙකේ සතුටු කඳුළු පුරවගෙන කිව්වෙ මේ වගේ අලංකාර නිර්මාණ මොන්ටිසෝරි ළමයි අතර අතිශය සුලභ උනාට අපේ පංතියේ වෙන කාගෙන්වත් දැකලම නැහැ කියල. සමහර විට එතුමට පැටලෙන්න ඇති මිත්‍රවරුනි එතකොට මම හත වසරේ 😀

මේ දවස් වල අපේ පන්තියේ හිටපු නොම්මර එකේ සිත්තරා තමයි අපේ සාරංග කොලුව, වර්තමානයේ දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙක් සහ ඉගැන්වීම පැත්තට බර උනාට අදටත් බොහොම කලාබර මනුස්සයෙක් වෙන මේ හාදය චිත්‍ර වගෙම කවි එහෙමත් ලියන්න හපන. ඇත්තම කිව්වොත් ඒ දවස් වල සාරංගය චිත්‍ර අඳින දිහා අපි බලන් හිටියෙ කට ඇරගෙන. අපේ කොලුව චිත්‍ර තරඟ එහෙමත් සෑහෙන්න දින්න, නමුත් මගේ මතකය හරි නම් චිත්‍ර විතරක් නෙමෙයි මුළු 6 – 7 අංශයේම වාර විභාග කිහිපයකත් මුල් තැනට හම්බ උනා.

ඔය එක්කම සුභාරතියෙ ඉන්නකං කිසිම වග විබාගයක් සටනක් නැතිව 1 – 2 තැන ගත්ත කණ්ඩ මේ වෙනකොට පන්තියෙ මැදත් පහු කරගෙන අන්තිමය වෙන ගමන අරඹලා ඉවරයි (පහු කාලෙක කණ්ඩගෙ මේ ප්‍රයත්නය සාර්ථක උනේ උසස් පෙළ පන්තියෙදි අනිත් කෙළවරින් පළමුවෙනියා වෙලා :)).

කොහොමටත් ලංකාව හතර වටෙන් ශිෂ්‍යත්වය සමත් වෙලා ආපු හාදයෝ එක්ක පොතින් පතින් හැප්පෙන එක කණ්ඩට ලේසි පහසු දෙයක් උනේ නැහැ, නමුත් එක නිදහසට කාරණාවක් තිබ්බ ඒ මට ලකුණු අඩු චිත්‍ර වලට විතරයි කියන එක. අනේ ඉතිං එක කියල බකං නිලාගෙන ඉන්න ලැබුණෙ නැහැ කණ්ඩගෙ දෙමව්පියන් දැම්ම නේද චිත්තර ටියුෂන් පන්තියකට 🙂

ඒ පන්තිය කරේ කණ්ඩගෙ ආත්තම්මගෙ වයසේ හිටිය බොහොම කරුණාවන්ත ගුරුතුමියක්, ඒ පන්තියටම කණ්ඩගෙ සුභාරාතියේ සගයන් වෙච්චි ලලින්ද සහ ලලින්දගේ ඥාති සහෝදරයෙක් වෙච්චි එරංගත් සහබාගී උනා. මතක විදිහට එරංගගේ අම්මත් සුභාරතියෙ ඉගැන්නුවා අපි කිව්වෙ කොළඹගේ ටීචර් කියල. ඒ වගේම මතකය නිවැරදි නම් පස් වෙනි කැලෑසියේ කණ්ඩගේ ගුරුතුමිය වුණු මලවිගේ ටීචර් කොළඹගේ ටීචර්ගේ සහෝදරියක්, ලලින්දයගෙ අම්ම හරි තාත්ත හරිත් ඔය සහෝදර සමාගමේම අය මතක විදිහට.

අපිට අවුරුද්දක් වැඩිමල් වෙච්චි එරංග ඒ වෙනකොටත් පරිප්පුවෙක්, පහු කාලෙක සා.පෙළ සමත් වෙලා ලලින්දත් පරිප්පුවෙක් බවට පත් වුණා විතරක් නෙමෙයි ආනන්දයේ තිබ්බ හුරතල්ම ළමයි හිටපු සාන්ත භද්‍රාගේ කන්‍යාරාමයට (St. Bhadra’s Convent AKA Bio Section) ඇතුළත් උනා.

IMG_4496මේ පන්තිය තිබ්බෙ පරණ අතුරුගිරිය හන්දියයි පොලිසියයි අතර, පහුකාලෙක DP Aides ආයතනයෙදි හමුවුණු කණ්ඩගෙ මිත්‍රයෙක් වුණු චන්දික හෙවත් මයිලෝගෙ ගෙවල් එහෙමත් මේ කිට්ටුවමයි. අපිට අවුරුදු කිහිපයක් වැඩිමල් උනත් මයිලෝත් පරිප්පුවෙක් බලන්නකො ඒකෙත් හැටි, හැබැයි දැන් අහන්න එපා ඇයි මේ හාදයට මයිලෝ කිව්වෙ කියල ඕං  🙂

හොඳ කලාකරුවෙක්ට මැටි ගුලියක් දුන්නත් හොඳ නිර්මාණයක් කරන්න පුළුවන් බව අහල තිබ්බට අනේ අර කරුණාවන්ත ගුරුතුමී කොයිතරම් මහන්සි ගත්තත් චිත්තර අතින් උපන් ගෙයි මැටි මොලෙක් වෙච්ච කණ්ඩගෙ ටිකිරි මොළේට කලාව දාන්න නම් බැරි උන බව කියන්නම ඕන. මං හිතන්නෙ මැටි වල අවුලක් වෙන්න ඕන 😦

ඔය කොහොම වෙතත් පස්සේ කාලෙකදි අටේ කැලෑසියේ මේසයක් උඩ තියාපු තැඹිලි ගෙඩියක් අඳින්න දීපු වෙලාවෙ වැඩි හොඳට පැත්තක තිබ්බ තීන්ත ටින් එකක මූඩිය තියල තැඹිලි ගෙඩිය ඇඳපු එක ගැන බොහොම සන්තෝස වෙච්චි අපේ ගුරුතුමී මකරීගේ නිගමනය වූයේ කලාව කියන එකට අදාල කිසිම නහරයක් කණ්ඩාගේ ඇඟේ පිහිටලා නැති බවයි.

ඒ තැඹිලි ගෙඩියේ හැඩය අරය නියතයක්ව තබා ගනිමින් කෙතරම් අපූරුවට කණ්ඩා ඇන්දාද යයි කිව්වොත් පයිතගරස්, යූක්ලීඩ් සහ ආකිමිඩීස් තුන්කට්ටුවටවත් වැරද්දක් හොයන්නට බැරි බව ඉන්තේරුවෙන්ම විස්වාසය.

මකරී අපි පන්තියට එනවාට වැඩි කැමැත්තක් තිබුණේ නැතිය, අප දුටු වේලේ සිට මුහුණ පුළුටු කර ගන්නවා මිස හිත සතුටු කරන්නට හෝ දිරිමත් කරන්නට එක වචනයක් පිට වුණේ ඇගෙන් නොවේ. කණ්ඩාට පසු කලෙක බොහොම සාමාන්‍ය දෙයක් වූ කට්ටි පැනීම පටන් ගත්තේ අට වසර චිත්තර පන්තියේදී බව කියන්නට සන්තෝසය.

කෙසේ වෙතත් මෙවන් මදි පුංචිකම් නිසා නමය කැලෑසියේදී කණ්ඩාගේ චිත්තර කරුමාන්තයට නැවතීමේ තිත වැටුණාට වැඩියම සතුටු උනේ කණ්ඩා 🙂

චිත්තර කර්මාන්තයේ සිට ඉංගිරිසි සාහිත්‍යට තල්ලු වුණ කණ්ඩා ඉන්පසු සා.පෙ. ගණිතයට අධි සම්මාන ලබා හෙනම ගණංකාරයෙක්ය යන මාන්නයෙන් ගණංකාරකං (නො)කරපු නිසා කලාවේ වාසනාවට කලා අංශයෙන් ශිල්ප කාලා නිදි උපාධියක් කරන්න අවස්ථාවක් ලැබුනේම නැත 😦

නමුත් රටේ ලෝකෙ සිද්ද වෙන දේ බැලුවහම අනිත් හැම දෙයක් වගේම කලාව, සංගීතය ගැන කිසිම දෙයක් නොදැන සිටීමත් හොඳ සුදුසුකමකි. දේශපාලනය නොදන්නා හොරකම දන්නා එවුන් දේශපාලනය කරති, ගායනය නොදන්නාමුත් සිංදු යයි කියාගන්නා වදන් පේළි කිහිපයක එල්ලීගෙන වැළපෙන උන් ගායකයෝ.  එහෙම බලනකොට නං කණ්ඩත් නොම්මර එකේ කලා කාරයෙක් තමාය !

~ කණ්ඩා !

පසු ලිපි :

උඩින්ම දාපු චිත්තරේ යාළුවෙක්ගෙ පොඩි එකියක් කණ්ඩ දෙමහල්ලන්ව ඇඳපු හැටි, මං චිත්තරයක් ඇන්ඳත් ඔයිට හොඳට එන්නෙ නැති නිසා ඒකම දැම්ම !

Advertisements