Sad Christmas

අති ගරු කණ්ඩාචාර්යතුමා,
OCD – Uස්වැටKයියාව, BBQ – Soමාලියා, දිවයිනෙත් නැති සාම විනිසුරු
(බල්ලෙක්වත් නැති) අපේ කන්තෝරුව,
මැදක් නැති පෙරදිග,
ඔටුවංගේ රට.

ක්‍රිස්තු වර්ෂ 2018 ක් වූ දස වෙනි මස 24 වැනිදා

සැන්ට් නිකුලස්,
ආයතන ප්‍රධානී – නත්තල් තෑගි බෙදීමේ මධ්‍යස්ථානය,
උතුරු පොල්ල, පිණිමුවා ජනපදය,
හෝ ..හෝ.. හෝ .. ලන්තය.

මයි ඩියර්* දයා බර නත්තල් පප්පේ,

නත්තල් තෑගි / තෑගි අයදුම් පත්‍රය පිලිබඳ පැමිණිලි

අහිංසක හොඳ ළමයෙක් වන මා අනිත් නාහෙට නාහන උන් වගේ නොව පසු ගිය අවුරුද්දේ ඉතාමත් යහපත් කල් කිරියාවෙන් ගෙවූ බව දැනුම් දෙන්නට කැමැත්තෙමි.

සැලකිය යුතුයි : බුකියේ එවුන් ලියන වඳුරු කුණුහබ්බ කියවා ඒවාට කමෙන්ට් කිරීම, ඉඳහිට අපාය සහායක යාලුවෙක්ගේ වැරදි ආස්සරය නිසා දෙකක් නවා ගත්කල දේසපාලුවන්ගේ සහ උන්ට කඩේ යන උන්ගේ මව්පියවරු සිහි කරමින් ජාතිය ඇමතීම වැනි දෑ නොසලකා හැරිය හැකි අංශුමාත්‍ර වැරදි යයි සිතමි.

නමුත් අවාසනාවකට පෙර අවුරුදු වලද එසේම හොඳින් හැසිරුනත් ඉන් මට හමුවුන බිබික්කමක් නැති බව කියන්නේ හිතේ අමාරුවටය. එනිසා ඔබතුමා හිත නරක් කර ගන්න කාරි නැත මේ ලියන්නේ නොලියාම බැරි තැනය.

පහුගිය අවුරුදු කිහිපය පුරාවට ඔහේ එයි කියා මග බලාගෙන හිටියත් ඒ හැම පාරකම ඒ බලාපොරොත්තු සුන් වූ බව කියන්නේ හද පිරි ශෝකයකින්ය. හාමිනේ නං කීවේ මැදපෙරදිග තෑගි බෙදන්න ආ ගමනකදී අයිසිස් නඩය පිණිමුවෝ ටික බයිට් එකට අරගෙන ඔබතුමාගේ හිස ගසා දමන්නට ඇතැයි කියාය. ඒත් මැදපෙරදිග යුධ කලාප වල ඉන්නා සුලු ජාතික කිරිස්තියානිකාරයන් දිහා දෙයියනාන්සේවත් නොබලන එකේ ඔබතුමා ඒ පැත්ත පළාතේ නොයන බව මට නං බුදු ෂුවර්ය.

එහෙම වෙලාවට හිතෙන්නේ කඩවුණු පොරොන්දු දීපු ඔහෙත්, අපේ දෙපිටකාට්ටු දේසපාලුවනුත් එක වල්ලේ පොල් ඇපොල් කියාය. ඒත් අහිංසක මංතුමා නම් දේසපාලුවෝ වගේ නෙමේය … ලෝක වටේ සවාරියක් … සැප කාර් හතර පහක් තිබ්බොත් උවමනාවටත් වැඩිය. කොහොම උනත් ඔය වගේ පොඩි දේවල්වත් කරගන්න බැරිව නත්තල් පප්පාතුමා අපේ සමනල මාමා ගානට වැටෙනවාට අපේ කිසිම මනාපයක් නැත.

එහෙම උනෝතින් ඔබතුමා වටේ ඉන්නා අඟේ ඉඳන් කණ කන පිණිමුවෝ සහ *එල්ෆ් සෙට් එක විසින් දෝෂාභියෝගයක් ගෙන එන්නට බැරිකමක් නැතුවා මෙන්ම, මේවා තේරුම් බේරුම් කරගන්න උතුරු පොල්ලේ ශ්‍රේෂ්ඨාධිකරණයක් තියෙනවාද දන්නෙත් නැතිය.(එහෙම එකක් ඔහේ නැත්තං මෙහෙ එන්නත් එපාය)

අපිට නත්තල් තෑගි නැතත් අපේ ග්‍රාමසේවකතුමා වගේ හැම උදේකම පත්තරේ කියවනකොට පුංචි අපිට හිතෙන්නේ ඔබතුමා අපේ තෑගි ඔක්කොම දියවන්නාවට ගොහින් දීල කියලාය. ඒ මොකද කියනවා නම් ඒ උදවියට හැමදාමත් නත්තල්ය … නැව ගිලුනත් බෑන් චූන් කියා ජොලියේ අපිත් කිසි අකමැත්තක් නැතත් බඩේ ගින්දර නිවන සටන නිසා එහෙම ඉන්නට බැරිය.

පප්පාතුමා පහුගිය දොහේ නාව එකේ මෙදා පාරත් නේන බව මගේ හිත කිව්වත් මේ ලියුම ලියන්නේ හිත නිදහස් කර ගන්නය … ඒ හන්ද මෙදා පොටෙත් තෑගි නැතත් ඔහේට සුභ නත්තලක් වේවා !!!

මීට

විශ්වාසී

කණ්ඩා !

(*පිණි මුවෝ සෙට් එක නොවන බැව් කරුණාවෙන් සලකන්න)


බුකි වාසී … බ්ලොග්ලන්තවාසී … සකල දේශ වාසී සැමටම

සුභ නත්තලක් වේවා !

Merry Chritsmas - Low Res

Advertisements