Mouse Looking Terrified

මීයන් අල්ලං .. අල්ලං .. අල්ලං ..

ඔන්න කාලෙකට පස්සේ අනිත් රටේ ලෝකෙ වැඩ වලින් නිදහස් වෙලා ආයෙමත් කණ්ඩගෙ බ්ලොග් මැසිම පණගහල ගන්න හිතුව, එහෙම කිව්වට ඉතිං ලියන්න දෙයකුත් එපායැ ඒ හන්ද මැසිම රත් වෙනකං පොඩි හෑල්ලක් දානව අදට.

ඇත්තටම මේක මම මීයො ගැන පොස්ට් එකකට කමෙන්ට් එකක් විදිහට කොටන්න ලියාපු එකක්, නමුත් කොහොමින් කොහොමහරි ඒක මග අරුන නිසා කතාවක් විදිහටම දාන්න හිතුන. මේ මීයො ගැන කතන්දර උගේ බ්ලොග් එක හරහා මුලින්ම ඇවිස්සුවේ පැණ්ඩෙක්, නිකම්ම නිකං පැණ්ඩෙක් නෙමෙයි රතු පැණ්ඩෙක් !

හැබැයි මුට වල් පැණ්ඩ කියලත් කියනව ඒ නම් වර්ගයාටත් වඩා කල් කිරියාව නිසා. දැන් අහන්න එපා චීනෙන් රතු දත්ත පොතට ගිය එවුන් කොහෙද ලංකාවෙ බ්ලොග් ලියන්නෙ ? වගේ අපිට උත්තර දෙන්න බැරි කතන්දර 🙂

කොහොමින් කොහොම හරි මීයන් අල්ලන් කියන පොස්ට් එක ලිව්වේ පැණ්ඩෙක්, මම ජීවිතේටම බොරු කියල නැහැ කවදාවත් කාටවත්, ඒ හන්ද මාව විස්වාසේට ගන්න 🙂

Red Pandaඇත්තම කිව්වොත් අපි දන්නෙ නැහැ, සතා වල් උනත් හරි හුරුබුහුටිකමට ඉන්න නිසා සත්වෝද්‍යානයකින් පැනල ආපු පාර දරුකමට හදාගත්තද කියල ?

ඒ අතරේම අපේ අටම්පහිය එළිය වෙන්න ලියන අයගෙන් ගැමුණු ඒකනායක, තිලිණ ප්‍රියසාද් සහ උඩගෙදර මාමා ලියපු මීයො ගැන කතා නිසා මටත් මී උගුලක් ගැන ලියන්න හිතුන. ( හැමෝගෙම ලාම්පුසංවේගය උදෙසා ඒ කතන්දර ටිකත් පහළින් දාල තියනවා 😀 )

මේ අයගෙන් ගැමුණු මලය මුට්ටියක්, නෑඹිලියක් සහ පොල් කටු තුනකින් සහ මීයා කන්න කැමති කෑමක් යන හතර වර්ගය යොදාගෙන මීයෝ අල්ලන උගුලක් ගැන බොහොම සරල නමුත් අපූරු විස්තරයක් දාල තිබ්බ. මේ ක්‍රමය බොහොම හොඳයි තමයි නමුත් මට මේකටම පාවිච්චි කරන්න පුළුවන් තවත් අඩු වියදම් ක්‍රමයක් ලියන්න හිතුන.

ආ …. අර ගැමුණු මලයගෙ උගුලෙ පොඩි අවුලක් දැක්ක ? තව ඩිංගෙන් ඒ ගැන කියන්න අමතක වෙනව මේ පැණ්ඩෙක්ගෙ වල්පල කියන්න ගොහින් 🙂

1 ) මීය අපේ උගුල දැකල මුට්ටියට රිංගුවා කියමුකෝ … වැඩේ තියෙන්නෙ මීය දඟලනකොට මුට්ටිය නෑඹිලිය උඩට වැටුණොත් දෙකින් එකක් කැඩෙන්න පුළුවන් වීම. එතකොට මේක අටවන හැටි උගන්නපු අයටයි අටවපු අයටයි හචින් යන්න ගත්තම ඒ වගකීම අපිට ගන්න බැහැ

2 ) අනික අර ළිං තොට ගාව ඉයන් මහත්තය කියල තිබ්බ විදිහට මේකට බෝඩ් ලැල්ලක් ගහන්නත් ඕන මීයන්ට පමණයි කියල. මොකද නැත්තං මේකට බළල්ලුත් හොට දාන්න ඉඩ තියනව. බළල්ලු දීකිරට විතරක් නෙමෙයි හොස්ස පොවන අහක තියන ඕනෑම තියන දෙයක් කනවා කියල දන්නවනෙ.

3 ) අන්තිම කාරණේ මේකෙන් මීයව අල්ල ගත්තට පස්සෙනෙ ලොකුම වැඩේ, මේකව උගේ අයිතිවාසිකම් කඩ නොවෙන විදිහට කවුද? කොහෙටද? කොහොමද? ගිහින් දාන්නෙ කියන එක ලොකු ප්‍රශ්නයක් !

මං කියන්න යන සිස්ටම් එකත් බොහොම අපූරුයි හැබැයි පොඩි කොස්සකට තියෙන්නෙ ඒ උගුලත් සර්ව සම්පුර්ණ නැහැ පහත දේවල් නිසා

1 ) අකුරු කියවන්න බැරි බළල්ලු ඉන්න ගෙවල් වල මේක කරන්න බැරි වීම (එනිසා  බළල් තඩියා කියවීම ඉගැන්වීම සඳහා ටියුෂන් යැවීම හෝ තාවකාලික නිවාඩු ලබා දීම සුදුසුයි).

2 ) උගුල නිසා මීයන් මරණයට පත් වීම (සත්ව වේදීන්ගේ සංගම් වලින් තවම ඒ තරම් තදට මීයොන්ගෙ ප්‍රජා අයිතීන් ගැන නොසොයන නිසා ඒකෙ අවුලක් මට නම් පෙන්නෙ නැහැ)

හරි .. හරි .. දැන් කියෙව්වා ඇති ඕන්න එහෙනම් අහගන්න මගේ මීයෝ අල්ලන ක්‍රමය, හොඳට කරුවල වැටිලා ගෙදර උදවිය කාල බීල නිදාගන්න ලක ලැහැස්ති වෙන වෙලාවට තමයි මේ උගුල අටවන්න සුදුසුම වෙලාව.

1 ) පොල් කෑල්ලක්, කරවල කටු කෑල්ලක්, අඟල් 10 x 12 ලෑලි කැබැල්ලක් සහ කම්බි කෑල්ලක් අවශ්‍යයි.

2 ) පසෙක පොල් කෑල්ලද අනික් පස කරවල කට්ටද අඟල් 7 – 8 ක පරතරය සිටින සේ කම්බිය යොදාගෙන පහසුවෙන් ගැලවිය නොහැකි සේ රඳවන්න

3 ) මීයන් නිතර ගැවසෙන අඳුරු මුල්ලක මෙම උගුල රඳවා රැයක් තිබෙන්නට හරින්න.

4 ) ගෙදර බළල් තඩියෙක් ඉන්නවනං එතැනම “අතිශයින්ම මීයන්ට පමණයි !” යනුවෙන් බෝඩ් එක්ක ගහන්න අමතක කරන්න එපා. (මීයන්ට නං කියවන්න බැරි උනාට කමක් නෑ පූස විතරක් කියෙව්වහම හොඳටෝම ඇති)

පසුදින උදෑසන උගුලේ  ප්‍රතිපල පරීක්ෂා කර බලා පරලෝ සැපත් මීයා ඉවත් කරන්න.

පසු දින නැවත උගුල අටවන විටදී පොල් කෑල්ල සහ කරවල කට්ට ඉවත් කර පෙර පරිදිම රැය පුරා තබන්න. උපරිම ප්‍රතිපල ලබා ගැනීමට මෙලෙස රැයක් ඇරෙන්නට රැයක් කෑම සහිතව සහ රහිතව උගුල අටවන්න.

ඔබගේ සාර්ථකත්වයේ දැනුම අන් අය හා බෙදා ගැනීමට මෙය ඔවුන්ටත් උගන්වන්න !

රතු පැණ්ඩා : මීයන් අල්ලන්

https://tharindugelokaya.blogspot.com/2018/10/blog-post.html#comment-form

තිලිණ ප්‍රියසාද් : අදත් මීයෙක් අහුවෙලා….

https://www.facebook.com/groups/sakalansamale/permalink/2330506697022103/

ගැමුණු ඒකනායක : මී උගුල

https://www.facebook.com/groups/sakalansamale/permalink/2248428678563239/

උඩගෙදර සුගතපාල : අහිංසක උගුල

https://www.facebook.com/groups/sakalansamale/permalink/2365375330201906/

පසු ලිපි :

Tom and Jerry

පොඩිකාලේ Tom & Jerry කාටුම බැලුවට පස්සෙ මීයො ගැන මේතරම් හෙව්වමද මන්ද ?

ඒ නිසා මේ ගැන හිතන්න පාර එළි කරපු හැමෝටම විස්කෝතුයි, මං යනව ආපහු Tom & Jerry බලන්න  😀

~ කණ්ඩා !