House Shifting

ගෙවල් මාරුව සහ මැදපෙරදිග කතා

මේ කතාව බාගෙට ලියල අතරමග නවත්තල දැන් හය මාසෙකටත් වැඩියි … අලුත් ගෙදරට ගොඩ වැදිලා දැන් එතරම්ම කාලයක් … කණ්ඩගෙ වැඩ ඉතින් ඔහොම්මනේ 🙂 එහෙම හරි මේ හෑල්ල ලියල දාන්න ඕන කියල හිතුව .. ඕන එහෙනං තේ කහට කෝප්පයක් හරි ඒ පාටම වෙන මොනවා හරි අරන් හරිබරි ගැහිල වාඩි උනා නම් ?

මේ කතන්දරේ අතර මගින් පටන් ගත්තට කතාවේ හැබෑ මූලාරම්භය එයිට දුරයි, කොහෙන් පටන් ගන්නද කියා තේරෙන්නෙ නෑ. එනිසා ගෙවල් මාරුවෙන් පටන් ගත්තොත් හොඳයි කියල හිතනව.

ගෙවල් මාරු කරනවා කියන්නෙ කණ්ඩා බොහොම අකමැති කාරණයක්. මැදපෙරදිගට ආපු මුල් දවස් වල සකලමනාවම සූට්කේස් එකකටත් මදි කාලෙත් එහෙමයි. එහෙව් එකේ කාමර දෙක තුනක සුකුරුත්තං, ලී බඩු, ඇඳුම් කැඩුම් හාමිනේ කියන කියන විදිහට පුරෝ ගත්තට පස්සෙ ඒක තනිකරම යුද්දෙකට එහා ගිය වැඩක්.

එනිසා ඔටුවගෙ රටට හාමිනේවත් කැන්දන් ඇවිත් පදිංචි උන දා ඉඳන් අවුරුදු 11 කට අපි ගෙවල් මාරු තියෙන්නෙ තුන් පාරයි ඔය අන්තිම වතාව තමයි මේ කතාව ලියන්න හේතු උනේ.

ආ .. එතකොට කිව්වේ නැහැ නෙව ඇයි ගෙවල් මාරු කරේ කියල. ඔටු දේසේට ගොඩ බැහැල සුපිරි කොම්පැණියට බැඳිච්චි කණ්ඩා මුල් මුල් අවුරුදු හත ඩුබායි වලයි රැකියාව කළේ. ඉන් අවුරුදු හයෙනුත් බාගයක් ගෙවුණේ නැවතිලා හිටපු සාජා සහ ඩුබායි අතර ගමනාගමනයට කිව්වොත් වඩාත් නිවැරදියි 🙂

නමුත් දැන් සිව් වසරක කාලය තුළ එතරම් කම් කටොළු විඳින්න නොවුණේ සාජා වලම තිබ්බ කණ්ඩගෙ අලුත් කන්තෝරුවට මාරු උන නිසා (ඒ උදව්ව කරපු අසංක අක්කට බොහොම පිං). දැන් ගෙදර ඉඳල වැඩ කරන තැනට හූවයි බල්ටි දෙකයි, පහ මාරට වැඩ ඇරුනහම හයට කළින් ගෙදර.

ඔය මොන කතන්දර කිව්වත් මනුසත්තු කියන්නෙ කවදාවත් සෑහීමකට පත්වෙන් නැති වරිගයක්ලුනෙ, ඉතින් එයින් එකෙක් වෙච්චි කණ්ඩගෙත් හිතට තවම හරි මදි. මක්කැයි කිව්වොත් උදැහැනැක්කේ ඔය කලින් කියාපු හූවයි බල්ටි දෙකයි ගහන්නත් මට පැය බාගයකට වැඩිය යනව.

ඒ පිස්සුවෙන් වගේ උදේ පාන්දර සාජා ඉඳන් ඩුබායි දුවන කාණ්ඩෙ නිසා ඇතිවෙන වාහන තදබදය හේතුවෙන්, ඉස්සර මාත් ඔයින් එකෙක් තමයි කියල මතක් වෙනකොට ඇඟ සීතල වෙලා යනවා.

ඒ මදිවට ටැක්සිකාරයන්ගෙ ගෑස් බලන්නයි තැන නොතැන බලන්නැතුව අඩියෙන් අඩිය පාරවල් හිර කරන පාසැල් බස් රථ වගේම සහ එව්වයෙ යන ළමයින්ගෙ අම්මලා තාත්තලා මතක් කරල මෛත්‍රී බාවනා වඩන්නයි ගියාම උදේ කන්තෝරුවට ගොඩ වදින්නෙ හිත නරකින්.

අනික දස දහස් ගානක් සාජ – ඩුබායි පදින්න පැය තුන හතරක් දවසකට නාස්ති කරද්දි අර පැය බාගෙටත් තියන කෑදර කම නිසා තමයි කන්තෝරුවට පයින් යන දුරකට කණ්ඩ මාරු වෙන්න හිතුවෙ.

ගෙවල් මාරු කරන්න කලියෙන් මාරු වෙන්න ගෙයක් තියෙන්නත් එපැයි නේද … ඉතින් පළමුවෙනි කාරිය තමයි සුදුසු ගෙයක් හොයා ගන්න එක.

ගෙවල් කිව්වට මේව ගෙවල්මත් නෙමෙයි, නමුත් ඉතින් ජීවිතෙන් බාගයක් මේ හතරැස් පෙට්ටිය ( දැන් අහන්න එපා රවුම් පෙට්ටිත් තියෙනවද කියල ! ) ඇතුලේ ගෙවන නිසා ගෙවලුත් තමයි.

කොහොම නමුත් කාන්තාරයක කෙළවරේ අහස හීරෙන නොහීරෙන ගානට තට්ටු පිට තට්ටු ගහපු කොන්ක්‍රීට් කූරක බිත්ති වලට කොටු වෙච්චි අපේ ජීවිතේ සහ වාසස්ථාන සාමාන්‍ය ගෙවල් වලට වඩා වෙනස්. හොඳත් තියනව නරකත් තියනවා. ඒ ගැන වැඩි විස්තර පස්සට !

පිට පැන්න නේද මාතෘකාවෙන්… ආපහු ගෙවල් හොයන හැටි … මේ වැඩේ ඉතින් පත්තරෙන් හරි ජංජාලයෙන් විතරක් බලල හරියන රාජකාරියක් නෙමෙයි. මුලින්ම රාජකාරි, දුවා දරුවන්ගෙ පාසැල් ගමනට පහසු සහ මනුස්ස වාසයට සුදුසු ඉසව්වක් තෝර ගන්න ඕන. ඉන් පස්සෙ වැඩේ කෙරෙන්න නම් තෝරා ගත්ත ඉසව්වෙ අඩියක් ගානේ හිතට අල්ලපු ගෙවල් වලට ගිහින් එකින් එක හොයා බලන්න ඕන.

ගෙවල් කිව්වම ඉතින් වැඩිපුර තියෙන්නෙ තට්ටු නිවාස හෙවත් අපාර්ට්මන්ට් තමයි, ඒ ඇරෙන්න අපිට පුරුදු වෙන් වෙන්ව හදාපු ගෙවල් තියෙනව. ඒ වගේ ඒව හඳුන්වන්නෙ “විලා” (Villa ) නමින්. ලංකාවෙත් කාලයක් තිබ්බෙ අර විලා .. මේ විලා කියල ගෙවල් නම් කරපු වංගියක්. නමුත් මෙහෙ ඉන්න බොහෝ දෙනා ඒවා දිහා වැඩිය නොබලන්නෙ ධනපාල අවුල් වෙන නිසාත් එහෙම නැති ඒව ගොඩක් දුරට නගරයෙන් ඈත් වෙන්න තියන නිසාත්.

ඔය කිව්ව ජාතියෙන් මොකක් තොර ගත්තත් ඒ ගොඩනැගිලි බලාගන්න ඉන්න මනුස්සයව හෝ ආරක්ෂක නිලධාරියාව නිදාගෙන දවල් සිහින බල බලා ඉන්න ගමන් කූද්දල මොබයිල් ෆෝන් එකෙන් කනෙන් ඇදගෙන ඇවිල්ල අපාර්ට්මන්ට් අපිට ගැලපෙනවද නැද්ද කියල ඇතුළට ගිහිං හොයල බලන්නම වෙනව. තරමක් පැරණි ගොඩනැගිලි සම්බන්ධයෙන් නම් මේ දෙය අනිවාර්යයි.

එයිට කලින් ගොඩනැගිලි බලා කියා ගන්න ඉන්න සම-හරක් හිතාන ඉන්නෙ ඒ අයගෙ ගෙදර අපි පිනට ඉන්න එන්න හදනව කියල. ඒ වෙලාවට සුද්ද ඉංග්‍රීසියෙන් ( තේරෙන්නෙ නැත්තන් ඒත් අවුලක්ම නෑ ), නොදන්නා හින්දියෙන් පොඩ්ඩක් සද්දේ වැඩි කරල ඒ මහත්තුරුන්ට පැහැදිලි කරලා දෙන්න වෙනව.

අපාර්ට්මන්ට් එකක් බලන්න ගියහම තියෙන ලොකුම කාරණාව තමයි ඒ ගෙදර කලින් හිටිය පදිංචිකාරයෝ කොයිතරම් හොඳින් පාවිච්චි කරාද කියන එක. සමහර ඉන්දියන් පවුල් එහෙම ඉඳල ගිය ගෙවල් අමු අපායවල් … ඒ වගේම ගෙදර මුළුතැන් ගෙයි, නාන කාමර සහ විදුලි උපාංග හරි හැටි තියේද කියන එක, එහෙම නැති නම් ඒවා අලුත්වැඩියා කරනවාද වගේ පස් මහා බැලුම් නෙමෙයි 1,500 ක් විතර ඒව හොයා බලන්න ඕන.

මේ ඔක්කොම බලල ඉවර වෙලා හිතට අල්ලපු දෙකක් ඉතිරි වෙනව, නමුත් ඒක සාක්කුවට ගැලපෙනවද නැද්ද කියන බලන්න වෙන්නෙ ගොඩනැගිල්ල කුලියට දීම කළමනාකරණය කරන ඒජන්ත ආයනතනය හෝ එහි අයිතිකරු හමු වීමෙන් පසු තමයි. ඔටු දේසේ ආර්ථික, භූ ගෝලීය, කාලගුණික තත්වයන් සහ එතන ඉන්න මනුස්සයගෙ මූඩ් එක අනුව තමයි ගණන් අහගන්න වෙන්නෙ.

සමහර අයගෙ ලොකු කතන්දර නිසා නිකන් දෙනවා කිව්වත් එපා කියල ගිය පයින් හැරිල ආපු වෙලාවල් එහෙමත් තියෙනව. එහෙම නැති නම් සාධාරණ විදිහට ගණන් මිමි කතා බහ කරගෙන නිවසක් කුලියට වෙන් කර ගන්න එක අමාරු නැහැ. දැන් අහන්න එපා ඇයි කුළියට සල්ලි වලටම ගන්න බැරිද කියල. අතේ සල්ලි බාගෙ තියේනම් බර කාලයක් ඔටුවගෙ රටේ ඉන්න බලාපොරොත්තු වෙනවනම් එහෙම ගන්න බැරි කමකුත් නැහැ.

ඔටුවගේ රටේ කුලී නිවාස ලබා ගැනීමේදී බොහෝ දුරට වාර්ෂික පදනමක් යටතෙ තමයි අර ගන්නෙ. මාසික පදනමක් යටතේ ගන්නවා නම් එය තරමක් මිල අධික දෙයක්. ඒ හැම විටම අදාල නගර සභාවේ කොන්ත්‍රාත් ලියවිල්ලක් ලියාපදිංචි කිරීම අනිවාර්යයි.

ඒ ආණ්ඩුවෙන් අපේ දත ගලවන හැටි … වාර්ෂික කුලිය වගේ 2% ක ගෙවීමක් කරන්න ඕන. ඉවරයි කියල නේද හිතුවෙ ? ඉවරයි කියල හිතුවට ඉවර නැහැ … තව තියනව 5% ක මුදලක් කොමිස් මුදලක් ලෙස ඒජන්තවරයාට ලබා දෙන්නත් වෙනව.

ඔය කිව්ව වැඩ කොටසට සති කිහිපයක්වත් අනිවාර්යෙන් වැය කරන්න ඕන ( හාමිනේ එක්ක ගියොත් ඒ වගේ දෙකක් 😀 ) හාමිනේට ගැලපෙන විදිහට ගෙවල් තියෙන්නත් ඕන … සිල්ලර කාසි වලට කුළියට දෙන්නත් ඕන … පාටට … ඔපයට දිලිසෙන්න තියෙන්නත් ඕන. කාටද මෙව්ව කියන්නෙ ?

නමුත් අපේ වෙලාවට මෙදා පාර ගෙවල් මාරු කරන්න හිතාගෙන හිටිය දවස් කිට්ටුව සිරි ලංකාවට ගොහිං එන්න උන නිසා මේ සියල්ල සති දෙකක් ඇතුලත කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි අහවර කරන්න අවශ්‍ය උනා. ආපු ගමන වැඩි කල් නොයවා ගෙවල් මාරු කරමු කියන හාමිනේගෙ අදහස ඉහමුදුනෙන් අනුමත කරපු මංතුමාගෙ වාසනාවට කන්තෝරුවට මීටර් 50-60 ක් ඈතින් තිබ්බ ගොඩනැගිල්ලක් හමු උනා.

නමුත් ඊළඟ යුද්ධෙ පරණ ගෙදර ඉඳන් අළුත් ගෙදරට බඩු අදින එක අමු ශරීර හොරෙක් වෙන කණ්ඩට ඕන උනේ වැඩේ ලෙඩේ කර නොගෙන බඩුමුට්ටු ප්‍රවාහනය කරන කොම්පැනියකට බාර දීල අත පිහිද ගන්න. මෙවැනි සේවාවන් සාජා-ඩුබායි අතර බොහොම සුලභ දේවල් බව මෙහෙ ඉන්න දන්නවා, නමුත් කොහෙද ඒකට ඉඩක් නොදී විධායකය හරස් වුණා මිත්‍රවරුණි.

මොන කාරිය උනත් ලෙහෙසියෙන් කරන්න විදිහකුයි වැඩේ අනාගෙන නාගෙන කරන්න විදිහකුයි තියනවා නෙව, ඔයින් අර මුලින් කියපු විදිහ හාමිනේට හරි යන්නෙම නැහැ.

හාපෝ … එහෙම කොහොමද බඩු කැඩුනොත් එහෙම, ගියපාර අර අච්චර පරිස්සං කරලත් බඩු හූරල තිබ්බ !

අර දිරාම් දෙකේ වීදුරුවක් කැඩිල තිබ්බ මකකයි නේද ?

තව පොඩ්ඩෙන් පෙට්ටි දෙකක් මග ඇරෙනවත් එක්ක, බෑ .. බෑ … එහෙම කරන්න බෑ … ඔයාට බැරි නම් ඔයා පැත්තකට වෙලා ඉන්න මම බඩු පැක් කරන්නම් !

කණ්ඩගෙ පැලෑන් ඔක්කොම කැලේ, අන්තිමට ඔන්න ඔහොම තමයි අන්තිමට වැඩේ සිද්ධ උනේ, කිව්ව නාහන ගුරු ඉහළ ගියත් පහල ගියත් එකයි කියල කණ්ඩත් කර බාගෙන උන්න (කොහොමත් ගෙදර වැඩට කම්මැලිය නෙව).

අන්තිමට පූජාවට අත ගහන්න වගේ මං හිටියට කොන්ද කඩාගෙන බඩු ඔක්කොම පැක් වුණේ හාමිනේගෙ අතින්, අනික හැම දේම නූලට තියෙන්න ඕන. ඩිංගක් විතර O.C.D. හාමිනේට (ඒ කියන්නෙ හොඳටෝම) එහෙම නැතුව බෑ 😀

කොහොමින් කොහොම හරි පටාන් බලයෙන් දුවන කොම්පැණි ගැන එතරම් විශ්වාසයක් අත්දැකීමෙන්ම නැති නිසා තරමක ප්‍රසිද්ධියක් ඇති බඩු ප්‍රවාහනය කරන කොම්පැණියකට වැඩේ බාර දුන්න.

මේ උදවියත් එනවා කියාපු වෙලාවටත් කලින් ඇවිල්ල සීරුවට වැඩේ පටන් ගත්ත. ඒ විතරක් නෙමෙයි බඩු අදින ට්‍රොලි, ගෙදර ලී බඩු ගලවන්න අවශ්‍ය උපකරණ, බඩු භාණ්ඩ ඔතන්න ඕන ගනකම් රෙදි, කාඩ්බෝඩ්, සෙලෝපේන්, බබල් රැප් සහ අකුළන ඉනිමං කියන එකී මෙකී නොකී හැමදේම මේ අය සතුව තිබුණ.

ඒ වගේම නිළ ඇඳුම් වලින් සැරසුණු බොහොම ප්‍රසන්න තරුණ වයසේ කොලු නඩයක් ඇවිත් හිටියෙ බඩු අදින කාණ්ඩෙ විදිහට.

මෙතන ඉන්දියානු, පකිස්ථානු වගේම නේපාලි ජාතිකයොත් හිටියට එතැන් තිබ්බ මහා පොදු සාධකය තමයි මේ උදවිය සුද්දගෙ බාසාව නොදැනීම නිසා අදහස් හුවමාරුවේ අපහසුව, හින්දි බාසාව යන්තම් දැන ගත්තත් එයින් 90% සුද්ද හින්දි නිසා වැඩේට ගැලපෙන්නෙ නැහැ.

නමුත් ඔය හින්දම තමා රැජිණව දන්නා කියන මැදිවියේ මළයාළියෙක් මේ අයගෙ සුපවයිසර් විදිහට දාල හිටියෙ.

ආපු ගමන් කඩියො වගේ හුස්මක් කටක් නැතුව මේ උදවිය වැඩ, වෙනදට කණ්ඩ වැඩක් කරනකොට ඉල්ලුවත් නැතත් තප්පරෙන් තප්පරේ මේක අරහෙම කරන්න, මෙහෙම කරන්න, නෑ .. නෑ … ඔහොම එපා මෙහෙම තමයි හොඳ, පරිස්සමින් හොඳේ … කියල දැනමුතුකම් දෙන හාමිනේටත් කියන්න දෙයක් ඉතිරි නොකරපු එක තමයි වැදගත්.

එදා එළියෙ සෙන්ටිග්‍රේඩ් 40+ °C වගේ ගැහෙන්න සීතලයි ඉතිං මෙහෙම මැරීගෙන වැඩ කරන උන් දැක්කම අපේ ගල් හිත් උනත් උණු වෙනවනෙ, ඉතිං කණ්ඩ හිත සතුටෙන් කිහිප වංගියක් උන්ට හදිස්සියට කන්න බොන්න දේවල් හෙම ගෙනහල්ල දුන්න. නමුත් එහෙම කරන හැම පාරකම වැඩේ විනාඩි 10 – 15කට ඇණ හිටිනවා. අන්තිමට බැරිම තැන සුපවයිසර්තුමා කිව සර් අපි බඩු ඇදල ඉවර උනාට පස්සෙම කෑම කමු එතකං මොකුත් ඕන නැහැ කියල 🙂

ඉතින් හාමිනේගෙ කතන්දර වලට හූමිටි තැබීම, බඩු ඇද්දට පස්සෙ තියන වැඩ රාජකාරි අරුනහම වෙන කරන්න බර වැඩක් කණ්ඩට තිබුණෙම නෑ, හාමිනේටත් නෑ …

ඉතින් ඔහොම දැන් මේ බඩු අදින කාණ්ඩෙ වැරද්දක් කියන්න බැරි විදිහට රාජකාරිය කරගෙන යනව, සතියක් තිස්සෙ හාමිනේ බොරුවට කණ්ඩට ආඩපාලි තිය තියා කොන්ද කඩාගෙන මැරීගෙන බඩු අඩුක් කරපු හැටි මතක් වෙලා කණ්ඩට හීල්ලුන, ලැජ්ජාවට කට පියාගෙන හිටියත් හාමිනේටත් එහෙමයි කියල මං දන්නව.

අම්මපා වෙලාවකට මොන උපාධිය කරත් මට හිතෙනවා මේ උන්දැගෙ නුවණ හැඳි මිටේමද කියල ? කමක් නැහැ අඩු තරමේ එන පාරවත් ටිකිරි මොළේ පෑදෙන්නෙ නැතැයි !

අනේ ඉතින් එදා බඩු ඇදල ඉවර වෙලා සන්තෝසෙට අර කාණ්ඩෙටත් කීයක් හරි අත මිට මොලවල ඉවර කරා කියමුකො එයින් පස්සෙ තමයි ඊ ළඟ සර්කස් එක පටන් ගන්න තියෙන්නෙ, බඩු ඇද්ද වගේම අස් කරන්නත් එපැයි !

නමුත් හාමිනේට මොකද්දෝ හිතිලද මන්ද ඒ වැඩේ තාවකාලිකව බාලගිරිට දුන්න 😀

එදා නිදා ගන්න ඇඳට ගිය වෙලේ තමයි දැන ගත්තෙ අපේ පෙට්ටි ගෙදර ජනේලෙන් පේන හරිය දවල්ට වඩා රෑට වඩාත් අපූරුයි කියල, කනාත් අල් කස්බා හෙවත් අල් කැස්බෑව (Qanat Al Qasba) බොහොම අලංකාරයි, අනේ අර එමිරේටයේම ඇහැ කියපු කැරකෙන රවුමත් (Eye Of The Emirates Ferris Wheel) තිබ්බ නම් කියලා වැඩක් නැහැ. කරුමෙට දැන් ඒක වෙන අහක ගෙනිහින් හයි කරල නෙව 😦Qanat Al Qasba

ඔය කෝකටත් වඩා කණ්ඩට හිත ගියේ අහල පහළ ඇහැ මට්මට පෙන තරම තවත් බිල්ඩිමක් නැති එක, ආයි නෑ ජනෙල් රෙදි නැතත්, ගෙදර කමිසයක් නැතිව හිටියත් කිසි අවුලක් නෑ 😀

ඔය වල පල් කියව කියව ඉන්නකොට ඇඟ මහන්සි වෙන කිසිම වැඩක් නොකරත් හිතේ මහන්සියටද මන්ද දෙන්නම ඇඳට වැටිච්චි ගමන් නොදැනීම නින්ද ගියා.

ඕන් ඉතින් රෑ එළිවෙලා පහුවදා ඇහැරුණා කියමුකෝ … ඒ මම මූණු පොතේ එල්ලපු පින්තූරයක් දැකල අල්ලපු රටේ ඉන්න මිත්‍රයෙක් වෙච්චි සෙනා ප්‍රශ්නයක් අහල තිබ්බ .

කොයිතරම් හොඳ උනත් … ලස්සන උනත් කොහොමද ඔහොම කොටු වෙලා ඉන්නෙ ? බොහොම හොඳ ප්‍රශ්නයක් !

ඔය සේනා ගොයිය ඉන්න අහ .. ඒ කියන්නේ ඕමානයේ රුස්ටාක්(Rustaq), ස්තාල් (Istal) ගම්මානය. බටහිර හජාර් (Western Hajar) කඳුවැටිය පාමුල තියෙන මේ ඉසව්ව මැදපෙරදිග හැටියට ගහකොළ යහමින් තියෙන බොහොම සුන්දර පළාතක්. (මට ඔය හාදය ගැන ඉරිසියාවේ බෑ 😦 )

වතාවක් ඔය මනුස්සයව බලන්න ගොහින් නිස්වා කිට්ටුව අල් හූතා (Nizwa, Al Hoota) ගමේ ඉඳන් කෙටි පාරවල් හොයන්න ගිහින් කඳුකර දුර්ග මාර්ගයක් (Mountain Pass) හරහා “වාදි බානි අවුෆ්” (Wadi Bani Auf Trail) කියන අතිශය දුෂ්කර ඔෆ්රෝඩ් (Off Road) පාරක ගොක් කොළ සුදු කොඩි මතක් කර කරා පැය හයක ගමනක් ආවා. හාමිනේටයි අපේ FJ ඉබ්බටයි පින්සිද්ද වෙන්න පණ ගැට ගහ ගත්ත. ආයෙත් කතාවෙන් පිට පැන්න … ඒ ත්‍රාසජනක මරුවා සමග වාසේ කතා වස්තුව වෙනම දවසක 😀

Wadi Bani Awf

Wadi Bani Awf

කොහොම උනත් ගහකොළ ඇහැට පේන්න පළාතක මනුස්සයෙක් එහෙම අහන එක සාධාරණයි. ඒත් අපිට කොයින්ද එහෙම පිනක්, අපි ඉන්නෙ කොන්ක්‍රීට් කැලේක නොවැ.

මැදපෙරදිග කොන්ක්‍රීට් වනාන්තරයක ගෙවන ජිවිතේ සොබාදහමෙන් නොසෑහෙන්න දුරයි නමුත් අතේ පයේ හයිය, රැකියාවක් සහ ඉන් හම්බ වෙන කාසි පනං තියෙන තාක් හැම පහසුකමක්ම අතේ දුරින් 🙂

පල්ලෙහා ග්‍රොසරියට දුරකථන ඇමතුමක් දුන්නහම වතුර බෝතලේ ඉඳන් පාන්ගෙඩිය දක්වා එදිනෙදා අඩුම කුඩුම ඕනෑම දෙයක් දොරකඩටම ගෙන්න ගන්න පුළුවන්, ඒකට අමතර වියදමක් නැහැ.

මං ඔයාට පැලෙන්න ආදරෙයි රත්තරන් කියල පටන් අරං හාමිනේ උයන්න කම්මැලි කරපු දවසට අහල පහළ කිලෝමීටර හත අටක දුරින් තියන අටෝරාසියක් වෙන ඕනෑම අවන්හලකින් පැයක් ඇතුළත කැමති කෑම වේලක් ගෙන්න ගන්න කිසි කරදරයක් මහන්සියක් නැහැ (There’s an App for That !)

ගෑණු සැලුම් දුසිමක් විතර, ඔව් මෙහේ කාන්තා පාර්ශවයට කන්න බොන්න නැතත් මේ විච්චූරණ නැතුවම බෑ, එනිසා Man Not Allowed ! කියල රැජිණ මරාපු බෝඩ් එල්ලපු ඔය සැලුන් කඩ මෙහෙ එමටයි. ඒ අතර අපිවත් මතක් වෙන හින්දද කොහෙද බාබර් සාප්පුවක්, ලෝන්ඩරියක් දෙකක් ව‍ගේ දේ උනත් අත ළඟ.

අනිත් ඔය ඔක්කොටම වඩා ඉස්සරහින් ඉන්නෙ සල්ලි හෙවත් දෙයියන්ගෙ මල්ලි, සුදුසුකම් සහ අත්දැකීම් තියනවනම් පටන් ගද්දි කට්ටක් කන්න බැරි කමක් නැති නම් දරන මහන්සියට හරියන වැටුපක් ලැබෙන රස්සාවක් ලබා ගැනීමේ හැකියාව (මම මේ කියන්නෙ ගෘහ සේවය ගැන නෙමෙයි, ඒ ගැන වෙනම ලිපියක් ලියන්න ඕන). බදු අවම නිසා සල්ලි ඉතිරි කරගන්න පුළුවන් (කැමති කෙනෙකුට හම්බ කරනවට වඩා වියදම් කරන්නත් පුළුවන් :))

ඔය තමයි ලෝකෙ වටේම ඉන්න මනුසත්තු මේ කාන්තාරෙට ඇදෙන්න ප්‍රධානම හේතුව, කණ්ඩගේ කියලත් අමුතු වෙනසක් නැහැ !

පසු ලිපි :

කණ්ඩා මේ ලියන්නේ මැද පෙරදිග වෙසෙනා සුදු කරපටි රැකියාවල නියුතු මධ්‍යම පාන්තිකයන් ගැනය … නමුත් සැම දෙනාම ඒ තරම් වාසනාවන්ත නැත, එනිසා මැදපෙරදිග රැකියා කරනා සියළු දෙනා සැප විඳින්නෝ යයි උපකල්පනය නොකරන්න. අන් සෑම රටක මෙන්ම මේ සියල්ලට යටින් දිවෙන අමිහිරි දේ සහ ඉන් ගොඩ එන්නට කල යුතු කැපකිරීම් බොහෝය. කාල වෙලාව ලැබෙනා අයුරින් ඒ ගැන ලියමි.

~ කණ්ඩා !

Advertisements