පිනා සහ පිනාචාර්ය

පිනා කිව්වහම අපි බොහොමයක් දෙනාට මතක් වෙන්නෙම ඇටිකිත්තො කාලෙ ඉගෙන ගත්ත ප්‍රසිද්ධ කවියක් නොවැ … එහෙම නෙමෙයි නම් ඔබලා (ඔබන්න අවශ්‍ය නැත, කියවීම සෑහේ) සහශ්‍රයෙන් පසු උපන් අයෙක් හෝ මෝඩ් ගොයියෙක් වෙන්න ඕන.

අම්බලමේ පිනා – වළං කදක් ගෙනා
ඒක බිඳපි ගොනා – ඒකට මට හිනා

පිනා කියන්නෙ තරමක මෝඩ පහේ චරිතයක් විදිහට තමයි අපිට පොඩි එවුන් කාලෙ තේරුණේ … ඒත් කාට උනත් කරදරයක් උනහම හිනා වෙන එක හරි නැහැනෙ කියල ටිකක් ලොකු වෙනකොට තේරුණ නිසාදෝ අපි එක ටිකක් වෙනස් කරා මේං මෙහෙම…

අම්බලමේ පිනා – වළං කදක් ගෙනා
ඒක බිඳපි ගොනා – ඇයි එකට හිනා

නමුත් එතනිනුත් එහා ගිහිං කරදඬු උස් මහත් වෙනකොට තමයි දැන ඉගෙන ගත්තෙ මේ හතර පදේට ළාමක ටිං ටිං ළමා ගීයකට සෑහෙන එහා ගිය බොහොම ගැඹුරු තේරුමක් තියෙනවා කියල.

ඒ අනුව බැලුවම ගමනක‌ අතරමග අම්බලමක නවතින පිනා කියන චරිතයෙන් සහ ඒ අහිංසකය ලක් වෙන හිරිහැරයෙන් පිළිඹිමු වන්නෙ සංසාර චක්කරේ සහ ඒ ඇතුලෙ තැලෙන පොඩි වෙන අපේ දුක්ඛිත ජීවිතය බවත් වළන් කදේ උපමාවෙන් පෙර ආත්ම වල කළ කී දෑ නිසා ඇති වුණු කර්ම විපාකයන් දැක් වෙන බවත් අපි කොහෙත්ම නොහිතපු ගොනා නිරුපණය කරන්නෙ තණ්හාව, දුක නැති කරල සංසාර චක්කරේ බිඳපු බුදු හාමුදුරුවන් ඇතුළු අරහත් හාමුදුරුවරුන් නියෝජනය වෙන බවත් තමයි කියවෙන්නෙ.

ඉතින් එහෙම හිතුවොත් නම් පිනාගේ වළන් කද ගොනා බින්ඳට සතුටු නොවී බැහැ තමයි 🙂

හැබැයි ඉතිං වික්ටර් රත්නායක මහත්මයගෙ සිට සුනිල් එදිරිසිංහ මහතා දක්වාත් ඉන් එහාට තව නොයෙක් දෙනාගේත් ගීත නිර්මාණ වලට ලොවෙත් නැති ලොවි ගහෙත් නැති අරුම පුදුම තේරුම් ඉදිරිපත් වෙනව වගේ අම්බලමේ පිනාවත් පහු කාලයක රී-මික්ස් උනාද කියන්න මම දන්නේ නැහැ.

මේ කවිය ගැන කියනකොට සුනිල් ශාන්ත මහත්මයව අමතක කරන්නත් බැහැ නොවැ … මොකද එතුමටත් මේ කවිය අමතක කරන්න බැරි උන නිසා ඒක ගීතයකට පෙරළුවා. ඒ ගැන හොයාගෙන යනකොට ගී අරණ බ්ලොග් එකේ තියෙන ලිපිය සහ ඔය පහත තියෙන වීඩියෝ හම්බ උනේ

හරි දැන් වැල් වටාරම් කිව්ව හොඳටෝම ඇති … දැන් ඔහේල හැමෝම කල්පනා කරනවා නේද කෝ %***^ වක්පොලු කතා කියල ??? ඒකම තමයි මාත් මේ කල්පනා කරන්නෙ 🙂

මගේ පිනාගේ කතාව පිනාගෙන් කොයිතරම් ඈතට ගියාද ??? මං ඔය පිනා ගැන කියන්න නෙමෙයි පටන් ගත්තෙ අපේ ඉස්කෝලෙ පිනා ගැන. ඒ ගමන ඔය ඩිංගත් මතක් උනා … ඔන්නොහේ ලියල දැම්ම මමත් දැන් හෙනම ශාස්ත්‍රීය පොරක් කියල පෙන්නත් එක්කම 😀

කණ්ඩ ශිෂ්‍යත්වෙ පාස් වෙලා පරිප්පුවෙක් උනා කියල කලින් කියල ඇතිනෙ … පරිප්පුවෝ … මරියකඩේ සෙන්ට්‍රල් … අපිට ඔය මොනව කිව්වත් අපි සැලුනද නෑනෙ .. මරදානෙන් තොසේ කාල හැදුන අපිට ඔය ඕන පරිප්පුවක් ඔට්ටුයි 🙂

අපි ඉස්කෝලෙන් ඉවත් වෙන කාලෙ (ඔව් මොන පිස්සු කෙළියත් අහු නොවෙන්න කරපු නිසා එලෙව්වෙ නැහැ) හිටිය විදුහල්පතිට කිව්වෙ දරැණු පොර කියල. රිටයර් වෙන්න ඔන්න මෙන්න තියල නුවර පළාතෙන් කොළඹට පිනට කඩං වැටුණ මේ පිනාචාර්ය මෙලෝ රහක් නැති ඔල්මොරොන්දම් චරිතයක්. කලින් හිටපු විදුහල්පතිතුමාට විහිලුවට වගේ පිනා කිව්වට ඒක හරියටම ගැලපුනේ මේ හාදයට.

ඒත් නුවර පළාතෙන් කොළොම් තොටට ගොඩ බැහැපු ටිකිරි බණ්ඩෙක් උන බුවාගෙම නම පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා අරගෙන කොල්ලො කුරුට්ටො මිනිහට පිනා කියනවට අමතරව “දරැණු පොර” කියල කාඩ් එකකුත් දාල තිබ්බෙ. දැනටත් අජ්ජාපනේ සම්බන්ධව රාජකාරියක ඉන්න ඉන්න නිසාත් මිනිහ ගැන කියන්න හොඳක් ඇත්තෙම නැති නිසාත් හැබෑ නම සඳහන් නොකරම ඉන්නව.

බොරුවට එහෙම නෙමෙයි අපේ එකාල මිනිහ ගැන කියන තරමක් කියන්නෙම කට කැඩිච්ච කතා විතරමයි … ඒ එක්කම දරැණු පොරගෙ කාලෙ පාසලටත් කියල සුගතියක් උනෙත් නැහැ (එහෙම උනානං ඒ කලින් හිටපු උදවියට පින් සිද්ධ වෙන්න තමයි). අනිත් එක හදන්න බැරි ළමයි හදන්න හොඳම විදිහ විදිහට ඉස්කෝලෙන් අස් කිරීම කියල දරැණුපොර හිතපු බව තමයි අපිට ආරංචි. හැබැයි එහෙමත් ළමයි හැදෙනවද කියල නම් අපි දන්නෙ නැහැ … සමහර විට දරැණු පොර දන්නව ඇති !

මේ මනුස්සය කොයි වෙලාවෙත් ඔරව ගත්ත ගමං හිනාවක් නැහැ … මංතුමා විස්වාස නොකළත් අර කතාවට කියන්නෙ සමහර එවුන්ගෙ මුඩු මූණ දැක්කහම දවසම මූසලයි කියල ආන්න ඒ වගේ තමයි උදේට බලන්න හිතෙන්නෙ නෑ … මං සුවච කීකරු ළමයෙක් නොවුනට 99.99% ගුරුවරු දැක්කම අහක බලන් ගිහිල්ල නැහැ නමුත් මේ හාදය මුලිච්චි වෙලා නැති ලෙඩ දාගන්නෙ නැතිව ආපහු හැරිලා ගිය වෙලාවල් එමටයි.

ගල විදපු තැනින් උඩහ පළාතෙ දීප්තිමත් පිරිමි පාසලක ඉඳන් ආපු මේ ගොයියට ඒ ඉස්කෝලෙ අමතක කරන්න බැරි ගැටළුවකුත් තිබුණ කියල දන්නෙ එක පාරක් අපේ ශිෂ්‍ය භට කණ්ඩය හෙවත් කැඩෙට් ප්ලැටුන් එක හර්මන් ලූස් (Hermaan Loos) ශූරතාවය දිනපු අවස්ථාවක ඒ ශූරතාවය දරුණු පොර තුමාට පිළි ගන්වන්න ගියාම අපේ කණ්ඩායමට සුභ පතන එක පැත්තකින් තියල ටිකිරි බණ්ඩ අහල තිබ්බෙ තමන්ගෙ කලින් පාසල කී වෙනියද කියල. අදටත් අපේ සමහර කැඩෙට් කරපු එවුන් ලුණු ඇඹුල් දාල මේ ගැන කියන්නෙ ලේ කකියන ගමන්.

ඒක ගල විදපු තැනින් උඩහ පාසලේ වැරද්දක් නෙමෙයි මොකද මීට කලින් හිටි විදුහල්පතිතුමා ඇතුළුව බොහොම විශිෂ්ඨ ගනයේ ගුරුවරු, විදුහල්පතිවරු එමට මේ පාසල් දෙකේම මාරුවෙන් මාරුවට නොසෑහෙන සේවයක් ලබා දීල තියෙනව.

හරි දැන් ලිපියෙන් 2/3 කට වඩා පුර්විකාවක් ලියාපු එකේ දැන්වත් කතාවට බහිමු නේද ? අපි ජේෂ්ඨයො කාලෙ කිහිප වතාවක්ම ඉස්කෝලෙ බස් එක පාසල් වක්පොලු තරඟ වලට ඉල්ලන්න ගිහිං දරුණු පොර අපිට ලොකු සයිස් කිහිපයක් දැම්ම විතරක් නෙමෙයි අදකාලේ FCID එක්ක ගියා වගේ තේරුමක් නැති 1,000 ක් ප්‍රශ්න වලට උත්තර දෙන්නත් උනා.

ඒ මදිය කියා හිතුන නිසාද මන්ද මේකගෙන් පාසලේ සම්පත් අවභාවිතය ගැන නිදිමත හැදෙන කම්මැලි දේශනාවකටත් අහන ඉන්න උනා. අනේ ඉතිං පූරුවෙ වාසනාවකට හෝ අවාසනාවකට

එතකොට ඒ බස් එක පාසලේ ළමයින්ගෙ පාවිච්චියට නෙමෙයිද සර් තියෙන්නෙ ?

කියල අහන්න හයියක් එදා මට නොතිබුණු එක ගැන සන්තෝසයි … ඔය කියන මනුසතාගෙ හැටි දන්නා නිසා මටත් කලින්ම අස්වීමේ සහතිකය හම්බ වෙන්න ඉඩ තිබුණ ( එහෙනම් ජීවිතෙන් අවුරුදු දෙකක්ම ඉතිරියි 😀 ).

එදා ඉදං මට මේ මනුස්සයව නයාට අඳුකොළ වගේ පෙන්නන්නම බැරි උන නිසා ක්‍රීඩා කණ්ඩායම් අරගෙන යන්න වෙනකොට අපේ හිත හොඳ උප විදුහල්පතිතුමා එහෙමත් නැත්තං අපි ආදරේට “චාලි” කියල හැඳින්නුව චාලි චැප්ලින්ට වඩා ආඩම්බර උඩු රැවුලක් තිබ්බ තිස්ස පෙරේරා මහත්මයව හමුවුණා.

ඇයි අද ප්‍රින්සිපල් ඔෆිස් එකේ නැද්ද … ? දැන් ටිකකට කලිනුත් මම කතා කරානෙ !

කියල අහනකොට මොකක් හරි කෙබරයක් හීනියට අත ඇරල වැඩේ කරගෙන ලිස්සල යන්න අපි පුරුදු උනා.

නමුත් දවසක් ඒ ඔක්කොමටම කෙලවෙලා ගියේ අපේ පිනාචාර්ය මහත්තයා වගේම තිස්ස පෙරේරා සර්ත් අධ්‍යාපන අමාත්‍යාංශයටද කොහෙද ගිහින් තිබ්බ නිසා … එදා 13 න් පහළ බට්ටො ටිකක් වක්පොලු මැච් එකකට කොළඹ මැලේ පිටියට අරගෙන යන එක බාර වෙලා තිබ්බෙ මටයි තවත් වක්පොලු කාරයෙකුටයි.

බස් එක අරන් යන්න අවශ්‍ය අවසරය ගන්න එක එදා මගේ වගකීම. අද තියෙන වැඩේ හෙටම කරන්න කියන තියරිය හැමදේටම හරි යන්නේ නෑනෙ. අන්තිම මොහොතෙ කර කියා ගන්න දෙයක් නෑ.

මළ හත් ඉලව්වයි බෑග්, වක්පොලු බඩු ඔක්කොම උස්සගෙන පාරෙ බස් එකක මැලේ පිටියට යන්න අමාරුයි … එක්කො පරණ වාඩියෙ ඉඳන් ටවුල්හෝල් එක ගාව සලාකා හෝල්ට් එකට කිලෝමීටර් බාගයක් පයින් ගිහින් බස් එකක නගින්න ඕන නැතිනම් ඉස්කෝලෙ ඉස්සරහින් කොටුවට බස් එකක් අරං එතැනින් තව එකකට මාරු වෙලා අර නම ලියන්න බැරි වීදියෙන් (කොම්පඥඥ වීදිය) බහින්න ඕන.

ඉතිං වාහනයක් නැතිව මේ වැඩේ කරන්න අමාරුයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ නොවැ .. මැච් එකට යන්න පරක්කු උනොත් නිතරඟ ජයක් නැතිනම් “වෝක් ඕවර්” (Walkover) අනික් පිලට ලැබෙනව, දැනටමත් තරඟයට ටිකක් ප්‍රමාදයි. මැච් එක පැත්තකින් තිබ්බත් මේ ගමන අතර පොඩි එවුන් එකෙක්ට හරි තුවාලයක් කරදරයක් අනතුරක් උනොත් ඒකටත් අපි එපයි හැමෝටම වග කියන්න.

අවුරුදු 12-13 බට්ටො 15ක් ආම්බාන් කරන් ප්‍රයිවෙට් බස් හාමුලගෙ ගෑස් බලල මේ ගමන යනවට වඩා ලේසියි රිලව් රංචුවක් ලව්වා වක්පොලු ගස්සවන එක. අලි මදිවට හරක් වගේ ඒ පොඩි එවුන් රංචුවට ඒ වෙනකොට වක්පොලු ගහන්න පටන් අරන් තිබ්බ කණ්ඩලෑ මළයත් ඇතුළත්, මොනවා හරි පත්තු උනොත් මේක ගෙදරත් ඉන්න එකක් !

මේ වගේ දාහක් ප්‍රශ්න ඔලුවේ තියාගෙන ඔලුව ගිණි අරන් නයා මැරිච්ච අහිකුන්ටකය වගේ ඉන්න අස්සෙ තමයි එක පාරටම කලින් දවසක වෙන කාගෙ හරි ආහාර මුද්දරේකට (මගේ ආහාර මුද්දරෙන් ගෙදරට මොනවා හරි අම්ම කියන දෙයක් අරං ගියා මිස ඉස්කෝලෙදි සිල්ලරට කාල නාස්ති කරේ නැහැ 🙂 )

බලෙන් අරන් කාපු මාරි විස්කෝතුවකටදෝ පින් සිද්ධ වෙන්න කණ්ඩගෙ ටිකිරි මොළයට බ්‍රිලියන්ට් වර්හයේ අති දරුණු අදහසක් පහළ වෙන්නෙ.

ඒ තමයි දරැණු පොරගෙ අත්සන හොරට ගහල බස් එක අරන් යන එක, ඒ වෙනකන් අඩු තරමේ ඉස්කෝලෙන් ගේන්න කියපු ලියුමකවත් අම්ම තාත්තගෙ අස්සනවත් හොරෙන් ගහල තිබ්බේ නැහැ මම …ඒ මංතුමාහොඳ නිසා නෙමෙයි බොහොම අපූරුවට ලියන අම්මගෙ ලස්සන අත් අත්කුරුයි තාත්තගෙ අටපට්ටමක හදපු කපුටු කූඩුවක් වගේ අත්සනයි හොරට ගහන එක ලේසි නැති නිසා.

නමුත් රුයිතෙට ගිය දෙකේ ඉලක්කම වගේ තියන දරුණු පොරගෙ කෙටි අත්සන ගහන එක ගේමක්ම නැහැ කියල මගේ හිත කිව්ව, ඒත් අත්සන මතකින් ගහන එකත් ලේසි නැහැ … නමුත් කොළ කෑල්ලක කිහිප පාරක් උත්සාහ කරල ඇත්ත අත්සනට බොහොම සමාන එකක් ගහගන්න පුළුවන් උනා. හොඳ වෙලාවට මේ අවසර ඉල්ලලා ඉදිරිපත් කරන ලියුමේ සීල් එකක් ගහන පුරුද්දක් මේ කියන දවස් වල තිබ්බෙත් නැහැ.

දැන් තියෙන ලොකුම ගැටලුව කිසිම අවුලක් නැතිව මේක බස් එකේ රියදුරා වෙච්ච සරත් අයියට දික් කරන එක. හොර වැඩක් කරල මංතුමා පපුවෙ බිත්තර තම්බ තම්බා හිටියට සරත් එක්ක මම කලින් බස් එක අරං ගිහින් තියෙන තියෙන අඳුරුම්කම නිසා සැක හිතන්න හේතුවක් තිබ්බෙත් නෑ ඉතින්.

ලියුම අරගෙන ගිහින් දික් කරපු පරක්කුවෙන් උඩින් පල්ලෙන් බලලා යන්න ඕන වෙලාව සහ තැන අහල ලියුම සාක්කුවට දා ගත්ත මිස එයත් වැඩි විස්තර මොනවත් ඇහුවේ නැහැ.

කොහොමින් කොහොම හරි වඳුරු හමුදාව අරන් යුද්දෙට ගිය හනුම වගෙ වක්පොලු තරඟයට විනාඩි 15 කට විතර කලින් ක්‍රීඩා පිටියට යන්න පුළුවන් උනා. නමුත් කරුමෙට එදාට තිබ්බ පළවෙනි මැච් එක අපිට නිසා තරඟයට කලින් පෙර සූදානම් වෙන්න (Warm up, Strategy / Pep Talk) වෙලාවක් තිබ්බෙත් නැහැ. අනේ ඉතිං මොනතරම් අණ්ඩපාල වැඩ කරලා බස් එක අරං ගියත්, මොන නිදහසට කාරණා ඉදිරිපත් කරත් අපේ පුහුණුකාර ඉත්තෑපාන සර්ගෙන් බැනුම් වලින් බේරෙන්න නම් බැරි උනා.

පස්සේ කාලෙකදිත් තව වතාවක් තිස්ස පෙරේරා මහත්මය නැති දවසට දරැණු පොරගෙ දෙකේ රුයිත අත්සන (ඒ වෙනකොට ඇස් දෙක වහගෙන උනත් ඒක ගැහුවැහැකි) ගහල බස් එක අරන් ගියාට හොර අත්සන් ගහන ව්‍යාපාරය නවත්තල දැම්ම. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑනෙ. එහෙම නොවෙන්න සමහර විට මංතුමාත් අර Catch Me If You Can ෆිල්ම් එකේ ලියනාඩෝ ඩිකැප්‍රියෝ වගේ වෙන්න තිබ්බ.(නැත්තං තාමත් වැලිකඩ)

~ කණ්ඩා !

පෙර ලිපි :

වක්පොලු කතා වස්තුව ~ I කොටස ~ කැන්ඩොස් මාමා සහ ගෝලියා
වක්පොලු කතා වස්තුව ~ II කොටස ~ වක්පොලු සහ වනන්න වටිනා ආයිත්තන්
වක්පොලු කතා වස්තුව ~ III කොටස ~ මතකයෙන් ඈත් නොවන මැලේ පිටිය
වක්පොලු කතා වස්තුව ~ IV කොටස ~ හෙලිකොට්ටෝරුවෙක් සහ කණ්ඩෙක්

Advertisements