monument station entrance

හාමිනේ සහ මොනියුමෙන්ටල් කබරයා !

කණ්ඩා තවමත් කතා ලියන්නට බොහොම මනාප උනත් හරහට ඇත්තේ කාලය මදකමය, එනිසා දැන් ඉඳහිට ලියන්නට යෙදෙන පරණ කතා පෙලෙහි කොටස් අගක් මුලක් නොතේරෙන ගතියක් දැනුනොත් කණ්ඩා සමාව භජනය කරන්නේය. මාගේ හෑලි කියවන සහ ඉදිරියට කියවන්නට බලාපොරොත්තු වන ඔබ සැමගේ ලාම්පු සංවේගය උදෙසා මෙම ලිපියේ පෙර කොටස් සඳහා සබැඳියන් පහතින් ඇතුළත් කරනව 🙂

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ I කොටස ~ රැජින ආත්තම්මා වෙත ආදරයෙන් ලියමි !

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ II කොටස ~ A380 සහ සුද්දගේ ජර්මන් බෝම්බ !

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ III කොටස ~ බ්‍රමී නුවර සහ ලිච්ෆීල්ඩ්

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ IV කොටස ~ පෙන්ඩොලීනෝ, අණ්ඩග්‍රවුන්ඩ් සහ බෝම්බ

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ V කොටස ~ බුරන ස්ටේසම සහ දැවැන්තයෙක් හමුවීම !

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ VI කොටස ~ දෙගොඩහරි ජාමේ හිමකිරම, ගී අමා සහ පරිප්පු කතා

හිරු නොබසිනා දූපතේ සවාරිය ~ VII කොටස ~ මැන්චෙස්ටර් : 2017 මැයි 22 ~ 22:31 BST


බෝම්බ ප්‍රහාර, රාජකාරි වැඩ, ඇසි දිසි සහ කෑම බීමද සමග යෙදුණු රස්තියාදුවද නිසා කාලය වේගයෙන් ගලා යනු අපට නොවැටහුණ තරම්ය. රාජකාරි අවසානයේ කන්තෝරුවට සමුදී නැවත ලිච්ෆීල්ඩ් වලින් පිටත් වෙන දවස උදාවිය, පෙර පරිදිම අපව ට්‍රෙන්ට් වැලි දුම්රියපොළට ඇරලවන්නට ලිස් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූවාය.

සුපුරුදු පරිදි දුම්රියට ටිකට් වෙන් කළේ අවසන් මොහොතේ බැවින් අප හෝටලයෙන් පිටත් වෙන්නට සිදු වූයේ වූයේ තරමක කඩිමුඩියේය, සතියකටත් අධික කාලයක් තිස්සේ පාවිච්චි කළ බඩුබාහිරාදිය ආපසු අසුරා ගැනීම ලෙහෙසි නැත නමුත් එය හාමිනේගේ අතින් අඩු පාඩුවක් නැතිව සිදුවන නිසා කණ්ඩා ඉන් නිදහස්ය. එනිසා දිවා අහාර ගන්නට කාල වේලාවක් නැති හෙයින් කණ්ඩා අසල වූ අවන්හලකින් මගදී කන්නට අඩියේ සැන්විච් දෙකක් (Footlong) මිලදී ගත්තේය.

mecedese benz amg a45අප දෙදෙනාව හෝටලයෙන් නංවා ගන්නට ලිස් පැමිණියේ වෙනදා සුපුරුදු AMG (A45) බට්ටා වෙනුවට ඇගේ කෑම්පින් සගයා වූ ඉඩ පහසුකම් ඇති වෝක්ස්හෝල් රථයකිනි. කණ්ඩාට වඩා ලිස්ට සිහි කල්පනාව තිබුණු නිසා හොඳය, නැති නම් අප දෙදෙනාගේ යෝධ මලු දෙක කවදාවත් ඇගේ AMG බට්ටා ඇතුළට ඔබන්නට බැරිය.

කෙසේ උවත් ගත වූ දින කිහිපයට ඉගිල්ලෙන්න තටු නැතිමුත් රියදුරන් ගුවන් නියමුවන් කළ හැකි AMG පොකට් රොකට්ටුව කණ්ඩාගේ හිත කෙතරම් පැහැර ගත්තාද කියතහොත් මේ මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද බෙන්ස් දැන්වීම නොදමා ඉන්නට බැරි විය. අද වෙන තෙක් මේ බට්ටා දෙවැනි වෙනවානම් ඒ මිනි කූපරයකට පමණක්මය (මේ දෙදෙනාම බොහොම හැඩ රුව ඇති හුරුබුහුටි ක්‍රීඩාශීලි ජර්මනු ළමිස්සියන්ය 🙂 ).

එහෙත් මාගේ හැච් බැක් ලයිස්තුවේ දෙවන සහ තෙවන පෙම්වතියන් ලෙස අරක්ගෙන සිටි අනෙක් ජර්මානු ලමිස්සිය වන VW Golf GTI සහ සමුරායි රටෙන් ආ සකුරා මල වන Honda Civic වෙතද සිදු වූයේ බලවත් අසාධාරණයක්මය 🙂

අප දුම්රියපොළට ගොඩවැදී ටිකට්පත් ලබා ගත් පසුව ලිස් විමසුවේ අපගේ ගමන් මලුත් රැගෙන අනෙක් පස ඇති වේදිකාව වෙත යන්නේ කෙලෙසද යන්නයි ?

එසැනින්ම බර්මින්හැම් හරහා නැවත ලන්ඩන් වෙත නොයා මෙහි පැමිණීමේ මරි මෝඩකම කණ්ඩාට අවබෝධ විය, නමුත් ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්නට බැරිය. වේදිකාව වෙත ළඟා වීම සඳහා මහගිරි දඹය වැනි හැටහුටහමාරක් පඩි වලින් යුත් පියගැට පෙළ දෙකක් තරණය කළ යුතුය. මාසකට අධික සංචාරයකයකට සූදානම්ව පැමිණි නිසා අප දෙදෙනාගේම ගමන් මලු හොඳටෝම ඉදිමිලාය.

ගුවන් ගමන් මළු සඳහා කිලෝ 32 ක උපරිම බරක් යොදා ඇත්තේ ඒවා ආම්බාන් කරනා උදවියගේ ශරීර සෞඛ්‍යය සැලකිල්ලට ගෙනය, එය කණ්ඩාටද අදාළ බව තේරුම් යනවිට ප්‍රමාද වැඩිය. තකතීරුකමක මහත කෙතරම්ද යත් හාමිනේගේ විරෝධයද නොතකා අතේ රැගෙන යන බෑග් මලු දෙකද වැඩි පහසුවට මෙම තඩි බෑග්මළු දෙකටම එබීම නිසා එකක් කිලෝ 30 – 35 ක් පමණ බරය. (කොහොමද ටිකිරි මොළේ 🙂 )

ආපහු හැරී යන්නට බැරි නිසා ලිස් හට සමුදුන් අප කෙසේ හෝ බෑග් මළු ඔසවාගෙන ට්‍රෙන්ට් වැලි දුර්ග තරණය ආරම්භ කළෙමු (හපුතලේ නගිනවා මෙන් කවි කියවුනේ නැතත්, හිතෙන් එළියට නොපැන්න කුණු හබ්බයක් දෙකක නම් පිටවුණා මතකය). අප යන තුරු බලා සිටි ලිස්ට අපගේ මොළය හොඳ නැති යයි හිතුනා නම් එය පුදුමයක් නොවේ 🙂

පෙර සතියේද මෙම දුම්රියපොළෙන්ම ගමන් ගත් අප සතුව එවර තිබුනේ දින දෙකකට පමණක් සෑහෙන සැහැල්ලු ගමන් මල්ලක් නිසා ඒ ගැන වැඩිදුර කරදර වන්නට උවමනා නොවීය.

මුරණ්ඩුකම නිසා හාමිනේද මගක් දුර තම මල්ල තනිවම රැගෙන ගියත් බැරිම තැන හති අරිමින් නතර වූ ඇය ගමන් මල්ල ගන්නට කණ්ඩාට ඉඩ දී පසෙකට වූවාය 🙂 අමාරුවෙන් නමුත් බෑග් මලු දෙක රැගෙන තුම් මුනින් දාඩිය දමාගෙන වැනි වැනී හතිලමින් වේදිකාවට යන අතර ආයෙත් මෙවැනි ගොන් තකතීරු වැඩක් නොකරන්නට අප දෙදෙනාම තීරණය කර අහවරය.

අපගේ දුම්රියට තවත් අඩ හෝරාවක පමණ කාලයක් ඉතිරිව තිබුණ නිසා වේදිකාවේ රැඳී සිටි අප අත වූ සැන්විච් දෙකද උදරය දෙසට වාෂ්ප වී ගියේය. නැවුම් සලාද කොළ, තක්කාලි සහ හැම් යොදා ඉතා රසවත්ව සකසා තිබ්බත් එය හාමිනේට උවමනාවටත් වඩා වැඩිය. නමුත් බඩජාරිකමට කන්නට බැරි බැරි ගානේත් ඉස්මුරුත්තාවටම සැන්විච් එක ගිලීමට හාමිනේ සමත් විය (දෙදෙනාම හරහට උස යන්නේ හේතුවක් නැතිව නොවේ 😀 ).

ඒ අතරම කන් කීරි ගස්වමින් නොනවත්වා දෙපසට ඇදෙන අධිවේගී දුම්රිය කට්ටල මෙන්ම සද්දයක් නැතිව විත් සද්දයක් නැතිවම මගීන් රැගෙන පිටත්ව යන සාමාන්‍ය දුම්රියද, වේදිකාවට යන එන උදවිය දෙස බලා හිදීමද (People Watching) ඉතා අපූරු විනෝදාංශයකි.

කණ්ඩාත් හාමිනේත් කරන බහුතරයක් දේවල් කරන්නේ 50 – 50 බෙදා ගෙනය, මෝඩ කමුත් එහෙමමය. එනිසා පෙර සඳහන් කළේ කණ්ඩාට දෙවැනි වීමට ඇති බලවත් අකමැත්ත නිසාවෙන් හාමිනේද මෝඩකමකට මුල පිරූ අයුරුය.

අවසානයේ අප ගමන් ගැනීමට නියමිත මිඩ්ලන්ඩ්ස් දුම්රිය පැමිණියේය. ඒ වන විට වේදිකාවේ ඉතිරිව සිටියේ මගීන් කිහිප දෙනෙකු පමණක් නිසා කිසිඳු  කලබලයකින් තොරව දුම්රියට නැග ගත්තත් බෑග් මළු දෙක නැවතත් හරහට සිටියේය. මැදිරි 4-5කින් යුතු වූ දුම්රියේ බහුතරයක් හිස්යමුත් ප්‍රමාණයෙන් විශාල ගමන් මලුත් රැගෙන මගීන් ගමන් ගන්නා සාමාන්‍ය  ආසන සහිත කොටසේ රැඳී සිටින්නට ඉඩකඩ නැතිය. එනිසා ගමන් මලු බඩුබාහිරාදිය රැඳවීමට  මැදිරිය කෙළවරක වෙන්කර ඇති කුටියේ තබ්බනවා විකල්පයක් නැත.

අපත් සමගම බයිසිකල් රැගෙන සමග කෙටි දුර ගමන් යෙදෙන කිහිප දෙනෙක් ඇරෙන්නට එහි කිසිවෙක් රැඳී නොසිටියත් දුම්රිය මැදිරියේ වැසිකිළියද එහි පිහිටා තිබීම නිසා එයට යන එන ය නිසා තරමක් කාර්ය බහුලව පැවතුණි. මෙම වැසිකිළිය ස්වයංක්‍රීය දොරකින් යුක්ත නොවූ නිසා එය විවෘතව කරනා විටත් ඇතැමෙක් එය නොවසා පිටවන වාරයක් පාසා වැසිකිළි දුර්ගන්ධය අප සිටි කුටියට අනාරාධිතවම පැතිරීම වැළකිය නොහැකිය.

කණ්ඩාට නම් මෙය කිසිඳු ගැටළුවක් නොවුණත් ගමන් මලු මෙහි දමා නැවතත් මගී මැදිරිය වෙත යාම හාමිනේ එකහෙලාම ප්‍රතික්ෂේප කළාය. හේතුව තවත් සති තුනකට අධික කාලයකට අවශ්‍ය ඇඳුම්, අනෙකුත් අඩුම කුඩුම සහ සබ්බ සකලමනාවම එම ගමන් මලු දෙකේ අන්තර්ගතව තිබීමයි. කෙසේ කරුණු දැක්වූවත් හිත වෙනස් කරන්නට නොහැකි වූ තැන එම කුටියේම වූ කුඩා ආසන දෙකක අසුන් ගැනීම හැරෙන්නට වෙනත් විකල්පයක් නොවීය.

ඌරන්ට මොන සෞඛ්‍යද කියන්නා මෙන් කණ්ඩාට මෙවැනි දේ ඉවසිය හැකිය, එහෙත් මෙවැනි දේ පිළිකෙව් කරන හාමිනේ කිහිප වතාවක් විවෘතව තිබුණු වැසිකිළි දොර වසා පැමිණියත් එය විසඳුමක් නොවූයෙන් නැවත මගී මැදිරිය වෙත යාමට කණ්ඩා හාමිනේට හැකි උපරිමයට බල කරේ ඇගේ හැටි සහසුද්දෙන්ම දන්නා නිසාය. නමුත් මුරණ්ඩුකම අතින් කණ්ඩාට නොදෙවෙනි බැවින් එය අළුයම ඉදී වැටුණ දූරියන් කුණක් සේ හාමිනේ විසින් නැවතත් එකහෙළාම ප්‍රතික්ෂේප කරන්නට යෙදුණාය.

හාමිනේ පෙලූ අපහසුව කණ්ඩාට පුදුමයක් නොවූවත් ඇගේ අං දෙක ගලවන්නට විදිහක් නොවීය, එමෙන්ම මින් කණ්ඩාට අත් වන්නට යන ඉරණම ගැන තේරුණේද නැත 😀 පැයකට අධික නැළවෙන පැද්දෙන දුම්රිය ගමන පුරාවට නාසය පිනා යන වැසිකිළි සුගන්ධය සහිත අපූරු ආසන පේළියේ රැඳී සිටීමට හාමිනේට ගත්  තීරණය ඇයට දිට්ට ධම්ම වේදනීයව පලිසන් දෙන ලකුණු පහළ විය. හිස තරමක් බමන බවත් කෑම උගුරට එන නිසා වමනය යන්න වගේ යයි පැවසූ විය ඉක්මනින් ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක් හමුවීමට මා කළ යෝජනාවද කලින් එක සේම කුණු කූඩයට ගියේ හාමිනේගේ නියසටහන් පමණක් මගේ බාහුවේ ඉතිරි කරමින්ය.

කිහිප වතාවක්ම ඉල්ලුවත් බැරි තැන උත්සාහය කණ්ඩා අත ඇරියේ කීව නාහන ගුරු ඉහළ ගියත් එකය පහළ ගියත් එකයි හන්දාය. හාමිනේට කුද ගහ ගන්නය කියා මග දෙපස සිරි නරඹන්නට වූ නිසා ගමනේ ඉතිරි කොටසට වැසිකිළිය තාවකාලිකව අමතකව ගියේය.

යූස්ටන් ප්‍රධාන දුම්රියපොළට වැඩි හැලහොල්මනක් රහිතව ළඟා වූ අපට හාමිනේගේ මිතුරිය වෙසෙනා ඉල්ෆ්ර්ඩ් (Ilford) වෙත ළඟා වීම සඳහා අන්ඩග්‍රවුන්ඩ් මෙට්‍රෝ දුම්රිය ජාලයේ නොදර්න් මාර්ගයෙහි (Nothern Line) මැදක් දුර ගොස් ඉන් ඩිස්ට්‍රික්ට් මාර්ගය (District Line) වෙත මාරු විය යුතුය.

අක්‍රමවත් මකුළු දැලක් සේ දිස්වන අන්ඩග්‍රවුන්ඩ් සිතියමෙන් ගමන් මගක් තෝරා ගැනීම අතිශය දුෂ්කර කටයුත්තක් ලෙස පෙනී ගියත් සිතියමේ සැකැස්ම, දුම්රියපොළ වේදිකා සහ දිශාව සොයා ගන්නා ආකාරය ගැන මූලික දැනුමක් ලබා ගත් විට ඉතා පහසු කාර්යකි. නමුත් රැජිණ ආත්තම්මාගේ රටට සහ ඇගේ ප්‍රවාහන සේවයට ආධුනිකයන් වූ අපට මුලදී අකරතැබ්බ කිහිපයකටම මුහුණ දෙන්නට සිදු විය, කතාව ඉදිරියට යද්දී මේ ගැන හොඳ වැටහීමක් ලැබෙන බවට නිසැකය.

අපගේ ගමන් මලු දෙක බරින් වැඩි උවත් රෝද සහිත නිසා ඒවා කරදරයකින් තොරව සිමෙන්ති දැමූ බිම් දිගේ ඇදගෙන යා හැකිය, එමෙන්ම යූස්ටන් ප්‍රධාන දුම්රියපොළෙහි සිට අන්ඩග්‍රවුන්ඩ් වේදිකාව වෙත් පිවිසීමට ගමන් මලු සහ අබාධිත අය (දැන් කියාගෙන වරෙල්ලකො ඔය දෙකම අපිට අදාලයි කියල, මැරුම් කන්න තමයි ! ) සඳහා වන විදුලි සෝපාන පද්ධතිය හේතුවෙන් දැරිය නොහැකි මට්ටමේ කරදරයකට මුහුණ පෑවේ නැත.

එහෙත් අවාසනාවට අපගේ පෙර පවු වලට තටු ලැබෙන්නට පටන් ගත්තෙ ඩිස්ට්‍රික්ට් ලයින් වෙත මාරු වීම සඳහා මොනියුමෙන්ට් අන්ඩග්‍රවුන්ඩ් දුම්රිය පොළ (Monument Underground Station) වෙත ලඟා වූ පසුවයි. එහි විදුලි සෝපාන නැති බව සහ මගගිරි දඹය වැනි පඩිපෙළවල් දුටු වහා කණ්ඩාගේ ගත පුරා හීන් දාඩිය දාන්නට ගත්තේය.

kabaraya and burana metro station

සිහි කල්පනාවකින් යුතු ජෝඩුවක් නම් මේ අවස්ථාවේදී කලබල නොවී සෝපාන පහසුකම් ඇති වෙනත් දුම්රිය පොළකින් අනෙක් දුම්රිය මාර්ගය වෙත පිවිසෙනවාට කිසිඳු සැකයක් නැත. නමුත් දිගු නිවාඩු ගමනක් ආ නිසාවෙන්දෝ දෙදෙනාගේම මොළයද නිවාඩු ගොස් තිබීම හේතුවෙන් අපි ඒ වගේ අනවශ්‍ය වැඩ කරන්නට ගියේ නැති බව කියන්නේ අප්‍රමාණ සන්තෝසයෙන්ය 🙂

පොලොව යටින් දුම්රිය මාර්ග කිහිපයක් එකට යාවෙන අනෙකුත් අන්ඩග්‍රවුන්ඩ් දුම්රියපොලවල්වල මෙන්ම මොනියුමෙන්ට් දුම්රියපොලෙහි වේදිකා පිහිටා ඇත්තේද තට්ටු ගොඩනැගිල්ලක මෙන්ම පොළොව යටට වන්නටය. (දක්වා ඇති පින්තූරය බලන ඔබට එය වඩාත් හොඳින් පැහැදිලි වනු ඇත) එනිසා එක් වේදිකාවක සිට අනෙක් වේදිකාවට මාරු වීමට සෝපානයක් නැති නම් පඩි නැගිය යුතුමය.

දුම්රිය ගමනින් පසුව හාමිනේ නැවත ප්‍රකෘති තත්වයට පත්ව නැති බව ඇගේ මුහුණ බැලූ පමණින් කණ්ඩා හට පැහැදිලිය, නමුත් ලිච්ෆීල්ඩ් වලදී මෙන්ම ඇගේ ගමන් මල්ල මා හට දීමට ප්‍රතික්ෂේප කළ ඈ මහල් දෙකක් තරම පඩි පේලේ අඩකට වඩා එය රැගෙන ගාටන්නට සමත් වූවාය. නමුත් එතැන සිට මහත් අපහසුවක් පෙන්වූ බැවින් කිලෝ 60 කට ආසන්න බර මලු දෙකත් රැගෙන මහලක පමණ ඉතිරි දුර කණ්ඩා නැග්ගේය.

දුම්රිය පොළෙහි මැදක් දුර නැගගත් පසු හාමිනේ එකවරම මගේ ඇඟට හරි නෑ කලන්තෙ වගේ යයි කියූ විගස කණ්ඩා හට දවල් තරු පෙනුණි. අහල පහළ හදිසියට වාඩි වෙන්නට තැනක් ඇත්තේද නැත. එනිසා හැකි විගස මගීන් ගමන් ගන්නා තීරුවෙන් ඉවත්ව ඇයව පසෙකට කරගත් කණ්ඩා ඇයව ඇඟට වාරු කර ගත්තේ වෙනත් කරන්නට දෙයක් නැතිම තැනය.

වතුර ස්වල්පයක් පානය කරන්නට ඇයට බල කරත් කිසිත් නොපැවසූ හාමිනේ අංග චලනයෙන් එය ප්‍රතික්ෂේප කළාය. ලෙඩ රෝග වලදී රෝහල් ඇලජික් නිසාවෙන් හැමවිටම තමන්ට ඇති පීඩාවන් විඳ දරා ගන්නා හාමිනේ දැන් පසු වන්නේ ඉන් ඔබ්බට ගිය තත්වයක බව කණ්ඩාට සපුරා පැහැදිලිය. නමුත් අසනා ප්‍රශ්නයකට හරිහමන් පිළිතුරක්ද නොදෙන තැන ඇගේ හිස පිරිමැදීම ඇරෙන්නට කිසිත් කරකියා ගන්නට බැරිව කණ්ඩා එලෙස අසරණ වූ තවත් අවස්ථාවක් මතකයට එන්නේද නැත.

sick girl vomitingකෙසේ නමුත් කණ්ඩාට වාරු වී ඇය එසේ විනාඩියක් පමණ එසේ සිටින්නට ඇත, නමුත් ඒ සමගම කිසිඳු පෙර දැනුම් දීමකින් තොරව හාමිනේ විසින් හෙලන්නට යෙදුණු මොනියුමෙන්ටල් කබරයා වැස්සක් නිසා නැවත සැන්විච් සුවඳ විඳින්නට අවස්ථාව අකමැත්තෙන් උව අප දෙදෙනාටම උදා විය. හාමිනේගේ කබරයා ප්‍රහාරයට කණ්ඩාද ඉලක්ක උවත් ඇය හදිසියට කට පියා ගැනීමට උත්සාහ කිරීම නිසා වැඩි හරියක් ඇගේ ඇඳුම පුරා තැවරී පොළොව පුරා විසිර ගියේය.

මෙය සිදුවන අවස්ථාවේදී අහල පහළ කිසිවෙක් නොසිටියත් අප පත්ව සිටි කරදරය වැටහුණු කිහිප දෙනෙක් පැකිලීමකින් තොරව අප පිහිටට ඉදිරිපත් විය. එහිදී අවුරුදු 25 ක පමණ සුදු ජාතික මගී තරුණයෙක් මේ පැමිණි අය අතර විය. ඔහු ඇසූ ප්‍රශ්ණ අනුව තේරුම් ගියේ ප්‍රථමාධාර ගැන පල පුරුද්දක් ඇති අයකු බවයි. හාමිනේගේ අඩව්ව සැකෙවින් ඔහුට පැහැදිලි කරනා අතර කලු ජාතික තරුණ දුම්රියපොළ නිළධාරියෙක්ද පසුව තවත් මැදිවියේ සිටි සුදු ජාතික නිළධාරිණියක්ද අප වෙත උදව්වට පැමිණි අතර. තමන් යන ගමන නවතා අපට මුලින් උදව්වට පැමිණි තරුණයා එතෙක් අප හා රැඳී සිටි අතර ඔහු පිටත්ව ගියේ අපට අනතුරක් නැති බව සැක හැර දැනගැනීමෙන් පසුව උදව්වට දුම්රියපොළ නිළධාරීන් සිටි නිසාය.

වමනය යාමෙන් පසු ඇඟට දැනෙනා අපහසුව අඩු බවත් ඇය දැන් හිටියාටත් වඩා හොඳින් බවත් පැවසූ (දොස්තර) හාමිනේ ප්‍රථමාධාර අනවශ්‍ය බවට අවධාරනය කළ නිසා වෛද්‍යවරයෙක් හෝ ප්‍රථමාධාර කණ්ඩායමක් කැඳවන්නට නොයෙදුන එක ගැන කණ්ඩා කෙසේ වෙතත් හාමිනේ බෙහෙවින් සතුටු විය. තම රෝගී තත්වයටත් වඩා හාමිනේට තිබුණේ පොදු ස්ථානයක මෙය සිදු වීම ගැන වූ ලැජ්ජාව සහ ඇදුම් මත වමනය තැවරීම නිසා වූ අප්පිරියාවත් බව කණ්ඩාට වැටහුණත්, මෙම අවස්ථාවේ මා කෙතරම් කලබල උනාද දන්නෙ මංතුමාම පමණය.

අපිරිසිඳුව පැවති පොළොව පවිත්‍ර කිරීම භාර සේවිකාවක් කැඳවූණු අතර හාමිනේගේ ඇඳුම් පිරිසිඳු කර ගැනීම සඳහා උදව් වීමට කාන්තා නිලධාරිණිය භාර ගත්තාය. පවිත්‍රතා සේවිකාව පැමිණි පසු නිළධාරියා ආපසු යන්නට සැරසෙද්දී කණ්ඩා ඔහුට නොපිරිහෙළා ස්තුති කරද්දී අත්වැරදීම් කාටත් සිදුවන් බවත් මෙය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවන බව පවසා සිනා මුසු මුහුණින් යුතුව පිටව ගියේය.

දුම්රිය ස්ථානයේ මගීන් සඳහා භාවිත කරන වැසිකිළියක් ඒ අසල නොවූ බැවින් කාන්තා නිලධාරිණිය විශේෂ අවසරයක් ගෙන සේවකයන් සඳහා වෙන්වුණු දුම්රියපොළ පරිපාලන කාර්යාලයේ (Operations Room) පිහිටි වැසිකිළිය වෙත හාමිනේව රැගෙන ගිය අතර පොළොව පිරිසිඳු කිරීමට පැමිණි කාන්තාව පවා තම රාජකාරියට පෙර විමසිලිමත් වූයේ හාමිනේ යථා තත්වයට පත්ව ඇද්ද යන්නයි.

කණ්ඩා ඇඳුම් සහ ගමන් මලු පිරිසිඳු කරනා අතර පොළොව පිරිසිඳු කරන්නට යෙදුණ කාන්තාව එය කළ ආකාරයේ අපූරුවද නිරීක්ෂණය කළේය. වමනයෙන් අපිරිසිඳු වූ පෙදෙස තෙතමනය උරා ගන්නා රසායනික කුඩු වර්ගයක් ඉසීමෙන් අනතුරුව එම පෙදෙස වියළි ගිය පසු ඝන ද්‍රව්‍ය එම කුඩුත් සමගම ඉවත්කර විෂබීජ නාශක සබන් දියරයකින් සෝදා හැර එයා ෆ්රෙශ්නර් (Air Freshner) ඉසින ලදී. මේ සියල්ලට විනාඩි කිහිපයකට වඩා ගියේ නැත.

විශේෂයෙන් මුලින් සඳහන් කළ මගී තරුණයාගේ පටන් දුම්රියපොළ නිළධාරීන්ද, පවිත්‍රතා සේවකයන්ද ඇතුළුව අපට උදව් කිරීමට ඉදිරිපත් වූ සියළු දෙනා ඉතාම ආචාරශිලිව අපට සැලකූ බව මෙන්ම ඔවුන් දැක්වූ උනන්දුව අව්‍යාජ බවද නොකියාම බැරිය. අප ඔවුන්ට කොතෙක් ස්තුති කළත් අප නිසා ඇති වූ අපහසුව ගැන කණගාටුව පළ කරත් ඔවුන් ඉතා නිහතමානීව එය තමන්ගෙ රාජකාරියේ කොටසක් බව සිනා මුසුව පැවසුවා මිස ඔවුන්ගේ කිසිඳු හිතේ කහටක් නොවීය.

හොඳ මිනිසුන් සහ සැබෑ මිතුරන් හඳුනා ගන්නට පිළිවන් වෙන්නේ කරදරයකදී පමණක් බව කියන්නේ කට කහනවාටම නොවේ. නමුත් ලන්ඩන් නගරයේ අන්ඩග්‍රවුන්ඩ් දුම්රියපොළවල්හි කිසිවෙක් ගැන සොයා නොබලා  කාර්ය බහුල උදවිය ගැන දන්නා නිසා කණ්ඩා හට මෙය ගෙන ආවේ පුදුමය මුසු සතුටකි.

තවත් විනාඩි කිහිපයකට පසු හාමිනේ කැටුව නැවත ආ නිලධාරිණිය ඇය කණ්ඩාට භාර දී පිටව ගිය අතර, ඒ වනවිට හාමිනේද බොහෝ දුරට යථා තත්වයට පත්ව සිටියාය. නමුත් හිත කරදරයෙන් සිටි හාමිනේගේ පණ්ඩිතකමට කරගත්තු හරිය මදිද යයි විහිළුවෙන්ම තරවටුවක් කර හිත හදනවා ඇරෙන්නට වෙනත් කරන්නට දෙයක් නොවීය.

මෙහිදී හාමිනේගේ මොනියුමෙන්ටල් කබරයා පාර ඇරෙන්නට මේ සිදුවීමට අදාල මොනියුමෙන්ට් දුම්රිය ස්ථානය අවට පෙදෙසට නම ලැබී ආකාරය ගැනත් යමක් නොකියාම බැරිය. “මොනියුමෙන්ට්” (Monument) යන ඉංග්‍රීසි වදනේ තේරුම “ස්මාරකය” යන්නයි, නමුත් මේ ස්මාරකය කණ්ඩා හාමිනේගේ කබරයා පාර සිහි වීම සඳහා යයි වරදවා නොසිතන්න 😀

charles grey - 2nd earl greyඑනිසා මේ කියනා ස්මාරකය ඉතා වැදගත් මැතිවරණ ක්‍රම සහ වහල් සේවය අහෝසි කිරීමේ ප්‍රතිසංස්කරණ රාශියකට නායකත්වය දුන් ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයකු වන දෙවැනි චාර්ල්ස් ග්‍රේ අර්ල්වරයා (1764 – 1845) සිහි වීම උදෙසා ඉදිකර ඇති ග්‍රේ ස්මාරකය හෙවත් මොනියුමන්ට් (Grey’s Monument) බව කියවන ඇත්තන්ගේ දැනුම සඳහා අවධාරණයෙන් පවසන්නේය.

ඒ සුද්දන්ට චාර්ල්ස් ග්‍රේ වැදගත් වන ආකාරයයි, නමුත් කණ්ඩා ඇතුළු ලොව බොහොමයක් දෙනා ඔහුව දන්නේ ඔහු නමින් හඳුන්වන අර්ල් ග්‍රේ තේ (Earl Grey Tea) නිසාය. අර්ල් ග්‍රේ තේ පැන් රස විඳි ඇත්තන් පවා බොහෝ විට මේ ගැන වැඩි යමක් නොදන්නවා වන්නට පිළිවන, මේ සටහන තබන්නේ ඒ නිසාය.

greys momumentලංකාවේ අපි සාමාන්‍ය කහට තේ (Black Tea) පානයට හුරුව තිබුණත් ලොව අනෙක් රටවල්හි වෙනස් තේ වර්ගයන් සහ විවිධ රසයන් මිශ්‍ර කර සාදා තේ වලට (Blended Tea) ප්‍රිය කරන්නෝය. අර්ල් ග්‍රේ තේ යනු එලෙස තේ සමග බර්ගමොට් (Bergamot) දොඩම් තෙල් මිශ්‍ර කර සාදා ගන්නා වසර 175 ක් පමණ පැරණි ඉතිහාසයක් ඇති තේ මිශ්‍රණයකි. (බර්ගමොට් තෙල් අර්ල් ග්‍රේ තේ නිෂ්පාදනයට වලට අමතරව රස කාරක, රූපලාවන්‍ය ආලේපන, සුවඳ විලවුන් සඳහා මෙන්ම නැවුම්කාරක (Air Freshner) සඳහාද යොදා ගැනේ)

කොහොම නමුත් කණ්ඩා නැහැවූ ඒ කබරයා වරුසාවෙන් හාමිනේගේ වස් දොස් සියල්ල සමනය වූ නමුත්, අමු ශරීර හොරෙක් වන මා වෙනත් විකල්පයක් නැති තැන තනිවම ගමන් මළු දෙකත් රැගෙන පඩි තරණය කළෙමි. හතර හන්ඳි පන නැතිව ගියත් කොන්ද කැඩී ඉස්පිරිතාලයකට නොගොස් ලෝකය උසුලාගෙන ඉන්නා ඇට්ලස් යෝධයා මෙන්  දුම්රි පොළෙන් එළියට ගාටන්නට සමත් වූ බව කියන්නට සතුටුය. එහෙම නොවුනා ඉතිරි නිවාඩුව ඉස්පිරිතාලයකදී ගත වෙන්නට බොහෝ ඉඩකඩ තිබුණි 😀

මේ කෝච්චි, කබරයා, තේ, ඉතිහාසය සහ කණ්ඩාගේ හෑලි මිශ්‍රණය කියවන අයට වමනය යන්නට කලියෙන් අවසන් කළයුතු යයි සිතමි, අපගේ අවශේෂ ගමනේ විශේෂයෙන් සඳහන් කළ යුතු යමක් සිදු වූයේ නැතිය.

නමුත් අපගේ පණ්ඩිතකම් වලට පිං සිදුවෙන්නට සිදු වූ හදිය හේතුවෙන් හාමිනේගේ යෙහෙළිය වන උස එකී සහ සැමියාගෙන් කන් ඈත් වන්නට දොස් අසා ගන්නට සිදු වූ බව පවසන්නේ සතුටිනි (ඒ බැනුම් වැඩි හරියක් හාමිනේටය). එමෙන්ම පසුගිය දා නැවත යෙදුණු ගමනේදී අපට ආගන්තුක සත්කාර කිරීමේ කරදරය මදිවාට අපගේ බලවත් විරෝධය මැද ගුවන් තොටුපොළින් අපව කැඳවාගෙන යාම ඒමද කල බව කියන්නෙ කෘතවේදීවය.

පසු ලිපි :

සුද්දාගේ කෑම අජීර්ණය වී සිටි කණ්ඩාට ඒ සති අන්තයේ හාමිනේව Mo’s වෙත ඇදගෙන ගොස් හිතේ හැටියට ආප්ප සහ පරාටා ගිලින්නට දැඩි උවමණාවක් තිබුණද ඒ වැඩේ හාමිනේගේ කබරයා පාර නිසා ගැස්සුනේය. එමෙන්ම ලන්ඩන් නුවර තවත් රවුමක් දමන්නට අදහස තිබුණත් ඒ සති අන්තය හාමිනේට හිතේ හැටියට විවේක ගන්නට ඉඩ දුන්නේ ඉදිරි සති කිහිපය තිස්සේ මීටත් වැඩියෙන් ඇවිදින්නට තියෙන නිසාය.

වියෙනාව, වැනීසිය, ප්‍රාග් සහ සාල්ස්බර්ග් යන සුන්දර යුරෝපීය නගර අතර ගෙවුණු කකුල් කෙඩෙත්තුව හැදුනු අමතක නොවන සති කිහිපය ගැන විස්තර ඉදිරියට.

~ කණ්ඩා !