මගේ නිර්මාණයක් නොවුණත් මේ කවිය පල කරන්න මා වෙත එවපු නිසා මොකද්දෝ හේතුවකට හිත ගැස්සුනා, බොහොම තදට වැදුණා … එනිසයි පල කරන්න හිතුවෙ 😦

අවසන් කවිය ලියනට නෙත කදුලු පිරී
පන්හිද අතට ගමි සරසවි දෙසට හැරී
කවිකම අතැර ඉන්නට මට නමුත් බැරී
කවියට සමුදෙන්න මට දැන් කාලෙ හරී

කරමින් රූසිරිය වර්ණා කෙලෙස් ගගේ
පිහිනා සිටිය කාලය ඇතිබවක් හැගේ
හොදහැටි වැටහුනා බියකරු සසරෙ රගේ
සදහම් ඔරුව පැද ගොඩයමි සසර ගගේ

ඇලිලා කෙලෙස් මල රිදවන විටදි හද
රැකගත යුතුද එය තව තව කරල තද
පව් පින් සියලු එක්කොට පොදියකට බැද
ගෙනයන සසර අතහැර යන එකයි හොද

තන්හා රති රගා තුන්පොට සසරෙ බැදී
නිදහස දැනේ ගිය යම්කිසි දිනක බිදී
දැන දැන මේව ගැන තවමත් එයට බැදී
ඉන්නා එකා ඉනු ඇත සසරටම බැදී

දැනුනොත් හදට බියකරු බව සංසාරේ
එනුමැන නුඹත් ගෞතම මුනි ගිය පාරේ
සසරින් එතෙර නිර්වාණෙට යන පාරේ
දහසක් දෙනා ඇති ගිය සම්බුදු පාරේ

පබැඳුම : අසිත හෙට්ටිආරච්චි (Hettiarachchi ARK)

පසු ලිපි :

“අයියෙ මේ මගේ අන්තිම කවි පංතිය. මේක ගෲප් එකේ පල කරන්න, මම හෙට ආරණ්‍යවාසී වෙනවා. හෙට ඉදලා මම ෆේස් බුක් නෑ.  ස්තූතියි දුන්නු හැම සහයෝගයකටම.

අවුරුදු 60ක ජීවිතයක් වෙනුවෙන් අපි කොච්චරක් මැරෙනවද අයියෙ. ගිහි ගෙය කියන්නෙ ගින්නක් අපි ඒකෙ පිච්චෙන ගමන් පිච්චෙන එක ආශ්වාදය කියලා හිතාගෙන ජීවත් වෙනවා. අපි ලෝකෙ ලොකුම සල්ලිකාරය උනත් අපේ හිතේ සතුටක් නෑ අයියෙ. සතුට තියෙන්නෙ අත්හැරීම තුල. මම ඒ නිසා ඒ නිරාමිස සතුට හොයාගෙන යන්නෙ”

ඉහත පණිවිඩය සහ කවිය අපේ සමූහය වෙත ගොඩ වැදිලා බොහොම ටික කාලෙකින් හිතට කාවදින නිර්මාණ රාශියක් කරපු අසිත හෙට්ටිආරච් මලයගෙන් මලයගෙන් මට කලින්දා ලැබුනෙ. ඒ එක්කම බොහොම කාලයක් දැන හිටපු මිත්‍රයෙක් ඈත් වෙලා යනවා වගේ හීනි දුකක් නොදැනීම හිතට කාන්දු උනත්,

උඹට යහපතක්ම වේවා, සුභ ගමන් හෙට්ටියෝ !

~ කණ්ඩා !

Advertisements